දිසානායක ආණ්ඩුවේ “වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය”: මාධ්‍ය නිදහසේ ගෙල සිර කිරීමේ සැලසුමක්

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය.

මෙම ප්‍රකාශය 2026 ජුනි 16 දින theSocialist.LK වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින්The Dissanayake Government’s “Chartered Institute of Media Professionals”: A Blueprint for the Strangulation of Press Freedomයන සිරසින් පළ කෙරිණි.

AKD
ජනාධිපති අනුර කුමාර දිසානායක 2026 අප්‍රේල් 2 වන දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී, මෙරට සංචාරයක නිරත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිසක් හමුවූ අවස්ථාව. ඡායාරූපය midpoint.lk අනුග්‍රහයෙනි.

2026 ජූනි 5 වන දින, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ)/ජාතික ජන බලවේගය (ජජබ) රජය විසින් “ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය” පිහිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතක් විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරන ලදී. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද මෙම පනත් කෙටුම්පත, “වෘත්තීය ප්‍රමිතීන් හඳුන්වා දීම සහ පවත්වාගෙන යාම” සහ “ගුණාත්මකභාවය ඉහළ නැංවීම” වැනි මෘදු වචනවලින් සරසා ඇත. නමුත් මෙය සැබවින්ම සැලසුම්සහගත වංචාවකි. මෙම පනතේ අඩංගු විශේෂ කොන්දේසි, එනම් එහි අර්ථ නිරූපණයන්, ආයතනික ව්‍යුහය සහ විනය ක්‍රියාමාර්ග පිළිබඳව සමීපව පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන්නේ, මෙය ස්වාධීන මාධ්‍යය මර්දනය කිරීමට, නිහඬ කිරීමට සහ අවසානයේදී සහමුලින්ම තුරන් කිරීමට අවශ්‍ය රාජ්‍ය වාරණයේ මෙවලමක් බවයි. විශේෂයෙන්ම, එය හෙළිදරව් කරන්නේ දිසානායක පාලන තන්ත්‍රය විසින් තම බලය පවත්වාගෙන යාමට මාරාන්තික තර්ජනයක් ලෙස දකින සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන් (social media content creators) සහ රජයට විරුද්ධව අදහස් දක්වන්නන් ඉලක්ක කර ගැනීමට මෙම පනත සකස් කෙරෙන බවයි.

කම්කරු පන්තිය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරන සියලු දෙනා මෙම පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතුය. මෙය මාධ්‍යවේදය (journalism)  දියුණු කිරීම සඳහා ගත් පියවරක් නොවේ. මෙය ශ්‍රී ලංකාවේ මාධ්‍ය මර්දනයේ දිගුකාලීන සහ ලේවැකි ඉතිහාසයට සෘජුවම සම්බන්ධ වෙමින්, ප්‍රජාතන්ත්‍රවාදී සංවාදයන් යටපත් කිරීම සඳහා නිර්මාණය කරන ලද ආයුධයකි. එමෙන්ම, මෙය ලොව පුරා ධනේශ්වර රජයන් විසින් මාධ්‍ය නිදහසට එරෙහිව දියත් කරනු ලබන ජාත්‍යන්තර ප්‍රහාරයන් සමග ද සම්පූර්ණයෙන්ම ගැලපෙන්නකි.

රාජ්‍ය විසින් පාලනය කිරීමේ ව්‍යුහය

මෙම පනත් කෙටුම්පත හරහා නීතිය මගින් පිහිටුවන ආයතනයක්, එනම් මෙම “වරලත් ආයතනය” (Chartered Institute)  පිහිටුවනු ලබයි. එහි ව්‍යුහය දෙස බැලීමේදී පැහැදිලි වන්නේ සුජාතභාවයකින් මාධ්‍ය කලාවේ නිරත විය හැක්කේ කාටද යන්න තීරණය කිරීම සඳහා රාජ්‍යය විසින් පාලනය කරනු ලබන දොරටු පාලකයෙකු (Gatekeeper) ලෙස ක්‍රියා කිරීමට මෙය නිර්මාණය කර ඇති බවයි. මෙම නීති සම්පාදනයේ ඇති ලක්ෂණ පහක් මගින් එහි අධිපතිවාදී ස්වභාවය පිළිබඳව කිසිදු සැකයකින් තොරව සනාථ කරයි.

