අන්තර්ජාතික පියවීම් බැංකුව අර්බුදයේ පවතින මූල්‍ය පද්ධතියක් වගුගත කර දක්වයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 26 දින පල වූ ‘Bank for International Settlements report charts a financial system in crisis‘ යන නික් බීම්ස් සහෝදරයා ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය පරාක්‍රම කුරුප්පු විසිනි. 

ලෝකයේ මහ බැංකුවල ඡත්‍ර සංවිධානය වන අන්තර්ජාතික පියවීම් බැංකුවේ (Bank for International Settlements – BIS) වාර්ෂික වාර්තාව ගැඹුරු වෙමින් පවත්නා ගැටලුවලින් විනාශ මුඛයට පත් ව ඇති ලෝක මූල්‍ය පද්ධතියක් පිලිබඳ තොරතුරු දක්වයි. මේ ගැටලු එක එකක් ගත් කල, 2008 අර්බුදයේ පරිමානය හා සැසඳෙන හෝ එය ඉක්මවා යන අර්බුදයක් ඇවිලවීමෙහි ලා ඒ සෑම එකක් ම සමත් ය. 

BIS
ස්විට්සර්ලන්තයේ බාස්ල්හි පිහිටි අන්තර්ජාතික පියවීම් බැංකුව (BIZ) [ඡායාරූපය: ව්ලඩිස්ලෝ සෝකා (නිදහස් කලා බලපත්‍රය 1.3)]

වාර්තාවේ මුඛ්‍යාංගයක් වනුයේ එය, කිසියම් කාලයක දී මූල්‍ය ස්ථායීතාවයට එල්ල වූ තර්ජනයන් මැඩ පැවැත්වීම සඳහා ගන්නා ලද, එම අවස්ථාවන්හි දී තාර්කික ප්‍රතිචාරයකැයි පෙනී ගිය පියවරයන්, ඊට ද වඩා තීව්‍ර ආකූලතාවයන් විදාරනය කිරීම සඳහා කොන්දේසි නිර්මානය කර ඇති බව වර්තමාන තත්ත්වය නිරූපනය කිරීම මඟින් පැහැදිලි ව පෙන්වා දීමයි.    

සති අන්තයේ දී නිකුත් කරන ලද වාර්තාව මෙසේ ඇරඹෙයි: “ලෝක ආර්ථිකය තීරනාත්මක හා උපද්‍රවකාරී වකවානුවකට සේන්දු වී ඇත. ප්‍රතිපත්ති සම්පාදකයන් මුහුන දී සිටින්නේ අතුල්‍ය අභියෝගවලින් සැදුම් ලත් තාරා මන්ඩලයකට ය. ඒ සෑම එකක් ම, වෙන් වෙන් වශයෙන් ගත් කල, අලුත් ඒවා නොවේ; එහෙත් ඒවා ගෝලීය පරිමානයක සංයෝජනය වී තිබීම; එය අලුත් දෙයකි.”   

ධනේශ්වර ක්‍රමයේ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධයන් මාක්ස්වාදී ව්‍යාපාරය විසින් හෙලිදරව් කෙරෙන විට, “ව්‍යසන වෙලඳාම් කිරීම” සහ “අතිශයෝක්තිය” පිලිබඳව චෝදනා නඟමින් එය හෙලා දුටු සෑම මාධ්‍යවේදියෙකුම, තීරු ලිපි රචකයෙකු ම සහ ශාස්ත්‍රාලිකයෙකු ම, හරියටම අදාල ප්‍රභවයෙන් නිපන් – ඉංග්‍රීසි පිරුලකට අනුව කිවහොත් අශ්වයාගේ කටින් ම පිට වී ඇති ඔත්තුවක් වන – මෙම වචනවලින් තමන්ගේ පරිගනක තිර සරසා ගැනීම ඇතැම්විට යෝග්‍ය විය හැකිය.     

