කටුවන සමූලඝාතනය: වසර 36ක බිය ගැන්වීම්වලින් සහ අඛණ්ඩ දණ්ඩමුක්තියකින් පසු ඥාතීහු වින්දිතයන් අනුස්මරණය කරති

අපගේ වාර්තාකරු විසිනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් 2025 සැප්තැම්බර් 05 දින thesocialist.lk හි පල විය. 

Commemoration
කටුවන සමූලඝාතනයේ වින්දිතයන් – දකුණේ සිට: සිසිලියානා, එඩ්වින්, නිල්මිණි, මතගලතා, සුජිතසීලි, චන්ද්‍රලේකා සහ නිරංජලා. 1990 දී ඝාතනය වූ චූලානන්ද, වමේ සිට මුලින්ම.

අගෝස්තු 27 වන දින, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන දී, 1989 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකා හමුදාව විසින් සමූලඝාතනය කරන ලද පවුලේ සාමාජිකයින් හත් දෙනාගේ ඥාතීන් විසින් ඔවුන්ව බෝම්බ ප්‍රහාරයට ලක් කරන ලද එම ස්ථානයේම, තම ආදරණීයයන් සැමරීමේ අවස්ථාවක් පවත්වන ලදී. වසර 36ක් අපරාධකරුවන්ට ලැබුනු දණ්ඩමුක්ති‍යකින් සහ වින්දිතයින්ගේ ඥාතීන්ට එරෙහි පීඩනයෙන් පසු රාජ්‍ය භීෂණයට ගොදුරු වූ මෙම වින්දිතයන් අනුස්මරණය කරමින් සැමරුම් උත්සවයක් පැවැත්වූ පළමු අවස්ථාව මෙය විය. theSocialist.lk වාර්තාකරුවෝ මෙම අවස්ථාවට එක් වූහ.

දශක තුනහමාරකට සහ තවත් වසරකට පෙර,  ඒ මාරක රාත්‍රියේදී, ශ්‍රී ලංකා හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ  6 වැනි බලඇණිය එම පවුලේ නිවස ආක්‍රමණය කළේය. එම අවස්ථාවේ නිවසේ සිටි එකම පිරිමියා වූයේ සිංහල පාරම්පරික වෛද්‍යවරයෙක් වූ 63 හැවිරිදි  ජේ.එච්.ඒ. එඩ්වින් පියා ය. අනෙක් අය වූයේ 53 හැවිරිදි මව වන එච්.ඒ. සිසිලියානා, තරුණ දියණියන් තිදෙනා වූ, ජේ.එච්.ඒ. නිල්මිණි අශෝකා (25), ජේ.එච්.ඒ. මතඟලතා (20), ජේ.එච්.ඒ. සුජිතසීලි (15), ඥාති දියණියක් වූ ඩබ්ලිව්.ඒ.චන්ද්‍රලේකා (24) සහ 6 හැවිරිදි මිනිබිරිය වූ එන්.ඒ.නිරංජලා විල්සන්ය. සියල්ලෝම සිංහල වාර්ගිකයෝ වූහ. හමුදාව ඔවුන් සියල්ලන්ම එම ස්ථානයේදීම මරා දැමුවේය, නැතහොත් (පසුව මරා දැමූනු ලැබූ) සමහර සාක්ෂිකරුවන්ට අනුව, තරුණ ගැහැණු ළමයින් හතරදෙනා හමුදා කඳවුරට ගෙන ගොස් දින තුනක් දූෂණය කර මරා දමන ලදී. නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර නිවස සමඟ පවුලම දවා ලනු ලැබූහ.

ඥාතීන් තම ආදරණීයයන්ගේ පින්තූර ප්‍රදර්ශනය කර ඉටිපන්දම් දැල් වූහ. දිවි ගලවා ගත් දියණියන් දෙදෙනෙක්, ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්, මුණුබුරන් සහ ඔවුන්ගේ පවුල් සහ මිතුරන් විනාඩි කිහිපයක නිශ්ශබ්දතාවයක් පැවැත් වූහ. දශක ගණනාවකට පසුවත් ඔවුන්ගේ කඳුළු වියළී නොතිබුණි. එඩ්වින්ගේ මුණුබුරෙකු වන විමුක්ති මෙසේ සභාව ඇමතීය: 

දිගු වසර 36 ක් තිස්සේ, ඔවුන්ගේ මතකය සැමරීම සඳහා අපට මෙම ඓතිහාසික අවස්ථාව උදා කර ගැනීමට නොහැකි විය. අපට මෙහි පැමිණීමට, ඔවුන්ගේ නම් හඬ ගා කීමට සහ විවෘතව ශෝකය පල කිරීමට අපට නොහැකි විය. භීෂණ තත්ත්වය, මර්දනයේ වාතාවරණය සහ සත්‍යය සහ යුක්තිය සොයන මිනිසුන්ට එරෙහිව අඛණ්ඩව පැවති තර්ජනය අප වැනි පවුල් නිහඬ කළේය. නමුත් නිහඬතාවය යනු අමතක කිරීම නොවේ. මේ වසර ගණනාව අපගේ ශෝකය ගැඹුරු කර ඇති අතර අපගේ අධිෂ්ඨානය ශක්තිමත් කර ඇත.

අද අපි ඒ නිහඬතාවය බිඳ දමමු…ඒවා ක්‍රියාත්මක කළ හමුදාව, ඝාතක කණ්ඩායම් සහ පොලිසියේ සිට ඒවා මෙහෙයවූ දේශපාලන අධිකාරියේ අය දක්වා, නීතිය ඉදිරියේ නොවේ නම්, ඉතිහාසය ඉදිරියේ වගවීමට ලක්කල  යුතුය.

