අන්ඩ්‍රේ ඩෙමන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 18 දින “After Trump’s China trip, White House plans new attack on Iran” යන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීජිං නුවර සිට ආපසු පැමිණ දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ඉරානයට එරෙහිව යළිත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ධවල මන්දිරය සක්‍රීය ලෙස සූදානම් වෙමින් සිටී.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, “ලබන සතිය තරම් ඉක්මනින්, සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට සිදු කෙරෙන විශාලතම ප්‍රහාරය ලෙස, ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමේ හැකියාව වෙනුවෙන් දැඩි සූදානමක නිරතව සිටින” බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කළේය.
දශකයකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ ට්‍රම්ප්ගේ බීජිං රාජ්‍ය සංචාරය පුරාම, ඉරාන යුද්ධය හේතුවෙන් හටගත් අර්බුදය ප්‍රධාන තැනක් ගත්තේය. ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ප්‍රසිද්ධියේ සුහදතාවක් ප්‍රදර්ශනය වුවද, ඉරාන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කිසිදු පොදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ අතර, කිසිදු නිල ප්‍රකාශනයක් ද නිකුත් නොකෙරුණි.
ඉරාන ජාතිකයන් 3,000කට අධික පිරිසක් සමූලඝාතනය කර සහ සිවිල් ගොඩනැගිලි 81,000ක් විනාශ කර තිබියදීත්, එක්සත් ජනපදය සිය අරමුණු කිසිවක් සාක්ෂාත් කරගෙන නොමැත. එය ඉරාන රජය පෙරළා දැමීමට හෝ ඉරාන හමුදාව බිඳ දැමීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීමට හෝ සමත්ව නැත.
සටන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් විසින් සිය ඉහළම ජාතික ආරක්ෂක කණ්ඩායම අඟහරුවාදා දින ‘සිටුවේෂන් රූම්’ (Situation Room) වෙත කැඳවීමට නියමිත බව ඇක්සියෝස් (Axios) ඉරිදා වාර්තා කළේය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යන අයගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා දින ට්‍රම්ප්ගේ වර්ජිනියා ගොල්ෆ් සමාජයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ඉරිදා සවස, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති දුරකථන ඇමතුමකින් පසුව, ට්‍රම්ප් ‘ටෘත් සෝෂල්’ (Truth Social) හි මෙසේ සටහන් කළේය: “ඉරානයට තිබෙන කාලය වේගයෙන් ගෙවී යමින් පවතී, එබැවින් ඔවුන් ඉතා ඉක්මනින් පියවරක් ගත යුතුය, නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇත.”
මැදපෙරදිග සිතියමක් මත ඇමෙරිකානු ධජය සලකුණු කර, සෑම දෙසකින්ම ඉරානය දෙසට රතු ඊතල යොමු කර ඇති, කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඉන් පසුව ඔහු ඉදිරිපත් කළේය. එමඟින් ඔහු ඉඟි කළේ ඇමෙරිකාව විසින් ඉරානය ගොඩබිමින් ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.
ට්‍රම්ප් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට නවතම ඉඟියක් පළ කරමින්, ඔහු විසින් මීට පෙර, පාලන පුවරුවක (command console) ඇති රතු බොත්තමක් ඔබන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එහි ඔහුට ඉහළින් ඇති තිරයක හතු ආකාර පිපිරුම් (න්‍යෂ්ටික පිපිරුම් mushroom-cloud explosions) දර්ශනය වෙමින් තිබුණි.
ටයිම්ස් (Times) පුවත්පතේ වාර්තාවට අනුව, පෙන්ටගනයේ සලකා බැලීමට ලක්ව ඇති විකල්ප අතර ඉරානය තුළ ඇමරිකානු හට පිරිස් යෙදවීම ද ඇතුළත්ය. එය ‘විශාල ජීවිත හානි සිදුවීමේ අවදානමක්’ සහිත වනු ඇත
ඉරාන යුද්ධය උත්සන්න කිරීමේදී, ට්‍රම්ප් කතා කරන්නේ තමා වෙනුවෙන් පමණක් නොව සමස්ත මූල්‍ය කතිපයාධිකාරය (ධනවත් පාලක පන්තිය) වෙනුවෙන් ද වේ. යුද්ධය ආරම්භ කිරීම මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කීර්තිය, ඉරානය යටත් කර ගැනීම මත ඔට්ටු තැබීමට ට්‍රම්ප් කටයුතු කර ඇත. එම අරමුණ ඉටු කර ගැනීමට අපොහොසත් වීම, ඇමරිකානු ධනවාදයේ නුබුන්වත් බව (solvancy- ‘ස්ථාවර බව’) රඳා පවතින ඩොලරය පදනම් කරගත් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම වේගවත් කරන ව්‍යසනයක් ලෙස පාලක පන්තිය විසින් දකිනු ලබයි.
එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන, ඉරානය ආක්‍රමණය කිරීම සඳහා එරට පාබල හමුදාවන් යෙදවිය යුතු බවට ප්‍රසිද්ධියේ බලපෑම් කරමින් සිටියි. රේගන් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පරිපාලන සමයන්හි නාවික හමුදා හිටපු නියෝජ්‍ය උපලේකම්වරයෙකු වූ සෙත් ක්‍රොප්සි (Seth Cropsey), ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පතේ ඉරිදා දින පළ කළ ‘ඉරාන වැඩේ අවසන් කරන්නේ කොහොමද?’ යන මැයෙන් යුත් ලිපියක සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් විසින් “මහා ව්‍යසනකාරී බලය භාවිතා කිරීමේ තර්ජනය ක්‍රියාවට නැංවිය යුතුයි, එයින් අදහස් කරන්නේ, ඉරාන රාජ්‍යයේ බිඳ වැටීම වේගවත් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට, පාබල හමුදාවන් යෙදවීම ඇතුළු බහු-අදියර මෙහෙයුමක් සඳහා සූදානම් වීමයි” යනුවෙනි.
ක්‍රොප්සි (Cropsey) ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුණ දී සිටින බරපතල අර්බුදය පෙන්වා දෙමින් මෙසේ පැවසීය: “මෙම වසරේ ඉතිරි කාලය පුරාම තෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව ආසන්නයේ පැවතුණහොත්, උද්ධමනය තවදුරටත් වේගවත් වන අතර ප්‍රධාන කර්මාන්තයන්හි සැපයුම් දාමයන් බිඳ වැටීමට ලක්වනු ඇත. මෙම අර්බුදය වාසිදායක ලෙස අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමටත්, ඇමරිකාවේ අවශ්‍යතා සහ කීර්තිය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය නැවත නගාසිටුවීමටත් ට්‍රම්ප් මහතාට ඇත්තේ සීමිත කාලයකි. නමුත් ඒ සඳහා සමස්ත ඇමරිකානු බලයම උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.”
නැවත වරක් ප්‍රහාර එල්ල කිරීම සඳහා වන බලපෑම් ඉරිදා දින දේශපාලන සාකච්ඡා වැඩසටහන් හරහා ද තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. ට්‍රම්ප්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති සහකරුවෙකු වන දකුණු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් , “මීට් ද ප්‍රෙස්”(Meet the Press) වැඩසටහනට එක්වෙමින්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.”ජනාධිපති ට්‍රම්ප් යුධමය වශයෙන් කර ඇති දේ විශිෂ්ටයි, නමුත් අපට පහර දිය හැකි තවත් ඉලක්ක ඉතිරිව තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රිදවීම සඳහා අපට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් යනු ඔවුන්ගේ දුර්වලම ස්ථානයයි. ඔබ නැවත සටනට අවතීර්ණ වන්නේ නම්, මම ලැයිස්තුවේ ඉහළින්ම තබන්නේ බලශක්ති ක්ෂේත්‍රයයි.” ග්‍රැහැම් පැවසීය.
සැලසුම් කර ඇති උත්සන්න කිරීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට, ඉරිදා සාකච්ඡා වැඩසටහන්වලට පෙනී සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වීම් බොහෝ දුරට වෙන් කළේ, බීජිං සමුළුවේදී ට්‍රම්ප් චීනය කෙරෙහි දැක්වූ ප්‍රවේශය ප්‍රමාණවත් තරම් දැඩි හෝ යුදකාමී නොවන බව පවසමින් එය හෙළා දැකීමටය.
ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ නාමයෙන්, ට්‍රම්ප් විසින් තායිවානය පාවා නොදිය යුතුය” යැයි සෙනෙට් සභාවේ සුළුතරයේ නායක චක් ශූමර් ප්‍රකාශ කළේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ චෝදනාව වන්නේ ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හේතුවෙන්, චීනය සමඟ පවතින ගැටුම කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයට තිබූ අවධානය අපසරණය වී ඇති බවයි.
ඉරානයට එරෙහි යුද්ධය යනු එක විටම ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව කෙරෙන යුද්ධයක් ද වේ. යුද්ධය හේතුවෙන් හටගත් උද්ධමන අර්බුදය, බලශක්ති සහ ආහාර මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය මාස තුනක කාලය තුළ වාර්ෂික පදනමින් බලන කල, අලුත් එළවළු මිල සියයට 44 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව NBC පුවත් සේවය වාර්තා කළේය. ඉන්ධන මිල ජාතික සාමාන්‍යයක් ලෙස ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.51 ක් වන අතර, යුද්ධය ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් බොරතෙල් මිල දළ වශයෙන් සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇත.
