ඉරාන විරෝධතා, අධිරාජ්‍යවාදී ආක්‍රමණය සහ කම්කරු බලය සඳහා අරගලය

කීත් ජෝන්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 11 දින ‘The Iranian protests, imperialist aggression and the fight for workers’ power යන හිසින් පලවූ කීත් ජෝන්ස් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
ටෙහෙරාන් – ජන්නත් අබාද්, 2026 ජනවාරි 9: රටපුරා සිදුවන විරෝධතා මධ්‍යයේ නොසන්සුන් වාතාවරණය පිළිබිඹු කරන වීදි දර්ශනයක්, අසල්වැසි ප්‍රදේශවල මහජන නොසන්සුන්තාවයේ සහ ප්‍රතිරෝධයේ දෘශ්‍යමාන සලකුණු පවතී. Image courtesy of ncr-iran.org

ධවල මන්දිරයෙන් ඉරානයට එරෙහිව  නිකුත් වන මිලිටරි ක්‍රියාමාර්ග ගැනීමේ තර්ජන උත්සන්න වීම ලෝක සමාජවාදී වෙබ් අඩවිය හෙළා දකී. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ෆැසිස්ට්වාදී, ඒකාධිපති ජනාධිපතිවරයා- ඔහුගේම වචනවලට සහ නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට අනුව -ඉරානයට ළඟදීම දියත් කිරීමට නියමිත මිලිටරි ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී.

මෙය සියලු කඩතුරා අතරින් වඩාත්ම නරුම සහ විකාර සහගත හේතු දැක්වීමකින් අතිභූෂිත (නීරස-garish) ලෙස ඇසුරුම් කිරීමට නියමිතය : එක්සත් ජනපදය ඉරානයට පහර දෙන්නේ “ඉරාන ජනතාව ආරක්ෂා කිරීමටය”.

අවම වශයෙන් පුද්ගලයින් 80  ඝාතනය කරමින්, එහි ජනාධිපති නිකොලස් මධුරෝ පැහැරගෙන ගොස්, රටේ දැවැන්ත තෙල් සම්පත අත්පත් කර ගනිමින්, වෙනිසියුලාවට සාපරාධී ප්‍රහාරයක් එල්ල කිරීමට ට්‍රම්ප් නියෝග කිරීමෙන් යන්තම් දින කිහිපයකට පසු, ඉරානය සමඟ යුද්ධයක් ආරම්භ කිරීමට ඔහු සිටින්නේ  බොහෝ වාර්තාවලට අනුව, දින කිහිපයක් සහ සමහර විට පැය කිහිපයක පරතරයකින් පමණි. 

සෙනසුරාදා ටයිම්ස් පුවත්පත වාර්තා කළේ පෙන්ටගනය ජනාධිපති ට්‍රම්ප්ට “ටෙහෙරානයේ මිලිටරි නොවන ස්ථානවලට පහර දීම ඇතුළු විකල්ප පරාසයක්” ඉදිරිපත් කර ඇති බවයි. ට්‍රම්ප් විසින්මත් ඉරානයට පහර දෙන බවට නැවත නැවතත් තර්ජනය කර තිබේ. වොෂින්ටනය වෙනිසියුලාවේ තෙල් අත්පත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා කැඳවන ලද එක්සත් ජනපදයේ ඉහළම තෙල් විධායකයින් සමඟ සිකුරාදා පැවති රැස්වීමකට සමගාමීව, ඔහු ප්‍රකාශ කළේ, “රිදෙන තැන්  අපි ඔවුන්ට ඉතා තදින් පහර දෙන්නෙමු” යි යනුවෙනි.

දෙසැම්බර් 29 වන දින ට්‍රම්ප් සිය මාර්-අ-ලාගෝ මන්ධිරයේ දී ඊශ්‍රායල අගමැති සමඟ යුද කවුන්සිලයක් පැවැත්වූ විට, ඔහු සහ ඔහුගේ සහායකයෝ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන එක්සත් ජනපදය නැවත ඉරානයට පහර දීමට හේතුව ලෙස සඳහන් කළහ. දැන් අසීමිත නරුමත්වයෙන් යුතුව ඔහු ඉරානයට පහර දීම යුක්ති සහගත කිරීමක් ලෙස ඉස්ලාමීය ජනරජය විසින් රාජ්‍ය විරෝධී විරෝධතා මර්දනය කිරීම වැඩිවෙමින් පවතින ආකාරය පෙන්වා දෙමින්, හිට්ලර් වැනි විලාසිතාවකින් තමාව “විමුක්තිදායකයෙකු” ලෙස ඉදිරිපත් කරයි. 

