ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 9 දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1” යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි.
මෙය මෙම ලිපි මාලාවේ දෙවන සහ අවසාන කොටසයි. පළමු කොටස කියවන්න.
යුරෝපා සංගමය (EU – European Union), අප්‍රිකානු රටවල් සමඟ අමුද්‍රව්‍ය සහ සැපයුම් දාම පිළිබඳ මූලෝපායික හවුල්කාරිත්ව මාලාවකට ද අත්සන් තබා ඇත.
2022 දී බ්‍රසල්ස් [යුරෝපා සංගමය], දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths), ලිතියම් සහ පුනර්ජනනීය හයිඩ්‍රජන් ආවරණය වන පරිදි නැමීබියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. තඹ සහ කොබෝල්ට් නිස්සාරණය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා පුළුල් ආයෝජන ඇතුළත් කරමින් 2023 දී සැම්බියාව සමඟ වඩාත් පුළුල් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. ඩිජිටල් උපකරණ සඳහා ප්‍රධාන සංරචකයක් වන කොබෝල්ට් ලොව විශාලතම ප්‍රමාණයෙන් නිස්සාරණය කරන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC – Democratic Republic of Congo) සමඟ මූලෝපායික හවුල්කාරිත්වයක් එම වසරේම ඇති කර ගන්නා ලදී.

ලෝක වෙළඳපොළට අපනයනය කිරීම සඳහා ඇන්ගෝලාව හරහා අත්ලාන්තික් වෙරළ තීරයට DRC සහ සැම්බියාවෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසන ලොබිටෝ කොරිඩෝව (Lobito Corridor) පුළුල් කිරීමට යුරෝපා සංගමයට අවශ්‍ය වී ඇත. යුරෝපීය ආයෝජන බැංකුව (European Investment Bank) සහ පෞද්ගලික ආයතන විසින් අරමුදල් සපයනු ලබන මෙම යටිතල පහසුකම්, කලාපය තුළ චීන සහ එක්සත් ජනපද (US) බලපෑම සෘජුවම දුර්වල කිරීම අරමුණු කර ගත්තකි.
ඇමරිකා මහද්වීපය තුළ, මෙර්කෝසූර් (Mercosur) වෙළඳ ගිවිසුම මඟින් යුරෝපා සංගමය සහ තීරණාත්මක ඛනිජ (critical minerals) ලබා ගැනීමේ එහි වැදගත්ම හවුල්කරුවන් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරයි. ආර්ජන්ටිනාව සමඟ එක්ව “ලිතියම් ත්‍රිකෝණයේ” (lithium triangle) කොටස්කරුවෙකු වන චිලී රාජ්‍යය, 2024 දී බ්‍රසල්ස් සමඟ වෙනම නිදහස් වෙළඳ ගිවිසුමකට (free trade agreement) එළඹුණි.
තවත් උතුරට වන්නට, සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමේ හැකියාවක් සහිත, තීරණාත්මක ඛනිජ සහ ස්වාභාවික වායු (natural gas) සැපයුම්කරුවෙකු ලෙස කැනඩාව සලකනු ලැබේ. කැනඩාව යුරෝපීය බලවතුන් සමඟ සබඳතා ගැඹුරු කර ගැනීමට උනන්දු වෙයි. ට්‍රම්ප් කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට තම අභිප්‍රාය ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනපද වෙළඳපොළ මත දැඩි ලෙස රඳා පවතින එහි ආර්ථිකය කඩාකප්පල් කරන බවට තර්ජනය කර ඇත.
මෑතකදී යෙරෙවන්හි (Yerevan) පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජා (EPC – European Political Community) සමුළුවට එවැනි රැස්වීමකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන රාජ්‍ය නායකයා ලෙස කැනඩා අගමැති මාර්ක් කාර්නි සහභාගී වීම, සම්ප්‍රදායික අත්ලාන්තික් සාගරය හරහා සබඳතාවල (transatlantic relations) දරුණු බිඳවැටීම සහ වොෂින්ටනයේ තර්ජනවලට ප්‍රතිතුලනයක් (counterweight) ලෙස යුරෝපය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට කැනඩාවට ඇති උවමනාව පෙන්නුම් කළේය.
