මිනසෝටා මහා වැඩ වර්ජනය සහ එක්සත් ජනපදය තුළ පන්ති අරගලය යළි මතුවීම

සමාජවාදී සමානතා පක්ෂය (ඇමරිකා එක්සත් ජනපදය) විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 ජනවාරි 17 දින ‘The Minnesota general strike and the re-emergence of class struggle in the United States’ යන හිසින් පලවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
2026 ජනවාරි 9 වන සිකුරාදා, මිනසෝටා ප්‍රාන්ත අග නගරයේ ශාන්ත පෝල් හි, සතියේ මුලදී මිනියාපොලිස් හි ICE නිලධාරියෙකු විසින් ඝාතනය කරන ලද රෙනී ගුඩ්ට ගෞරව දැක්වීම සඳහා ජනතාව රැස්වෙති. [AP ඡායාරූපය/ජෝන් ලොචර්]

මිනියාපොලිස් හි රෙනී නිකොල් ගුඩ් ICE (ආගමන හා රේගු) නිලධාරීන් විසින් ඝාතනයට පසු දින, එනම් ජනවාරි 8 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ප්‍රකාශයක් පළ කරමින්, “සිදුවීම්වල තර්කනය ට්‍රම්ප් තන්ත්‍රයට එරෙහි මහා වැඩ වර්ජනයක්–මර්දනය සහ සූරාකෑමේ යන්ත්‍ර නැවැත්වීම සඳහා සෑම කර්මාන්තයකම කම්කරුවන්ගේ දැවැන්ත, සම්බන්ධීකරණ මැදිහත්වීමක්–කරා නොවැලැක්විය හැකි ලෙස ගමන් කරමින් තිබේ: ” යනුවෙන් පැහැදිලි කළේය.

සතියකට පසු, ට්‍රම්ප්ගේ පැරාමිලිටරි හමුදා විසින් දිනපතා සිදුකරන ම්ලේච්ඡත්වය සම්බන්ධයෙන් කෝපයට පත් වැඩ කරන ජනතාවගේ වැඩෙන පීඩනයට ප්‍රතිචාර වශයෙන්, මිනියාපොලිස් හි ප්‍රාදේශීය වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවල සන්ධානයක් ජනවාරි 23 වන දින මහා වැඩ වර්ජනයක් කැඳවා තිබේ.

මිනසෝටා AFL-CIO වෘත්තීය සමිති සංවිධානය මේ දක්වා මෙම ක්‍රියාව අනුමත කිරීමට අපොහොසත් වී ඇති අතර, එහි නිල වෙබ් පිටුව– “සත්‍යයේ සහ නිදහසේ දිනයක්” යන සටන් පාඨය යටතේ–”වැඩ වර්ජනය” යන වචනය ප්‍රවේශමෙන් මඟහරිමින්, ඒ වෙනුවට කම්කරුවන්ට අසනීප නිවාඩු දමන ලෙසත්, පාරිභෝගිකයින්ට කිසිවක් මිලදී නොගන්නා ලෙසත්, ව්‍යාපාර ස්වේච්ඡාවෙන් වසා දමන ලෙසත් ඉල්ලා සිටී. ඩිමොක්‍රටික් පක්ෂයට සමීපව බැඳී ඇති වෘත්තීය සමිති යාන්ත්‍රණය, ජනගහනයේ පුළුල් ස්ථර අතර ක්‍රියාත්මක වන මහා වැඩ වර්ජනයක් සඳහා වැඩෙන අනුකම්පාව මැඩපැවැත්වීමට උත්සාහ කරයි.

කෙසේ වෙතත්, මහා වැඩ වර්ජනය දේශපාලන සාකච්ඡාවට අවතීර්ණ වී තිබීම ම, පන්ති අරගලයේ නව අවධියක සහ එක්සත් ජනපදයේ සමාජ හා දේශපාලන ධ්‍රැවීකරණයේ ප්‍රකාශනයකි. සාම්ප්‍රදායික දේශපාලන මාවත්–අධිකරණ අභියෝග, දේශපාලනඥයින්ට ආයාචනා, මැතිවරණ උපාමාරු සහ බලපෑම් දැමීමේ ව්‍යාපාර–ඒකාධිපතිත්වය දෙසට වේගයෙන් හැරීම නැවැත්වීමට නොහැකි බවට කම්කරු පන්තිය තුළ වර්ධනය වන හැඟීමක් එයින් පිළිබිඹු වේ. 

