ඊශ්‍රායල ජනඝාතක යුද්ධය බටහිර ඉවුර ද අලලා ව්‍යාප්ත කරයි

පරාක්‍රම කුරුප්පු විසිනි.

Bank West
අල්ලා ගත් බටහිර ඉවුරේ සෝදිසි මෙහෙයුමකදී ඊශ්‍රායල සොල්දාදුවන් පලස්තීන ජාතිකයෙකු අත්අඩංගුවට ගනී [ගොනුව: Jaafar Ashtiyeh/AFP]

ගාසා තීරයේ සිට ක්‍රියාත්මක වන හමාස් සංවිධානයට එරෙහි යුද්ධයක කඩතුරාව යටතේ ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය ගෙන යන ජනඝාතක යුද්ධය, අල්ලා ගත් බටහිර ඉවුර ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන්ට එරෙහිව ද මුලු බලය යොදා ක්‍රියාත්මක වෙමින් පවතී.

අල් ජසීරා ප්‍රවෘත්ති සේවය අද වාර්තා කලේ, සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනවලට අනුව මේ වන විට බටහිර ඉවුරේ පලස්තීන වැසියන් 111 ක් මිය ගොස්, 1950 ක පමන සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි. සරනගත කඳවුරුවලට කඩා පනින ඊශ්‍රායල හමුදා ඊශ්‍රායල වැසියන් විශාල වශයෙන් අත් අඩංගුවට ගනිමින් සිටින බව ද අල් ජසීරා වාර්තා කලේය. 

බටහිර තීරයට එල්ල වන මෙම මිලිටරි ප්‍රහාරවලින් ද පැහැදිලි වන්නේ දූෂිත නෙතනියාහු තන්ත්‍රයේ මෙම වර්ග විලෝපන යුද්ධයේ පවතින විෂකුරු ස්වභාවයයි.  මෙම මානව විරෝධී යුද්ධය විසින් නිසැක ලෙස හා නිබඳ ව සිහිපත් කෙරෙන්නේ දෙවැනි ලෝක යුද්ධයට පෙරවදන ලෙස හිට්ලර් විසින් ගෙන යන ලද යුදෙව් ජන සංහාරයයි. වර්තමාන ඊශ්‍රායල සියොන්වාදී තන්ත්‍රය විසින් පලස්තීන ජනයා මුලුමනින් උපුටා දැමීමේ වාර්ගික විලෝපන යුද්ධයකට පිවිසීම ආවරනය කිරීමේ කඩ වැස්මක් ලෙස එකී ජන සංහාරය පාවිච්චි කිරීමට ඇමරිකා එක්සත් ජනපදයේ හා යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවත්හු දුබල උත්සාහයක යෙදෙමින් සිටිති. පසුගිය දින ගනන තුල එක්සත් ජනපද ජනාධිපති බයිඩන්, බ්‍රිතාන්‍ය අගමැති සුනැක්, ජර්මන් චාන්සලර් ස්ශෝල්ෂ්(z) සහ ප්‍රංශ ජනාධිපති මැක්‍රෝන් මෙම සිවිල් ජන සංහාරයේ අපවිත්‍ර මල් වට්ටියට අත ගැසීමට ඊශ්‍රායලයට සංචාරය කලෝය. මේ ‘යුදෙව් ප්‍රේම’යේ වංචාකාරී ස්වභාවය පිලිබඳ අගනා හෙලිදරව් කිරීමක් ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කර්තෘ මන්ඩලයේ සභාපති ඩේවිඩ් නෝර්ත් විසින් මිචිගන් සරසවියේ පවත්වන ලද දේශනයකින් කෙරෙන පහත උපුටා දැක්වීමෙහි එයි: 

