කොරියානු යුද්ධය අවසන් වී වසර 70 යි – 01 කොටස

බෙන් මැග්‍රාත් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 26 දින පල වූ ‘70 years since the end of the Korean War‘ යන බෙන් මැග්‍රාත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

Korean war
1951 දී එක්සත් ජනපද B-26 බෝම්බ හෙලන යානයක් උතුරු කොරියාවේ වොන්සාන් නගරයට බෝම්බ හෙලයි.

තෙවසරක කොරියානු යුද්ධයේ සටන් අවසන් කර කොරියානු අර්ධද්වීපයේ සීතල යුද බෙදීම ස්ථාවර කල සටන් විරාමය අත්සන් කිරීම සනිටුහන් කරන කොටස් දෙකකින් යුත් ලිපියක පලමු කොටස මෙයයි. දෙවන කොටස මෙතැනින් ලබා ගත හැක.

1953 ජූලි 27 වන දින උතුරු සහ දකුනු කොරියාව අතර දැඩි ලෙස මිලිටරිකරනය වූ දේශසීමාවේ පිහිටි පැන්මුන්ජොම් (Panmunjeom) හිදී සටන් විරාමයක් අත්සන් කර , කොරියානු අර්ධද්වීපයේ සතුරුකම් අවසන් වීමෙන් දැනට  වසර හැත්තෑවක් ගත වී ඇත. සටන් විරාමය කොරියාවෙහි  යුද මුක්ත කලාපය (DMZ) වශයෙන් අර්ධද්වීපය හරහා විහිදෙන කිලෝමීටර් හතරක් පලල බිම් තීරුවක් ස්ථාපිත කරන ලදී. දෙවන ලෝක යුද්ධය අවසානයේ 38 වැනි සමාන්තරය ඔස්සේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් කොරියාව කෘත්‍රිම ලෙස බෙදීමෙන් පසු, සීතල යුද්ධයේ ආරම්භයේ දී පුපුරා ගිය ගැටුමක අද දක්වා ම ඇදී එන ප්‍රතිඵලය මෙයයි.

විශේෂයෙන්ම 1949 චීන විප්ලවයේ ප්‍රතිඵලයක්  ලෙස එයට එල්ල වූ දැවැන්ත පහරින් පසුව, එක්සත් ජනපදය ආසියාවේ සිය ආධිපත්‍යය යලි තහවුරු කර ගැනීම සඳහා යුද්ධය උසිගැන්වීය.කිසිඳු සාම ගිවිසුමක් අත්සන් කර නොමැති වීමේ හේතුවෙන් අර්ධද්වීපය රූපික යුද තත්ත්වයකට පත් කර ඇත . අද දක්වාම, එක්සත් ජනපදය උතුරු කොරියාවට රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික බාධක පවත්වාගෙන යමින් , 1953 ඔක්තෝබර් 1 දින අත්සන් කරන ලද දකුනු කොරියාව සමග වන මිලිටරි සන්ධානයක් ද පවත්වාගෙන යයි. වොෂින්ටනය, සිය ගෝලීය ආධිපත්‍යයට ඇති ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනයට එරෙහි සිය යුද සූදානම වේගවත් කිරීමත් සමග පසුගිය දශකය තුල සන්ධානය ශක්තිමත් වී ඇත.  දකුනු කොරියාව දැනට එක්සත් ජනපද කඳවුරු දුසිම් ගනනකට සහ ආසන්න වශයෙන් 28,500 භට පිරිස් සඳහා සත්කාරකත්වය සපයයි.

ගැඹුරු ඓතිහාසික කැලැල් කොරියාවේ  ඉතිරිව පවතී. විශාල ජීවිත හානි සහ ආර්ථික විනාශයන් සමඟ කොරියානු රටවල් දෙකම විනාශ විය. ගැටුමේදී , සිවිල් වැසියන් මිලියන 2.5 ක් මිය ගිය බව ගනන් බලා ඇත. උතුරේ  සහ දකුනේ පිලිවෙලින් ආසන්න වශයෙන් 520,000 ක් සහ 415,004 ක් සොල්දාදුවන්ගේ ජීවිත  අහිමි විය. තවත් චීන භටයන් 900,000 ක් සහ ඇමරිකානුවන් 36,940 ක් මිය ගියහ. යුද්ධයට සම්බන්ධ එක්සත් ජනපද මිත්‍ර පාක්ෂිකයින්ගේ තවත් සොල්දාදුවන් දහස් ගනනකට ද ජීවිත අහිමි විය. කොරියාවේ, අර්ධද්වීපයේ කෘතිම බෙදීම මගින් මිලියන ගනනක පවුල් වල සාමාජිකයන් එකිනෙකාගෙන් වෙන් කරන ලදී. බොහෝ දෙනෙකුට තවමත් කිසිදු සම්බන්ධයක් පවත්වා ගැනීමට නොහැකි වී ඇත.

korean war
1951 මාර්තු 22 වන දින තම නිවස සොයා ගැනීමට උත්සාහ කිරීම සඳහා චංචොන් හි බෝම්බ ප්‍රහාරයෙන් සුන්බුන් විසිරී ඇති වීදිවල, ​​තමා සන්තක  දේපල හිස මත තබාගෙන මහලු කාන්තාවක් ඇවිද යයි. [AP Photo/Jim Pringle]

