පලස්තීන ප්‍රශ්නයට අධිරාජ්‍යවාදයේ “අවසාන විසඳුම”

මෙහි පලවන්නේ 2024 මාර්තු 18 දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) පල වූ ‘Imperialism’s “final solution” to the Palestinian question” යන සිරසින් යුතු ලෝසවෙඅ කර්තෘ මන්ඩල ප්‍රකාශයේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි

Gzafood
2024 පෙබරවාරි 25, ඉරිදා, ගාසා නගරයේ, ගාසා තීරයේ වෙරල තීරයේ සාගින්නෙන් පෙලෙන පලස්තීනුවන් දහස් ගනනක් මානුෂීය ආධාර ලබා ගැනීම සඳහා බලා සිටිති. [AP Photo/Mahmoud Essa]

රෆා වෙත එල්ල වන ප්‍රහාරය ගැන සාකච්ඡා කිරීම, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් වොෂින්ටනයට “නිලධාරී කන්ඩායමක්” එවීමට එකඟ වී ඇති බවට ධවල මන්දිරය විසින් සඳුදා ප්‍රකාශ කිරීම මගින් එජ අධිරාජ්‍යවාදය පලස්තීනුවන්ට එරෙහි ජන සංහාරයේ සෘජු කොටස්කරුවෙකු බව යලිත් ඔප්පු කරයි. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ මෙම රැස්වීම ඉදිරි දිනවලදී පැවැත්වෙන අතර ඊට “හමුදා, බුද්ධි අංශ සහ මානුෂීය විශේෂඥයින්” ඇතුලත් වන බවයි. එම කරුන, මෙම සාකච්ඡාවට ලක්වනු ඇත්තේ රෆා හි සිරවී සිටින මිලියන 1.5ක පලස්තීනුවන් මත ලේ වැකි ප්‍රහාරයක් එල්ල කරන්නේ කෙසේද යන්න පිලිබඳව බවට  නොවරදින සලකුනක් වේ.

රැස්වීම පිලිබඳ පුවත පැමිනියේ, කුමන මට්ටමේ ජාත්‍යන්තර පීඩනයක් එල්ල කලත්, ගාසා තීරයේ පලස්තීනුවන්ට ඉතිරිව ඇති අවසාන රැකවරනස්ථානයට පහර දීමෙන් තම ෆැසිස්ට්මය ආන්ඩුව   වලකින්නේ නැති බවට, ඊශ්‍රායල යුද කැබිනට් රැස්වීමකදී නෙතන්යාහු ප්‍රතිඥා දීමෙන් දිනකට පසුවය. “අපි රෆා හි ක්‍රියාත්මක වන්නෙමු, මෙයට සති කිහිපයක් ගතවනු ඇත, එමෙන්ම එය සිදුවනු ඇත” නෙතන්යාහු පැවසීය. “ඊට ප්‍රතිචාර වශයෙන්, ජනාධිපති ජෝ බයිඩන් සඳුදා නෙතන්යාහු සමඟ කතා කලේ ඊශ්‍රායලයට ඔහුගේ පරිපාලනයේ සහයෝගය යලි තහවුරු කිරීමට ය.

නෙතන්යාහුගේ ම්ලේච්ඡ අභිප්‍රායන් අවධාරනය කරමින්, ජන සංහාරය දියත් කරන තෙක්  ගාසා තීරයේ විශාලතම වෛද්‍ය මධ්‍යස්ථානය වූ අල්-ෂිෆා රෝහල වෙත, සදුදා ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින්  ම්ලේච්ඡ කඩා වැදීමක් සිදු කරන ලදී. මෙම ගොඩනැගිල්ලට කඩා වැදීමෙන් දුසිම් ගනනක් මිය ගිය අතර අවම වශයෙන් 200 ක පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී යුද අපරාධකරුවන් ඔවුන්ගේ ෆැසිස්ට් ඊශ්‍රායල සහචරයින් සමඟ අසුන්ගෙන රෆාහි විනාශය ගැන සාකච්ඡා කරනු ඇත්තේ, ගසා තීරයේ පුලුල් බිම් කඩවල් හරහා ව්‍යසනකාරී සාගතයක් මතුවීම මධ්‍යයේ ය. සඳුදා නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන සහ ආධාර සංවිධාන දුසිමක් විසින් නිෂ්පාදනය කරන ලද ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරන වාර්තාවක් සොයාගත්තේ උතුරු ගාසා තීරයේ ඉතිරිව සිටින සියලුම පදිංචිකරුවන්ගෙන් සියයට 70ක් “ව්‍යසනකාරී” කුසගින්නෙන් පෙලෙන බවත් දුර්භීක්ෂය “වහා සිදුවෙන්නට යන” බවත්ය. මේ මොහොතේ  සිට මැයි දක්වා ඕනෑම වේලාවක, උතුරේ  දුර්භීක්ෂය ඇතිවිය හැකි බවත්, රෆා (Rafah) වෙත එල්ල කරන ප්‍රහාරයක්  දකුනටද දුර්භීක්ෂය ගෙන එනු ඇති බවත් වාර්තාව අනතුරු ඇඟවීය. 

