theSocialist.LK ත්‍රෛභාෂික වෙබි අඩවියක් ලෙස අන්තර්ගතය හා ආකෘතිය වර්ධනය කර දියත් කෙරේ

theSocialist.LK කර්තෘ මන්ඩල ප්‍රකාශය. 

Image
ජායාරූපය : නව ග්‍රලෝකය, 1921 කොන්ස්ටන්ටින් යූන් විසිනි. © රාජ්‍ය ට්‍රෙට්යාකොව් Tretyakov ගැලරිය,

කම්කරුවනි, සහෝදරවරුනි, මිත්‍රවරුනි,

බ්ලොග් අඩවියක් ලෙස පසුගිය මාර්තු 11 දින සිට ආරම්භ කර ඔබ වෙත විප්ලවවාදී ඥානය සමීප කළ අන්තර්ජාල ප්‍රකාශනය, theSocialist.LK – Global Socialist Reviews, අද දින (25) වෙබ් අඩවියක් ලෙස දියත් කෙරෙන බව අපි ඔබට සතුටින් දැනුම් දෙමු. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගතව, ආකෘතියෙන් උසස් කරනු ලැබ ඇති එය සිංහල, දෙමල, ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම, දේශපාලනය, ආර්ථිකය, පන්ති අරගල, ඉතිහාසය, කලාව-සංස්කෘතිය හා විද්‍යාව යන අංශවල අන්තර්ගතයෙන් පලල් හා නිරවුල් ඥානය කම්කරු, පීඩිත  මහජනතාව වෙත කාලීනව ගෙන ඒම සඳහා කැපවී ගනු ඇත.

ජාත්‍යන්තර වැඩකරන පන්තියේ ඓන්ද්‍රීය කොටසක් ලෙස ලංකාවේත්, දකුනු ආසියානු කලාපයේත් කම්කරු, පීඩිත මහජනතාව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පෙරටු කරගත් සමාජ විප්ලවයට සූදානම් කිරීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අධ්‍යපනගත කරගැනීමේ වේදිකාවක් බවට theSocialist.LK පත් කිරීම අපගේ අභිප්‍රාය වන්නේ ය.

දෙමසක පමන කාලයක් තුල බ්ලොග් අඩවිය තුලින් ජාත්‍යන්තර දේශපාලන-ආර්ථික අත්දැකීම් කම්කරු පන්තික ආස්ථානයකින් විශ්ලේෂනාත්මකව ඔබ වෙත ගෙන ඒම සඳහා අපි කටයුතු කලෙමු. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ලිපිවලින් තෝරාගත් ලිපිවල සිංහල පරිවර්තනයන් ද ඇතුලුව, මේ කෙටි කාලය තුල එහි පල කරන ලද ලිපි ගනන  66 කි. දිනෙන් දින එයට ලැබුනු පාඨක ආකර්ශනය, සමාජ යථාර්ථය විනිවිදින නව දැනුම සොයා යාමේ වෛශික ආශක්තතාවයට සාක්ෂි දැරීය. විප්ලවවාදී දේශපානික භාවිතාවට එය උත්ප්‍රේරකයකි.

ප්‍රකාශනයේ හා රැස්වීමේ නිදහස ලෙයින් මැඩීමට අවි අමෝරාගත් ධනපති ආන්ඩුවල ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු පන්තියට, තරුනයන්ට, කලාකරුවන්ට හා අව්‍යාජ බුද්ධිමතුන්ට තමන්ගේම අදහස් ප්‍රජාතන්ත්‍රවාදීව සාකච්ජා කිරීම හා බෙදාගැනීම සඳහා ද, ස්වකීය ප්‍රතිප්‍රහාරය සූදානම් කර ගනිමින් සම්බන්ධීකරනය කර ගැනීම සඳහා ද අවශ්‍ය ස්වාධීන ප්‍රකාශන මාධ්‍ය තව තවත් අවශ්‍ය වී තිබේ. ඔවුන්ට අසා, විමසා දැනගැනීමට මෙන්ම කියන්නට, ලියන්නට ද බොහෝ දේ ඇත. වැඩ කරන ජනතාවගේ අරගලවල එකමුතුව සදහා උචිත දේ විශ්වසනීයව සංනිවේදනය කිරීමට ඇති ඉඩප්‍රස්ථා අතිශය දුර්ලභ ය.  ඒ නයින් theSocialist.LK යනු පන්ති අවශ්‍යතාවයෙන් නිපන්නකි. 