අමුද්‍රව්‍ය සහ ප්‍රතිසන්නද්ධකරණය
අමුද්‍රව්‍ය සහ වාණිජ වෙළඳපොළවල් සුරක්ෂිත කර ගැනීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදීන් ගේ ගෝලීය පීරා යෑම, තම ප්‍රතිවාදීන්ට එරෙහිව තම අවශ්‍යතා පැටවීමට සමත්, සටනට සූදානම් මිලිටරි බලකායක් අවශ්‍ය වේ. යුරෝපීය බලවතුන් තම මිලිටරි යන්ත්‍ර සඳහා යුරෝ බිලියන සිය ගණනක් වැය කරති. මේ ක්‍රියාදාමයේ සුවිශේෂිත තත්වයක පසුවන ජර්මනිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ණය සීමාවන්ගෙන් මිලිටරි වියදම් නිදහස් කිරීම සඳහා තම මූලික නීතිය (Basic Law) සංශෝධනය කර ඇති අතර, එමඟින් හමුදාවට සහ අදාළ යටිතල පහසුකම් සඳහා අරමුදල් සැපයීමට යුරෝ ට්‍රිලියන 1 ක [ලංකා රුපියල් කෝටි කෝටි 3.9 ක්] ණය ලබා ගැනීමට එයට හැකි වී තිබේ. යුරෝපා සංගමය මිලිටරි ආයෝජන (military investments) සඳහා යුරෝ බිලියන 800 ක් වෙන් කර ඇත.
නූතන යුද යන්ත්‍රයක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට යුරෝපීය අධිරාජ්‍යවාදීන් අපොහොසත් වුවහොත් මෙම මුදල්වලින් ඇති පලක් නැත. එක් ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදයේ නිෂ්පාදිත සෑම F-35 ප්‍රහාරක ජෙට් යානයක්ම නිපදවීම සඳහා දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400 ක් අවශ්‍ය වේ. යුධ ටැංකි, සන්නද්ධ වාහන සහ රේඩාර් පද්ධති සියල්ලම තීරණාත්මක ඛනිජවල ප්‍රධාන යෙදවුම් (inputs) මත රඳා පවතින අතර, යුරෝපා සංගම් රටවල් දැනට ඒවා ලබා ගන්නේ චීනයෙන්, රුසියාවෙන් හෝ ඔවුන්ගේ සෘජු පාලනය යටතේ නොමැති වෙනත් රටවලිනි. ප්‍රධාන යුධ ටැංකියක් (main battle tank – MBT) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යෙදවුම් විස්තර කරමින් මූලෝපායික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනය (IISS – International Institute for Strategic Studies) විසින් කරන ලද අධ්‍යයනයක මෙසේ සඳහන් වේ:
“නූතන ප්‍රධාන යුධ ටැංකියක (MBT) හැකියාව දැන් විනිශ්චය කරනු ලබන්නේ එහි සංවේදක සහ ඔප්ට්‍රොනික්ස් (optronics-විද්‍යුත්-ආලෝක තාක්ෂණය) වල නවීන-සංකීර්ණ කුසලතාවයන් මෙන්ම වෙඩි බලය, ආරක්ෂාව සහ සංචලතාව වැනි සම්ප්‍රදායික මිතිකයන් (මිනුම් දඬු) ගෙනි. මේ සම්බන්ධයෙන් ගත් කල, වඩා හොඳ සංවේදක මඟින් යුද පිටියේ වඩා හොඳ දැනුවත්භාවයක් (battlefield awareness) ලබා දෙන අතර, එමඟින් ඉලක්ක සොයාගැනීමේ, හඳුනාගැනීමේ සහ තහවුරු කරගැනීමේ (identification) පරාසයන් පුළුල් කිරීමට කාර්ය මණ්ඩලයට හැකියාව ලැබේ. සංවේදක වඩ වඩාත් සංකීර්ණ වන අතර තීරණාත්මක ද්‍රව්‍ය මාලාවක් මත රඳා පවතී. මූලික වීදුරු සහ දර්පණ සඳහා සිලිකන් සහ සෙරමික් භාවිතා කරන අතර, අඩු දෘශ්‍යතා සහිත පරිසරයන්හි ප්‍රධාන මෙවලම් වන අධෝරක්ත (IR – infrared) සහ රාත්‍රී දර්ශන (NV – night-vision) පද්ධතිවල රසදිය (mercury), කැඩ්මියම් ටෙලුරයිඩ් (cadmium telluride), ජර්මේනියම් (germanium), තඹ සහ ටැන්ටලම් (tantalum) අඩංගු විය හැක. ලේසර් දුර මනින උපකරණ (laser rangefinders) සහ වෙඩි කඳ යොමු සංවේදක (muzzle reference sensors) නූතන ටැංකිවල පොදු ලක්ෂණ වන අතර, ඉලක්කයක් දෘශ්‍යමය වශයෙන් හඳුනාගත් පසු වෙඩි තැබීමේ නිවැරදි කෝණ/විසඳුම් (firing solutions) සකස් කිරීම වේගවත් කිරීමට ඒවා උපකාරී වේ. මේවා සඳහා නියෝඩියමියම්-ඉට්‍රියම්-ඇලුමිනියම් ගානට් (neodymium–ytrium–aluminium garnet) සහ ඉන්ඩියම් (indium) හා අර්බියම් (erbium) භාවිතා කළ හැක. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS – US Geological Survey) අනුව, නියෝඩියමියම් සහ ඉට්‍රියම් යනු දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs – Rare Earth Elements) වන අතර ඉට්‍රියම් 94% ක්ම සපයනු ලබන්නේ චීනයෙනි.”