 “අද ලෝකයේ සාගතයට මුහුන දෙන විශාලතම මිනිසුන් සංඛ්‍යාව මෙයයි,” වාර්තාව ප්‍රකාශ කලේය. දුර්භීක්ෂය යනු, ජනගහනයෙන් සියයට 20ක් අධික ආහාර හිඟයකින් පෙලෙන, දරුවන්ගෙන් සියයට 30ක් උග්‍ර මන්දපෝෂනයෙන් පෙලෙන, වැඩිහිටියන් 10,000කින් දෙදෙනෙකු කුසගින්නෙන් දිනකට මියයන තත්වය සේ අර්ථ දක්වා ඇත.

අධිරාජ්‍යවාදී බලවතුන් මෙම මානුෂීය ව්‍යසනය ගැන නිකම්ම උදාසීන වනවා පමනක් නොවේ; ඔවුන් එය යථාවත් බවට පත් කලවුන්ය. ගාසා තීරයේ යටිතල පහසුකම් ක්‍රමානුකූලව විනාශ කිරීම සහ එහි ජනගහනයෙන් සියයට 80ක් බලහත්කාරයෙන් අවතැන් කිරීම සිදු කර ඇත්තේ වොෂින්ටනයේ සිට ටෙල් අවිව් වෙත දශක ගනනාවක් තිස්සේ ගලා ආ ඩොලර් බිලියන 3කට අධික වාර්ෂික ආධාර වලට  මත්තෙන්, එක්සත් ජනපදය හා එහි යුරෝපීය සහචරයින් විසින් සපයන ලද ආයුධ මගිනි. ආහාර, වෛද්‍ය සැපයුම්, විදුලිය, ජලය සහ ඉන්ධන හිතාමතාම අවහිර කිරීම දැඩි ලෙස බලාත්මක කර කලේ, කලාපයේ අධිරාජ්‍යවාදයට සමීපතම බැඳීම් ඇති පාලන තන්ත්‍ර දෙක වන ඊශ්‍රායලය සහ ඊජිප්තුව විසිනි. පසුගිය ඉරිදා යුරෝපීය සංගමය, ඊජිප්තු විප්ලවයේ ඝාතකයා සහ ගාසාවේ පලස්තීනුවන්ගේ සාගතයේ හවුල්කරුවා වන ඊජිප්තු ආඥාදායක අබ්දෙල් ෆටා අල්-සිසි සමඟ දේශසීමා ආරක්ෂාව ශක්තිමත් කිරීමට සහ ආර්ථික ආයෝජන පුලුල් කිරීමට යුරෝ බිලියන 7 ක ගිවිසුමක් සමාප්ත කලේය.

අනාරක්ෂිත පිරිමින්, කාන්තාවන් සහ ලමුන් සමූල ඝාතනය කිරීම ආරම්භයේ සිටම ඊශ්‍රායලය විසින් විවෘතව ප්‍රකාශ කරන ලද ප්‍රතිපත්තියක් විය. ප්‍රහාරයේ මුල් දිනවල, ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් , පලස්තීනුවන් “මිනිස් සතුන්” ලෙස විස්තර කල අතර , ඊට තර්ජනාත්මක එකතු කලේ ඊශ්‍රායලය ඒ අනුව ක්‍රියා කරන බවයි. නෙතන්යාහු ඇතුලු බොහෝ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේඅවසාන ඉලක්කය, ගාසා තීරයේ පදිංචිකරුවන් ඝාතනය කිරීම හෝ බලහත්කාරයෙන් නෙරපා හැරීම හරහා එය  ජනහරනය කිරීම බවයි. නොවැම්බරයේදී, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ හිටපු ප්‍රධානියා වූ ගිඕරා අයිලන්ඩ්  විසින් සාගින්න සහ රෝග යුද අවි ලෙස භාවිතා කිරීම සඳහා වූ ඉල්ලීමක් ප්‍රකාශයට පත් කරන ලදී. “ගාසා තීරයේ මානුෂීය ව්‍යසනයක් සහ දරුනු වසංගත ගැන ජාත්‍යන්තර ප්‍රජාව අපට අනතුරු අඟවයි. එය කොතරම් දුෂ්කර වුවත් අප මෙයින් පසුබට නොවිය යුතුය. අවසානයේ , දකුනු ගාසා තීරයේ දරුනු වසංගත මගින්  ජයග්‍රහනය වඩාත් සමීප කර IDF සොල්දාදුවන් අතර ජීවිත හානි අවම කරනු ඇත, ”ඔහු ලිවීය. 