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) හා ලෝසවෙඅ අපෝහක භෞතිකවාදී විධික්‍රමය, ව්ශ්ලේෂන හා ක්‍රියා මාර්ගය මත පදනම් වන theSocialist.LK ජාතික හා ජාත්‍යන්තර වැඩ කරන ජනයාගේ අධිරාජ්‍ය විරෝධී එකමුතුව වෙනුවෙන් පෙනී සිටිනු ඇත.  ස්ටැලින්වාදය පෙරටු කරගත් අවස්ථාවාදී දේශපාලනය විසින් විනාශ කරන ලද සමාජවාදී සංස්කෘතිය පුනස්ථාපනය කිරීමට හජාජාක දියත් කල ස්ථිරසාර  වැඩපිලිවෙලට අනුකූලව සිය වැඩකටයුතු කරගෙන යාමට එය බැඳී සිටී.  

මහා අවපාතයෙන් මෙපිට ලෝක ආර්ථිකයේ ගැඹුරුම ආර්ථික හා මූල්‍ය අර්බුදයට මුහුන දී ඇති අධිරාජ්‍යවාදී පද්ධතිය, එහි ම්ලේච්ජතම ප්‍රකාශනය වන එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝව, යුක්‍රේනය මැදිකරගෙන රුසියාවට එරෙහිව දියත් කර ඇති යුද්ධය තුල, න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායක අභියසට මානව සංහතියම හෙලා ඇත. ලොව දෙවන බලවත්ම ආර්ථිකය ලෙස චීනයට  එරෙහිව කෙරෙන ප්‍රකෝපකරනයන් ආසියානු ෆැසිපික් කලාපයම යුද වාසුලියක් දෙසට ග්‍රහනය කරගනිමින් සිටී. ලොව පුරා මිලියන විස්සකට අධික මහජනතාවක්, වැලැක්විය හැකිව තිබූ වසංගතයක ගොදුරු බවට පත්කරමින් මිනී කඳු ගොඩගැසීම ආශිර්වාදයක් කරගත් පාලක පන්තීන්,  යුද්ධයේ වියදම වැඩකරන මහජනයා හා පීඩිතයන් මතින් අයකරගනිමින් සිටී. 

යුද්ධයද, කප්පාදුව ද අවසන් කල යුතුය, අවසන් කල හැකිය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරගත යුතුව ඇත. එහෙත්, එය කලහැක්කේ වැඩකරන මහජනතාවගේ දැනුවත් විප්ලවවාදී ගෝලීය ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් පමනි. එය ජාතිකව ඒ ඒ පාලක පන්තියට එරෙහිව ආරම්භකත්වය ගත යුත්තේය. ⁣ලියෝන් ට්‍රෙට්ස්කි දීප්තිමත්ව විශ්ලේෂනය කල පරිදි, “සමාජවාදී විප්ලවය ජාතික තලයේ ආරම්භ වී, ජාත්‍යන්තර තලයේ දිග හැරී ලෝක තලයේ සම්පූර්ණ වේ”.

මේ සත්‍යයන් සනාථ කරන්නේ, වර්මාන අර්බුදය මුදා හරිනු ලැබුවා වූ සමාජ ආර්ථික ගතිකයන් හරියටම වටහා ගනිමින්, ඒවායේ විප්ලවවාදි ප්‍රවනතා සෙසු ප්‍රවනතාවන්ගෙන් වෙන් කරගෙන, අප්‍රතිහත ධෛර්යයෙන් හා දිවි දෙවැනිකොට වැඩකරන පන්තියේ ප්‍රතිප්‍රහාරය වර්ධනය කිරීමට කැපවී ගැනීමේ අවශ්‍යතාවය යි. ඊට අඩු යමකින් වත්මන් පන්ති අරගලයට ඉදිරි ගමනක් පැවතිය නොහැකිය. එය එහි සියලු සතුරන් නිර්දය ලෙස හෙලිදරව් කිරීම ඉල්ලා සිටී.  අපි, theSocialist.LK  එම වගකීම දරා සිටිමු.

වෙබ් අඩවිය නිතිපතා කියවන ලෙසත්, එයට ඔබගේ අදහස්, විවේචන යොමුකරන ලෙසත්, අත්‍යවශ්‍ය දේශපාලන සාකච්ජාවන් සඳහා අවකාශයන් විවෘත කරගැනීමට අප සමග එක්වන ලෙසත්, ඔබට හැකි උපරිම මූල්‍යමය අනුග්‍රහයන් වෙබ් අඩවිය සඳහා ලබා දෙන ලෙසත් අපි ඔබෙන් සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top