ඊශ්‍රායලය, ගාසා තීරයට පහරදීම වාර්තා කිරීම නිසා, මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම හා වාරණය කරයි

කැත්ලීන් මාර්ටින් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 26 දින පල වූ ‘Israel targeting, censoring journalists for covering assault on Gaza’ යන  කැත්ලීන් මාර්ටින් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

බදාදා,  දකුණු ගාසා තීරයේ නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් අල් ජසීරා හි ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් අල්-ඩහ්ඩෝගේ පවුල ඉලක්ක කර මරා දමන ලදී. ඩහ්ඩෝහ් ගේ පවුලේ වින්දිතයන් අතර ඔහුගේ බිරිඳ, ඔහුගේ උසස් පාසල් වයසේ පුතා, හත් හැවිරිදි දියණිය සහ මුනුපුරා ඇතුළත් වේ. ඩහ්ඩෝහ් පවුලේ සාමාජිකයින් 12 දෙනෙකු මිය ගොස් ඇත. ඔවුන්ගෙන් නව දෙනෙකු ළමුන් වන අතර අනෙක් අය තවමත් අතුරුදහන් වී ඇත.

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) උතුරේ සිවිල් වැසියන්ට ඉවත් වන ලෙස ඉල්ලා පත්‍රිකා හෙළීමෙන් පසු, ගාසා තීරයේ දකුණට පලා ගිය ඔහුගේ පවුල කඳවුරේ රැඳී සිටියේය. බෝම්බ ප්‍රහාරය දිගටම ආවරණය කිරීමට ඩහ්ඩෝහ් පිටුපසින් සිටියේය. අල් ජසීරා පුවත් සේවයෙහි වලිඩ් අල්-ඔමරි පුවත්පත්වලට පැවසුවේ මෙම ඝාතන ඊශ්‍රායලය “පලස්තීනුවන් නිර්දය ලෙස ඉලක්ක කිරීමේ” කොටසක් බවත්, ඩහ්ඩෝහ් ගේ පවුල ඉවත් වී තිබියදීත්, “ඊශ්‍රායල් හමුදාව ඔවුන්ව ඉලක්ක කළ බවත් ,  ගාසා තීරයේ එකම ආරක්ෂිත කලාපයක් නොමැති බවට මෙය සාක්ෂියක් ” බවත්ය.

අල් ජසීරා, මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ පවුල් ඉලක්ක කිරීම හෙළා දකිමින්ද,“ජාත්‍යන්තර ප්‍රජාව මැදිහත් වී සිවිල් වැසියන්ට එරෙහි මෙම ප්‍රහාර අවසන් කිරීම හා එමගින් අහිංසක ජීවිත ආරක්ෂා කිරීම දිරිගන්වමින්ද ” ප්‍රකාශයක් නිකුත් කලේය.

ඩහ්ඩෝහ් ගේ පවුලේ ඝාතනයට, සති දෙකකට පෙර, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් විසින් පලස්තීනයේ සංහාරය පිලිබඳ රජය සතු පුවත් ජාලයේ ආවරණයෙහි “තානය අඩු කරන ලෙස” කටාරයෙන් ඉල්ලා සිටි බවට සඳුදා වාර්තා පළ විය.

 ඇක්සියෝස් පුවත් වාර්තා කළේ බ්ලින්කන් සමඟ රැස්වීමකට සහභාගී වූ මූලාශ්‍ර තුනක් “ඊශ්‍රායල් විරෝධී උසිගැන්වීම්වලින් පිරී ඇති නිසා අල් ජසීරා ආවරණයේ ශබ්දය අඩු කරන ලෙස කටාර් වැසියන්ගෙන් ඉල්ලා සිටි” බවයි.

