සංජය ජයසේකර විසිනි.
මෙම ලිපිය “The Divulapathana Land Dispute: A Class Question, Not an Ethnic Conflict” යන හිසින් theSocialist.lk හි ඉංග්‍රීසි බසින් 2026 ඔක්තෝම්බර් 7 දින පළ විණි.
මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක අතර පිහිටි මයිලත්තමඩු, මාධවනයි සහ දිවුලපතාන මායිම් තීරුවල උග්‍ර වෙමින් පවතින ඉඩම් ආරවුල දැඩි අර්බුදකාරී තත්වයකට ළඟා වී තිබේ. දෙමළ ගව පාලන පවුල්, තම ගවයන් සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කළ තණබිම් නැවත ලබා දෙන ලෙසත්, රාජ්‍ය අනුග්‍රහය ලබන සිංහල පදිංචිකරුවන්ගේ (settlers) ප්රචණ්ඩත්වය අවසන් කරන ලෙසත් ඉල්ලමින් දින 1100 කට වැඩි කාලයක් තිස්සේ අඛණ්ඩ, සාමකාමී විරෝධතාවයක නිරත වී සිටිති. ඔවුන්ගේ ඉල්ලීම්වලට කිසිදු සවන්දීමක් සිදු වී නොමැත. පදිංචිකරුවන් විසින් මරණීය තර්ජන එල්ල කර, ගොවීන්ට පහර දී, සංවිධානාත්මක ලෙස ගවයන් එම ඉඩම්වලින් පලවා හැර ඇත. ගිනිඅවි, උගුල් සහ පුපුරණ ද්‍රව්‍ය (හක්ක පටස්) යොදා ගනිමින් පශු සම්පත ඉලක්ක කර සැලසුම්සහගතව සිදු කළ පහරදීම් නිසා බහුල ලෙස ගවයන් ඝාතනය විය — 2020 නත්තල්-පෙර දින සිදු කළ මහා පරිමාණ ඝාතනය ද ඊට ඇතුළත් ය. මෙය ප්‍රදේශයේ කිරි නිෂ්පාදනය අඩපණ කරමින් ජීවනෝපායන් විනාශ කර දැමීය. විරෝධතා, ප්‍රාදේශීය අධිකරණවලින් නිකුත් වූ ඉවත් කිරීමේ නියෝග සහ ජාත්‍යන්තර මානව හිමිකම් වාර්තාකරණයන් පැවතිය ද, ක්ෂේත්‍ර මට්ටමේ නීතිය ක්‍රියාත්මක කිරීම දුර්වල මට්ටමක පැවති අතර, ඉඩම් අල්ලා ගැනීම් ගැන වාර්තා කිරීමට උත්සාහ කළ ප්‍රාදේශීය මාධ්‍යවේදින් රාජ්‍ය බලධාරීන් විසින් ප්‍රශ්න කිරීමට ලක් කර ඇත.
සඳුදා (5) දිවුලපතාන ගම්මානයේදී, ප්‍රාදේශීය දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම්ගේ (Shanakiyan Rasamanickam) පෙලඹවීම මත සිදු වූවක් යැයි කියනු ලබන, ඊට පෙර දින කරන ලද තර්ජනයක් ක්‍රියාත්මක කරමින්, දෙමළ ගව පාලකයෝ සිංහල ගොවීන් වගා කළ ඉඩම් වෙත ගවයන් 2,000 ක් පමණ මුදා හැරියෝය. මෙම සිදුවීම අර්බුදය ගමන් කරමින් පවතින දිශාව පිළිබඳ අනතුරු ඇඟවීමකි: එනම්, යටින් පවතින ඉඩම් ප්රශ්නය විසඳීමට කිසිදු උනන්දුවක් නොමැති දෙපාර්ශ්වයේම බලවේග විසින් සැලසුම් සහගතව නිර්මාණය කරනු ලබන විවෘත ජනවාර්ගික ගැටුමක් දෙසට ය.

නිර්මාණය කරන ලද ජනවාර්ගික ගැටුමක්
වත්මන් අර්බුදය ඕපපාතිකව මතු වූවක් නොවේ. එය දශක ගණනාවක් තිස්සේ රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කරන ලද ජනපදකරණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වන අතර, මයිලත්තමඩු සහ මාධවනයි යනු එහි නවතම ගැටුම්කාරී මධ්‍යස්ථාන පමණි.