MBT සන්නිවේදන පද්ධති, “තඹ සහ ගැලියම් ආසනයිඩ් (gallium arsenide), ගැලියම් නයිට්‍රයිඩ් (gallium nitride), බෙරිලියම් (beryllium), සිලිකන්, රිදී සහ ඉන්ඩියම් වැනි අනෙකුත් තීරණාත්මක ද්‍රව්‍ය” මත රඳා පවතින බව එහි සඳහන් වේ. ටැංකියේ ප්‍රධාන තුවක්කුව සහ සන්නාහය (armour) සම්බන්ධයෙන් ගත් කල, ඒවාට “ඇන්ටිමනි (antimony), කාබන් (carbon), මැංගනීස් මිශ්‍ර ලෝහ (manganese alloys), ක්‍රෝමියම් (chromium), නිකල් (nickel), මොලිබ්ඩිනම් (molybdenum) සහ වැනේඩියම් (vanadium)” අවශ්‍ය වන අතර පතොරම් (ammunition) සහ සන්නාහය ඒවායේ දෘඪතාව හේතුවෙන් ටංස්ටන් (tungsten) සහ ටයිටේනියම් (titanium) මත රඳා පවතී.

IISS අධ්‍යයනය නාවික සහ ගුවන් ක්ෂේත්‍රවල මිලිටරි උපකරණ සඳහා ද මෙවැනිම විස්තරයකට යයි. එහි හැඳින්වීමේ සඳහන් වන පරිදි: “බාහිර සැපයුම් මත, සහ විශේෂයෙන් බොහෝ විට එක් ස්ථානයක පමණක් සංකේන්ද්‍රණය වී ඇති තීරණාත්මක අමුද්‍රව්‍ය මත යුරෝපයේ ඉහළ යැපීම, යුරෝපීය ආරක්ෂක/මිලිටරි නිෂ්පාදනය (defence manufacturing) සඳහා සැලකිය යුතු සහ වර්ධනය වන අවදානමක් පෙන්නුම් කරයි.”
වෙළඳ හවුල්වල සිට ලෝක යුද්ධය දක්වා, සහ කම්කරු පන්තියේ සමාජවාදී ප්‍රතිචාරය
ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සුරක්ෂිත කර ගැනීමට සහ වෙළඳපොළවල් පුළුල් කිරීම සදහා යුරෝපා සංගමය දරන උත්සාහයන් සිදුවන්නේ ගෝලීය ධනේශ්වර අර්බුදයක් මැද ය. එහි ප්‍රතිවිරෝධතා දැනටමත් තුන්වන ලෝක යුද්ධයක මුල් අවධියට මඟ පාදා ඇති අතර, ලෝකය නැවත බෙදා ගැනීමක් සඳහා ප්‍රධාන බලවතුන් පටලවා ඇත. ඕනෑම එක් බලවතෙකු තම සැපයුම් දාමයන් ස්ථාවර කිරීමට දරන උත්සාහය එහි ප්‍රතිවාදීන් සමඟ නව ආතතීන් ඇති කරයි. සියලුම බලවතුන් එකවර එසේ කිරීමට දරන උත්සාහය අනිවාර්යයෙන්ම අධිරාජ්‍යවාදී යුද්ධයක් දක්වා උත්සන්න විය යුතුය. යුරෝපය තුළ, යුරෝපා සංගමය යනු තනි බලවතෙකු නොව, ප්‍රංශය සහ ජර්මනිය අතර නැවත නැවතත් ආතතීන් ඇවිලීමෙන් පෙන්නුම් කරන පරිදි, අවශ්‍යතා එකිනෙකට වෙනස් වන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් වීම මඟින්, මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙයි.