ඊශ්‍රායලයේ සන්නිවේදන අමාත්‍ය ෂ්ලෝමෝ කාරී විසින් පලස්තීනයට එරෙහි ඊශ්‍රායලයේ දැවැන්ත ජනප්‍රිය නොවන ප්‍රහාරයට එරෙහි විරෝධය මැඩපැවැත්වීමට , හදිසි රෙගුලාසි හරහා දැඩි වාරණ පියවරයන් ගැනීම සඳහා තල්ලු වෙමින් සිටී. “අල් ජසීරා හි විකාශන සහ වාර්තා ඊශ්‍රායලයට එරෙහිව උසිගැන්වීම්, හමාස්-අයිඑස්අයිඑස් සහ ත්‍රස්තවාදී සංවිධානවලට ඔවුන්ගේ ප්‍රචාරණ කටයුතු සඳහා උපකාර කිරීම සහ ඊශ්‍රායලයට එරෙහි ප්‍රචණ්ඩත්වය දිරිමත් කිරීම” ආදිය එහි  ඇතුළත් බව ඔහු පැවසීය.

“සන්නිවේදනය හරහා සතුරාට ආධාර සීමා කිරීම” යන මාතෘකාවෙන් යුත් හදිසි නීති රෙගුලාසි කෙටුම්පතට අනුව “ජාතික ආරක්ෂාවට” තර්ජනයක් යැයි සලකන ඕනෑම මාධ්‍ය ආයතනයක් වසා දැමිය හැක. ඔක්තෝබර් 20 වන දින ඊශ්‍රායල රජය මෙම රෙගුලාසි වලට අත්සන් තැබීය. ඊළඟ ආරක්ෂක කැබිනට් රැස්වීමේදී ඊශ්‍රායලයේ අල් ජසීරා හි මෙහෙයුම් සම්පූර්ණයෙන්ම වසා දැමීම සඳහා විධිමත් යෝජනාවක් ගෙන එන බව කාර්  නිවේදනය කළේය.

Haaretz පුවත්පත [ ඊශ්‍රායලයේ පලවන හීබෲ, ඉංග්‍රීසි ද්වී භාෂා පුවත්පතකි]  ට අනුව,අල් ජසීරා සීමා කිරීමේ ප්‍රකාශිත අරමුණට ප්‍රතිවිරුද්ධව, මෙම හදිසි රෙගුලාසි “සාමාන්‍ය මහජනතාවට සහ මාධ්‍ය දෙකටම මෙන්ම දේශීය සහ විදේශීය මාධ්‍ය දෙකටම අදාළ වේ. සත්‍ය වශයෙන්ම නිවැරදි ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීමේ දී ද අමාත්‍යවරයාගේ අභිමතයට එය යටත්  වනු ඇත… මෙම කෙටුම්පතෙහි ‘සන්නිවේදනය හරහා සතුරාට උපකාර කිරීම’ ලෙස අර්ථ දක්වා ඇති දෙයෙහි අඩංගු වන්නේ,  ‘ඊශ්‍රායලයේ සොල්දාදුවන් සහ නිවැසියන්ගේ චිත්ත ධෛර්යය සතුරා ඉදිරියේ අඩපණ කරන’ තොරතුරු බෙදා හැරීම හෝ සතුරාගේ ප්‍රචාරක පණිවිඩ, හෝ ‘ඊශ්‍රායලයට , එහි වැසියන්ට හෝ යුදෙව්වන්ට එරෙහි යුද්ධයේදී සතුරාට උපකාර කරන’ තොරතුරු ඇතුළු ‘සතුරු ප්‍රචාරණය සඳහා පදනමක් ලෙස ක්‍රියා කරන තොරතුරු, පැතිරීමයි.”

එය ඊශ්‍රායලයේ “ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම්” සමඟ ගැටෙන බැවින් රජයේ නීති උපදේශකයාට එය අනුමත කිරීමට “නොහැකි” බව එම ලිපියේම පසු ප්‍රකාශනය සටහන් කරයි.

පලස්තීනුවන්ට එරෙහිව IDF විසින් සිදු කරන ලද අපරාධ වසන් කිරීමට සහ සුදු හුනු ගෑමේ උත්සාහයේ දී මාධ්‍යවේදීන් ඉලක්ක කිරීම සහ වාරනය කිරීම ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ දිගුකාලීන ප්‍රතිපත්තියකි.

