සංජය ජයසේකර විසිනි.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් “The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists Who Welcome the CIMP Bill” සිරසින් 2026 ජුනි 27 දින පළ විය.
වරලත් මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ආයතන (CIMP) පනත් කෙටුම්පත කෙරෙහි ආයතනගත (institutionalized) මාධ්‍යවේදීන් දක්වන නිශ්ශබ්දතාවය — සහ බොහෝ අවස්ථාවලදී දක්වන විවෘත උද්යෝගය — හෙළිදරව් කළ යුතු දේශපාලන අපකීර්තියකි. මෙම පනත් කෙටුම්පත තමන්ගේම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නවා වෙනුවට, ස්ථාපිත මාධ්‍ය වෘත්තිකයන්ගේ සැලකිය යුතු ස්ථරයක් එය වැළඳගෙන ඇත්තේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙසය. ඔවුන් වරලත් ආයතනය දකින්නේ සිර කූඩුවක් ලෙස නොව, වරප්රසාදිත තට්ටුවක “ක්ලබ්” එකක් ලෙසය: එනම් ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය සහතික කරන, හීලෑ නොවූ “අන්තර්ගත තනන්නන්ගේ” (content developers) මහා සමාජයෙන් සහ සමාජ මාධ්‍ය විචාරකයන්ගෙන් ඔවුන්ව වෙන් කර හඳුනා ගන්නා, සහ — වඩාත්ම වැදගත් දෙය නම් — රාජ්‍ය පිළිගැනීම මඟින් ලබා දිය හැකි ද්‍රව්‍යමය වරප්‍රසාද සඳහා දොරටු විවෘත කරන රාජ්‍ය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙසය. මේ ද්‍රව්‍යම වාසි අතර විශ්‍රාම වැටුප්, රක්ෂණ ක්‍රම, සහනපොලී අනුපාත යටතේ බැංකු ණය, විදේශ වීසා පහසුකම්, රජයේ ප්‍රචාරණ සහ කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය මෙන්ම බලවතුන් සමඟ මේසයේ අසුනක් ලබාගැනීම අන්තර්ගත වේ.
මෙය මාධ්‍ය නිදහසේ ආරක්ෂකයන්ගේ දැක්ම නොව, ධනේශ්වර රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් තම තත්ත්වය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන වරප්රසාදිත සුළු-ධනේශ්වර ස්ථරයක දැක්මයි. එය මාධ්‍යවේදියාගේ නොව, රාජ සභිකයෙකුගේ මානසිකත්වයයි.
අල්ලස සහ යදම්
2026 පෙබරවාරි 17 වන දින, NPP/JVP රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව, වෘත්තීයභාවය, සෞඛ්‍ය රක්ෂණය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වරලත් ආයතනයක් පිහිටුවන බවත්, ශිෂ්‍යත්ව ක්‍රම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය.
දිසානායක රජය මෙම දිරිගැන්වීම් ලබා දෙන්නේ ත්යාගශීලීකමකින් නොවේ. එය ධනේශ්වර රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සම්භාව්‍ය මූලෝපායක් ක්‍රියාත්මක කිරීමකි: එනම් වෘත්තියේ මූලෝපායික ස්ථරයක් මුදලට ගැනීම, ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පාලන තන්ත්රයේ පැවැත්ම සමඟ ගැටගැසීම, සහ එමඟින් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ගෙල සිර කිරීමට එරෙහිව ඇති විය හැකි ඕනෑම විරෝධයක් කැබලි කිරීමයි. අද දින රාජ්‍ය සහතික ලත් අක්තපත්‍රයක්, පහසුකම් සහිත බැංකු ණයක් හෝ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා ගන්නා මාධ්‍යවේදියා හෙට දින ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්වේ. මෙම වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයටම ඒවා අවලංගු කිරීමටද හැක; CIMP පනත යටතේ, අවලංගු කිරීමේ යාන්ත්‍රණය දැනටමත් එහි ව්‍යුහය තුළම ගොඩනගා ඇත. 24 වන වගන්තිය මඟින් “වෘත්තීමය විෂමාචාරය” සඳහා “සාමාජිකයෙකුගේ නම ලියාපදිංචියෙන් ඉවත් කිරීමට” කවුන්සිලයට බලය පවරා ඇති අතර, එම පදය 23(2) වගන්තිය යටතේ හිතාමතාම නිර්වචනය නොකර තබා ඇත. එය පසුව එම කවුන්සිලය විසින්ම සාදනු ලබන රීති මඟින් සම්පූර්ණ කරනු ඇත. තමන් විශ්‍රාම වැටුපක් සුරක්ෂිත කර ගන්නා බව විශ්වාස කරන මාධ්‍යවේදියා සැබවින්ම කරන්නේ තමන්ගේ හිස තොණ්ඩුවකට හසු කර ගැනීමයි.