අපේ ඥාතීන්ගේ රුධිරය කෑගසන්නේ පළිගැනීම සඳහා නොව සත්‍යය හා යුක්තිය සඳහා ය. මෙම ජීවිත වැදගත් බවත්, දුප්පතුන්, ගම්වැසියන්, එම වසරවල මරා දැමූ අහිංසක මිනිසුන්, ගැහැනුන් සහ තරුණයින්ගේ ජීවිත ගෞරවනීය බව පිළිගැනීම සඳහා එය කෑගසයි.

මෙවැනි අපරාධ නැවත කිසිදා සිදු නොවිය යුතු බවට විරෝධය පළ කිරීමේ ගැඹුරු සලකුණක් ලෙස අපි ඔබේ නම් සහ ඔබට එල්ල කරන ලද කෲරත්වයන් පිලිබද මතකය ඉදිරියට ගෙන යන්නෙමු.

සත්‍යය, යුක්තිය සහ ගෞරවය වෙනුවෙන් සහ රාජ්‍ය මර්දනයට එරෙහිව සටන් කරන සැමට ඔබේ මතකය ධෛර්යය ලබා දෙනු ඇත.”

එඩ්වින් සහ සිසිලියානාගේ එකම පුත්‍රයා වූ ජේ.එච්.ඒ. චූලානන්ද (22)ගේ නම  සඳහන් කරමින්, ඔහු “යුක්තිය සහ සමාජ සමානාත්මතාවය අපේක්ෂා කළ නමුත් යුගයේ ප්‍රතිගාමී දේශපාලන බලවේග විසින් නොමඟ යවන ලද තරුණයෙක්” බවත්, 1990 ඔක්තෝම්බර් මාසයේදී බෙලිඅත්ත පොලිසිය විසින් ඝාතනය කරන ලද බවත් හෙතෙම ප්‍රකාශ කළේය. චූලානන්ද, 1988-1990 කාලය තුල, ෆැසිස්ට් ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු වූ බව පැවසේ. කරුනු පැහැදිලි කරන්නේ, ඔහුව අල්ලා ගැනීමට හෝ මරා දැමීමට අපොහොසත් වූ කළ, හමුදාව, පළිගැනීමේ හා ත්‍රස්ත ගැන්වීමේ ක්‍රියාවක් ලෙස, ඔහුගේ මුළු පවුලම සමූලඝාතනය කිරීම සැලසුම් කරන ලද බවයි. 

Katuwana massacre commemoration
කටුවන සමූලඝාතනයට ගොදුරු වූවන්ගේ පවුල්වල සාමාජිකයෝ දණ්ඩමුක්තියේ වසර 36 සනිටුහන් කරමින් තම ආදරණීයයන් අනුස්මරණය කරති.


සාක්ෂි

මරා දැමුනු අයගේ ඥාතීන් සමඟ අපි කතා කළෙමු. එඩ්වින්ගේ වැඩිමහල් දියණිය චාන්දනී (63) වසර ගණනාවක වේදනාව, විඳදරාගැනීම සහ ජීවන අරගලය පිළිබඳ ඇගේ දුක්බර කතාව අප සමඟ මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තට මිනිස්සු කිව්වේ වෙද මහත්තයා කියලා. මිනිස්සු ගොඩක් ඔහුට ආදරේ කළා. ඔහු හරිම අහිංසක, කරුණාවන්ත, අවංක මනුස්සයෙක්. ඔහු අවිද්දෙ හෙමින්,  මුහුන ප්‍රියමනාප හිනාවකින් පිරී තිබුනා, මෘදුව කතා කළා, සරමයි ජාතික ඇඳුමයි ඇඳලා හිටියේ. ඉස්සර පැවිදි වෙලා ආයුර්වේද පොත් ගණනාවක් පළ කරලා තිබුණා. ඔහුගෙන් ඖෂධ ප්‍රතිකාර ලැබූ බොහෝ දෙනෙක් මා හමුවී මගේ පියානන්ගෙන් සහ මවගෙන් ලැබුණු දයානුකම්පිත සහ, බොහෝ විට නොමිලේ වූ ප්‍රතිකාර ගැන මට පැවසූවා.

අපේ පවුල දුවලා හය දෙනෙක්ගෙන් වූ ලොකු පවුලක්, මගේ සහෝදරයා චූලානන්ද එකම පුතා. අපේ පවුලේ ආර්ථිකය යැපුනේ මගේ පියාගේ ආයුර්වේද වෙදකමෙන් ලැබෙන සොච්චම්, නමුත් ස්ථාවර ඉපැයීම් මතයි. අපිට කුඹුරු ඉඩම් සහ අක්කර ගාණක පොල්, කුරුඳු, හා පැඟිරි ඉඩම් තිබුණා; ඒවා තාත්තා වගා කරලා කළමනාකරණය කළා. මගේ පියා ජයගත් නමුත්, ඒ ඉඩම් පිළිබඳ නඩු හබ නිසා ඔහුට මූල්‍යමය වශයෙන් අලාභ වුනා වගේම ඔහුගේ ව්‍යාපාර කඩා වැටුණා.  අපි හැමෝම ජීවත් වුණේ වරිච්චි ගහල මැටි වලින් හදපු ගෙදරක. කොහොම වුණත්, අපි හැමෝටම හොඳට කන්න දෙන්න, අපිට උගන්වන්න, අසරණ අයට උදව් කරන්න මගේ තාත්තාට තවමත් හැකියාව තිබුණා. 

1971 වන විට මගේ පියා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රබල ආධාරකරුවෙක් වුනා. කෙසේ වෙතත්, 1977 වන විට, ඔහු සමඟි පෙරමුණු ආණ්ඩුව එපා වී, අතෘප්තියට පත් වී එක්සත් ජාතික පක්ෂයට ඡන්දය දුන්නා. එහි නායක ජේ.ආර්.ජයවර්ධන “ධර්මිෂ්ඨ සමාජයක්” පොරොන්දු වුණා.  

