ශ්‍රී ලංකා පොලිසිය කොළඹ ක්‍රියාකාරී කමිටු සාමාජිකයන්ට හිංසා කරමින් උද්ඝෝෂණ ද්‍රව්‍ය පැහැර ගනියි 

සංජය ජයසේකර විසිනි.

ශ්‍රී ලංකා පොලීසිය අද දිනයේ (24) කොළඹ ක්‍රියාකාරී කමිටුවේ (කොක්‍රික) එක් සාමාජිකයෙකු ප්‍රශ්න කිරීමට භාජනය කළ අතර, දිනයේ පසු හාගයේ දී උසාවි නියෝගයක් යටතේ කොක්‍රික උද්ඝෝෂණ පත්‍රිකා, දැන්වීම් හා පෝස්ටර් පොලිස් භාරයට ගත්තේය. 

කොක්‍රික සාමාජිකයෝ අද දින උදේ වරුවේ පිළියන්දල නගර ප්‍රදේශයේ පත්‍රිකා බෙදීමේ උද්ඝෝෂණයක නිරත වූහ. එසේ බෙදන ලද්දේ කොක්‍රික විසින් මෑත දී ම නිකුත් කරන ලද, “‘යුක්තියේ මෙහෙයුම’ නමින් පීඩිත තරුනයන් ඇතුලු මහජනයාට එරෙහිව මුදා හැර ඇති රාජ්‍ය භීෂනය පරාජය කරනු” යන ප්‍රකාශය යි. උදේ 9.45 ට පමණ ජනයා අතර පත්‍රිකා බෙදමින් සිටි එක් සහෝදරයෙකු නැවැත්වූ පොලීසිය ඔහු පොලිස් ස්ථානය වෙත රැගෙන ගියෝය. ඔහු පොලීසියට රැගෙන ආවේ මන්දැයි ප්‍රශ්න කළ කොක්‍රික සාමාජිකයන්ට පොලීසියේ ස්ථානාධිපති දැනුම් දුන්නේ, “පොලීසිය නින්දාවට පත් කරන” කරුණු පත්‍රිකාවේ ඇතුලත් වී ඇති බව  සහ, පත්‍රිකාව සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට පොලීසියට අවශ්‍ය බවයි. ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පැයක පමණ කාලයකට පසුව එම සහෝදරයා මුදා හරින ලදී.  

Campaign
කොක්‍රික සාමාජිකයෝ 2024 පෙබරවාරි 24 වන දින පිළියන්දල නගරයේ උද්ඝෝෂණයක යෙදෙති.

සවස 4.45 ට පමණ කැස්බෑව පොලීසියේ ස්ථානාධිපති ද ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, දණ්ඩ නීති සංග්‍රහයේ 484 හා 485 යන වගන්ති යටතේ වූ වැරදි සම්බන්ධයෙන් නිවෙස පරීක්ෂා කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලද සෝදිසි වරෙන්තුවක් ද අතැතිව කොක්‍රික ලේකම් හා මාධ්‍යවේදී ශාන්ත විජේසූරිය සහෝදරයාගේ නිවෙසට පැමිණියෝය. අභිප්‍රේත වරද ලෙස එහි දැක්වෙන්නේ, සාමය බිඳ දැමීමක් අවුළුවා ගැනීමේ අභිප්‍රායයෙන් යුතුව චේතනාන්විත ව නින්දා කිරීම සහ කැරලි ගැසීමේ හෝ ජනරජයට එරෙහිව හෝ මහජන සාමයට එරෙහිව වරදක් කිරීමේ අභිප්‍රායයෙන් යුතුව සාවද්‍ය වාර්තා බෙදා හැරීම යන ඒවා ය. පොලීසිය, කොක්‍රික ප්‍රකාශයේ තේමාව යටතේ පෙබරවාරි 27 දින කැස්බෑව නගරයේ පැවැත්වීමට නියමිත උද්ඝෝෂණය සඳහා සූදානම් කර තිබූ කොක්‍රික ප්‍රකාශය සහිත පත්‍රිකා 500 ක් පමණ ද, පෝස්ටර් හා උද්ඝෝෂණ පුවරු දුසිම් ගණනාවක් ද අත්අඩංගුවට ගත්තේය.    

Police
කැස්බෑව පොලීසිය 2024 පෙබරවාරි 24 දින මාධ්‍යවේදී විජේසූරියගේ නිවස වටලයි.

ඊයේ (23) නියෝජ්‍ය පොලිස් අධිකාරි එස්. වික්‍රමසිංහගේ අණ පරිදි විජේසූරිය ද පිළියන්දල පොලීසියට කැඳවා තිබිණ. අල්ලස් චෝදනාවක් ආශ්‍රිත පැමිනිල්ලක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් තමන්ට මරණ තර්ජන එල්ල කරන ලද බවට විජේසූරිය කළ පැමිණිල්ලක් හා කැස්බෑව පොලීසියේ පොලිස් නිලධාරීන් තමන්ට ලිංගික හිංසා පීඩා සිදු කළැයි ඔහුගේ පුත්‍රයාගේ ආදරවන්තිය කළ පැමිණිල්ලක් පිළිබඳව කෙරෙන “කඩිනම් පරීක්ෂණයක” කොටසක් ලෙස පැය දෙකකට අධික කාලයක් ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලදී. මෙම චෝදනා ව්‍යාජ බවත්, චෝදිත ක්‍රියාවන්හි පොලිස් නිලධාරීන් නිරත වී නැති බව තමන් දන්නා බවත් දැනටමත් තීරණය කර සිටින නියෝජ්‍ය පොලිස් අධිකාරීවරයා ඒ බව විජේසූරියට දැනුම් දී ඇත.  

පොලිසිය කොක්‍රික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වහා අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කර ඇති නමුත්, ඉහත දැක්වූ බරපතල චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබූවන්ට එරෙහි ක්‍රියා මාර්ග ප්‍රමාද කර ඇත. 

පොලීසියේ ද වික්‍රමසිංහ ආණ්ඩුවේ ද මෙම ක්‍රියා කලාපය කොක්‍රික හා පීඩිත මහජනයාගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කළ ප්‍රහාරයක් වන අතර, එහි අරමුණ වී ඇත්තේ දේශපාලන විසම්මුතිය මැඩීම සඳහා තැති ගැන්වීම් හා තාඩන පීඩන සිදු කිරීමයි. පොලිසියත් ආණ්ඩුවත් යත්න දරන්නේ මෙම පත්‍රිකා මහජනයා අතට පත්වීම වැලැක්වීමට සහ කොක්‍රික උද්ඝෝෂණ වැලැක්වීමටයි.

දේශපාලන අයිතිවාසිකම් වලට එරෙහි මෙම ප්‍රහාරය හෙලා දැකීමටත්, රජය විසින් කොක්‍රික සාමාජිකයන්ට එල්ල කෙරෙන තාඩන පීඩන හා එහි දේශපාලන කටයුතුවල හුස්ම හිර කිරීමේ ප්‍රයත්න වහා නවතා දමන ලෙස බලකර සිටීමටත් පෙරට එන මෙන් අපි කම්කරුවන්, පීඩිත ජනයා හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනා කැඳවුම් කර සිටිමු.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top