වර්තමාන මොහොතේදී, මිනසෝටා හි මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම, ට්‍රම්ප් පරිපාලනය සහ මිනියාපොලිස් සහ අනෙකුත් නගරවල ICE විසින් සිදු කරන ලද මර්දනය නාටකාකාර ලෙස උත්සන්න කිරීමට ප්‍රතිචාරයකි. සංක්‍රමණික කම්කරුවන් ඉලක්ක කරගත් මහා පරිමාණ වැටලීම් සහ සෝදිසි ලෙස ආරම්භ වූ දෙය, නිල නොලත් හමුදා යෙදවීම් සහ එක්සත් ජනපදයේ ප්‍රධාන නගරයක් අත්පත් කර ගැනීම දක්වා වර්ධනය වී ඇත. මෙම ප්‍රහාරය සියලු ප්‍රජාතන්ත්‍රවාදී මවාපෑම් ගලවා දමා ඇති අතර, කැරලි පනත ඇතුළු අසාමාන්‍ය බලතල ක්‍රියාත්මක කිරීමට සහ ජනතාවට එරෙහිව හමුදාව යෙදවීමට ට්‍රම්ප්ගේ තර්ජනය සංඥා කර ඇත.

විරුද්ධත්වය සදහා  ට්‍රම්ප්ගේ ප්‍රතිචාරය තවත් [වැටලීම්] උත්සන්න කිරීමයි. රෙනී ගුඩ්ගේ ඝාතනයෙන් පසුව, “කැරලි ගැසීමේ” සහ “ත්‍රස්තවාදයේ” ක්‍රියා සඳහා විරෝධතාකරුවන්ට එරෙහි තර්ජන සහ තවදුරටත් පැරාමිලිටරි හමුදා යෙදවීම් සහ මර්දන රැල්ලක් ඇති වී තිබේ. සිකුරාදා, අධිකරණ දෙපාර්තමේන්තුව මහජන චන්දයෙන් තේරී පත් වූ නිලධාරීන්ට එරෙහිව අධිකරණ පද්ධතිය අසාමාන්‍ය ලෙස භාවිතා කරමින්, [දෙදෙනාම ඩිමොක්‍රටිකයන් වන] මිනසෝටා ආණ්ඩුකාර ටිම් වෝල්ස් සහ මිනියාපොලිස් නගරාධිපති ජේකොබ් ෆ්‍රේට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කෙරෙන, ෆෙඩරල් සංක්‍රමණික රෙගුලාසි බලාත්මක කිරීමට “බාධා කළ” බවට  වන වංචනික චෝදනාව මත සිතාසි නිකුත් කළේය.

කෙසේ වෙතත්, (මෙම තත්ත්වයේදී) වඩාත් පුළුල්  කරුණු කාරණා අදාල වේ. එක්සත් ජනපදය දේශපාලන බිඳවැටීමේ පරිමාණය සහ පන්ති ආතතීන්ගේ දරුණුකම විඥානයේ ගැඹුරු වෙනස්කම් ජනනය කරන තැනකට පැමිණ තිබේ. ධනේශ්වර කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන සහ ක්‍රියා කරන ට්‍රම්ප් පරිපාලනය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් බිඳ දමමින් සහ පොදු අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ අනෙකුත් සමාජ සේවාවන්හි ඉතිරිව ඇති දේ ඉරා දමමින් සිටී. එක්සත් ජනපද බිලියනපතියන් පසුගිය වසරේ පමණක් ඔවුන්ගේ සාමූහික ධනය සියයට 18 කින්, එනම් ඩොලර් ට්‍රිලියන 7 කට ආසන්න ප්‍රමාණයකින් වැඩි කර ගත් අතර කම්කරුවෝ AI-ධාවිත රැකියා සංහාරයකට, ඉහළ යන උද්ධමනයට සහ ගැඹුරු වන ණයගැති බවට මුහුණ දෙති.

දේවල් “පැරණි ආකාරයෙන්” ඉදිරියට යා නොහැකි බවට වර්ධනය වන හැඟීමක් පිළිබිඹු කරන ප්‍රතිරෝධක මනෝභාවයක් පවතී. විරුද්ධවාදී හැඟීම් නිරන්තරයෙන් අවතක්සේරු කරන මත විමසුම්, ට්‍රම්ප් පරිපාලනයේ මර්දනය කෙරෙහි ගැඹුරු සතුරුකමක් පෙන්නුම් කරයි; ඇමරිකානුවන්ගෙන් බහුතරයක් ICE හි උපක්‍රම සහ ආගමන නීති හසුරුවන ආකාරය ප්‍රතික්ෂේප කරන අතර, වෙනිසියුලාව ආක්‍රමණය කිරීම සහ ඉරානයට එරෙහි යුද තර්ජන ඇතුළු විදේශයන්හි මිලිටරි ක්‍රියාමාර්ගවලට විරුද්ධ වෙති.