පළමුවැන්න නම්, මෙම ආයතනය විසින් රාජ්‍යය මගින් නිර්මාණය කරන ලද නිල පිළිගැනීමේ (ප්‍රතීතන) ක්‍රමවේදයක් (accreditation system) හඳුන්වා දීමයි. 3(එ) වගන්තිය මගින් ප්‍රකාශ කරනු ලබන්නේ, මෙම ආයතනයේ එක් අරමුණක් වන්නේ “මාධ්‍යවේදීන්ගේ කාර්යක්ෂමතාව ඇගයීමේ දී මාධ්‍ය වෘත්තීයභාවයෙන් යුත් මාධ්‍ය වෘත්තිකයන් පිළිගැනීමට ලක්කිරීම” බවයි. 4(ච) වගන්තිය මගින් “මාධ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීමය ප්‍රමිති හඳුන්වා දීම, එම ප්‍රමිති සංවර්ධනය කිරීම, පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම” ට ආයතනයට බලය පවරා ඇත. එමෙන්ම 4(ත) වගන්තිය මගින් “ආයතනයේ සාමාජික නාමලේඛනයක් පවත්වාගෙන යාම සහ ප්‍රකාශයට පත් කිරීම” ට එයට අවසර ලබා දී ඇත. මෙම කොන්දේසි සියල්ල එකට ගත් කල, අදහස් ප්‍රකාශ කිරීමේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම, රාජ්‍යය විසින් අනුමත කරනු ලබන වරප්‍රසාදයක් බවට පරිවර්තනය කරයි. “සුදුසුකම් ලත්” මාධ්‍යවේදියෙකු ලෙස ඇතුළත් කර ගත හැක්කේ, ලියාපදිංචි කළ හැක්කේ සහ සහතික කළ හැක්කේ කාවද යන්න තීරණය කරන අවසාන තීරක ලෙස රජය මෙහිදී පෙනී සිටියි. මාධ්‍ය නිදහස යනු නයිසර්ගිකව  හිමිවන අයිතිවාසිකමක් වන අතර, එය ධනේශ්වර රාජ්‍යය විසින් ලබා දෙන හෝ අවලංගු කරන බලපත්‍රයක් නොවේ. මෙම පනත් කෙටුම්පතේ මූලික පදනමම මෙම මූලධර්මයට එල්ල කරන ලද ප්‍රහාරයක් වේ.

