සංජය ජයසේකර විසිනි.
මෙම ලිපිය ඉංග්‍රීසි බසින් ‘CIMP Bill: Why We are Intervening in the FMM Forum — An Independent Class Line for Press Freedom’ යන සිරසින් 2026 අගෝස්තු 13 දින theSocialist.lk හි පළ කෙරුණි.
2026 අගෝස්තු 14 වන සිකුරාදා, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී “යෝජිත මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනය, භාෂණයේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියේ අනාගතය” මැයෙන් සම්මේලනයක් පවත්වනු ලබයි. මෙම සංවාදය සඳහා මානව හිමිකම් නීතිඥ ලක්ෂාන් ඩයස් හා දක්ෂිණාංශික දේශපාලන මූලෝපායඥයකු වන ශිරාල් ලක්තිලක සහභාගී වන අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) හා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (International Committee of the Fourth International – ICFI) ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය නියෝජනය කරමින් මම සහභාගී වෙමි.

විප්ලවවාදී සමාජවාදී-ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයේ නියෝජිතයෙකු, ධනපති සංස්ථාපිතයේ දක්ෂිණාංශික දේශපාලන මූලෝපායඥයකු සහ ලිබරල් රාජ්‍ය නොවන සංවිධාන (NGO) නැඹුරුවක් සහිත මානව හිමිකම් නීතිඥයෙකු සමඟ මෙසේ එකම වේදිකාවක් බෙදා ගන්නේ මන්දැයි මාධ්‍යවේදීන්, කම්කරුවන් සහ තරුණයන් තුළ ප්‍රශ්න මතු විය හැක. මෙයින් අදහස් වන්නේ ඔවුන්ගේ දේශපාලනය සමඟ සම්මුතියක් හෝ FMM හි ප්‍රතිසංස්කරණවාදී (reformist) රාමුවට යටත් වීමක් නොවේද?
ඊට පිළිතුර එකහෙළාම ‘නැත’ යන්නයි. අප මෙම සංවාදයට මැදිහත් වන්නේම කිසිදු යටහ් වීමකින් තොරව දේශපාලන සටනක් දියත් කිරීම සඳහා ය: එනම්, මාධ්‍ය කම්කරුවන් හමුවේ අටවා ඇති ධනපති සහ සුළු-ධනපති උගුල් හෙළිදරව් කිරීමටත්, විප්ලවවාදී මාක්ස්වාදය සහ ලිබරල් ප්‍රතිසංස්කරණවාදයේ (liberal reformism) හා ධනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයේ (bourgeois constitutionalism) බංකොලොත් දේශපාලනය අතර පැහැදිලිම බෙදුම්කඩන රේඛාව ඇඳීමටත්, ජාතික ජන බලවේගය / ජේවීපී ආණ්ඩුවේ මාධ්‍ය වෘත්තිකයන්ගේ වරලත් ආයතනය (Chartered Institute of Media Professionals – CIMP) පනත් කෙටුම්පත පරාජය කිරීම සඳහා වූ ස්වාධීන, විප්ලවවාදී මූලෝපායක් කම්කරු පන්තිය හමුවේ තැබීමටත් ය. අප මෙම වේදිකාවට ගොඩවන්නේ ලක්තිලක සහ ඩයස් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට නොව, මාධ්‍යවේදීන්, මාධ්‍ය කම්කරුවන්, තරුණයන් සහ බුද්ධිමතුන්ගෙන් සමන්විත සභාවක් ඉදිරියේ ඔවුන් නියෝජනය කරන මතවාද දේශපාලනිකව සුනුවිසුනු කිරීමටත් — එම ප්‍රේක්ෂකයන් හතරවන ජාත්‍යන්තරයේ ස්වාධීන පන්ති වැඩපිළිවෙළ වෙත දිනා ගැනීමටත් ය.
මූලධර්මය: විප්ලවවාදීන් ධනපති වේදිකාවල මැදිහත්වීම් කරන්නේ ඇයි?
විප්ලවවාදීන් පන්ති සතුරන් සමඟ එකම වේදිකාවක් බෙදා නොගත යුතුය — එසේ කිරීමෙන් දේශපාලන අනුමැතියක් හෝ පාවාදීමක් අඟවන්නේ යැයි කියන — යන විරෝධතාව අලුත් එකක් නොවේ. එය, 1920 දී ලෙනින් විසින් රචිත ‘“වාමාංශික” කොමියුනිස්ට්වාදය: ළදරු වලිප්පුවක් (“Left-Wing” Communism: an Infantile Disorder)’ නැමැති පොතෙන් සුනුවිසුනු කර දැමූ “වාමාංශික” ළදරු ආබාධයේම තවත් එක් ප්‍රභේදයකි. එහිදී, කම්කරු පන්තිය, ධනපති සහ සුළු-ධනපති ප්‍රවණතාවල අනභියෝගී මතවාදී බලපෑමට යටත් කරන කට්ටිවාදී අක්‍රියතාවයක් (sectarian passivity) ලෙස අති-වාමාංශික වර්ජකවාදය (ultra-left abstentionism) ලෙනින් විසින් ප්‍රතික්ෂේප කරන ලදී.