දෙසැම්බර් 28 වන දින සිට ඉහළ යන ආර්ථික අර්බුදයෙන් උපන් මහජන විරෝධතා ඉරානය කම්පනයට පත් කර ඇති අතර මෑත දිනවල රටේ සෑම ප්‍රදේශයකටම ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ.

ඉරානයේ ෂියා පූජක පක්ෂය ප්‍රමුඛ ධනේශ්වර ජාතිකවාදී තන්ත්‍රය වඩ වඩාත් මර්දනයෙන් ප්‍රතිචාර දක්වා ඇත. පසුගිය බ්‍රහස්පතින්දා සවස සිට එය අන්තර්ජාල සහ ජංගම දුරකථන ප්‍රවේශය වසා දමා, සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇති අතර විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කර ඇත.

සිකුරාදා, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි, “විනාශකාරීන්” සහ “කඩාකප්පල්කාරීන්” හමුවේ රජය “පසුබට නොවන” බවට ප්‍රතිඥා දුන්නේය. විරෝධතාවලට සහභාගී වන ඕනෑම අයෙකු “දෙවියන්ගේ සතුරෙකු” ලෙස සලකනු ලබන බවත්, වරදකරුවන් වුවහොත් මරණ දඬුවමට යටත් විය හැකි බවත් ඉරාන නීතිපතිවරයා අනතුරු අඟවා තිබේ.

ඉරානයෙන් පිටත පදනම් වූ මානව හිමිකම් කණ්ඩායම්, දුසිම් ගනනක සිට 100 කට වැඩි පිරිසක් දක්වා මියගිය විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව පිළිබඳව විවිධ ප්‍රකාශ ඉදිරිපත් කර ඇත. රජය, තමන්ගේ පැත්තෙන්, ආරක්ෂක අංශ වල දුසිමකට අධික සංඛ්‍යාවකගේ මරණ සහ පොලිස් ස්ථානවලට එල්ල කරන ලද සන්නද්ධ ප්‍රහාර ලෙස ඔවුන් විස්තර කරන දේ ඉස්මතු කර තිබේ.

 පාලන තන්ත්‍රයේ දිනෙන් දින පටු වන සමාජ පදනමේ ඇඟවීමක් වන, ඉස්ලාමීය ජනරජයේ මර්දනය සහ අධිරාජ්‍යවාදයට සෘජුවම යටත් නොවන ඉරානයක් කෙරෙහි බටහිර ව්‍යාපාරික මාධ්‍යවල අනවරත සතුරුකම නිසා, ඉරානයේ විරෝධතා පිළිබඳ නිවැරදි චිත්‍රයක් ලබා ගැනීම දුෂ්කර ය.

නමුත් ඉරානයේ ඕනෑම ප්‍රගතිශීලී ප්‍රවණතාවක් ට්‍රම්ප්ගේ “සහයෝගය” වහාම ප්‍රතික්ෂේප කිරීමටත්, ළගදීම නියමිත එක්සත් ජනපද මිලිටරි ක්‍රියාමාර්ගයක තර්ජනය හෙළා දැකීමටත්, ඉරාන ආර්ථිකයේ ගෙල සිර කරන දණ්ඩනීය සම්බාධක වහාම ඉවත් කරන ලෙස ඉල්ලා සිටීමටත් සිදුවනු ඇත. 

ඉරානයේ කම්කරුවන් සහ ග්‍රාමීය වැඩ කරන ජනතාව අතර නිසැකවම ගැඹුරු සමාජ දුක්ගැනවිලි තිබේ. ඉස්ලාමීය ජනරජය යනු මර්දනකාරී ධනේශ්වර පාලන තන්ත්‍රයකි. එය තහවුරු වූයේ එක්සත් ජනපදය විසින් පනවන ලද කුරිරු ෂා රජුගේ රාජාණ්ඩු ඒකාධිපතිත්වය පෙරලා දැමූ 1979 විප්ලවයෙන් පසුව සියලු වාමාංශික සහ ස්වාධීන කම්කරු පන්ති සංවිධාන ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම හරහා ය.

