කොක්‍රික වෘත්තීය සමිති නායකයන්ගේ පහරකෑමට ලක් වූ සසප සාමාජිකයා අයත් වෘත්තීය සමිතියට ලියයි

ලේකම්, කොලඹ ක්‍රියාකාරී කමිටුව විසිනි.

මොරටුව විශ්ව විද්‍යාලයේ ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ (ශ්‍රී.ලං.කා.නි.සං) සාමාජික හා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) සාමාජික දේහින් වසන්තට හා තවත් සසප සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී පසුගිය නොවැම්බර් 30 දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් විසින් එල්ල කර මැර ප්‍රහාරයට හෙලා දකිම්න්, දේශපාලන අදහස් සඳහා උද්ඝෝෂනය කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතිය ආරක්ෂා කරමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) ගෙන යන උද්ඝෝෂනයේ කොටසක් ලෙස ශ්‍රී.ලං.කා.නි.සං වෙත කොක්‍රික ලිපියක් යවන ලදී. එම ලිපිය පහත පලවේ.

Dehin
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සසප සාමාජික දෙහින් වසන්ත

2024-01-02

ලේකම්,

ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමය,

මොරටුව විශ්ව විද්‍යාලය,

කටුබැද්ද,

මොරටුව.

ශ්‍රී.ලං.කා.නි. සංගමයේ සාමාජික දේහින් වසන්තට හා තවත් සමාජවාදී සමානතා පක්ෂ සාමාජිකයෙකුට මොරටුව සරසවිය අසල දී එල්ල කළ ප්‍රහාරය 

ඔබ සමිතියේ වසර ගණනාවක සිට සාමාජිකත්වය දරන දේහින් වසන්තට හා සමාජවාදී සමානතා පක්ෂයේ තවත් ක්‍රියාකාරිකයෙකු වන ලක්ෂ්මන් ප්‍රනාන්දුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් ධුර දරන ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන නම් අය විසින් එල්ල කර ඇති මැර ප්‍රහාරය පිළිබඳව ඔබ දන්නා බව අපේ විශ්වාසයයි. 

දේහින් ශත වර්ෂයකින් හතරෙන් පංගුවකට අධික කාලයක් මොරටුව විශ්ව විද්‍යාලයේ සේවය කර ඇත. ප්‍රහාරයෙන් ඔහුගේ අතේ අස්ථි බිඳීමක් සිදු වී ඇති අතර එම හානිය සිදු වී ඇත්තේ හිසට එල්ල වූ මාරක පොලු පහරක් වැලැක්වීමට ඔහු දැරූ උත්සාහයේ දී ය. මේ සා ප්‍රචණ්ඩ ප්‍රහාරයකට වසන්ත ගොදුරු වී ඇත්තේ ප්‍රසිද්ධ දේශනයක් පිළිබඳ පත්‍රිකාවක් සිය සේවා ස්ථානය වන මොරටු විශ්ව විද්‍යාලය අසල බෙදමින් සිටිය දී ය. ප්‍රහාරය එල්ල වී ඇත්තේ දේශපාලනය කිරීමට කම්කරු පන්තියට ඇති අයිතියට ය. මෙය පොදු පෙරමුනු මැරයන්ට අනුගත නොවන අදහස් දැරීම හා ප්‍රචාරය කිරීම සීමා කිරීමේ ප්‍රචණ්ඩත්වයකි. මේ නිසා, අඩුම තරමින් ඔබේ සාමාජිකයා වෙනුවෙන් යුක්තිය ඉල්ලීමට හා එකී මැරයන් කම්කරු ව්‍යාපාරය තුළ හෙළිදරව් කර අපකීර්තියට භාජනය කිරීමට ප්‍රමාද වීම් වශයෙන් සිදු වී ඇති පැහැර හැරීම සුළුපටු නොවේ. මේ තතු වහා නිවැරදි කිරීමට පියවර ගන්නා මෙන් ඔබෙන් ඉල්ලා සිටිමු.