කොරියාවෙන් පිටත, යුද්ධය ගැන එතරම් දැනුමක් නැති අතර එහි මූලාරම්භය ගැන අවබෝධය ඊට ද වඩා අඩුය. ඉතිහාසඥ බෲස් කමිංස්  එය “අමතක වූ යුද්ධයක් සහ කිසිදා නොදන්නා ලද යුද්ධයක්” ලෙස විස්තර කරයි [1]. ඒ සම්බන්ධව පවතිනුයේ. , දෙවන ලෝක යුද්ධයෙන් පසු එහි පලමු ප්‍රධාන නව යටත් විජිත මැදිහත්වීමේ ම්ලේච්ඡත්වය යුක්ති සහගත කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ප්‍රවර්ධනය කරන ලද ප්‍රචාරයයි. මෙම ආඛ්‍යානය තුල, උතුරු කොරියාව 1950 ජූනි 25 දින ප්‍රකෝප නො කරන ලදුව සිදුකල ප්‍රහාරයකින් දකුනු කොරියාව ආක්‍රමනය කලේය. ඒකාධිපති උතුරේ ආක්‍රමනකාරීත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී දකුන ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් අනුමතකරන ලද යුද්ධයකට එක්සත් ජනපදය සහ එහි සහචරයින් නායකත්වය දුන්හ.

යථාර්ථයේ දී, මෙම ප්‍රකාශයන් මහා විකෘති කිරීම් සහ අමූලික බොරුවලට වඩා වැඩි දෙයක් නොවේ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් 1945 දී කොරියාව ඒකපාර්ශ්විකව බෙදීමත්, ඉන්පසුව කිසිදු සැලකිය යුතු මහජන සහයෝගයක් නොමැති, මර්දනය තුලින් පමනක් පාලනය කල හැකි පාලනයක් දකුනේ ස්ථාපනය කරමින්, ක්‍රියාත්මක වූ ක්‍රියාවලියක අවසාන ප්‍රතිඵලය වූයේ පූර්න පරිමාන සතුරුකම් වල ආරම්භයයි.

කොරියානු යුද්ධයේ මූලාරම්භය කුමක්ද?

ජපානය, රුසියාව සහ චීනය අතර ඊසානදිග ආසියාවේ උපායමාර්ගිකව පිහිටා ඇති කොරියාව දිගු කලක් අධිරාජ්‍යවාදී කූටෝපායන්වල කේන්ද්‍රස්ථානය වී ඇත. 1905 රසෝ-ජපන් යුද්ධයේදී සාර්වාදී රුසියාව පරාජය කිරීමෙන් පසු කොරියාව ජපානයේ තනි බලපෑමට යටත් විය. 1910 දී ජපානය විධිමත් ලෙස කොරියාව ඈඳා ගත් අතර 1945 අගෝස්තු 15 වන දින දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වන තෙක් වසර 35 ක් පුරා අර්ධද්වීපය පුරා එහි කුරිරු යටත් විජිත පාලනය පවත්වාගෙන ගියේය.

දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිතිව ගෝලීයව විනාශ වූ ධනවාදයේ අර්බුදය සහ අස්ථාවරත්වයේ පුලුල් සන්දර්භය තුල පමනක් කොරියාවේ බෙදීම සහ පසුව කොරියානු යුද්ධය පුපුරා යාම තේරුම් ගත හැක.  1937 දී ජපානය විසින් චීනය ආක්‍රමනය කිරීමත් සමඟ ඈත පෙරදිග ක්ෂේත්‍රය තුල දී ආරම්භය ලබන  ජාත්‍යන්තර ගැටුම, යුරෝපයේ සහ ආසියාවේ පෙර නොවූ විරූ මරන හා විනාශයන්  ශේෂ කර තිබුනි. උග්‍ර  ආර්ථික හා සමාජ අර්බුදය, ලෝක යුද්ධ දෙකක් සහ මහා අවපාතය හරහා ගමන් කල  ජාත්‍යන්තර කම්කරු පන්තිය තුල ගැඹුරු විරුද්ධත්වයක්  අවුලුවාලමින් තිබුනි. ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් ආසියාව පුරා වර්ධනය වෙමින් තිබූ යටත් විජිත විරෝධී කැරලිවලට මුහුන පා සිටියහ.

අධිපති අධිරාජ්‍යවාදී බලවතා ලෙස යුද්ධයෙන් මතු වූ එක්සත් ජනපදයට ලෝක ධනවාදය යලි ස්ථාවර කිරීමට ඇති හැකියාව සාධක දෙකක් මත රඳා පැවතුනි: තමන්ගේම අතිමහත් ආර්ථික ශක්තිය සහ පශ්චාත් යුද විප්ලවවාදී ව්‍යාපාර සෝවියට් ස්ටැලින්වාදී නිලධරය විසින් කරන ලද පාවාදීම් ය.

1941 දී සෝවියට් සංගමය නාසි ආක්‍රමනයෙන් පසුව, ස්ටාලින් ජාත්‍යන්තර කම්කරු පන්තිය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලවතුන්ගේ සන්ධානයකට යටත් කලේය. පශ්චාත් යුද විධිවිධාන ගැන ටෙහෙරාන්, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි එක්සත් ජනපද හා බ්‍රිතාන්‍ය නායකයන් සමඟ පැවති යුද කාලීන සම්මන්ත්‍රනවලදී, ඔහු නැගෙනහිර යුරෝපයේ සෝවියට් බලපෑම් කලාපයක් වෙනුවෙන් ලෝකයේ සියලුම රටවල සහ ඒවායෙහි කම්කරු පන්තියේ ඉරනම නරුම ලෙස හුවමාරු කලේය.

