මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 15 වන දින ‘The war against Iran will intensify the class struggle’ යන හිසින් පළවූ ජෝෂෆ් කිශෝර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
ජෝෂෆ් කිශෝර් විසිනි.

එක්සත් ජනපදයේ විශාලතම හරක් මස් සැකසුම් මධ්‍යස්ථානයන්ගෙන් එකක් වන කොලරාඩෝ හි ග්‍රීලි හි ජේබීඑස් කම්හලේ මස් ඇසුරුම් කම්කරුවන් 3,800 කට ආසන්න සංඛ්‍යාවක් අද වැඩ වැරීමකට නියමිතව ඇත. දරිද්‍රතා වැටුප් සහ අනාරක්ෂිත තත්වයන්ට විරෝධය පළ කරමින් කම්කරුවන් පසුගිය මාසයේ වැඩවර්ජන ක්‍රියාමාර්ගයට පක්ෂව සියයට 99 ක් ඡන්දය දුන්හ. මිනසෝටා හි ඔස්ටින්හි 1985-86 හෝමෙල් (Hormel) වැඩ වර්ජනයෙන් පසු එක්සත් ජනපදයේ මස් ඇසුරුම් කම්කරුවන්ගේ විශාලතම වැඩ වර්ජනය මෙය වේ.
ග්‍රීලි කම්කරුවන්ගෙන් බොහෝ දෙනෙක් හයිටි සහ සෝමාලියාවෙන් මෑතකදී පැමිණි සංක්‍රමණිකයන් වන අතර, ඔවුන් ට්‍රම්ප් පරිපාලනය යටතේ පිටුවහල් කිරීමේ යාන්ත්රයෙන් සෘජු තර්ජනයට ලක්ව සිටී. කෙසේ හෝ, ඔවුහු වැඩ වර්ජනය කිරීමට ඡන්දය ලබා දුන්හ. ග්‍රීලි කම්කරුවන්ගේ ධෛර්යය සහ අධිෂ්ඨානය ඇමරිකාවේ පන්ති සබඳතාවල පුපුරන සුලු තත්ත්වය පිළිබිඹු කරයි.
මස් ඇසුරුම් කම්කරුවන්ගේ වැඩ වර්ජනය ආරම්භ වන්නේ යුද්ධයේ පසුබිම තුළය. සති දෙකකට පෙර, එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිය සාපරාධී ආක්රමණික යුද්ධය දියත් කළ අතර එය කලාපීය හා ගෝලීය ගැටුමක් දක්වා වේගයෙන් සර්පිලාකාර වෙමි පවතී.
මෙම යුද්ධයේ හේතු බහුවිධ හා සංකීර්ණ වේ. ඉරානය දිගු කලක් තිස්සේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඉලක්කයක් වී ඇති අතර, එය මැද පෙරදිග තෙල් සම්පත්වල ආධිපත්‍යය දැරීමට දශක ගණනාවක් තිස්සේ ව්‍යාපාරයක් දියත් කර ඇත. ඝාතනය සහ සමූහ සංහාරය හරහා ඉරාන රජය පෙරලා දැමීමේ උත්සාහය, චීනයට එරෙහි ඇමරිකානු පාලක පන්තියේ ප්‍රහාරය සහ ගෝලීය ආධිපත්‍යය සඳහා වන ධාවනය සමඟ බැඳී ඇත.
කෙසේ වෙතත්, ප්‍රධාන සාධකයක් වන්නේ එක්සත් ජනපදය තුළ පවතින සමාජ අර්බුදයයි. ඉතිහාසය පුරාම, ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුණ දෙන පාලන තන්ත්රයන් යුද්ධය හරහා ඒවා විසඳීමට උත්සාහ කර ඇත. මැකින්ලි පරිපාලනය 1898 ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය දියත් කළේ උත්සන්න වූ පන්ති ගැටුමක් සහ ආර්ථික අවපාතයේ ප්‍රතිවිපාක මධ්‍යයේ ය; සාර්වාදී රුසියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වියචෙස්ලාව් ප්ලෙහ්ව් 1904 දී ජපානය සමඟ යුද්ධයට පක්ෂව කතා කළේ, “විප්ලවයේ රැල්ල මැඩපැවැත්වීම සඳහා කෙටි, ජයග්‍රාහී යුද්ධයක් මේ රටට අවශ්‍ය වන්නේය” යන පදනම මත ය. 1905 විප්ලවයේදී එම ගණනය කිරීමට සුදුසු ප්‍රතිචාරය ලැබුණි.