අපි හැමෝම ගියේ කටුවන මහා විද්‍යාලයට. මගේ මල්ලී හතේ ශ්‍රේණියෙන් පසු අධ්‍යාපන කටයුතු කරගෙන ගියේ නැහැ. ඔහු ඉතා කාරුණික හා සමාජශීලී තරුණයෙක්. ගම්වැසියන්ට බොහෝ උපකාර කළා. ඔහු තම පවුලේ අයට වඩා තම මිතුරන් සහ අසල්වැසියන් ගැන සැලකිලිමත් වුනා. බොහෝ විට ඔහු නිවසේ සිටි කාලයට වඩා වැඩි කාලයක් නිවසින් බැහැරව සිටියා. ඔහුගේ කැපී පෙනෙන හා බුද්ධිමත් ස්වභාවයත්, සිත් ඇදගන්නා පෙනුමත් නිසා ස්වභාවිකවම තරුණයින් ඔහුව ඔවුන්ගේ නායකයා ලෙස සැලකූවා. ඔහුට රැකියාවක් කිරීමට අවශ්‍ය වූ නමුත් ගම හැර යාමට ඔහුට අවශ්‍ය නොවීය. මම හිතන්නේ ඔහු 1987 අගභාගයේ සිටම ජනතා විමුක්ති පෙරමුණ සමඟ සම්බන්ධකම් ඇතිකරගෙන තිබුණා. 

මගේ සහෝදරයා ගමේ මැරයන්ගේ සහ පියාගේ හිටපු විරුද්ධවාදීන්ගේ උදහසට ලක්ව සිටියා. වරක් ඔවුන් හෙල්ලයෙන් ඇන ඔහුගේ ජීවිතය නැති කිරීමට පවා උත්සාහ කළා. ඔහු යන්තම් දිවි ගලවා ගත් නමුත් ඔහුගේ මිතුරා තුවාල ලබා මිය ගියා. 

1979 දී මම ගුරුවරයෙක් සමඟ විවාහ වී වෙනම ජීවත් වුණා. මගේ වැඩිමහල් සහෝදරියක් (ඉන්දුමතී) පසුව පොලිස් නිලධාරියෙකු සමඟ විවාහ වී 1989 මුල් භාගයේදී වැලිමඩ පදිංචියට ගියා. අනෙක් සියලුම සහෝදරියන් මගේ දෙමව්පියන් සමග මහගෙදර ජීවත් වුනා. බාලමයාට වැඩිමල් නංගී ‘ලොකු’ (සුජිතසීලි) සාමාන්‍ය පෙළ (සා/පෙ) විභාගයටත්, ‘හිච්චි’ (මතඟලතා) උසස් පෙළ (උ/පෙ) විභාගයටත් ඉගෙන ගනිමින් සිටියා. නීලා (නිල්මිණි) උසස් පෙළින් පසුව රැකියාවක් බලාපොරොත්තුවෙන් වෘත්තීය පුහුණු පාඨමාලාවලට සහභාගි වෙමින් සිටියා.

1989 අගෝස්තු මාසේ ඉස්කෝලේ නිවාඩු කාලේ මගේ වැඩිමල් නංගිලා දෙන්නා [නිල්මිණි සහ මතඟලතා] අපිව බලන්න වලස්මුල්ලේ [කටුවන සිට කිලෝමීටර් 17ක්] අපේ ගෙදරට ආවා. අපගේ මහගෙදර පිහිටා තිබුණෙ කටුවන ගොවි ජන සේවා මධ්‍යස්ථානය පරිශ්‍රයේ පිහිටි යුධ හමුදා කඳවුරේ සිට කිලෝමීටර් භාගයක් පමණ දුරින්. මගේ සහෝදරියන් හමුදා කඳවුර පසුකර යද්දී සමහර සොල්දාදුවන්, ‘හා…රවුමක් දාල එන්න’ යි කෑ ගසා  තිබුණා. ඒ අගෝස්තු 26 වැනි දා, සෙනසුරාදා දිනයක්. 

මගේ නංගිලා අපිත් එක්ක දවල්ට කෑවා. ඒක තමයි අපි එකට ගත්ත අන්තිම කෑම වේල. මගේ දරුවන් තිදෙනාම ඔවුන්ගේ ආච්චිලා සීයලා සහ පුංචිලා සමඟ නැවතී සිටීමට බොහෝ කැමැත්තක් දැක්වූවා. ඉතින්, තුන්දෙනාම පුංචිලා එක්ක යන්න කියලා අඬන්න ගත්තා. අන්තිමට මගේ දුව නිරංජලා එයාලා එක්ක ගියා. 

ඉස්කෝලේ නිවාඩුව ඉවර වෙන නිසා අගෝස්තු 29 වෙනිදා උදේ මගේ මහත්තයා [සැමියා] අපේ දුවව ගෙදර එක්කන් එන්න යාළුවෙක් එක්ක කටුවනට ගියා. මගේ මහත්තයා බෝම්බ දැමූ නිවස දුටුවා; මිනිස් මාංශ සහ හිස් කබලක් පිළිස්සෙනු ඔහු දුටුවා. මගේ දරුවා ඇතුළු කිසිවෙක් ජීවතුන් අතර සිටියේ නැහැ.  

සිද්ධියෙන් පසු මම වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කිරීමට ගියේ ඒ වන විට කටුවන ප්‍රදේශයේ පොලිසියක් නොතිබූ බැවිනි. පොලිසිය මගේ පැමිණිල්ල සටහන් කර ගැනීම ප්‍රතික්ෂේප කළා. ස්ථානාධිපති (OIC), කේ.එම්. ප්‍රේමතිලක එයාගේ පිස්තෝලය මගේ කටට තියලා, ‘උඹ ගෑණි, කට වහගෙන හිටපං. අවි ගත්තෝ අවියෙන් නසිති,’ කියලා කෑ ගැහුවා.

