ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු!

ජෙනරල් ස්ට්‍රයිකය වටා වික්‍රමසිංහ ආන්ඩුවට එරෙහි කම්කරු, පීඩිත ජනයා බලමුලුගන්වමු!

යෝජිත වැඩ වර්ජනයට සියලු තරුනයන්, ශිෂ්‍යයින්, පීඩිතයින්  ඇතුලුව වැඩ කරන ජනතාව සහාය ලබා දිය යුතුය යි කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) කියා සිටී. මෙම වර්ජනය කැඳවනු ලබන්නේ විදුලිය, ජලය, ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය සේවාවල හා බෙහෙත් හා ආහාර ද්‍රව්‍ය මිල නො ඉවසිය හැකි තරම් ඉහල දමා ඇති, ඹෟෂධ හිගය හේතුවෙන් රෝගීන්ගේ ජිවිත වැනසෙන, කම්කරුවන්ගේ වැටුප් සිඳවන උද්ධමනය අහස උසට නංවා ඇති තතු යටතේ ය. නිදහස් අධ්‍යාපනය වැනි සුබ සාධන සේවාවලට මල බෙරය හැඬවෙමින් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදයේ ශේෂයන්ද වනසමින්, මුදල් අමාත්‍යාංශය මැතිවරන කොමිසම විසින් නිවේදනය කෙරුනු මැතිවරනයකට මුදල් ප්‍රතිපාදන ලබා දීම ප්‍රතික්ෂේප කරන, මහජන උද්ඝෝෂන මර්දනයට පොලිසිය මෙහෙයවන, ලේඛකයන්ගේ,  සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ ප්‍රකාශන අයිතිය එලිමහනේ උල්ලංගනය කරන පාලන තන්ත්‍රයකට අපි මුහුන දී සිටිමු.

පසුගිය වසරේ මාර්තු අග පුපුරා ගොස්, ඇදී ගිය මහජන අරගලය අනතුරට මුහුන දුන් මැයි 9දා ක්ෂනිකව ස්වේච්ඡාවෙන් නැගී සිට අරගලය ආරක්ෂා කල කම්කරු පන්තිය එම අරගලයේ අත් දැකීම් විශේෂයෙන් සිහි කැඳවා ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

ව්‍යවස්ථාවට පිටින් කම්කරු පන්තියේ පන්ති ශක්තීන් මෙහෙයවා රාජ්‍ය නායකයෙකු පලවා හැරීමෙන් පසුව වුව ද කම්කරුවන්ට අරමුනු ජය ගන්නා තෙක් ගමන් කිරීමට වෘත්තීය සමිතිවලින් ඉඩ ලැබුනේ නැත.

මෙරට බ්‍රිතාන්‍ය පාලනය දෙදරවා හරින ලද 1946 හා 1947 මහා වැඩ වර්ජන දෙක පාර්ශවීය ජයග්‍රහන ලබා ගත් නමුත් ඒවා මර්දනයට ගොදුරු විය. 1953 කැබිනට්ටුව මහ මුහුදේ නැවකට පලවා හරින ලද නමුත් සමසමාජ, කොමියුනිස්ට්  නායකයන් විසින් කැබිනට්ටුව නැවත ගොඩ බිමට කැඳවා ධනපති  පාලනය තහවරු කරන ලදී. 1964 කම්කරු අරගල පාලනය කර ගනු ලැබුවේ සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ නායකයින් සිරිමා බන්ඩාරනායකගේ සමගි පෙරමුනු ආන්ඩුවට රිංගීමෙනි. 1976 මහා වර්ජනය ආන්ඩුව පෙරලා දැමීමට සමත් වුවත්, නායකත්වයේ නුසූදානම හා පාවා දීම මගින් අති දක්ෂිනාංෂික ජේ.ආර්.ජයවර්ධන තන්ත්‍රය පාලනයට ගෙන ආවේ ය. ජයවර්ධන 1980 ජුලි මහා වර්ජනයේ දී කම්කරු පන්තිය ඛේදනීය පරාජයකට ඇද දැමීය. රනිල් වික්‍රමසිංහට පාලන තන්ත්‍රය ස්ථාපිත කිරීමට ඉඩ සැලසීම මගින් අත් කර දෙනු ලැබ ඇත්තේ ද ඊට නොදෙවෙනි හානියකි.