පශ්චාත් යුද්ධ කාල පරිච්ඡේදයේ මින් පෙර නොදුටු විරූ පරිදි දකින්නට ලැබෙන, රාජ්‍ය හා පෞද්ගලික යන දෙ අංශයේ ම නය වර්ධනය වීමේ ප්‍රතිඵල වශයෙන් ඇති වී ඇති ඉහල උද්ධමනයේ හා වැඩෙමින් පවතින මූල්‍ය අනාරක්ෂිතභාවයේ සංයෝජනය පිලිබඳ කරුන වාර්තාව සිය විශ්ලේෂනයේ කේන්ද්‍රයෙහි ම තබා ඇත. මෙකී ගැටලු අතීතයේ දී ද උද්ගත වී ඇත; එහෙත් ඒ එකවර නොවේ. 1970 ගනන්වල සහ 1980 ගනන්වල මුල් දිනවල දී ඉහල උද්ධමනය පැමිනියේ මූල්‍ය අස්ථාවරත්වය සමඟ අත්වැල් බැඳ ගෙන නොවේ; එමෙන්ම 2008 සිදු වූ පරිදි මූල්‍ය අන්තරායයන් වර්ධනය වන විට ඒවා පැමින තිබුනේ අඩු උද්ධමන වාතාවරනයක් තුල ය.

වාර්තාව සලකුනු කල පරිදි, “ඉහල උද්ධමනයේ හා පුලුල්ව පැතිර ගිය මූල්‍ය අනාරක්ෂිතභාවයේ මෙම සත්තකින් ම අසමසම සංයෝජනය හිටි අඩියේ පැහැදිලි අහසින් කඩා පාත් වූ හෙන ගෙඩියක් නොවන” අතර, එය හුදෙක් කොවිඩ්-19 වසංගතයේ හා යුක්‍රේනයේ යුද්ධයේ නිෂ්පාදිතයක් ද නොවේ. “නය හා මූල්‍යයේ භංගුරතාවයන් එක රැයෙන් ප්‍රාදූර්භූත වන ඒවා නොවේ; ඒවා කාලයක් තිස්සේ වර්ධනය වෙති.” එබැවින් මේ ප්‍රශ්නවල මූලයන් වඩාත් ගැඹුරට විහිදී ගොස් ඇත.

මෙකී ගැටලු පෙන්වා දෙමින් එය මෙසේ සඳහන් කරයි: “ලෝක ගෝලීය ආර්ථිකය දැන් මුහුන දෙන අභියෝගවලින් කිසිසේත් නොඅඩු ආකාරයකින් පිලිබිඹු කෙරෙන්නේ, සාර්ව ආර්ථික ස්ථායීකරන ප්‍රතිපත්ති මඟින් අත්පත් කර ගත හැකි දේ පිලිබඳ යථාර්ථවාදී නොවන දෘෂ්ටියෙන් උපන් යම් කිසි ‘වර්ධන මිත්‍යාවකි.’… එහි අනපේක්ෂිත ප්‍රතිඵලය ව පවතින්නේ, ආර්ථික ක්‍රමය වඩාත් බිඳෙනසුලු එකක් බවට පත් කරන සහ ශක්තිමත් හා තිරසාර වර්ධනයක් ජනනය කිරීමට අසමත්, නය මත දිවෙන තත්ත්වාකාර ආකෘතියක් මත විශ්වාසය රඳවා හිඳීමයි.” 

නය නිර්මානය කිරීම ඊයේ හෝ ඊට පෙර දින හෝ ආරම්භ වූවක් නොවේ. එහි ආරම්භය 1987 ඔක්තෝබරයේ වෝල් වීදියේ බිඳවැටීමට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජනපද මහ බැංකුව තීරනාත්මක හැරීමක් ගන්නා ලද, දශක හතරකට ආසන්න ව ඉහත කාලයක් කරා දිව යයි.

