කොලඹ ක්‍රියාකාරී කමිටුව කඩාකප්පල් කිරීමේ උත්සාහයේ සසප අරමුන කුමක් ද? 

කොලඹ ක්‍රියාකාරී කමිටුව

Image
ජායාරූපය: කොක්‍රික සමාජිකයෝ 2022 දෙසැම්බර් 23 කයිට්ස් හි උද්ඝෝෂනයක

2023 මැයි 06 දිනැති “නන්දන නන්නෙත්ති සහ සංජය ජයසේකර නෙරපීම පිලිබද ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය” නමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සිංහල හා දෙමල අංශවල පල කල ලිපියක් පහත සදහන් චෝදනා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) වෙත එල්ල කර ඇත.   

නන්දන සහ සංජය,ඊනියා කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදා ගනිති. කොක්‍රික සමග සහයෝගයෙන් ක්‍රියා කිරීම එය ප්‍රතික්ෂේප කිරීම නිසා, ස්වකීය ක්‍රියාකාරී කමිටු තනන ලෙස කම්කරුවන්ට ජාත්‍යන්තර කමිටුව/සසප කරන කැඳවුමෙන් සසප “කට්ටිවාදී” ලෙස අපසරනය වී ඇතැයි ද ඔවුහු කියාපාති.’

“කොක්‍රික, කම්කරුවන් හා ගම්බද දුගීන් විසින් තනන ලද අව්‍යාජ ක්‍රියාකාරී කමිටුවක් නොවේ. කම්කරුවන්ගේ හා ගම්බද දුගීන්ගේ ප්‍රජාතන්ත්‍ර හා සමාජවාදී සම්මේලනයක් සඳහා සසප කර ඇති කැඳවුම සමග එයට කිසිදු සම්බන්ධයක් නැත… 

කොක්‍රික යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ද ඇතුලු, පුද්ගලයන්ගේ එකතුවකි,” ප්‍රකාශය කියාපායි.

2023 මැයි 13 දින කොක්‍රික විධායක සභාවේ විශේෂ රැස්වීමක් තුල මෙම චෝදනා බැරෑරුම්ව සලකා බැලූ අතර එහි ඒකමතික නිගමනය වූයේ මෙය කම්කරු පිඩිත ජනයා  නො මග යැවීම සදහා හිතා මතා නිර්මානය කල, නිවට හා ප්‍රතිගාමී උත්සාහයක නග්න ප්‍රකාශනයක් බව ය. මේ චෝදනා නිසි සාක්ෂි සහ හේතු සාධක සහිතව සනාථ කිරීමට ප්‍රස්තුත ලිපිය කිසිදු උත්සාහයක් දරා නැතිවා මෙන් ම ඊට එසේ කිරීමට හැකියාවක් ද නැත.       

ප්‍රස්තුත ලිපිය එහි සදහන්, නන්දන සහ සංජය, කොක්‍රික සසපට පහර ගැසීමේ මාධ්‍යක් ලෙස යොදාගෙන ඇත්තේ කවදා, කොතැන දී, කෙසේ ද යන මේ වැදගත් ප්‍රශ්න ගැන ගොලු ය. 

කොක්‍රික අව්‍යාජ ක්‍රියාකාරී කමුටුවක් නො වේ යන්නට හේතුව ලෙස ඔවුන් ගෙනහැර පාන්නේ එය අහුලා ගන්නා ලද සමහර දේශපාලන ක්‍රියාකාරීන් ඇතුලු, ප්‍රද්ගලයන්ගේ එකතුවක් බව ය. ඒ වෙනුවට ‘සෑම වැඩපලකම, කම්හලකම, වත්තකම සහ නිවහන් ප්‍රදේශයක’ ම හා ‘ගම්බද දුගීන්’ විසින් ක්‍රියාකාරී කමිටු ගොඩ නැගිය යුතු බව සදහන් කරන සසප ලිපිය ඔප්පු කිරිමට තතනන්නේ ඉහත කී කිසිදු සමාජ කොටසකට හෝ පන්තියකට කොක්‍රික සාමාජිකයන් අයත් නො වන බව ය. එවිට ‘දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ඇහිදගත්තා’ යයි කියන මේ විශේෂිත සත්ව වර්ගය හදුන්වන්නේ කෙසේ ද? කොක්‍රික කෙසේ හෝ විනාශ කර දැමීමේ උන්මාදය හැර අන් යහපත් අරමුනක් එහි තිබේ ද?

