ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරය මධ්‍යයේ, වොෂින්ටනය ඉරානයට න්‍යෂ්ටික යුද්ධයකින් තර්ජනය කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 07 දින පල වූ “Amid Israeli genocide in Gaza, Washington threatens Iran with nuclear war” යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද  ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ඉරිදා, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්  බැග්ඩෑඩ් වෙත සම්ප්‍රාප්ත වූයේ, මෙම සති අන්තයේ , ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට එරෙහිව ලොව පුරා මිලියන ගණනක් විරෝධතා දැක්වීමෙන් අනතුරුවය. ඉරාක අගනුවරදී, ඔහු, වොෂින්ටනය නීතිවිරෝධී ලෙස ඉරාකය  ආක්‍රමණය කර, එහි ආන්ඩුව පෙරලා දමා, 2003 සිට 2011 දක්වා එය අත්පත් කරගත් දා සිට ඉරාකයේ ක්‍රියාකාරී වූ ඉරාන ගැති මිලීෂියා හෙලා දුටුවේය.

S
එක්සත් ජනපද නාවික හමුදාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සහ න්‍යෂ්ටික සන්නද්ධ ඔහියෝ පන්තියේ සබ්මැරීනයක් වන යූඑස්එස් වෙස්ට් වර්ජිනියා (USS West Virginia) හි ඡායාරූපයක්.

ගාසා යුද්ධය ආරම්භ වීමෙන් පසු , මෙම මිලීෂියාවන් විසින් ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපද හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කල  බවට බ්ලින්කන් චෝදනා කළේය. ඔහු පැවසුවේ,”ගාසා තීරයේ ගැටුමෙන් ප්‍රයෝජන ගැනීමට, මෙහි හෝ කලාපයේ වෙනත් ඕනෑම තැනක අපගේ නිලධාරීන්ට තර්ජනය කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙකු : එය නොකල යුතුය.  ඉරානය සමඟ පෙලගැසී සිටින මිලීෂියාවෙන් එල්ල වන තර්ජන කිසිසේත්ම පිළිගත නොහැකි අතර, අපගේ ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නෙමු.  අපි ඉරානය සමඟ ගැටුමක් සොයන්නේ නැත – අපි එය ඉතා පැහැදිලිව පෙන්වා ඇත්තෙමු – නමුත් අපගේ පිරිස් ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ අපි කරන්නෙමු.”යන්නයි.

බ්ලින්කන්ගේ තර්කය දේශපාලන බොරුවකි: ඉරානය එක්සත් ජනපදය සමඟ යුද්ධයක් සොයන්නේ නැත, නමුත් වොෂින්ටනය ඉරානය සමඟ යුද්ධයක් සොයයි. බ්ලින්කන් ඉරාකයේ, සිරියාවේ සහ මැද පෙරදිග පුරා ඉරානයට හෝ ඉරාන ගැති හමුදාවන්ට ඍජුවම තර්ජනය කරයි.

ඊශ්‍රායලය විසින් ගාසා තීරය නීති විරෝධී ලෙස අවහිර කිරීමට එරෙහිව පලස්තීන නැගිටීම ආරම්භ වූයේ මාසයකට පෙරය. එතැන් සිට පලස්තීනුවන් 10,000 කට අධික සංඛ්‍යාවක්, බොහෝ දුරට කාන්තාවන් සහ ළමයින් මරා දමා ඇත. ඊශ්‍රායලය ගාසා තීරයේ සරණාගත කඳවුරු, රෝහල් සහ පාසල්වලට බෝම්බ හෙලීය; එහි ආහාර, ජලය සහ විදුලිය කපා හැර; එහි ගොඩනැගිලි අඩක් විනාශ කර ඇත.

වොෂින්ටනය අර්බුදය සන්සුන් කිරීමට සංයමයෙන් යුතුව  ඉල්ලා සිටීමට උත්සාහ නොකළ අතර එය අවුලුවාලමින් යුද්ධය සඳහා මාවත සකස් කළේය. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කළහොත් පලස්තීනුවන් ජන සංහාරයෙන් ආරක්ෂා කිරීමට උත්සාහ කිරීමට, ඉරාන මිලිටරිමය මැදිහත් වීමක් සිදු විය හැකි බවට , ඉරාන පාලන තන්ත‍්‍රය අනතුරු ඇඟවූ අතර, වොෂින්ටනය ගෝලීය යුද විරෝධී විරෝධතා වලට අවඥා සහගත ලෙස ප්‍රතිචාර දැක්වූයේ,  ඊශ්‍රායලයේ ජනඝාතක පිලිවෙත් වැලඳ ගනිමින් සහ ඊශ්‍රායලයට “තමන්ව ආරක්‍ෂා කර ගැනීමට අයිතියක්” ඇති බව පවසමිනි. එය ඉරානය වැනි අනෙකුත් ප්‍රධාන බලවතුන්ට එරෙහිව  පමණක් යොදා ගැනීමේදී  ප්‍රයෝජනවත් වන යුද්ධායුධ එනම් ගුවන් යානා ප්‍රවාහන නෞකා සටන් කණ්ඩායම් දෙකක් සහ මිසයිල නාශක බැටරි,  මැද පෙරදිගට යවා ඇත.