මෙම තණබිම් පිහිටා ඇත්තේ මඩකලපුව මායිමේ, මාදුරු ඔයේ අතු ගංගාවක් වන මන්දාරි ගඟ අසල ය. පරම්පරා ගණනාවක් තිස්සේ සීතාණ්ඩි, වන්දාරුමූලයි, ඉල්ලුප්පඩියචේනයි සහ මුරුක්කට්ටන්චෝලයි යන ප්‍රදේශවල දෙමළ ගව පාලන පවුල් විසින් ඒවා භාවිතා කර ඇත — 2023 දත්තවලට අනුව, සත්ව පාලනය එකම ජීවනෝපාය කරගත් පවුල් දහසකට වැඩි ප්‍රමාණයක් ඊට ඇතුළත් ය. 1979 තරම් පූර්වයෙදී, පොළොන්නරුව සහ මඩකලපුව දිස්ත්‍රික්ක වල පැතිරි මහවැලි අධිකාරියේ ‘බී’ කලාපය යටතේ මෙම තණබිම්වලින් අක්කර 12,000 ක් අත්පත් කර ගන්නා ලදී. 2013 සිට ඉදිරියට, අම්පාර සහ පොළොන්නරුව යන ප්‍රදේශවලින් පැමිණි සිංහල පදිංචිකරුවන් — හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානයට අනුව, රජයේ සහාය ඇතිව පදිංචි කරවන ලද සහ නීති විරෝධී ගිනිඅවිවලින් සන්නද්ධ වූ විශ්‍රාමික සෙබළුන් ද ඇතුළුව — එම තණබිම් අත්පත් කර ගැනීමට පටන් ගත්හ. 2023 වන විට, තණබිම් හෙක්ටයාර 3,150 ක් පමණ තර්ජනයට ලක්ව තිබූ අතර, 2012 සහ 2023 අතර කාලය තුළ ගවයින් 6,948 ක් පමණ ඝාතනය කිරීම, තුවාල කිරීම, අතුරුදහන් කිරීම හෝ බලහත්කාරයෙන් අල්ලා ගැනීම සිදු විය.
මහවැලි අධිකාරිය සහ එකල නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය තණබිම්වල බඩඉරිඟු සහ රටකජු වගා කිරීමට සක්‍රීයව අනුබල දීමත් සමඟ 2020 දී අර්බුදය තීරණාත්මක ලෙස උග්‍ර විය. පොළොන්නරුවෙන් පැමිණි සිංහල බඩඉරිඟු වගාකරුවන් තණබිම් තුළ පදිංචි කරන ලද අතර, දෙමළ ජනතාවගේ ගවයන් ඝාතනය කිරීම — වෙඩි තැබීම, කඩුවලින් කැපීම, විදුලි වැටවල්වල සිරකිරීම, විදුලි සැර වැද්දවීම — සංවිධානාත්මක ස්වරූපයක් ගත්තේය. 2020 නත්තල් පෙර දින සිදු වූ ඝාතනය මෙහි වඩාත්ම කුප්‍රකට සිදුවීම පමණි. 2024 මාර්තු වන විට දෙමළ ගොවීන් වාළච්චේන පොලිස් ස්ථානයේ පැමිණිලි 36 ක් ලියාපදිංචි කර තිබූ අතර, අධිකරණයට ඉදිරිපත් කරනු ලැබ තිබුනේ පැමිණිලි තුනක් පමණි. 2021 ජනවාරි මාසයේදී අභියාචනාධිකරණය වෙත නඩුවක් ගෙන ගිය අතර, නීති විරෝධී ලෙස රැඳී සිටින්නන් 2021 පෙබරවාරි 28 වන විට ඉවත් වන බවට මහවැලි අධිකාරිය ප්‍රතිඥාවක් දුන්නේය. 2021 ජූලි 21 වන විට සියලුම හේන් වගාකරුවන්ට ඉවත් වන ලෙස අධිකරණය නියෝග කළේය. එම නියෝගය කිසි දිනෙක ක්‍රියාත්මක කර නැත. ආක්රමණික ලෙස ඉඩම් අල්ලා ගැනීම නතර කරන ලෙස මඩකලපුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ජනාධිපතිගෙන් ඉල්ලා සිටීමෙන් පසු නීති විරෝධී පදිංචිකරුවන් ඉවත් කිරීමට ඔහු එකඟ වූ පසුවත්, එම 2023 ඔක්තෝබර් මාසයේදීම, භික්ෂුවකගේ සහ හිටපු ආණ්ඩුකාරවරියගේ [අනුරාධා යහම්පත්] නායකත්වයෙන් ආරවුලට ලක් වූ ඉඩමේ අලුතින් බුදුපිළිමයක් තැන්පත් කරන ලදී. දෙමළ ගොවීන් දැන් 2023 සැප්තැම්බර් මාසයේ සිට — වසර 3 කට වැඩි කාලයක් තිස්සේ — අඛණ්ඩ විරෝධතාවයක් පවත්වාගෙන යන අතර, රජය ඒ වෙනුවෙන් කිසිදු පියවරක් ගෙන නොමැත.