මෑත වසරවලදී, 2017 දෙසැම්බරයේ දරිද්‍රතාවයට සහ සමාජ අසමානතාවයට එරෙහිව පුපුරා ගිය මහජන විරෝධතාවලින් ආරම්භය ලැබ,  ඉරාන කම්කරු පන්තිය සටන්කාමී බලවේගයක් ලෙස ඉස්මතු වී තිබේ. මෑත මාසවලදී පතල් කම්කරුවන්, තෙල් සේවකයින් සහ සෞඛ්‍ය හා ප්‍රවාහන අංශයේ සේවකයින් ඇතුළු අනෙකුත් ක්ශේස්ත්‍ර වල අයගේ වැඩ වර්ජන සහ විරෝධතා දක්නට ලැබුණි.

කෙසේ වෙතත්, වත්මන් විරෝධතා රැල්ල කම්කරුවන් විසින් ආරම්භ කරන ලද්දක් නොවේ. ඒ වෙනුවට, අයතුල්ලා කමේනි විසින්ම පිළිගත් පරිදි, ඒවා ආරම්භ වූයේ බසාරිවරුන් (bazaari) අතර ය, එනම්, කමේනිගේම වචනවලින් කිවහොත්, සාම්ප්‍රදායිකව පාලන තන්ත්‍රයේ කුළුණක් වූ ඉරාන ධනේශ්වරයේ සහ සුලු ධනේශ්වරයේ කොටස් වලට අයත් සාප්පු හිමියන් සහ වෙළඳුන් අතර ය.

කම්කරුවන් සහ රැකියා විරහිතයන් කොටසක් විරෝධතාවලට ඇදී ගොස් ඇති බවට සැකයක් නැතත්, කම්කරු පන්තිය සමූහ වශයෙන් මැදිහත් වී නොමැති අතර, ඊටත් වඩා සැලකිය යුතු ලෙස තමන්ගේම ඉල්ලීම් ඉදිරියට ගෙන යන සහ තමන්ගේම පන්ති අරගල ක්‍රම භාවිතා කරන ස්වාධීන බලවේගයක් ලෙස ඔවුන් ඉදිරියට පැමිණ නැත. 

ඊට පටහැනිව, සෑම දෙයක්ම ගම්‍ය කරන්නේ විරෝධතා වඩ වඩාත් කැපී පෙනෙන ලෙස දක්ෂිණාංශික ස්වභාවයක් ගනිමින් ඇති බවත්, ඉරානය තුළ  සහ ඉන් පිටත පුළුල් කලාපයේත්, වොෂින්ටනය සහ අනෙකුත් අධිරාජ්‍යවාදී අගනගරවලත් ප්‍රතිගාමී, අධිරාජ්‍ය ගැති බලවේග ඒවා තම වාසියට හරවා ගැනීමට උත්සාහ කරන බවත්ය.

ඉරානයේ කම්කරුවන් සහ පීඩිතයන් පරිස්සම් විය යුතුය. 2011 විප්ලවයට හේතු වූ කිසිදු සමාජ දුක්ගැනවිල්ලක් සපුරාලීමට පැහැදිලිවම අසමත් වූ ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මෝර්සිගේ රජයට එරෙහි මහජන විරෝධය, 2013 දී, ධනේශ්වරයේ සහ හමුදාවේ බලවත්ම කොටස් විසින් ඊජිප්තුව අද දක්වාම පාලනය කරන ජෙනරාල් එල්-සිසි යටතේ ම්ලේච්ඡ ආඥාදායකත්වයක් බලයට ගෙන ඒම සඳහා ගසාකන ලදී.

බටහිර මාධ්‍ය දැන් ෂාගේ පුත් “ඔටුන්න හිමි කුමරු” වන රේසා පහ්ලවිට විරෝධතාකරුවන්ගේ සහයෝගය ඉස්මතු කරමින් සිටී. 1978 සිට එක්සත් ජනපදයේ පදනම් වූ ඔහු, ඉස්ලාමීය ජනරජයේ විරුද්ධවාදීන්ට “නගර මධ්‍යස්ථානවල පාලනය අල්ලා ගන්නා” ලෙස ඉල්ලා සිටි අතර ඉරානයට පහර දෙන බවට ට්‍රම්ප් කළ තර්ජන යථාවක් කරන ලෙස ඉල්ලා සිටියේය.

