ජේකබ් ක්‍රොස් විසිනි.

සිකුරාදා, අධිකරණ දෙපාර්තමේන්තුව මූල්‍යකරු සහ ලිංගික ජාවාරම්කරු ජෙෆ්රි එප්ස්ටයින්ට අදාළ වීඩියෝ 2,000 කට වැඩි ප්‍රමාණයක් සහ පින්තූර 180,000 ක් ඇතුළුව ලේඛන මිලියන තුනකට වඩා නිකුත් කළේය.
මෙම ලෙඛන, ලිංගික අපයෝජන සඳහා ළමයින් ජාවාරම් කරන ගණිකා සේවා ජාල පවත්වාගෙන ගිය එප්ස්ටයින්, ට්‍රම්ප්, වත්මන් ලෝකයේ ධනවත්ම මිනිසා (එලොන් මස්ක්) සහ ලෝකයේ හිටපු ධනවත්ම මිනිසා (බිල් ගේට්ස්) සමඟ සම්බන්ධ කරයි.
ලේඛනවල නම් කර ඇති අනෙක් අය අතර: එප්ස්ටයින් සමඟ ඡායාරූපවල දැක්වෙන සහ ඔවුන්ගේ සම්බන්ධතා පිළිබඳ නව ආලෝකයක් විහිදුවන විද්‍යුත් තැපැල් ලිපිවල පෙනී සිටින” හිටපු කුමරු ඇන්ඩෲ (“ආදිපාදවරයා-The Duke” ලෙස හඳුන්වනු ලැබේ); ඡායාරූප සහ සම්බන්ධතා ද්‍රව්‍යවල පෙනී සිටින බ්‍රිතාන්‍ය බිලියපති රිචඩ් බ්‍රැන්සන්; රැස්වීම් සහ රාත්‍රී භෝජන සංග්‍රහ පිළිබඳ කාලසටහන් සහ ලිපි හුවමාරුවේ ලැයිස්තුගත කර ඇති හිටපු භාණ්ඩාගාර ලේකම් සහ හාවඩ් අධිපති ලෝරන්ස් සමර්ස්; 2008 දී වරදකරු වීමෙන් පසුව පවා එප්ස්ටයින්ගේ නිව්යෝර්ක් මන්දිරයේ රැඳී සිටි බව විස්තර කරන හිටපු ඊශ්‍රායල අගමැති එහුඩ් බරක් (Ehud Barak); සහ එප්ස්ටයින් විසින් ඔහුට කාන්තාවන් සැපයීමට කටයුතු කරන ආකාරය විස්තර කරන ඊමේල්වල ඇතුළත් “නිව්යෝර්ක් ජයන්ට්ස්” හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්.
අනෙක් අය අතර හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හිටපු උපදේශක ස්ටීව් බැනන් සහ එප්ස්ටයින්ගේ සම්බන්ධතා පොත්, ගුවන් ගමන් ලොග් සහ අභ්‍යන්තර සන්නිවේදනයන් හි නම් ඇතුළත් වන, පුළුල් පරාසයක බිලියනපතියන්, මූල්‍යකරුවන්, කීර්තිමත් පුද්ගලයින් සහ නිලධාරීන් ඇතුළත් වේ. නම් කර ඇති සමහර දෙනෙක් වරද ප්‍රතික්ෂේප කරන අතර අහඹු සම්බන්ධතා පමණක් පිළිගනිති. නමුත්, ලිපිගොනු එප්ස්ටයින්ගේ අපරාධ ව්‍යාපාරය වටා කක්ෂගතව සිටි තදින් අන්තර් සම්බන්ධිත ගෝලීය ප්‍රභූ පැලැන්තියක බියකරු චිත්‍රයක් සපයයි.
එප්ස්ටයින් දශක ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ලිංගික ජාවාරම් මෙහෙයුමක් පවත්වාගෙන ගිය මූල්‍යකරුවෙකු වූ අතර, ඔහු සහ ඔහුගේ ධනවත් සහ බලවත් සහචරයින් සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් සැපයුවේය. 2008 දී ෆ්ලොරිඩාවේ ගණිකා සේවාව සඳහා බාලවයස්කරුවන් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වීමෙන් පසු, එප්ස්ටයින්ට, පසුව ට්‍රම්ප්ගේ කම්කරු ලේකම් (ඇමති) ලෙස සේවය කළ ඇලෙක්ස් ඇකෝස්ටා විසින් පිළියෙළ කරන ලද වාසි සහගත ගනුදෙනුවක් පිරි නැමිණි.