බටහිර යුරෝපය පුරා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂවලට උපදෙස් දෙනු ලැබුවේ ධනේශ්වර පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම සදහා  කම්කරු පන්තියේ විරුද්ධත්වය යටපත් කරන ලෙසයි – සමාජවාදී විප්ලවය න්‍යාය පත‍්‍රයෙන් ඉවත් විය. විශේෂයෙන්ම ප්‍රන්සයේ සහ ඉතාලියේ, ස්ටැලින්වාදීන් ආක්‍රමනිකයාට එරෙහි සටන්කරුවන් (partisans ) නිරායුධ කිරීමේ සහ අපකීර්තියට පත් ධනේශ්වර පක්ෂවල දේශපාලන වාසනාව පුනර්ජීවනය කිරීමේ ප්‍රධාන භූමිකාව ඉටු කලහ. ස්ටැලින්වාදී නායකයින් පශ්චාත් යුධ ධනේශ්වර ආන්ඩුවලට ඇතුල් වූයේ වැඩ වර්ජන සහ විරෝධතා මැඩලීමේ කේන්ද්‍රීය  භූමිකාව බාරගත් ඇමතිවරුන් ලෙස ය.

ආසියාවේ, ස්ටැලින්වාදී පක්ෂ රටින් රට යටත් විජිත බලවතුන්ගේ නැවත පැමිනීමට සහ ධනේශ්වර පාලනය ස්ථාවර කිරීමට සහය වීමට මූලික විය. ජපානයේ දී, වෘත්තීය සමිති හා කාර්මික ක්‍රියාමාර්ගවල දැවැන්ත වර්ධනයක් මධ්‍යයේ, කොමියුනිස්ට් පක්ෂය ඇමරිකානු වාඩිලෑම ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ වාහකයා ලෙස නිරූපනය කල අතර වැඩ වර්ජන මැඩපැවැත්වීමට සහාය විය.

බටහිර යුරෝපයේ ධනවාදය යථා තත්ත්වයට පත් කිරීමෙන් පසු, සෝවියට් බලපෑමේ ඕනෑම වර්ධනයක් නැවැත්වීමට අධිෂ්ඨාන කර ගත් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ප්‍රහාරයක් දියත් කලේය. 1947 මාර්තු මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෲමන් ඔහුගේ “සීමා කිරීමේ” ප්‍රතිපත්තිය නිවේදනය කරමින්, “සන්නද්ධ සුලු ජාතීන්ට” සහ “බාහිර පීඩනයන්ට” ප්‍රතිරෝධය දක්වන “නිදහස් ජනතාවන්ට” එක්සත් ජනපදයට සහාය දිය යුතු බව කොන්ග්‍රසයට පැවසීය. දිග්ගැස්සුනු සීතල යුද්ධයේ ආරම්භය සනිටුහන් කල ටෲමන් මූලධර්මය,  “ප්‍රජාතන්ත්‍රවාදයේ” නාමයෙන්ය යන කඩතුරාව යටතේ, එක්සත් ජනපදයේ අනුග්‍රහය ලත් කුමන්ත්‍රන, මිලිටරි මැදිහත්වීම් සහ ලොව පුරා ආඥාදායකත්වයන් සඳහා පිටුබලය සැපයිම ආදී සියලු දේම සිදු කෙරිනි. 

කොරියාවේ ආක්‍රමනයට පෙරවදනක්

1943 මාර්තු මාසයේදී වොෂින්ටනය ප්‍රථමයෙන් කොරියාව වැනි රටවල් සඳහා ඊනියා “භාරකාරත්වය” පිලිබඳ ප්‍රශ්නය – යටත් විජිත පාලනය සඳහා මෘදූක්තියක් හෙවත් මෘදු යෙදුමක් – ඉදිරිපත් කරමින් කොරියානුවන් ස්වයං පාලනය පිලිබඳව “අධ්‍යාපනගත” කිරීම අවශ්‍ය බව ප්‍රකාශ කලේය. ස්වාධීන කොරියාවක්, සෝවියට් සංගමය දෙසට නැඹුරු විය හැකි බව හොඳින් දැන සිටි වොෂින්ටනය, “නිසි කලදී”කොරියාවේ ස්වාධීනත්වයට එකඟ වුවද, කොරියාවේ භාරකාරත්වය සඳහා 1945 මැයි මාසයේදී ස්ටාලින්ගෙන් වාචික එකඟතාවයක් ලබා ගත්තේය.

කෙසේ වෙතත්, 1945 ජූලි මාසයේදී පරමානු බෝම්බය සාර්ථක ලෙස අත්හදා බැලීමත් සමඟ, වොෂින්ටනය පශ්චාත් යුද ආසියාවේ ඇමරිකානු ආධිපත්‍යය සහතික කිරීම සඳහා එහි මූලික සැලසුම් දැඩි ලෙස වෙනස් කලේය. බෲස් කමිංස්  ගේ වචනවලට අනුව, එක්සත් ජනපද මූලෝපාය වූයේ, “රාජ්‍ය තාන්ත්‍රිකභාවය අත්හැරීම, පැසිෆික් යුද්ධය ඉක්මනින් අවසන් කිරීම සහ පශ්චාත් යුධ නැගෙනහිර ආසියානු කටයුතුවල සැලකිය යුතු සහභාගීත්වයෙන් සෝවියට් සංගමය ඉවත් කිරීමය”[2].

සෝවියට් සංගමය 1941 අගෝස්තු 08 දින දී ජපානය සමඟ අත්සන් කල ආක්‍රමන-නොකිරීමේ  ගිවිසුම බිඳ දමමින් පැසිෆික් සාගරයේ යුද්ධයට අවතීර්න වීමේ  හිලව්වට – මෙය අගෝස්තු 8 වෙනි දින සිදුවිය- මැන්චූරියාව සහ කොරියාව  වෙත මොස්කව් විසින්යම් ආනුභාවයක් පවත්වා ගැනීමට ඉඩ දීම සඳහා මුලදී එක්සත් ජනපදය කැමැත්තෙන් සිටියේ ය. කොරියාව සහ මැන්චූරියාව ආක්‍රමනය වාඩිලා සිටි  දක්ෂ ජපන් ක්වාන්ටුන්ග් හමුදාව විසින් රතු හමුදාවට  අධික විනාශයක් ලබා දෙනු ඇති බවත්,එනයින් එම වියදම එක්සත් ජනපද හමුදාවට දැරීමට සිදු නොවනු ඇති බවත් වොෂින්ටනයේ  විශ්වාසය විය.