හරියටම මගේ 28 වැනි උපන්දිනය දවසේ, 1990 ඔක්තෝබර් 22 වැනිදා, බෙලිඅත්ත පොලිසියෙන් මගේ මල්ලී ඝාතනය කළා කියලා සිල්වා කියල කෙනෙක්ගෙන් මගේ මහත්තයාට තොරතුරක් ලැබුණා. මගේ මල්ලීට වෙඩි තැබූ බෙලිඅත්ත පොලිසියේ ස්ථානාධිපති දසනායක මෙම ඝාතනය පිළිබඳව ඉක්මනින්ම පළාත් සභා මන්ත්‍රී කේ. ධනපාලට දන්වා තියෙනවා. ධනපාල [ඔහු අවුරුදු කිහිපයකට පෙර මිය ගියේය] මගේ සහෝදරයාගෙන් ඔහුගේ ජීවිතයට තර්ජනයක් වේ යැයි බිය විය; නමුත් එය කිසි විටෙකත් එසේ නොවීය. ධනපාල තෘප්තිමත් කරවන්න දේහය ඔහුට පෙන්වූ පසු පොලීසිය මල්ලීගේ සිරුර ටයර් සෑයක් මත  පුලුස්සා තිබුණා.

ධනපාලටත් බොහෝ කලකට පෙර මගේ පියා සමඟ ඉඩම් ආරවුලක් තිබුනා. ඔහු මගේ පියාට එරෙහිව පවරා තිබූ නඩුවක් පැරදුණා. ධනපාල සහ අප අතර කුල භේදයක්ද  තිබුනා. මගේ පියාත්, ගමේ ඒ මුළු කොටසම පාහේත් ධනපාලගේ කුලයට වඩා උසස් කුලයකට අයත් වූවක්. ගමේ විවිධ කුලවලට අයත් මිනිසුන් ජීවත් වුනේ ‘මණ්ඩි’ [පොකුරු] හැටියට.”

චාන්දනීගේ ස්වාමිපුරුෂයා වන චමල් (69) සිය කම්පන සහගත අත්දැකීම් මෙසේ හෙලි  කළේය:

“අගෝස්තු 29 වෙනිදා උදේ මම මගේ යාළුවෙක් එක්ක එයාගේ කාර් එකේ දුවව ගෙදර එක්කන් එන්න කටුවනට ගියා. මගේ යාළුවාට ඕන වුණා ධනපාල මන්ත්‍රීව හම්බවෙලා එයාගේ අයියගෙ පුතාව වලස්මුල්ල යුද හමුදා කඳවුරෙන් නිදහස් කර ගන්න උදව්වක් ඉල්ලන්න. කටුවන යුද හමුදා කඳවුරේ මාර්ග බාධකය ළඟ හමුදාව අපේ කාර් එක නතර කළා. මගේ යාළුවා කිව්වා අපි මන්ත්‍රී තුමා හම්බ වෙන්න යනවා කියලා. ඒනිසා, අපිට යන්න දුන්නා.

අපි නිවස පිහිටි ස්ථානයට ළඟා වූ විට මට නිවස  දකින්නට ලැබුනේ නැහැ. මට පෙනුනේ දුම විතරයි. මම ළඟට ගියා. මට මගේ ඇස් අදහා ගන්න බැරි  උනා. නිවස කඩා විනාශ කර දමා සියල්ල ගිනිබත්  වෙමින් පැවතියා. ප්‍රධාන දොරට කිට්ටුව ගේ ඇතුලේ මිනිස් මාංශ පිච්චෙනවා මම දැක්කා. හිස් කබලක් පිච්චෙනවා මම දැක්කා. මට හිටගෙන ඉන්න බැරි වුණා. ගමේ එක්කෙනෙක් දෙන්නෙක් ඇවිත් මාව තදින් අල්ලගත්තා. මගේ නැන්දම්මාගේ සහෝදරියක් මා ළඟට ඇවිත් ‘කවුරුත් ජීවතුන් අතර නැහැ. හැමෝම පිච්චිලා’, කියලා කිව්වා. මම මගේ දුවගේ නම කියමින් කෑගැසුවා. පුංචිඅම්මා මට කිව්වා, ‘මහත්තයා දැන් යන්න. හමුදාව ආවොත් මහත්තයත් මරයි”. ඊට පස්සේ මගේ යාළුවා මාව කාර් එක ඇතුලට තල්ලු කරලා ආපහු ගෙදර ගෙනාවා. මම මගේ බිරිඳට හැමදේම කිව්වා. ඇය පොලොවේ හැපෙමින් වැලපුණා.

සති කිහිපයකට පසු, ධනපාලගේ මුරට හිටපු ග්‍රාම ආරක්ෂකයෙකු වූ [රජයේ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයෙක්] ගාමිණී මට කියා සිටියේ ඔහු සහ තවත් මුරකරුවෙකු අපරාධය කරන විට හමුදාව සමඟ සිටි බවත්, හමුදාවෙන් සියලු දෙනාම මරා දැමූ බවත්, ඒනිසා ඔවුන් ගැන නොසොයන ලෙසත් ය. සහෝදරියන් හතර දෙනා කටුවන හමුදා කඳවුරට ගෙන ගොස් එහි දින තුනක් දූෂණය කර වධ දී මරා දැමූ බව ඔහු මට කීවේය. වැඩි කල් යන්නට මත්තෙන් ඒ මුරකරුවන් දෙදෙනාම ඝාතනය වූ බව මට දැන ගන්නට ලැබුණා.