දෙවැන්න නම්, ‘මාධ්‍ය වෘත්තිකයන් (media professional)” යන්න සඳහා දී ඇති අර්ථ නිරූපණය හිතාමතාම අතිශය පුළුල් සහ සියල්ල ඇතුළත් වන පරිදි සකස් කර තිබීමයි. 27 වන වගන්තිය මගින් මාධ්‍ය වෘත්තිකයන්” යන්න අර්ථ දක්වා ඇත්තේ “මාධ්‍ය ක්ෂේත්‍රයේ ලේඛකයන්, අන්තර්ගතය තනන්නන්, අන්තර්ගත සංස්කාරකවරුන්, නිවේදකයන්, ඉදිරිපත් කරන්නන්, මාධ්‍ය විකාශකයන්, පුවත්පත් කලාවේදීන්, සංස්කාරකවරුන්, ප්‍රකාශකයන්, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමනාකරුවන්, මාධ්‍ය අධ්‍යාපනය ලබා දෙන තැනැත්තන්, මාධ්‍ය පර්‍යේෂකයන්, මාධ්‍ය තාක්ෂණවේදීන් සහ ඡායාරූප ශිල්පීන්” ද ඇතුළත් වන පරිදිය. මෙහි “අන්තර්ගතය තනන්නන්” (content creators) ඇතුළත් කර තිබීම විශේෂයෙන්ම අවධානයට ලක්විය යුතුය. මෙම දැල මෙතරම් පුළුල් ලෙස එළා ඇත්තේ නිශ්චිත අරමුණක් ඇතිව ය: එනම් ස්වාධීන බ්ලොග්කරුවන් (bloggers), සමාජ මාධ්‍ය අදහස් දක්වන්නන් සහ විකල්ප වාමාංශික මාධ්‍ය ජාලයන් රාජ්‍යයේ විනය පාලන යාන්ත්‍රණයට හසු කර ගැනීම සඳහා ය. දිසානායක පාලන තන්ත්‍රය කිසිදු පාර්ශවයකට සම්බන්ධ නැති ස්වාධීන අන්තර්ජාල මාධ්‍ය පිළිබඳව දැඩි බියක් දක්වයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ආයතනික මාධ්‍ය ජාලයන් පාලනය වන්නේ පරපුටු කථිකයාධිපත්‍යයක් (oligarchy) හෝ රාජ්‍යය විසින්ම ය. කම්කරු පන්තියේ පීඩනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවරයන්ට රජය අනුගත වීම හෙළිදරව් කිරීම සහ සමාජවාදී දේශපාලන විශ්ලේෂණයන් ප්‍රකාශයට පත් වන්නේ විකල්ප අන්තර්ගත නිර්මාණකරුවන් සහ ස්වාධීන සමාජ මාධ්‍ය නාලිකා හරහා ය. මෙම “අන්තර්ගතය තනන්නන්” ව්‍යවස්ථාපිත රාජ්‍ය යාන්ත්‍රණයක පාලනයට යටත් කිරීම මගින්, රජය සූදානම් වන්නේ හරියටම මෙම හඬවල් නිහඬ කිරීම සඳහා ආයුධයක් නිර්මාණය කිරීමට ය.

තෙවැන්න නම්, “වෘත්තීමය විශමාචාර ක්‍රියාවක්” පිළිබඳව විමර්ශනය කිරීම සඳහා රාජ්‍යය විසින් අනුමත කරන ලද විනය කමිටුවක් මෙම පනත් කෙටුම්පත මගින් පිහිටුවීම යි. 12(1)(c) වගන්තිය මගින් විනය කමිටුවක් පත් කිරීම සඳහා විධිවිදාන සලසා ඇත. 23(1) වගන්තිය මගින් ප්‍රතිපාදන සලසන්නේ, “විනය කමිටුව විසින්, ආයතනයේ සමාජිකයකුගේ වෘත්තීමය විෂමාචාර ක්‍රියාවක් සම්බන්ධයෙන් ආයතනය විසින් විනය කමිටුව වෙත යම් කාරණයක් යොමු කරනු ලබන ඕනෑම අවස්ථාවක දී, පරීක්ෂණයක් පවත්වනු ලැබිය යුතු” බවයි. ඉන්පසුව 23(2) වගන්තිය මගින් “වෘත්තීමය විශමාචාර ක්‍රියාවක්” යන්න අර්ථ දක්වා ඇත්තේ “26 වන වගන්තිය යටතේ සභාව විසින් සාදනු ලබන රීති මගින් නිශ්චය කරනු ලැබිය යුතු යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් අදහස් වන” බවයි. මෙම අර්ථ නිරූපණය කෙතරම් කවාකාර සහ නම්‍යශීලී එකක්ද යත්, එය රජයේ වැඩපිළිවෙළට ගැට නොගැසෙන මාධ්‍යවේදීන්ට දේශපාලනික වශයෙන් දඬුවම් කිරීම සඳහා ලබා දී ඇති අසීමිත බලපත්‍රයක් හා සමාන වේ. 24 වන වගන්තිය මගින් “සාමාජිකයෙකුගේ නම ලියාපදිංචියෙන් ඉවත් කිරීම” වෙනුවට “අනතුරු ඇඟවීම, අවවාද කිරීම හෝ වසරකට නොවැඩි යම් කාල සීමාවක් සඳහා ඔහුගේ සාමාජිකත්වය අත් හිරුවීම සිදු කළ” හැකි බලය සභාවට පවරා ඇත. මාධ්‍ය සේවකයෙකුගේ වෘත්තීය සුදුසුකම් (credentials)  අහෝසි කිරීමට ඇති බලය යනු ඔහුගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීමට ඇති බලය වන අතර, එය රටේ සිටින අනෙකුත් සෑම මාධ්‍යවේදියෙකුටම භීතියක් ඇති කිරීම සඳහා යවන පණිවිඩයකි.