කෙසේ වෙතත්, මෙම ප්රවණතාවයේ වඩාත්ම විනාශකාරී ප්රකාශනයන් වන්නේ විසිවන සියවසේ ලෝක යුද්ධ දෙක වේ. 1914 දී යුරෝපයේ පාලක පන්තීන් යුද්ධය සැලකුවේ, නැගී එන කම්කරු පන්ති අරගලයේ රැල්ල ජාතිකවාදී දේශප්‍රේමයේ (nationalist patriotism) ගිල්වීමේ මාධ්‍යයක් ලෙස ය. යුද්ධයම 1917 රුසියානු විප්ලවයට සහ යුරෝපය පුරා විප්ලවවාදී නැගිටීම්වලට හේතු විය. දෙවන ලෝක යුද්ධය සම්බන්ධයෙන්, හිට්ලර්ගේ නොනවතින මිලිටරිකරණය සහ ආක්‍රමණශීලී ව්‍යාපාරය ජර්මානු අධිරාජ්‍යවාදයේ අත්‍යවශ්‍යතාවයන් සහ, ඉතිහාසඥ ටිම් මේසන් සඳහන් කර ඇති පරිදි, රට තුළ “බිඳවැටීම සහ අවුල් සහගත තත්ත්වය” වළක්වා ගැනීමේ උත්සාහය යන දෙකම විසින් මෙහෙයවනු ලැබීය.
ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් ඊට සමාන පීඩන පිළිබිඹු වේ. 2026 මුල් මාස දෙක තුළ ආධිපත්‍යය දැරූ ගැටළු සලකා බලන්න. ජනවාරි සහ පෙබරවාරි මාසවලදී, පසුගිය වසරේ දැවැන්ත “නෝ කිංග්ස්” (රජුන් එපා!) පෙළපාලිවලින් පසුව ඇති වූ සමාජ විරෝධතා රැල්ලකින් එක්සත් ජනපදය සෙලවී ගියේය. ප්‍රේරකය වූයේ මිනියාපොලිස්-ශාන්ත පෝල් වෙත ෆෙඩරල් ආගමන (ICE) නියෝජිතයන් 3,000 ක් පමණ යෙදවීම සහ ජනවාරි 7 වන දින ICE නියෝජිතයෙකු විසින් රෙනී නිකොල් ගුඩ්ව වෙඩි තබා ඝාතනය කිරීමයි. ජනවාරි 23 වන දින, මිනියාපොලිස් හි දස දහස් ගණනක් ජනයා, -30°F ක සීතලට මුහුණ දෙමින් විරෝධතා පෙළපාළි ගියහ. එහිදී, වෘත්තීය සමිති යාන්ත්‍රණයෙන් හෝ ඩිමොක්රටික් පක්ෂයෙන් නොව, පහළින් [සාමාන්‍ය කම්කරුවන්ගෙන්] මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන ඉල්ලීම් මතු විය.
ඊට, ට්‍රම්ප් පරිපාලනයේ සහ එහි ICE සහ රේගු සහ දේශසීමා ආරක්ෂණ (CBP) හි ගෙස්ටාපෝ නියෝජිතයින්ගේ ප්‍රතිචාරය වූයේ ඇලෙක්ස් ප්‍රෙට්ටි ඝාතනය කිරීමයි. රට පුරා විරෝධතා පැතිර ගිය අතර, උසස් පාසල් සිසුන්ගේ රට පුරා විරෝධතා රැල්ලක් ඇති විය. එක් ගණන් ගැනීමකට අනුව, 2026 දී පමණක්, ප්‍රාන්ත 48 ක් සහ කොලොම්බියා දිස්ත්‍රික්කයේ පාසල් දිස්ත්‍රික්ක 236 ක විරෝධතා 334 ක් පැවැත්විණි.