වර්ජකවාදය (Abstentionism) තමන්ව ඉදිරිපත් කර ගන්නේ පිරිසිදු විප්ලවවාදී භාවයක් ලෙසයි. ‘පංති සතුරන් සමඟ එකම වේදිකාවක් බෙදා ගනිමින් අපව කිලුටු කර ගන්නේ නැහැ.’ ‘සමාජ-ස්වෝත්තමවාදින් (Social-chauvinists) විසින් මෙහෙයවනු ලබන ප්‍රතිගාමී වෘත්තීය සමිතිවලට අපි ඇතුළු වන්නේ නැහැ.’ ‘අපි ධනපති පාර්ලිමේන්තු වලට සහභාගි වන්නේ නැහැ.’ මෙම ස්ථාවරය රැඩිකල් එකක් ලෙස පෙනී යයි. දේශපාලනික වශයෙන් පිරිසිදුව සිටීමේ ආත්මීය අවශ්‍යතාව එයින් තෘප්තිමත් කෙරේ. නමුත් මෙහි වාස්තවික ඵලය වන්නේ විප්ලවවාදී බවේ ප්‍රතිපක්ෂය යි: එනම්, සටන් බිම හැර යාමයි. එය වෘත්තීය සමිති සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණවාදී නිලධාරීන්ගේ (Reformist bureaucrats) අතට අතහැර දමයි. පාර්ලිමේන්තුව ධනපති පක්ෂවලට බාර කරයි. එකදු ප්‍රතිවිරුද්ධ හඬක් හෝ නොමැතිව, FMM සංවාදය ලක්ෂාන් ඩයස් සහ ශිරාල් ලක්තිලක වෙත — එනම් ලිබරල් නීතිවාදයට (Liberal legalism) සහ ධනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයට (Bourgeois constitutionalism) — යටත් කර දමයි. එවිට, මෙම සංවාදයට සහභාගි වන කම්කරුවන්ට, මාධ්‍යවේදීන්ට සහ තරුණයන්ට ඇසීමට ලැබෙන්නේ එක පැත්තක හඬ පමණි: එනම් රාජ්‍යයට පෙත්සම් ගසන ලෙස, අධිකරණය කෙරෙහි විශ්වාසය තබන ලෙස සහ තමන්ගේ අයිතිවාසිකම් සූරාකන පද්ධතියේම රාමුව තුළ පිළියම් පතන ලෙස ඔවුන්ට පවසන පාර්ශ්වයේ හඬ පමණි.
එය විප්ලවවාදී සුපිරිසිදු බවක් නොවේ. එය දේශපාලනික බිම අතහැර පලායාමයි. (Political desertion). පීඩිත ජනතාව විකල්පයක් සොයමින් සිටින තීරණාත්මක මොහොතේම, ඔවුන්ව පංති සතුරාගේ මතවාදී ආධිපත්‍යයට (Ideological hegemony) බාරදී අතහැර දැමීමයි.
ජර්මානු “වාම” කොමියුනිස්ට්වාදීන් තර්ක කළේ, සමාජ-ස්වොත්තමවාදීන් (social-chauvinist) සහ ප්‍රති-විප්ලවවාදී (counter-revolutionary) නායකයන්ගේ ග්‍රහණයට හසුව තිබූ බැවින් විප්ලවවාදීන් ප්‍රතිගාමී වෘත්තීය සමිති තුළ වැඩ කිරීම ප්‍රතික්ෂේප කළ යුතු බවයි. පාර්ලිමේන්තුන්තුවාදය “ඓතිහාසිකව සහ දේශපාලනිකව යල් පැන ගිය එකක්” වූ බැවින් විප්ලවවාදීන් ධනපති පාර්ලිමේන්තුවලට සහභාගී වීම ප්‍රතික්ෂේප කළ යුතු බවට ද ඔවුහු තර්ක කළහ. ඊට ලෙනින් දුන් පිළිතුර ප්‍රබල එකක් විය:
“ඔබට ‘මහජනතාවට’ උදව් කරන්නත්, ‘මහජනතාවගේ’ සහකම්පනය සහ සහයෝගය දිනාගන්නත් ඕන නම්, ඔබ ‘නායකයන්ගෙන්’ සුදු වෙන කරදර, රැවටිම් හා වංචාවන්, අපහාස, හිංසනයන්ට බය වෙන්න හොඳ නැහැ… මහජනතාව ඉන්නෙ කොතැනද ඔබ එතැන අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. නිර්ධන පන්තික හෝ අර්ධ-නිර්ධන පන්තික මහජනතාව ඉන්න ඒ ආයතන, සමිති සහ සංගම්වල — ඒවා කොච්චර ප්‍රතිගාමී ඒවා වුණත් — ක්‍රමවත්ව, නොපසුබටව, කැපවීමෙන් සහ ඉවසීමෙන් උද්ඝෝෂණ හා ප්‍රචාරක කටයුතු කරගෙන යන්න ඕනෑම කැප කිරීමක් කරන්න, ලොකුම බාධක පවා ජය ගන්න ඔයාලට පුළුවන් වෙන්න ඕන.”
මූලික මූලධර්මය වන්නේ මෙයයි. විප්ලවවාදී පක්ෂය තමන්ගේ අරගල භූමිය තෝරා ගන්නේ තමන්ගේ පහසුව තකා නොවේ. එය මහජනතාව සිටින තැනට යයි — නැතහොත්, මෙම අවස්ථාවේ දී නම්, මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රශ්නයට පිළිතුරු සොයන මාධ්‍යවේදීන්, මාධ්‍ය කම්කරුවන්, අන්තර්ගත නිර්මාණකරුවන් (content creators) සහ දේශපාලනිකව සවිඥානික තරුණයන් රැස්වන ස්ථානයට ය. FMM සංවාදය, එහි දේශපාලන සීමාවන් කෙබඳු වුවත්, හරියටම මෙකී පිරිස ආකර්ෂණය කර ගනු ඇත. ඊට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම, වේදිකාව සම්පූර්ණයෙන්ම ලක්ෂාන් ඩයස්ට සහ ශිරාල් ලක්තිලකට අතහැර දැමීම යනු, එම පිරිස ධනපති සහ සුළු-ධනපති දේශපාලනයේ බලපෑමට බිලිදීමයි. එය විප්ලවවාදී පිරිසිදුකම නොව දේශපාලන බියගුලුකමකි.