මෙතැනදී ද යලි මතුවන්නේ පක්ෂ නායකත්වය පසුගිය වසරේ දැවැන්ත මහජන අරගලවලින්, විශේෂයෙන් ‘ගෝඨාගෝගම’ උද්ඝොෂනවලින්, කර හැරීමට හේතු වූ කරුන ය. දිනපතා දිවා රාත්‍රී නො බලා  සහභාගී වූ කම්කරුවන්, ගොවීන්, ගෘහනීන්, තරුනයන් ‘වැරදි තැනකට’ ආ නිසා ඔවුන් නිර්ධන පන්තියට අයිති වන්නේ නැත යන ආකල්පයකින් මෙම නායකත්වය විපිලිසර වී සිටියේ ය. ඔවුන් ක්‍රියාවෙන් ප්‍රකට කර ඇති පරදි – එක එල්ලේ ප්‍රකාශ කිරීමට බිය වුවත් – ගෝටාගම නායකත්වයේ සිටි ධනපති පක්ෂ හා සංවිධාන, වෘත්තීය සමිති, ඇතුලත් ව්‍යාජ වාම පෙරමුන එහි රැස් වූ ලක්ෂ සංඛ්‍යාත පීඩිත ජනතාව විසින් ද නියෝජනය කරනු ලැබුනේ ය යන්න ඔවුන්ගේ අදහස විය. කොක්‍රික ට පදනම දමමින් ගිය වසරේ ජුනි මැද ගෝඨාගෝගම මහජන සරසවියේ කල මැදිහත් වීම නිසා සංජය ජයසේකර හා ආනන්ද වක්කුඹුර යන සහෝදරවරුන්ට විරුද්ධව පක්ෂ තහනමක් ක්‍රියාත්මක කිරීම සිදු කලේ එබැවිනි. පක්ෂයට පහර දීමට ආව නිසා, පක්ෂවල නම් භාවිතයට විරුද්ධ වුන නිසා, සහෝදරවරු බිලි නො දී ආරක්ෂා කර ගත යුතු වූ නිසා ‘සසප වැනි පක්ෂයකට නො හොබිනා’ දේ නොකිරීමේ සීතාම්බර පට යට සැග වී සිටීමට නායකයන්ට අවසානයේ දී සිදු වී ඇත.

මාක්ස් හා එංගල්ස්ගේ කතෘත්වයෙන් සම්පාදිත කොමියුනිස්ට් ප්‍රකාශනය පෙන්වා දෙන පරිදි “නිර්ධන පන්තිය යනුයෙන් අදහස් කරනුයේ තමන් සතු නිශ්පාදන මාධ්‍යයන් රහිත වීම නිසා ජීවත් වනු පිනිස ස්වකීය ශ්‍රම ශක්තිය විකිනීමේ තත්වයට වැටී සිටින නූතන වැටුප් ශ්‍රමිකයන්ගේ පන්තිය යි.” මෙම වැකිය කට පාඩමේ තබාගෙන සිටින ගමන් ම එය තම අරමුනුවලට සේවය කල හැකි වන පරිදි අර්ථගන්වන්නට සසප නායකත්වය හැරීගෙන ඇත. 

සංජය හා අප කන්ඩායම ගෝඨාගෝගම දී කල මැදිහත් වීමේ දී ජාත්‍යන්තර කම්කරු පන්තික ඉදිරි දර්ශනය හෝ ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් කුමන හෝ දේශපාලන මගහැරීමක්, යටත්වීමක් හෝ පාවා දීමක් සිදු කර ඇතැයි සසප නායකත්වයට කිව නො හැකි ය. මතු වී ඇති ගැටලු ඉස්මතු කිරීමේ දී ඒවා පක්ෂයේ දේශපාලන කරතව්‍යයන්ට සම්බන්ධිතව ඉස්මතු කිරීම මාක්ස්වාදියාගේ විධික්‍රමය යි. උක්ත ලිපියේ අරමුන පන්ති අරගලයට අත්‍යවශ්‍ය එබදු දේශපාලනික ප්‍රයත්නයක් මතු වීම වැලැක් වීම ය. 