ඇමරිකානු ගැති රාජාණ්ඩුවක් නැවත පැමිණීම සඳහා විරෝධතාකරුවන් සහාය පළ කරන බව පෙන්වන වීඩියෝ ක්ලිප් කිහිපයක් කූඨ ලෙස සකස්කර ඇති බවට සාක්ෂි තිබේ. එය කෙසේ වෙතත්, ඉරාන ධනේශ්වරයේ සහ සුළු ධනේශ්වරයේ කොටස්, ෂා යටතේ මෙන් වොෂින්ටනයේ සේවාදායකයෙකු ලෙස සේවය කරන කුරිරු රාජාණ්ඩුවක් නැවත බලයට පැමිණීමට කැමැත්තෙන් සිටින බව අවතක්සේරු කිරීමට කිසිදු හේතුවක් නැත.

මේ අතර, ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ සහ සමහර අවස්ථාවල විවෘතව ඊශ්‍රායලය සමඟ සන්ධානගත වී සිටින කුර්දි ජාතිකවාදීන් සන්නද්ධ ප්‍රහාර දියත් කරමින් සිටිති.

මෙම බලවේග ජයගතහොත්, ඔවුන් නව යටත් විජිත පාලන තන්ත්‍රයක් බලයට ගෙන එනු ඇත. එවැනි පාලන තන්ත්‍රයක් ඉරාන ජනතාවට එරෙහිව දශක ගණනාවක් තිස්සේ අනවරත ආක්‍රමණශීලී මෙහෙයුමක්ද සහ ආර්ථික යුද්ධයක් දියත් කර ඇති එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ට ඉරානයේ තෙල් භාර දෙනු ඇත; චීනයට සහ රුසියාවට එරෙහිව වොෂින්ටනයේ මිලිටරි-මූලෝපායික ප්‍රහාරය සඳහා වේදිකා භූමියක් ලෙස ඉරානය භාවිතා කිරීමට ඉඩ සලසනු ඇත; සහ කම්කරු පන්තිය අනුකම්පා විරහිතව සූරාකෑම සහ මර්දනය කරනු ඇත.

ඉරාන කම්කරු පන්තියට අධිරාජ්‍යවාදයට යටත් වීම හෝ ඉස්ලාමීය ජනරජයේ ආර්ථික අහිමි කිරීම් සහ දේශපාලන මර්දනය දරාගත නොහැක. එය අධිරාජ්‍යවාදයට, ඉස්ලාමීය ජනරජයේ සියලුම ආයතනවලට සහ ඉරාන ධනේශ්වරයේ සියලුම කොටස්වලට එරෙහිව ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස මැදිහත් විය යුතුය.

උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ කම්කරුවන්, ඔවුන්ගේ පැත්තෙන්, ඉරානයට එරෙහි අඛණ්ඩ අධිරාජ්‍යවාදී ආක්‍රමණයට– එය, සෘජු මිලිටරි ප්‍රහාරයක, රහසිගත ක්‍රියාමාර්ග සහ ධනේශ්වරයේ සහ පූජක-දේශපාලන සංස්ථාපිතයේ අධිරාජ්‍ය ගැති කන්ඩායම්වල ග්‍රහනයට ගැනීමක හෝ ආර්ථික යුද්ධ ව්‍යාපාරයක ආදී කුමන  ස්වරූපයකින් වේවා–අධිෂ්ඨානශීලී ලෙස විරුද්ධ විය යුතුය.

මේ සියල්ල, ඊශ්‍රායල සියොන්වාදී ප්‍රහාරක සුනඛයා සමඟ එක්ව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ, යුද්ධය, රාජ්‍ය ත්‍රස්තවාදය සහ පාලන තන්ත්‍ර වෙනස් කිරීම හරහා අසීමිත ඇමරිකානු ආධිපත්‍යය යටතේ “නව මැද පෙරදිගක්” ස්ථාපිත කිරීම සදහා වන ධාවනයේ අංග වේ. මෙම කොල්ලකාරී එල්ලය, ට්‍රම්ප්ගේ වෙනිසියුලාවට පහර දීම සහ එහි තෙල් අත්පත් කර ගැනීම මෙන්ම චීනය සහ අනෙකුත් මූලූපායික ප්‍රතිවාදීන් සමඟ යුද්ධය සදහා  වොෂින්ටනයේ සූදානමෙන් වෙන් කළ නොහැකිය.