නිව්යෝර්ක් නගරයේ හෙදියන් 15,000 ක් සහභාගී වූ වැඩ වර්ජනය, නගර ඉතිහාසයේ විශාලතම එක වන අතර, එය 2026 දී වර්ධනය වන විරුද්ධත්වයේ මුල් සලකුණකි. මේ සතිය මුලදී ට්‍රම්ප්ට එරෙහිව කෑගසා චෝදනා කිරීම නිසා වැඩ තහනම් කරන ලද ඩෙට්‍රොයිට් මෝටර් රථ සේවකයා දින කිහිපයකින් GoFundMe හරහා දස දහස් සංඛ්‍යාත ජනතාවගෙන් ඩොලර් 800,000 කට වඩා රැස් කිරීම එය වෙනස් ආකාරයකින් පෙන්නුම් කරයි.

මෙම වර්ධනය වන විරුද්ධත්වය සවිඥානික, සංවිධානාත්මක ව්‍යාපාරයක් බවට පරිවර්තනය කළ යුතුය. මහා වැඩ වර්ජනය ඇතුළුව එක්සත් ජනපදයේ පන්ති අරගලයේ දිගු හා බලගතු සම්ප්‍රදායක් පවතී. 1835 දී ෆිලඩෙල්ෆියාවේ සිට 1877 දී ශාන්ත ලුවී දක්වා, 1919 දී සියැටල් දක්වා සහ 1934 දී සැන් ෆ්‍රැන්සිස්කෝ සහ ටොලිඩෝ දක්වා, තීරණාත්මක සාධකය වූයේ කිසි විටෙකත් ඇමතුමේ සටන්කාමීත්වය නොව, කම්කරු පන්තිය,  අරගලය පාලනය කිරීමට උත්සාහ කරන ආයතනවලට එරෙහිව, දැනුවත්ව සහ ස්වාධීනව අරගලයට අවතීර්ණ වූයේද යන්නයි.

මිනියාපොලිස් නගරයටම පන්ති ගැටුමේ දිගු ඉතිහාසයක් ඇත. ටීම්ස්ටර්ස් ප්‍රාදේශීය 574 හි ට්‍රොට්ස්කිවාදී කම්කරුවන් විසින් මෙහෙයවන ලද 1934 මිනියාපොලිස් ට්‍රක් රථ රියදුරන්ගේ වැඩ වර්ජනය, වාණිජ කටයුතු අඩපණ කළ සහ සේවා යෝජකයින්, පොලිසිය, ජාතික ආරක්ෂක හමුදාව (National Guard), ගොවි-කම්කරු පක්ෂය සහ රූස්වෙල්ට් පරිපාලනයේ ඒකාබද්ධ බලවේගවලට මුහුණ දුන් නගර පුරා මහා වැඩ වර්ජනයක් බවට ප්‍රාදේශීය සංවිධානාත්මක මෙහෙයුමක් පරිවර්තනය කළේය. එහි ජයග්‍රහණය 1930 ගණන්වල මහා කාර්මික වෘත්තීය සමිතිකරණයට හේතු වූ අතර කම්කරු පන්තිය තමන්ගේම නායකත්වය යටතේ සහ පැහැදිලි දේශපාලන ඉදිරිදර්ශනයකින් සටන් කරන විට අත්කර ගත හැකි දේ පිළිබඳ ප්‍රබල නිරූපණයක් ලෙස පවතී.

ට්‍රම්ප්ගේ නිර්ලජ්ජිත දණ්ඩ මුක්තිය, එක්සත් ජනපදය තුළ සංවිධානාත්මක කම්කරු පන්තික ප්‍රතිරෝධය දිගු කලක් නොතිබීමේ ප්‍රතිඵලයකි. දශක ගණනාවක් තිස්සේ, කම්කරු නිලධරය කම්කරු ව්‍යාපාරය බිඳ දැමූ අතර, පාලක පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධය සහ දැවැන්ත ධන සම්ප්‍රේශනයකින් තමන්ව පොහොසත් කර ගත්තේය. මෙම රික්තය තුළ, ධනේශ්වරයේ වඩාත්ම කුරිරු කොටස් තමන්ට බාධාවකින් තොරව ක්‍රියා කළ හැකි යැයි විශ්වාස කිරීමට පටන් ගෙන තිබේ.