නඩු පවරන්නන්, වින්දිතයින් 30 දෙනෙකු හඳුනාගෙන තිබියදීත්, මෙම ගනුදෙනුව මගින් එප්ස්ටයින්ට වැඩ සදහා නිදහස් කිරීමක් සහිතව ප්‍රාන්ත බන්ධනාගාරයක මාස 15 ක් රැඳවුමක් පමණක් ලැබුණි. ඩේලි බීස්ට් හි 2019 වාර්තාවකට අනුව, ඇකෝස්ටා ට්‍රම්ප්ගේ සංක්‍රාන්ති නිලධාරීන්ට පැවසුවේ තමන් එම ගනුදෙනුව සකස් කළේ “එප්ස්ටයින් ‘ඔහුගේ වැටුප් ශ්‍රේණියට වඩා ඉහළින්’ (‘අත ගැසීමට සුදුසු නොවන තරම් ඉහලින්) සිටින බැවින් ඔහුට පසුබහින ලෙස ඔහුට කියා තුබූ” නිසා බවයි.” ඇකෝස්ටා මෙසේ පැවසූ බව වාර්තා වේ: “එප්ස්ටයින් ‘බුද්ධි අංශයට අයත්’ බවත් එය අත් හැර දමන ලෙසත් මට පැවසුවා.”
2019 ජූලි මාසයේදී ෆෙඩරල් ලිංගික ජාවාරම් චෝදනා මත එප්ස්ටයින් නැවතත් අත්අඩංගුවට ගන්නා ලදී. 2019 අගෝස්තු 10 වන දින මැන්හැටන්හි මෙට්‍රොපොලිටන් නිවැරදි කිරීමේ මධ්‍යස්ථානයේ ඔහුගේ සිර මැදිරිය තුළ ඔහු මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. රජය සහ මාධ්‍ය කිසිදු බැරෑරුම් පරීක්ෂණයකින් තොරව වහාම එය සියදිවි නසාගැනීමක් ලෙස තීන්දු කළේය.
ප්‍රමාණවත් සාක්ෂි තිබියදීත්, ප්‍රමුඛ දේශපාලනඥයින් සහ ව්‍යාපාරික නායකයින් අතර එප්ස්ටයින්ගේ සේවාදායකයින් කිසිවෙකු වරදකරුවන් කිරීම කෙසේ වෙතත්, ඔවුන් එක් අයෙකුටවත් එරෙහිව චෝදනාවක් වත් එල්ල වී නැත.
ට්‍රම්ප්ගේ 2024 මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට විශාලතම තනි පරිත්‍යාගශීලියා වන මස්ක් ගේ නම නිකුතුව පුරාම දැකිය හැකි අතර, ඔහුගේ නම 1,000 වතාවකට වඩා සඳහන් වී ඇත. බාලවයස්කරුවන් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් එප්ස්ටයින් වරද පිළිගෙන තිබීයදීත්, ඉනන් වසර හතරකට පසු 2012 නොවැම්බර් මාසයේදී, මස්ක් ඔහුට විද්‍යුත් තැපෑලක් යවමින්, “ඔබේ දිවයිනේ පවත්වන පිස්සුම දිවා/රාත්‍රි සාදය කවදා වේවිද?” යනුවෙන් විමසීය.
2013 දෙසැම්බර් මාසයේදී, මස්ක් නැවතත් එප්ස්ටයින් හමුවීමට උත්සාහ කරමින්, “නිවාඩු සමය තුළ (මම) BVI/St. Bart’s ප්‍රදේශයේ සිටිනු ඇත. මුණගැසීමට හොද අවස්ථාවක් තිබේද?” යනුවෙන් ලිවීය. එප්ස්ටයින් ප්‍රතිචාර දැක්වූයේ, “මම ඔබ වෙනුවෙන් හෙලිකොප්ටරයක් එවන්නම්.” එප්ස්ටයින්, මස්ක් සහ එප්ස්ටයින්ගේ සහායක ලෙස්ලි ග්‍රොෆ් අතර පසුකාලීන ඊමේල් මගින් 2014 ජනවාරි මස මුලදී දිවයිනට යන ගමන සම්බන්ධයෙන් අඛණ්ඩ සම්බන්ධීකරණයක් පෙන්නුම් කෙරේ.
මෙම ඊමේල්, 2019 දී Vanity Fair වෙත මස්ක් කළ ප්‍රකාශයට පටහැනි වන අතර, එහිදී ඔහු එප්ස්ටයින්ගේ දූපතට එන ලෙස වූ නැවත නැවත ආරාධනා ඔහු “ප්‍රතික්ෂේප කළ” බවත් කිසි විටෙකත් සංචාරය නොකළ බවත් සඳහන් කරයි. ගිය සති අන්තයේ දී, මස්ක් ඊමේල් වාර්තා “ව්‍යාජ” ලෙසත්, ලිපිගොනු “අවධානය වෙනතකට යොමු කිරීමක්” ලෙසත් හෙළා දුටුවේය.