පසුදා, අගෝස්තු 6 හිරෝෂිමා වෙත පරමානු බෝම්බය හෙලීමෙන් දින තුනකට පසුව එක්සත් ජනපදය නාගසාකි වෙත ද පරමානු බෝම්බයක් හෙලුවේ,  සිවිල් ජනතාව මත දැවැන්ත මරන හා විනාශයන් සිදු කරමිනි. ටෝකියෝව ඒ වන විටත් යටත් වීමට ඇති කැමැත්ත පෙන්නුම් කරමින් සිටියද, ආක්‍රමනයකදී ඇමරිකානු සොල්දාදුවන්ගේ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය යැයි කියමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය මෙම බිහිසුනු යුද අපරාධ යුක්ති සහගත කලේය. සැබෑ අරමුන වූයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සහ පශ්චාත් යුධ සමථය සඳහා එක්සත් ජනපදය විසින් කොන්දේසි නියම කරන බව ලෝකයට පෙන්වීමයි.

කෙසේ වෙතත්, සෝවියට් රතු හමුදාව මුලු කොරියානු අර්ධද්වීපයම අල්ලා ගනු ඇතැයි යන බිය මතු කරමින් ජපානයේ ක්වාන්ටුන්ග් හමුදාව වේගයෙන් බිඳ වැටෙනු ඇතැයි වොෂින්ටනය ගනන් බලා තිබුනේ නැත. ජපානයට එරෙහිව යුද්ධය ප්‍රකාශ කිරීමෙන් පසු දින, අගෝස්තු 9 වන දින සෝවියට් හමුදාව කොරියාවේ මෙහෙයුම් ආරම්භ කල අතර දින කිහිපයක් ඇතුලත කොරියානු නගර සහ නගර ගනනාවක පාලනය අතට ගත්තේය.

Attlee Truman Stalin
බ්‍රිතාන්‍ය අගමැති ක්ලෙමන්ට් ඇට්ලි, එක්සත් ජනපද ජනාධිපති හැරී එස්. ටෲමන් සහ ජෝසප් ස්ටාලින් 1945 ජූලි මාසයේ පොට්ස්ඩෑම් සමුලුවේදී.

ආසියාව පුරා ජපානයේ ඉතා ආසන්න යටත් වීම ගැන සම්පූර්නයෙන්  නිමග්න ව සිටි එක්සත් ජනපදය ප්‍රතිචාරයක් සඳහා වලිකමින් සිටියේය. වොෂින්ටනයේ යුද සැලසුම්කරුවන් අගෝස්තු 10 සහ 11 යන දිනවල පැවති රැස්වීම් වලදී ඒකපාර්ශ්වික තීරනයක් ගත්තේ 38 වැනි සමාන්තරයට අනුව කොරියාව වෙනම වාඩිලාගැනීමේ කලාපවලට බෙදීමටය. ඔහු යුරෝපයේදී , ඔහු එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සමඟ කේවලයේ යෙදුනු ආකාරයෙන්ම , ස්ටැලින් , විරුද්ධත්ටයේ මැසිවිල්ලකින් තොරව බෙදීම පිලිගත්තේය.

එක්සත් ජනපදය කොරියානු මහජන සමූහාන්ඩුව පසෙකට අතුගා දමයි

මාසයකට පසු, ජෙනරාල් ජෝන් හොජ්ගේ නායකත්වයෙන් යුත් එක්සත් ජනපද හමුදාව 1945 සැප්තැම්බර් 8 වන දින කොරියාවට පැමිනියේ කොරියාවේ එක්සත් ජනපද හමුදා රජය (USAMGIK) ලෙස නිල වශයෙන් හැඳින්වූ එම වාඩිලෑම ස්ථාපිත කිරීම සඳහා ය.

කෙසේ වෙතත්, ඉවත්ව යන ජපන් යටත් විජිත රජය ඒ වන විටත් යෙඕ උන්-හයියොං (Yeo Un-hyeong) වෙත පරිපාලන කටයුතු පවරා තිබුනි. වාමාංශික හා දක්ෂිනාංශික ධනේශ්වර ජාතිකවාදීන්ගේ එකතුවක් සමඟින්, යෙඕ කොරියානු නිදහස සූදානම් කිරීම සඳහා කමිටුව සහ පසුව සැප්තැම්බර් 6 වන දින කොරියානු මහජන සමූහාන්ඩුව (KPR) පිහිටුවා තිබුනි. පලාත් පාලන කාර්යයන් ඉටු කිරීම සඳහා රට පුරා මහජන කමිටු පිහිටුවිනි.

එක්සත් ජනපද මිලිටරිය දෙසට නැඹුරු වූයේ කොරියානු ධනේශ්වරයේ වඩාත්ම දක්ෂිනාංශික කොටස් පමනි. මෙයට 1945 සැප්තැම්බර් 16 වැනි දින පිහිටුවන ලද කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (KDP) ඇතුලත් විය. KDP ධනවත් ව්‍යාපාරිකයන්ගෙන් සහ විශාල ඉඩම් හිමියන්ගෙන් පිරී ගිය අතර, ඔවුන්ගේ දේපල අවශ්‍යතා සහ  පලිගැනීම් වලින් ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කිරීමේ මාධ්‍යයක් ලෙස කොරියාවේ “භාරකාරත්වය” සඳහා එක්සත් ජනපද සැලසුම්වලට සහාය විය. 