’80 වැඩ වර්ජනය ජුලි 18 දින කරන බවට එක්සත් වෘත්තීය සමිති ක්‍රියාකාරී කමිටුව විසින් රජය දැනුවත් කරන ලදී. ඊට පිලිතුර ලෙස, වැඩ වර්ජනයට සහභාගී වන රාජ්‍ය ආයතන  හා සංස්ථාවල සේවකයන් සියලුම දෙනා සේවය අත් හැර ගිය අය ලෙස සලකන බව ආන්ඩුව ජුලි 14 දින නිවේදනය කලේ ය. එය නො තකා වර්ජනයට සහභාගී වූ ලක්ෂයකට ආසන්න කම්කරුවන්ට රැකියා අහිමි කෙරුනි.

එම 21 දින සිට ම නවක සේවකයන් බදවා ගැනීමට ඇමතිවරුන්ට බලය ලබා දෙන ලදී.

ජයවර්ධන තමන් මෙසේ ක්‍රියා කිරීමට හේතු මෙසේ පැහැදිලි කර තිබිනි: “මෙවැනි තර්ජන මගින් රජයට අනිසි බලපෑම් ඇති කිරිමට ඉඩ දීමට කිසි සේත් නුපුලුවන…පසු ගිය තෙවසරක කාලයක තිස්සේ ස්වදේශිකයන් පන්ලක්ෂයකට පමන රැකියා ලබා දෙමින් කටයුතු කරන රජයේ සංවර්ධන වැඩ පිලිවෙලට ද මෙයින් බා‍ධා වී, රට තුල නිෂ්පාදනය හීන වී ජීවන වියදම ඉහල යන අතර භාන්ඩ සැපයීමේ කර්යයන් අඩාල වේ.” (ලංකාදීප 1980 ජුලි 15)  ඔහු තව දුරටත් කියා සිටියේ වෘත්තීය සමිති තමන් ආඥාදායකයෙකු කරන බව ය.

’80 වැඩ වර්ජනය වෘත්තීයසමිතිවාදයේ ඓතිහාසික බංකොලොත්කම සනිටුහන් කලේය. ජයවර්ධන 1960 ගනන් මැද සිට ඇදී ගිය ආර්ථික අර්බුදයකට මුහුන දී සිටියේ ය. ඊට පිලියම් ලෙස නව ලිබරල් ආරථිකය ලෙස දැන් හඳුන්වන දෙය කෙසේ හෝ ක්‍රියාවට දැමීම හැර වෙන මාවතක් ජයවර්ධන ආන්ඩුවට නො තිබිනි. ලක්ෂ ගනනක් රැකියා සම්පාදනය ගැන සඳහන් කරන විට ජයවර්ධන පවසන්නේ වහල් සූරා කෑමේ මධ්‍යස්ථාන ලෙස නිර්මානය කල නිදහස් වෙලඳ කලාප ගැන ය. වෘත්තීය සමිති තමන් ආඥාදායකයෙකු බවට පත් කරන බවට ජයවර්ධන නගන චෝදනාව මගින් නග්න සහ නිදහස් සූරා කෑමට බා‍ධා වන කිසිවක් සමග සම්මුතියක් නැත යන්න ඔහු අවධාරනය කරයි.

එනම්, නවීනතම තාක්ෂනය මත ගොඩ නැගුනු භූගෝලීය නිෂ්පාදන විධිය විසින්, කේවල් කිරීම සදහා වෘත්තීය සමිතිවලට පැවති හැකියාව සදහටම අහෝසි කරනු ලැබ තිබූ අතර, ඒ අනුව කම්කරු පන්තියේ අවශ්‍යතා මතු කරන හැම අවස්ථාවකම පන්ති යුද්ධයක් ඉල්ලා සිටින තතු උදා වී තිබින. ඒ අනුව වෛෂයිකව බෙල හීනත්වයට පත් වෘත්තීය සමිති, එවක් පටන් සංගත හා ආන්ඩුවල අර්බුද කම්කරු පන්තිය මත හෙලන විවෘත ධනපති ඒජන්සි බවට පරිවර්තනය වි ඇත.