මෙය උපකල්පිතයක් නොවේ. මෙම ගතිකත්වය නැවත නැවතත් සිදුවන අයුරු අපි දැක ඇත්තෙමු. 2023 දී, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය — තම සාමාජිකයන්ගේ සන්නිවේදනයන් රජය විසින් වාරණය කිරීමට එකඟ වූ අතර, එමඟින් වෘත්තීය සමිති රජය සහ සංස්ථා සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කළේය. එවැනි විධිවිධාන සාකච්ඡා කරන වෘත්තීය සමිති නිලධාරීහු තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පාවා දෙමින් තම තනතුරු සුරක්ෂිත කර ගනිති. CIMP පනත මෙම ආකෘතිය මාධ්‍යවේදයට ද ව්‍යාප්ත කරයි: එනම් වරලත් ආයතනයක් නිර්මාණය කිරීම, අවනත පුද්ගලයන් එයට පත් කිරීම සහ වෘත්තිය ඇතුළතින්ම විනයගත කිරීම සඳහා එය භාවිතා කිරීමයි.
පාවාදීමේ පන්ති ස්වභාවය
CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. ඔවුන් ක්‍රියා කරන්නේ පන්ති උවමනාවන් මතය — එනම් රාජ්‍ය වාරණයට වඩා, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමට සහ අන්තර්ජාලයේ නියාමනය නොකළ ප්රජාතන්ත්රවාදී කතිකාවට බිය වන, වරප්රසාදිත ස්ථරයක උවමනාවන් මතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ආයතනික මාධ්‍ය දැනටමත් කතිපයාධිකාරීන් (පරපුටු මහා ව්‍යාපාරික කිහිපය) සහ රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. එහි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් බොහෝ කලකට පෙර සිටම දේශපාලන බලය සමඟ සමාදාන වී ඇත. ඔවුන්ව භීතියට පත් කරන්නේ රජයේ මර්දනය නොව, ස්වාධීන මාර්ගගත (online) මාධ්‍යවල නැගීමයි — එනම් වෘත්තියේ ස්ථාපිත ධුරාවලියෙන් බැහැරව ක්‍රියා කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවර, පෞද්ගලීකරණය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ කෝපයට හඬක් දෙන බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය විචාරකයන්, යූ ටියුබ්කරුවන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ සමාජවාදී ප්‍රකාශනයි.
CIMP පනත, “අන්තර්ගතය තනන්නන්” රාජ්‍යයේ විනය උපකරණ යටතේට පත් කිරීම මඟින්, මෙම තරඟකාරිත්වය තුරන් කිරීමට පොරොන්දු වෙයි. ආයතනගත මාධ්‍යවේදියාට මෙම පනත මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවේ — එය ඔවුන්ගේ වෘත්තීය බලකොටුව වටා ඇති දිය අගලකි. ඔවුන්ව සහතික කරනු ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලේඛනයෙන් ඉවත් කරනු ලැබෙනු ඇත. නිදහස් ප්රකාශනයේ ප්රජාතන්ත්රවාදී අයිතිය බලපත්‍රලාභී වරප්‍රසාදයක් බවට පරිවර්තනය කරනු ඇති අතර, ඔවුන් එම බලපත්‍රලාභීන් අතර සිටිනු ඇත.
මෙය වඩාත්ම භයානක ආකාරයේ ප්රතිගාමී ස්ථාවරයකි. වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය විසින් තැපැල් සේවකයන්ගේ, විදුලි සේවකයන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන මර්දනය කිරීමට හේතු වූයේද මෙම මානසිකත්වයමය — එනම් රාජ්‍ය උපකරණ තුළ තම තනතුරු රැක ගැනීම සඳහා පුළුල් කම්කරු පන්තියේ අවශ්‍යතා පූජා කිරීමයි. එය මූල්‍ය ප්රාග්ධනයේ නියෝග ප්‍රවාහනය කරන වාහකයක් ලෙස සේවය කිරීම සඳහා යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අධිරාජ්‍යවාදය විසින් පෝෂණය කරනු ලබන වරප්රසාදිත ස්ථරය වන කම්කරු ප්රභූතන්ත්රයේ (labor aristocracy) මානසිකත්වයයි.
උගුලක් මිස සෙවණක් නොවේ
CIMP පනතෙන් තමන්ට ප්රතිලාභ ලැබෙනු ඇතැයි සිතන මාධ්‍යවේදීන් මුළාවක පසුවෙති. වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයට ඒවා ආපසු ලබා ගත හැකිය. මාධ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අන්තර්කාලීන කවුන්සිලය — අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ දේශපාලන පත්වීම්ලාභීන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර — “වෘත්තීය විෂමාචාරය” නිර්වචනය කරන රීති ලියනු ඇත. එම රීති ලියනු ලබන්නේ මාධ්‍යවේදයේ අවංකභාවය (integrity) ආරක්ෂා කිරීමට නොවේ. ඒවා ලියනු ලබන්නේ රජය විවේචනය කිරීම නිශ්ශබ්ද කිරීමටය. අද දින අක්තපත්‍ර පිළිගන්නා මාධ්‍යවේදියා, වැඩ වර්ජනයක් වාර්තා කිරීම, දූෂණ වංචාවක් හෙළිදරව් කිරීම හෝ IMF වැඩසටහන විවේචනය කරන ලිපියක් පළ කිරීම හේතුවෙන් හෙට දින සාමාජික ලේඛනයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. විශ්‍රාම වැටුප, බැංකු ණය, වීසා පහසුකම් — මේ සියල්ල මාධ්‍යවේදියා සීමාවෙන් ඔබ්බට පියවර තබන මොහොතේම අතුරුදහන් වනු ඇත.