වසර දෙකක් තිස්සේ බලයේ සිටින ජාතික ජන බලවේගයේ ආණ්ඩුව, විදේශයන්හිදී තමන් ප්රගතිශීලී පාලනයක් ලෙස නිරූපණය කර ගන්නා අතරම, ගොවීන් සමඟ සාකච්ඡා කිරීම හෝ පදිංචිකරුවන්ගේ ප්රචණ්ඩත්වය පාලනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත්තේ මෙවැනි පසුබිමකය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහාය ලත් වාර්තාවක් මගින් 2020 සහ 2024 අතර කාලය තුළ පමණක් නැගෙනහිර පළාතේ විසඳී නොමැති රාජ්‍ය-පුරවැසි ඉඩම් ආරවුල් 50 ක් හඳුනාගෙන ඇත. බෞද්ධ භික්ෂූන්ගේ සක්‍රීය අනුබලය ඇතිව, සුළුතර ප්රජාවන්ගෙන් ඉඩම් අත්පත් කර ගැනීම සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ හමුදාව යන සියල්ල යොදවා ඇති ආකාරය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (Centre for Policy Alternatives – CPA) විසින් ලේඛනගත කර ඇත.
එසේ වුවද, මෙම කෘෂිකාර්මික ඉඩම් ආරවුල ජනවාර්ගික ප්‍රශ්නයක් බවට පත් කරමින් සිටින්නේ සිංහල-ස්වෝත්තමවාදී සහ දෙමළ ජාතිකවාදී නායකයන් දෙපිරිසම විසිනි. මෙහි ඇති ප්රශ්නය කිරි ගොවීන්ට සහ හේන් වගාකරුවන්ට අවශ්‍ය ඉඩම් පිළිබඳ ප්රශ්නයකි — එය සිංහල-දෙමළ ගැටුමක් නොවේ. අදාළ ඉඩම් ගව පාලනයට සහ හේන් වගාවට යන දෙකටම අවශ්‍ය වේ: එනම්, දිළිඳු ග්‍රාමීය ශ්‍රම වගුරන ජනතාවගේ (rural toilers) කණ්ඩායම් දෙකක් විසින් එකම සම්පත සදහා තරඟ වදින භාවිත දෙකක් පිළිබඳ ප්රශ්නයකි. ගව පාලකයන් බහුතරයක් දෙමළ වීමත්, වගාකරුවන් බහුතරයක් සිංහල වීමත් ප්‍රදේශයේ ඉතිහාසයේ ජනගහන විද්‍යාත්මක අහම්බයක් (demographic accident) මිස ගැටුමේ සාරය නොවේ. සාරය වන්නේ, ජලය, පොහොර, ගබඩා පහසුකම්, සත්ව ආහාර හෝ ග්‍රාමීය නිෂ්පාදනයේ කිසිදු මූලික කොන්දේසියක් සැපයීමට රාජ්‍යය අසමත් වී ඇති ධනපති අර්බුදයේ කොන්දේසි යටතේ, හිඟ කෘෂිකාර්මික ඉඩම් වෙනුවෙන් කෙරෙන අරගලයයි.