ඉස්ලාමීය ජනරජය සමඟ ගනුදෙනු බේරා ගැනීම ඉරාන කම්කරු පන්තියේ කර්තව්‍යයයි; ට්‍රම්ප්, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ඔහුගේ විරුද්ධවාදීන් ලෙස පෙනී සිටින අයට සහ ඔවුන්ගේ ඔටුන්න හිමි දාසයා වන රේසා පහ්ලවිට, ඉරාන කම්කරු පන්තියේ වහල්භාවය අවශ්‍ය කරයි.

කමේනි සහ ඉස්ලාමීය ජනරජයේ පූජක පක්ෂය ප්‍රමුඛ සංස්ථාපිතය, ට්‍රම්ප්ගේ ආක්‍රමණශීලීත්වය සහ තර්ජන ඔවුන්ගේ මර්දනය සහ වැරදි පාලනය සාධාරණීකරණය කිරීම සඳහා ගෙනහැර දක්වයි. නමුත් අභ්‍යන්තරව බෙදී ගිය ඉරාන තන්ත්‍රය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නායකත්වයෙන් යුත් නිරන්තරයෙන් උත්සන්න වන හිංසා කිරීමේ සහ ආක්‍රමණශීලීත්වයේ ව්‍යාපාරයට කිසිදු ප්‍රගතිශීලී ප්‍රතිචාරයක් සැපයීමට තමන් සම්පූර්ණයෙන්ම අසමත් බව ඔප්පු කර ඇත. මන්ද , අවසාන විශ්ලේෂණයේ දී එයම අධිරාජ්‍යවාදයේ මෙවලමක් වන බැවිනි. අධිරාජ්‍යවාදය කෙරෙහි  එහි දැනට පවතින  විරුද්ධත්වය, ඉරාන ධනේශ්වරයේ සූරාකෑම සඳහා ඇති තමන්ගේම හැකියාවන් පුළුල් කිරීමේ දෘෂ්ටි කෝණයෙන් පමණි. 

දශක ගණනාවක් තිස්සේ ඉස්ලාමීය ජනරජයේ දේශපාලන සංස්ථාපිතය, මියගිය හිටපු ජනාධිපති හෂෙමි රෆ්සන්ජානි, ඔහුගේ ගෝලයෙකු වූ හිටපු ජනාධිපති හසන් රුහානි සහ දැන් වොෂිංටනය හා යුරෝපීය අධිරාජ්‍යවාදය සමග වඩාත් සමීප සබඳතා සඳහා උනන්දුවෙන් සිටින වත්මන් ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් විසින් මෙහෙයවන ලද කණ්ඩායම සහ, අධිරාජ්‍යවාදය සමඟ දැඩි කේවල් කිරීම සඳහා චීනය සහ රුසියාව සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට කැමති  ඊනියා මූලධර්මවාදීන් (Principlists) සහ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂකයින් (Revolutionary Guards) විසින් මෙහෙයවන ලද ප්‍රතිවිරුද්ධ කණ්ඩායමක් ලෙසත් බෙදී ඇත. අධිරාජ්‍යවාදී සහ මහා බලවතුන් සහ ඉරානයේ කම්කරුවන් සහ වැඩ කරන මිනිසුන් අතර උපාමාරු දැමීමට උත්සාහ කරන අතරම, වරෙක එක් කණ්ඩායමකට වඩා අනෙක් කණ්ඩායමට පක්ෂව සිටිමින්, බොනපාට්වාදී පාලකයෙකු ලෙස කමේනි ක්‍රියා කර ඇත.

