බැරී ග්‍රේ විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 02 දින “The U.S. oligarchy’s crime boss: Trump pocketed $2.2 billion in 2025” යන හිසින් පළවූ බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

පසුගිය අඟහරුවාදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ 2025 වර්ෂය සඳහා වන අනිවාර්ය මූල්‍ය හෙළිදරව්ව ප්‍රකාශයට පත් කළේය. එයින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු වසර තුළදී ඔහු තම පෞද්ගලික ආදායම තුන් ගුණයකට වඩා වැඩි කරගෙන ඇති බවයි; එනම් 2024 දී ඩොලර් මිලියන 622ක් වූ ආදායම පසුගිය වසරේදී අවම වශයෙන් ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ නංවාගෙන ඇත.
ට්‍රම්ප් තමන්ගේ ධනය වර්ධනය කරගෙන ඇති පරිමාණය සමඟ සසඳන කල, ඇමරිකානු ඉතිහාසයේ මහා දූෂණ වංචාවන් කිසියම් ඇන්ටික් සුන්දරත්වයක් ගැබ් කරගත්තාක් සේ පවා පෙනී යයි. දේශපාලන සාපරාධීත්වයේ සංකේතයක් ලෙස සියවසක් පුරා පැවති 1920 ගණන්වල ‘ටීපොට් ඩෝම්’ (Teapot Dome) සිදුවීම කේන්ද්‍රගත වූයේ, එවකට අභ්‍යන්තර කටයුතු ලේකම් ඇල්බට් ෆෝල් විසින් නාවික තෙල් සංචිත බදු දීම වෙනුවෙන් ලබාගත් ඩොලර් 400,000ක (අද මුදලින් ඩොලර් මිලියන 8ක පමණ) අල්ලසක් වටාය. ෆෝල්ට බන්ධනාගාරගත වීමට සිදු විය. 1973 දී උප ජනාධිපති ස්පිරෝ ඇග්නියුට ඉල්ලා අස්වීමට සිදු වූයේ මේරිලන්ඩ් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් නෝට්ටු අඩංගු කවර මඟින් ලබාගත් සමස්තයක් ලෙස ඩොලර් 250,000ක පමණ අල්ලස් මුදලක් හේතුවෙනි. ට්‍රම්ප්ගේ ප්‍රමිතීන්ට අනුව බලන කල, මේවා ඉතා සුළු මුදල්ය.
මෙම වාර්තාව මඟින්, දේපළ වෙළඳාම් වංචාකරුවෙකු සහ මාධ්‍ය තොරම්බල් කාරයෙකුව සිට එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වූ පුද්ගලයාට තමන්ගේ සහ තම පවුලේ ධනය දැවැන්ත ලෙස වර්ධනය කර ගැනීමට මඟ පෑදූ බරපතල බියසැක නැති අත්තනෝමතික ගනුදෙනු සහ දූෂණ පිළිබඳ සමහර ඇඟවීම් සපයයි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට, ට්‍රම්ප් පවුලේ සමස්ත ධනය ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10ක් ලෙස පැවති අතර, එය 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසුව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ ධනය ඩොලර් මිලියන 50 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර, එරික් ට්‍රම්ප්ගේ ධනය දස ගුණයකින් එනම් ඩොලර් මිලියන 400 දක්වා ඉහළ ගියේය.
එම වසරේදීම, ජාතික ආදායමෙන් ශ්රමයට හිමිවන කොටස වාර්තා තැබීම ආරම්භ කළ දා සිට අඩුම මට්ටම දක්වා පහත වැටුණි. 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රමයේ කොටස සියයට 53.8 දක්වා පහත වැටුණු අතර, එය 1947 දී සියයට 70ක් ලෙස පැවතුණි. මෙම සංඛ්‍යාලේඛන සැබෑ ජීවිතය තුළට පරිවර්තනය වන්නේ දරිද්‍රතා මට්ටමේ වැටුප්, දරාගත නොහැකි ඉහළ ගෙවල් කුලී සහ ජීවන වියදම් මෙන්ම කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට දිගු සේවා මුරයන්ට මුහුණ දීමට සිදුවීම ලෙසය.