මෙවැනි අසීමිත ම්ලේච්ඡත්වය නැවැත්වීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට ක්‍රියා කල හැකි යැයි සිතන අය තමන්වම රවටා ගනිමින් සිටිති. ඉවක්බවක් නොමැතිව සිදු කරන බෝම්බ  ප්‍රහාර හරහා සිවිල් වැසියන් සමූල ඝාතනය කිරීම සහ මිනිස් ජීවිතයට අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතා අත්හිටුවීමෙන් ඔවුන් සාගතයට ලක් කිරීම, සියොන්වාදී පාලන තන්ත්‍රයේ බංකොලොත්භාවයේ සහ දශක ගනනාවක් තිස්සේ පලස්තීන භූමි ප්‍රදේශය නීතිවිරෝධී ලෙස අත්පත් කර ගැනීමේ නිෂ්පාදන පමනක් නොවේ. මනුෂ්‍යත්වයට එරෙහි එවන් අපරාධ පැන නගින්නේ දශක තුනකට අධික කාලයක් තිස්සේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදී නායකත්වයෙන් යුත් අඛන්ඩ ආක්‍රමනකාරී යුද්ධ මගින් වොෂින්ටනය, සමස්ත සමාජයන්ම මිලිටරි බලය අනුකම්පා විරහිතව යොදා කුඩු පට්ටම් කිරීමෙන්  එහි වේගවත් ආර්ථික පරිහානිය සමනය කිරීමට ගත් උත්සාහයේදීය.

පසුගිය දශක තුනහමාරක කාලය තුල ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද ම්ලේච්ඡ අපරාධ ලේඛනගත කිරීමට නොහැකි තරම් විශාලය. පලමු ගල්ෆ් යුද්ධයේදී ඉරාක සිවිල් වැසියන් සහ දුර්වල ලෙස සන්නද්ධ අනිවාර්ය ලෙස බඳවාගත්  හමුදා සෙබලුන්ගේ (conscript soldiers) රුධිර ස්නානයේ සිට, 1999 දී යුගෝස්ලාවියාවට එරෙහි නේටෝවේ ම්ලේච්ඡ ගුවන් යුද්ධය දක්වාද, 2001 සිට ඇෆ්ගනිස්ථානයේ නව යටත් විජිත ආක්‍රමනය, 2003 දී ඉරාකය නීති විරෝධී ආක්‍රමනය කිරීම, 2011 දී නේටෝව විසින් ලිබියාව විනාශ කිරීම, සහ 2014 දී සිරියාවේ ලේ වැකි මැදිහත්වීම, ලෙස ඇමරිකානු අධිරාජ්‍යවාදයට ලොව පුරා දරිද්‍රතාවයට පත් සහ පීඩිත ජනයා ම්ලේච්ඡත්වයට පත් කිරීම සම්බන්ධයෙන් අසමසම වාර්තාවක් ඇත. මෙම මෙහෙයුම් බොහොමයක ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කල ජනාධිපති බයිඩන්, රෆා (Rafah) ප්‍රහාරය පිලිබඳ සාකච්ඡා අධීක්ෂනය කරනු ඇත.

ලෝකය නැවත බෙදීමක යෙදී සිටින මහා බලවතුන් අතර වර්ධනය වෙමින් පවතින තුන්වන ලෝක යුද්ධයත් සමඟ මෙම ම්ලේච්ඡත්වය දැන් නව අදියරකට පැමින තිබේ. රුසියාවේ අමුද්‍රව්‍ය සහ යුරේසියානු භූ ස්කන්ධය මත තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා යුක්‍රේනියානුවන් මිලියන භාගයකට වඩා කැමැත්තෙන්ම බිලි දී ඇති එක්සත් ජනපද හා යුරෝපීය අධිරාජ්‍යවාදීන්, යුක්‍රේනයේ රුසියාවට එරෙහිව යුද්ධයක් දියත් කර තිබේ. ඔවුන් රුසියාව සමඟ යුද්ධය තීව්‍ර කරමින් චීනය සමඟ යුද්ධයට සූදානම් වෙමින් සිටින්නේ පෘථිවියේ මානව ශිෂ්ටාචාරයේ අවසානය සනිටුහන් කරන න්‍යෂ්ටික අග්නි ජාලාවක් අවුලුවාලීමේ අවදානම මැද ය. එක්සත් ජනපද පාලක පන්තිය තම කලාපීය ආධිපත්‍යයට බාධාවක් ලෙස සලකන ඉරානයට මුහුන දීම සඳහා, කලාපීය වශයෙන් මැද පෙරදිග පුරා ගැටුම   තීව්‍ර කිරීම සඳහා වේදිකාව සකසා ගැනීමට  පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරය ද වොෂින්ටනය විසින් ග්‍රහනය කර ගෙන ඇත.