ඒ සමඟම, කම්කරු පන්තිය තුළ සැලකිය යුතු වැඩ වර්ජන ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පැවති අතර, එය පාලනය කිරීමට වෘත්තීය සමිති යාන්ත්‍රණය උමතු ලෙස කටයුතු කළේය. නිව් යෝර්ක් නගරයේ, හෙදියන් 15,000 ක් මාසයකට වැඩි කාලයක් වැඩ වර්ජනයක නිරත විය. 2026 ජනවාරි මස 26 වන දින, කයිසර් පර්මෙන්ටේ හි හෙදියන් සහ සෞඛ්‍ය සේවකයින් 31,000 ක් ඇමරිකානු ඉතිහාසයේ විශාලතම සෞඛ්‍ය සේවා වැඩවර්ජනවලින් එකක් වන කැලිෆෝනියාවේ සහ හවායි හි විවෘත වැඩ වර්ජනයකට සහභාගි විය. පෙබරවාරි 9 වන දින, සැන් ෆ්රැන්සිස්කෝ ගුරුවරුන් 6,400 ක් වැඩි වැටුප් සහ ප්‍රමාණවත් පාසල් අරමුදල් ඉල්ලා වැඩ වර්ජනය කළහ.
සමාජ විරෝධතා සහ වැඩ වර්ජන ආදී ක්‍රියාමාර්ග පුපුරා යාම, දශක ගණනාවක් තිස්සේ දැවැන්ත සමාජ අසමානතාවයේ සහ කතිපයාධිකාරයක් අත පෙර නොවූ විරූ ධන සංකේන්ද්‍රණයක ප්‍රතිවිපාක ප්‍රකාශ කරයි. පාලක පන්තිය ලේ වැකි රැකියා කප්පාදුවක් සිදු කරමින් සිටින අතර, පහත වැටෙන ජීවන තත්වයන් සහ ගැඹුරු වන අනාරක්ෂිත භාවය කම්කරුවන් විසින් පිළිගත යුතු යැයි ඉල්ලා සිටී. එක්සත් ජනපදය රාජ්‍ය හා පෞද්ගලික ණය දැවැන්ත හා තිරසාර නොවන ලෙස ප්‍රසාරණය වීමකට සහ ඩොලරයේ ගෝලීය සංචිත තත්වයට එල්ල වන තර්ජනවලට සහ වැටුප් ගිල දමමින් පවතින උද්ධමනකාරී පීඩනයන්ට මුහුණ දී සිටී.
වරදකරු කරනු ලැබූ අපරාධකරුවෙකු විසින් මෙහෙයවන ලද ට්‍රම්ප් පරිපාලනය, ජනගහනයේ වර්ධනය වන කොටස් විසින් වෛර කරනු ලැබේ. ජනවාරි අග දී සිදු කරන ලද පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Cente) සමීක්ෂණයකින් ට්‍රම්ප්ගේ මහජන ප්‍රසාදයේ ශ්‍රේණිගත කිරීම සියයට 37 ක් පමණක් වූ අතර ඇමරිකානුවන්ගෙන් සියයට 50 ක් කියා සිටියේ ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග ඔවුන් අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා නරක බවයි. ට්‍රම්ප් දැන් මුළු වසරක්ම මහජන ප්‍රසාදයේ ශුද්ධ සෘණ ශ්‍රේණිගත කිරීමක් සමඟ ගත කර ඇත.
ජෙෆ්රි එප්ස්ටයින් ලිපිගොනු වලින් මිලියන ගණනක් ලේඛන නිකුත් කිරීම ට්‍රම්ප්ගේ දූෂිතභාවය පිළිබඳ තවත් සාක්ෂි සපයා ඇතිවා පමණක් නොව, ඇමරිකානු පාලක පන්තියේ සහ පක්ෂ දෙකෙහිම එහි දේශපාලන නියෝජිතයින්ගේ සදාචාරාත්මක කුණුවීම ද හෙළිදරව් කර තිබේ. යුද්ධය හරහා “මාතෘකාව වෙනස් කිරීමට” උත්සාහ කිරීමේදී, ට්‍රම්ප් ක්‍රියා කරන්නේ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයා ලෙස ය.