එම කාලය තුළම අපි පොලිස් ස්ථානවල පැමිණිලි කිරීමට උත්සාහ කළා. ඔවුන් තවමත් කිසියම් රැඳවුම් මධ්‍යස්ථානයක ජීවතුන් අතර සිටින බවට විශ්වාස කළ නිසා අපි හමුදා කඳවුරුවල පවා ඔවුන් සොයමින් සිටියා. මමත් මගේ බිරිඳත් වලස්මුල්ල පොලිසියට පැමිණිල්ලක් කරන්න ගියාම අපිව එලව ගත්තා. මගේ ඥාතීන් ගැන තොරතුරු දැන ගන්න සිංහ රෙජිමේන්තුවේ 6 වැනි බළඇණියේ කපිතාන් පී.එල්.යූ. බුද්ධදාස හමුවීමට වලස්මුල්ල හමුදා කඳවුරට යාමට පවා මම එඩිතර වුණා. ඔහු මට කිව්වා, ‘ඔවුන් ගැන හොයන්න එපා. ඒ අය ඔක්කොම මැරිලා. ඔවුන් වෙනුවෙන් පිනක් දහමක් කරන්න,’ කියලා. මම තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට (ඒඑස්පී) පැමිණිලි කිරීමට ගිය විට සහකාර පොලිස් අධිකාරී ඒකනායක මට තර්ජනය කරමින්, ‘තමුන් ගුරුවරයෙක්; මැරිච්ච මිනිස්සු ගැන සෙවීමට උත්සාහ කරන්න එපා. එසේ නොවුණහොත් තමුන්ට තමුන්ගේ ජීවිතයත් අහිමි වෙයි’, කියලා කෑ ගැසුවා.

මට මිද්දෙණිය පොලිසියට පැමිණිල්ලක් කරන්න පුළුවන් වුණේ 1994 සැප්තැම්බර් අගදී චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ජනාධිපති වුණාට පස්සේ. අතුරුදන් වූවන් පිළිබඳ ජනාධිපති කොමිසමට පැමිණිලි කරන්නත් අපට පුළුවන් වුණා. මුත්තෙට්ටුවේගම කොමිසමේ අවසන් වාර්තාවේ අපේ ඥාතීන් හත් දෙනාගේ නම් තිබෙනවා.

කෙසේ වෙතත්, 1998 න් පසු මෙම නඩුව කිසි දිනක ඉදිරියට ගියේ නැහැ. සමූල ඝාතන භූමියේ සාම්පල එකතු කර වසර හතරක් ගතවී තිබියදී, මෙම නඩුව ක්‍රමානුකූලව වළලන්නට පොලිසිය ධනපාල සමඟ හවුල් වී ඇති බව අපට දැනගන්නට ලැබුණා. 

මටත්, මගේ බිරිඳටත් විඳදරාගැනීමට සිදු වූ දිගුකාලීන මානසික කම්පනය නිසා මට ගුරුවරයෙක් ලෙස මගේ වැඩ කටයුතු අවංකව කරගෙන යාමට නොහැකි වුනා. ඒ නිසා මම අංක 44/90 චක්‍රලේඛය යටතේ විශ්‍රාම යාමට තීරණය කළා. ඊට පස්සේ අපේ පවුලේ තත්ත්වය නරක අතට හැරුණා. දරුවන් හතර දෙනෙකුගෙන් යුත් මගේ පවුලේ පැවැත්ම සඳහා මට අරගල කිරීමට සිදුවුණා.

චන්ද්‍රිකා එල්ටීටීඊය [දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය] සමඟ යුද්ධය නැවත ආරම්භ කළා. 1998 වන විට ශ්‍රී ලංකා හමුදාව යාපනයේ අහිංසක දෙමළ ජනතාවට කළ අපරාධ ගැන අපට දැනගන්නට ලැබුණා. ක්‍රිෂාන්ති කුමාරස්වාමි සහ ඇගේ පවුලේ අය චෙම්මනිහිදී ඝාතනය කිරීමේ සිද්ධිය අපගේ ආත්මයන් කම්පා කළා. එතකොට අපිට තේරුණා සමහර වෙලාවට අපේ පවුලට කරපු අපරාධවලට වඩා දෙමළ මිනිස්සුන්ට උතුරේ විඳවන්න සිද්ධ වෙන්න ඇති අපරාධවල තරම. පසුව, මහින්ද රාජපක්ෂ යුද්ධය දිගටම කරගෙන ගියා; ඔහුගේ සහ ඔහුගෙන් පසු සියලු රජයක්ම කුලී මිනී මරුවන් ‘රණ විරුවන්’ ලෙස වර්ණනා කළා. ඒ මුළු කාලය පුරාම අපව නිහඬ කරනු ලැබුවා.”

එකල ව්‍යාජ “මානව හිමිකම්” සටන් කරුවන් පිලිඹඳ ඔහුගේ අත්දැකීම් ගැන ද ඔහු අපට පැවසීය: 

“මගේ බිරිඳගේ අනාථ වූ බාලම සොහොයුරිය ඒ කාලය තුළ ඉගෙනුම ලබමින් අප සමඟ ජීවත් වූවා. වරක්, 1997 මුල් භාගයේදී, ඇයට රැකියාවක් සොයා දීමට උදව්වක් අපේක්ෂාවෙන් මම ඇය සමඟ මහින්ද රාජපක්ෂ හමුවීමට ඔහුගේ තංගල්ල කාල්ටන් කාර්යාලයට ගියා. මගේ දෙමව්පියන් ඩී.ඒ. රාජපක්ෂ වෙනුවෙන් වැඩ කළා; තරුණයෙකු ලෙස මම මහින්දගේ මැතිවරණ සඳහා මැතිවරණ ව්‍යාපාරයේ නියැලිලා තිබුණා. ඉතින්, මම ඔහුව පෞද්ගලිකව දැන සිටියා. ඔහුව හමුවීමට බොහෝ වේලාවක් බලා සිටීමෙන් පසු, අපි බලහත්කාරයෙන් ඔහුගේ කාමරයට ඇතුළු වී පවුලේ සමූලඝාතනයෙන් පසු අපගේ දුෂ්කර තත්වය ඔහුට දැනුම් දුන්නා. ඔහු අපට කෑ ගැසුවා: ‘බලන්න, මේ කට්ටිය ජවිපෙට වැඩ කරලා මරෝගෙන, දැන් රැකියා ගන්න මගේ උදව් ඉල්ලගෙන ඇවිත්’. මගේ නෑනා හඬා වටුනා. ඇයට ඔහුගෙන් රැකියාවක් හෝ කිසිදු උදව්වක් ලැබුණේ නැහැ.”