හතරවැන්න නම්, මෙම පනත් කෙටුම්පත මගින් සම්පූර්ණයෙන්ම රාජ්‍යය විසින් පත් කරනු ලබන ‘අතුරු සභාවක්’ (Interim Council) පිහිටුවීමයි. පාලක සභාව තේරී පත්වන තෙක්, අමාත්‍යවරයා විසින් “අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා” සහ “මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රත්‍යක්ෂ වූ දැනුම, විශිෂ්ටත්වය සහ අවම වශයෙන් වසර විස්සක පළපුරුද්ද සහිත ප්‍රකට තැනැත්තන් හය දෙනෙකු” ගෙන් සමන්විත අතුරු සභාවක් පත් කළ යුතු බව 5(4)(අ) වගන්තිය මඟින් විධිවිධාන සලසයි.”තෝරාගත යුතු සාමාජිකයන් ගණන සහ ආයතන වෙත එකී සාමාජිකයන් තෝරා ගනු ලබන නිර්ණායක පිළිබඳව” මෙන්ම “සභාවට සාමාජිකයන් තෝරා පත් කර ගැනීම සහ පත් කර ගැනීම” සඳහා නීති සම්පාදනය කිරීමේ බලය 5(4)(ආ) වගන්තිය යටතේ මෙම අතුරු සභාවට පවරා ඇත. ඒ අනුව, ප්‍රථම අවස්ථාවේදීම මෙම ආයතනයට ඇතුළත් වන්නේ කවුරුන්ද යන්න සහ එහි ස්ථිර පාලක සභාවේ අසුන් ගන්නේ කවුරුන්ද යන්න පාලනය කරනු ලබන්නේ මෙම අතුරු සභාව විසිනි. සාමාජිකත්ව නිර්ණායක, අභ්‍යන්තර නීති රීති සහ වරදක් සංස්ථාපනය වීම අර්ථ නිරූපණය කිරීම ඇතුළු සමස්ත ආයතනික ව්‍යුහයම මුළුමනින්ම හැඩගස්වනු ලබන්නේ ධනේශ්වර රාජ්‍යයේ දේශපාලන පත්වීම්ලාභීන් විසිනි. මේ ආකාරයට, මෙම ආයතනය එහි ආරම්භයේ සිටම රජයේ මෙවලමක් වනු ඇත. 

පස්වනුව, මාධ්‍යවේදයේ නිරත වීම සඳහා මෙම ආයතනයේ සාමාජිකත්වය ලැබීම කිසිසේත්ම අත්‍යවශ්‍ය පූර්ව අවශ්‍යතාවක් නොවන බවට වන කිසිදු පැහැදිලි සහතිකයක් මෙම පනත් කෙටුම්පත තුළ කැපී පෙනෙන ලෙස ඇතුළත් වී නොමැත.

මෙම මඟ හැරීම අහම්බයක් නොවේ. එමඟින් සංඥා කරනු ලබන්නේ මෙම ආයතනය අනිවාර්ය දොරටු පාලකයෙකු (පෙරහනක්) බවට පත් කිරීම සඳහා සැලසුම් කර ඇති බවයි. ලියාපදිංචි නොවූ හෝ ලියාපදිංචිය අවලංගු කරන ලද මාධ්‍යවේදීන්ට මාධ්‍ය සාකච්ඡාවලට සහභාගී වීම, රාජ්‍ය මාධ්‍ය ප්‍රතීතනය (accreditation) ලබා ගැනීම, පොදු අවස්ථා ආවරණය සඳහා ප්‍රවේශ වීම හෝ රැකියා සුරක්ෂිත කර ගැනීම නීතිමය වශයෙන් අවහිර වන තත්ත්වයකට ඉතා ඉක්මනින් මුහුණ දීමට සිදු වනු ඇත. මෙම ආයතනය යනු ප්‍රායෝගික වශයෙන් මාධ්‍යවේදය සඳහා බලපත්‍ර පැනවීමේ යාන්ත්‍රණයකි. එබැවින් එය රාජ්‍යයට අපහසුතාවක් ලෙස සැලකෙන මාධ්‍යවේදීන් ප්‍රායෝගික වශයෙන් තහනම් කිරීමේ උපක්‍රමයකි.