2022 මැයි මාසයේදී, අල් ජසීරා මාධ්‍යවේදිනිය වූ ශිරීන් අබු අක්ලේ බටහිර ඉවුරේ ජෙනින් සරණාගත කඳවුරේ වැටලීමක් ආවරණය කරමින් සිටියදී  IDF විසින් ඇයව ඉලක්ක කර වෙඩි තබා මරා දමන ලදී. ඇගේ ඝාතනය පලස්තීනුවන් කුරිරු ලෙස මර්දනය කිරීම පිළිබඳ වෛෂයික වාර්තාකරණය වැළැක්වීමේ විවෘත උත්සාහයක් වූ අතර එය දැන් විවෘත ජන සංහාරයක් දක්වා වර්ධනය වී තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ සම්මේලනය වාර්තා කරන්නේ ඔක්තෝබර් 7 වැනිදා සිට මේ ලියන මොහොත වන විට අවම වශයෙන් මාධ්‍යවේදීන් 23 දෙනෙකු ඝාතනය කර ඇති බවයි. තවත් දුසිම් ගනනක් තුවාල ලබා ඇති අතර තවත් බොහෝ දෙනෙක් අතුරුදහන් වී ඇත. මාධ්‍යවේදීන්ගේ නිවෙස් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මාධ්‍යවේදීන්ගේ මරණ, තුවාල සහ අතුරුදන් වූවන්ට අමතරව මාධ්‍ය ආයතන 50කට අධික ප්‍රමාණයක් විනාශ වී ඇති අතර බටහිර ඉවුරේ තවත් මාධ්‍යවේදීන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඊජිප්තු මාධ්‍යවේදීන්ගේ සංගමය වාර්තා කරයි.

Journalist
පලස්තීන මාධ්‍යවේදියෙක් 2023 ඔක්. 22 ඉරිදා, ගාසා තීරයේ ඩීර් එල්-බාලාහි රෝහලක දී , නුසෙයිරාත් සරණාගත කඳවුරේ පිහිටි ඇගේ පවුලේ නිවසට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරයකින් තුවාල ලැබූ තම ලේලිය සනසයි [AP Photo/Ali Mahmoud]

බදාදා රාත්‍රියේ තවත් මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන සයීඩ් අල්-හලාබි සහ මොහොමඩ් ලබාඩ්  ඉලක්කගත ප්‍රහාරයකින් මිය ගියහ. පලස්තීන මාධ්‍යවේදීන්ගේ සංසදයේ (PJS) මාධ්‍ය නිවේදනයකට අනුව, ” ඊශ්‍රායල ආක්‍රමණික හමුදාව දිගින් දිගටම මාධ්‍යවේදීන්ගේ නිවාස ඉලක්ක කර ගත් අතර එහිදී මාධ්‍යවේදී සයිඩ් අල්-හලාබිගේ නිවසට බෝම්බ හෙලීම ඔහුගේ දිවි පිදුමට හේතු විය. “

සයීඩ් අල්-හලාබි , අල්-අක්සා රූපවාහිනියේ සේවය කළ අතර ගාසා තීරයට උතුරින් පිහිටි ජබාලියා හි පිහිටි ඔහුගේ නිවසේදී ඝාතනය කරන ලදී. ගාසා නගරයේ ෂෙයික් රඩ්වාන් ප්‍රදේශයේ ඔහුගේ නිවස අසල සිදුවූ පිපිරීමකින් මොහොමඩ් ලබාඩ්  මිය ගියේය.

ඉන්ස්ටග්‍රෑම් හි මිලියන 8.7කට අධික අනුගාමිකයින් සිටින පලස්තීනයේ ඡායාරූප මාධ්‍යවේදියෙකු වන මෝටාස් අසෙයිසා, “නීති කඩ කිරීම” හේතුවෙන් මේ සතියේ ඔහුගේ X/Twitter ගිණුම වසා දමා ඇත. IDF බෝම්බයකින් නේවාසික ගොඩනැගිලි විනාශ කිරීමෙන් පසු නටබුන් සහ සුන්බුන් පෙන්වමින් ඔක්තෝබර් 13 වන දින , මෙම  මාධ්‍යවේදියාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කරන ලද ව්‍යසනකාරී දසුන් ඇතුළත් වීඩියෝවකින් පසුව, ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම අත්හිටුවන ලද අතර දින කිහිපයක් ගත වුවද  නැවත ස්ථාපිත කර නොමැත. ඔහුගේ X/Twitter ගිණුම දැනට අත්හිටුවා ඇත. 