කම්කරු පන්තියට එල්ල කරන ලද ප්‍රහාරය, සමාජ බලවේගයක් ලෙස එහි පැවැත්ම ප්‍රතික්ෂේප කිරීමේ දෘෂ්ටිවාදාත්මක ව්‍යාපාරයක් මගින් ශක්තිමත් කරන ලදී. ශ්‍රමය සහ ප්‍රාග්ධනය අතර නිරන්තර ගැටුම් සහ වැඩවර්ජන මගින් වරෙක අර්ථ දක්වුනු රටක, ඩිමොක්‍රටික් පක්ෂය, නිල ශාස්ත්‍රාලික ප්‍රජාව සහ දේශපාලන ව්‍යාජ-වම, මාක්ස්වාදය ප්‍රතික්ෂේප කළ, පන්ති අරගලයේ යථාර්ථය ප්‍රතික්ෂේප කළ සහ විප්ලවවාදී බලවේගයක් ලෙස කම්කරු පන්තියේ භූමිකාව ප්‍රතික්ෂේප කළ දෘෂ්ටිවාදයන්–සියල්ලටත් වඩා, වාර්ගික සහ ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය පිළිබඳ දේශපාලනය–ප්‍රවර්ධනය කළහ.

ට්‍රම්ප් නැවත තේරී පත්වීම එක්සත් ජනපදයේ කතිපයාධිකාරී පාලනයේ යථාර්ථය පිළිබිඹු කරන රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී නැවත පෙළගැස්වීමක් සනිටුහන් කළේය. එපමණක් නොව, දේශීය හා ජාත්‍යන්තර මට්ටම් දෙකෙහිම එහි ක්‍රියාවන්හි ආන්තික ස්වභාවය–ඩොලරයේ අවප්‍රමාණය, දැවැන්ත ණය ගොඩගැසීම සහ කතිපයාධිකාරීත්වයේ ධනයට යටින් පවතින අධික සමපේක්ෂනය තුළින් ප්‍රකාශ වන–ඇමරිකානු ධනවාදය මුහුන දෙන අර්බුදයේ තීව්‍රතාවය පිළිබිඹු කරයි. 

සමාජ හා දේශපාලන ජීවිතයේ කේන්ද්‍රීය අක්ෂය ලෙස විවෘත පන්ති ගැටුමේ වැඩෙන පුනර්ජීවනය හරහා හැඩගැසීමට පටන් ගෙන ඇති පහළ සිට නැවත පෙළගැසීමේ (realignment from below) පසුබිම මෙයයි. එපමණක් නොව, එක්සත් ජනපදයේ පන්ති අරගලයේ වර්ධනය දැවැන්ත ජාත්‍යන්තර ප්‍රතිවිපාක ඇති කරනු ඇති අතර, ඇමරිකානු කම්කරුවන් සුවිශේෂී ලෙස ප්‍රතිගාමී වන බවට හෝ සාමූහික අරගලයට අසමත් බවට ඇති මිථ්‍යාව බිඳ දමයි.

මිනියාපොලිස් හි සිදුවීම් නව පිවිසීමේ අවධියක ආරම්භය සනිටුහන් කරයි. තවමත් එහි ආරම්භක අදියරවල පැවතුනද, නිවුන් නගර (Minneapolis සහ Saint Paul) තුළ සහ රට පුරා පන්ති අරගලය ධනේශ්වර අර්බුදයේ තීව්‍රතාව මගින්  ධාවනය වන වේගයකින් වර්ධනය වනු ඇතැයි විශ්වාසයෙන් පුරෝකථනය කළ හැකිය. ට්‍රම්ප් පරිපාලනයේ ක්‍රියාමාර්ග මගින් අවුලුවන ලද කෝපය, මිනසෝටා හි දිග හැරෙන දේ සහ ධනේශ්වර ක්‍රමයේ පුළුල් අර්බුදය අතර සම්බන්ධය වඩාත් පැහැදිලි කරනු ඇත.

නමුත් මෙම සිදුවීම්වලින් උගත යුතු දේශපාලන පාඩම් තිබේ. මෙම කුරිරුකම් නැවැත්වීමට මාර්ගයක් සොයන අය, ෆැසිස්ට්වාදයට එරෙහි ඕනෑම මහජන ව්‍යාපාරයකට ට්‍රම්ප්ගෙන් පමණක් නොව ඩිමොක්‍රටික් පක්ෂයෙන් ද ඇති ගැඹුරු සහ මුල් බැසගත් විරුද්ධත්වය තේරුම් ගැනීම අත්‍යවශ්‍ය වේ. වෝල් වීදියේ සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ පක්ෂයක් ලෙස, ඩිමොක්‍රටික් පක්ෂය සෑම අවස්ථාවකදීම උත්සාහ කරන්නේ විරුද්ධත්වය මැඩපැවැත්වීමට, ට්‍රම්ප්ට එරෙහිව ස්වාධීන අරගලයක් මතුවීම අවහිර කිරීමට සහ එය කතිපයාධිකාරයට සහ ධනවාදයට එරෙහි පුළුල් සටනක් දක්වා වර්ධනය වීම වැළැක්වීමට ය.

