නේටෝව රුසියානු-යුක්රේන යුද්ධයට සෘජු මැදිහත්වීමක් සූදානම් කරයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 මැයි 29 දින පල වූ ‘NATO prepares direct intervention into Russia-Ukraine war’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

යුක්රේනයේ නේටෝ පිටුබලය ලබන පාලන තන්ත්‍රය රුසියාව සමග එහි යුද්ධයේ පරාජයකට මුහුන දී සිටින තතු තුල, නේටෝ බලවතුන් යුක්‍රේනයේ දැවැන්ත මිලිටරි උත්සන්න කිරීමක් සඳහා සූදානම් කිරීම් වේගවත් කරමින් සිටී. මෙය සඳුදා බල්ගේරියාවේ අගනුවර වන සොෆියා හි පැවති නේටෝ පාර්ලිමේන්තු රැස්වීමේ ප්‍රතිඵලයයි.

“රුසියාවට යුක්‍රේනයේදී මූලෝපායික පරාජයක් අත්විදිය හැකිය, අත්විදිය යුතුය,” සොෆියා ප්‍රකාශනය ප්‍රකාශ කලේය. එය “යුක්රේනයට අවශ්‍ය සියල්ල, හැකි ඉක්මනින් සහ එය ජයග්‍රහනය කිරීමට ගතවන තාක් කල් ලබා දිය යුතුය යන ඉලක්කය මත පදනම් වූ පැහැදිලිව ප්‍රකාශිත උපාය මාර්ගයක්” ඉල්ලා සිටියේය.

Himar battery

මැරීන් බලකා කඳවුරේ පෙන්ඩල්ටන් හි එක්සත් ජනපද මැරීන් HIMARS පද්ධතියක්. (අනුග්‍රහය: එක්සත් ජනපද මැරීන්) [ඡායාරූපය: එක්සත් ජනපද මැරීන්]

එහි හමුදාවට සුනුවිසුනු පහරක් එල්ල කරමින් සහ මොස්කව්හි පාලන තන්ත්‍රය වෙනස් කිරීමට බල කරමින්, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දීමට නේටෝව උත්සාහ කරන්නේ නම්, ඒ සදහා  නේටෝ හමුදාවන් යුද්ධයට වඩා සෘජුවම ඇතුලුවීම අවශ්‍ය කරනු ඇත. යුක්රේනයේ හමුදාව සුදුමැලිවන තෙක් ලේ වැගිරී, මිනිසුන් මිලියන භාගයකට වඩා වැඩි පිරිසක් අහිමි ව ඇති අතර, සෑම යුධ පෙරමුණකින්ම පසුබෑමට බල කෙරී ඇත.

සොෆියා ප්‍රකාශය “රුසියාවේ නීත්‍යානුකූල ඉලක්කවලට පහර දීම සඳහා නේටෝ මිත්‍ර පාක්ෂිකයන් විසින් සපයන ලද ආයුධ භාවිතය පිලිබඳ යම් සීමාවන් ඉවත් කිරීම” වෙනුවෙන් පෙනී සිටියේය. මේ වන තුරු, රුසියාවේ ඉලක්ක වෙත යුක්රේන ප්‍රහාර බොහෝ දුරට සීමා වී තිබුනේ යුක්‍රේනයේ සාදන ලද මිසයිල පරාසය තුල අසල පිහිටි බෙල්ගොරොඩ් නගරයට ය. රුසියාවේ ඈත දුර නගරවලට බෝම්බ හෙලීම සඳහා නේටෝව විසින් සපයන ලද වඩා දිගු දුර Storm Shadow , SCALP, Taurus සහ ATACMS මිසයිල භාවිතා කිරීමට සොෆියා රැස්වීම යුක්රේනයට ඉඩ දුන්නේය.

ජාත්‍යන්තරව කම්කරුවන්ට හා තරුනයින්ට අනතුරු ඇඟවිය යුතුය: නේටෝව ප්‍රධාන න්‍යෂ්ටික-සන්නද්ධ බලවතුන් අතර යුද්ධයක්  අවධානම ගැන දැවැන්ත ලෙස නොසැලකිලිමත් කමින්  උත්සන්න කරමින් සිටී.