ඉන් ඉදිරියට සිය කර්තව්‍යය ව ඇත්තේ සමපේක්ෂන මූල්‍ය බුබුලු වර්ධනය වීම වැලැක්වීම නොවන බවට ෆෙඩරල් මහ බැංකුව තීරනය කලේය. ඒවායින් බොහොමයක් නය මගින් මූල්‍යකරනය කරන ලද නමුත්, මෙවර එහි අරමුන වූයේ සමපේක්ෂනය දිගටම සක්‍රීය කිරීම සඳහා මූල්‍ය පද්ධතියට වැඩි මුදලක් පොම්ප කිරීමෙන් එම බුබුලු පුපුරා ගිය විට පිරිසිදු කිරීමේ ක්‍රියාවලියක නිරත වීම ය.

මෙයින් 2008 මූල්‍ය අර්බුදයට ද, ඉනික්බිති 2020 මාර්තුවේ වසංගතයේ පහර හමුවේ සිදු වූ වෙලඳ පොල කඩා වැටීමට ද පාර කැපින. ආන්ඩු සහ මහ බැංකු මීට ප්‍රතිචාර දැක්වූයේ ආයතනික ඇප දෙමින් සහ ඩොලර් ට්‍රිලියන ගනනක ඉඳුරාම මිලකින් තොර මුදල් මූල්‍ය වෙලඳපොලවල් වෙත ලබා දෙමින්, මූල්‍ය කතිපයාධිකාරයේ වාසනාව ස්තර ගෝලය දක්වා ම ඉහල නංවමිනි.

අස්ථායීතාව මැඩ පවත්වා ඇතැයි මූල්‍ය අධිකාරීන් සිතා ගත් මොහොතේ ම, මාර්තුවේ එය නැවත විදාරනය වූයේ එජ ඉතිහාසයේ එන දැවැන්තතම බැංකු බිඳවැටීම් හතරෙන් තුනක් ම සිදුවීමත් සමඟ ය. 

පසුගිය වසර සඳහා බලාපොරොත්තු වූවාට වඩා හොඳින් ගෝලීය ආර්ථිකය “බලගතු සුලං වේග” හමුවේ ඔරොත්තු දී සිටි අතර ම, “එය පීඩාවට පත් වී තිබීමේ සංඥා මතුවීමට පටන් ගත්” බව වාර්තාව සඳහන් කලේය. “විශේෂයෙන්ම, මූල්‍ය ආතතිය, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන යන දෙවර්ගයම ගිල ගනිමින් සහ පැතිරීම සීමා කෙරෙන බලගතු ප්‍රතිචාරයක් සඳහා පෙලඹවීම් සිදු කරමින් මූල්‍ය පද්ධතිය වෙවුලුම් කැවීය.

“මේ පීඩාවන්ට පොදු ප්‍රත්‍යයක් ඇත: දීර්ඝ කාලයක් පුරා පැවැති අඩු පොලී අනුපාතවල යුගයකින් පද්ධතිය ආතතියට පත් ව ඇත.”

වාර්තාවේ සැකෙවින් සලකුනු කෙරෙන පරිදි, ඉතා මෑතක දී තුමූම ප්‍රකට කර ඇති මෙම ආතතීන්ගේ අවසානයක් පෙනෙන තෙක් මානයේ නොපවතී. 

“පද්ධතිය තුළ පුලුල්ව පැතිරුණු සාර්ව මුල්‍යමය අනාරක්ෂිතතා පවතී. රාජ්‍ය හා පෞද්ගලික නය මට්ටම් ඓතිහාසික ඉහල මට්ටමක පවතී. පමන ඉක්මවා ගිය ඉහල තක්සේරුවලට පිටුපසින්, වත්කම්වල මිල ගනන්, විශේෂයෙන් නිශ්චල දේපල මිල, කඩා වැටීමට පටන් ගෙන ඇත. මූල්‍ය වෙලඳපොලවල් මිලයනය කිරීමේ කාලයට වඩා වැඩි කාලයක් පුරා පොලී අනුපාත වැඩි අගයක පැවතීමට අවශ්‍ය වනු විය හැක. මෙතෙක් මතු වී ඇති වික්‍රියාවන්ගෙන් පිලිබිඹු වන්නේ පොලී අනුපාතවල අවදානමයි, එහෙත් බොල් නය අලාභ තවමත් පැමිනීමට නියමිතය. මෙය, මූල්‍ය පද්ධතියේ ඔරොත්තු දීමේ ශක්තිය තවදුරටත් පරීක්ෂා කරනු ඇත.”