මෙම ප්‍රහාරයට විරුද්ධව සක්‍රිය ලෙස ප්‍රතිචාර දැක්වීමට ඔබට හේතු ගණනාවක් වෙයි. එම හේතු අතර මූලිකතම ඒවා පහත දක්වමු.

  1. සමස්ත කම්කරු පන්තිය මේ මොහොතේ මුහුණ පා සිටින ආන්තික ප්‍රහාරයන් අප අමුතුවෙන් පෙන්වා දිය යුතු නැත. අධික ජීවන වියදම සමඟ අතිනත පටලවා ගත් වැටුප් කප්පාදු, අධික බදු බර සහ අත්‍යන්ත ලෙස ඉහළ නැඟෙන ජීවන වියදමට ද අමතරව නිදහස් සෞඛ්‍ය සේවය ඇතුළු සේවාවන් වෙත එල්ල කෙරෙන ඍජු හා වක්‍ර ප්‍රහාර කම්කරු පන්තිය මත අඛණ්ඩව පතිත කෙරෙමින් පවතී. මෙම ප්‍රහාරවල පසුබිමේ පවතින්නේ ලංකාවේ ධනපති ආන්ඩුව ගෙල මුලින් අල්ලා ගෙන සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) පනවා ඇති රුදුරු කොන්දේසි කෙලින් ම කම්කරු පීඩිතයන්ගේ උර මත පටවමින්, ඔවුන්ගේ ජීවන කොන්දේසිවල වියදමින් අයිඑම්එෆ් ඉල්ලා සිටින මස් රාත්තල ලබා දීමේ ආන්ඩුවේ ප්‍රයත්නයයි. 

මීට එරෙහි කම්කරු ප්‍රතික්‍රියා වලක්වනු වස්, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතීන් තලා දැමීමේ සැලසුම් ද නො අඩුව ක්‍රියාත්මක වේ. ඒ සඳහා අණපනත් ගණනාවක් දැනටමත් ඉදිරිපත් කෙරී ඇත. මහජනයා ඉදිරියේ අවලංගු කාසියක් වී ඇති ධනපති පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් පත්‍රිකාවක් බෙදීමේ අයිතියට එරෙහිව කායික ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ මේ පසුබිම යටතේ ය. එය ආන්ඩුවේ හා අයිඑම්එෆ් සංවිධානය විසින් හෙලනු ලබන පහරට සමගාමීව, ඒ හා අත්වැල් බැඳ ක්‍රියාත්මක වන ප්‍රහාරයකි. ධනපති පොදුජන පෙරමුනේ ප්‍රධාන දේශපාලකයෙකු වන ගාමිනී ලොකුගේ මැදිහත් වී මැරයන් බේරා ගැනීම විසින් පෙන්නුම් කෙරෙන්නේ මෙම මැරකම හුදෙක් හුදෙකලා අහම්බයක් නොවන බවයි.  

මේ වර්ගයේ ප්‍රහාර, ලංකාවේ කම්කරුවන්ට ඉදිරියේ දී මුහුන දීමට සිදුවන ප්‍රධානතම අභියෝගයක් වනු ඇත. ඉදින් ඔබේ ම සාමාජිකයෙකු මේ මැර ප්‍රහාරයට ගොදුරු නොවූයේ වුව ද, ඊට එරෙහිව තීරණාත්මක ලෙස මැදිහත් වීමට ඔබට හැම හේතුවක් ම පවතී. 