බැලූ බැල්මට උමතු ලෙස පෙනෙන මෙම පිලිවෙත් මුල් බැස ඇත්තේ අර්බුද-ග්‍රස්ත ධනවාදයේ ප්‍රතිවිරෝධතා තුල වන අතර එයට ලෝක යුද්ධයේ ක්‍රියාමාර්ගය හැර අධිරාජ්‍යවාදීන්ට වෙනත් පිලිතුරක් නැත. 20 වන ශතවර්ෂයේ නාසි පාලනය යටතේ ජර්මානු අධිරාජ්‍යවාදය තම ආර්ථික හා භූ මූලෝපායික අභිලාෂයන් ඉදිරියට ගෙන යාම සඳහා යුරෝපීය යුදෙව්වන් සමූලඝාතනය කිරීම අවශ්‍ය බව දුටුවා සේම, පලස්තීන ප්‍රශ්නයට “අවසාන විසඳුම” අවශ්‍ය බව ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදය 21 ශත වර්ෂයේ දී  නිගමනය කර ඇත. 

ලෝක සමාජවාදී වෙබ් අඩවිය එහි අලුත් අවුරුදු ප්‍රකාශයේ පැහැදිලි කර ඇති පරිදි:

ගාසා ජන සංහාරය අසමසම කථාංගයක් නොවේ, එය වඩාත් හොඳින් වටහා ගත හැක්කේ ඊශ්‍රායල-පලස්තීන ගැටුමට සම්බන්ධ සුවිශේෂිත තත්වයන් සහ සියොන්වාදී ව්‍යාපෘතියේ සහජයෙන්ම ප්‍රතිගාමී ස්වභාවයේ සහ එහි වාර්ගික සහ විජාතික භීතික-ජාතිකවාදී දෘෂ්ටිවාදයේ නිෂ්පාදනයක් ලෙස ය. අවසාන සාධකය, ඇත්ත වශයෙන්ම, ඊශ්‍රායල පාලන තන්ත්‍රයේ ක්‍රියාවන්හි සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් එහි අධිරාජ්‍යවාදී මූල්‍යධාර සැපයුම්කරුවන්ගේ සහ ආයුධ සැපයුම්කරුවන්ගේ පූර්න සහයෝගය ඇතිව සිදු කරන  වත්මන් යුද්ධයේ අසීමිත රුදුරු බව තේරුම් ගත හැක්කේ සහ පැහැදිලි කල හැක්කේ ලෝක අධිරාජ්‍යවාදී හා ජාතික රාජ්‍ය පද්ධතියේ බිඳවැටීමේ සන්දර්භය තුල පමනි.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වය නිපදවන එම අර්බුදයම එය පෙරලා දැමීමේ කොන්දේසි ද නිර්මානය කරයි. කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරුවන්ගේ අරගල සහ ඔවුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාර සියලු ප්‍රධාන අධිරාජ්‍යවාදී මධ්‍යස්ථාන තුල තීව්‍ර වන තතු තුල ගාසා ජන සංහාරයට එරෙහි මහජන විරෝධතා ලොව පුරා පැතිර ගොස් ඇත.

කම්කරු පන්තිය ඉදිරියේ ඇති හදිසි කර්තව්‍යය වන්නේ ගාසා ජන සංහාරයට එරෙහි අරගලය අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය බව හඳුනා ගැනීමයි. 20 වැනි සියවසේ මුල් දශක හතරෙන් පසුව  නොදුටු ආකාරයේ ම්ලේච්ඡත්වයට සහ අවනීතියට පාලක පන්තිය හැරී ගැනිම  සඳහා පිලිතුරු දිය හැක්කේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක පදනම මත පමනි. මෑත මාසවල ලොව පුරා ජන සංහාරයට එරෙහිව විරෝධතා දැක්වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් හා තරුනයින් ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිලිවෙල යටතේ ධනේශ්වර ම්ලේච්ඡත්වයට විරුද්ධ විය යුතුය. ගාසා තීරයේ දැනටමත් දිග හැරෙමින් පවතින මානව ව්‍යසනය නැවැත්වීමට ඇති එකම මාර්ගය මෙයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top