මෙම ගතානුගතිකයින්ගෙන් බොහෝ දෙනෙක්, පෙර යුගයේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූවන් පවා, පසුව දකුනු කොරියානු රජයේ පදනම සංයුක්ත කල  ජපන් සහයෝගිතාකරුවන් විය. එවැනි එක් සහයෝගිතාකරුවෙකු වූයේ, Dong-A Ilbo පුවත්පත ආරම්භ කල සහ කොරියානු යුද්ධ කාලයේ, 1951 සිට 1952 දක්වා දකුනු කොරියාවේ උප සභාපති ලෙස සිංමන් රී (Syngman Rhee) යටතේ සේවය කිරීමට ගිය කිම් සිඔං-සු (Kim Seong-su) ය.

එක්සත් ජනපදයට කොරියානු කම්කරු පන්තිය හා ගොවීන් අතර පිලිගැනීමක් හෝ සහයෝගයක් නොතිබූ අතර ඒ වෙනුවට ශූන්‍ය තත්ත්වයක සිට පාලන තන්ත්‍රයක් නිර්මානය කිරීමට උත්සාහ කලේය. USAMGIK, KDPය  සිය මෙහෙයුම් වලට ඒකාබද්ධ කලේ , KPR , සිය වාඩිලෑමට  විරුද්ධත්වය අවුලුවනු ඇතැයි යන බියෙන් ත්‍රස්ත වී ගනය. USAMGIK පසුව දෙසැම්බර් 8දා කම්කරුවන්ගේ වැඩවර්ජන තහනම් කල අතර දෙසැම්බර් 12දා මහජන කමිටු සමග KPR නීති විරෝධී කලේය.

මහජන විරෝධය සමඟ කටයුතු කිරීම සඳහා, සිය යටත් විජිත පාලනයට එරෙහි ඕනෑම විරෝධයක් කුරිරු ලෙස මර්දනය කිරීමට මූලික වූ ජපාන යටත් විජිත පොලිසියේ සේවය කල කොරියානු නිලධාරීන්ගෙන් වැඩි ප්‍රමානයක් එක්සත් ජනපදය විසින් රඳවා තබා ගත්තේය. ඔවුන් එක්සත් ජනපද වාඩිලෑමට සහාය දීමේ දී එම භූමිකාවම ඉටු කලහ.

ඒ අතරම, වොෂින්ටනය කොරියාවේ සිය කූටෝපායන්ට රබර් මුද්‍රා තබා ගැනීම සඳහා සෝවියට් සංගමය මත රඳා පැවතුනි. අනෙකුත් රටවල යුද්ධයේ අවසානය සමාජවාදය සඳහා ජනතා සහයෝගය ඉහල නැංවීමට හේතු වූවා සේම, මර්දනකාරී ජපන් පාලනයේ අවසානය කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ (KCP) වර්ධනයට තුඩු දෙනු ඇතැයි යන්න පිලිබඳව එක්සත් ජනපදය විශේෂයෙන් සැලකිලිමත් විය.

ස්ටැලින්වාදයේ භූමිකාව

ජපානයේ සිදු වූවාක් මෙන්, සෝවියට් ස්ටැලින්වාදී නිලධරය සහ කොරියාවේ එහි ආධාරකරුවන් කොරියාව බෙදීමට ප්‍රතිචාර දැක්වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයට ප්‍රශංසා කිරීමෙනි. ඔවුන් කියා සිටියේ එක්සත් ජනපද මිලිටරි ආක්‍රමනය ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවත්, එය ඈත අනාගතයේ සමාජවාදී විප්ලවයකට පෙර අත්‍යවශ්‍ය පලමු පියවරක් බවත් ය. ඊනියා ප්‍රගතිශීලී ධනේශ්වර බලවේග සඳහා සහයෝගය සාධාරනීකරනය කරන මෙම අදියර දෙකේ විප්ලව න්‍යාය සෑම විටම කම්කරු පන්තියට ව්‍යසනයක් ගෙන දෙමින්    අවසන් වී ඇත.

අදියර දෙකේ න්‍යාය 1917 රුසියානු විප්ලවයේ පාඩම් වල නිෂේධනයයි. එහි ප්‍රධාන නායකයන් වන ව්ලැඩිමීර් ලෙනින් සහ ලියොන් ට්‍රොට්ස්කි යන දෙදෙනාම අවධාරනය කර තිබුනේ රුසියාවේ ඊනියා ලිබරල් ධනේශ්වරය අත්‍යවශ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් ඉටු කිරීමට ඓන්ද්‍රීයව අසමත් බවයි. රුසියානු විප්ලවයට න්‍යායිකව මග පෙන්වූ මෙම නොනවතින විප්ලවයේ න්‍යාය තුල ට්‍රොට්ස්කි පෙන්නුම් කලේ, කොරියාව වැනි ප්‍රමාද වූ ධනේශ්වර සංවර්ධනයක් ඇති රටවල, එම කර්තව්‍යයන් නගරවල සංකේන්ද්‍රනය වී සිටින කම්කරු පන්තිය වෙත පැවරුනු බවයි. කොරියාවද , රුසියාව මෙන්, බොහෝ දුරට කෘෂිකාර්මික රටක් වුවද, එහි තරුන නිර්ධන පංතියට, යටත් විජිත පීඩනයට එරෙහිව සටන් කිරීමේදී, ගොවි ජනතාව බලමුලු ගන්වා බලයට පැමිනිය හැකිය. එසේ කිරීමේදී, ධනේශ්වර පුද්ගලික හිමිකාරිත්වය තුලට ගැඹුරට විනිවිදිමටත්, ලෝක සමාජවාදී විප්ලවය සඳහා අරගලයේ කොටසක් ලෙස ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමටත් එයට බල කෙරෙනු ඇත.