සිවිල් සමාජ සම්මේලනයකටත් වඩා තමන්ගේ කාර්යභාරය පැත්තෙන් ප්‍රතිගාමී වූ ආයතන වන ධනපති පාර්ලිමේන්තුවලට සහභාගී වීමේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෙනින් වඩාත් පැහැදිලි විය:
“කාර්මික කම්කරුවන්ගෙන් තරමක් විශාල සුළුතරයක්…. කතෝලික පූජකයන්ගේ නායකත්වය පස්සේ යනවා නම්… ඒකෙන් පැහැදිලිවම අදහස් වෙන්නේ ජර්මනියේ පාර්ලිමේන්තුවාදය තාමත් දේශපාලනිකව යල් පැන ගිහින් නැහැ කියන එකත්, ඒ වගේම, තමන්ගේම පන්තියේ පසුගාමී කොටස් අධ්‍යාපන ගත කිරීමේ අරමුණෙන්ම, පාර්ලිමේන්තු මැතිවරණවලට සහ පාර්ලිමේන්තු වේදිකාවේ අරගලයට සහභාගී වීම විප්ලවවාදී නිර්ධන පන්තියේ පක්ෂයට අනිවාර්ය දෙයක් වෙන බවත්.”
එම තර්කයම මෙහිදී අදාල වේ. FMM සම්මේලනයට සහභාගී වන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කම්කරුවන් තවමත් විප්ලවවාදී ඉදිරිදර්ශනය වෙත දිනාගෙන නොමැත. බොහෝ දෙනෙක් ඩයස්ගේ ලිබරල්-නීතිවාදී (liberal-legalist) තර්කවලට හෝ ලක්තිලකගේ ධනපති-ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදී (bourgeois-constitutionalist) ගණන් බැලීම් වලට ආකර්ෂණය වී සිටින බව නොඅනුමානය. ට්‍රොට්ස්කිවාදියාගේ කාර්යයභාරය වන්නේ එම වේදිකාවේ පෙනී සිටීමත්, මාක්ස්වාදී විකල්පය ඉදිරිපත් කිරීමත්, එම මැදිහත්වීම තුළින් වඩාත්ම ප්‍රගතිගාමී කොටස් දැනුවත් කිරීම, හෙළිදරව් කිරීම සහ ස්වාධීන පන්ති වැඩපිළිවෙළ වෙත දිනා ගැනීමත් ය.
බෝල්ෂෙවික්වරු (Bolsheviks) විසින්ම මීට ඓතිහාසික ආදර්ශය සපයා ඇත. 1905 දී, ඔවුහු බුලිගින් ඩූමාව (Bulygin Duma) — නැමැති උපදේශක “පාර්ලිමේන්තුව” — නිවැරදිවම වර්ජනය කළහ. මන්දයත්, වාස්තවික තත්ත්වය ජන අරගල සහ සන්නද්ධ නැගිටීම් දෙසට වේගයෙන් වර්ධනය වෙමින් පැවති බැවිනි. නමුත් 1906 දී, විප්ලවවාදී රැල්ල බැස ගිය විට, ඩූමාව වර්ජනය කිරීම වරදක් වූ අතර බෝල්ෂෙවික්වරු එය නිවැරදි කර ගත්හ. ඔවුහු වඩාත්ම ප්‍රතිගාමී පාර්ලිමේන්තුවට පවා සහභාගී වූ අතර, එහි වේදිකාව විප්ලවවාදී උද්ඝෝෂණය සඳහා භාවිතා කරමින්, එම කාර්යය හරහා ජනතාව සමඟ පක්ෂයේ සබඳතාව ගොඩනැගූහ. ලෙනින් එම පාඩම මෙසේ සංක්ෂිප්ත කළේය:
“1905 දී බෝල්ෂෙවික්වරු ‘පාර්ලිමේන්තුව’ වර්ජනය කිරීම විප්ලවවාදී නිර්ධන පන්තියට හරිම වටිනා දේශපාලන අත්දැකීමක් එකතු කළා… හැබැයි, ඒ අත්දැකීම වෙනස් තත්ත්වයන්ට සහ වෙනස් අවස්ථාවලට අන්ධ ලෙස, අනුකරණය කරමින්, විවේචනයකින් තොරව ආදේශ කරන්න යෑම අතිශයින්ම වැරදියි.”
අද, ශ්‍රී ලංකාවේ පවත්නා තත්ත්වය, කම්කරු පංතිය සෝවියට් සභා ගොඩනගමින් බලය පිළිබඳ ප්‍රශ්නය වහාම මතු කෙරෙන මහජන විප්ලවවාදී නැගී සිටීමේ තත්ත්වයක් නොවේ. එය, සමාජ අර්බුදය උග්‍රවන, සමාජ කප්පාදු (austerity) ගැඹුරු කරන, සහ අධිපතිවාදී රාජ්‍ය යන්ත්‍රණයක් ගොඩනැගෙමින් පවතින කාලපරිච්ඡේදයකි — මෙහිදී මාධ්‍යවේදීන්, අන්තර්ගත නිර්මාණකරුවන් සහ තරුණයන්ගේ පුළුල් ස්තරයන් දේශපාලන මගපෙන්වීමක් සොයමින් සිටියි. මෙවැනි තත්ත්වයක් තුළ, ලිබරල් රාජ්‍ය නොවන සංවිධානයක් (NGO) විසින් සංවිධානය කරනු ලබන සහ ධනපති කථිකයන් සහභාගී වන එකක් වූ පලියට මාධ්‍ය නිදහස පිළිබඳ ප්‍රසිද්ධ සංවාදයක් වර්ජනය කිරීම යනු, අප දිනා ගැනීමට උත්සාහ කරන ස්තරයන්ටම පිටුපෑමකි. නිවැරදි උපක්‍රමය වන්නේ මැදිහත් වීම, මායිම් රේඛා සටහන් කිරීම සහ සටන් කිරීමයි.
යටත්වීමක් නැත: තියුණුම බෙදුම්කඩනය ඇඳීම
මැදිහත් වීම යනු සම්මුතියක් නොවේ. මෙම වෙනස මූලික එකක් වන අතර, මේ පිළිබඳ පටලවා ගැනීම මාරාන්තික වේ.
