socialism

Jenin

එක්සත් ජනපද මාධ්‍ය ජෙනින් හි ඊශ්‍රායල යුද අපරාධ වසන් කරයි

පැට්‍රික් මාර්ටින් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 07 දින පල වූ ‘US media covers up Israeli war crimes in Jenin‘ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Jenin
පලස්තීන කාන්තාවක් 2023 ජූලි 5, බදාදා, බටහිර ඉවුරේ ජෙනින් සරනාගත කඳවුරේ හානියට පත් මාර්ගයක ගමන් කරයි. (AP ඡායාරූපය/මජ්ඩි මොහොමඩ්) [AP ඡායාරූපය]

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින්ගේ මන්ඩලයක් බදාදා ප්‍රකාශයක් නිකුත් කරමින් ජෙනින් සහ බටහිර ඉවුරේ වෙනත් තැන්වල ඊශ්‍රායල හමුදා මෙහෙයුම් හෙලා දැක ඇත. ඒවා “බලය භාවිතය පිලිබඳ ජාත්‍යන්තර නීතිය සහ ප්‍රමිතීන් දරුනු ලෙස උල්ලංඝනය කිරීම්වලට සමාන වන අතර එය යුද අපරාධයක් විය හැකි” බව ඔවුහු ප්‍රකාශ කලහ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ අනුග්‍රහය යටතේ ක්‍රියාත්මක වන ත්‍රිපුද්ගල කන්ඩායම ඊශ්‍රායල හමුදාවේ ක්‍රියා මාලාවක් පෙන්වා පෙන්වා දෙමින් ඒවාය‌ේ  ප්‍රතිඵල ලෙස, “වාඩිලාගෙන සිටින ජනගහනය මරා දැමීම සහ බරපතල ලෙස තුවාල කිරීම, ඔවුන්ගේ නිවාස සහ යටිතල පහසුකම් විනාශ කිරීම සහ අත්තනෝමතික ලෙස දහස් ගනනක් අවතැන් කිරීම සිදු විය. ” යනුවෙන් ප්‍රකාශ කලේ කලේය. 

පදිංචිකරුවන් 14,000ක් සිටින ජෙනින් නගරයෙන් පිටත විශාල, අර්ධ-ස්ථීර සරනාගත කඳවුරට සිදුකල දින දෙකක ප්‍රහාරය, පලස්තීන සටන්කාමීන් සමඟ  දරුනු ලෙස සටන් වැදීමටත්, ජලය සහ විදුලි සැපයුම් සහ සෞඛ්‍ය පහසුකම් ඇතුලු සිවිල් යටිතල පහසුකම් හිතාමතා සහ පුලුල්ව විනාශ කිරීමටත් හේතු විය. අඩුම තරමින් පලස්තීනුවන් 12 දෙනෙකු මිය ගිය අතර, ඔවුන් අතර නව යොවුන් වියේ පසුවන්නන් හතර දෙනෙකු ද විය. 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ අතර කඳවුරේ ජනගහනයෙන් හතරෙන් එකකට පලා යාමට බල කෙරුනි .

වැඩි පිරිසක් විශේෂ කමාන්ඩෝ ඒකකවලට සම්බන්ධිත වූ 1000 පමන සොල්දාදුවන් මෙම ජනාකීර්න නේවාසික ප්‍රදේශයට යවන ලදුව ,  ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) විසින් විනාශ කරන ලද නිවාස සහ විශාල ව්‍යුහයන් පිලිබඳ මාධ්‍යවේදීන් ඇතුලු ඇසින් දුටු සාක්ෂිකරුවන් විස්තර කලහ.

එක්සත් ජාතීන්ගේ මන්ඩලයට අනුව, “2002 දී ජෙනින් කඳවුර විනාශ කිරීමෙන් පසු බටහිර ඉවුරේ සිදුවූ දරුනුතම ප්‍රහාරයයි.” දශක දෙකකින්  පසු පලමු වරට ගුවන් ප්‍රහාර ද ඒවාට ඇතුලත් විය. සෞඛ්‍ය සේවා පද්ධතිය විශේෂිත ඉලක්කයක් වූ අතර, ගිලන්රථ මගින් තුවාල ලැබූවන් ඉවත් කිරීම වැලැක්වූ බවට සහ IDF භටයින් ජෙනින් මහ රෝහලට කඳුලු ගෑස් ප්‍රහාර  එල්ල කල බවට  විවිධ වාර්තා පවතී.

“ප්‍රහාරයන්, ඊශ්‍රායල බලධාරීන්ගේ ඇස් හමුවේ ‘සාමූහික ආරක්ෂක තර්ජනයක්’ ලෙස ලේබල් කර ඇති පලස්තීන ජනතාවට කල සාමූහික දඩුවම් කිරීමකි,” එක්සත් ජාතීන්ගේ මඩුල්ල පැවසීය. “ආක්‍රමනය කරන ලද පලස්තීන භූමියේ සිටින පලස්තීනුවන් නිර්දෝෂීභාවය පිලිබඳ පූර්ව නිගමනය ඇතුලු සියලුම මානව හිමිකම් සහතික කර ඇති, ජාත්‍යන්තර නීතිය යටතේ ආරක්‍ෂිත පුද්ගලයන් වේ …සුවිශේෂවම, වාඩිලාගෙන සිටින පලස්තීන භූමිය ඈඳා ගැනීම සහ එහි පලස්තීන වැසියන් අවතැන් කිරීම සහ ඉවත් කිරීම ඉදිරියට ගෙන යන අතරතුර, වාඩිලාගෙන සිටින බලයට (ඊස්රායලයට), ඔවුන් සාමූහික ආරක්‍ෂක තර්ජනයක් ලෙස සැලකිය නොහැකිය.”

කෙසේ වෙතත්, ඇමරිකානු මාධ්‍යවල, ජෙනින් භූමියේ සැබෑ තත්වයන් හෝ එක්සත් ජාතීන්ගේ මඩුල්ලේ  අනාවරනය කර ගැනීම් ගැන කිසිදු සඳහනක් නොමැත. ඊශ්‍රායල මෙහෙයුම පිලිබඳ වාර්තා කිරීම සාමාන්‍යයෙන් සීමා කර ඇත්තේ, එහි අරමුන “ප්‍රතිත්‍රස්තවාදය” බවට වූ පැරනි  කියාපෑම්  ‘නැවත සකසා ඉදිරිපත් කිරීමට’ය. වොෂින්ටන් පෝස්ට් එක්සත් ජාතීන්ගේ මන්ඩලයේ ඊශ්‍රායල මෙහෙයුම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස හෙලා දැකීමට කැප කලේ තනි වාක්‍යයකි. නිව් යෝර්ක් ටයිම්ස් කිසිවක් ලිව්වේ නැත. රූපවාහිනී ජාල ඒ තරමටම නිහඬ විය.

ඊශ්‍රායල වාඩිලා ගැනීම යටතේ බටහිර ඉවුරේ පවතින ම්ලේච්ඡ යථාර්ථය මෙයයි: පලස්තීනුවන්ට එරෙහිව අනවරත (නොකඩවා පවතින) සහ ක්‍රමානුකූල ප්‍රචන්ඩත්වය සහ මර්දනය. ඊශ්‍රායල සොල්දාදුවන් සහ අන්ත දක්ෂිනාංශික පදිංචිකරුවන් යන දෙපිරිසම මිනිසුන් ඝාතනය කරති, වෙඩි තබා බිම දමති, ඔවුන්ගේ නිවාස විනාශ කරති, ඔවුන් සියවස් ගනනාවක් ජීවත් වූ භූමිය කොල්ලකති.

අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ආන්ඩුව බටහිර ඉවුරේ නීති විරෝධී ජනාවාසවල විශාල පදනමක් ඇති, සම්පූර්න ෆැසිස්ට්වාදීන් ද ඇතුලු දක්ෂිනාංශික පක්ෂවල සභාගයකි. මෙම තන්ත‍්‍රය , ත‍්‍රස්තයේ සහ ඝාතන ව්‍යාපාරයේ තාර්කික අවසානය සඳහා  සූදානම් වෙමින් සිටී: එනම් , මිලියන සංඛ්‍යාත පලස්තීනුවන් බලහත්කාරයෙන් අවතැන් කිරීම සහ බටහිර ඉවුර ඊශ්‍රායලයට ඈදා ගැනීමයි.

ෆැසිස්ට් පක්ෂ නායකයෝ බටහිර ඉවුරේ සමස්ත අරාබි ජනගහනය ඉවත් කර එම භූමිය ඈඳා ගැනීමේ ඔවුන්ගේ අධිෂ්ඨානය ගැන විවෘතව කතා කරති. මෙහිදී ඔවුන් 1947-48 ඊශ්‍රායලයේ පිහිටුවීම සමඟ අරාබිවරුන්ට එරෙහිව  සිදුකල සංහාරයන් ආදර්ශයට ගනිමින් සිටිති. අද දින “වාර්ගික ශුද්ධ කිරීම” ලෙස හැඳින්විය හැකි මෙම ව්‍යාපාරය, අරාබි බහුතරයක් වූ පලස්තීන ප්‍රදේශය යුදෙව් බහුතරයක් සිටින ඊශ්‍රායල රාජ්‍යයක් බවට පරිවර්තනය කලේය.

බටහිර ඉවුරේ ඊශ්‍රායල ආක්‍රමනය සිදුවන්නේ ඇමෙරිකානු රජයේ පූර්න අනුමැතිය ඇතිවය. බයිඩන් පරිපාලනය නිසැකවම මෙහෙයුමට කල්තියාම කොල එලියක් දැල්වූ අතර, සිද්ධියෙන් පසුව එය අනුමත කලේය. ධවල මන්දිර මාධ්‍ය ලේකම් කරීන් ජීන්-පියර් ( Karine Jean-Pierre) බදාදා පැවසුවේ, “අපි මෙය බොහෝ වාරයක් ප්‍රකාශ කර ඇත්තෙමු: හමාස්, පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ අනෙකුත් ත්‍රස්තවාදී කන්ඩායම්වලට එරෙහිව ඊශ්‍රායලයේ ආරක්ෂාවට සහ එහි ජනතාව ආරක්ෂා කිරීමට ඇති අයිතියට අපි සහාය දෙමු… ඊශ්‍රායලය සමීප මිතුරෙකු සහ හවුල්කරුවෙකු වන අතර, අපි ජාතික ආරක්ෂාව සහ නිසැකවම ආරක්ෂක නිලධාරීන් සමඟ සම්බන්ධව සිටිමු. එබැවින් අපගේ සංවාදයේ කියවීමට කිසිවක් නැත, නමුත් අපි නිතිපතා සම්බන්ධව සිටිමු.”

මිලිටරි ප්‍රචන්ඩත්වය පලස්තීන නගර සහ ගම්වලට එරෙහිව සන්නද්ධ පදිංචිකරුවන්ගේ ප්‍රහාරයන් සමඟ ඒකාබද්ධ වී, වාඩිලාගැනීමේ පාලන තන්ත්‍රයේ විසින් වඩ වඩාත් හිරකරමින් පවතින ග්‍රහනය බලාත්මක කිරීම සදහා ,බටහිර ඉවුරේ ඊශ්‍රායලය විසින් ප්‍රදර්ශනය කරන ලද ම්ලේච්ඡත්වය කෙරෙහි සංගත මාධ්‍යවල ආවරනයේ උදාසීනතාව, ඔවුන්  ලබා ගත්තේ බයිඩන් ගේ ඉඟි කිරීමෙනි.

මෙම වසරේ මේ දක්වා අවම වශයෙන් පලස්තීනුවන් 155 දෙනෙකු සොල්දාදුවන් සහ පදිංචිකරුවන් විසින් මරා දමා ඇති අතර, එය 2002 දෙවන ඉන්ටිෆාඩාවෙන් පසු විශාලතම ප්‍රමානය වේ.

මේ අතර මාධ්‍යය , ඊශ්‍රායල රාජ්‍යයේ හැසිරීම විවේචනය කරන ඕනෑම අයෙකු යුදෙව් විරෝධීන් ලෙස හෙලා දකිමින් ‘මායාකාරීන්-දඩයමේ’ (witch-hunts) යෙදී ගනී. මෙය විශේෂයෙන් ප්‍රසිද්ධ පුද්ගලයින්ට එරෙහිව යොමු කර ඇත. මෑතක දී, ” පින්ක් ෆ්ලොයිඩ්” රොක් සංගීත කන්ඩායමේ නිර්මාතෘ , දශක ගනනාවක් තිස්සේ පලස්තීන ජනතාවගේ ප්‍රතිපත්තිමය ආධාරකරුවෙකු වූ , දැන් යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයෙහි  ප්‍රමුඛ විරුද්ධවාදීන් ස්වල්ප දෙනාගෙන් කෙනෙකු වන සංගීතඥ රොජර් වෝටර්ස් ද ඇතුලත් වේ.

යුක්රේනයේ යුද්ධය සහ බටහිර ඉවුරේ වෙසෙන පලස්තීනුවන්ට එරෙහිව සිදුවෙමින් පවතින ප්‍රහාර සම්බන්ධයෙන් ඇමරිකානු මාධ්‍ය නිර්ලජ්ජිත දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරයි. ඊශ්‍රායල ප්‍රචන්ඩත්වය සහ වාඩිලාගෙන සිටින ප්‍රදේශ වල බලයෙන් පහකිරීම වසන් කරන අතරම, රුසියානු හමුදාව යුක්‍රේනයේ ජන ඝාතන අපරාධවල නිරත වන බව පවසමින් මාධ්‍ය වසරකට වැඩි කාලයක් තිස්සේ උමතු ව්‍යාපාරයක නියැලී සිටී.

සෝවියට් සංගමය විසුරුවා හැරීම මත තම ධනය ගොඩනගා ගත් ධනේශ්වර බිලියනපතියන්ගේ කතිපයාධිකාරයේ අවශ්‍යතා නියෝජනය කරන පුටින් පාලන තන්ත‍්‍රයේ ම්ලේච්ඡත්වය වසන් කිරීමට  හෝ සමාව දීමට හේතුවක් නැත. එහෙත් එම ප්‍රමිතියම ෆැසිස්ට්වාදීන්ගෙන් සහ නාසි ගෝලබාලයෙකු වූ ස්ටෙපාන් බන්ඩෙරාගේ වන්දනාකරුවන්ගෙන් පිරී ගිය ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කිගේ යුක්‍රේනියානු පාලන තන්ත්‍රයට අදාල විය යුතුය. එමෙන්ම, එය මැද පෙරදිග ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිගුකාලීන ප්‍රධාන සගයා වන ඊශ්‍රායල රාජ්‍යයේ අපරාධ සම්බන්ධයෙන් ද එය අදාල විය යුතුය.

එ.ජ. ආන්ඩුව සමග නොගැලපෙන පාලන තන්ත‍්‍රයක එවැනි මෙහෙයුමක් කර්නකටුක හෙලාදැකීමකට තුඩු දෙනු ඇතත්, ජෙනින් හි ඊශ්‍රායල ප්‍රහාරය පිලිබඳ කතුවැකියකින් අදහස් දැක්වීමට නිව් යෝර්ක් ටයිම්ස් හෝ වොෂින්ටන් පෝස්ට් උත්සුක වූයේ නැත.