දැන් වික්‍රමසිංහ තන්ත්‍රය ඇතුලු ධනපති පාලක පන්තිය මුහුන දි  සිටින ආර්ථික අර්බුදය මහජනයා මත පැටවීම හැර අන් මගක් ඔවුනට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටින්නේ එයයි. වික්‍රමසිංහ ස්ථාවර ආන්ඩුවක් හෙවත් පන්ති අරගලය පාගාගෙන  ඉදිරියට යා හැකි ආන්ඩුවක් ලෝකය හමුවේ නො තැබුවහොත් රටේ ධනපති  ආර්ථික හා දේශපාලන අර්බුදය තව දුරටත් කුනු වීම සිදු වනු ඇත යන්න ගැන වෘත්තීය සමිති මෙන් ම සියලු ධනේශ්වර ගැති පක්ෂ ද සංවේදී ය. ඒ්වා දැනටමත් මූල්‍ය අරමුදලේ යෝජනා පිලිගෙන ඇත. එසේ නම් ඒවායේ අරමුන වන්නේ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවීය මැදිහත් වීමක් මගින් එම වැඩ පිලිවෙල ව්‍යාකූල කිරීම වැලැක්වීම උදෙසා කම්කරු පන්තිය තමන්ගේ අත යට පවත්වා ගැනීම ය.

රුසියානු විප්ලවයේ සම නායකයා වන ලියොන් ට්‍රොට්ස්කි ප්‍රකාශ කලේ ඇතැම් අවස්ථාවල පක්ෂ හා කන්ඩායම් ජනතාවගෙන් හුදකලා වීමෙන් වැලකීමේ මහා වැඩ වර්ජන යෝජනා කරන බවයි. නමුත් ධනපති පන්තිය හා කම්කරු පන්තිය බැරිකේඩ වෙත කැඳවන මහා දේශපාලන වැඩ වර්ජනයක ඓතිහාසික අවශ්‍යතාවයකි දැන් පැන නැගී ඇත්තේ. පසු ගිය අරගල මාලාව තුල ම නො නවත්වා අවධාරනය වූයේ එය යි. මේ තත්වයට සූදානම් නැති අරගලයකට කිසිවක් ජය ගනු නො හැකි ය.

අංක එකේ ප්‍රායෝගික අවශ්‍යතාව නම් වෘත්තීන්, ශ්‍රේනි, හා වාර්ගික, ආගමික සීමා කපාගෙන ගොඩ නගන කම්කරු පන්තියේ ඒ්කාබද්ධතාව හා සෙසු පීඩිත ජනයා ඒ වටා බලමුලු ගැන්වීමයි. එය වෘත්තීය සමිති හෝ ධනපති ගැති පක්ෂ විසින් සිදු නො කරයි. ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු සෑම වැඩපොලකම, ප්‍රාදේශිකයකම ගොඩ නගමින් මෙම එකමුතුව සදහා සටන් වැදීම ය කල යුත්තේ. ඒ සදහා  කම්කරුවෝ පෙරමුන ගත යුත්තාහ. එවැනි කමිටු අතර නිරන්තරයෙන් කරන සාකච්ඡා හා සංනිවේදන නිසි ලෙස පවත්වමින් ක්‍රියාමාර්ගයන්ට නුසූදානම්ව යොමු වීමේ අන්තරායන් මඟ හැරිය යුතු ය.

ධනපති නය කන්දට කරගැසීමට අප සූදානම් නැත. *සියලු විදේශ නය නො ගෙවනු! *ධනපති මහා සංගත, මූල්‍ය සමාගම් කම්කරු පාලනයට නතු කරනු! *මහජනයා පෙලන බදු අහෝසි කරනු! * රැකියා, වැටුප් හා සුභසාධන සේවාවන් කප්පාදුව නතර කරනු! * පුද්ගලීකරනය එපා! * අත්‍යවශ්‍ය සේවා නියෝග හා මර්දන නීති අහෝසි කරනු! * කම්කරු පන්ති ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වන ව්‍යවස්ථාවක් සම්පාදනය සදහා ව්‍යවස්ථා සම්පාදක මන්ඩලයක් කැඳවනු! *සමාජවාදී වැඩපිලිවෙලකට සටන් වදිමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුව.

07 මාර්තු 2023

#CACPS

image courtesy of #WSWS

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top