ඩිමොක්රටික් පක්ෂය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්ති සහ අපරාධවලට ගැඹුරින් සම්බන්ධ වී සිටී. ඔවුන් ව්‍යාජ විපක්ෂයකි. ඔවුන් ඉරානයට එරෙහි යුද්ධයට සහ එහි රජය පෙරලා දැමීමට සහාය දක්වයි. යුද ධාවනය වේගවත් වන විට, දැවැන්ත මිලිටරි වියදම් පියවරයන් සම්මත කර ගැනීම සහතික කිරීමට ඩිමොක්රටික් නායකයෝ කටයුතු කළහ. ICE මර්දනය සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා පැනනැඟුණු විට, ඩිමොක්රටික් නිලධාරීහු ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණියහ.
ඩිමොක්රටික් පක්ෂයේ සහයෝගීතා උන්මාදයට නිව්යෝර්ක් නගරාධිපති සහ ඇමරිකාවේ ප්රජාතන්ත්රවාදී සමාජවාදීන්ගේ සාමාජික සොහ්රාන් මම්දානි ද ඇතුළත් වේ. යුද්ධයට පෙර මාස කිහිපය තුළ ට්‍රම්ප් හමුවූ ඔහු , බෝම්බ ප්‍රහාරය ආරම්භ වීමට දින දෙකකට පෙර එක් වරක් ඇතුළුව දෙවරක් හමුවිය.
ට්‍රම්ප්ට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. මාධ්‍යයට මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. ඩිමොක්රටික් පක්ෂයට ද මාතෘකාව වෙනස් කිරීමට අවශ්‍යව ඇත. නමුත් යුද්ධය අභ්‍යන්තර අර්බුද අඩු කිරීමට වඩා ඒවා තීව්ර කරමින් පවතී. ඉරානයට එරෙහි යුද්ධය ආරම්භයේ සිටම විශාල ලෙස ජනප්‍රියත්වයෙන් තොරය. යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක ක්ෂණික හා දරුණු වී ඇති අතර, ඉහළ යන තෙල් මිල ද ඊට ඇතුළත් ය. ගැටුමේ මුල් දින හය තුළ පමණක් වැය කරන ලද ඩොලර් බිලියන 11.3, සමාජ වැඩසටහන් වලට ගෙවනු ලබන සමාජ සම්පත් දැවැන්ත ලෙස යුද්ධයට හරවා යැවීමක් නියෝජනය කරයි. යුද්ධය පුළුල් වන විට සහ මරණ සංඛ්‍යාව වැඩි වන විට විරුද්ධත්වය වර්ධනය වනු ඇත.
2003 දී ඉරාක යුද්ධය ආරම්භයේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය:
“ආරම්භ වී ඇති ගැටුමේ ආරම්භක අවධීන්හි ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදයට ව්‍යසනය මුනගැසෙනු ඇත. එයට ලෝකය ජය ගත නොහැක. එයට මැද පෙරදිග ජනතාව මත යටත් විජිත විලංගු නැවත පැටවිය නොහැක. යුද්ධයේ මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝග සඳහා ශක්‍ය විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධයෙන් ජනනය වන අනපේක්ෂිත දුෂ්කරතා සහ නැගී එන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර ප්රතිවිරෝධතා තීව්ර කරනු ඇත.”
එම සටහන ලියා දශක දෙකකට වැඩි කාලයක් තුළ, ඇමරිකානු සමාජයේ “අභ්‍යන්තර රෝග” ඉස්මත්තට පැමිණ ඇත. ධවල මන්දිරයේ මැර කල්ලි නායකයා වන ට්‍රම්ප්ම මෙම යථාර්ථයේ නිෂ්පාදනයක් සහ පුද්ගලාරෝපණයකි. ඉරානයට එරෙහි යුද්ධය, එහි සියලු කුරිරු අපරාධකාරීත්වය මෙන්ම එය ක්‍රියාත්මක කරන ආණ්ඩුවද හරහා, විනාශය කරා වේගයෙන් ගමන් කරන ධනේශ්වර කතිපයාධිකාරීත්වයක් සහ සියලු දේශපාලන සුජාතභාවය අවසන් කරන සමාජ පිළිවෙලක් හෙළිදරව් කරයි.