එපමණක් නොව, ට්‍රම්ප් පරිපාලනය ප්‍රමුඛ ඩිමොක්‍රටිකයින්ට පහර දෙන විට පවා, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ඔවුන්ගේ සහයෝගය ගැන ඔහුට විශ්වාස තැබිය හැකිය.

ට්‍රම්ප්ට එරෙහි සටන සඳහා, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඒකාධිපතිත්වයට එරෙහි විරෝධය, කම්කරුවන්ගේ වැඩෙන සමාජ අරගල සමඟ ඒකාබද්ධ කළ හැකි නව සංවිධාන කම්කරු පන්තිය තුළ  ගොඩනැගීම අවශ්‍ය වේ. ෆැසිස්ට්වාදයට එරෙහි සටන ඇමරිකා එක්සත් ජනපදයේ සහ ජාත්‍යන්තරව, සූරාකෑමට, යුද්ධයට සහ ධනේශ්වර ක්‍රමයට එරෙහි සටනට සම්බන්ධ කරමින්, නැගී එන පන්ති ව්‍යාපාරයට පැහැදිලි දේශපාලන උපාය මාර්ගයක් ලබා දීම අවශ්‍ය වේ. සියල්ලටම වඩා, මෙය රඳා පවතින්නේ කම්කරු පන්තිය තුළ මාක්ස්වාදී ව්‍යාපාරයේ සවිඥානික මැදිහත්වීම මත ය.

සමාජවාදී සමානතා පක්ෂයේ (එ.ජ) සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශනය,  ජාත්‍යන්තර කම්කරු පන්තියේ තීරනාත්මක සංරචකයක් ලෙස ඇමරිකානු කම්කරු පන්තියේ විප්ලවීය භූමිකාව සෑම විටම අවධාරණය කර ඇත.

කම්කරුවන් ඩිමොක්‍රටික් පක්ෂයට සහ එහි අනුබද්ධ සංවිධානවලට යටත් කිරීමේ සියලු උත්සාහයන්ට එරෙහිව සසප අඛණ්ඩව සටන් කර ඇත. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC) ආරම්භ කිරීම හරහා, ජාත්‍යන්තර කමිටුව  සංගත-ගැති වෘත්තීය සමිති යන්ත්‍රයට එරෙහිව කැරැල්ලක් සඳහා සංවිධානාත්මක ස්වරූපය වර්ධනය කර ඇත. එමෙන්ම මෑතකදී, ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 20 වන සහ 21 වන සියවස්වල මහා පාඩම්, අන්  සියල්ලටත් වඩා, මාක්ස්වාදී ව්‍යාපාරයේ මූලෝපායික අත්දැකීම්, කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ දේශපාලන අධ්‍යාපනය සඳහා ගෙනඒම පිනිස අත්‍යවශ්‍ය මෙවලමක් ලෙස Socialism AI  දියත් කර ඇත.

ට්‍රම්ප් තන්ත්‍රයේ ක්‍රියාවන්හිදී, ඇමරිකානු කතිපයාධිකාරය රුබිකනයක් (ආපසු හැරවිය නොහැකි ක්‍රියාවක්) හරහා ගමන් කරමින් සිටින අතර, එයින් ආපසු හැරීමක් නොමැත. මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් මුහුන දෙන ගැටලුව වඩාත්ම අති මූලික දෙයයි: එනම් සමාජවාදය [සඳහා සටන් කිරීම] හෝ ම්ලේච්ඡත්වය [සඳහා ඉඩදීම]  අතර තෝරා ගැනීමයි. 

ෆැසිස්ට්වාදයට හා යුද්ධයට ඇද වැටීම නැවැත්වීමට කැමති, සමානාත්මතාවය, ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය මත පදනම් වූ අනාගතයක් සඳහා සටන් කිරීමට කැමති සියලු වැඩ කරන ජනතාවගෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉල්ලා සිටින්නේ අවශ්‍ය නිගමනවලට එළඹ සසපට එක්වන ලෙසයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top