පවුලේ ඉතිරි වූ තවත් වැඩිමල් දියණියක් වන ඉන්දුමතී ප්‍රාදේශීය දේශපාලකයා පවුල කෙරෙහි බැඳගෙන තිබූ ද්වේශය පිළිබඳ සිය අත්දැකීම මෙසේ පැවසුවාය: 

“මගේ තාත්තා 1988 අග සහ 1989 මුල මැතිවරණවලදී එජාපයට සහය දුන් නිසා, මහ මැතිවරණයෙන් පසු, මගේ පියා මා සමඟ ගියා ධනපාල මන්ත්‍රීට කතා කිරීමට. අපේ දෙමවුපියන්ගේ නිවස තිබුණේ ඔහුගේ නිවසට යාර කිහිපයක් දුරින්. ඔහු මුල්කිරිගල ආසනයේ එවකට එක්සත් ජාතික පක්ෂ කැබිනට් අමාත්‍යවරයා වූ ආනන්ද කුලරත්නගේ බාප්පා විය. පසු කාලීනව අපට දැනගන්නට ලැබුණා මගේ සහෝදරයා ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) ක්‍රියාකාරකම්වල පූර්ණ කාලීනව නියැලී සිටි බව.  මැතිවරණවලදී ඡන්දය නොදෙන ලෙස ජවිපෙ නියෝග කර තිබුණා [දකුණු පළාතේ පළාත් සභා මැතිවරණය 1988 ජුනි මාසයේදී පැවැත්විණි]. ධනපාල හිතුවෙ ජවිපෙ සහ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය (DJV) මගින් ඔහුගේ ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව යි. කෙසේ වෙතත්, ගම්වැසියන් පවසන්නේ මගේ සහෝදරයා ගමේ කිසිවෙකුට, අපේ පවුලට ඊර්ෂ්‍යා කළ අයට පවා, හානියක් කිරීමට කිසිඳු ඉඩක් නොතැබූ බවයි. මට හෝ අපේ පවුලේ වෙනත් කිසිවෙකුට රැකියා සොයා දීම ධනපාල දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා. ‘ඔය ගෙදර ත්‍රස්තවාදියෙක් ඉන්නවා. වෙද මහත්තයා සිටියේ නැත්නම්, මෙලහකටත් ඔය ගෙදර තමුසෙලත් එක්කම අලුවෙලා ඉවරයි,’ කියල ඔහු කෑ ගැසුවා.

නමුත්, මගේ දෙමවුපියන් හෝ කිසිවකු ළඟදීම නියමිත සමූල ඝාතනයක් ගැන සිහිනෙන්වත් නොසිතුවේ, එවැනි සිදුවීම් අප මීට පෙර අසා නොතිබූ නිසයි. 

අපේ නිවසට බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට දින දෙකකට පමණ පෙර මගේ වැඩිමහල් සහෝදරිය, නීලා මට ලිපියක් එවා  කියා තිබුණේ, පෙරේදා එම ප්‍රදේශයේ හමුදාව ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ බවත්, එයින් සෙබළුන් කිහිප දෙනෙකු මිය ගිය බවත්ය. මගේ සහෝදරිය ලියල තිබුනා දැන් ඔවුන්ට ඔවුන්ගේ ජීවිතත් අනතුරේ කියලා දැනෙනවා කියලා. මම හිතන්නේ ඒ ලියුම තැපෑලට දාපු දවසෙ තමයි එයායි හිච්චියි අපේ ලොකු අක්කාව බලන්න වලස්මුල්ලේ එයාගේ ගෙදරට ගිහින්  තියෙන්නෙ. ඒ ලියුම එවනකොට අපේ හීං නංගී [සුනීතා] මාත් එක්ක මගේ ගෙදර හිටියා. ඒ නිසා ඇගේ ජීවිතය බේරුණා.”

දිවි ගලවා ගත් බාලම දියණිය සහ දැන් ගුරුවරියක් වන සුනීතා තම ආදරණීය දෙමාපියන්, තම සහෝදරයා සහ හමුදාවෙන් එල්ල වූ හිරිහැර ගැන කඳුළු සලමින් සිහිපත් කළාය:

“මගේ පියා බෝධිසත්වයෙක්. රටේ විවිධ ප්‍රදේශවල මිනිසුන් විසින් සොයනු ලැබූ දක්ෂ වෛද්‍යවරයෙකු ලෙස, සර්ප දෂ්ට කිරීම්වලින් පසු ගෙන එන ලද බොහෝ රෝගීන්ගේ ජීවිත ඔහු කොතරම් ආශ්චර්යමත් ලෙස බේරා ගත්තාද යන්න මම දුටුවා. විවිධ අනතුරු හේතුවෙන් සිදු වූ අත් පා කැඩීම් බ්ඳීම් ඔහු දක්ෂ ලෙස සුව කළ ආකාරය ද මම දුටුවා. මගේ මව මගේ පියාට පරිපූර්ණ ගැළපුමක්. දේවතාවියක් මෙන්, ඇය රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිවා රෑ කැපවී සිටියා. 

අපේ තාත්තා වෙද ග්‍රන්ථ කිහිපයක් ලියා පළ කර තිබුණා. ඒවා ලියා ඇත්තේ කවි පද ස්වරූපයෙන්. සර්ප විෂ සංහාරය I සහ II, හා බිලිඳු රෝග සංහාරය ඉතා ජනප්‍රිය වූ අතර මන්ත්‍ර ශතකය තවමත් පොත් සාප්පු වල අලෙවි වන පොතක්.