පාලක පන්තිය සහ දෙපාර්ශ්වයේම සිටින ඔවුන්ගේ වාර්ගිකවාදී සහායකයන් (communalist auxiliaries) ජනවාර්ගික (ethnic) ගැටුමක් බවට පරිවර්තනය කිරීමට උත්සුක වන්නේ මෙවැනිම ආකාරයේ ආරවුල් ය. මෙම යාන්ත්‍රණය, ශ්‍රී ලංකා ඉතිහාසය පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) ලේඛනගත කර ඇති යාන්ත්රණයට අත්‍ය සමාන වේ: එනම් කම්කරු පන්තිය සහ ග්‍රාමීය දිළිඳු ජනතාව තම ද්‍රව්‍යමය කොන්දේසි සම්බන්ධයෙන් රාජ්‍යයට එරෙහිව නැගී සිටින විට, ධනපති පන්තිය එම අභියෝගය වාර්ගික මාවත්වලට යොමු කරයි. මූලික හානිය සිදු කර ඇත්තේ සිංහල-ස්වෝත්තමවාදී රාජ්‍යයයි — ඉඩම් එළිපෙහෙළි කිරීම, පශු සම්පත් ඝාතනය කිරීම, පොලිසියේ සහ අධිකරණවල අනුබලය, අත්පත් කරගත් ඉඩම්වල බුදුපිළිම තැන්පත් කිරීම, මේ සියල්ල ඊට ඇතුළත් ය. නමුත්, තම වාර්ගික පදනම තර කර ගැනීම සඳහා ගොවීන්ගේ පීඩාවන් උපයෝගී කරගන්නා දෙමළ ජාතිකවාදී දේශපාලනඥයන්ට ද ඉඩම් ප්රශ්නය විසඳීමට හැකියාවක් නැත, මන්ද ඔවුන් ද එය පන්ති අරගලයක් ලෙස නිරූපණය කරනවා වෙනුවට ජනවාර්ගික දුක්ගැනවිල්ලක් ලෙස රාමුගත කර ගැනීමට තදින්ම උත්සාහ කරන බැවිනි.
වාර්ගිකවාදයන් දෙක
මූලික හානිය සිදු කර ඇත්තේ සිංහල-ස්වෝත්තමවාදී රාජ්‍යය වන අතර, එය තවදුරටත් එය සිදු කරමින් සිටී. ඉඩම් එළිපෙහෙළි කිරීම, පශු සම්පත් ඝාතනය, පොලිසියේ සහ අධිකරණවල අනුබලය, අත්පත් කරගත් තණබිම්වල බුදුපිළිම තැන්පත් කිරීම — මේ සියල්ලම උතුර සහ නැගෙනහිර පුළුල් ජන සංයුතිය වෙනස් කිරීමේ (demography engineering) කොටසක් ලෙස සිංහල පදිංචිකරුවන්ට වාසි සහගත ලෙස සැලකීමට රාජ්‍යය සිය බලය යොදා ගැනීමකි. එය ගල්ඔය, මහවැලි සහ යුද්ධයෙන් පසු ඇති කළ හමුදා ජනපද වැනි ව්යාපෘතියක්මය. මහවැලි අධිකාරිය අභියාචනාධිකරණයට දුන් ප්‍රතිඥාව, අධිකරණයේ ඉවත් කිරීමේ නියෝගය, නීති විරෝධී පදිංචිකරුවන් ඉවත් කිරීමට දුන් ජනාධිපතිවරයාගේම එකඟතාවය — යන මේ සියල්ල ක්‍රියාත්මක නොකර අතහැර දමා ඇත්තේ, රාජ්‍යයට ඒවා ක්‍රියාත්මක කිරීමට කිසිදු අභිලාෂයක් නොමැති බැවිනි. අද සිංහල පදිංචිකරුවන්ට ඉඩම් ලබා දෙන රාජ්‍යය, ඔවුන්ගෙන් අවශ්‍ය දේශපාලන උවමනාව සම්පූර්ණ කරගත් පසු හෙට දින ඔවුන්ව අතහැර දමනු ඇත. පදිංචිකරුවන්ම ඉත්තන් වේ: ජන සංයුතිය වෙනස් කිරීමේ ව්‍යාපෘතියට සේවය කරන තාක් කල් ඔවුන්ට ඉඩම් සහ රාජ්‍ය ආරක්ෂාව හිමි වන අතර, ඔවුන් යොදාගෙන රාජ්‍යය මගින් ඇවිලවූ ගැටුම පුපුරා ගිය පසු එහි ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ඔවුන් තනි කර දමනු ලැබේ.