කොරියාවේ, අදියර දෙකක න්‍යාය විශේෂයෙන් විකාරරූපී ස්වරූපයක් ගත්තේය. එක්සත් ජනපදය සමග සබඳතා රැක ගැනීම සඳහා සෝවියට් සංගමය විශ්වාසය තැබුවේ කොරියානු ධනේශ්වර පන්තියේ නොපවතින ප්‍රගතිශීලී අංශයක් ප්‍රවර්ධනය කිරීම මත නොව අධිරාජ්‍යවාදය විසින්ම ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක් සිදු කරන බවටය.

මොස්කව්හි බලපෑම යටතේ, කොරියානු කොමියුනිස්ට් පක්ෂයේ දකුනු පියොංගන් පලාත් කමිටුව, උදාහරනයක් ලෙස, 1945 ඔක්තෝබර් 6 වැනි දින මෙසේ ප්‍රකාශ කලේය: “ජාත්‍යන්තර ගැටලු පිලිබඳ පැහැදිලි සාමාන්‍ය අවබෝධයක් නොමැතිකම නිසා, පක්ෂය කටිටිවාදීප්‍රවනතාවකින් පැන නගින වැරදි සිදු කර ඇත. , සහ ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය සහචරයින්ගේ ඓතිහාසික වශයෙන් ප්‍රගතිශීලී ලක්ෂන නොපැහැදිලි ලෙස සලකනු ලැබ ඇත.”[3]

එය තවදුරටත්: “අපේ කොරියාව සිය ලේ නොසෙල්වූ විප්ලවය සාර්ථක කර ගත්තේ සෝවියට් සංගමයේ ගාමක බලයෙන් සහ මහා බ්‍රිතාන්‍යයේ සහ එක්සත් ජනපදයේ දායකත්වයෙන් වන අතර, විප්ලවය දැන් අවසන් ලෙස නිම කිරීමේ ක්‍රියාවලියේ පවතී.”[4]

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය කොරියාවේ ධනේශ්වර විප්ලවය සම්පූර්න කරන බවට කරන ප්‍රකාශය සම්පූර්න ප්‍රෝඩාවකි. එහෙත් සෝවියට් පාලන තන්ත‍්‍රය කොරියාවේ පන්ති අරගලයේ ගෙල මිරිකීමට මෙම බොරුව මත විශ්වාසය තැබුවේ එක්සත් කොරියාවක් තුල තමන්ට හඬක් නැගීමට එක්සත් ජනපදය ඉඩ දෙනු ඇතැයි යන අපේක්ෂාවෙනි. අන් සියල්ලටමත් වඩා, වෙනත් රටවල කම්කරු පන්ති නැගිටීම් සෝවියට් සංගමය තුල දේශපාලන විරුද්ධත්වය අවුලුවාලනු ඇතැයි සෝවියට් පාලන තන්ත‍්‍රය භීතියට පත් විය.

එක්සත් ජනපදයට එහි අනුග්‍රහය දැක්වීමේදී , ජපන් යටත්විජිතවාදයට එරෙහිව වසර ගනනාවක අරගලය තුලින් අත්පත් කරගත් පුලුල්ව පැතිරුනු බලපෑමක් ඇති KPC යට මුඛවාඩම් දැමීමට මොස්කව් උත්සාහ කලේය. ඉතිහාසඥ Suh Dae-sook ප්‍රකාශ කලේ KCPය  “කොරියානු විප්ලවය ජාතිකවාදීන්ගෙන් උදුරා  ගැනීමට සමත්වූහ; ඔවුන් කොරියානු ජනතාව, විශේෂයෙන්ම සිසුන්, තරුන කන්ඩායම්, කම්කරුවන් සහ ගොවීන් අතර කොමියුනිස්ට් බලපෑමේ ගැඹුරු හරයක් රෝපනය කලහ. ඔවුන්ගේ ධෛර්යය සහ සමහර අවස්ථාවලදී සාර්ථක වීමට ඇති දැඩි අධිෂ්ඨානය කොරියානු බුද්ධිමතුන්ට සහ ලේඛකයින් කෙරෙහි ප්‍රබල බලපෑමක් ඇති කලේය.”[5]

උතුරු සහ දකුනු කොරියාවේ වෙනම පාලන තන්ත්‍ර පිහිටුවීම

එක්සත් ජනපද, බ්‍රිතාන්‍ය සහ සෝවියට් විදේශ අමාත්‍යවරු 1945 දෙසැම්බර් 16-27 දක්වා මොස්කව්හිදී කොරියාව ඇතුලු පශ්චාත් යුධ ගැටලු සාකච්ඡා කලහ. භාරකාරත්වය පිහිටුවීම සඳහා වූ එක්සත් ජනපදයේ ඉල්ලීමට සෝවියට් විදේශ ඇමති එකඟ වීම නිසා කොරියාව සඳහා වූ ඕනෑම ස්වාධීනත්වයක් පසෙකට තල්ලු විය.

මොස්කව් සමුලුව උතුරු සහ දකුනු කොරියාවේ පිලිවෙලින් සෝවියට් හා එක්සත් ජනපද හමුදා විසින් පාලනයක්ද,  ඒකාබද්ධ කොමිසමක් හරහා එක්සත් කොරියාවක තාවකාලික රජයක් පිහිටුවීමටද කැදවා  සිටියේය. ඉන්පසුව, එවැනි ආන්ඩුවක් පිහිටුවීමෙන් පසු, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සෝවියට් සංගමය සහ ජාතිකවාදී චීනයෙන් සමන්විත සිව් බල “භාරකාරත්වයක්” පිහිටුවනු ලැබීය යුතුය.