ලෙනින්වාදී අර්ථයෙන් සම්මුතියක් යනු වැඩපිළිවෙළ හෝ ප්‍රතිපත්තියේ යටත් වීමක් අඩංගු වන්නකි — එනම් කම්කරු පන්තියේ ස්වාධීන වුවමනාවන්, ධනපති පංතියේ හෝ සුළු-ධනපති පංතියේ වුවමනාවන්ට යටත් කිරීමට එකඟ වීමයි. මහජන පෙරමුණ (Popular Front) — එනම් කොමියුනිස්ට් පක්ෂය, ධනපති පංතිය මෙහෙයවන සන්ධානයකට යටත් කිරීම — එවැනි සම්මුතියක් විය. වෘත්තීය සමිති නිලධාරි තන්ත්‍රය, දිසානායක ආණ්ඩුව සමඟ ඇති කර ගෙන ඇති “වැඩ වර්ජන නොකිරීමේ” ගනුදෙනු එවැනි සම්මුතියකි. විශ්‍රාම වැටුප් සහ බැංකු ණය වෙනුවෙන් CIMP පනත් කෙටුම්පත සාදරයෙන් පිළිගන්නා ආයතනගත මාධ්‍යවේදීන් එළඹෙන්නේ ද එවැනි සම්මුතියකටයි.
FMM සම්මේලනයට අප සහභාගී වීම තුළ එවැනි කිසිවක් අඩංගු නොවේ. අප අපගේ එකදු ස්ථාවරයක්වත් වෙනස් කර නොමැත. අපගේ එකදු විවේචනයක්වත් නිහඬ කර නැත. ලක්තිලක, ඩයස් හෝ FMM සමඟ කිසිදු පොදු වේදිකාවකට, ඒකාබද්ධ ප්‍රකාශනයකට හෝ එක්සත් ඉල්ලීමකට අප එකඟ වී නොමැත. ඊට පටහැනිව, අප ඔවුන්ගේ වේදිකාවට ගොඩවන්නේම ඔවුන්ගේ දේශපාලනයේ බංකොලොත්භාවය හෙළිදරව් කිරීමේ සහ විප්ලවවාදී විකල්පය ඉදිරිපත් කිරීමේ පැහැදිලි අරමුණෙනි. අප ඔවුන්ගේ හවුල්කරුවන් නොවේ. අප ඔවුන්ගේ දේශපාලන පසමිතුරන් වන අතර, එම සභාවේ සිටින සෑම අයෙකුටම එම සත්‍යය පැහැදිලිවම තේරුම් කර දීමට අප මෙම අවස්ථාව භාවිතා කරමු.
හතරවන ජාත්‍යන්තරය විසින් විස්තර කරන ලද එක්සත් පෙරමුණු (united front) ක්‍රමය මෙයයි — එනම් පන්ති සහයෝගිතාවේ මහජන පෙරමුණ (Popular Front) නොව, දේශපාලන හෙළිදරව් කිරීමේ එක්සත් පෙරමුණයි. ට්‍රොට්ස්කි, 1933 දී ලියූ “ආරක්ෂාව සඳහා වූ එක්සත් පෙරමුණ” (“The United Front for Defense”) ලිපියෙන් තර්ක කළේ, කොමියුනිස්ට්වාදීන්ට සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට ෆැසිස්ට්වාදයට එරෙහිව පොදු ක්‍රියාමාර්ග ගත හැකි බවයි — නමුත් එය කළ යුත්තේ සම්පූර්ණ සංවිධානාත්මක සහ දේශපාලනික ස්වාධීනත්වය මත පදනම්ව පමණක් වන අතර, ප්‍රතිසංස්කරණවාදී නායකයන්ගේ සටන් කිරීමට ඇති අකමැත්ත හෙළිදරව් කිරීමේ සහ ඔවුන්ගේ පාක්ෂිකයන් විප්ලවවාදී පක්ෂය වෙත දිනා ගැනීමේ අරමුණෙන්ම පමණි. එම මූලධර්මයම මෙහිදී ද අදාළ වේ: අප ලක්තිලක සහ ඩයස් සමඟ එකම වේදිකාවක් බෙදා ගන්නේ අප අතර ඇති රේඛා බොඳ කිරීමට නොව, ඒවා බිඳ වැටෙන තරමටම තියුණු කිරීමටය.
දේශපාලන චරිතාපදාන: අප අභියෝග කරන්නේ කාටද?
අපගේ මැදිහත්වීම අවශ්‍ය වන්නේ මන්දැයි වටහා ගැනීමට නම්, අප මෙම වේදිකාවේදී අභියෝග කරන්නේ කාටදැයි පැහැදිලිවම තේරුම් ගත යුතුය.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
FMM ආරම්භ වූයේ 1990 ගණන්වල මුල් භාගයේදී ලිබරල් සිවිල් සමාජ සහ මාධ්‍ය සදහා පෙනී සිටීමේ සංවිධානයක් ලෙසය. රාජ්‍ය ප්‍රචණ්ඩත්වයට සහ වාරණයට එරෙහිව මාධ්‍ය නිදහසේ ආරක්ෂකයෙකු ලෙස ඓතිහාසිකව පෙනී සිටියද, එහි දේශපාලන පදනම සෑම විටම ධනපති ප්‍රජාතන්ත්‍රවාදයේ සහ සිවිල් සමාජ ප්‍රතිසංස්කරණවාදයේ සීමාවන්ට කොටු වී තිබුණි. FMM බටහිර ලිබරල් පදනම්වලින් අරමුදල් සහ දෘෂ්ඨිවාදීමය මගපෙන්වීම් ලබා ගනිමින්, ප්‍රධාන වශයෙන් රාජ්‍ය නොවන සංවිධාන (NGO) රාමුවක් තුළ ක්‍රියාත්මක වේ. මාධ්‍ය කම්කරුවන්ගේ සහ පුළුල් කම්කරු පන්තියේ ස්වාධීන පන්ති බලය බලමුලු ගන්වනවා වෙනුවට, එහි මූලෝපාය රැඳී තිබෙන්නේ ධනපති රාජ්‍යයට බලපෑම් කිරීම (lobbying), ධනපති අධිකරණවලට පෙත්සම් ඉදිරිපත් කිරීම, මාධ්‍ය නිවේදන නිකුත් කිරීම සහ “ප්‍රජාතන්ත්‍රවාදී සම්මතයන්” හා ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන වලට ආයාචනා කිරීම මතය.