මැදපෙරදිග අධීක්‍ෂණය කරන මධ්‍යම විධානයට (the Central Command), එක්සත් ජනපද න්‍යෂ්ටික මිසයිල සබ්මැරීනයක් යැවීම පිලිබඳ අසාමාන්‍ය ප්‍රසිද්ධ නිවේදනයත් සමග, ඉරානයට එක්සත් ජනපද තර්ජන මේ සතියේ පැහැදිලිවම මතුවිය. එවැනි සබ්මැරීනයකට න්‍යෂ්ටික තුණ්ඩ සහිත ටොම්හෝක් කෲස් මිසයිල 154ක් හෝ න්‍යෂ්ටික බැලස්ටික් මිසයිල 20ක් රැගෙන යා හැකිය. මෙය 1945 හිරෝෂිමාව විනාශ කළ පරමාණු බෝම්බයේ බලය මෙන් 1,900 හෝ 2,300 ගුණයක පමණ එනම් TNT ටොන් මිලියන 23 හෝ 28 ක සම්පූර්ණ විනාශකාරී බලයක් ලබා දෙයි. 

එක්සත් ජනපද ප්‍රවෘත්ති නාලිකාව වන සීඑන්එන් අදහස් දක්වමින්, “නිවේදනය ඉරානයට සහ කලාපයේ එහි ප්‍රොක්සිවරුන්ට එල්ල කරන ලද වැළැක්වීමේ පැහැදිලි පණිවිඩයකි.”

අපි සරලව කතා කරමු: වොෂින්ටනය ඉරානයට සහ එහි සහචරයින්ට න්‍යෂ්ටික යුද්ධයෙන් තර්ජනය කරයි. ගාසා තීරයට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරක යුද්ධයට වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයන්ගේ සහයෝගය , මනුෂ්‍යත්වයට එරෙහි ඊශ්‍රායල අපරාධවලට ඔවුන්ව සම්බන්ධ කරනවා පමනක් නොව, එය අනතුරු ඇඟවීමක් ද වේ: අධිරාජ්‍යවාදී බලවතුන් ඉරානයට හෝ කලාපයේ වෙනත් ඕනෑම බලවතෙකුට එරෙහිව ඊට සමාන ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවනු ඇත.

එක්සත් ජනපද නිලධරය, මෙම යුද්ධය ගෝලීය ආධිපත්‍යය සඳහා වන ලෝක ගැටුමක කොටසක් ලෙස දකින අතර මැදපෙරදිග ආධිපත්‍යය දැරීම සඳහා ඔවුන් කිසිවක් නතර නොකරනු ඇත.

අධිරාජ්‍යවාදී පාලක කවයන් ආසාදනය කරන සාපරාධී යුද උමතුව පිලිබඳ උදාහරණයක් නම්, ප්‍රභල අත්ලාන්තික් කවුන්සිලයේ ඒරියල් කොහෙන්  විසින් රචිත “චීනය-රුසියාව-ඉරාන අක්ෂය ඇමරිකාවට පැහැදිලි තර්ජනයකි” යන ලිපියයි. ඉරානය සමඟ රුසියානු සහ චීන සබඳතා හෙලා දකිමින්, කොහෙන් රුසියාව හා චීනය බිය ගැන්වීම සඳහා ඉරානය විනාශ කිරීමේ ස්වර්ණමය අවස්ථාවක් ලෙස ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය සලකයි: “වත්මන් අර්බුදය මොස්කව් සහ බීජිං වෙත නිසැක පණිවිඩයක් යැවීමට වොෂින්ටනයට සුවිශේෂී අවස්ථාවක් සපයයි : පසු බහිනු  – නැතහොත් ඉරානය අහිමි කරගනු.” 