අඛණ්ඩව සිදුවන මර්දනය 

වරලත් ආයතන පනත් කෙටුම්පත රික්තකයක් තුළින් මතුවූවක් නොවේ. එය දශක ගණනාවක් ඈතට දිවයන සහ සෑම ධනේශ්වර ආණ්ඩුවක් හරහාම ක්‍රියාත්මක වූ, ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහසට එල්ල වූ රාජ්‍ය මර්දන දාමයක (ප්‍රහාර මාලාවක) නවතම පියවරයි.

ලංකා සමසමාජ පක්ෂය සහ ස්ටාලින්වාදී කොමියුනිස්ට් පක්ෂය ද ඇතුළත් වූ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නායකත්වය දුන් සභාග ආණ්ඩුව විසින් 1973 දී හඳුන්වා දෙන ලද පුවත්පත් මණ්ඩල පනත මඟින්, මාධ්‍යවේදීන්ට එරෙහිව දඩ සහ සිරදඬුවම් (15, 16, 31 වන වගන්ති) නියම කිරීමට යොමු කෙරෙන විමර්ෂණ සිදු කිරීමට හැකි දිස්ත්‍රික් උසාවියක බලතලවලින් යුත් (11 වන වගන්තිය) රජයේ විනිශ්චය සභාවක් පිහිටුවන ලදී. එහි සභාපතිවරයා සහ සාමාජිකයන් පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ පුවත්පත වූ “කම්කරු මාවත” ද එහි ඉලක්කයන් අතර විය. නවීන ඩිජිටල්, විද්‍යුත් සහ මාර්ගගත (online) මාධ්‍ය ජාලයන් ද ඇතුළත් වන පරිදි පුවත්පත් මණ්ඩල පනතේ නියාමන සීමාවන් පුළුල් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව පසුගිය සැප්තැම්බර් මාසයේදී කැබිනට් ප්‍රකාශකවරයා නිවේදනය කළේය. මෙහි ඇති ඓතිහාසික උත්ප්‍රාසය ඉතා දැඩි ය: 1971 අසාර්ථක නැඟිටීමෙන් පසුව තම සාමාජිකයන් දහස් ගණනින් ඝාතනයට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ), එදා තමන්ව මර්දනය කළ පාලන තන්ත්‍රය විසින් මුල් වරට හඳුන්වා දෙන ලද එම මාධ්‍ය පාලන යාන්ත්‍රණයන්ම අද දින කම්කරු පන්තියට සහ ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන්ට එරෙහිව භාවිත කරමින් සිටියි.

රාජපක්ෂ පාලන තන්ත්‍රය (2005-2015) මාධ්‍ය මර්දනය පොලිස් රාජ්‍යයක මට්ටම දක්වා දැඩි කළේය. 2009 වසරේදී එම පාලනය විසින් පුවත්පත් මණ්ඩල පනත නැවත බලාත්මක කරන ලදී. 2012 වසරේදී වෙබ් අඩවිවල හඬ අවහිර කිරීමට පියවර ගත් එය, පුවත්පත් මණ්ඩලයේ බලපෑම අන්තර්ජාල මාධ්‍ය වෙතද ව්‍යාප්ත කළේය. 2013 දී ඔවුන් “මාධ්‍ය සදාචාර සංග්‍රහයක්” ප්‍රකාශයට පත් කළ අතර, එහි වූ අපැහැදිලි වගන්ති මඟින්, එනම් “මහජන බලාපොරොත්තු කඩවන” හෝ “මහජනයා නොමඟ යැවිය හැකි තොරතුරු ඇතුළත්” ප්‍රකාශන තහනම් කිරීම වැනි කරුණු හරහා  විවේචන මර්දනය කිරීම සඳහා රජයට අසීමිත අවස්ථාවක් ලබා දුන්නේය. මෙම කාල වකවානුව තුළ, රජයට පක්ෂපාතී ඝාතක කණ්ඩායම් විසින් මාධ්‍යවේදීන් සහ මාධ්‍ය කම්කරුවන් 16 දෙනෙකු ඝාතනය කරන ලද අතර, “සන්ඩේ ලීඩර්” පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග දහවලේ මහමඟදී ඝාතනයට කෙරුණි.