ප්‍රහාරයට පෙර දින, “රුසියාව එහි යුධ අපරාධ වලට වග කරමු ” යන ශීර්ෂ පාඨය සහිත කතුවැකියක් පල කලේය. යුක්රේනයේ රුසියානු ක්‍රියාවන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් සංවිධාන රාශියක අනාවරනයන් එය උපුටා දක්වත්දී – ජෙනින් හි ඊශ්‍රායල මෙහෙයුම සම්බන්ධයෙන් වන එකම වර්ගයේ සාක්ෂි එය නොසලකා හරියි නැතහොත් ප්‍රතික්ෂේප කරයි.

 කතුවැකිය අපූර්ව නිගමනයක් ගෙන එයි, සුවිශේෂ සහාසික අපරාධ වලට අමතරව, “ඇත්ත වශයෙන්ම, පුටින් මහතා සහ ඔහුගේ ඉහල උපදේශකයින්ගේ කන්ඩායමක් යුද්ධය මුලින්ම මුදා හැරීමෙන් පුලුල් වරදක් කර ඇත – දෙවනුව සිදු වූ සියලු සාහසිකකම්  ඇති වූයේ මෙම අපරාධයෙනි.  දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු නියුරම්බර්ග් නඩු විභාගවලදී නාසි යුද අපරාධකරුවන්ට එරෙහිව භාවිතා කරන ලද චෝදනාව වන ආක්‍රමනශීලී අපරාධයක් කිරීම සම්බන්ධයෙන් ඔවුන් නඩු පැවරීමට මුහුන දිය යුතුය.”

ලෝක සමාජවාදී වෙබ් අඩවිය, නියුරම්බර්ග් පූර්වාදර්ශය ඇෆ්ගනිස්ථානයේ සහ ඉරාකයේ ඇමරිකානු පරිපාලනයේ ක්‍රියාවන්ට, ජෝර්ජ් ඩබ්ලිව් බුෂ්ගේ සිට අදාල වන බව   යලි යලිත් සඳහන් කර ඇත. වොෂින්ටන්, ඩීසී හි පවතින රජය තරම් යුද්ධය මුදා හැරීමෙන් “ආක්‍රමනශීලී අපරාධයක්” දියත් කිරීමේ ගිලුනු රජයක් ලෝකයේ වෙන නැත.

නියුරම්බර්ග් විනිශ්චය සභාව නාසි පාලන තන්ත්‍රයේ ප්‍රධාන මාධ්‍ය ක්ෂමාලාපකයින් ද යුද අපරාධ සම්බන්ධයෙන් වරදකරුවන් කලේය. එහෙයින්, සෑම එක්සත් ජනපද හමුදා ප්‍රයානයකම විශ්වාසවන්ත උපදේශකයින් වන පෝස්ට් හි සංස්කාරකවරුන්, ඔවුන් පතනා දේ සම්බන්ධයෙන් ප්‍රවේසම් විය යුතුය.

එක්සත් ජනපද මාධ්‍ය ජෙනින් හි ඊශ්‍රායල යුද අපරාධ වසන් කරයි Read More »

Nathasha

නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය  පෙරට

නන්දන නන්නෙත්ති විසිනි

නතාෂා එදිරිසූරිය හිටිවන ප්‍රහසන කලා නිර්මානයකින් බුද්ධාගමට අපහාස කලේ යැයි මැයි 28 දින අත් අඩංගුවට ගෙන, ආගමික සමගියට බාධා පැමිනවීම හා වෛරය පැතිරවීම සිදු කලේ යයි ICCPR පනත යටතේ චෝදනා ඉදිරිපත් කර, අද දින (6) දක්වා බන්ධනාගාරගත කර තබා ගන්නා ලදී.  ජුලි 5 බදාදා  ඇගේ ඇප ඉල්ලීම සලකා බැලූ කොලඹ මහාධිකරන විනිසුරු ආදිත්‍ය පටබැදි ඇයට ඇප ලබා දීමට තීන්දු කරමින් කියා සිටියේ නතාෂාගේ ප්‍රකාශය “කිසිසේත්ම බෞද්ධයන් ඉලක්ක කරගෙන ඔවුනට එරෙහිව ප්‍රචන්ඩත්වය හෝ සතුරුකම් කිරීමේ අරමුනින් එහි ප්‍රෙක්ෂකයන් උසිගැන්විමේ ක්‍රියාවලියක යෙදුනු බවට පෙනී නෙයන”  බවත් ඒ අනුව එය “වෛරී ප්‍රකාශයක්” ලෙස පෙනී නොයන බවත්ය.  

වාර්තා වන පරිදි, විද්‍යාව තරයේ විශ්වාස කරන පුද්ගලයෙකුට ආගම්වල තිබෙන ඇතැම් කාරනා ප්‍රායෝගිකදැයි ප්‍රශ්න කිරීමට හැකියාව ඇතැයි සඳහන් කල මහාධිකරන විනිසුරුවරයා එයින් වෛරය ප්‍රකාශ වන්නේ කෙසේදැයි පැමිනිල්ලෙන් ප්‍රශ්න කලේ ය.   

මෙම තීන්දුව නතාෂාට එරෙහිව බොරු පැමිනිලි කල ආන්ඩුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ඇතුලු ආගම්වාදී නඩය මෙන් ම ඊට සහයෝගය දුන් සියලු අවස්ථාවාදීන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හා කලා විරෝධී මුග්ධ නිරුවත ප්‍රදර්ශනය කලේය. 

Nathasha
නතාෂා ඇප ලබා නිදහස්ව (fb)

නතාෂා අත්අඩංගුවට ගැනීමට ආගම සම්බන්ධ කල ද එය ආගම පිලිබද කරුනක් නො වන බවත්, අවශ්‍ය නම් ආගම ප්‍රශ්න කිරීමට අයිතිය ඇති බවත් තහවුරු කරමින්, ඇගේ නිදහස වෙනුවෙන් පෙනී සිටීම කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ගැන සංවේදී සියලු මිනිසුන්ගේ වගකීම බව මුල සිටම අවධාරනය කලේ හා, ඒ වෙනුවෙන් තනිවම, ප්‍රතිගාමී බලවේගයන්ට අභිමුඛව, උද්⁣ඝෝෂනය ආරම්භ කලේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) යි. ඊට ප්‍රගතිශීලී කලාකරුවන්, කම්කරුවන් හා තරුනයන් අතර බලගතු සහායක් ගොනු විය. 

පැමිනිල්ල පරාජය වූයේ හුදෙක් මහාධිකරන තීන්දුවෙන් පමනක් නො වේ. සියලු ධනේශ්වර හා ව්‍යාජ වාම පක්ෂ හා කල්ලි, අපේක්ෂා භංග, දිරිය බල සිදුනු බුද්ධිමතුන්, තමන්ගේ වේල පිරිමැසීමට එහා දෙයක් නොසිතන ඇතැම්  කලාකරුවන් හා ඊනියා රැඩිකලුන්, පාලක පන්තිය නතාෂාට එරෙහිව අවුලන ලද ප්‍රකෝපකාරීත්වය සමග පෙල ගැසුනි. එහෙත් පාලක පන්තියේ දරුනු වික්ෂෝපයකට හේතු වෙමින්, කම්කරු පන්තිය ප්‍රමුඛ පීඩිත මහජනතාව එම ගිනි මැලයට දර දැමීම උදෙසා මෙහෙයවා ගැනීමට හැකි නොවී ය යනු නින්දාසහගත පරාජයකි. 