“මෙකී නායකයෝ (බයිඩන්, සුනැක්, ස්ශෝල්ෂ්(z) සහ මැක්‍රෝන්) යුදෙව් ජනයා පිලිබඳ තම ප්‍රගාඪ සහකම්පනයක් පෙන්වා සිටිමින්, ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ප්‍රහාරය ආරක්ෂා කිරීමට ඉදිරිපත්වීම යුක්තියුක්ත කිරීමට නාසීන් විසින් සිදු කෙරුනු සමූලඝාතන සහායට කැඳවති. එවැනි ප්‍රකාශයන් තුළ ඇති වංචාවේ සහ කුහකකමේ පරිමාණය මිම්ම ඉක්මවා ඇත. ඔවුහු සියල්ලෝ, 1939 හා 1945 අතර කාලයේ යුදෙව්වන්ට වධ හිංසා පැමිනවීමට හා ඔවුන් සමූහ ඝාතනයට ලක් කිරීමට සංවිධානය කල, සහයෝගය දුන් හෝ එය නොතකා නො ඇසූ කන් ව සිටි ආන්ඩුවල අනුප්‍රාප්තිකයෝ වෙති…ප්‍රංශයේ පාලක පන්තිය මෙම ක්‍රියාවලියේ දී නාසීන් සමඟ සහයෝගයෙන් ක්‍රියා කරමින් යුදෙව් ජාතික ප්‍රංශ පුරවැසියන්ගෙන් සියයට විසි පහක පමන ප්‍රමානයක් සමූලඝාතනය සඳහා නාසීන්ට භාර දුන්නෝය. … යුරෝපයේ නාසීන් විසින් අල්ලා ගන්නා ලද ප්‍රදේශවලින් පලා ආ යුදෙව් සරනගතයන්ට සැලකූ කෲර ආකාරය බ්‍රිතාන්‍ය පාලක පන්තියේ යුදෙව් විරෝධයට දෙස් දෙයි. … බ්‍රිතාන්‍යය කරා පලා ආ 20,000 කට අධික ජර්මානු යුදෙව් ජනයා “සතුරු විදේශිකයන්” ලෙස වර්ගීකරනය කර යුද සිරකරුවන් ලෙස රඳවා ගන්නා ලදී. … හචින්සන් කඳවුර නම් වූ මෙවැනි එක් කඳවුරක සිරගත ව සිටි 1,200 ක සරනගතයන් අතර ප්‍රමුඛ කලාකරුවන්, සංගීතඥයන් හා බුද්ධිමතුන් ද වූ බැව් කියැවේ. .. එක්සත් ජනපදයේ රූස්වෙල්ට් පාලනය යුදෙව්වන්ගේ ඉරනම පිලිබඳ දැක්වූ නොතැකීම ප්‍රතික්ෂේප කල නොහැකි ඓතිහාසික කරුනකි. ඇමරිකාවට ඇතුලුවීමට අවසර නොලැබීම හේතුවෙන්, ගලවා ගත හැකි ව තිබූ යුදෙව්වන් ලක්ෂ ගනනකට නාසි ගෑස් කාමරවල මිය යන්නට සිදු විය…”  (Socialist internationalism and the struggle against Zionism and imperialism, David North, ඔක්තෝම්බර් 25, 2023 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපියෙන් උපුටා පරිවර්තනය කරන ලදී.) 

එදා ජනඝාතනයකට පහසුකම් සැපයූ මෙම අධිරාජ්‍යවාදියෝ අද ද එබඳුම මානව ද්වේශී ම්ලේච්ඡත්වයක ආරක්ෂාවට උර දෙමින් සිටිති. හුදෙක් රැඳවුම් කඳවුරක ඉපැදීමට ඉරනම විසින් අනවනු ලැබීමේ වන්දිය ලෙස තුවාල ලබන, මිය යන දරුවන් දහස් ගනනකගේ ලෙයින් ඔවුන්ගේ අත් තෙත් වී ඇත. මෙම යුද්ධය බටහිර ඉවුර ප්‍රදේශයට ද, ජෝර්දානයට ද, ලෙබනනයට ද ව්‍යාප්ත කරමින් සමස්ත මැද පෙරදිග කලාපය ලේ විලක ගිල්වීමට ඔවුන්ට අවශ්‍ය ව ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top