ඔහු කිසිවිටෙක කිසිවෙකුට, කෘමියෙකුටවත් හානියක් කළේ නෑ. එවැනි තේජසකින් යුත් මිනිසෙකුට ගිනි අවියක් එල්ල කර ඔහුව මරා දැමීමට යමෙකු කෙතරම් කුරිරු විය යුතු දැයි මට තේරුම් ගත නොහැකියි. මේ ලෝකය ශාප ලත් වේ!

අයියා හරිම කඩවසම් කෙනෙක්. ඔහු සෑම විටම අන් අයට උපකාර කළ අතර සහානුකම්පාවෙන් යුක්තව සිටියා. ඔහු ගමේ තරුණයන්ට නායකයෙක් වුනා. සමහර විට ගමේ තරුණයන් ඔහුව පාවා දුන්නේ ඔහු කළ වරදක් නිසා නොව කුඩා ආරවුල් සහ රණ්ඩු සරුවල්වලට අත්අඩංගුවට ගත් විට තමුන්ට බේරීමට යි.

අපේ පවුල ඝාතනයට මාස දහයකට පමණ පෙර කටුවන යුද හමුදා කඳවුරේ ප්‍රධානියා අනෙක් සොල්දාදුවන් සමඟ අපේ පැරණි නිවසට පැමිණ එදින රාත්‍රී 7.00 ට අපේ නිවස ගිනිබත් කිරීමට යන බැවින් අවශ්‍ය සියලුම බඩු බාහිරාදිය ඉවත් කර  ගන්නා  ලෙස තාත්තාට කියා සිටියා. “අපට හිංසා කරන්න එපා, මගේ පුතා වරදක් කර ඇත්නම් ඔහුට දඬුවම් කරන්න” යි කියා මගේ පියා ඔහුගෙන් ඉල්ලා සිටියා. ඒත් ඔවුන් අපේ ගෙදරට ගිනි තිබ්බා. සමූල ඝාතනය වන විට අපේ පවුල පදිංචිව සිටි රුක්මල්පිටිය පාර අයිනේ තිබූ නිවස එම මාර්ගයේම තිබූ පැරණි නිවසට මීටර් සියයක් පමණ දුරින් පසුව ඉදිකරන ලද්දක්.

මට මතකයි රාජ්‍ය ත්‍රස්තවාදය පැවැති කාලයේ හමුදාව නිතරම අපේ ගෙදරට රිංගලා ඇතුලේ හැමතැනම සෝදිසි කළා. අපි නිතරම භීතියට පත් වුණා. ඒ අය හොඳටම දැනගෙන හිටියා මගේ අයියා ගෙදර නැති බවත්, අපේ වයසක අම්මා තාත්තා සහ අපි ගෑනු ළමයි විතරයි එතන හිටියේ කියලා. ඒ අය අපෙන් අයියා ගැන ප්‍රශ්න කරලා පොත්පත් පවා හෙව්වා. සමහර වෙලාවට අපි නිදාගෙන ඉද්දි රෑ මැදියමේ පවා ඒ අය කඩා වැදුනා. ඉන් පස්සෙ භූමිතෙල් ලාම්පු නිවන්න කියලා,  එහේ මෙහේ  හොයනවා.”

ක්‍රමානුකූල ඝාතන රැල්ලක් 

දකුණේ සහ උතුරේ, ශ්‍රී ලංකාවේ පාලක ප්‍රභූව, ධනේශ්වර පාලනයට දේශපාලන දක්ෂිනාංශයෙන් එල්ල විය හැකි තර්ජනය  තුරන් කිරීමට හා, සියල්ලටත් වඩා, අහිංසක ග්‍රාමීය දුප්පතුන්ට හා පීඩිතයන්ට එරෙහිව, මිලිටරිය සහ පොලිසිය, ඝාතක කල්ලි, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සහ හදිසි අවස්ථා රෙගුලාසි යන රාජ්‍යයේ සම්පූර්ණ යාන්ත්‍රණය දිගේලි කළේය. එම කාලපරිච්ඡේදය තුළ සිදු වූ මහා පරිමාණ අතුරුදන්වීම්වලට හේතු සූත්‍රගත කරමින්, 1997 දෙසැම්බර් මස ආසියානු මානව හිමිකම් කොමිෂන් සභා වාර්තාව (AHRC) මෙසේ ප්‍රකාශ කළේය:

 “හදිසි අවස්ථා රෙගුලාසි යටතේ, නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට තිබූ සියලු සීමාවන් ඉවත් කරන ලද අතර, මළ සිරුරු බැහැර කිරීමේ බලය මෙම නිලධාරීන්ගේ තනි අභිමතයට පවරන ලදී. අධිකරණ අධීක්ෂණය අත්හිටුවන ලදී. බැහැර කරන ලද සිරුරු පිළිබඳ වාර්තා තබා ගැනීමට පවා ප්‍රතිපාදන නොතිබුණි.”

එම වාර්තාවේ වැඩිදුරටත් මෙසේද සඳහන් විය:

“අතුරුදහන් කිරීම් ඉතා හිතාමතාම සැලසුම් කළ ප්‍රතිපත්තියක ප්‍රතිඵලයක් වූ අතර සැලැස්මකට අනුව ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීමට, මරා දැමීමට සහ මළ සිරුරු බැහැර කිරීමට උපදෙස් ලැබුණි. හදිසි අවස්ථා රෙගුලාසි පැනවීමෙන් මෙය නීත්‍යානුකූලව කළ හැකි විය. ඝාතන සිදු කිරීමට පොලිසියට නිරන්තරයෙන් පුහුණුව ලබා දුන් අතර, එක් එක් ප්‍රදේශයේ කොපමණ සංඛ්‍යාවක් මරා දැමිය යුතුද යන්න අධීක්ෂණය කිරීමේ ක්‍රම තිබුණි. ඝාතක කණ්ඩායම් සඳහා මුදල් බෙදා හැරීම හරහා දිරි දීමනා ලබා දෙන ලදී. 