කෙසේ වෙතත්, වොෂින්ටනය, මෙම සැලසුම් හිතාමතාම කඩාකප්පල් කලේ, යෝජිත තාවකාලික ආන්ඩුව තුල සෝවියට් සංගමයට කිසිදු ප්‍රකාශයක් කිරීමට ඉඩ දීම ප්‍රතික්ෂේප කරමිනි. 1946 මාර්තු 20 වන දින විවෘත කරන ලද ඒකාබද්ධ කොමිසමේ ඇමරිකානු පාර්ශවය පැහැදිලිවම කියා සිටියේ මොස්කව්ට කොරියාවේ එක්සත් ජනපද ඉල්ලීම් පිලිගැනීමට සිදුවනු ඇති බවයි. එසේ නොවුනහොත් එක්සත් ජනපදය දකුනේ පමනක් තම න්‍යාය පත්‍රය  තනිවම ක්‍රියාත්මක කරනු ඇත . කොමිසම එකඟතාවයකින් තොරව මැයි මැද දක්වා පැවතුනි.

මොස්කව් දැන් එක්සත් ජනපද ඉල්ලීම්වලට අනුකූලව භාරකාරත්වයක් ඉල්ලා සිටීමත් සමඟ, වොෂින්ටනය තනිකරම පිටුබලය දුන්නේ, සෝවියට් සංගමයට විරුද්ධ සහ වොෂින්ටනය අනුව යමින් භාරකාරත්වය ප්‍රතික්ෂේප කරන්නේ යයි කියා සිටි,  අන්ත දක්ෂිනාංශික කොරියානුවන් කන්ඩායමකට ය. මෙයට KDP සහ සිංමන් රී  වටා සිටි ඊනියා  “කොරියානු ස්වාධීනත්වයේ  වේගවත් සාක්ෂාත්කරනය සඳහා වූ ජාතික සංගමය” ඇතුලත් විය. 

රී 1910 දී කොරියාවෙන් පිටව ගොස්, දශක ගනනාවක් එක්සත් ජනපදයේ ගත කර තිබූ අතර, 1945 ඔක්තෝබර් 16 වන දින එක්සත් ජනපද හමුදාව විසින් ඔහුව ආපසු රැගෙන එන  තෙක් ආපසු පැමිනියේ නැත. ඔහුට කොරියාවේ සුලු බලපෑමක් පමනක් තිබූ අතර බොහෝ දුරට නොදන්නා චරිතයක් විය. ඒ වෙනුවට, ඔහු එ.ජ. ආන්ඩුව තුල, විශේෂයෙන්ම සීඅයිඒ හි පූර්වගාමියා වන මූලෝපායික  සේවා කාර්යාලය (Office of Strategic Services) තුල හොදින් ස්ථානගත සබදකම් තිබූ අතර, ඊට අමතරව උමතු සහ  විෂඝෝර කොමියුනිස්ට් විරෝධියෙකු විය.

Macarthur Rhee
එක්සත් ජනපද ජෙනරාල් ඩග්ලස් මැක්ආතර් සහ සිංමන් රී, 1948 අගෝස්තු 15.

එවැනි දක්ෂිනාංශික කන්ඩායම් ඇතුලත් කිරීමට විරුද්ධ වූ සෝවියට් සංගමය මොස්කව් ගිවිසුමට විරුද්ධ අය ඒකාබද්ධ කොමිසමේ උපදෙස් සදහා නොගත යුතු බව ප්‍රකාශ කලහ. එක්සත් ජනපදය , වාම නැඹුරුවක් ඇති දකුනු කොරියානුවන්ගේ කිසිදු සහභාගීත්වයකින් බැහැර කල අතර, පසුව නව තාවකාලික ආන්ඩුවක් පිහිටුවීමට එරෙහිව සෝවියට් සංගමය වැඩ කරන බවට කුහක ලෙස චෝදනා කලේය.

ඒ සමගම, වොෂින්ටනයට වඩාත් පිලිගත හැකි වනු ඇතැයි ඔහු බලාපොරොත්තු වූ සුලු ධනේශ්වර සංවිධානයක් බවට KCP නිල වශයෙන් දියකර හැරීමට ස්ටාලින් පියවර ගත්තේය. 1946 ජූලි මාසයේදී, නිදහස් ව්‍යාපාරයට සහභාගී වූ නමුත් සමාජවාදය පැහැදිලිවම ප්‍රතික්ෂේප කල මධ්‍යම පන්තික සහ වාමාංශික ජාතිකවාදීන් සමඟ ඒකාබද්ධ වීමට ඔහු කොරියාවේ උතුරේ සහ දකුනේ පක්ෂයට නියෝග කලේය.

එහි ප්‍රතිඵලය වූයේ වෙනම සංවිධාන දෙකක් සමඟ කොරියාව බෙදීම යථා වශයෙන් පිලිගැනීමයි: එනම්, අවසානයේ 1949 දී වත්මන් උතුරු කොරියානු පාලක පක්ෂය වන කොරියාවේ කම්කරු පක්ෂය පිහිටුවීමට ඒකාබද්ධ වූ උතුරු සහ දකුනු කොරියාවේ කම්කරු පක්ෂයි.  