ධනපති ක්‍රමයේ පද්ධතිමය අර්බුදයට මුහුණ දෙන විට, FMM උත්සාහ කරන්නේ පවතින රාජ්‍ය ව්‍යුහය තුළ සුළු ක්‍රියාපටිපාටික ආරක්ෂණයන් සඳහා ගනුදෙනු කිරීමටය. සමාජ කප්පාදු සඳහා ධනපති රාජ්‍යයේ තල්ලුව — එනම් ජාතික ජන බලවේගය/ජේවීපී ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහන — සහ නිදහස් අදහස් ප්‍රකාශනය මර්දනය කිරීමේ එහි අවශ්‍යතාවය අතර ඇති සහජ සබඳතාව හෙළිදරව් කිරීමෙන් එය වැළකී සිටියි. එහි සංවාදය, පිටතින් කතිකාවක් සඳහා වූ වේදිකාවක් ලෙස පෙනුනද, මෙම ලිබරල්-ප්‍රතිසංස්කරණවාදී රාමුව තුළ සකස් කර ඇත්තකි: එනම්, ප්‍රශ්නය තිබෙන්නේ පෙරළා දැමිය යුතු ධනපති රාජ්‍යයක් තුළ නොව, බලපෑම් කිරීම් තුළින් සංශෝධනය කිරීමට හෝ පරාජය කිරීමට හැකි නරක පනත් කෙටුම්පතක් තුළ යැයි යන උපකල්පනය යි.
ශිරාල් ලක්තිලක
ශිරාල් ලක්තිලක යනු ශ්‍රී ලංකාවේ දක්ෂිණාංශික ධනපති පන්ති දේශපාලන සංස්ථාපිතය නියෝජනය කරන ප්‍රවීණ දේශපාලන මූලෝපායඥයෙකු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිඥයෙකු සහ විචාරකයෙකි. දශක ගණනාවක් තිස්සේ බල කොරිඩෝරයන් තුළ ක්‍රියාත්මක වී ඇති ලක්තිලක, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු ප්‍රධාන ධනපති පක්ෂ සමඟ සමීපව කටයුතු කර ඇත. එක්සත් ජනතා නිදහස් සන්ධාන – එක්සත් ජාතික පක්ෂ (UPFA-UNP) හවුල් ආණ්ඩුව සමයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ඔහු, රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය මෑනවීම් මෙහෙයවීමට උපකාර කළේය.
ලක්තිලකගේ දේශපාලන කාර්යභාරය වන්නේ ධනපති රාජ්‍යයේ පන්ති සවිඥානික ආරක්ෂකයෙකු වීමයි. CIMP පනත් කෙටුම්පත ඇතුළු ආණ්ඩුවල නිශ්චිත පනත් කෙටුම්පත් වලට ඔහු දක්වන විරෝධය හුදෙක්ම උපායමාර්ගික සහ නීති පද්ධතිමය එකකි. ඔහු මාධ්‍ය නිදහස දකින්නේ කම්කරු පන්තියේ කොන්දේසි විරහිත ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ලෙස නොව, ප්‍රභූ දේශපාලන තරඟකාරිත්වය සහ ධනපති පාලනය සඳහා අවශ්‍ය ආයතනික යාන්ත්‍රණයක් ලෙසය. ඔහුගේ දේශපාලනයේ අරමුණ ධනපති ක්‍රමයේ ස්ථාවරත්වය රැකගැනීම සහ සංගත මාධ්‍ය (corporate media) වුවමනාවන් ආරක්ෂා කිරීමයි. ඔහුගේම පක්ෂ බලයේ සිටි කාලයේ, ඔවුහු කම්කරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව පුවත්පත් මණ්ඩල පනත (Press Council Act), පාර්ලිමේන්තු වරප්‍රසාද නීති, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ හදිසි නීති රෙගුලාසි ආදිය මගින් තම මර්දනයේ අවි ගබඩාව ශක්තිමත් කර ගත්හ. ජාතික ජන බලවේග පාලනය පිළිබඳ ඔහුගේ විවේචනය, මූලධර්මයක් ලෙස රාජ්‍ය මර්දනයට එරෙහි විවේචනයක් නොවේ — එය පාලක පන්තියේ එක් කල්ලියක් තවත් කල්ලියකට එරෙහිව දක්වන මැසිවිල්ලකි.
ලක්ෂාන් ඩයස්
ලක්ෂාන් ඩයස් යනු ප්‍රකට මානව හිමිකම් නීතිඥයෙකු, සිවිල් සමාජ ක්‍රියාකාරිකයෙකු සහ ලිබරල් විචාරකයෙකි. රාජ්‍ය මර්දනයට ලක්වූවන්, ආගමික සුළුතරයන් සහ දේශපාලන විරුද්ධවාදීන් වෙනුවෙන් අධිකරණ හමුවේ පෙනී සිටිමින් ඔහු වෘත්තීය ජීවිතයක් ගොඩනගා ගෙන ඇති අතර, සිවිල් සමාජ කවයන් තුළ කැපී පෙනෙන නීතිමය හඬක් බවට පත්ව සිටී.