තතු එසේ තිබිය දී, ධනපති සංස්ථාපිතයේම පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන(ජවිපෙ) හා ඉන් බිදී ව්‍යාජ-වාම පක්ෂයක් ලෙස සංවිධානය වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) නතාෂාට හා ඇගේ කලාවට විරුද්ධව තම පන්ති පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන මතයක් ගොඩ නැගීමට අන්ත ප්‍රතිගාමී උත්සාහයක නිරත වීය. රටේ සිවිල් සාමය කඩ වී, තමන් ගත කරන සාපේක්ෂ සුව පහසු ජීවිත අවුල් වනවාට බියෙන් පසුවන සුලු ධනේශ්වර පන්ති ස්ථරයක කම්කරු විරෝධී අවශ්‍යතාවන් මේ පක්ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලදී. 

Jayagoda
පුබුදු ජයගොඩ

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ නතාෂා අත් අඩංගුවට ගැනීමට පසු දින  මෙසේ නිවේදනය කලේ ය: පීඩාවට පත් මිනිසුන් “විශ්වාස කරන සමහර ආත්මීය කරුනු, සමහර සංස්කෘතික දේවල්, ආගමික සංවේදී දේවලට” ප්‍රහාරයක් එල්ල වී ඇත. එය පාලක පන්තියේ අවශ්‍යතාවක් බව සදහන් කල ඔහු “ෆාස්ටර් ජෙරමුයි, නතාෂයි … ආගම් අතර මේ බෙදීම හදන්න යනවා” යි චෝදනා කරමින් “මේකට ඉඩ දෙන්න එපා” යි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.  

ධනපති පක්ෂයක් ලෙස තමන්මගේ සුදුසුකම ධනපතියන් හා අධිරාජ්‍යවාදීන් හමුවේ සනාථ කිරීමට දැඩි වෙහෙස දරන ජවිපෙ ද මෙම යොජනාව ම  තවත් ආකාරයකින් ඊට දින දෙකකට පසු ඉදිරිපත් කලේ ය. “මෑතකදී කිසියම් කාන්තාවක් සිදුහත් කුමරු සම්බන්ධයෙන් කරපු කතාවක් පදනම් කරගෙන ලොකු සිද්ධියක් වෙලා තියෙනවා. …ඒක අහම්බෙන් සිද්ධ වුනත්, සැලසුම් කරල සිද්ධ වුනත් අර දුෂ්ට ආගම්වාදී, ජාතිකවාදී අරමුනුවලට එකතු වෙනවා,” යැයි එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කලේ ය. සිල්වාගේ ඉල්ලීම මෙසේ ය: “ජනතාවගේ හිතේ තියෙන ඉතා සියුම් තැන් අවුස්සලා ජනතාවගෙ ඇත්ත ප්‍රශ්න අමතක කරන්න දරන උත්සාහය හරියට අදුනගන්න.”

කලාවේ හා ප්‍රකාශන⁣යේ නිදහසට විරුද්ධ වන ආන්ඩුව ඇතුලු ධනේශ්වර පෙරමුනත්, නතාෂාගේ කලාත්මක නිර්මානයත් යන අංශ දෙකම එකට අනා මේ දෙපැත්තටම විරුද්ධ වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටීමේ දී ජවිපෙ මෙන්ම පෙසප හි අභිප්‍රාය කුමක් ද?

පසුගිය “අරගල” සමයේ “ජාතික සමගියට කිසියම් ප්‍රවේශයක් ඇති වීම ගැන බිය” වූ  “ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉන්න රාජපක්ෂල රනිල්ලා… ආපහු එලියට එන්න මේවා පාවිච්චි කරන” බව පවසන  සිල්වා වාර්ගික යුද්ධයේ දී දෙමල ජනයාගේ ලෙයින් පොඟාගත් අත් සගවාගෙන දැන් වාර්ගික ආගමික භේද ප්‍රතික්ෂේප කරන බව අඟවන්නේ එය හුදෙක් රාජපක්ෂලාට වාසි වන බව ගැන කනස්සල්ලෙනි. එයින් පැහැදිලි වන පරිදි, ජවිපෙ බිය වී සිටින්නේ එවැනි තත්වයක් තුල තම පාර්ලිමේන්තු සිහිනය බිද වැටෙනු ඇත යන්න ගැන මිස මහජන විරෝධී, වර්ගවාදී ආන්ඩුවක් බලයට ඒම වැනි දෙයක් ගැන නො වේ. සියල්ලටමත් වඩා ජවිපෙ, පාර්ලිමේන්තුවේ 225ම එපා යි කී මහජන විරෝධය, රාජපක්ෂ විරෝධයකට සිඳවා ධනපති ක්‍රමය බේරාගෙන, එතනින් නතර නොවී, ඒ තුල සමාජ අර්බුදය සැඟවීමට මෙය ද අවස්ථාවක් කර ගනී. ජවිපෙන් කැඩී සමාජවාදය පිලිබඳ ඉඳහිට තොල් මතුරන පෙසප ද මෙය යහමින් උපයෝගී කර ගනී. 

Tilwin
ටිල්වින් සිල්වා

නතාෂා සිය කලාව තුල කාන්තාව සිමා බන්ධනයන්ගෙන් වට කර, පුද්ගලික දේපලක් ලෙස සලකා පීඩාවට ලක් කිරීම, හා වැඩවසම්වාදී ආගමික සංකල්ප යොදාගෙන තවදුරටත් කාන්තාව ගර්හා කිරීම අභියෝයට ලක් කලා ය. ඇය ධනවාදය තුල කිසි දිනක විසඳිය නොහැකි නිදහස පිලිබද ප්‍රශ්න ඒ තුල ඉස්මතු කලා ය. ප්‍රස්තුත සිල්වාගේ කතාවේදී ඔහු නතාෂාගේ නම පවා පාවිච්චි කිරීමට තරම් නුසුදුසු යයි තීරනය කිරීම මගින්, නතාෂාගේ නිර්මානය තුලින් එලි දකින නිදහස්කාමය සම්බන්ධව  ආන්ඩුව හා බෞද්ධ අන්තවාදී නඩවල පවතින  භීතිය සමඟ තමන් අනන්‍ය වීම ප්‍රකාශයට පත් කලේ ය. 

නතාෂා, සුද්ධෝදන, සිද්ධාර්ථ හා දෙව්දත් යන බෞද්ධ සාහිත්‍යයේ එන වාසගම් හා සිද්ධීන් සිය නිර්මානයේ සංකල්ප රූප ගොඩ නැගීමට යොදා ගත්තා ය. කෘතියේ මුඛ්‍යාර්ථය වූයේ ධනේශ්වර සමාජයේ කාන්තාව හා දරුවන් මුහුන දී සිටින ඛේදජනක තත්වය ප්‍රතිනිර්මානය කිරීම වු අතර අතීත කලා නිර්මානයෙන් පරිහරනයට ගත් මෙම උපුටා ගැනීම් ඊට මැනවින් උචිත විය.      