ශ්‍රම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Bureau of Labor Statistics) පැය 40ක සේවා සතියක් මත පදනම් වූ සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙකුගේ වැටුප් ඇස්තමේන්තුවට අනුව, ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් 37,931 දෙනෙකුගේ ආදායමට සමාන වේ. ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු පැයකට ඩොලර් 251,000කි. එම අනුපාතයට අනුව, පුද්ගලයෙකු තත්පරයකට ඩොලර් 70ක් උපයන අතර, එය UAW මෝටර් රථ කම්කරුවෙකු පැයකට උපයන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.
මේ සතියේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී, අඩු ආදායම්ලාභී නිවාස වර්ධනය කිරීමේ පනත් කෙටුම්පතකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කරමින්, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තියේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ තම සැලසුම මුලින්ම සම්මත කරන ලෙස කොන්ග්රස් මණ්ඩලයෙන් බලකර සිටීමටත්, එම නිවාස පනත “කම්මැලි කතාවක්” (big yawn) ලෙස හැඳින්වීමටත් ට්‍රම්ප් පෙළඹීම පුදුමයක් නොවේ.
2017 සහ 2021 අතර ඔහුගේ පළමු ධූර කාලය තුළදී, ට්‍රම්ප් තමන්ගේ මූල්‍ය කටයුතු තමන්ට පාලනය කළ නොහැකි භාරයන් (blind trusts) වෙත පැවරීමේ නූතන ජනාධිපතිවරුන්ගේ සම්ප්රදාය බිඳ දැමුවේය. ඔහු තම ව්‍යාපාරවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ අතර, තවමත් තමන්ට ප්‍රවේශ විය හැකි භාරයක් තුළ ඒවා තැන්පත් කළේය. ඔහු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි තම ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය මුදල් උල්පතක් ලෙස භාවිතා කළ අතර, විදේශීය දූත පිරිස්, තැරැව්කරුවන් (lobbyists) සහ රිපබ්ලිකන් නිලධාරීන්ට එහි මුදල් වියදම් කිරීමට දිරිමත් කළ අතර එම මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගලා ගියේය. ඇමරිකා-චීන වෙළඳ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීම, ඔහුගේ දියණිය වන ඉවන්කා ධවල මන්දිර උපදේශකවරියක ලෙස සේවය කරද්දී ඇයට චීන වෙළඳ ලකුණු (trademarks) කිහිපයක් ලබා දීමට ඔහු කටයුතු කළේය.
කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය සමඟ සසඳන කල ඒවා ඉතා සුළු දේවල් වේ. ඔහු තම පළමු ධූර කාලයේදී ලබාදුන් සදාචාරාත්මක ප්‍රතිඥාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, බයිඩන්ගේ ජනාධිපති සදාචාරාත්මක රීති අවලංගු කළේය, තවද 2025 මුල් භාගයේදී රජයේ සදාචාර කාර්යාලයේ (Office of Government Ethics) ප්‍රධානියා ඉවත් කර එය ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති තත්ත්වයට පත් කළේය.
ට්‍රම්ප් ඔහුගේ 2025 ආදායමෙන් වැඩි කොටසක් උපයා ගත්තේ ඔහුගේ ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ව්‍යාපාරවලින් වන අතර, එය ඩොලර් බිලියන 1.4ක් පමණ විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විශ්ලේෂණයකට අනුව, $WLFI නමින් හැඳින්වෙන ඩිජිටල් මුදල් වර්ගයක් අලෙවි කරන ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයක් වන ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 799ක් උපයා ඇති අතර, එය 2024 දී පැවතියේ ඩොලර් මිලියන 57ක් ලෙස පමණි.
ඔහුගේ දෙවන නිල කාලය ආරම්භයට දින තුනකට පෙර, ට්‍රම්ප් $TRUMP නමින් ‘මීම්කොයින්’ (memecoin) වර්ගයක් දියත් කිරීමට උදව් කළ අතර, එයින් තවත් ඩොලර් මිලියන 636ක් උපයා ඇත. ඔහු පසුගිය වසරේ මාරා-ලාගෝ (Mar-a-Lago) වෙතින් ඩොලර් මිලියන 77ක් උපයා ඇති අතර එය 2024 දී ඩොලර් මිලියන 50ක් විය. ඔහුගේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් ක්ලබ් වෙතින් ඩොලර් මිලියන 122ක් උපයා ඇති අතර එය ඩොලර් මිලියන 11ක වර්ධනයකි. ඔහු සතුව ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි (Trump Media & Technology) සමූහයේ ඩොලර් මිලියන 875ක් වටිනා කොටස් පවතී. 2025 අවසානය වන විට, ට්‍රම්ප් සතුව අවම වශයෙන් ඩොලර් මිලියන 857ක ආයෝජන වත්කම් පැවති අතර, එය පෙර වසරේ පැවතියේ ඩොලර් මිලියන 236ක් ලෙසය.
ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ගත් ප්‍රතිපත්තිමය තීරණවලින් ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරවලට සෘජු ප්රතිලාභ ලැබුණි. 2025 ජනවාරි මාසයේදී, ඔහුගේ නිල දිව්රුමට දින තුනකට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සම්බන්ධ ආයෝජන සමාගමක් වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල් ආයතනයේ සියයට 49ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, එමඟින් ට්‍රම්ප් පවුලට ඩොලර් මිලියන 23ක ලාභයක් හිමි විය. ඉන් කෙටි කලකට පසු, ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කෘත්‍රිම බුද්ධිය (AI) බලගන්වන පරිගණක චිප්ස් අපනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹුණි.
ට්‍රම්ප්ගේ මීම්කොයින් ව්‍යාපාරයට 2025 පෙබරවාරි මාසයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් සෘජු ප්රතිලාභ ලැබුණු අතර, එමඟින් කර්මාන්තයට දැනුම් දුන්නේ එවැනි ටෝකන (tokens) මුදල් ඒකක තවදුරටත් එම ආයතනයේ අධීක්ෂණයට යටත් නොවන බවයි. මෙය බයිඩන් පරිපාලන සමයේ එම කොමිසමේ සභාපතිවරයා දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි. තවද ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී ස්ටේබල්කොයින්ස් (stablecoins) ලෙස හැඳින්වෙන ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ නීති සම්පාදනයකට අත්සන් තැබුවේ, ඔහුගේ පවුලේ අනුග්‍රහය ලබන සමාගම තමන්ගේම ස්ටේබල්කොයින් එකක් හඳුන්වා දී මාස හතරකට පසුවය.
පසුගිය ඔක්තෝබර් මාසයේදී, ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ ක්ෂේත්රයේ ධනවත්ම මිනිසා වන බයිනෑන්ස් (Binance) නිර්මාතෘ චැංපෙන්ග් ෂාඕ වෙත ජනාධිපති සමාව ලබා දුන් අතර, ඔහු 2023 දී මුදල් විශුද්ධිකරණ විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස හතරක සිරදඬුවමක් විඳ තිබුණි. එතැන් සිට බයිනෑන්ස් ආයතනය ට්‍රම්ප් පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ වැදගත් ව්‍යාපාරික හවුල්කරුවෙකු බවට පත්ව ඇත.
කෙසේ වෙතත්, ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ පෞද්ගලික ධනය වැඩි කර ගැනීමට ධවල මන්දිරය භාවිතා කළ එකම ක්ෂේත්රය ක්‍රිප්ටෝ නොවේ. ඔහු සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල දේපළ සඳහා ‘ට්‍රම්ප්’ යන නාමය භාවිතා කිරීමට බලපත්‍ර ලබා දී ඇත. එම ගනුදෙනු දෙකෙන් පමණක් 2025 දී ට්‍රම්ප්ට ඩොලර් මිලියන 14කට වඩා වැඩි මුදලක් උපයා දී ඇත.
පසුගිය ඉරිදා, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවති සෝවියට් සමූහාණ්ඩුවක් වන කසකස්තානයේ ටංස්ටන් (tungsten) පතල් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ කසකස්තානය අතර ඇති වූ ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරව්වක් පළ කළේය. මෙම ව්‍යාපෘතියට ට්‍රම්ප්ගේ පුතුන් සහ ඔහුගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සෘජුවම සම්බන්ධ වී සිටිති. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහ අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank) ඩොලර් බිලියන ගණනක ණය වෙන් කරනු ලබන්නේ මෙම පවුල් දෙකට මෙන්ම ජනාධිපතිවරයාගේ අනෙකුත් බිලියනපති හිතවතුන්ට විශාල ලාභයක් උපයා දීමට නියමිත ව්‍යාපාරයකට මුදල් සැපයීම සඳහාය.