රාජ්‍ය මර්දනයට එරෙහි වුවද, ඩයස් ක්‍රියාත්මක වන්නේ ලිබරල්-ක්‍රියාපටිපාටික (liberal-procedural) රාමුවක් තුළය. ඔහුගේ ඉදිරිදර්ශනය උපකල්පනය කරන්නේ මහජන යහපත උදෙසා කෙරෙන නඩු පැවරීම් (public interest litigation), ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය තර්ක කිරීම් සහ ජාත්‍යන්තර බලපෑම් හරහා මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තරම් ධනපති රාජ්‍යය සහ එහි නීතිමය යාන්ත්‍රණය ප්‍රතිසංස්කරණය කළ හැකි බවයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සලකන්නේ පන්ති සබඳතාවලින් සහ සමාජ-ආර්ථික අර්බුදයෙන් වෙන් වූ වියුක්ත නීතිමය සංකල්ප ලෙසය. නීතිමය යාන්ත්‍රණය යනු පන්ති පාලනයේ මෙවලමක් බව නොසලකා හරින ඩයස්ගේ රාමුව, අවසානයේදී කම්කරුවන් සහ තරුණයන් යොමු කරන්නේ ධනපති කප්පාදුව ක්‍රියාත්මක කරන අධිකරණ පද්ධතිය සහ රාජ්‍ය ව්‍යුහය තුළින්ම සහන ලබා ගැනීමට උත්සාහ කිරීමටය. ඔහුගේ දේශපාලනය යනු අයදින්නෙකුගේ දේශපාලනයයි — එනම් රාජ්‍යය ස්වයං-පාලනය කර ගැනීමට පෙළඹවිය හැකිය යන විශ්වාසයයි — එය කම්කරු පන්තියට දේශපාලනිකව මාරාන්තික වේ.
CIMP පනත් කෙටුම්පත: රාජ්‍ය වාරණයේ ආයුධයක්
මෑතදී අප නිකුත් කළ ප්‍රකාශනය වන ‘දිසානායක ආණ්ඩුවේ “වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය”: මාධ්‍ය නිදහසේ ගෙල සිර කිරීමේ සැලසුමක්’ යන්නෙන් විශ්ලේෂණය කළ පරිදි, 2026 ජූනි 5 වන දින ගැසට් කරන ලද CIMP පනත් කෙටුම්පත යනු “මාධ්‍ය ප්‍රමිතීන් ඉහළ නැංවීමේ” පියවරක් නොවේ. එය රාජ්‍ය වාරණය සඳහා වූ සැලැස්මකි.
රාජ්‍යයේ පාලනයට යටත් ප්‍රතීතන (accreditation) ක්‍රමයක්, ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් සෘජුවම පත් කරනු ලබන දේශපාලන “අන්තර්වාර මණ්ඩලයක්” (Interim Council) සහ අපහැදිලි ලෙස අර්ථ නිරූපණය කර ඇති “වෘත්තීය අක්‍රමකිතා” (professional misconduct) යටතේ සාමාජිකයින් ලියාපදිංචියෙන් ඉවත් කිරීමට බලය පවරා ඇති විනය කමිටුවක් නිර්මාණය කිරීම හරහා, රාජ්‍යය විසින් මහජන කථිකාව පාලනය කරන ප්‍රධාන දොරටුපාලකයෙකු පිහිටුවමින් සිටියි. 27 වැනි වගන්තිය යටතේ එන “මාධ්‍ය වෘත්තිකයා” (media professional) යන්නෙහි අර්ථ නිරූපණය — “ලේඛකයින්, අන්තර්ගත නිර්මාණකරුවන් (content developers), අන්තර්ගත සංස්කාරකයින්, නිවේදකයින්, ඉදිරිපත් කරන්නන්, විකාශකයින්, මාධ්‍යවේදීන්, සංස්කාරකයින්, ප්‍රකාශකයින්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍ය අධ්‍යාපනඥයින්, මාධ්‍ය පර්යේෂකයින්, මාධ්‍ය තාක්ෂණික ශිල්පීන් සහ කැමරා ශිල්පීන්” දක්වා — හිතාමතාම පුළුල් කර ඇත්තේ බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය විශ්ලේෂකයින්, යූටියුබ්කරුවන් සහ සමාජවාදී ප්‍රකාශන රාජ්‍ය විනය දැලට හසුකර ගැනීම සඳහා ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු, පෞද්ගලීකරණය සහ — හය වතාවක් දීර්ඝ කරන ලද හදිසි නීතිය සහ රජයේ මුද්‍රණාලයේ හා මාධ්‍ය කම්කරුවන්ට පනවා ඇති අත්‍යවශ්‍ය සේවා තහනම ඇතුළු — පොලිස්-රාජ්‍ය මර්දනකාරී පියවරයන්ට එරෙහිව ජනතාව අතර වැඩෙන මහජන කෝපයට මුහුණ දී සිටින ජාතික ජන බලවේගය/ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුව, පාලනයකින් තොරව පවතින ඩිජිටල් මාධ්‍ය අවකාශය තමන්ගේ පාලනයට එල්ල වී ඇති මාරාන්තික තර්ජනයක් ලෙස දකියි.
“විරෝධතාවයේ” උගුල්
ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසේ අර්බුදය තවත් සංකීර්ණ වන්නේ පනත් කෙටුම්පතට එරෙහිව කතා කරන බව කියන හෝ එය ප්‍රසිද්ධියේ සාදරයෙන් පිළිගන්නා අයගේ දේශපාලන බංකොලොත්භාවය හේතුවෙනි.
අපගේ “පන්හිද පාවාදීම“ (“The Betrayal of the Pen”) ලිපියෙන් හෙළිදරව් කළ පරිදි, ආයතනගත වූ සංගත (corporate) මාධ්‍යවේදීන්ගේ වරප්‍රසාද ලත් සුළු-ධනපති ස්තරයක් CIMP පනත් කෙටුම්පත උද්යෝගයෙන් පිළිගෙන ඇත. පුද්ගලික අභිවෘද්ධිය — රාජ්‍ය සහතික ලත් තත්ත්වය, බැංකු ණය, විශ්‍රාම වැටුප් සහ විදේශ වීසා — අපේක්ෂා කරන මෙම ධනපති රාජ්‍යයේ නිවටයන්, භෞතික වරප්‍රසාද වෙනුවෙන් මාධ්‍ය නිදහස පාවාදීමට සූදානම්ය. රාජ්‍යය විසින් ස්වාධීන අන්තර්ගත නිර්මාණකරුවන් සහ කම්කරු පන්තික විචාරකයන් මර්දනය කරන අතරතුර, ඔවුන් CIMP දකින්නේ කූඩුවක් ලෙස නොව, තමන්ගේ වෘත්තීය තත්ත්වය ආරක්ෂා කරන සුවිශේෂී වරප්‍රසාදිත “ක්ලබ්” එකක් ලෙසය.
