ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 13 වන දින “Trump’s blockade of the Strait of Hormuz: The next phase in the Iran war” යන හිසින් පළවූ ඇන්ඩෲ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් දින හයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය, එක්සත් ජනපදය විසින් සඵල ලෙස අවලංගු කිරීම සනිටුහන් කරමින්,ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිටවන සියලුම නැව් අවහිර කිරීම ආරම්භ කර ඇති බව එක්සත් ජනපද හමුදාව සඳුදා නිවේදනය කළේය. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ ප්‍රධාන උත්සන්න වීමක් සලකුණු කරයි.
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ඔහුගේ Truth Social වේදිකාවේ ප්‍රකාශ කළේ නාවික හමුදාව “හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන” බවයි. සෙනසුරාදා, නියෙමු මිසයිල ඩිස්ට්‍රොයර් (guided-missile destroyers) යාත්‍රා දෙකක් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ අතර, වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ අවහිරය බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද යුද නැව් 15 ක් දැන් යොදවා ඇති බවයි.
මෙම අවහිර කිරීම යුද ක්‍රියාවක් සහ ජාත්‍යන්තර මුහුදු කොල්ලකාරී ක්‍රියාවකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉරානයට සහ සමස්ත ලෝකයේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කරන ලද මෙම සාපරාධී ක්‍රියාව හෙළා දකී. ඉහළ යන බලශක්ති පිරිවැය, ආහාර හිඟය සහ නිරන්තරයෙන් පුළුල් වන මිලිටරි ගැටුමක අන්තරාය මගින් කම්කරු පන්තිය එහි මිල ගෙවනු ඇත.
ට්‍රම්ප්ගේම වාක්‍ය ඛණ්ඩයම භාවිතා කරන්නේ නම්, සටන් විරාමය යුද්ධයේ ඊළඟ අදියර සඳහා “උණ්ඩ නැවත පුරවා ගැනීමට” අවස්ථාවක් වූ බව ඔප්පු වී තිබේ. එනම් 2025 ජනවාරි මාසයේ ගාසා තීරයේ සිට 2025 ජුනි මාසයේදී ඉරානය දක්වා වූ සටන් විරාමය සහ සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් 250 කට වැඩි පිරිසක් මිය ගිය, අප්‍රේල් 7 වන දින ඉරාන සටන් විරාමය දක්වා, ට්‍රම්ප් මැද පෙරදිග ප්‍රකාශයට පත් කර ඇති සෑම සටන් විරාමයක්ම, ඊළඟ ප්‍රහාරය සඳහා නැවත කණ්ඩායම් ගත වීමමේ විරාමයක් වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය, සහ ඒ සමඟ ඉරානයේ සහ සමස්තයක් ලෙස පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සහ බෙදා හැරීම පාලනය කිරීම ආරම්භයේ සිටම යුද්ධයේ කේන්ද්‍රීය මූලෝපායික ඉලක්කයක් වී පැවතිණි.
යුද්ධය ආරම්භ වූ දා සිට, සමුද්‍ර සන්ධිය හරහා නවුක ගමනාගමනය බිඳ වැටී ඇත. යුද්ධයට පෙර මට්ටමට වඩා ප්‍රවාහන පරිමාවන් සියයට 90 කට වඩා පහත වැටී ඇත. ඉතිරිව ඇති ගමනාගමනය මත ආධිපත්‍යය දැරුවේ ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 80 සිට 90 දක්වා ප්‍රමාණයක් ආනයනය කරන එහි විශාලතම පාරිභෝගිකයා වන චීනයට බොරතෙල් රැගෙන යන ග්‍රීසියට අනුබද්ධ තෙල් නැව් සහ ඉරානයේ සෙවනැලි නැව් කණ්ඩායම (shadow fleet) විසිනි. ඉරානය තමන්ගේ මිතුරු වෙළඳ හවුල්කරුවන්ගේ, අන් සියල්ලටත් වඩා චීනයේ නැව්වලට ගමන් කිරීම සඳහා දිගටම ඉඩ දී ඇත.
