සඳුදා කොලඹ දුම්රියපොල ඉදිරිපිට රඟ දැක් වූ සුලු ධනේශ්වර නාඩගම

නන්දන නන්නෙත්ති විසිනි.  

Protest
සඳුදා (28) කොටුව දුම්රියපොල අසල උද්ඝෝෂනය

දේශීය නය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙල අනුව සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ගැනීමේ ආන්ඩුවේ යෝජනාව 2022 ජුලි 27දා පාර්ලිමේන්තුවේ සම්මත කරන ලදී. මහ බැංකුව වාර්තා කර ඇති පරිදි මෙම අරමුදලේ වත්කම්වලින් 96% ක්ම රජයේ බැදුම්කරවල ආයෝජනය කර ඇති අතර, ඒවා 2038 දක්වා වසර පහලොවකට දිගු කිරීම හා 9%ක ස්ථාවර පොලියක් ගෙවීමට කර ඇති යෝජනාව අරමුදලේ භාරකාර මන්ඩලය වන මුදල් මන්ඩලය වෙත අනුමැතිය සදහා යොමු කරනු ලැබ ඇත.

ආන්ඩුව, ධනපති නය මහජනයා මත හෙලීම සඳහා ගෙන ඇති වැටුප් කැටි කිරීම, රාජ්‍ය අංශයේ රැකියා හා ආයතන අහෝසිය, බදු බර, සියල්ලටමත් වඩා නිදහස් අදහස් ප්‍රකාශ කිරීම ඇතුලු සියලු ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට පහර දෙන මිලිටරි ආඥාදායක සැලසුම් හා වර්ගවාදය වැනි භේද මතු කර සිවිල් යුද වාතාවරනයක් නිර්මානය කිරීම වැනි අතිශය ප්‍රතිගාමී පියවර මාලාවක් ගෙන අතර අර්ථ සාධකය පමනක් බේරා ගැනීමේ විශේෂ ක්‍රමයක් නැති බව සෑම කම්කරුවෙකු ම දන්නා කරුනකි. සිරිත් පරිදි වෘත්තීය සමිති ඉහත යෝජනාව ගැන බොරු විරෝධතා මතු කර ඇත්තේ එම තත්වය තුල ය.  

බංකොලොත් පාලක පන්තියට, තමන් ම නිර්මානය කරගෙන ඇති නීතිමය හා හමුදාමය ආවරන යටතේ කම්කරු පීඩිත ජනතාව මරා, මල මිනී පවා අතුරුදහන් කර දැමීමේ තරම් හැකියාවන් ඇති රාජ්‍ය බලයක් ඇති බව, ඉතිහාසය සටහන් කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. ඒ අනුව තම ධනපති ආර්ථිකය හා මූල්‍ය පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය වූ විට මේ මුදල් මුලුමනින් ම අත්පත් කර ගැනීමට වුවද මෙම ආන්ඩු පියවර ගැනීමට ඇති ඉඩ නො තකා සිටිය නො හැකි ය. මේ රාජ්‍ය බලය පිලිබඳ කාරනය නො තකා වේදිකා ගත කරන මධ්‍යම පන්තික, ව්‍යාජ වාම පුස් විරෝධතා දැක්වීම් බහුතර කම්කරුවෝ ප්‍රතික්ෂේප කරති.  