අනෙක් අතට, FMM, ලක්ෂාන් ඩයස් සහ ශිරාල් ලක්තිලක විසින් ගොඩනගන “විරෝධතාවය” කම්කරු පන්තියට කිසිදු ඉදිරි මගක් පෙන්වන්නේ නැත.
ලිබරල්/රාජ්‍ය නොවන සංවිධාන (NGO) උගුල: FMM සහ ඩයස් වැනි ලිබරල් නීතිඥයන් රාජ්‍ය මර්දනයට එරෙහි අරගලය හුදෙක් ධනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයේ රාමුව තුළ ඉල්ලීම් කිරීම්, අධිකරණ පෙත්සම් සහ බලපෑම් කිරීම් (lobbying) බවට ලඝු කරති. ඔවුහු මාධ්‍ය නිදහස ධනපති අර්බුදයෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනෙන් වෙන් වූ වියුක්ත නීතිමය ප්‍රශ්නයක් ලෙස සලකති. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ධනපති රාජ්‍යය — හෝ එහි අධිකරණය — පෙළඹවිය හැකිය යන භයානක මිථ්‍යාව ඔවුහු වර්ධනය කරති. මෙය දේශපාලන අවෘත අන්තයකි. මර්දනකාරී යන්ත්‍රණය ගොඩනඟන රාජ්‍යයට, හොඳින් තර්ක කළ නීතිමය කරුණු දැක්වීමකින් එය අහෝසි කිරීම සදහා පෙළඹවිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යනු විනිශ්චයකරුවන්ගේ කරුණාවෙන් ලැබෙන දේවල් නොවේ; ඒවා කම්කරු පන්තියේ සංවිධානාත්මක බලය තුළින් දිනාගත යුතු සහ ආරක්ෂා කරගත යුතු දේවල් වේ.
ධනපති පන්ති ආයතනික උගුල: ලක්තිලක වැනි චරිත නියෝජනය කරන්නේ ජාතික ජන බලවේග (NPP) පාලනය පිළිබඳ හුදෙක් උපායමාර්ගික (tactical) වූ විවේචන ඉදිරිපත් කරන ධනපති විපක්ෂයේ (UNP/SJB) කල්ලි ය. ඔවුහු මූලධාර්මිකව රාජ්‍ය මර්දනයට එරෙහි නොවෙති. මින් පෙර සඳහන් කළ පරිදි, බලයේ සිටියදී, ඔවුන්ගේ පක්ෂ කම්කරුවන්ට සහ මාධ්‍යවේදීන්ට එරෙහිව පුවත්පත් මණ්ඩල පනත, පොලිස් ප්‍රචණ්ඩත්වය සහ හදිසි නීති රෙගුලාසි යොදා ගත්හ. ඔවුන්ගේ අරමුණ ජනතා අතෘප්තිය ග්‍රහණය කර ගනිමින් නැවත බලයට පැමිණීමයි — එහිදී ඔවුහු එම ධනපති කප්පාදුවම සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එරෙහි එම ප්‍රහාරයන්ම ක්‍රියාත්මක කරති. ධනපති පන්තියේ කිනම් කල්ලියක් රාජ්‍යය පාලනය කරන්නේද යන්න පිළිබඳව කම්කරු පන්තියට කිසිදු පරදුවක් නැත. එහි කාර්යය වන්නේ එම රාජ්‍යය සම්පූර්ණයෙන්ම පෙරළා දැමීමයි.
අපගේ මූලෝපාය: කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම
අප මෙම සංවාදයට මැදිහත් වන්නේ FMM, ලක්තිලක සහ ඩයස්ගේ දේශපාලනයෙන් පැහැදිලිවම වෙන්වීමටත්, මාධ්‍යවේදීන්, තරුණයන් සහ කම්කරුවන්ට ට්‍රොට්ස්කිවාදී ධාරාවේ බෙදුම්කඩනය ඉදිරිපත් කිරීමටත් ය.
මාධ්‍ය නිදහස යනු කොන්දේසි විරහිත අයිතියකි, රාජ්‍ය බලපත්‍රයක් නොවේ. මාධ්‍ය කම්කරුවන් හෝ අන්තර්ගත නිර්මාණකරුවන් සහතිකගත කිරීමට, ලියාපදිංචි කිරීමට හෝ විනයගත කිරීමට ධනපති රාජ්‍යයට කිසිදු අයිතියක් ඇතැයි යන පූර්වනිගමනය අප ප්‍රතික්ෂේප කරමු. CIMP පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම පරාජය කළ යුතුය — එය සංශෝධනය කිරීම, සමනය කිරීම, ලිබරල් නීතිඥයන් සාකච්ඡා කර ලබා ගන්නා හෝ ධනපති අධිකරණ විසින් නිර්දේශ කරන “ආරක්ෂණයන්ට” යටත් නොකළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් දිනා ගන්නේ සහ ආරක්ෂා කර ගන්නේ පන්ති අරගලය මගිනි, අමාත්‍ය නියෝග හෝ අධිකරණ පුනරීක්ෂණවලින් (judicial review) නොවේ.