දැන්, ඉරාන වරායකට ළඟා වීම සඳහා සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඇමරිකානු අවසරයකින් තොරව එසේ කරන අතර, ඉරානය සමඟ නාවික වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට එරෙහිව භෞතික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව විවෘත කරයි. චීන ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් සඳුදා ප්‍රකාශ කළේ: “අපගේ නැව් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළට සහ ඉන් පිටතට ගමන් කරමින් තිබේ. අපට ඉරානය සමඟ වෙළඳ හා බලශක්ති ගිවිසුම් තිබේ. අපි ඒවාට ගරු කරන්නෙමු, ඒවා ඉටු කරන්නෙමු, එමෙන්ම අපගේ වැඩකටයුතු වලට සෙසු අය මැදිහත් නොවේ ඇයි අපේක්ෂා කරමු.”
ප්‍රායෝගිකව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම, ඉරානයට එරෙහිව මෙන්ම චීනයට එරෙහිව ද ආර්ථික යුද්ධ ක්‍රියාවකි. චීනයේ තෙල්වලින් අඩක් පමණ සහ එහි ද්‍රව ස්වාභාවික වායුවෙන් (liquefied natural gas) තුනෙන් එකකට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යයි. මෙම අවහිර කිරීම මගින් ඇමරිකානු හස්තය එහි ප්‍රධාන ප්‍රතිවාදියාගේ [චිනයේ] බලශක්ති සැපයුම මත තබන අතරම, එම ප්‍රවාහයන් මතම රඳා පවතින, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපීය සංගමයේ රාජ්‍යයන් ආදී එහි “සගයන්ගේ” බලශක්ති සැපයුම මත ද අත තබයි.
සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා මූලෝපායඥයින්ගේ චින්තනය ගැන ඉඟි කළේ: “අපට මෙම වෙළඳාම අවශ්‍ය නැත. අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපේම තෙල්, ගෑස් තිබේ. … එබැවින් අපට එය අවශ්‍ය නැත, නමුත් ලෝකයට එය අවශ්‍ය වන අතර, මේ අප කතා කරද්දීම, බොහෝ නැව් බඩු පවටා ගැනීම පිණිස අපේ රටට යමින් සිටී.” යනුවෙනි.
මෙම අවහිර කිරීම ලෝකයේ මූලෝපායික ඇවිරුම් ස්ථාන (chokepoints), එනම් හෝමූස් සමුද්‍ර සන්ධිය, පැනමා ඇළ, ග්‍රීන්ලන්තය සදහා වන වන ප්‍රවේශයන් ආදිය අල්ලා ගැනීමේ පුළුල් එක්සත් ජනපද ව්‍යාපාරයක කොටසකි. දිගුකාලීන ආර්ථික පරිහානියක නිමග්න ඇමරිකානු අධිරාජ්‍යවාදය, ගෝලීය වෙළඳ මාර්ගවල මිලිටරි ආධිපත්‍යය හරහා එම පරිහානිය පියවා ගැනීමට උත්සාහ කරමින් සිටී. ලෝකයේ ජල මාර්ග සහ අමුද්‍රව්‍ය තමන්ටම සුරක්ෂිත කර ගනිමින් සහ ඒවා තම ප්‍රතිවාදීන්ට, විශේෂයෙන් චීනයට, අහිමි කරමින් සිටී.
2025 දෙසැම්බර් මාසයේදී, වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන්, වෙනිසියුලානු බොරතෙල් බැරල් මිලියන 1.8 ක් රැගෙන චීනය බලා යන තෙල් ටැංකියක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගන්නා ලදී. හෝමූස් අවහිර කිරීම එම පූර්වාදර්ශය පර්සියානු ගල්ෆ් කලාපය දක්වා විහිදුවන අතර එක්සත් ජනපද යුද නැව් චීනය බලා යන තෙල් නැව් හරවා යැවීමට උත්සාහ කළහොත් චීනය සමඟ මිලිටරි ගැටුමක සෘජු අනතුර මතු කරයි.
ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක දැනටමත් විනාශකාරී ය. අවහිර කිරීමට පෙර පවා, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සැලකිය යුතු ලෙස කපා හැරීම, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ( International Energy Agency) විසින් ඉතිහාසයේ නරකම තෙල් අර්බුදය ලෙස හැඳින්වූ දෙය ජනනය කර ඇති අතර එය 1979 අර්බුදය ඉක්මවා ගියේය. තෙල් බැරලය ඩොලර් 100 ට වඩා වැඩිය, පෙට්‍රල් මිල ජාතිකව ගැලුමකට ඩොලර් 4.13 ක් වන අතර, නැව් 600 කට වැඩි ප්‍රමාණයක් ගල්ෆ් කලාපයේ සිරවී ඇත. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය විසින් එක්සත් ජනපද අවපාතයක සම්භාවිතාව සියයට 30 දක්වා ඉහළ නංවා තිබේ.