පෙරටුගාමී සමාජවාදී  පක්ෂය (පෙසප) මැදිහත් වී, වෘත්තීය සමිති එකමුතුවේ නිලධරය සාකච්ඡාවක් සඳහා කැඳවා සඳුදා (28) කොටුව දුම්රියපොල අසල උද්ඝෝෂනය පිලිබඳ තීන්දුව ගෙන තිබිනි. තවත් සමිති ගනනාවක් සටනක් සදහා පිලින දෙමින් සිටියේ ය. රතු සේවක සංගමය, ස්ටෑන්ඩ් අප් කම්කරු සංගමය, වී වුමන් ලංකා නෙට්වර්ක්, එක්සත් කම්කරු සම්මේලනය, සමගි සේවක සංගමය, ලංකා බැංකු සේවක සංගමය, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය, කම්කරු අරගල මධ්‍යස්ථානය, ඇතුලු රාජ්‍ය නො වන සංවිධාන හා වෘත්තීය සමිති 40කට වඩා සඳුදා  උද්ඝෝෂනයට සහභාගී වූ බව සංවිධායකයෝ පවසති. මෙම උද්ඝෝෂනයට 5000ක පමන පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිටට රැස් වනු ඇතැයි සංවිධායකයෝ කල් ඇතුව ගනන් බලා තිබුනහ. යාන්තම් 300 පමන ඊට සහභාගී වීම පෙන්නුම් කලේ සංවිධාන එකකටවත් තමන්ගේ ම සාමාජිකයන් මෙහෙයවා ගැනීම පවා කල නො හැකි වීම මෙන් ම ඔවුන්ට එවැනි දුර දිග යන සටනක් මතු වනු දැකීමට වුවමනාවක් ද නැති බව ය. (උද්ඝෝෂනයේ අවස්ථා නිරූපනය කරන වීඩියෝව මෙහි පහත පල වේ)

පෙරටුගාමී පක්ෂයේ නායකයෙකු වන දුමින්ද නාගමුව කල් ඇතිවම කම්කරුවන් සහභාගී නො වීම ගැන මැසිවිලි නගා තිබිනි. ලක්ෂ 22ක් පමන වන කම්කරුවන් දැන්වත් මේ ගැන සිතා බලනු ඇතැයි විශ්වාස කරන බව ඔහු ප්‍රකාශ කලේ ය. පොදුවේ සමිති නායකයන් සමාජගත කරන අදහස වන්නේ කම්කරු පන්තිය වනාහී අයිතීන් ආරක්ෂා කර ගැනීම සදහා සටන් කිරිමේ වුවමනාවක් නැති මෝඩ, පසුගාමී පිරිසක් බවයි. ලංකා වෙලඳ හා කාර්මික පොදු සේවක සංගමයේ නියෝජ්‍ය ලේකම් පීටර් ඩී අල්මේදා බීබීසීයට කියා තිබුනේ කම්කරුවන්ට මේ සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නැති බව ය. “ඒ අය හිතන් ඉන්නේ අපේ අර්ථසාධකයේ යම් කිසි මුදලක් තියෙනවා. ඒකට 9%ක් හම්බ වෙයි. එහෙම හරි හම්බ වෙනවා නම් කමක් නෑ කියලයි,” ඔහු කියයි. සත්‍යය නම් වෘත්තීය සමිති හා සෙසු ව්‍යාජ වමුන් අත කිසිවක් හෝ දිනාගත හැකි ක්‍රියා මාර්ගයක් නැති බවත්, ඔවුන්ගේ අවශ්‍යතා අනුව කැඳවන උද්ඝෝෂනවලට සහභාගී වී කෙරෙන පරිත්‍යාගවලට සරිලන දෙයක් නො ලැබෙන බවත් කම්කරුවෝ දන්නා බවයි. පසු ගිය දා තෙල් සංස්ථාව පුද්ගලීකරනයේ දී ගිරිය පිප්පූ නමුත්, කම්කරුවන් අරගලයට පැමිනිම වැලැක්වීමට සියල්ලම කල සමිති නායකයන්, පාලකයන් වෙත බඩ ගා ගොස් එය පාවා දීම වැනි නින්දාසහගත අත්දැකීම් කෙතෙක් නම් කම්කරුවන්ට තිබේ ද? 