මාධ්‍ය නිදහසේ එකම විශ්වාසදායක සහතිකය රාජ්‍යය විසින් නිකුත් කරන ලද වෘත්තීයභාවය පිළිබඳ සහතිකයක් නොවේ. එම සහතිකය වන්නේ කම්කරු පන්තියේ සංවිධානාත්මක බලයයි. රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් රාජ්‍ය මර්දනයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන මාධ්‍යවේදීන්ට පෙනී යනු ඇත්තේ, ඔවුන් තමන්ව එයට වඩාත් ගොදුරු කර දී ඇති බව පමණි. ඔවුන් තම ස්වාධීනත්වය කැඳ කෝප්පයක් වෙනුවෙන් පාවා දී ඇති අතර, නියමිත වේලාවට ඔවුන්ව ගිල දමනු ඇත.
මාධ්‍යවේදීන් කම්කරු පන්තිය සමඟ බැඳීගත යුතුය
CIMP පනත මුලින් වෘත්තීය අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙස සැලකූ අය ඇතුළුව සියලුම අවංක මාධ්‍යවේදීන්ගෙන් ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) ඉල්ලා සිටින්නේ මෙම ප්රතිගාමී දිශානතියෙන් තීරණාත්මක ලෙසම මිදෙන ලෙසයි. CIMP පනතට එරෙහි සටන වෘත්තීය ප්‍රභූ පැලැන්තියක වරප්‍රසාද සඳහා වන සටනක් නොවේ. එය සමස්ත කම්කරු පන්තියේ, සියලුම “අන්තර්ගත නිර්මාණකරුවන්ගේ” (content creators) ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනකි. ධනේශ්වර රාජ්‍යයේ අනුග්‍රහය සෙවීමෙන් මාධ්‍යවේදීන්ට තම ප්‍රකාශන අයිතිය ආරක්ෂා කර ගත නොහැක. ඔවුන්ට එය ආරක්ෂා කර ගත හැක්කේ එම රාජ්‍යය පෙරළා දැමීමට බලය ඇති පන්තිය සමඟ එක්වීමෙන් පමණි.
- අල්ලස ප්‍රතික්ෂේප කරනු! රක්ෂණ, විශ්‍රාම වැටුප්, ණය සහ වීසා පිළිබඳ රජයේ පොරොන්දුව ඔබේ යදම් සදහා ගෙවන මිලයි. කිසිදු ද්‍රව්‍යමය දිරිගැන්වීමක් මාධ්‍ය නිදහස පාවා දීමට තරම් වන්නේ නැත!
- රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආයතනගත මාධ්‍යවේදීන්ගෙන් මිදෙනු! ඔවුන්ගේ “වෘත්තීයභාවය” පන්ති පාවාදීම සඳහා වූ වැස්මකි. ඔවුන් මාධ්‍යවේදය වෙනුවෙන් කතා නොකරයි — ඔවුන් කතා කරන්නේ තමන්ගේම වෘත්තීය ජීවිතය වෙනුවෙනි!
- මාධ්‍යවේදීන් හා කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරනු! මාධ්‍ය නිදහස සඳහා වන සටන IMF කප්පාදු පියවරවලට එරෙහිව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන සටනෙන් වෙන් කළ නොහැක!
- ආයතනික මාධ්‍ය හිමිකරුවන්ගෙන්, වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් සහ රාජ්‍යයෙන් ස්වාධීනව, බාධාවකින් තොරව ප්රකාශනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීම සදහා මාධ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!
- CIMP පනත පරාජය කරනු! මාධ්‍යවේදීන් රාජ්‍ය බලපත්රගත කිරීමට එරෙහි වනු! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි, වරප්‍රසාදයක් නොවේ!
රාජ්‍යයට සේවය කරන පන්හිද රාජ්‍යය විසින්ම බිඳ දමනු ඇත. කම්කරු පන්තියට සේවය කරන පෑන කම්කරු පන්තිය විසින් ආරක්ෂා කරනු ඇත. මාධ්‍යවේදීන් තමන් සිටින්නේ කුමන පාර්ශවයේද යන්න තෝරා ගත යුතුය.
*Sri Lankan union agrees to government censorship of health employees (07 August 2023) https://www.wsws.org/en/articles/2023/08/,07/rhjc-a07.html