කප්පාදුවට මර්දනය අවශ්‍ය වේ. මාධ්‍ය නිදහසට එල්ල වන ප්‍රහාරය ගෝලීය ධනවාදයේ අර්බුදයට සෘජුවම සම්බන්ධ වේ. කම්කරු පන්ති විරෝධතාව සංවිධානය වන නාලිකා මර්දනය නොකර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) නියෝග කරන ජීවන තත්ත්වයන්, සෞඛ්‍යය සහ අධ්‍යාපනය විනාශ කිරීම ක්‍රියාත්මක කිරීමට ජාතික ජන බලවේග ආණ්ඩුවට නොහැක. CIMP පනත් කෙටුම්පතට එරෙහි සටන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට එරෙහි, හදිසි නීතියට එරෙහි, අත්‍යවශ්‍ය සේවා නියෝගවලට එරෙහි සහ ධනපති රාජ්‍යයේ මුළු මර්දනකාරී යන්ත්‍රණයටම එරෙහි සටනෙන් වෙන් කළ නොහැක.
ධනපති රාජ්‍යයෙන් සහ එහි නිවට සේවකයන්ගෙන් වෙන් වන්න. විශ්‍රාම වැටුප් සහ ණය නැමැති රාජ්‍ය අල්ලස් ප්‍රතික්ෂේප කරන ලෙසත්, පාලන තන්ත්‍රය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආයතනගත වූ මාධ්‍ය ප්‍රභූන්ගෙන් බිඳෙන ලෙසත් අප අවංක මාධ්‍යවේදීන්ගෙන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන් ඉල්ලා සිටිමු. ධනපති රාජ්‍යයට සේවය කරන පෑන අවසානයේදී එම රාජ්‍යය විසින්ම සුනුවිසුනු කර දමනු ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදුවලට, අධිරාජ්‍යවාදී යුද්ධයට සහ ධනපති ආඥාදායකත්වයට එරෙහිව කම්කරු පන්තියේ අරගල සමඟ පෙළගැසෙන පෑන නොසැලෙන ආරක්ෂාවක් සොයා ගනු ඇත.
මාධ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු (rank-and-file/action committees) ගොඩනඟන්න. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ධනපති අධිකරණවලට හෝ පාර්ලිමේන්තු කමිටුවලට කරන ඉල්ලීම්වලින් ආරක්ෂා කළ නොහැක. ඊට කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. මාධ්‍ය කම්කරුවන්, තාක්ෂණික කම්කරුවන් සහ අන්තර්ගත නිර්මාණකරුවන්, සංගත මාධ්‍ය හිමිකරුවන්ගෙන්, වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රයෙන් සහ රාජ්‍ය යන්ත්‍රණයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වූ ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. මෙම කමිටු තමන්ගේ අරගලය — රෝහල්වල, විදුලිබල මධ්‍යස්ථානවල, තැපැල් කාර්යාලවල, පාසල්වල සහ වතුකරයේ — පොදු සතුරාට එරෙහි කම්කරු පන්තියේ පුළුල් සටන සමඟ සම්බන්ධ කළ යුතුය.
ධනපති පක්ෂ සහ ඒවායේ වෘත්තීය සමිති අංකුර මත නොව, ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරු ආණ්ඩුවක් සඳහා සටන් වදින්න. මාධ්‍ය නිදහසේ අවසාන හා පූර්ණ සහතිකය වන්නේ ධනපති රාජ්‍යය පෙරළා දැමීම සහ ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ලද ක්‍රියාකාරී කමිටු මත පදනම් වූ කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමයි. එමගින් බැංකු, ප්‍රධාන සමාගම් සහ මාධ්‍ය කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට පත් කරනු ඇත.
සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම සඳහා ඉදිරියට— සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මාධ්‍ය නිදහසේ එකම පදනම එයයි.
දේශපාලන යුද්ධයක් සඳහා වූ වේදිකාවක්
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ මෙම වේදිකාව අප භාවිතා කරන්නේ ලක්තිලක සහ ඩයස් සමඟ සම්මුතියක් ඇති කර ගැනීමට නොව, ඔවුන් නියෝජනය කරන සියල්ලටම එරෙහිව දේශපාලන යුද්ධයක් දියත් කිරීමටය. අප ඔවුන්ගේ සගයන් නොවේ. කිසිදු අර්ථවත් ආකාරයකින් අප ඔවුන්ගේ සහ-කථිකයන් නොවේ. අප ඔවුන්ගේ සමගි කළ නොහැකි දේශපාලන පසමිතුරන් වන අතර, ලිබරල් ප්‍රතිසංස්කරණවාදයේ සහ ධනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලවාදයේ දේශපාලනය උගුලක් වන්නේ ඇයිද යන්නත්, ධනපති රාජ්‍යය ප්‍රතිසංස්කරණය කළ නොහැක්කේ ඇයිද යන්නත්, මාධ්‍ය නිදහස ආරක්ෂා කළ හැකි එකම බලවේගය ස්වාධීනව සංවිධානය වූ සහ සමාජවාදී වැඩසටහනකින් සන්නද්ධ වූ ජාත්‍යන්තරව එක්සත් වූ කම්කරු පන්තිය පමණක් වන්නේ ඇයිද යන්නත් මෙයට සහභාගී වන මාධ්‍යවේදීන්ට, මාධ්‍ය කම්කරුවන්ට සහ තරුණයන්ට පෙන්වා දීමට අප මෙම සම්මේලනයේ සෑම මිනිත්තුවක්ම භාවිතා කරන්නෙමු.
කම්කරු පන්තිය තමන්ගේ සතුරාගෙන් අයැද සිටින්නේ නැත. එය සතුරා පරාජය කිරීමට බලමුලු ගැසෙයි. සැබෑ ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ එකම තථ්‍ය සහතිකය වන සමාජවාදය සඳහා වූ ස්වාධීන ව්‍යාපාරය ගොඩනැගීමට අප හා එක්වන ලෙස අප මාධ්‍ය කම්කරුවන්ගෙන්, තරුණයන්ගෙන් සහ කම්කරු පන්තියෙන් ඉල්ලා සිටිමු.