කොක්‍රික යනු සංජය ඇතුලු සසප වාම කන්ඩායම ගෝඨාගෝගමින් අරම්භ කල උද්ඝෝෂනය හරහා- 2022 ජුලි 20 ජාත්‍යන්තර කමිටුවේ (ජාක) මෙහෙයවීමෙන් සසප විසින් සම්පාදනය කරන ලද ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය පිලිබද දීර්ඝ සාකච්චාවකින් පසු- ගොඩ නගන ලද්දකි. එම සැප්තැම්බර 11 දින කොලඹ එන්. එම්. පෙරෙරා මධ්‍යස්ථානයේ පැවති එහි ආරම්භක රැස්වීමේ දී වාද විවාද සහිත දීර්ඝ සාකච්ඡාවකින් පසු ඉහත කී ජුලි ප්‍රකාශය ඒකච්ඡන්දයෙන් සම්මත කරන ලදී.    

“ආරම්භක රැස්වීම, එහි විධායක කමිටුව සමග ඒකමතිකව තීරණය කළේ රැස්වීමේ වාර්තාව කම්කරු පන්තියේ ගෝලීයව අධිකාරීමය ප්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවියට (ලෝසවෙඅ) පලකිරීම සඳහා යැවිය යුතු බවයි. ඒ අනුව, රැස්වීමේ වාර්තාව, එහි ඡායාරූප සමඟ සැප්තැම්බර් 15 වන දින ලෝසවෙඅ හි ශ්‍රී ලංකාවේ ප්‍රධාන කර්තෘ වෙත යවන ලදී. කෙසේ වෙතත්, දින 5කට පසුව, ප්‍රධාන කර්තෘ ඉතා සරලව අපට දන්වා ඇත්තේ, “ඔබ විසින් ලෝසවෙඅ වෙත යවා ඇති වාර්තාව අපි ප්‍රසිද්ධ නො කරන්නෙමු. මන්ද එය සමාජවාදී සමානතා පක්ෂයේ අනුමැතියකින් තොරව ඔබ විසින් පිහිටුවන ලද කමිටුවක වාර්තාවක් වන නිසා,” යනුවෙනි.

මෙයින් ම පැහැදිලි වන්නේ, සසප කොලඹ ක්‍රියාකාරී කමිටුවට විරුද්ධ වන්නේ එය සසප අනුමැතිය සහිතව නො පිහිටුවා එහි අන්ඩක් බවට පත් නොකිරීම නිසාය. එය කම්කරු පන්ති අරගලයේ අවශ්‍යතාවක් වීම හෝ එය ජාත්‍යන්තර කමිටුවේ උද්ඝෝෂනයට සම්බන්ධිත ඉදිරි පියවරක් වන අතර සසප යෝජනාව සාක්ෂාත් කිරීමක් ය යන කරුනු සියල්ලට ම ඉහලින් පෙරමුනට කැදවා ගත්තේ- පන්ති අරගලය සසපයෙන් නො විමසා මතු වීමට විරුද්ධ වීම හා සමාන- උන්මත්තක නිලධාරීවාදය යි. පැහැදිලි නො කල හා පැහැදිලි කල නො හැකි මෙම වග කීම් විරහිත ක්‍රියාව කම්කරු පන්තියට හා තරුනයන්ට අතිශය නරක බලපැමක් සිදු කරන බව සසප නායකයෝ දැන සිටිති. ඔවුහු එය නො තකා කටයුතු කරන්නේ ඇයි? නමුත්, ඊට ප්‍රතිවිරුද්ධව කොක්‍රික ක්‍රියාකාරිත්වය හැම විටම ධනේශ්වරයට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුවේ මූලධර්ම මත පිහිටා සිට ඇත.

2022 ඔක්තොම්බර් 10 කොක්‍රික තවත් ප්‍රකාශයක් ලෝසවෙඅ ට යැවී ය. ඒහි දී අපි මෙසේ ලීවෙමු:

 “සැප්තැම්බර් 22 දින, උතුරු පළාතේ කයිට්ස් දූපතේ ධීවර ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවා ගනු ලැබ ඇත… 

“දිනෙන් දින උත්සන්න වන ජාත්‍යන්තර පන්ති අරගලයේ තියුණු තුඩක් වන ශ්‍රී ලංකාව තුල කම්කරු පන්තික ක්‍රියාකාරීන්ගේ බල සංස්ථා ලෙස සිය ගණනින් ක්‍රියාකාරී කමිටු වර්ධනය කිරීමට අවශ්‍ය කොන්දේසි පවතින බවත්, එය පන්ති අරගලයේ අත්‍යවශ්‍ය උපකරනයක් බවට ඓතිහාසික ව තීන්දු වී ඇති බවත් පිලිබඳව කොක්‍රික දැඩි අවබෝධයෙන් සිටී.