ගෝලීය පොහොර සැපයුමෙන් තුනෙන් එකක් සාමාන්‍යයෙන් මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. යුද්ධය ක්ෂණික වෙළඳාමට බාධා ඇති කළා පමණක් නොව, ඉදිරි කන්නයේ බෝග අස්වැන්න කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එනම්, අප්‍රිකාව, දකුණු ආසියාව සහ ලතින් ඇමරිකාව පුරා අස්වනු අඩු කරනු ඇති අතර, ගල්ෆ් කලාපය හා සෘජු බැඳීමක් නොමැති රටවල ආහාර මිල කම්පන ඇති කරනු ඇත. මිලියන සිය ගණනක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන අතර මිලියන ගණනක් මිය යා හැකිය. ගෝලීය සාගතයක සැබෑ හැකියාවක් පවතී.
ලෝක ආධිපත්‍යය සඳහා වූ එහි සැලැස්ම තුළ, යුද්ධයේ සැබෑ හැසිරීම වඩ වඩාත් මංමුලා සහගත අනුවර්තනය වීම් මගින් සංලක්ෂිත වී ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය යුද්ධය දියත් කර උත්තරීතර නායක අලි කමේනි සහ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කළේය. ට්‍රම්ප් ඉරාන වැසියන්ට ඔවුන්ගේ රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එසේ කළේ නැත. ඉන්පසු සිදුකළ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය ඉරානයේ විදුලි සංදේශ පද්ධතිය විනාශ කළ අතර එහි නගරවල දිස්ත්‍රික්ක සමතලා කළ නමුත් ඉරානය යටත් වූයේ නැත. මාර්තු මාසය පුරාම ඉරාන නායකයින් තවදුරටත් ඝාතනය කිරීමෙන්ද රජය ඇද වැටුණේ නැත. නාවික ගමන් අවහිර කිරීම ඊළඟ පියවරයි.
ඉරාන මිසයිල බැටරි, වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ දහස් ගණනක් නාවික බෝම්බ වලින් වට වූ පටුම ස්ථානයේ සමීප පරාසයේ සැතපුම් 21 ක් පළල ජල මාර්ගයක් තුළ ඇමරිකානු යුද නැව් දැන් ක්‍රියාත්මක වේ. මෙම නාවික අවහිරයට ළඟා වන ඕනෑම ඉරාන නෞකාවක් “වහාම වනසන” බව ට්‍රම්ප් සඳුදා පැවසීය.
ඩිස්ට්‍රොයර් නෞකාවක් අහිමි වීම හෝ විශාල ජීවිත හානි සිදුවීමක් හේතුවෙන්, ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 90 ක් සැකසෙන කාර්ග් දූපත අත්පත් කර ගැනීම ඇතුළුව භූමි ආක්‍රමණයක් සඳහා ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ ඇති ඉල්ලීම් තීව්‍ර වනු ඇත. 82 වන ගුවන් අංශයේ භට පිරිස් හා මැරීන් භටයින් දැනටමත් යොදවා ඇති අතර, 50,000 කට වැඩි එක්සත් ජනපද භට පිරිසක් රංග පතයේ සිටිති. පෙබරවාරි 28 වන දින සිට එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දහතුන් දෙනෙකු මිය ගොස් ඇත.
ට්‍රම්ප් පාලනය පුදුමාකාර නොසැලකිලිමත්කමකින් යුතුව ඉදිරියට යමින් සිටී. එක්සත් ජනපදය ඉරානයේ තෙල් අත්පත් කර ගන්නා බව ඔහු විවෘතව පවසා ඇත. එය, පසුගිය පරිපාලනයන් සම්බාධක සහ ජාත්‍යන්තර නීතියේ භාෂාව පිටුපස සැඟව සිට සිදුකළ ආකාරයේ කොල්ලකාරී ප්‍රකාශයකි. අපරාධකාරී පාතාලයේ ක්‍රම දැන් නිල රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත.