අර්බුදයේ පරිමාණය රජයේ වඩ වඩාත් නොසැලකිලිමත් ක්‍රියාමාර්ගවලට හේතු වේ. මිනියාපොලිස් හි ඇමරිකානු පුරවැසියන් ඝාතනය කිරීමේදී ප්‍රකාශ වූ ඒකාධිපතිත්වය සඳහා වූ කුමන්ත්‍රණය දිගටම පවතී. ඉරානය සම්බන්ධයෙන් පරිපාලනය ප්‍රකාශ කර ඇත්තේ “කිසිවක් මේසයෙන් පිටත නැත” යනුවෙනි–ලෝකයේ විශාලතම න්‍යෂ්ටික අවි ගබඩාවක් ඇති රජයකින් පිටවන වාක්‍ය ඛණ්ඩයක් එහි වචනාර්ථයෙන්ම ගත යුතුය.
නමුත් යුද්ධය සහ ඒකාධිපතිත්වය විසින් ඇති කරන එම ප්‍රතිවිරෝධතාම පන්ති ගැටුම් ද තීව්ර කරයි. යුද්ධය 2026 මුල් මාසවල පුපුරා ගිය අරගලවල අන්තර්ගතය වෙනස් නොකරයි. එය ඒවාට වැඩි හදිසි බවක් ලබා දෙයි. කොලරාඩෝ හි ග්‍රීලි හි JBS කම්හලෙන් දැන් ආරම්භ වන වැඩ වර්ජනය කම්කරු පන්තිය තුළ විරුද්ධත්වය ගැඹුරු වෙමින් හා පුළුල් වෙමින් පවතින බවට බලගතු ඇඟවීමකි.
අවශ්‍ය වන්නේ වැටුප්, සූරාකෑම, අසමානතාවය සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ මෙම අරගල, ඒකාධිපතිත්වයට එරෙහි සටන සහ උත්සන්න වන හා විනාශකාරී යුද්ධයට එරෙහි විරෝධය සමඟ ඒකාබද්ධ කිරීමයි.
මෙය, ක්‍රමානුකූලව වැඩ වර්ජන හුදකලා කිරීමට, විරුද්ධත්වය මර්දනය කිරීමට සහ රාජ්‍යයේ සහ සංගතවල අවශ්‍යතාවලට කම්කරුවන් යටත් කිරීමට කටයුතු කරන ඩිමොක්රටික් පක්ෂය, ආයතනික මාධ්‍ය හෝ වෘත්තීය සමිති යාන්ත්‍රණය හරහා කළ නොහැකිය. ඒ සඳහා නිලධාරිවාදයේ ග්රහණයෙන් මිදීම සහ කලාප සහ දේශසීමා හරහා සම්බන්ධ වී ඇති සෑම වැඩබිමකම සහ කර්මාන්තයකම ක්‍රියාකාරී කමිටු ගොඩනැගීම අවශ්‍ය වේ.
කම්කරු පන්තියේ මෙම ස්වාධීන බලය සංවිධානය කිරීමේ මාධ්‍යයක් ලෙස, කම්කරු ක්‍රියාකාරී කමිටු වළ ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) පුළුල් කිරීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය කැඳවුම් කර සිටී. යුද්ධයට එරෙහි සටන එය නිපදවන ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකිය. විකල්පය වන්නේ ම්ලේච්ඡත්වය ( යුද්ධය, මර්දනය සහ සමාජ විනාශය) හෝ සමාජවාදයයි: එනම්, බලය ලබා ගැනීමට, යුද යන්ත්‍රය විසුරුවා හැරීමට, කතිපයාධිකාරී පාලනය අවසන් කිරීමට සහ පුද්ගලික ලාභය නොව මානව අවශ්‍යතාවයේ පදනම මත ආර්ථික ජීවිතය ප්‍රතිසංවිධානය කිරීමට කම්කරු පන්තියේ දේශපාලන බලමුලු ගැන්වීම සිදු කළ යුතුව පවතී.