සඳුදා සිද්ධිය මේ සම්බන්ධ මනා අත් දැකීමකි. යොදාගත් පරිදි දවල් 12ට ඇරඹුනු උද්ඝෝෂනය දුම්රියපොල පදිකය දිගේ පැයකට ආසන්න කාලයක් සිදුකෙරුනු අතර සමිති නායකයෙක් පිරිස ඔල්කට් මාවත මැදට කැඳවී ය. මාර්ගය අවහිර වීමත් සමග අනෙක් පසින් පොලිසිය පෙල ගැසීම ආරම්භ කලේ ය. ටික වෙලාවකින් පෙලපාලියක් ලෙස සෙමෙන් සැකෙන් පිරිස කොල්ලුපිටිය දිසාවට ගෙන යෑමට නායකයෝ පටන් ගත්හ. පොලිසිය උසාවි නියෝගය කියවා, ඉදිරියට ගමන් කලේ ය. “අපට පොඩ්ඩක් ඉදිරියට යන්න දෙන්න, අපි ආපහු එන්නම්.” සමිති නායකයෝ පොලිසියෙන් ඉල්ලා සිටියහ. පොලිසිය එකඟ නො වී ය. එවිට සමිති නායක ජගත් ගුරුසිංහ, “අපට සති දෙකක් ඇතුලත සාකච්ඡාවක් ලබා දෙන්න”යි බැගෑපත් විය. පොලිස් නිලධාරියා ඊට එකඟ වූ කල සමිති නායකයෝ ආපසු හැරුනෝය.

පසුව කම්කරුවන්ට කතාවක් පවත්වමින් ගුරුසිංහ පොලිසියෙන් ඉල්ලා ගත් පොරොන්දුව ජයග්‍රහනයක් ලෙස හුවා දක්වමින් සැර කතාවක් කලේ ය. එදින රාත්‍රී ප්‍රවෘත්තිවල ප්‍රකාශයට පත් වූයේ ද මෙම පොලිස් හා සමිති නායක විජ්ජාවයි. මෙවැනි පොරොන්දු හුවා දක්වා අරගලවලින් පලා යාමට සමිති නායකයන්ට හොඳ හුරුවක් ඇත. ඇත්තටම නම් මේ උද්ඝෝෂනයෙන් ලැබුනු දෙයක් නැත. ඒ සමගම තවත් නායකයෙක් සැප්තැම්බර් 21 දින දක්වා මුදල් මන්ඩලයේ තීන්දුව කල් යාම තමන්ගේ අරගලයේ ජයග්‍රහනයක් යයි ගුගුරන්නට විය. කල් දැමීමට හේතු වූයේ, දේශීය ආදායම් සදහා 30% බද්දක් අය කිරිමේ යෝජනා සංශෝධන කෙටුම්පත සම්බන්ධ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරනයේ විභාග වෙමින් තිබීම මිස මෙම වෘත්තීය සමිති විගඩම නො වේ.  

විශේෂයෙන් මෙම වර්ගයේ වැඩ මගින් කම්කරු පන්තියට අරගල එපා කරවීම ද නිලධරය අපේක්ෂා කරයි. ඒ සමග ම කම්කරු පන්තියට හැකියාවක් හෝ වුවමනාවක් නැතැයි හුවා දක්වමින් සුලු ධනේශ්වරයේ පිලිකුලට හා වෛරයට එය හසු කිරීම ද මෙම කටයුතුවල ප්‍රතිඵල ලෙස සිදු වේ. ඔවුන් සිදු කලේ පාලක පන්තියට, තමන්ගේ, එනම් සුලු ධනේශ්වර නිලධරයේ අවශ්‍යතාව ඒත්තු ගන්වා ගැනීම ය. ඒ අතර පවතින ආන්ඩුව වෙනුවට වෙනත් ධනපති ආන්ඩුවක් බලයට ගැනීමේ අපේක්ෂාවක් දැල්වීම මගින් ස්වාධීන පන්ති අරගල සදහා කම්කරු පන්තියේ උත්සුකයන් කල් ඇතිව තලා දැමීම ද එහි එක් අපේක්ෂාවකි.  