නතාෂාගේ කලාව සහ එහි ඇගවුම් ගැන, විශේෂයෙන් අදාල ප්‍රහසනයේ ආකෘතිය හා අන්තර්ගතය සම්බන්ධයෙන් එක වචනයක්වත් සිල්වා හෝ ජයගොඩ තම නිවේදන තුල ප්‍රකාශ නො කිරිම අහම්බයක් නො වේ. බොරුව සමාජගත කිරීම සදහා ඔවුන්ට ඒ ගැන සාකච්ඡා කිරීමෙන් වැලකීම අවශ්‍යය විය. නමුත්, ජයගොඩගේ කතාව තුල ම කලාකාරිනියට එල්ල වී ඇති ප්‍රහාරය ගැන එක වැකියක් විය. ඒ “අත්අඩංගුවට ගැනීම ගැන අපට කියන්න තියෙන්නෙ, මීට කලින් ආගමට අපහාස කල අය අත්අඩංගුවට ගත්ත ද?” යි යන්නයි. අවස්තාවාදී ලිස්සායෑමේ නියම ස්වභාවය පෙන්වන මෙම ප්‍රශ්නය, ආගමික උන්මත්තකයන් “අතීතයේ ඉඳන් එන මේ නාඩගමේ කොටස්කරුවො සියලු දෙනාම” අත් අඩංගුවට ගත යුතු යයි දියත් කර ඇති උද්ඝෝෂනයට සමපාත වේ. එමතුද නොව, එය රාජ්‍ය මර්දන හස්තය ශක්තිමත් කිරීම සඳහා කරන පැහැදිලි ඇරයුමකි.

ජවිපෙ හා පෙසප නිදහස් කලාවට දක්වන හතුරුකම එහි පන්ති ස්වරූපයයන්ම නිපන්නකි. නතාෂාගේ නිර්මානයට විරුද්ධත්වය පැන නගින්නේ එතැනිනි. කලාවට සම්බන්ධ ජවිපෙ සුලු ධනේශ්වර දේශපාලන වාර්තාව තුල 1988-89 කාලයේ අතිෂය නිර්මානශීලී හා ජනප්‍රිය ප්‍රවීන කලාකරුවන් ගනනාවක් ධනපති ඒකීය රාජ්‍ය රැකීමේ දේශප්‍රේමය උදෙසා ලෝබ නැතිව මරා දැමීම ඇතුලත් ය. ටිල්වින් සිල්වාට අනුව රැඩිකල් කම ලෝකයට මවා පෑම සඳහා නතාෂා ආගමික හිත් රිදවා ඇත. ඔහුගේ කලා විචාරය ඉස්මතු වන්නේ තම අවශ්‍යතාවට ගැලපෙන පරිදි නතාෂා “රැඩිකල්කම පෙන්වීම වැනි” කලාකරුවාගේ සිතිවිලි ලෙස තමන් විසින් ම සකසා ගත් අදහස්වලිනි. කලා කෘතිය හා එහි අදහස් කරන දෑ මොනවා වුවත් මේ ඊනියා කලා විචාරකයාට අදාල නැත.

දැන් ජයගොඩගේ යෝජනාව “සමාජයට සම්බන්ධ නැති ව්‍යුක්ත කලාව කියා එකක්” නැති නිසා කලාව හැම විටම සමාජය ගැන සංවේදී වී දේශපාලනය සමග සම්බන්ධ විය යුතු බව ය. “ඒ නිසා කලාකරුවා දේශපාලනික වෙන්න ඔනෙ” යි ඔහු අවධාරනය කලේ ය. මෙහි දී ජයගොඩ “තමන්ට හිතෙන හිතෙන විදියට වල් බූරු නිදහස කලාවට තියෙන්න ඕන කියල කලාව කිරීම හා සමාජය ගැන හිතා කලාව කිරිම” යනුවෙන් පැති දෙකක් යෝජනා කරයි. උක්ත ප්‍රකාශයේ දී  ඔහු පැහැදිලි ම තර්ක කරන්නේ ආගමික හැගීම් වැනි සංවේදී කාරනාවලින් කලාව පාලනය විය යුතු බව ය.

උදාහරනයක් හැටියට බෞද්ධයන්ගේ හිත් රිදවිමක් වෙලා තියෙනවා, මේ ප්‍රකාශය (නතාෂාගේ නිර්මාන) මගින්. මේ ප්‍රකාශය පාවිච්චි කරල අදහස් දැක්වීමේ අයිතියට, ප්‍රකාශනයේ නිදහසට, භාෂනයේ නිදහසට පහර දෙන්න හදනවා එක පැත්තකින්. ….තක්කඩි බලවේග මේ අස්සෙ සලු වෙන්න හදනවා,” මෙසේ ජයගොඩට අනුව ආන්ඩුව ප්‍රකාශනයේ හා භාෂනයේ නිදහසට පහර දීමට පෙරට පැමින ඇත්තේ  නතාෂාගේ නිර්මාන නිසා ය. ඒ නිසා එවන් නිර්මාන නො කල යුතු ය. 

ජයගොඩගේ හෝ සිල්වාගේ කලාව පිලිබඳ මෙම ආස්ථානයට මාක්ස්වාදී හෝ සමාජවාදී ආස්ථානය සමග මොනම හෝ සම්බන්ධයක්  නැත. ධනපති සමාජයේ පවතින අධිකාරී සංස්කෘතියට, පැවැත්මට කලාව යටකිරීමට යෝජනා කරන මෙම ප්‍රතිගාමී පිලිවෙතට එරෙහිව කලාව පිලිබඳ සමාජවාදී ආස්ථානය වොරොන්ස්කි පැහැදිලි කරන්නේ මෙසේය:

 “කලාව යනු ජීවිතය සංජානනය කිරීම යි…කවියා හෝ ලේඛකයා අවට යථාර්ථයෙන් සෑහීමකට පත් නොවන විට, ඔහු නිරායාසයෙන්ම එය තිබෙන ආකාරයට නොව, විය යුතු ආකාරයට නිරූපණය කිරීමට උත්සාහ කරයි;  ඔහු අනාගතයේ වැස්ම අර්ධ වශයෙන් ඉවත් කර මිනිසාට ඔහුගේ පරමාදර්ශය පෙන්වීමට උත්සාහ කරයි.  ඔහු පරමාදර්ශී “හෙට දවස” නම් ප්‍රිස්මය හරහා අද යථාර්ථය බැලීමට පටන් ගනී. ඉහලම තලයන් දක්වා අඳිනු ලැබූ මිනිසාගේ සිහින, ආශාවන් හා පැතුම් හොඳම කලාකරුවන්ගේ නිර්මාන කාර්යයන්හි පදනම වූ අතර එය දිගටම එසේ වන්නේය.” [ඒ.කේ.වොරොන්ස්කි, ‘කලාව ජීවිතය සංජානනය කිරීම ලෙස, හා සමකාලීන ලෝකය’, 1923]

කලා කෘතියක  සීමාව තීරනය කරනුයේ කලාවමය. කලාවේ දේශපාලනය යනු සීමා පනවා ගැනීම නො ව සීමා බිදීම ය. නො එසේ ව, එය නැවුම් දෑනීම් හා හැඟීම ජනිත කරන්නේ කෙසේ ද?  සමාජ ඥෙය මඩල පුබුදුවන්නේ කෙසේ ද? ලෝකය වෙනස් කිරීමේ මිනිසාගේ නොතිත් යත්නයට දායක වන්නේ කෙසේ ද? කලාවේ මෙම නිදහස ප්‍රතික්ශේප කරන්නෝ එහි හතුරෝය. 