එමෙන්ම, ධවල මන්දිරය විසින් සිදුකරනු ලබන බෝම්බ හෙලීම් සහ/හෝ ඉරානය සමඟ සාම සාකච්ඡා පිළිබඳ නිවේදන කල්තියා දැනගැනීම මත පදනම්ව තෙල් මිල පිළිබඳ අනාවැකි වෙළඳපොලවල් (predictive markets) හරහා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයන් විසින් උපයන මිලියන ගණනක මුදල්ද පවතී. කතිපයාධිකාරීන් සහ ට්‍රම්ප් වැනි ඔවුන්ගේ අපරාධ කල්ලි නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ලෝකයක, ගැණිය නොහැකි දහස් ගණනකගේ ජීවිත රිසි සේ හසුරුවන ලද වෙළඳපොලවල් හරහා ලාභ ලැබීමේ මෙවලම් බවට පත්වේ. ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් මැදපෙරදිග ප්‍රතිපත්ති සහ සාකච්ඡා වලදී තමන්ට හිමිවූ භූමිකාව භාවිතා කරමින් සෞදි අරාබියෙන් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් තමන්ගේ පෞද්ගලික ආයෝජන සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති ආකාරය ගවේෂණාත්මක වාර්තා මඟින් ලේඛනගත කර ඇත.
මේවා සිදුවන්නේ, ධවල මන්දිර උත්සව ශාලාව සහ “පරාවර්තන තටාකය” (Reflecting Pool) වැනි ව්‍යාපෘති සඳහා රජය සමඟ ව්‍යාපාරික කටයුතු කරන ආධාරකරුවන්ට ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තු ලබා දීම ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ සාමාන්‍ය දූෂණ ක්‍රියාවලට අමතරව ය.
ට්‍රම්ප් කරන්නේ නීති බිඳ දැමීම පමණක් නොවේ; ඔහු නීති නැවත ලියමින් සිටින්නේ තමන්ගේ ධනවත් වීම නීත්‍යානුකූලව අපරාධයක් ලෙස වර්ගීකරණය නොවන පරිදිය. දූෂණය රාජ්‍ය ප්‍රතිපත්තියේ මට්ටමට ඔසවා තැබෙයි — එනම් කොල්ලකන අතරතුරදීම එම කොල්ලය නීත්‍යානුකූල කිරීමකි.
මේවා තනි පුද්ගලයෙකුගේ අපරාධ නොවේ. නිව්යෝර්ක් හි දේපළ වෙළඳාම් සහ සූදු මාෆියාවේ ෆැසිස්ට්වාදී නිෂ්පාදනයක් වන ට්‍රම්ප්ව රාජ්‍ය නායකයා ලෙස පත් කර ඇත්තේ අතිශය ධනවත් සහ පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරය විසිනි. නිල සමාජයේ ඉහළම ස්ථරයන් සම්බන්ධ කරන සහ එහි වසා ගැනීම් සඳහා ට්‍රම්ප්, ආයතනික මාධ්‍ය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඒකාබද්ධ කරන එප්ස්ටයින් (Epstein) අපචාරයට (scandal) වඩා හොඳින් මෙම නව වංශවත් පන්තියේ සිරිත් විරිත් හෙළි කරන වෙනත් කිසිවක් නැත.
නාමික විපක්ෂය වන ඩිමොක්රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තම දෑත් අඹරවමින් මැසිවිලි නැඟුවද මෙම කොල්ලකෑම් නැවැත්වීමට හෝ අපරාධකරුවන් වගවීමට බැඳීමට කිසිවක් නොකරයි, මන්ද ඔවුන්ද පාලනය කරනු ලබන්නේ එම කතිපයාධිකාරී පන්තිය විසින්ම වන අතර, ඔවුන් ලාභය සඳහා වන නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය මත පදනම් වූ ක්‍රමය ආරක්ෂා කරන බැවිනි.
මෙම සමස්ත පන්තියේ දේපළ රාජසන්තක කළ යුතු අතර, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන ධනය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කළ යුතුය.
[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි]