මෙම තත්ත්වය උදා වී ඇත්තේ, එක්තරා අවස්ථාවක දී අර්බුදයක් පිටුදැකීමට සහ මූල්‍යමය බිඳ වැටීමක් වලක්වා ලීමට ආන්ඩු හා මහ බැංකු විසින් ගන්නා ලද පියවර හේතුවෙනි. එම පියවර අප්‍රමාද විසඳුමක් ලබා දී ඇති අතර ම, එමඟින් සිදු කෙරී, ඇත්තේ වඩාත් ඉහල ආකාරයෙන් එය පුපුරා යාම සඳහා කොන්දේසි නිර්මානය කිරීම පමනෙකි.  

“සාර්ව ආර්ථික හා මූල්‍ය ස්ථායීතාවයට අනුකූල වන මූල්‍ය හා මුදල්මය සංයෝජන සමූහයක් ලෙස හඳුනාගෙන ඇති ස්ථාවරත්වයේ කලාපයක්” යන සංකල්පය හඳුන්වාදීමත් සමඟ BIS සංවිධානය මෙය යම්තාක් දුරකට පිළිගත්තේය.

එහෙත් මෙකී “කලාපයේ” මායිම් අවිශද සහ නොපැහැදිලි ලෙස සංලක්ෂිත බැවින් මෙම සංකල්පයට විශ්ලේෂණාත්මක වටිනාකමක් නොමැත. වෙනත් වචන වලින් කිවහොත්, ධනේශ්වර ආර්ථිකයේ නියාමනය භාරව සිටින අයට, ඔවුන්ගේ හදිසි පියවර දිගු කාලීනව කුමන බලපෑමක් ඇති කරනු ඇත්ද යන්න පිළිබඳ සැබෑ අදහසක් නැත.

වාර්තාව එය දක්වා ඇති පරිදි: “ආසන්න කාලයේ ස්ථාවරත්වය ඇති කරන බවක් පෙනෙන්නට ඇති ප්‍රතිපත්තිමය හැසිරීමක්, කාලයාගේ ඇවෑමෙන්, අනවධානයෙන් ම කලාපය හකුලුවා ලමින් ප්‍රතිපත්තීන් එහි කඩඉම දෙසට ගෙන යා හැකිය. හදිසියේම එය එසේ නොවන බව පෙනී යන තුරු ම, ආර්ථික ක්‍රමය දිගු කලක් තිස්සේ ස්ථාවරව දිස්වෙමින් පැවතිය හැකිය.”

ඉහත අවසාන වාක්‍යයේ එන ‘හදිසියේම එය එසේ නොවන බව පෙනී යන තුරු ම’ යන වාක්‍ය ඛණ්ඩය වාර්තාවේ කිහිප වතාවක් පුනරාවර්තනය වන අතර, නියාමකයින් විය යුතු අය මුහුණ දෙන කේන්ද්‍රීය ගැටලුව ඉන් අවධාරනය කෙරේ. ගැටලුව පවතින්නේ ඔවුන්ගේ පරිගනන බලය හෝ තොරතුරු නොමැතිකම තුල නොවේ. එය පවතින්නේ ධනේශ්වර පද්ධතියේම ස්වභාවය තුල මුල් බැසගෙන ය.