පෙසප නායකයා පෙරට දමන්නේ අතිෂය ආත්මාර්තකාමී සුලු ධනේශ්වර අවශ්‍යතාවකි. ඔහුගේ මේ වචන සලකා බලන්න: “අරගලයේ දී දේශපාලනය ගැන හිතන අයයි, එලෙස නොවන සාමාන්‍ය ජනතාවයි  අතර කිසියම් ආකාරයේ අවබෝධයක් හැදිල තියෙනවා. ජාතිකවාදයට, ආගම්වාදයට විරුද්ධ නමුත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන සංවේදී වූ ලිබරල් අදහස් දැරූ පිරිස් සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ඒ තරම් සංවේදී නැති නමුත් තමන්ගේ ජාතික ආගමික අනන්‍යතා ගැන සංවේදී ව හිටපු ජාතකවාදී කොටස් අතර යම් අවබෝධයක් හැදිල තියනවා.” මෙම මලකුනු සමාජ කන්ඩායම් අතර වඳ බහු විවාහයට යතාර්තවාදී කලා නිර්මාන බාධාවක් වීම ය ජයගොඩගේ සංවේදීතාව ය. ඔහුට අනුව මේ ලිබරල්ලු, ජාතික ආගමික අනන්‍යතා කල්ලි, ආගම්වදයට විරුද්ධ කන්ඩායම්, ප්‍රජාතන්ත්‍රවාදයට සංවේදී නැති කල්ලි යනාදී සියලු දේ එකට ඇනූ ඔහු හා පෙසප ද අයත් සංධානය පවත්වා ගැනීම හෙවත්, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්, දක්ෂිනාංශික ව්‍යාජ-වාම පෙරමුන පන පිහුටුවා පවත්වා ගැනීම කලාකරුවාගේ කර්තව්‍ය විය යුතු ය!

මීට ප්‍රතිපක්ෂව කොක්‍රික උද්ඝෝෂනය පදනම් වූයේ කලාවට සීමා පැනවීමට එරෙහිව එහි නිදහස රැකීම වැඩකරන පන්තියේ නිදහස සමඟ බැඳී පවතීය යන සත්‍යය  මත ය. අර්බුදය ගැඹුරුවත්ම ධනපති පාලක පන්තිය කලාවට හා ප්‍රකාශනයේ නිදහසට එරෙහිව, අද පෙසප ආරක්ෂා කරන සංධානයටම අයත්  අන්ත ප්‍රතිගාමී බලවේග මත පදනම් වූ ෆැසිස්ට් බලවේග සූදානම් කරනු ඇත. කලාවට එරෙහි ⁣ඉහත කී ව්‍යාජ වාම ප්‍රතිපත්ති වලට නෑකම් කියූ ස්ටැලින්වාදී ප්‍රහාරය සම්බන්ධව අන්ඩ්‍රේ බ්‍රෙටන් හා ඩියෝගෝ රිවේරා 1938 දී කරන ලද කැඳවුම මේ නිසා අදට ද අදාල ය:

“කලාවේ සෑම ප්‍රගතිශීලී ප්‍රවනතාවක්ම ෆැසිස්ට්වාදය විසින් ‘පරිහානිගත’ ලෙස හදුන්වා විනාශ කරයි.  සෑම නිදහස් නිර්මානයක්ම ස්ටැලින්වාදීන් විසින් ‘ෆැසිස්ට්’ ලෙස හඳුන්වයි.  ස්වාධීන විප්ලවවාදී කලාව දැන් ප‍්‍රතිගාමී ප්‍රහාරයට එරෙහි අරගලය සඳහා සිය බලවේග එකතු කල යුතුය.  එය තම පැවැත්මේ අයිතිය උස් හඬින් ප්‍රකාශ කල යුතුය.” [ස්වාධීන විප්ලවවාදී කලාවක් සඳහා ප්‍රකාශනය]

අව්‍යාජ, නිදහස් කලාව ඊට නියමිත තැනට ඔසවා තබනු ඇත්තේ කම්කරු පන්තිය ධනේශ්වරයට එරෙහි දේශපාලන බලය තහවුරු කරගැනීම සදහා ගෙන යන අරගලයේ ජයග්‍රහනයෙන් ම පමනක් බව සෑම අතින් ම සත්‍යාපනය වී ඇත. ඒ සදහා ප්‍රථම කොන්දේසිය වන්නේ මෙම ප්‍රතිගාමී ව්‍යාජ-වාම පෙරමුන හෙලිදරව් කර කුඩු කර දැමීම ය.

නතාෂාගේ ප්‍රහසන කලාවට කෝපාවිශ්ට වූ ව්‍යාජ වාම පෙරමුනට එරෙහිව කලාවේ නිදහස සදහා අරගලය  පෙරට Read More »

france police

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී

සැමුවෙල් ටිසෝට් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 03 දින පල වූ ‘Macron’s police state launches brutal crackdown on French protesters‘ යන සැමුවෙල් ටිසෝට් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය එස්එෆ් විසිනි.

පසුගිය අඟහරුවාදා පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන නන්තෙරේහිදී 17 හැවිරිදි නහෙල් එම්. පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසුව, සති අන්තයේදී  විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ප්‍රංශය පුරා පැවතුනි. පවතින අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඉරිදා සවස ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් හදිසි කැබිනට් රැස්වීමක් පැවැත්වීය.

france police
2023 ජූලි 1 සෙනසුරාදා, පැරිසියේ චැම්ප්ස් එලිසීස් හි ආර්ක් ඩි ට්‍රයම්ෆ් ඉදිරිපිට පොලිස් නිලධාරීන් මුර සංචාරයේ [AP Photo/Christophe Ena]

ප්‍රංශය පුරා සහ ජාත්‍යන්තරව දැවැන්ත කෝපයක්  පිටාර ගැලීමට හේතු වූයේ හුදෙක් ඝාතනය පමනක් නොවේ මෙකී මිනීමැරුම වසන් කරමින් එය ආත්මාරක්ෂාව සඳහා සිදු කල එකක් බවට පෙන්නුම් කිරීම සඳහා – තම ජීවිත වලට තර්ජනයක් නොමැතිව තිබියදී තරුනයාට අතේ දුරින් සිට වෙඩි තැබූ බව පෙන්නුම් කරන වීඩියෝවක් නිකුත් වීමට  පෙර – ඊට  සම්බන්ධ නිලධාරීන් ගත් උත්සාහය ද ඊට හේතු විය.

සෙනසුරාදා, සාමකාමී විරෝධතාකරුවන් දහස් ගනනකගේ සහභාගීත්වයෙන් නන්තෙරේ හි නහෙල්ගේ අවමංගල්‍යය පැවැත්විනි.

ප්‍රංශය පුරා ඇති වූ ප්‍රචන්ඩ ගැටුම් හේතුවෙන් සිකුරාදා රාත්‍රියේ පුද්ගලයන් 1,300ක් අත්අඩංගුවට ගත් අතර සෙනසුරාදා රාත්‍රියේ තවත් 719ක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම මර්දනය දියත් වී ඇත්තේ, මෙම වසන්තයේ දී මැක්‍රොන් ඔහුගේ විශ්‍රාම වැටුප් කප්පාදුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස ක්‍රියාවට නැංවීමේදී ප්‍රංශ පොලිසිය විසින් දහස් ගනනක් අත්අඩංගුවට ගනු ලැබීමෙන් පසුවය.

ප්‍රංශයේ ප්‍රධාන නගර හෙලිකොප්ටර්, සන්නද්ධ මෝටර් රථ සහ “කැරලි මර්දන” ගිනි අවිවලින් දැඩි ලෙස සන්නද්ධ පොලිස් බලකායක් විසින් වටලනු ලැබ ඇත. සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රියේ ජාතික වශයෙන් පොලිස් භටයන් 45,000 බලමුලු ගන්වන ලද අතර, ඊට  අමතරව සෑම රාත්‍රියකම වැර ගැන්වීම් ලෙස 7,000 බැගින්  පැරීසියට යවන ලදී.

සති අන්තයේ සන්නද්ධ මෝටර් රථ සහිතව නිවහන් ප්‍රදේශ අල්ලා ගන්නා විශේෂිත RAID ඒකක මාර්සෙයිල් සහ ලියොන් වෙත යොදවන ලදී. මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි විරෝධතා වලදී අප්‍රේල් මාසයේදී පැරිසියේ පෙලපාලිකරුවන් කුපිත කර ත‍්‍රස්ත කල කුප්‍රකට BRAV-M ඒකක ද යොදවන ලදී.