විප්ලවයෙන් ක්ෂනිකව අනතුරුව කම්කරු පන්තියට සහ ග්‍රාමීය ජනතාවට ලබා දුන් සමාජ සහන මෙම කණ්ඩායම් දෙකම ක්‍රමානුකූලව බිඳ දමා ඇති අතර, නව ලිබරල්, ආයෝජක ගැති ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරමින්, දිනෙන් දින පුළුල් වන සමාජ අසමානතාවය මධ්‍යයේ දරිද්‍රතාවය සහ ආර්ථික අනාරක්ෂිතභාවය තවදුරටත් තහවුරු කර ඇත. තවද අධිරාජ්‍යවාදය සමඟ ඉරානයේ ගැටුමේ සම්පූර්ණ බර කම්කරු ජනතාවගේ කර මත පැටවීමට කණ්ඩායම් දෙකම උත්සාහ කර ඇත.

පසුගිය ජුනි මාසයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයෙන් පසුව පවා, ටෙහෙරානය ට්‍රම්ප් සමඟ එකඟතාවයකට පැමිණීමට ගත් උත්සාහයන් දෙගුණ කළ නමුත් සෑම අවස්ථාවකදීම ඒවා ප්‍රතික්ෂේප කරන ලදී. මෙම වගකට නැති පන්ති ගතිකය තුළ මුල් බැස ඇත: පාලන තන්ත්‍රයේ ලොකුම බිය වන්නේ කම්කරු පන්තියෙන් එල්ල වන තර්ජනයයි.

මැදපෙරදිග අධිරාජ්‍යවාදය පරාජය කිරීම සඳහා, සියලු ධනේශ්වර පාලන තන්ත්‍රයන්ට සහ ඔවුන් පෝෂණය කරන සියලු වාර්ගික හා නිකායික (පක්ෂග්‍රාහී) බෙදීම්වලට එරෙහිව, සැමට සමාජ සමානාත්මතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනේදී, මුස්ලිම්, යුදෙව් සහ ක්‍රිස්තියානි, අරාබි, තුර්කි, කුර්දි, ඊශ්‍රායල සහ ඉරාන යන කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව එක්සත්ව බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. ඉස්ලාමීය ජනරජ පාලන තන්ත්‍රයේ ප්‍රතිගාමී ඉස්ලාමීය ආයාචනා සහ ෂියා ජනතාවාදී (populist) දෘෂ්ටිවාදයේ පදනම මත මෙය කළ නොහැකි බව පැවසීම දැනටමත් පැහැදිලි දෙය නැවත ප්‍රකාශ කිරීමකි.

20 වන සියවස ආරම්භයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විප්ලවය අසාර්ථක වීමෙන් සහ 1953 දී මොසාඩෙග්ගේ ජාතිකවාදී පාලනය පෙරලා දැමීමේ සිට 1979 ඉරාන විප්ලවය පැහැරගැනීම සහ මර්දනය කිරීම සහ ඉස්ලාමීය ජනරජයේ වසර 47 දක්වා නූතන ඉරානයේ සමස්ත ඉතිහාසයම පෙන්නුම් කරන්නේ ඉරාන කම්කරු පන්තියට ඇති එකම ශක්‍ය මූලෝපාය (strategy) නොනවතින විප්ලවයේ (permanent revolution) මූලෝපාය බවයි. 

ලියොන් ට්‍රොට්ස්කි විසින් ප්‍රථම වරට සකස් කරන ලද නොනවතින විප්ලවයේ  මූලෝපාය, 1917 රුසියානු විප්ලවයට සහ විප්ලවය හුදකලා වූ තත්වයන් යටතේ කම්කරු පන්තියෙන් බලය පැහැරගෙන අවසානයේ ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ ජාතිකවාදී ස්ටැලින්වාදී නිලධරයට එරෙහි අරගලයට ජීවය ලබා දුන්නේය. අධිරාජ්‍යවාදී යුගයේදී ජාතික නිදහස සහ එක්සත්කම සහ පල්ලිය රාජ්‍යයෙන් වෙන් කිරීම ඇතුළුව 18 වන සහ 19 වන සියවස්වල ඓතිහාසික ධනේශ්වර විප්ලවයන් හා සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී කර්තව්‍යයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු බලය ස්ථාපිත කිරීම හරහා සහ ලෝක සමාජවාදී විප්ලවය සඳහා සටනේ කොටසක් ලෙස පමණක් බව එය තහවුරු කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top