මෙම ගැටුම්කාරී න්‍යාය පත්‍ර දැනටමත් යුක්රේනය තුළ පුපුරා ගොස් ඇති අතර, එහිදී එක්සත් ජනපදය සහ නේටෝව ක්‍රමානුකූලව යුක්රේනය තුළ රුසියාව සමඟ යුද්ධයක් අවුලුවාලීය. යුරෝපීය බලවතුන් මඟහරිමින් රුසියාව සමඟ එකඟතාවයකට පැමිණීමට වොෂින්ටනය දරන උත්සාහයේ කොටසක් ලෙස, ට්‍රම්ප් පසුගිය වසරේ යුක්රේනය සමඟ රටේ තීරණාත්මක ඛනිජ සූරාකෑම සදහා– යුරෝපීය අධිරාජ්‍යවාදීන් බැහැර කරන– ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුණි.
දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රවේශය සදහා විවෘත වන ආක්ටික් මුහුදු මාර්ගවල හදවතේ ප්‍රධාන උපායමාර්ගික ස්ථානයක් හිමිකරගෙන සිටින, අමුද්‍රව්‍යවලින් පොහොසත් ඩෙන්මාර්ක ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට නැවත නැවතත් තර්ජනය කරමින් ට්‍රම්ප් පසුගිය වසර පුරා යුරෝපීය බලවතුන් සමඟ ආතතීන් ගැඹුරු කළේය. එක්සත් ජනපද සොල්දාදුවන් සඳහා ස්ථිර කඳවුරු සුරක්ෂිත කර ගැනීමට සහ දූපතේ ඕනෑම ප්‍රධාන ආයෝජන තීරණයක් සම්බන්ධයෙන් වොෂින්ටනයට නිෂේධ බලය ලබා ගැනීමට එක්සත් ජනපදය ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මැයි මාසයේදී වාර්තා කළේය.
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ එක්සත් ජනපද මිලිටරියේ පිටුෆික් අභ්‍යවකාශ කඳවුරේදී අදහස් දක්වන අතර, බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (වමේ) සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලා සිටිති, 2025 මාර්තු 28 සිකුරාදා. [AP ඡායාරූපය/ජිම් වොට්සන්

අධිරාජ්‍යවාදීන් අතර ප්‍රතිවිරෝධතා දැඩි වීම සහ ගැටුම්කාරී කන්ඩායම් විවෘතව නැවත ඉස්මතු වීම, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති සහ එය පෝෂණය කළ 1930 ගණන්වල තරඟකාරී වෙළඳ කාණ්ඩ ගැසීම් වලට සමාන වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI – International Committee of the Fourth International) මෙම ක්‍රියාවලියේ මූලාරම්භය එහි වර්ධනයේ වඩාත් මුල් අවධියකදී, එනම් 1990 ගණන්වල මුල් භාගයේදී, එක්සත් ජනපදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය මත පදනම් වූ පශ්චාත් යුද සමතුලිතතාවය බිඳවැටීමේදී හඳුනා ගත්තේය. එම වසරේ අගභාගයේදී බර්ලිනයේ කැඳවන ලද අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා කැඳවුම් කරමින් ICFI එහි 1991 මැයි දින ප්‍රකාශනයේ මෙසේ ලිවීය:
“දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර සබඳතාවල මෙවැනි අවිනිශ්චිතතාවයක් පැවතී නැත. සීතල යුද්ධය (Cold War) සමයේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගලා ගිය පෙර දැකිය හැකි නාලිකා සිදුවීම් විසින් අභිබවා ගොස් ඇත. පැරණි සන්ධානයන් බිඳ වැටෙමින් පවතී; තවද නව සන්ධානයන් තවමත් ගොඩනැගීමේ ක්‍රියාවලියේ පවතී. ලෝක ආධිපත්‍යය සඳහා ප්‍රබල අන්තර්ජාතික සංගතවල අරගලය ජාත්‍යන්තර කටයුතුවලට බිහිසුණු ආතතියක් ලබා දෙයි… ‘මිතුරන්’ සහ ‘සතුරන්’ පෙළගැස්වීම තවමත් බොහෝ සෙයින් බලාපොරොත්තු නොවූ ස්වරූපයක් ගත හැකිය. නමුත් අධිරාජ්‍යවාදයේ ස්වභාවයම, අවශ්‍යතාවල ගැටුම අනිවාර්යයෙන්ම යුද්ධය දෙසට ගමන් කරයි.“
වසර තිස්පහකට පසු, ලෝක යුද්ධය තවදුරටත් අනාගත වියහැකියාවක් (prospect) නොව, කම්කරුවන්ගේ ඇස් පනාපිට දිග හැරෙන බිහිසුණු ක්‍රියාවලියකි. යුරෝපීය බලවතුන් එහි ආරම්භය ගැන තමන්ගෙන් සමග සාකච්ඡා නොකකල බවට මැසිවිලි නගන අතරේම අනුමත කළ ඉරානයට එරෙහි නීතිවිරෝධී එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය, සෝවියට් සංගමය බිඳවැටීම දක්වා දිවෙන සමස්ත ඓතිහාසික යුගයක උච්චතම අවස්ථාව විය. නමුත් අඛණ්ඩ යුද මාලාවක් හරහා මිලිටරි බලය යෙදවීමෙන් තම ආර්ථික පරිහානිය පියවා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.
