ජොහැන්නස් ස්ටර්න් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measures” යන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.
යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.
මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.
දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය පුරා ක්‍රියාවට නැංවීමයි.
මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.
යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.
ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.
මෙහිදී ප්රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.
මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.
සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”
අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.
වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.
නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.
ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”
සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.
එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.
“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.
සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ, නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.
මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.
චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.
වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.
2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.
යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.
සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.
සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.
සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.
යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්රජාතන්ත්රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් පමණි.
ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.
මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.
මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.
(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)