ගේට්ස් ද කැපී පෙනෙන ලෙස පෙනී සිටියි. 2013 දී ඇති එක් විද්‍යුත් මේල් පණිවිඩයක, එප්ස්ටීන් ගේට්ස්ව බ්ලැක්මේල් කිරීමට උත්සාහ කළ බව පෙනෙයි.
එහිදී ගේට්ස්ගේ ලිංගාශ්‍රිත රෝගය පිළිබඳ විද්‍යුත් තැපැල් මකා දැමීමට කිරීමේ ඉල්ලීම්, මෙලින්ඩා ගේට්ස්ට රහසිගතව ලබා දීමට එප්ස්ටීන්ගෙන් ප්‍රතිජීවක ඖෂධ සඳහා ඉල්ලීම් සහ පැහැදිලි ලිංගික විස්තර සඳහන් කර ඇත..ඩොලර් මිලියන ගණනක් දෙන ලෙසත් ඔහු වෙනුවෙන් නිවසක් මිලදී ගැනීමටත් එප්ස්ටයින් ගේට්ස්ට යෝජනා කළේය. මෙලින්ඩා ගේට්ස් පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ඇගේ දික්කසාදය සිදු වූයේ ඇගේ සැමියා එප්ස්ටයින් සමඟ පැවැත්වූ සම්බන්ධය නිසා බවයි. එහිදී ඇය එප්ස්ටයින් “දුෂ්ට” ලෙස විස්තර කළාය.
2008 දී එප්ස්ටයින් වරදකරු වී වසර ගණනාවකට පසුවත්, ලිංගික සබඳතා සඳහා කාන්තාවන් ලබා ගැනීම සඳහා එප්ස්ටයින්ගේ උදව් ඉල්ලා සිටින New York Giants හි සම හිමිකරු වන බිලියනපති ස්ටීව් ටිෂ්ගේ ඊමේල්ද ලිපිගොනු අතර වේ. ලිපි හුවමාරුවලින් හෙළි වන්නේ එප්ස්ටයින් ප්‍රභූ සේවාදායකයින්ගේ දැනුම ඇතිව ජාවාරමේ ක්‍රියාකාරීව නිරත වූ බවයි. ටිෂ් යනු නිව් යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානි විසින් නැවත පත් කරන ලද NYPD (නිව්යෝක් පොලිස් දෙපාර්තමේන්තු) කොමසාරිස් ජෙසිකා ටිෂ්ගේ ඥාති සහෝදරයෙකි.
ලිපිගොනු එප්ස්ටයින්ගේ ජාලයේ ජාත්‍යන්තර විෂය පථය අවධාරණය කරයි. අලුතින් නිකුත් කරන ලද ඡායාරූපවලින් පෙනී යන්නේ කලින් ඇන්ඩෲ කුමරු වූ ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, මුහුණ වසන ලද තරුණ කාන්තාවකගේ සිරුරට ඉහලින් බරවී සිටින ආකාරයයි. බ්‍රිතාන්‍යයේ, New Labour හි ප්‍රධාන නිර්මාතෲ වරයෙක් වන පීටර් මැන්ඩෙල්සන්ට, එප්ස්ටයින්ගෙන් ඩොලර් 25,000 ගෙවීම් තුනක් ලැබුණු බව හෙළි වීමෙන් පසු පක්ෂ භූමිකාවකින් ඉල්ලා අස්විය.

වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් ද එප්ස්ටයින් ගෙන් දුරස්ථ වීමට උත්සාහ කළ අතර, එප්ස්ටයින්ගේ මහල් නිවාසයේ “සම්බාහන මේසයක්” දැකීමෙන් පසු 2005 දී ඔහු සබඳතා කපා දැමූ බව කියා සිටියේය. කෙසේ වෙතත්, ඊමේල් මගින් පෙන්නුම් කරන්නේ ලුට්නික් 2012 අගභාගයේදී තරම් , එනම් (එප්ස්ටයින්) වරදකරු වීමෙන් පසුව ද, එප්ස්ටයින් සමඟ ලිපි හුවමාරු කර ගත් බවයි. 2012 දෙසැම්බර් මාසයේ එක් විද්‍යුත් තැපෑලකට අනුව, ලුට්නික් තම පවුලේ අය සහ වයස අවුරුදු හතේ සිට 16 දක්වා දරුවන් සමඟ සංචාරය කරමින් සිටියදී කැරිබියන් වල රාත්‍රී භෝජන සැලසුම් සම්බන්ධීකරණය කළේය.