සීතල යුද්ධයේ ආරම්භයත් සමඟම, සෝවියට් සංගමයට කිසිදු සහනයක් ලබා දීමට හෝ අනාගත කොරියානු රජයක සෝවියට් හිතවාදී පක්ෂයකට ඉඩ දීමට එක්සත් ජනපදයට කිසිදු අදහසක් නොතිබුනි. 1947 මැයි මාසයේදී ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වූ නමුත් එය ආරම්භ වූයේද පසුගිය වර  සමාන   එකඟතාවයක් නොමැතිකම සමඟය.

ඒකාබද්ධ කොමිසමේ දෙවන වටයේ සාකච්ඡාවලට පෙර, එක්සත් ජනපදය එවිටමත් මෙම ගැටලුව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ගෙන යාමට අදහස් කර තිබුනි.  කොරියාව ඒකාබද්ධ කිරීමේ මුහුනු ඉච්ඡාවට  පිටුපස, වොෂින්ටනය, එක්සත්, ස්වාධීන කොරියාවක් තුල එක්සත් ජනපදය කොන් කරනු ඇතැයි දැනුවත්ව, සෝවියට් සංගමයට එරෙහිව ආරක්ෂක බැම්මක් ලෙස දකුනේ වෙනම රාජ්‍යයක් පිහිටුවීමට පැහැදිලිවම වැඩ කරමින් සිටියේය.

කොරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ තාවකාලික කොමිසම පසුව 1948 මැයි 10 වන දින, එක්සත් ජනපද වාඩිලාගැනීමේ හමුදා සහ ඔවුන්ගේ දක්ෂිනාංශික කොරියානු සහචරයින් විසින් වංචා කරන ලද, දකුනේ ව්‍යවස්ථාදායක සභා මැතිවරනය අධීක්ෂනය කරන ලදී. ව්‍යවස්ථාදායක සභාව විසින් 1948 ජූලි 20 වන දින එක්සත් ජනපද රූකඩයක් වන සිංමන් රී ජනාධිපති ලෙස තෝරා පත් කර ගත් අතර කොරියානු ජනරජය විධිමත් ලෙස 1948 අගෝස්තු 15 දින පිහිටුවන ලදී.

උතුරු කොරියාව ප්‍රතිචාර දැක්වූයේ 1948 අගෝස්තු 25 දින තමන්ගේම පාර්ලිමේන්තු මැතිවරනයක් පැවැත්වීමෙන් 1948 සැප්තැම්බර් 9 වන දින කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාන්ඩුව නිර්මානය කිරීමට මග පාදමිනි. නාමිකව, උතුරු කොරියානු නායකයා වූයේ උත්තරීතර මහජන සභාවේ  ප්‍රෙසිඩියම් (විධායක කමිටුවේ) හි සභාපති කිම් ඩු-බොං ය (Kim Du-bong). කෙසේ වෙතත්, සැබෑ දේශපාලන බලය රැඳී තිබුනේ අගමැති ලෙස පත් කර ඊලඟ වසරේ කම්කරු පක්ෂයේ සභාපති වූ කිම් ඉල්-සුන් වෙත ය.

කිම් ඉල්-සුන් 1930 ගනන්වල මුල් භාගයේදී මැන්චූරියාවේ චීන ගරිල්ලන් සමඟ ජපන් ජාතිකයින්ට එරෙහිව සටන් කර තිබුනි, නමුත් ඔහු හෝ ඔහුගේ අනුගාමිකයින් කිසි දිනෙක KCP හි සාමාජිකයින් වී හෝ කොරියානු කොමියුනිස්ට් ව්‍යාපාරයට සහභාගී වී නොතිබුනි. ඔහුගේ දේශපාලන දැක්ම අනුව ඔහු තරුන කාලයේ සිටම මූලික වශයෙන් ජාතිකවාදියෙක් විය.

කෙසේ වෙතත්, කිම් රතු හමුදාවේ නිලධාරියෙකු ලෙස ද සේවය කල අතර සෝවියට් සංගමය උතුර අත්පත් කර ගැනීමෙන් පසු එහි සහාය ලැබ සිටියේ ය. මොස්කව්හි ආශිර්වාදය ඇතිව, පැරනි KCP තුල සිටි දේශපාලන විරුද්ධවාදීන් තුරන් කරමින් ඔහු නායකත්ව තනතුරු වලට උසස් කරන ලදී. කොරියානු යුද්ධයෙන් ඉක්බිතිව, ඔහු බලය මත තම අනභියෝගී ග්‍රහනය තහවුරු කර ගත් අතර,  ජුචේ සංකල්පය, නැතහොත්  ස්ටාලින්ගේ ප්‍රතිගාමී “තනි රටේ  සමාජවාදයේ” කොරියානු අනුවාදය ප්‍රකාශයට පත් කලේය .

ඔහු , 1994 දී මිය යන තුරුම බලය හෙබවූ අතර, පරම්පරාගත රාජ වංශයකට සමාන වූවක් ස්ථාපනය කලේය. ඔහුගෙන් පසුව ඔහුගේ පුත් කිම් ජොන්ග්-ඉල් සහ ඔහුගේ මුනුපුරා වන දැන් උතුරට නායකත්වය ලබා දෙන කිම් ජොන්-උන් බලයට පැමිනියහ.

මතු සම්බන්ධයි.

[1] Bruce Cumings, The Korean War: A History, Modern Library 2010, p. 63.

[2] Cumings, The Origins of the Korean War, Volume 1: Liberation and the Emergence of Separate Regimes 1945-1947, Yuksabipyungsa 2002, p. 120.

[3] Documents of Korean Communism 1918-1948, edited by Dae-sook Suh, Princeton University Press 1970, p. 489.

[4] Ibid.

[5] Dae-sook Suh, The Korean Communist Movement 1918-1948, Princeton University Press 1967, p. 132.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top