ජීවන වියදම දරුණු ලෙස ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් මේ මාසයේදී ධවල මන්දිරයේ සිටි මාධ්‍යවේදීන් අමතා පැවසූවේ : “මම ඇමරිකානුවන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නේ නැත.” යනුවෙනි.
විදේශයන්හි පවතින යුද්ධය සහ දේශීය සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම අතර පවතින සෘජු සැබැඳියාව රජය විසින් පැහැදිලිවම පෙන්වා දී ඇත. අප්‍රේල් 1 වනදා ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කළේය: ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම බලා කියා ගැනීමට අපට හැකියාවක් නැත. අපට එක් ප්‍රධාන කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව තිබේ, එනම් මිලිටරි ආරක්ෂාවයි.”” අප යුද්ධ කරමින් සිටිමු” යි ඔහු පැවසීය.
යුද්ධයේ පිරිවැය භාණ්ඩාගාරයට ද දැඩි බරක් වෙමින් පවතී.කඳවුරුවලට සිදුවූ හානි හැර, යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක් වැය වී ඇති බව පෙන්ටගනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (Comptroller) ජේ හර්ස්ට් පසුගිය සතියේ කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය. මේ අතර, හාවඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාඥ ලින්ඩා බිල්ම්ස් අප්‍රේල් මාසයේදී ‘ෆෝචූන්’ (Fortune) සඟරාවට පවසා තිබුණේ, “ඉරාන යුද්ධය වෙනුවෙන් අපට ඩොලර් ට්‍රිලියනයක් වැය වනු ඇති බව සහතික” බවයි.
ඉරානයට එරෙහි යුද්ධය උග්‍රවීම සිදුවන්නේ පන්ති අරගලයේ විශාල පිබිදීමක් මධ්‍යයේ ය. ලෝන්ග් අයිලන්ඩ් රේල් රෝඩ් (LIRR) සේවකයින් 3,500ක් පමණ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සේවයෙන් බැහැර විය . ඒ අනුව, 1994න් පසු සිදු වූ පළමු LIRR වැඩ වර්ජනය සනිටුහන් කරමින්, එක්සත් ජනපදයේ කාර්යබහුලම මගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටවුණි.
මිචිගන්හි සැගිනෝව් (Saginaw) හි පිහිටි නෙක්ස්ටියර් ඔටෝමෝටිව් (Nexteer Automotive) ආයතනයේ සේවය කරන “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” (United Auto Workers) සාමාජිකයින් 1,300 දෙනා පසුගිය සති හය තුළ දෙවතාවක්ම (හාම්පුතුන් හට) සහනදායී ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇති අතර, වහාම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිතියට බලකර සිටී . එමෙන්ම, මිචිගන්හි ත්‍රී රිවර්ස් (Three Rivers) හි පිහිටි ඇමරිකන් ඇක්සල් (American Axle) කර්මාන්තශාලාවේ “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” සාමාජිකයින් 1,000 දෙනා, මැයි 31 වනදා තමන්ගේ ගිවිසුම අවසන් වූ පසු වැඩවර්ජනයකට අවතීර්ණ වීම සඳහා සියයට 98 ක කැමැත්තකින් මැයි 12 වනදා අනුමැතිය ලබා දී ඇත.
මෙම අරගලවලට ආසන්නතම හේතුව වී ඇත්තේ යුද්ධය නිසා ඇති වූ ජීවන වියදම් අර්බුදයයි. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම, යුද්ධයට එරෙහි සටනින් බැහැර කළ නොහැකිය.
ඉරාන සමාජය මුළුමනින්ම විනාශ කරන බවට ට්‍රම්ප් කර ඇති තර්ජන පිළිබඳව ඉහළම මට්ටමේ දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පාලනාධිකාරය යනු ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා න්‍යෂ්ටික ආයුධ භාවිතය ඇතුළු ඕනෑම ක්‍රියාවක නිරත වීමට පසුබට නොවන, අපරාධකාරී සහ මැර කල්ලි ස්වරූපී පාලනයකි.
ප්‍රවාහන සහ මෝටර් රථ කර්මාන්තයන්හි අරගල, යුද්ධය සහ ආඥාදායකත්වය සඳහා වන ට්‍රම්ප්ගේ සැලසුම්වලට එරෙහි සටනේ ඉදිරි මාවත පෙන්වා දෙයි. මිනීමරු ට්‍රම්ප් පාලනයට සහ ඩිමොක්‍රටික් පක්ෂය තුළ සිටින ඔවුන්ගේ අනුබලදෙන්නන්ට එරෙහි විය යුත්තේ පන්ති අරගලයේ ක්‍රමවේදය සහ සමාජවාදී වැඩපිළිවෙළක් ඔස්සේ ය.
(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)