  1. එසේ වුව, ප්‍රහාරයට ගොදුරු වී ඇත්තේ ඔබේ සමිතියේ දීර්ඝ කාලීන සාමාජිකයෙකි. සාමාජිකයන්ගේ අයිතීන් සුරැකීමේ අරමුණ පෙරදැරි කර පිහිටුවා ඇති වෘත්තීය සමිතියකට, සිය සාමාජිකයෙකුගේ ජීවිතාරක්ෂාවට එල්ල වන තර්ජනයක් සහ ඔහුගේ මූලික අයිතීන් උල්ලංඝනය කිරීමක් නොතකා සිටීමට අයිතියක් නැත. මේ සාමාජිකයන්ට යුක්තිය ඉල්ලා සිටීම සෑම අතින් ම ඔබේ වගකීමක් වෙයි. 
  2. මෙසේ මැරයන් වෘත්තීය සමිති නිලධාරීන් ලෙස කටයුතු කරමින් සිටීම ම කම්කරු පන්තිය හමුවේ ඉතා ඉහළ අන්තරායයක් දනවයි. කම්කරු පන්තියේ කාර්මික ශක්තියට එරෙහි මදාවි ප්‍රහාරවලට ඉදිරිපත් වන්නන් කම්කරු නායකයන් ලෙස පෙනී සිටීමේ අපකීර්තියෙන් ඔබේ සමිති රැක ගැනීමට නම්, මේ සම්බන්ධ ඍජු ආස්ථානයක් ගනිමින් තීරණාත්මක මැදිහත් වීමක් සිදු කිරීම ඔබට මඟ නොහැරිය හැකි වගකීමකි. 

මෙම තතු යටතේ කාර්මික නිලධාරීන්ගේ සංගමය මෙකී ප්‍රහාරයට එරෙහිව ඉදිරිපත් නොවී මුණිවත රැකීම, ඊට දක්වන අනුග්‍රහයක් විනා අනෙකක් නොවේ.

එසේ නොකිරීම, ඔබේ සමිතියේ සාමාජිකයන් ද ඇතුලුව මෙම අභියෝගයට මුහුන දී සිටින කම්කරුවන් අනාරක්ෂිත කර අනතුරේ හෙලීමක් වෙයි. 

මේ අනුව, මෙම ප්‍රහාරය පිලිබඳව කාර්මික නිලධාරී සංගමයේ සාමාජිකයන් දැනුවත් කර, ඊට විරුද්ධත්වය ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීමට ඔවුන්ගේ පංති ශක්තිය බලමුලු ගැන්වීම සඳහා නොපමාව හා බැරෑරුම් ලෙස ක්‍රියාත්මක වන මෙන් කොලඹ ක්‍රියාකාරී කමිටුවේ අපි ඉල්ලා සිටිමු. 

ආන්ඩුව, ධනපති පන්තිය හා ජාත්‍යන්තර ධනේශ්වර පර්යාය අත්වැල් බැඳ එල්ල කරන ඒකාබද්ධ ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය ස්වකීය පන්ති ශක්තිය ඒකාබද්ධ කර මෙහෙයවිය යුතු බව සහ එහි දී විවිධ ශ්‍රේනිවලට අයත්, විවිධ සමිතිවලට බැඳී සිටින සහ සමිතිවල සාමාජිකත්වය නොදරන කම්කරුවන්ගේ එක්සත් කාර්මික ශක්තිය ගොනු කල යුතු බව කොලඹ ක්‍රියාකාරී කමිටුවේ අපේ විශ්වාසයයි. එකෙකුට එල්ල වන පහර සියල්ලන්ට එරෙහි පහරක් ලෙස සලකා ගැනීම අත්‍යවශ්‍ය ය. එය පමා වන දිනක් පාසා කම්කරුවන්ට එරෙහිව එල්ල වන මැර හස්තයන් වඩවඩාත් ශක්තිමත් වනු ඇත.

මේ ප්‍රහාරයට එරෙහිව ක්ෂනික පියවර ගන්නා ලෙසත්, ඔබ ගන්නා පියවර පිලිබඳව නොපමාව අප දැනුවත් කරන ලෙසත් අපි මෙයින් ඉල්ලා සිටිමු. 

මෙයට,

ශාන්ත විජේසූරිය

ලේකම්,

කොළඹ ක්‍රියාකාරී කමිටුව

Image Courtesy of WSWS.org.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top