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් කැමරන් යුක්රේනයට රුසියාවට බෝම්බ හෙලීමට බ්‍රිතාන්‍ය ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කල හැකි බව ප්‍රකාශ කිරීමෙන් පසුව, රුසියානු විදේශ අමාත්‍යාංශය බ්‍රිතාන්‍ය තානාපති නයිජල් කේසි කැඳවා බ්‍රිතාන්‍යයේ ඉලක්කවලට පහර දීමෙන් රුසියාව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට අනතුරු ඇඟවීය. එසේ වෙතත්, කැමරන්ගේ තර්ජන ප්‍රතිරාවය කරමින්, නේටෝව පැහැදිලි කරන්නේ රුසියාව සමග විවෘත යුද්ධයකට අවදානමක් ගැනීමට තමන් සූදානම් බව ය.

ඊයේ රාත්‍රියේ, Meseberg හි පැවති සමුලුවකදී, ජර්මානු චාන්සලර් Olaf Scholz සහ ප්‍රංශ ජනාධිපති Emmanuel Macron යන දෙදෙනාම යුක්රේනයට නේටෝ මිසයිල වලින් රුසියාවට බෝම්බ හෙලීමට ඉඩ දෙන ලෙස කැඳවා සිටියහ. මැක්‍රොන් පැවසුවේ, “අපි මිසයිල විදින තැනට පහර දිය නොහැකි බව ඔවුන්ට පැවසුවහොත්, ඇත්ත වශයෙන්ම අපි කියන්නේ, අපි ඔබට ආයුධ දෙන්නෙමු, නමුත් ඔබට ඔබේ  ආරක්ෂාව සලසා ගැනීම කළ නොහැක කියාය.”

මෙය සිදුවුනේ  ෆින්ලන්තය, පෝලන්තය සහ බෝල්ටික් රාජ්‍යයන් රුසියානු මිලිටරි ඩ්‍රෝන යානාවලට එරෙහිව සටන් කිරීමට සූදානම් වීම සඳහා රුසියානු දේශසීමාවේ “ඩ්‍රෝන පවුරක්” ශක්තිමත් කරන බවට කල  නිවේදනයක් මධ්‍යයේය .

සෙනසුරාදා පෝලන්ත විදේශ ඇමති Radosław Sikorski ගාඩියන් පුවත්පතට පැවසුවේ, එක්සත් ජනපද හා රුසියානු නිලධාරීන් න්‍යෂ්ටික බෝම්බ භාවිතා කිරීමේ විභවය ගැන සාකච්ඡා කරමින් සිටින බවයි: “ඇමරිකානුවන් රුසියානුවන්ට පවසා ඇත්තේ ඔබ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරවා හරින්නේ නම්, එය කිසිවෙකු මරා නොදැමුවත්, අපි සාම්ප්‍රදායික ආයුධ වලින් යුක්‍රේනයේ ඔබගේ සියලු ඉලක්ක [ස්ථාන] වලට පහර දෙනවා, අපි ඒවා සියල්ලම විනාශ කරන්නෙමු. මම හිතන්නේ එය විශ්වසනීය තර්ජනයක්. ”

ප්‍රථමයෙන් න්‍යෂ්ටික අවි භාවිතය ක්‍රෙම්ලිනය කරනා  අවස්ථාවක් ගැන සිකෝර්ස්කි සඳහන් කල ද, ඔහුගේ ප්‍රකාශයන් යෝජනා කරන්නේ නේටෝවට එසේ කිරීමට වැඩි පෙලඹවීමක් ඇති බවයි. ඇත්ත වශයෙන්ම, රුසියාව සමඟ සාම්ප්‍රදායික යුද්ධයකදී, එහි හමුදා දැන් වසර දෙකක යුද්ධයකින්  දැඩි ලෙස සන්නද්ධ ප්‍රවීනයන් වීම නිසා යුරෝපය අවාසි සහගත තත්වයක සිටිනා බව ඔහු පිලිගත්තේය.

1991 දී සෝවියට් සංගමය ස්ටැලින්වාදී විසුරුවා හැරීමෙන් පසු, “යුරෝපය නිරායුධ වූවා පමනක් නොව, එය ආරක්ෂක ක්ෂේත්‍රය තුල කාර්මිකහරනය කල බව සිකෝර්ස්කි පැවසීය. … එමෙන්ම යළි ආපසු හැරී බැලීමේදී එය වැරද්දක් ලෙස පෙනේ. යුරෝපය පසුපසින්  ගාටන බව පැහැදිලිය.” 