“ඉරානය වොෂින්ටනයේ අනතුරු ඇඟවීම්වලට අවනත නොවන්නේ නම් සහ ඊශ්‍රායල සිවිල් වැසියන්ට දරා ගත නොහැකි හානියක් සිදු කරන්නේ නම්, එයට දැඩි දඬුවම් දිය යුතු අතර එහි න්‍යෂ්ටික වැඩසටහන, මිලිටරි ස්ථානගත කිරීම් සහ සමහර විට තෙල් පර්යන්ත විනාශ කළ යුතුය. ක්ලෙප්ටොක්‍රටික් [ දූෂිත] ෂියා ජිහාඩි ආඥාදායකත්වය මෙයින් නොනැසී පවතිනු ඇතැයි සිතිය නොහැක. මොස්කව් සහ බීජිං නොසලකා හැරිය නොහැකි පණිවිඩය එය වනු ඇත.” මෙසේ, ඉරානයේ ක්‍රියාමාර්ගය , එහි සන්නද්ධ හමුදා, ප්‍රධාන කර්මාන්ත සහ ආන්ඩුව මුලිනුපුටා දැමීමට තුඩු දිය යුතු බව කොහෙන් අවධාරනය කරයි. 

මෙම පිලිවෙත උමතු සහ සාපරාධී වුවද, එය කෙසේ වෙතත් වොෂින්ටනය සහ එහි යුරෝපීය අධිරාජ්‍යවාදී සහචරයින් ගෙන යන ගමන මෙන්ම න්‍යෂ්ටික අවි කෙරෙහි ඔවුන්ගේ ආකර්ෂණය විස්තර කරයි. මෙය මුල් බැස ඇත්තේ 1991 ස්ටැලින්වාදී සෝවියට් සංගමය විසුරුවා හැරීමේ කාලයේ සිට දශක ගනනාවක් තිස්සේ වර්ධනය වී ඇති ඇමරිකානු හා ලෝක අධිරාජ්‍යවාදයේ ගැඹුරු අර්බුදය තුල ය.

ඉරානයට තර්ජනය කිරීම සඳහා බැග්ඩෑඩ් වෙත ගිය ගමනෙන් , බ්ලින්කන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රිකත්වය විසින් හොඳින් භාවිතා කරන ලද ලද මාවතක් යොදා ගත්තේය.1979 ඉරාන විප්ලවයෙන් පසුව, ඉරාක ජනාධිපති සදාම් හුසේන් ඉරානයට එරෙහිව යුද්ධ කිරීමට දිරිගැන්වීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් නැවත නැවතත් ඉරාකයට ගියහ. 2003 ඉරාකය ආක්‍රමණය අතරතුර අනාගත එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්, 1980-88 ඉරාන-ඉරාක යුද්ධයේදී ඉරානයට මිත්‍ර වූ කුර්දි හමුදාවලට එරෙහිව විෂ වායු භාවිතා කිරීම සඳහා හුසේන් දිරිමත් කිරීමට එක්සත් ජනපද නියෝජිතයෙකු ලෙස 1983-84 දී ඉරාකයට ගියේය.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ එහි යුරෝපීය සහචරයින් අද, කෙසේ වෙතත්, එම යුද්ධයේදී හෝ 1991 එක්සත් ජනපදය විසින් ඉරාකයට එරෙහිව  කල  ගල්ෆ් යුද්ධයට වඩා බෙහෙවින් වෙනස් තත්වයන්ට මුහුණ දෙති. සෝවියට් සංගමයේ පැවැත්ම විසින් එල්ල කරන ලද මිලිටරි හා දේශපාලන බාධකයෙන් මිදී, ඔවුන් මෙම සම්පත් බහුල කලාපය හරහා-ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යුක්රේනය සහ ඉන් ඔබ්බෙහි පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ යුද්ධ දියත් කරන ලදී. එහෙත් ,  මිලියන ගනනක් මිය ගියත් ඩොලර් ට්‍රිලියන ගනන් වියදම් කලත්, මෙම ජනප්‍රිය නොවන යුද්ධ අවසානයේ වොෂින්ටනයේ ආස්ථානයට යටින් වල කපා ඇත.