සමස්ත ආන්ඩු, බැංකු සහ සමාගම් පවත්වාගෙන යන මෙම බලගතු පුද්ගලයින් කියා සිටින්නේ එප්ස්ටයින් යනු කවුරුන්දැයි (සැබෑ ස්වභාවය) තමන් දැන නොසිටි බවයි. මොන මනස්ගාතයක් ද, හැමෝම දැන සිටියා! ඔහුගේ සම්බන්ධතාවල දැවැන්ත පරිමාණය, ඔහුගේ ජාලයේ අසාමාන්‍ය ප්‍රවේශය/පැතිරි දුර, පාලක පන්තියේම ස්වභාවය ගැන හෙළිදරව් කරයි.
ලේඛන නිකුත් කෙරුනද, නිකුත් කරන ලද දේ සහ කුමන තොරතුරු ඉවත්කර (redact) ඇත්ද යන්න ඇතුළුව, සෑම අංගයක්ම වංචාවෙන් ආවරණය වී ඇත. සිකුරාදා සවස එප්ස්ටයින්ගේ වින්දිතයින් 20 දෙනෙකු විසින් අත්සන් කරන ලද ප්‍රකාශයක, අත්සන් කරන්නන් මෙසේ ලිවීය: “ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වල මෙම නවතම නිකුතුව විනිවිදභාවයක් ලෙස අලෙවි කරනු ලැබේ, නමුත් එය ඇත්ත වශයෙන්ම කරන්නේ වින්දිතයන් හෙළිදරව් කිරීමයි. නැවත වරක්, වින්දිතයන් ගේ නම් සහ හඳුනාගැනීමේ තොරතුරු හෙළිදරව් කරමින් පවතින අතර, අපව අපයෝජනය කළ පිරිමින් සඟවා ආරක්ෂා කර ඇත.”
වඩාත් මූලික දේශපාලන ප්‍රශ්නවලට පිළිතුරු නොලැබෙන අතර, එය පාලක පන්තිය අතේ පැවතුනහොත්, දිගටම පිළිතුරු නොලැබෙනු ඇත. එප්ස්ටයින් ස්වාධීන ක්‍රියාකරුවෙකු නොවීය. ඔහු සේවය කළේ කාගේ අවශ්‍යතා සඳහාද? ඔහු සීඅයිඒ, මොසාඩ් හෝ වෙනත් බුද්ධි ආයතනයක් සඳහා සේවය කළේද? එප්ස්ටයින් “බුද්ධි අංශයට අයත්” බවට ඇකෝස්ටා කළ ප්‍රකාශය කිසි විටෙකත් විමර්ශනය කර නොමැත.
සම්බන්ධ වූ නිශ්චිත පුද්ගලයින්ට අමතරව, එප්ස්ටයින් අපචාරය සමාජ පන්තියක ස්වභාවය හෙළි කරයි. ඇමරිකානු කතිපයාධිකාරය පරපෝෂිතභාවය, සමපේක්ෂනය සහ වංචාව හරහා තම ධනය රැස් කරගෙන ඇත. එය, එහි සමාජ පැවැත්ම තුළ, අත්පත් කර ගැනීමේ ආකාරය තුල, ඇමරිකානු දේශපාලනයේ මුදුනේ ලැග සිටින අපරාධකාරී පන්තියකි. එහි ධනය, මූල්‍ය උපාමාරු, සංගතවල වංචා, යුද ලාභ ලැබීම සහ බිලියන සංඛ්‍යාත ජනතාව සූරාකෑමේ ප්‍රතිඵලයකි.
කතිපයාධිකාරය තමන් නීතියට ඉහළින් සිටින බවට වන හැඟීමක් දරා සිටී. ට්‍රම්ප් යනු මෙම පන්තියේ පුද්ගලාරෝපණයයි–ඔහු නිර්ලජ්ජිත ලෙස අපරාධකාරී, ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්ට අපහාස කරන, විවෘතව ෆැසිස්ට් ප්‍රචණ්ඩත්වය උසිගන්වන සහ යුද්ධයට කුමන්ත්‍රණය කරන අයෙකි. ඔහුගේ පරිපාලනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වැදගැම්මකට නැති කඩදාසි කැබැල්ලක් ලෙස සලකන අතර ජාත්‍යන්තර නීතිය අදාළ නොවේ යයි සලකයි. උප ජනාධිපති ජේ.ඩී. වැන්ස්ගේ වචන වලින් කිවහොත්, “නිරපේක් දණ්ඩමුක්තිය” සහිතව, පුරවැසියන් හෝ පුරවැසියන් නොවන පුද්ගලයින් ඝාතනය කිරීමේ අයිතිය එය ප්‍රකාශ කරයි.
ඇමරිකානු පාලක පන්තිය දේශපාලනික, සමාජීය, නීතිමය සහ සදාචාරාත්මක පරිහානියක ගිලී සිටී. එප්ස්ටයින් අපචාරය එයට කැඩපතක් ඔසවා තබයි.