නමුත් දෙමළ ජාතිකවාදී දේශපාලනඥයන් ද එක හා සමානව වැරදිකරුවෝ වෙති. පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික්කම් විසින් ගවයන් මුදා හැරීමට පෙලඹවූයේ යැයි කියනු ලබන සිදුවීම — එනම් සිංහල ගොවීන් වගා කළ ඉඩම් මතට ගවයන් 2,000 ක් මුදා හැරීම — දෙමළ ගව පාලකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් නොවේ. එය වාර්ගික ආතතීන් ඇවිලවීම සඳහාත්, එමගින් දෙමළ ජාතිකවාදී පක්ෂවල දේශපාලන පදනම තහවුරු කර ගැනීම සඳහාත් සැලසුම් කරන ලද චේතනාන්විත ප්‍රකෝප කිරීමකි. ගොවීන්ගේ පීඩාවන් ඉස්මතු කරමින් “ජාත්‍යන්තර අවධානය සහ මැදිහත්වීම” — එනම් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අනුග්‍රහය — ඉල්ලා සිටින මෙම පක්ෂවලට ඉඩම් ප්රශ්නය විසඳීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් නැත, මන්ද ඔවුන් ද එය පන්ති අරගලයක් ලෙස නිරූපණය කරනවා වෙනුවට ජනවාර්ගික දුක්ගැනවිල්ලක් ලෙස රාමුගත කිරීමට තදින්ම උත්සාහ කරන බැවිනි. සිංහල ධනපති පන්තියට මෙන්ම දෙමළ ධනපති පන්තියට ද ඉඩම් ප්රශ්නය විසඳීමට කිසිදු උනන්දුවක් නැත. දෙපිරිසටම ගැටුම පවත්වාගෙන යාම අවශ්‍ය වේ, මන්ද පන්තිමය පදනමින් විසඳීමක් සිදු වුවහොත් — එනම් ධනපති රාජ්‍යයට එරෙහිව සිංහල සහ දෙමළ ශ්‍රම වගුරන ජනතාවගේ එකමුතුව ගොඩනැගුණහොත් — එය වාර්ගිකවාදී ව්‍යාපෘති දෙකෙහිම බංකොලොත්භාවය හෙළිදරව් කරමින්, ධනපති පන්ති දෙකෙහිම වරප්‍රසාදවලට තර්ජනයක් වන බැවිනි.
ඉඩම් ප්රශ්නය
මෙම ඉඩම් දෙමළ ජනතාව විසින් ගව පාලනය සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කරන ලද ඉඩම් ය. එම ඓතිහාසික සත්‍යය පිළිගත යුතුය. එය දෙමළ ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වල කොටසක් වන අතර, මහවැලි ‘බී’ කලාපීය අත්පත් කර ගැනීම් හරහා, සිංහල වගාකරුවන් පදිංචි කිරීම හරහා, පොලීසි සහ අධිකරණවල අනුබලය හරහා රාජ්‍යය එම ඉඩම්වලට ආක්රමණික ලෙස ඇතුළු වීම එම අයිතිවාසිකම්වලට එල්ල කරන ලද ප්රහාරයකි. මයිලත්තමඩු සහ මාධවනයි යන ප්‍රදේශවල දෙමළ ගව පාලකයන් “අනඅවසරයෙන් අතුලු වූවන්” (encroachers) නොවේ; ඔවුන් මෙම තණබිම්වල සාම්ප්‍රදායික පරිශීලකයන් වන අතර, ඔවුන්ගේ අයිතීන් අහිමි කිරීම රාජ්‍යයේ අපරාධයකි.