“පුලුල් මහජන ව්‍යාපාරයක්, තමන්ගේ ම ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන වන කම්කරු ක්‍රියාකාරී කමිටුවල මෙහෙයවීම යටතේ, දුර්දාන්ත ධනේශ්වර පාලනයට එරෙහි ව කුලු ගැන්වීම වැළැක්විය හැකි ශක්‍යතාවයක් පාලක පන්තියට නැත. එය ඒ වෙනුවට මිලිටිරි පොලිස් මර්දනය මගින් එබදු සංවිධානයන්හි අවශ්‍යතාව නැවත නැවතත් මහජනයාට ඒත්තු ගන්වමින් සිටි. 

“කයිට්ස් ධීවර ක්‍රියාකාරී කමිටුව (කධීක්‍රික) උතුර හා දකුන ලෙස හා වාර්ගික ව කම්කරු පීඩිත මහජනතාව භේද කරන කුමන්ත්‍රනයන්ට එරෙහි මහජන අරගලයේ සුවිශේෂී සලකුනක් සටහන් කල බව අප විශ්වාස කරන්නේ මේ තතු තුල ය.”

සසප නායකත්වය එවන් එකමුතුවකට නැවතත් විරුද්ධ විය. එම ප්‍රකාශය ද පල කලේ නැත.

අනතුරුව, 2022 දෙසැමිබර් 8 කොලඹ  දුම්රියපොල ඉදිරිපිට, ටෙලිකොමි වෘත්තීය සමිති එකමුතුව කල උද්ඝොෂනයේ දී සමිති නායකයෝ සසප සාමාජිකයන්ට අඩන්තේට්ටම් කිරීමට එරෙහිව කොක්‍රික මැදිහත් වෙමින් 2022 දෙසැම්බර 10 දින නිකුත් කල ප්‍රකාශය ද සසප නායකයෝ ඉවත දැමුහ. එහි මෙසේ සඳහන් විය:

“සමිති නායකත්වය ප්‍රහාරය එල්ල කර ඇත්තේ කම්කරුවන්ට විකල්ප වැඩපිලිවෙලක් දැනගැනීමට හා ඒ ගැන තීරනයක් ගැනීමට ඇති ප්‍රජාතන්ත්‍රීය අයිතියට මෙන් ම සසපට සිය අදහස කම්කරුවන්ට ඉදිරිපත් කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ය. ආර්ථික අවශ්‍යතා දිනාගැනීමේ දී ඊට අවශ්‍ය සංවිධානාත්මක විනය සදහා කම්කරුවන්ට අවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය ය.”

“මේ අතර,සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ලාල් පෙරේරා, තම ‘ටෝක් විත් ලාල්’ (Talk with Lal) යූ ටියුබ් චැනලය තුල, සමිති නිලධරය සසප සාමාජිකයින්ට බාධා කරන දර්ශන සහිත වඩියෝවක් , “ටෙලිකොම් ඉන්ෂුවරන්ස් සටන අල කරන්න පිරිසක් පැමිනීමෙන් ගැටුමක්” යන ශීර්ෂය යටතේ පල කරනු ලැබ ඇත. තව දුරටත් ඔහු සසප සාමාජිකයින් ‘ආන්ඩුවේ ඉත්තන්’ ලෙස ප්‍රකෝපකරී හා නින්දාසහගත බොරු ප්‍රචාරය කර ඇත. මෙම ධනපති ගැති මාධ්‍ය ව්‍යාපාරය මුලුමනි ම හෙලිදරව් කිරීම හිතන මතන, ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන සියල්ලන්ගේ වග කීමකි. මොහු තම සාවද්‍ය ප්‍රකාශය නිවැරදි කල යුතු අතර සසපෙන් සහ මහජනතාවගෙන් සමාව ගත යුතු ය යි කොලඹ ක්‍රියකාරී කමිටුව බල කර කියා සීටී.” 