සමාජ මාධ්‍යවල පොලිස් ප්‍රචන්ඩත්වය පිලිබඳ සාක්ෂි වාරනය කිරීමට මැක්‍රොන් ආන්ඩුව දරන උත්සාහයන් නොතකා, වීඩියෝ දර්ශන, බොහෝ දුරට අනාරක්ෂිත විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාර වල   ප්‍රචන්ඩත්වය පෙන්වයි. මාධ්‍යවේදීන් ගැටුම් පටිගත කිරීම වැලැක්වීමට පොලිසිය දරන උත්සාහයන් වෙනත් වීඩියෝවල දැක්වේ.

බොහෝ ප්‍රංශ නගරවල පොලිස් භටයන් සහ බොහෝ සෙයින් තරුනයන්ගෙන් සමන්විත විරෝධතාකරුවන් අතර සටන් ඇති විය. Nemours, Pau සහ Combs-la-Ville නගරවල පොලිස් ස්ථාන ගිනි තබා ඇත. පැරිස්, මර්සෙයිල් සහ ලිලී පුරා පොදු ගොඩනැගිලි ගිනිබත් කරන ලදී. උතුරු පැරිසියේ තදාසන්න ප්‍රදේශයක් වන ඕබර්විලියර්ස් හි බස් නැවතුම්පොලක් ගිනිබත් කර බස් රථ 12 ක් විනාශ විය. Lyon හි කන්ඩායම් ආයුධ සහ ජීව උන්ඩ රැගත් පොලිස් වාහනයකට කඩා පැන්න අතර එම අවි තවමත් සොයා ගෙන නොමැත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙහාල්ඩ් ධර්මනා (Gérald Darmanin)ගේ නියෝගය මත, සිකුරාදා සහ සෙනසුරාදා රාත්‍රියේ ප්‍රංශය පුරා ට්‍රෑම් රථ සහ බස් සේවා රාත්‍රී 9 සිට අවලංගු කරන ලදී. . මෙය ඉරිදා පැරිස් මෙට්‍රෝ සේවය දක්වා ව්‍යාප්ත විය. සති අන්තයේදී , Lille, Marseille සහ Lyon හි පොදු ප්‍රවාහනය අවලංගු කරන ලද අතර සවස් භාගයේ සිට කන්ඩායම් වශයෙන් රැස්වීම් තහනම් කරන ලදී. සතිය මුලදී ගැටුම් ඇති වූ ප්‍රදේශ පුරා පිහිටි කුඩා නගරවල ද එවැනිම පියවර ගන්නා ලදී.

පොලිස් මර්දනයට සහ සමාජ තත්වයන්ට එරෙහි කෝපය බෙල්ජියම සහ ස්විට්සර්ලන්තය දක්වා පැතිර ගියේය. ස්විට්සර්ලන්තයේ ලෝසාන් නගරයේ දී සෙනසුරාදා රාත්‍රියේ පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රංශයේ මුහුදින් එතෙර ප්‍රදේශ වන රියුනියන්හි සහ ප්‍රංශ ගයනාහි  ද සැලකිය යුතු ගැටුම් ඇති විය. ප්‍රංශයේ තත්ත්වය පිලිබඳ ජාත්‍යන්තර නොසන්සුන් සහගත බව පිලිබිඹු කරමින් ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් ප්‍රකාශ කලේ තමා “කනස්සල්ලෙන් බලා සිටින” බවයි.

ප්‍රංශයේ ධනේශ්වර දේශපාලඥයින් කෙරෙහි  පොදු වෛරය පිලිබඳ අවබෝධයක් ලබා දෙන එක් සිදුවීමක් L’Haÿ-Les-Roses නම් කුඩා නගරයේදී සිදු විය. එහිදී දක්ෂිනාංශික Les Républicains හි සාමාජිකයෙකු වන ප්‍රාදේශීය නගරාධිපතිවරයෙකුගේ නිවහනේ ධාවන පථයට ගිනිගත් මෝටර් රථයක් තල්ලු කරන ලදී. ප්‍රංශ අගමැතිනි එලිසබෙත් බෝර්න් එම ස්ථානයට වහාම ගොස් ආන්ඩුව සහ පොලිසිය ඔවුන්ගේ ඡන්දදායකයන්ගෙන් ඔවුන්ව ආරක්ෂා කරන බවට නිලධාරීන්ට ප්‍රසිද්ධියේ සහතික විය.

විශ්‍රාම වැටුප් කප්පාදු අරගලයෙන් සෘජුවම ගලා එන මෙම විරෝධතාවල ප්‍රකාශිත දේශපාලන ස්වභාවය ප්‍රතික්ෂේප කිරීමට මැක්‍රොන් ආන්ඩුව විසින් සැලකිය යුතු උත්සාහයක් ගෙන තිබේ. සෙනසුරාදා මැක්‍රොන් ප්‍රකාශ කලේ, “[සමාජ මාධ්‍ය වේදිකා] කිහිපයක ප්‍රචන්ඩ රැස්වීම් සංවිධානය කරනු අපි දැක ඇත්තෙමු – එහෙත් එක්තරා ආකාරයකට ප්‍රචන්ඩත්වය හාසකානුකරනය කිරීමක් ද සිදු වේ. … එය ඔවුන්ව මත් කර ඇති වීඩියෝ ක්‍රීඩා තුල ජීවත් වීමකි.”

මෙය ප්‍රතිරාවය කරන්නේ කහ කබා විරෝධතා අතරතුර, තම ජනාධිපති ධුරයට එරෙහි දැවැන්ත විරෝධය සම්බන්ධයෙන් ෆේස්බුක් වෙත දොස් පැවරූ  මැක්‍රොන්ගේ ප්‍රකාශයය.

විරෝධතා, නිර්පාක්ෂික සහ දරුනු අපරාධකරුවන්ගේ ක්‍රියාවන් ලෙස හුවා දැක්වීමට රජයේ ප්‍රකාශක ඔලිවියේ වේරොන් (Olivier Véran) පසුව උත්සාහ කලේය: “මෙහි දේශපාලන පනිවිඩයක් නොමැත. ඔබ Foot Locker, Lacoste හෝ Sephora වෙලඳසැලක් කොල්ලකන විට එහි දේශපාලන පනිවිඩයක් නැත. ඒ කොල්ලකෑමකි. ”

ප්‍රංශයේ තරුනයින්ට තම අතෘප්තිය ප්‍රකාශ කිරීමට ප්‍රචන්ඩත්වයට යොමු විය යුතු යැයි හැඟේ නම් ඒ සමාජ මාධ්‍ය හෝ වීඩියෝ ක්‍රීඩා නිසා නොව, ඔවුන් ජීවත් වන බිහිසුනු සමාජ තත්වයන් සහ ස්ථාපිත දේශපාලන පක්ෂ විසින් දේශපාලන විකල්ප ඉදිරිපත් කිරීමක් නො කෙරෙන තතු තුලය. වඩාත් ප්‍රචන්ඩ ගැටුම් සංකේන්ද්‍රනය වුනු  පැරිසියේ, ලියොන් සහ මර්සෙයිල් හි තදාසන්න ප්‍රදේශවල දරිද්‍රතාවය සහ විරැකියාව ආවේනික වේ.