නමුත් දෙමළ ජනතාවට තම ජාතිකත්වය (nationality) නිසාම පමණක් ඉඩම් පිළිබඳ පූර්ණ අයිතිය හිමි වන බව ප්‍රකාශ කිරීම වැරදිය. මාක්ස්වාදී ස්ථාවරය නිශ්චිත ය: දෙමළ ගව පාලකයන්ට තම පශු සම්පත සඳහා සාම්ප්‍රදායිකව භාවිතා කළ ඉඩම් සඳහා අනුලංඝනීය ප්රජාතන්ත්රවාදී අයිතියක් ඇති නමුත්, එය භාවිතයේ සහ ඓතිහාසික වාස භූමියේ අයිතියක් (habitation) මිස ජනවාර්ගිකත්වයෙන් ගලන බහිෂ්කාරක/ අනන්‍ය වූ හිමිකාරිත්වයේ අයිතියක් නොවේ. ඉඩම් ප්රශ්නය ජනවාර්ගික කෝණයකින් විසඳිය නොහැක. මෙම ඉඩම් දෙමළ තණබිම් ලෙස පමණක් ගැසට් කරන ලෙස දෙමළ ජාතිකවාදීන් කරන ඉල්ලීමත්, එය සිංහල පදිංචිකරුවන්ට විවෘත කරන ලෙස සිංහල ස්වෝත්තමවාදීන් කරන ඉල්ලීමත් එකම ප්රතිගාමී කාසියක දෙපැත්තයි. දෙපාර්ශ්වයම සැබෑ ආර්ථික ප්රශ්නය වෙනුවට ජනවාර්ගික හිමිකම් ආදේශ කරති: එනම්, කිරි ගොවීන් සහ හේන් වගාකරුවන් අතර ඉඩම් බෙදා හරින්නේ කෙසේද, සහ දෙපිරිසේම නිෂ්පාදන අවශ්‍යතා සපුරාලන්නේ කෙසේද යන්නයි.
පුරාවිද්‍යාත්මක ස්ථාන සහ ජනපදකරණ යෝජනාක්‍රම සඳහා ද අදාළ වන්නේ මෙම මූලධර්මයමය: ඓතිහාසිකව පීඩාවට පත් වූ ජනතාවකට තමුන්ගේ සාම්ප්‍රදායික ඉඩම් (traditional lands) සහ ජනාවාස ප්‍රදේශ (neighbourhoods) සඳහා ඇති ප්රජාතන්ත්රවාදී අයිතිය අනුලංඝනීය වේ. නමුත් එම අයිතිය ජනවාර්ගික බහිෂ්කාරකත්වයේ/පරම හිමිකම් පෑමක් නොවන අතර දෙමළ ජාතිකවාදීන්ගේ [සිංහල ස්වෝත්තමවාදයට එරෙහිව පිහිටුවන] ප්රතිබිම්බමය වාර්ගිකවාදය (mirror-image communalism) හරහා එය ඉදිරියට ගෙන යා නොහැක. තණබිම් අහිමි වූ දෙමළ ගව පාලකයා සහ ජලය සහ පොහොර අහිමි වූ සිංහල වගාකරු එකම පද්ධතියේ ගොදුරු වේ. අනෙකාගේ සහයෝගයෙන් මිස දෙදෙනාගෙන් කිසිවෙකුටත් තමුන්ගේ ජීවනෝපාය තහවුරු කර ගත නොහැක. ඉඩම් ප්‍රශ්නයට විසඳුම ඇත්තේ දෙපාර්ශ්වයේම වාර්ගිකවාදීන් (communalists) විසින් නිර්මාණය කරන ලද ජනවාර්ගික තරඟය තුළ නොව, [සම්පත්] හිඟය නිර්මාණය කර පසුව එය සූරා කෑ ධනපති රාජ්‍යයට එරෙහිව ප්‍රජාවන් දෙකෙහිම ශ්‍රම වගුරන ජනතාවගේ පොදු අරගලය තුළ ය.
ඉදිරි මාවත
ආණ්ඩුවට හෝ සිංහල ස්වෝත්තමවාදීන්ට හෝ දෙමළ වාර්ගිකවාදීන්ට මෙම ප්රශ්නය නිවැරදි ආකාරයෙන් දැකීමට හෝ විසඳීමට හැකියාවක් නැත. විසඳුම ඇත්තේ වාර්ගික සීමාවන්ගෙන් ඔබ්බට ගොස් ග්‍රාමීය ශ්‍රම වගුරන ජනතාවම ස්වාධීනව සංවිධානය වීම තුළ ය.