2023 පෙබරවාරි 23 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දී සසප සාමාජිකයන්ට ඒල්ල වූ තර්ජනයට එරෙහිව කොක්‍රික උද්ඝෝෂනය ද බලගතු එකකි. අත් පත්‍රිකා ලෙස සියගනනින් බෙදන ලද 2023 මාර්තු 9 අපගේ ප්‍රකාශය මෙසේ ලිවීය:

“තර්ජනය කල කන්ඩායම, “පක්ෂ දේශපාලනය ගෙන ඒමෙන් ශිෂ්‍යයන් බෙදෙනවා” යැයි කියා සිටි බව ලෝසවෙඅ වාර්ථා කර ඇත. ශිෂ්‍යයන් බෙදෙන්නේ දේශපාලන අදහස් නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට ඇති අයිතිය අවහිර කිරීමෙන් බව අපි අවධාරනය කරමු. ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින අභියෝග හුදෙක් එක් සරසවියකට, එක් ක්‍ෂේත්‍රයකට හෝ සිසුන්ට පමනක් හෝ එල්ල වූ ඒවා නොවේ… ඊට මුහුන දිය හැකි බලගතු කම්කරු හා මහජන ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාව, ඒකාබද්ධතාව හා නායකත්වය තහවුරු කිරීම යුගයේ අත්‍යවශ්‍යතාවය බවට පත් ව තිබේ. 

මේවා තමන්ට එරෙහි ප්‍රහාර ලෙස සසප තන්ත්‍රයට පෙනී යන්නේ ඇයි? මෙම විප්ලවවාදී ප්‍රයත්නයන් නො තකා, සසප නායකයෝ කම්කරු පීඩිත ජනයා වෙනත් ව්‍යාජයන් තුල රස්තියාදු කිරීමේ අරුත දැන් පැහැදිලි විය යුතු ය. 

මෙම නිලධරය තමන්ට පිටින් පන්ති අරගලය ඉස්මත්තට පැමීනීම පිලිබඳ සංත්‍රාසයෙන් පෙලෙන බව දැනටමත් ප්‍රායෝගිකව ම සනාථ කර ඇත. කම්කරුවන් ගොවීන් තමන් විසින් ම ක්‍රියාකාරී කමිටු ගොඩ නැගීමට පියවර ගත යුතු ය යි ජාත්‍යන්තර කමිටුව අනු යමින්  යෝජනා කරන නමුත් තමන්ගේ අනුමැතිය නැතිව ගොඩ නැගෙන්නේ යැයි කියන කමිටු පිලිබද ඔවුහු තැති ගනිති. 

මෙය වෛෂයික සමාජ සම්බන්ධතා තුල කැලඹීම් සහගත වත්මන් තතු විසින් ඉස්මත්තට ගෙන ඇති තත්වයකි. මේ අවස්ථාවේ ලොව පුරා ලැව් ගින්නක් මෙන් පැතිරෙන පන්ති අරගල රැල්ල ඉල්ලා සිටින්නේ ඓතිහාසික අත්දැකීමෙන් හා න්‍යයිකව සන්නද්ධ කල, ප්‍රායෝගික සටන්කාමී හැරී ගැනීමකි. එහෙත් හුරුපුරුදු පැවැත්ම වෙනස් කිරීමට අසමත්කම නිසා මේ තත්වයට තමන් සූදානම් නැතැයි සිතන ඕනෑම ව්‍යාපාරයක් මෙන් ම සසප නායකත්වය ද අව්‍යාජ ක්‍රියාකාරී කමිටු අනතුරක් සේ දකී. ඒ ඒවා කම්කරු පන්තියේ සටන්කාමීත්වය ඉහලට ඔසවා විප්ලවීය සටන් අවුලවනු ලැබීමේ ශක්‍යතාවයෙන් යුතු වන නිසා ය. මෙවන් භාවිතාවක අරමුන එබදු අරගලයක් වලක්වා ගැනීම ය. කම්කරු කමිටු තමන්ගේ පාලනයට යටත් කර ගත යුතු යයි ඔවුන් සිතන්නේ ඒ අනුව ය. 

කොලඹ ක්‍රියාකාරී කමිටුව සටන් වදින්නේ මෙම බෙලහීන පිලිවෙතට ප්‍රතිපක්ෂව ය. සසප අව්‍යාජ ජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් තුලින් මෙම අර්බුදය විසදා ගැනීමට ප්‍රයත්න දරනු ඇත යන්න කොක්‍රික අපේක්ෂාවයි.   

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top