කම්කරු පන්ති ප්‍රදේශවල තරුනයින් මුහුන දෙන යථාර්ථය නම් රැකියාවක් නොමැති ව, ගුනාත්මක අධ්‍යාපනයක් සඳහා ප්‍රවේශයක් නොමැති ව සහ  – නෙහෙල් සිද්ධියේදී මෙන් මාරාන්තික තර්ජන නොවේ නම් – පොලිස් නිලධාරීන් අතින් අඛන්ඩ හිරිහැරවලට ලක්වීමට සිදුවීමයි. විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලයේ දී  ඔවුන්ගේ ද්‍රෝහී භූමිකාවෙන් පෙන්නුම් කල පරිදි, මැක්‍රොන්ට විරුද්ධ යැයි කියාගන්නා ව්‍යාජ-වාම පක්ෂ සහ වෘත්තීය සමිති නිලධරයෝ, මෙම තරුන තරුනියන් දරිද්‍රතාවයේ ජීවිත තුලට  පිරි හෙලා දමා ඇති  ධනේශ්වර ක්‍රමයට සැබෑ විරුද්ධත්වයක් ඉදිරිපත් නොකරති.

සති අන්තයේ සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු වූයේ, සිකුරාදා පොලිස් වෘත්තීය සමිති විසින් “අපි යුද්ධයක යෙදී සිටිමු” යනුවෙන් ෆැසිස්ට්මය ඒකාබද්ධ ප්‍රකාශයක් සිදු කරමින්, “අත්අඩංගුවට ගන්නන් අක්‍රිය කරවන බවට” තර්ජනය කිරීමෙන් පසුවය. ඒකාබද්ධ ප්‍රකාශය තවදුරටත් කියා සිටියේ, “මෙම ම්ලේච්ඡ රංචුවලට මුහුන දී, සන්සුන් වනසේ  ඉල්ලා සිටීම තවදුරටත් ප්‍රමානවත් නොවේ, අපි එය පැනවිය යුතුයි. … මෙම පලිබෝධකයන්ට එරෙහිව සටන් කිරීමට ( කාලයයි).”

ප්‍රන්ස දේශපාලන පන්තියේ සැලකිය යුතු කොටස් “පලිබෝධකයන්ට ” එරෙහි පොලිසියේ “යුද්ධය” සමග මුලුමනින්ම සහයෝගී වී ඇති අතර ඊටත් වඩා දැඩි ප්‍රතිචාරයක් ඉල්ලා සිටිති. ඉරිදා වීඩියෝ දේශනයකදී අන්ත දක්ෂිනාංශික නායක මරින් ල පෙන් (Marine Le Pen) ප්‍රංශයේ “අරාජිකත්වය” හෙලා දුටු අතර හදිසි තත්වයක් හෝ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. කොන්සර්වේටිව් Les Républicains හි නායක එරික් සියොටි (Eric Ciotti) ප්‍රකාශ කලේ, “මම මගේ මුලු බලයෙන් පොලිසියට, ෂොන්ඩාම්ට  (පැරාමිලිටරි  පොලිසියට) සහ ඔවුන්ට අන දෙන අයට සහාය දෙමි,” යනුවෙනි. 

දෙදෙනාම ව්‍යාජ වාම NUPES සන්ධානයේ නායක ජාන්-ලුක් මෙලන්ෂොන්  හෙලා දුටුවෝය. සියොටි ඔහු හැඳින්වූයේ “ජනරජයට අනතුරක්” ලෙසයි. මන්දයත්,  මෙලන්ෂොන්, පොලීසිය “පාලනයක් නැති ” එකක් ලෙස විස්තර කල බැවිනි. සාමකාමී විරෝධතාවලට එරෙහිව මාස ගනනාවක් තිස්සේ පැවති ප්‍රචන්ඩ මර්දනය සහ 17 හැවිරිදි පිරිමි ලමයෙකු ම්ලේච්ඡ ලෙස ඝාතනය කිරීම වසන් කිරීමට ගත් උත්සාහයෙන් පසුව සිදු කල  මෙම ප්‍රකාශය දැවැන්ත ලෙස තත්ත්වය අඩුවෙන් ප්‍රකාශ කිරීමක් විය.

මෙලන්ෂොන් යනු 2022 මැතිවරන අර්බුදය සහ මැක්‍රොන්ගේ විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරනයට එරෙහි අරගලය තරනය කිරිමට  ධනේශ්වර පස්වන ජනරජයට මුක්කු ගැසූවෙකු මිස, කිසිසේත් ඊට අනතුරක් නම්  නොවේ. ඔහු නියෝජනය කරන්නේ, කම්කරු පන්තියේ සමාජ අභිලාෂයන්ට ඓන්ද්‍රීයව සතුරු වන අතරම, පොලීසියේ සහ ඔවුන්ගේ දේශපාලන අනුග්‍රාහකයන්ගේ නිර්ලජ්ජිත අපරාධකාරීත්වය විසින් අවුලුවාලිය හැකි සමාජ ප්‍රතික්‍රියාවට බියෙන් සිටින ධනේශ්වරයේ තටුවකි.

අර්බුදයට ඔහුගේ ප්‍රතිචාරය වී ඇත්තේ මැක්‍රොන් ආන්ඩුව සහ එහි පොලිස් රාජ්‍යය බිඳ දැමීම සඳහා කැඳවීම නොව, පොලීසියට වඩා හොඳ පුහුනුවක් සහ ස්වාධීන අධීක්ෂන කොමිෂන් සභා මාලාවක් ගොඩනැගීම යන ඉල්ලීම් ප්‍රධාන වන, දත් ​​නැති “හදිසි ප්‍රකාශයක්” ඉදිරිපත් කිරීමයි. “පලිබෝධකයන්” සමඟ “යුද්ධයේ” සිටින බව ප්‍රකාශ කරන අතිශය ප්‍රචන්ඩකාරී පොලිස් නිලධාරීන්ගේ  බලවේගයක් “ප්‍රතිසංස්කරනය” කල හැකිය යන විකාර අදහස ප්‍රංශ ව්‍යාජ වම්මුන්ගේ දේශපාලන බංකොලොත් භාවයේ තවත් උදාහරනයකි.

එක්සත් ජනපද ඩිමොක්‍රටික් පක්ෂය පොලිස් ප්‍රචන්ඩත්වයට එරෙහි විරෝධතාකරුවන් සමඟ සහයෝගී වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් විරෝධතා වලින් ඉක්බිතිව, බයිඩන් බලයට පත්වී පොලිසියට අරමුදල් සැපයීම සහ මිලිටරිකරනය දැවැන්ත ලෙස වැඩි කිරීම ප්‍රංශ ජනතාවට අනතුරු ඇඟවීමක් විය යුතුය. මෙලන්ෂොන් හෝ වෙනත් ඕනෑම ධනේශ්වර දේශපාලඥයෙකු පොලීසියට හෝ ඔවුන් ආරක්ෂා කරන ධනේශ්වර පද්ධතියට එරෙහිව අරගලයක් දියත් කරනු නැත.

සමාජවාදී සමානතා පක්ෂය ව්‍යාජ-වාම පක්ෂවලින් සහ මැක්‍රොන් ගැති වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම සඳහා කැඳවුම් කරයි. පොලිස් ප‍්‍රචන්ඩත්වයෙන් කම්කරුවන් හා තරුනයින් ආරක්ෂා කර, වෛරයට පාත්‍ර වූ මැක්‍රොන් ආන්ඩුව බිඳ දැමිය හැක්කේ ප‍්‍රන්ස හා යුරෝපීය කම්කරු පන්තියේ මහජන බලමුලු ගැන්වීමකට පමනි.

මැක්‍රොන්ගේ පොලිස් රාජ්‍යය ප්‍රංශ විරෝධතාකරුවන් මත කුරිරු මර්දනයක් මුදාහරී Read More »

Scroll to Top