එවැනි ක්‍රියාකාරකම්වලට සහභාගී වීමට හිතකර මනෝභාවයකින් තබා ගැනීම සඳහා මෙම කණ්ඩායම්වලට මත්පැන් ද ලබා දෙන ලදී. මරා දැමීමට නියමිත අයගේ ලැයිස්තු බෙදා හරින ලදී. ප්‍රශ්න කිරීම සඳහා විශේෂ ස්ථානවල විශේෂ ප්‍රශ්න කිරීම් පවත්වන ලදී. බොහෝ අවස්ථාවන්හිදී, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර මරා දැමීමට තීරණය කරන ලද අතර, මෙම ස්ථානවල රහසිගත වටපිටාව තුළ මිනිසුන් ඝාතනය කරන ලදී. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් මෙම ක්‍රියාකාරකම් සිදු කිරීමේදී නීති විරෝධී කන්ඩායම් සමඟ මිශ්‍ර විය. දේශපාලනඥයින්ගේ අභිමතයන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි මෙම කණ්ඩායම් වෙත දේශපාලනඥයින්ට සෘජු ප්‍රවේශය ලබා දෙන ලදී.”

කොමිෂන් සභා වාර්තාව සහ වළ දැමූ ලැයිස්තු

1988 ජනවාරි 1 න් පසු පුද්ගලයන් බලහත්කාරයෙන් ඉවත් කිරීම හෝ අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා 1994 නොවැම්බරයේදී ජනාධිපති කුමාරතුංග විසින් ජනාධිපති කොමිෂන් සභා තුනක් පත් කරන ලදී. මනෝරි මුත්තෙටුවේගමගේ සභාපතිත්වයෙන් යුත් කොමිසම බස්නාහිර, දකුණ සහ සබරගමුව පළාත්වල සිදුවීම් පිළිබඳව සොයා බලන ලදී.

එවකට කටුවන යුද හමුදා කඳවුරට අනුයුක්තව සිටි නිලධාරීන් පිළිබඳ තොරතුරු ලබා දෙන ලෙස කොමිෂන් සභාව කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් 1997 ජුනි 30 වැනි දින යුද හමුදාව ඔවුන්ගේ වාර්තාවල ‘සඳහන්ව නොමැත’ යනුවෙන් පිළිතුරු දුන්නේය. මෙය අනෙක් බොහෝ කඳවුරු සම්බන්ඳයෙන් ප්‍රතිචාර වශයෙන් ලබා දුන් පිළිතුරම විය. එම තොරතුරු හමුදාවෙන් ලබා ගැනීමට කොමිසම වැඩිදුර පියවර ගත්තේ නැත.

මෙම අපරාධ සිදු කළ බව කියන අපරාධකරුවන් කොමිසමේ නිර්දේශවලින්ම ආරක්ෂා විය. කොමිසම “සාක්ෂිකරුවන්ගේ චෝදනාවලට පදනම් වූ තොරතුරු සහ කරුණු මූලික වශයෙන් විශ්වාස කළ හැකි” බව සොයා ගත් නමුත්, එය එසේ වුවද, වැඩිදුර විමර්ශන සිදු කරන තුරු, “අප විසින් වෙනම ආවරණයක් යටතේ එවනු ලබන බලහත්කාරයෙන් ඉවත් කිරීම් හෝ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් වගකිව යුතු යැයි චෝදනා ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තු ප්‍රකාශයට පත් නොකරන ලෙස අපි නිර්දේශ කරමු,” යි කියා සිටියේය. කුමාරතුංගගේ ආන්ඩුව හෝ අනුප්‍රාප්තික ආන්ඩු විසින් එවැනි “වැඩිදුර විමර්ශන” කිසිවිටෙක සිදු නොකළ අතර, එමගින් අපරාධකරුවන්ට ජීවිතාන්තය දක්වා දණ්ඩමුක්තිය සහ වැඩිදුර අපරාධ කිරීම සඳහා ආරක්ෂාව ලබා දුන්නේය. අද දක්වාම, මෙම රහස්‍ය ලැයිස්තු සහ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි මහජනතාවට අනාවරණය කර නොමැත.

ධනේශ්වර ඒකීය රාජ්‍යය සහ මූල්‍ය ප්‍රාග්ධනයේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා පසුව උතුරේ සහ නැගෙනහිර ජනවාර්ගික දෙමළ ජනතාවට එරෙහිව ඉදිරියට ගෙන ගිය දකුණේ ප්‍රතිකැරැල්ල සමයේ ක්‍රියාත්මක කළ ආන්ඩුවේ මර්දන ප්‍රතිපත්තිවල පන්ති ස්වභාවය theSocialist.lk පෙන්වා දී ඇත

පරපෝෂිත රාජ්‍යය, එහි මිලිටරිය, පොලිසිය, නීති සහ ධනේශ්වර පන්ති පාලනය අහෝසි කිරීමෙන් තොරව ධනේශ්වර රාජ්‍යයේ මෙම කුරිරුකම් වැළැක්විය නොහැකි අතර යුක්තිය ස්ථාපිත කළ නොහැක. සමාජවාදී ප්‍රතිපත්ති සඳහා දකුනු ආසියාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ අරගලයේ කොටසක් ලෙස සුලු ධනේශ්වරය සහ පීඩිත ජනතාව තම පිටුපස පෙළගස්වා ගනිමින් මේ සඳහා සටන් කිරීම කම්කරු පන්තියේ ඓතිහාසික කර්තව්‍යය යි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top