පලස්තීනයේ විනාශය සහ සිවිල් වැසියන් ඝාතනය කිරීම පෙන්නුම් කරන පළ කිරීම් ත්‍රස්තවාදයට සහය දැක්වීමට සමාන වන බවත්, එබැවින් ඒවාට ඉඩ නොදෙන බවත්, වාරණයක්  පවතින බව නිර්දය ලෙස ප්‍රතික්ෂේප කරමින්, ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හි මව් සමාගම වන මෙටා විසින් අවසන් වරට යාවත්කාලීන කරන ලද ප්‍රකාශයක් ඔක්තෝබර් 18 වැනිදා නිිකුත් කරන ලදී. “උදාහරණයක් ලෙස, අනතුරුදායක සංවිධානයක් ලෙස මෙටා විසින් නම් කරන ලද හමාස් සඳහා ප්‍රශංසාව අඩංගු අන්තර්ගතය හෝ ප්‍රචණ්ඩකාරී සහ ග්‍රැෆික් අන්තර්ගතයන්,  අපගේ වේදිකාවල ඉඩ නොමැත ” එය පවසයි.

ඔක්තෝබර් 13 වැනි දින ප්‍රකාශයට පත් කරන ලද මුල් ප්‍රකාශයේ භාෂාව,, ඔක්තෝබර් 7 හමාස් “ත්‍රස්තවාදී ප්‍රහාරය” මත ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් දොස් පවරයි.

“හමාස් සංවිධානයේ කුරිරු ත්‍රස්තවාදී ප්‍රහාරවලින් බොහෝ දෙනෙක් මෙන්ම අපිත් කම්පනයට සහ භීතියට පත් වූ අතර,ඊශ්‍රායලයේ සහ ගාසා තීරයේ ප්‍රචණ්ඩත්වය දිගට ම දිග හැරෙන විට  අපගේ  සහානුකම්පාව දුක් විඳිමින් සිටින සිවිල් වැසියන් වෙත යොමු වේ” යනුවෙන් එහි කියවේ. “සෙනසුරාදා හමාස් විසින් ඊශ්‍රායලයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාර සහ ගාසා තීරයේ ඊශ්‍රායලයේ ප්‍රතිචාරයේ සිට, අපගේ සමාගම පුරා සිටින විශේෂඥ කණ්ඩායම් අපගේ වේදිකා නිරීක්ෂණය කිරීමට පැය 24 පුරාම ක්‍රියා කරමින් සිටින අතර, භූමිය තුළ සිදුවෙමින් පවතින වැදගත් වර්ධනයන් පිළිබඳව ආලෝකය විහිදුවීම සඳහා අපගේ යෙදුම් ( apps ) භාවිතා කිරීමට මිනිසුන්ට ඇති හැකියාව ආරක්ෂා කරයි.”

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ම්ලේච්ඡ ප්‍රහාරය සම්බන්ධයෙන් දැවැන්ත ජාත්‍යන්තර කෝපය පාලක පන්තියේ සහ එහි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනවල පාලනයෙන් ඔබ්බට ගොස් ඇත. ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා නොමැති වුවද බෝම්බ ප්‍රහාර සහ මරණ සහ ඊට එරෙහි විරෝධතාවල ඡායාරූප සහ වීඩියෝ සමාජ මාධ්‍ය වේදිකාවල පුළුල් ලෙස බෙදා හැර ඇත.

“සමුලඝාතක ජෝ” යන හැෂ් ටැගය X/Twitter හි ප්‍රවණතාවක් (trending) වී ඇත්තේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් නෙතන්යාහුව විවෘතව සිප වැලඳගැනීමෙන් සහ යුක්‍රේනයේ සහ මැදපෙරදිග යුද ප්‍රයත්නයන් උත්සන්න කිරීමට ඩොලර් බිලියන 105 ක් ඉල්ලා සිටීමෙන් අනතුරුව සහ කම්කරුවන් හා තරුනයන් Azaiza වැනි ගිණුම් වලින් පලස්තීනය තත්ත්වය පිලිබද යථාර්ථය , ත්‍රාසයෙන් හා පිළිකුලෙන්, යුතුව දැක ගැනීමෙනි. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top