කොටින් ම මෙම උද්ඝෝෂනය ධනපති පන්තියේ අරමුනු වෙනුවෙන් සංවිධානය කල බවට, සඳුදා උදේ කොලඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය තුල පැවතුනු විදුලි පාරිභොගික සංගමයේ රැස්වීම සාක්ෂි දරයි. එය පැවැත් වුනේ විදුලි බිල ඉහල දැමීමේ සැලසුම්වලට විරෝධය දක්වන එකක් හැටියට ය. රැස්වීම ඇමතූයේ විදුලි පාරිභෝගික සංගමයේ සභාපති, ලේකම් හා විදුලි සේවක සංගමයේ නියෝජිතයෙකි. විදුලි අංශවලට සම්බන්ධ ව්‍යාපාරික සමාගම්වල සේවකයන් මෙම රැස්වීමට සහභාගී කරවා තිබූ බව පෙනී ගියේය. පුනර්ජනන බලශක්ති ප්‍රභවයන් වර්ධනය කිරීමට ඉදිරිපත්වූ ආයෝජකයන් දුර්මුඛ කරමින් හා ඔවුන්ට විශාල අලාභ ගෙන එමින් ලංකා විදුලිබල මන්ඩලය (ලංවීම) හදිසි මිල දී ගැනීම් සිදු කරන බවට කථිකයෝ චෝදනා කලෝ ය. අනතුරුව මෙම සමිති නායකයෝ කොටුව දුම්රියපොල ඉදිරිපිට අර්ථසාධක උද්ඝෝෂනයට එක් වූහ. එක ම අවස්ථාවේ ව්‍යවසායකයනගේ හා කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය හැකි සූත්‍රය කුමක් ද?  

ධනවාදයේ වත්මන් අවධියේ දී, කම්කරු පන්තියේ පැවැත්ම තව දුරටත් ශ්‍රම ශක්තිය විකිනීමෙන් ආරක්ෂා කර ගත නො හැකි ය. නමුත් වෘත්තීය සමිති යනු, කම්කරුවන් ශ්‍රම ශක්තිය විකුනන්නන් ලෙස ම සිටිය යුතු ය යන ප්‍රතිවිප්ලවවාදී ස්ථාවරයක පිහිටා සිටින ව්‍යාපාරයකි. මේ නිසා ඉහල මට්ටම්වල සූරා කෑමට අවශ්‍ය වන නව ශ්‍රම රූප සදහා ප්‍රාග්ධනයේ වෙනස් වන අවශ්‍යතාවන්ට අනුගත වීම හැර අන් මගක් වෘත්තීය සමිතිවලට නැත. රැකියා, වැටුප් හා ජීවන තත්වයන් පිරිහීමේ කොන්දේසි පිලිගත් නව වර්ගයක කම්කරුවෙකු ධනේශ්වර නිශ්පාදනයේ නව විධි සහ රූපාකාරයන් විසින් ඉල්ලා සිටිනු ලබන අද දින, වෘත්තීය සමිතිවාදය එක්කෝ මෙම අවශ්‍යතා සම්පාදනය කිරිම හෝ වේදිකාවෙන් බැස යාම යන දෙකින් එකක් තෝරාගත යුතු ය. සමිති නායකයන්ගේ වංචනික ක්‍රීඩාව මෙම ඓන්ද්‍රීය දුර්වලකමින් ගලා එන අතර කම්කරුවන්ට සිය පැවැත්ම රැක ගැනීමට නම්, මෙම ප්‍රතිගාමී සමිති විසුරුවා හැර තමන්ගේ ම ඡන්දයෙන් ගනු ලබන තීන්දු අනුව ක්‍රියාත්මක වන ධනේශ්වර විරෝධී කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගා ගනිමින් අරගලය පෙරට ගැනීම හැර මාවතක් නැත.      

තමන් සේවය කරන වැඩපොළ හා කම්හල්වල ද තම නිවහන් ප්‍රදේශවල ද එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නඟා ගැනීමත්, ඒවා හරහා කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමතය ක්‍රියාවට නැංවීමත් මඟ නොහැරිය හැකි අවශ්‍යතාවයක් ලෙස දැන් ඉස්මතු වී ඇත්තේ එබැවිනි. ඒ සඳහා එක්වන ලෙස සියලු කම්කරු පීඩිත ජනයාට හා තරුනයන්ට කැඳවුම් කරන කොලඹ ක්‍රියාකාරී කමිටුව, සිය කම්හල්, වැඩපොල හා නිවහන් ප්‍රදේශවල එවන් ක්‍රියාකාරී කමිටු ගොඩ නඟා ගැනීමේ දී ඔවුන්ට සහාය වෙමින්  සහෝදරත්වයේ හස්තය දිගු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top