පළමුව, කෘෂිකාර්මික ඉඩම් සාධාරණ ලෙස බෙදා හැරීම සඳහා සාකච්ඡා කිරීමට සිංහල සහ දෙමළ ගොවීන්ගේ ස්වාධීන කමිටු—රාජ්‍යය හෝ වාර්ගිකවාදී පක්ෂ නොවේ—ඉදිරිපත් විය යුතුය. සැබෑ ආර්ථික ආරවුලට විසඳුම් සෙවිය හැකි එකම යාන්ත්‍රණය මෙයයි, මන්ද ගොවීන් සතුරු ජනවාර්ගික ප්රජාවන්ගේ සාමාජිකයන් ලෙස නොව පොදු අභිලාෂයන් සහිත නිෂ්පාදකයන් ලෙස එකිනෙකා හමුවන එකම යාන්ත්‍රණය එය වන බැවිනි. නමුත් සැබෑ ලෙසම මෙම කමිටු යනු මොනවාදැයි තේරුම් ගත යුතුය: එනම් හුදෙක් තාවකාලික සාකච්ඡා-කේවල් කිරීමේ මණ්ඩප හැටියට නොව, ජනතා බලයේ කළල ස්වරූපයේ ස්වාධීන සංවිධාන ලෙසය. ඒවා තුළ, ශ්‍රම වගුරන ජනතාව ධනපති රාජ්‍යයට සහ එහි වාර්ගිකවාදී යාන්ත්රණයට පිටතින් සහ ඊට එරෙහිව තමුන් වෙනුවෙන් කෙළින්ම බලය යෙදවීමට—සාකච්ඡා කිරීමට, තීරණය කිරීමට සහ ක්‍රියා කිරීමට—පටන් ගනිති.
මෙය සෝවියට් (Soviet) රූපයේ ප්‍රාථමික, නොදියුණු ප්රකාශනයයි: එනම් පාලක පන්තිය විසින් වගා කරන ජනවාර්ගික සහ ආගමික බෙදීම් කපා හරිමින්, නව රාජ්‍ය බලයක බීජය අන්තර්ගත කරන, සූරාකෑමට ලක්වූවන්ගේ ස්වයං-සංවිධානය වීමයි. 1917 රුසියානු විප්ලවයේ කේන්ද්‍රීය පාඩම වන “සියලු බලය සෝවියට් සභාවලට” (“all power to the soviets”) යන මූලධර්මයෙන් අදහස් වන්නේ හරියටම මෙයයි: එනම් ධනපති රාජ්‍යය නොව, කම්කරු පන්තියේ සහ ශ්‍රම වගුරන ජනතාවගේ ස්වාධීන සංවිධාන ව්‍යුහයන් දේශපාලන බලයේ පදනම විය යුතුය. ඉඩම්, ජලය, පොහොර, ගබඩා පහසුකම්, සත්ව ආහාර සහ යහපත් ජීවන තත්වයන් සඳහා ආණ්ඩුවට එරෙහිව අරගලයේදී එක්සත් වූ සිංහල සහ දෙමළ ගොවීන්ගේ කමිටු, එම අරමුණ කරා යන පළමු පියවරයි. ඒවායේ වර්ධනය—ගමෙන් දිස්ත්‍රික්කයට, පිටිසරින් නගරයට ඒවා ව්‍යාප්ත වීම, කාර්මික කම්කරු පන්තියේ ස්වාධීන කමිටු සමඟ ඒවා ඒකාබද්ධ වීම—යනු ගොවි ප්රශ්නය සහ ජාතික ප්රශ්නය විසඳිය හැකි මාවතයි. තම ස්වාධීන සංවිධාන තුළ සංවිධානය වූ ශ්‍රම වගුරන ජනතාවන් දේශපාලන බලය තම අතට ගත් විට පමණක් ඉඩම් ප්රශ්නය ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී පදනමක් මත විසඳා ගත හැකි අතර, එය සූරාකන වර්ගවාදී දේශපාලනය අවසාන වශයෙන් අහෝසි කළ හැකිය.