ඔහු වැඩිදුරටත් පැවසුවේ:

 “අපි ඉහල වටිනාකමක් ඇති, අධි තාක්‍ෂනික වේදිකා සහ ආයුධ කෙරෙහි අවධානය යොමු කලෙමු. ඇත්තටම අපට අවශ්‍ය වන්නේ ෂෙල් වෙඩි මිලියන ගනනක් බව අපි දැන් යළි අනාවරණය කර ගනිමින් සිටිමු. අපට අඩු තාක්‍ෂනික දේවල්ද විශාල ප්‍රමානයක් අවශ්‍ය වේ. ” 

මෙම සාපේක්ෂ දුර්වලතාවය සමතුලිත කිරීම සඳහා යුද්ධයකදී න්‍යෂ්ටික අවි භාවිතා කිරීමට නේටෝව තීරනය කල හැකි අන්තරාය මෙය මතු කරයි.

රුසියාවට එරෙහි නේටෝ යුද සැලසුම් ගෝලීය අධිරාජ්‍යවාදී න්‍යාය පත්‍රයක් සමඟ බැඳී ඇත. සොෆියාහිදී, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් යුක්රේන යුද්ධයේදී රුසියාව සමඟ වෙලඳාම් කිරීම පිළිබඳව චීනයට පහර දුන්නේය. “රුසියාවේ යුද්ධයට බෙලාරුසියානු, ඉරාන සහ උතුරු කොරියානු පාලන තන්ත්‍රයන් විසින් සපයන ලද මිලිටරි ආධාර හෙලාදැකීම” සඳහා කැඳවුම් කරමින් සොෆියා ප්‍රකාශය අවසන් කරමින් කියා  සිටියේ, “යුක්රේනයට දෙන ආධාර … එනයින් යුක්රේනයේ ජයග්‍රහනයට අදාල මූලෝපායික ප්‍රතිලාභ හා සසඳන විට කුඩා ආයෝජනයක් වන” බවයි.

එනම්, රුසියාවට “මූලෝපායික පරාජයක්” ලබා දී මොස්කව්හි රූකඩ පාලන තන්ත්‍රයක් ස්ථාපනය කර, රුසියාවේ තෙල්, ගෑස් සහ තීරනාත්මක මූලෝපායික ඛනිජ සංචිත වෙත ප්‍රවේශය ලබා ගැනීමට නේටෝව බලාපොරොත්තු වනවා පමනක් නොවේ. රුසියාවට එරෙහි උත්සන්න කිරීම  නැගෙනහිර ආසියාවේ, මැද පෙරදිග හා ඉරානයේ යුද්ධය සමග බැඳී ඇත. ගාසාවේ ජන සමූල ඝාතනය  මධ්‍යයේ ඊශ්‍රායලයට නේටෝවේ පිටුබලය තුල මෙය එහි තියුනුම ස්වරූපය ගනී.

 මොස්කව් ස්ටෝල්ටන්බර්ග්ගේ අදහස් වලට නේටෝව හෙලා දකිමින් ප්‍රතිචාර දැක්වීය. ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ, “නේටෝව මිලිටරි වාචාල කතා සමඟ අඟර කරමින් (ආලවන්ත පෑම්) මිලිටරි ප්‍රහර්ෂයට ඇද වැටෙමින් තිබේ.” නේටෝව රුසියාව සමඟ සෘජු ගැටුමකට සමීපස්ථ දැයි ඇසූ විට ඔහු පිලිතුරු දුන්නේ, “ඔවුන් ලං වෙමින් ඉන්නවා නොවේ ; ඔවුන් දැනටම එහි සිටිති.”

කෙසේ වෙතත්, නේටෝ උත්සන්න කිරිම රුසියානු ධනේශ්වර තන්ත්‍රයේ ප්‍රතිගාමී යුක්‍රේන ආක්‍රමනයට යටින් පවතින ජාතිකවාදී මූලෝපායේ බංකොලොත් භාවය හෙලිදරව් කරයි. නේටෝව සාකච්ඡා මේසයට ගෙන ඒමට සහ රුසියාවේ ආරක්ෂක අවශ්‍යතා හඳුනා ගැනීම සදහා  බල කිරීමට රුසියාවේ මිලිටරි බලය භාවිතා කිරීමේ  ක්‍රෙම්ලින උත්සාහය අසාර්ථක වි ඇත. රුසියාව දැන් මුහුන දී සිටින්නේ න්‍යෂ්ටික ගිනිජාලාවක්  දක්වා උත්සන්න විය හැකි සමස්ත නේටෝ සන්ධානය සමග යුද්ධයක දසුනකටය.