නිෂ්පාදන මාධ්‍යවල සහ මූල්‍ය මාධ්‍යවල පුද්ගලික හිමිකාරිත්වය යන්නෙන් අදහස් කෙරෙන්නේ, වෙලඳපොලේ සහභාගිවන්නන්, යෝධ සංගත, බැංකු සහ මූල්‍ය ආයතන පිටුපසින් ආර්ථික හා මූල්‍ය ක්‍රියාවලීන් බලවත් බලවේගයක් ලෙස ක්‍රියාත්මක වන බවයි. ඒවායේ ක්‍රියාන්විතයන් තුළ සවිඥානික පාලනයක් ඇති නමුත්, ඊට පිටතින් පුලුල් ආර්ථිකය සහ මූල්‍ය පද්ධතිය තුල අරාජිකත්වය රජයයි. එය නියාමනය කිරීමට දැරෙන සකලවිධ උත්සාහයන් නොතකා, නැවත නැවතත් එය අර්බුදයක ස්වරූපයෙන් පුපුරා යයි.

BIS විශ්ලේෂකයින්ට ලාභ පද්ධතියේ ප්‍රතිවිරෝධතා සහ එහි ආවේනික අරාජිකත්වය පාලනය කිරීම සඳහා කවර හෝ විසඳුම් නොමැති අතර ම, කල යුතුව ඇති දේ කුමක්දැයි යන්න සම්බන්ධයෙන් ඔවුහු නිසැක පන්තිමය සහජාශයකින් සහ දශක ගණනාවක අත්දැකීම් මගින් මෙහෙයවනු ලැබෙති – මෙම තතු වෙනුවෙන් ගෙවන්නට සිදුවන මිල කම්කරු පන්තිය විසින් ගෙවනු ලැබීමට සැලැස්විය යුතුය.

මෙය වාර්තාවේ දක්වා ඇති ප්‍රතිපත්ති වට්ටෝරු දෙකෙහි දක්වා ඇත. පලමුව, එය මෙසේ පවසයි: “මුදල් ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවය වන්නේ උද්ධමනය නැවත ඉලක්කය කරා ගෙන ඒමයි.”

පසුගිය වසර පුරා අන් කවරදාකටත් වඩා පැහැදිලි වී ඇති පරිදි, “උද්ධමනයට එරෙහි සටන”, කම්කරු පන්තියේ වැටුප් ඉල්ලීම් යටපත් කිරීම සඳහා, අවපාතයක් ඇති කරන තරමට පවා ආර්ථික වර්ධනය මන්දගාමී කිරීම කරා යොමු කර ඇත. වාර්තාව විසින් පිලිගනු ලැබ ඇති පරිදි, වැටුප් වැඩිවීම් උද්ධමන මට්ටමට වඩා බෙහෙවින් පිටුපසින් පවතින හා, උද්ධමනයේ එක් ප්‍රධාන හේතුවක් වන්නේ සංගත විසින් ලාභ සූරා ගැනීම වන තතු යටතේ පවා මෙම ප්‍රතිපත්තිය දිගටම පැවතිය යුතුය.

“නාමමාත්‍රික වැටුප් වර්ධනය මේ දක්වා සුවිශේෂී ලෙස බලවත් වී නොමැති අතර ම, මෙය පමන ඉක්මවා ගිය සුව පහසුවක් ලබා නොදිය යුතුය. … විශේෂයෙන්ම ශ්‍රම වෙලඳපොලවල ශක්තිය මත ඇතැම් පාඩු පිරිමැසීම් පැමිනීමට නියමිතයැයි සිතිය හැක.”

වෙනත් වචන වලින් කිවහොත්, සෑම රටකම වෘත්තීය සමිති නිලධරයන් විසින් කම්කරු පන්තියේ වැටුප් අරගල යම් තරමකට පාලනය කරනු ලැබ පවත්නා නමුත්, එම තත්ත්වය දිගටම පවත්වා ගැනීමට නොහැකි විය හැක. එබැවින් පොලී අනුපාත ඉහල දැමීමේ යගදාව අවශ්‍ය වේ.