දෙවනුව, අවශ්‍ය පහසුකම්—ජලය, පොහොර, ගබඩා පහසුකම්, සත්ව ආහාර සහ යහපත් ජීවන තත්වයන්—සඳහා ගොවීන් [ගව පාලකයන්ද ඇතුළු] ධනපති ආණ්ඩුවට එරෙහිව පොදු අරගලයක් ගෙන යා යුතුය. ඉඩම් ආරවුල යනු අවසාන වශයෙන් කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන බලවේග වර්ධනය කිරීමට රාජ්‍යය අසමත් වීම සහ ඉඩම් වාර්ගිකවාදී දේශපාලනයේ මෙවලමක් ලෙස භාවිතා කිරීමේ ප්රතිඵලයකි. ගොවීන්ගේ සැබෑ සතුරා එකිනෙකා නොව, හිඟය නිර්මාණය කර පසුව එය සූරා කෑ ධනපති රාජ්‍යයයි. සිංහල සහ දෙමළ ශ්‍රම වගුරන්නන්ගේ එකමුතුව ගොඩනඟනු ලබන්නේ ස්වෝත්තමවාදීන් විසින් නිර්මාණය කරන ලද වාර්ගික තරඟය නොව—මෙම අරගලයයි. මන්ද, ප්‍රජාවන් දෙකෙහිම ගොවීන් තමුන්ගේ අභිලාෂයන් සමාන බව ප්රායෝගිකවම සොයාගන්නේ තම පොදු පීඩකයාට එරෙහි සටනේදී පමණි: එනම් තණබිම් අහිමි වූ දෙමළ ගව පාලකයා සහ ජලය සහ පොහොර අහිමි වූ සිංහල වගාකරු එකම පද්ධතියේ ගොදුරු බවත්, අනෙකාගේ සහයෝගයෙන් මිස දෙදෙනාගෙන් කිසිවෙකුටත් තමුන්ගේ ජීවනෝපාය තහවුරු කර ගත නොහැකි බවත් ය. ස්වාධීන කමිටු යනු මෙම සොයාගැනීමේ මෙවලමයි. ඒවා හරහා ගොවීන් තම පොදු ඉල්ලීම් සූත්රගත කළ යුතුය, තම පොදු ක්‍රියාමාර්ග සංවිධානය කළ යුතුය, සහ එක්සත් බලවේගයක් ලෙස රාජ්‍යයට මුහුණ දිය යුතුය—ඒ, ආණ්ඩුවේ, සිංහල ස්වෝත්තමවාදීන්ගේ හෝ දෙමළ ජාතිකවාදී පක්ෂවල වාර්ගිකවාදී ප්රකෝපකිරීම්වලින් බෙදී ගැනීම ප්‍රතික්ෂේප කරමින් ය.
තෙවනුව, කම්කරු පන්තිය ගොවීන්ට සහයෝගය දිය යුතු අතර නායකත්වය ගත යුතුය. ගොවි ප්රශ්නය සහ ජාතික ප්රශ්නය ගොවිජනතාවට හෝ සුළු-ධනපති පන්තියට පමණක් විසඳිය නොහැක. ඒවා විසඳිය හැක්කේ සමාජවාදී වැඩපිළිවෙළක් මත ග්‍රාමීය ශ්‍රම වගුරන ජනතාව මෙහෙයවමින් කම්කරු පන්තිය විසින් දේශපාලන බලය ලබා ගැනීම සඳහා කරනු ලබන අරගලය හරහා පමණි. ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ (Trotsky’s Theory of Permanent Revolution) හරය මෙයයි: එනම් ඉඩම් ප්රශ්නය සහ ජාතික ප්රශ්නය ඇතුළු ප්රජාතන්ත්රවාදී කාර්යයන් විසඳීමට ධනපති පන්තියට ඵෙයින්ද්රියවම හැකියාවක් නැත, එබැවින් මෙම කාර්යයන් පැටවෙන්නේ කම්කරු පන්තිය මතට ය.
කම්කරු පන්තිය දේශපාලන බලය සඳහා—කම්කරු හා ගොවි ආණ්ඩුවක් පිහිටුවීම සඳහා—සටන් කළ යුතුය; මන්ද, ඉඩම් ප්රශ්නය, ජාතික ප්රශ්නය සහ අනෙකුත් සියලුම ප්රජාතන්ත්රවාදී කාර්යයන් විසඳිය හැක්කේ රාජ්‍ය බලය අත්පත් කර ගැනීමෙන් පමණක් බැවිනි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA), theSocialist.lk සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) ඉදිරිපත් කරන ඉදිරිදර්ශනය මෙයයි: එනම් කම්කරු හා ගොවි ආණ්ඩුවක්, සියලුම ප්රජාවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ, උතුර සහ නැගෙනහිර ඉඩම් ආරවුල් සහ ඒවා ගසාකන වාර්ගිකවාදී දේශපාලනය අවසාන වශයෙන් විසඳිය හැකි එකම පදනම ලෙස සමාජය සමාජවාදී ලෙස පරිවර්තනය කිරීම.