මෙම තත්ත්‍වයේ ඇති ලොකුම අන්තරාය නම්, කම්කරුවන් හා තරුනයන්ගේ  විශාල ජනතාවක් අනතුරේ තරම සහ ක්ෂනික භාවය ගැන සම්පූර්නයෙන් දැනුවත් නොවීමයි. නේටෝ ආන්ඩු, එවැනි ප්‍රතිපත්තිවල ව්‍යසනකාරී ඇඟවුම් පැහැදිලි නොකර “යුක්‍රේනයට ආධාර” සහ “යුරෝපීය යුද ආර්ථිකයක්” ගැන වාක්‍ය ඛන්ඩ දොඩමින්, ජනතාවගේ පිටුපසින් මෙම උත්සන්න කිරීම සැලසුම් කරති.

යුක්රේනයේ රුසියාවට එරෙහිව සටන් කිරීමට නේටෝ හමුදා යැවීමට ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ යෝජනාවට යුරෝපයේ අතිමහත් ජනතා විරෝධයක් පවතී. ප්‍රංශ ජනතාවගෙන් සියයට 68 ක්, ජර්මානුවන්ගෙන් සියයට 80 ක් සහ පෝලන්ත ජාතිකයන්ගෙන් සියයට 90 ක් මෙම ප්‍රතිපත්තියට විරුද්ධ බව මත විමසුම් සොයාගෙන ඇත. නේටෝව මුදා හැරීමට සූදානම් වන යුද්ධයේ දැවැන්ත පරිමානය පිලිබඳව කම්කරුවන් හා තරුනයින් මහජනතාව දැනුවත් වූයේ නම්, මෙම විරුද්ධත්වය නිසැකවම ඉහල සහ වඩාත් ක්‍රියාශීලී වනු ඇත.

කම්කරුවන් හා තරුනයන් කවුද අවදානම ගැන දැනුවත්කළ යුතු අතර, ජනතාවගෙන් අනතුර වසන් කිරීමට යුද ප්‍රචාරක කටයුතු සිදු කරන මිලිටරිවාදී ආන්ඩු සහ මාධ්‍යවල කුමන්ත්‍රනය හෙලිදරව් කල යුතුය. ධනේශ්වර පදනමක් මත ජාතික උපාය මාර්ගයක් හරහා යුද්ධය නැවැත්වීමට ක්‍රමයක් නැත. යුරෝපයේ තුන්වන ලෝක යුද්ධයක් වැලැක්වීම කම්කරු පන්තිය තුල ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම මත රඳා පවතී.

රුසියාවට එරෙහි නේටෝවේ උග්‍රවීම දිග හැරෙන්නේ ගාසා තීරයේ නේටෝ පිටුබලය ලබන ඊශ්‍රායල ජන සංහාරයට එරෙහි ගෝලීය මහජන විරෝධතා සමගිනි. මෙම අරගලයට සම්බන්ධ තරුනයන් හා කම්කරුවන්, ගාසා ජන සංහාරය සහ රුසියාවට එරෙහිව නේටෝවේ උත්සන්න කිරීම යන දෙකම ගලා එන්නේ අධිරාජ්‍යවාදී බලවතුන් යුද්ධය හරහා ගෝලීය ආධිපත්‍යය හඹා යාමෙන්  බව පිලිබද අවබෝධයෙන් සන්නද්ධ විය යුතුය.

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය උත්සන්න වීමට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සහ යුද්ධයට එරෙහි අරගලය, ලොව පුරා කම්කරුවන් අරගලයට තල්ලු කර ඇති සමාජ හා ආර්ථික ඉල්ලීම් සමඟ ඒකාබද්ධ කිරීම අවශ්‍ය වේ. යුද්ධයට එරෙහි සටන, යුද්ධයේ මූල හේතුව වන ධනේශ්වර සමාජ පර්යාය අවසන් කර එය සමාජවාදයෙන් විස්ථාපනය කිරීමේ සටනෙන් වෙන් කල නොහැකි ය. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top