ඉරානය සහ පුළුල් මැදපෙරදිග වේගයෙන් උත්සන්න වන තුන්වන ලෝක යුද්ධයක එක් පෙරමුණක් වන අතර, එම ලෝක යුද්ධය, රුසියාවට එරෙහි යුද්ධය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනය සමඟ යුද්ධය සඳහා වන සූදානම ද ඇතුළත් කර ගනී. වෙළඳපොළවල්, ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සඳහා වන ගෝලීය පොරබැදීමේදී යුරෝපීය බලවතුන් — මිලිටරි සැපයුම් සහ බුද්ධි තොරතුරු සඳහා එක්සත් ජනපදය මත බෙහෙවින් රඳා පවතින බැවින් — යම් මට්ටමක අත්ලාන්තික් සාගරයෙන් හරහා සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කටයුතු කරන අතරම, මෙම හිටපු මිතුරන් (erstwhile allies) ගෝලීය යුද්ධයේ සියලු පෙරමුණු වලදී එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස දැක ගනිති.
ලෙනින් පළමු ලෝක යුද්ධය සහ රුසියානු විප්ලවය විසින් විවෘත කරන ලද ඓතිහාසික අවධිය යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයක් ලෙස විස්තර කළේය. මන්ද, ධනවාදයේ ප්‍රතිවිරෝධතා අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් හෝ සමාජවාදී විප්ලවයක් හරහා මිස විසඳිය නොහැකි මට්ටමට මුහුකුරා ගොස් තිබූ බැවිනි. මෙම යුගය පිළිබඳ එම අවබෝධය ඇතිවය ICFI හි 1991 මැයි දින ප්‍රකාශය අවධාරණය කළේ මෙසේය:
“ඓතිහාසික අත්දැකීම් පැහැදිලිවම සාක්ෂි දරන්නේ ප්‍රශ්නය තීරණය කරන්නේ ධනපති දේශපාලඥයන්ගේ සදාචාරාත්මක මනස්තාප (moral qualms) හෝ ආත්මීය භීතීන් නොව, අධිරාජ්‍යවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතා බවයි. තවත් ලෝක යුද්ධයක් වැලැක්විය හැකි ලොව එකම බලවේගය විප්ලවවාදී කම්කරු පන්තියයි.”
යුරෝපයේ කම්කරුවන්ගේ කර්තව්‍යය වන්නේ යුද්ධයට, ප්‍රතිසන්නද්ධකරණ අයවැයට, සමාජ කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට සහ ධනේශ්වර තරඟකාරිත්වයේ සමස්ත තර්කනයට එරෙහි වන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එමෙන්ම එය එක්සත් ජනපදය, රුසියාව, චීනය, යුක්රේනය, ඉන්දියාව, අප්‍රිකාව සහ ලොව පුරා සිටින කම්කරුවන් සමඟ සවිඥානික එකමුතුවකින් යුතුව සිදු කිරීමයි. සියලුම රටවල කම්කරුවන් සමාජයේ සමාජවාදී පරිවර්තනයක් සඳහා සටන් කළ යුතුය: ලාභය සඳහා වන නිෂ්පාදනය වෙනුවට මානව අවශ්‍යතා සඳහා වන නිෂ්පාදනය ආදේශ කිරීම සහ ජාතික රාජ්‍ය පද්ධතිය වෙනුවට සමාජවාදී සමූහාණ්ඩුවල සහෝදර සංගමයක් ආදේශ කිරීමයි.
මෙය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිළිවෙළයි. වත්මන් සමාජ ක්‍රමයේ (social order) සමස්ත තර්කනය මනුෂ්‍ය වර්ගයා තල්ලු කරමින් සිටින ව්‍යසනය වැලැක්වීමට වෙනත් මඟක් නැත.
සමාප්තයි.
[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]