දේශපාලන සංස්ථාපිතය ප්‍රතිපත්තිමය වශයෙන් මේ කිසිවකට විරුද්ධ නොවේ. නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකි මණ්ඩලය ට්‍රම්ප්ගේ හැසිරීම “පැහැදිලි නොහැකියාව” ලෙස හැඳින්වූ අතර “කොංග්‍රසය සම්බන්ධ කර ගනිමින් හා ඇමරිකානු සහචරයින්ගෙන් උදව් ලබා ගන්නා ලෙස” ඔහුගෙන් ඉල්ලා සිටියේය. එය, යුද්ධයේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් සඳහා කරන කැඳවීමකි. වෝල් ස්ට්‍රීට් ජර්නලය ට්‍රම්ප්ගේ ජයග්‍රහණ ප්‍රකාශය නිසි කලට පෙර කළ එකක් ලෙස හැඳින්වූ අතර “වැඩේ කොහෙත්ම අවසන් වී නැත” යනුවෙන් අනතුරු ඇඟවීය.
ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික Tim Kaine ඉරිදා ABC ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ ඉරානය “කලාපීය තර්ජනයක්” බවත් “ඉරානයට න්‍යෂ්ටික අවියක් නොලැබෙන බවට අප සහතික විය යුතු” බවත්ය. ට්‍රම්ප් සතියකට පෙර “සටන් විරාමය” නිවේදනය කළ විට, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අත ඉතිරි කිරීම මත පදනම්ව ඩිමොක්‍රටික් පක්ෂය එය විවේචනය කිරීමට පැන ගත්තේය. ඩිමොක්‍රටික් පක්ෂය මූලෝපායික අරමුණු පිළිගන්නා අතර ක්‍රියාවට නැගීම පිළිබඳව පමණක් විරුද්ධ වේ.
ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සෑම අංශයක්ම යුද්ධය අනුමත කරන්නේ නම්, එයට එරෙහි විරෝධය පැමිණිය හැක්කේ මුළුමනින්ම සංස්ථාපිතයට පිටතින් පමණි. කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හරහා නාවික අවහිර කිරීමට සහ සමස්තයක් ලෙස යුද්ධයට විරුද්ධ විය යුතුය. වැඩ කරන ජනතාවගේ ජීවත් වීම සඳහා පවතින සමාජ වැඩසටහන් වලට ඓතිහාසික ප්‍රහාරයක් එල්ල කිරීම හරහා යුධ වියදම් ගෙවනු ලැබේ. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ දිවා භෝජනයකදී ට්‍රම්ප් පැවසුවේ රජය යුද්ධ කරන බැවින් මෙඩිකෙයාර් (Medicare) ,මෙඩිකේඩ් (Medicaid) සහ අනෙකුත් සමාජ වැඩසටහන් සඳහා මුදල් ගෙවිය නොහැකි බවයි.
අත්‍යවශ්‍ය වැඩසටහන් කපා හැරීමෙන් යුද්ධය සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිනු ලබන එම පන්තියෙන්ම (කම්කරු පන්තියෙන්ම) යුද්ධය සඳහා සටන් කිරීමටද කැඳවුම් කරනු ලැබේ.
2026 ජාතික ආරක්ෂක බලය පැවරීමේ ( National Defense Authorization Act) පනතේ කොටසක් ලෙස ට්‍රම්ප් විසින් අත්සන් කර නීති ගත කරන ලද, වයස අවුරුදු 18 සිට 26 දක්වා සියලුම පිරිමින් සඳහා හමුදාවලට බැඳීමේ ස්වයංක්‍රීය ලියාපදිංචිය, 2026 දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් චීනයෙන් බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම සඳහා, වානේ කම්කරුවන්ගේ සහ ගබඩා සේවකයින්ගේ, පතල් කම්කරුවන්ගේ සහ සංක්‍රමණික ගොවිපල කම්කරුවන්ගේ දරුවන්, ඩිස්ට්‍රෝයර් යාත්‍රා මත හා පර්සියානු ගල්ෆ් වෙරළ තීරය මත මිය යාමට යවනු ලැබේ.
යුද්ධයට එරෙහි සටන, සමාජ වැඩසටහන් විනාශ කිරීමට, බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට සහ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකි ය. රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට සහ මෙම සමාජ ව්‍යාධීන්ගේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කළ යුතුය. (අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)