පළමුවෙන්ම, වොෂින්ටනය අද සිටින්නේ මංමුලා සහගත මිලිටරි අර්බුදයක ය. යුක්රේනයේ දී , රුසියාවට එරෙහි යුද්ධයෙන් එහි යුක්රේන සහචරයින් පරාජයට පත්ව ඇත. 2011 දී සිරියාවේ දියත් කරන ලද පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා වූ නේටෝ යුද්ධයට එරෙහිව මොස්කව් සහ ටෙහෙරානය මැදිහත් වූ බැවින්, මැදපෙරදිග එක්සත් ජනපද හමුදා ඉරානය, රුසියාව හෝ ඔවුන්ගේ සහචරයින් විසින් සිරියාවේ සහ කලාපය පුරා ගොඩනගා ඇති කඳවුරු සිය ගණනක ජාලයකට මුහුන දෙති.එපමණක් නොව, 2021 දී ඉරානය සමඟ චීනයේ ඩොලර් බිලියන 400 ක ගිවිසුම සහ යටිතල පහසුකම් සැලැස්ම ද , ඉරානයට මිලිටරි සන්ධානයක් ලබා දෙන බව ද වාර්තා වේ. 

කෙසේ වෙතත්, මෙම මිලිටරි අර්බුදය විසින්ම වොෂින්ටනය තුල වඩාත් නොසැලකිලිමත්කම අවුලුවාලීම පමනක් සිදු කර ඇත.2003 දී ඉරාකය ආක්‍රමණය කළ 200,000 ට වඩා අඩු , බොහෝ සෙයින් මැද පෙරදිග ඉතිරිව ඇති භටයින් 40,000 ක් සමඟ,  වොෂින්ටනයට මේ වන විට ඉරාකයට වඩා හතර ගුණයක් විශාල රටක් වන ඉරානය ආක්‍රමණය කර එය අත්පත් කර ගැනීමට හෝ සාම්ප්‍රදායික යුද්ධ වලදී ඉරාන, රුසියානු සහ චීන හමුදා සමඟ සටන් කිරීමට නොහැකි ය.මෙය ලෝක බලවතුන් අතර ගිනි ජාලාවක් අවුලුවාලීමේ අවදානමක් ඇතත්, න්‍යෂ්ටික යුද්ධයේ තර්ජන වෙත වොෂින්ටනය දේශපාලනිකව සාපරාධී පිහිට සෙවීම මීට යටින් පවතී. 

තීරනාත්මක ප්‍රශ්නය නම්, යුද්ධයට හා ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ශීඝ්‍රයෙන් වර්ධනය වන ගෝලීය ව්‍යාපාරයකට අධිරාජ්‍යවාදය මුහුන දීමයි . ඊශ්‍රායල ප්‍රහාරය ආරම්භ වී සති කිහිපය තුළ සෑම මහාද්වීපයකම මිලියන ගණනක් විරෝධතා දක්වා ඇත. ප්‍රධාන ප්‍රශ්නය නම්, න්‍යෂ්ටික ආමගෙදොනය [ අවසන් මහ සටන] දක්වා වර්ධනය වීමට පෙර ජන සංහාරය සහ නැගී එන තුන්වන ලෝක යුද්ධය නැවැත්වීමට මෙම දැවැන්ත ව්‍යාපාරය එක්සත් කිරීම හා දේශපාලනිකව සන්නද්ධ කිරීම කළ හැක්කේ කුමන ඉදිරිදර්ශනයක් මතද යන්නයි.

ඉරානයට එරෙහි එක්සත් ජනපද තර්ජන හෙලිදරව් කරන්නේ ගාසා තීරයට බෝම්බ හෙලීම, අධිරාජ්‍යවාදී බලවතුන් විසින් මෙහෙයවනු ලබන ගෝලීය යුද්ධයක කොටසක් වන අතර, එමගින් ලෝකයේ සම්පත් සහ වෙලඳපොලවල් යලි බෙදීමට සහ කොල්ලකෑමට යන ආකාරයයි. එක් හෝ වෙනත් ධනේශ්වර ආන්ඩුවකට හෝ දේශපාලඥයෙකුට ආයාචනා කිරීමෙන් මෙම යුද්ධ නැවැත්විය නොහැක. ප්‍රශ්නය මුල් බැස ඇත්තේ ලෝක ධනේශ්වර ක්‍රමය තුළමය. ගාසා තීරයේ ජන සංහාරය නැවැත්විය හැකි අතර, ගෝලීය අග්නි ජාලාවක් ඇතිවීමේ තර්ජනයද නතර කළ හැකිය. එහෙත් ඒ සඳහා කම්කරු පන්තියට බලය පැවරීමට, ධනවාදය අහෝසි කිරීමට සහ එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමට දැනුවත්ව එක්සත් ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීම අවශ්‍ය වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top