කම්කරු පන්තියට එරෙහිව එල්ල කෙරෙන දෙවන පිලිවෙත්මය හස්තය වන්නේ ආන්ඩුවේ වියදම් කපා හැරීමයි. එවැනි වාර්තා සඳහා සාමාන්‍යයෙන් සිදු කෙරෙන පරිදි මෙය එහි ආවශ්‍යක පන්ති අන්තර්ගතය වසන් කිරීම ඉලක්ක කරගත් භාෂාවෙන් සකසා ඇත.

රාජ්‍ය නය ඓතිහාසික ඉහල මට්ටම් කරා වර්ධනය වීම පෙන්වා දෙමින් වාර්තාව, “මූල්‍ය ප්‍රතිපත්තියේ ප්‍රමුඛතාවය වන්නේ තහවුරුවීමයි” යනුවෙන් ප්‍රකාශ කරයි.

සියලුම ප්‍රධාන ආන්ඩු තම මිලිටරි අයවැය ප්‍රසාරනය කරමින් සිටින කොන්දේසි යටතේ, මෙයින් අදහස් කරන්නේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කෙරෙමින් සමාජ වියදම්වල ගැඹුරු කප්පාදුවකට යොමුවීමකි. එකී කප්පාදු කිරීම් ආර්ථිකය මන්දගාමී කිරීමට ද ක්‍රියා කරනු ඇත. එමඟින් වැටුප් ඉල්ලීම් පහලට තෙරපා පීඩනයක් ඇති කරන අතර ම, මූල්‍ය පද්ධතියට අහිතකර ලෙස බලපාන පරිදි පොලී දැඩි ලෙස ඉහල නැංවීමේ අවශ්‍යතාවය ද අඩු කරනු ඇත.

“තහවුරුවීම උද්ධමන සටනේදී තීරනාත්මක ආධාරයක් සපයනු ඇතැ”යි වාර්තාවේ සඳහන් වේ. “එය, වඩාත් වැඩි කාලයක් පුරා පොලී අනුපාත ඉහල මට්ටමක තබා ගැනීමට මූල්‍ය ප්‍රතිපත්තියට ඇති කෙරෙන අවශ්‍යතාවය ද අඩු කරනු ඇති අතර එමඟින් මූල්‍ය අස්ථාවරත්වයේ අවදානම අඩු කෙරෙනු ඇත.”

BIS වාර්තාවෙන් පැහැදිලි වන්නේ, මූල්‍ය පද්ධතියේ “ස්ථාවරත්වය” සහ “ප්‍රත්‍යාස්ථිතිය” පිලිබඳ සියලු නිවේදන මධ්‍යයේ ඊට යටින් දිවෙන ඓතිහාසික අර්බුදයේ ගැඹුරු වීමයි. ඓතිහාසික වාර්තාවෙන් පෙන්නුම් කෙරෙන පරිදි සහ මෙම වාර්තාව විසින්මත් පිලිගනු ලැබ ඇති පරිදි, මූල්‍ය පද්ධතිය ගලවා ගැනීම සඳහා එක් අවස්ථාවක දී ගනු ලැබ ඇති ක්‍රියාමාර්ග හේතු වී ඇත්තේ, ඊට ද වඩා වැඩි අස්ථාවරත්වයක් සඳහා කොන්දේසි නිර්මානය කිරීමට වන හෙයින්, යම් ආකාරයක “සාමාන්‍ය තත්ත්වයක්” ප්‍රතිෂ්ඨාපනය වීමේ අපේක්ෂාවක් නොපවතී.            

ඇත්තේ විකල්ප දෙකක් පමනෙකි. එක්කෝ කම්කරු පන්තිය සමාජ ව්‍යසනයකට ඇද දමමින් ලාභ පද්ධතියේ ඓතිහාසික අර්බුදයේ බර කම්කරු පන්තියේ කොඳු නාරටිය මත පැටවීමට පාලක පන්තීන් සමත්වීමයි; නැතහොත්, ජාත්‍යන්තරවාදී හා සමාජවාදී වැඩ පිලිවෙලින් සන්නද්ධ වන කම්කරු පන්තිය ධනේශ්වර ක්‍රමය කම්මුතු කර දැමීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top