ව්‍යාජ පුවත් මැඩපැවැත්වීමේ නාමයෙන් 2024 ජනවාරි මාසයේදී රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ගෙන ආ මාර්ගගත සුරක්ෂිතතාව පිළිබඳ පනත (Online Safety Act), සමාජ මාධ්‍ය ක්‍රියාකාරීත්වයට දැඩි ලෙස බලපෑම් එල්ල කළේය. අන්තර්ජාලය ඔස්සේ සිදුකරන ප්‍රකාශ නියාමනය කිරීමට සහ වාරණය කිරීමට රජය විසින් පත් කරන ලද කොමිෂන් සභාවකට පුළුල් බලතල ලබා දීමෙන්, මෙම පනත අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට විශාල පහරක් එල්ල කළේය. අන්තර්ජාලය හරහා සිදුවන හානි වැළැක්වීමේ මුවාවෙන්, මෙම නීතිය මගින් යුක්තිසහගත විරෝධතා, ගවේෂණාත්මක මාධ්‍යවේදය සහ සමාජ මාධ්‍ය විවේචන සාපරාධී ක්‍රියා බවට පත් කරනු ලබන අතර, ක්‍රියාකාරීන්ට සහ අන්තර්ගත නිර්මාණකරුවන්ට (content creators) දැඩි සිරදඬුවම් පමුණුවන බවට තර්ජනය මතු කරයි. 

ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේග (JVP/NPP) ආණ්ඩුව මෙම අධිපතිවාදී උරුමයෙන් බැහැර වනවා නොව, එය තවදුරටත් දැඩි කරමින් සිටියි. 2024 නොවැම්බර් මාසයේදී, බලයට පත්වී සති කිහිපයක් ඇතුළත, මැතිවරණ ව්‍යාපාරය අතරතුර පොරොන්දු වී තිබුණද, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි නොකරන බව එය නිවේදනය කළේය. ඒ වෙනුවට, එය “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත” (PSAT) නමින් නව පනතක් හඳුන්වා දුන් අතර, එමඟින් වර්ජන, විරෝධතා සහ විරුද්ධ මතධාරීන්ගේ ක්‍රියාකාරකම් ද ඇතුළත් වන පරිදි ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීම තවදුරටත් පුළුල් කර ඇත. 2025 නොවැම්බර් මාසයේදී, දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසුව, දිසානායක විසින් හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර, “මහජන කැළඹීමක්” ඇති කළ හැකි යැයි කියනු ලබන ඕනෑම “අසත්‍ය” ප්‍රකාශයක් සන්නිවේදනය කිරීම හෝ ප්‍රකාශයට පත් කිරීම වසර දහයක් දක්වා සිරදඬුවම් ලැබිය හැකි අපරාධ වරදක් බවට පත් කරමින් රෙගුලාසි පනවනු ලැබීය. නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින්, සමාජ මාධ්‍ය විවේචකයන් “සැකකරුවන් ලෙස පමණක් නොව වැරදිකරුවන් ලෙස” සලකන ලෙස පොලිසියට පැහැදිලිවම උපදෙස් ලබා දෙන ලදී. මෙම බලතල භාවිත කරන ලද්දේ “නැවත ගොඩනැඟීමේ” මුවාවෙන් වඩාත් දරුණු කප්පාදු ප්‍රතිපත්ති බලාත්මක කිරීම සඳහාය. ආණ්ඩුව හදිසි අවස්ථා තත්ත්වය මේ වන විට හය වතාවක් [1] දීර්ඝ කර ඇති අතර, එමඟින් දිසානායක වෙත අසීමිත ඒකාධිපති බලතල පැවරී ඇත.

2026 මැයි 28 වන දින, එනම් වරලත් ආයතන (Chartered Institute) පනත් කෙටුම්පත් ගැසට් පත්‍රය නිකුත් කිරීමට සතියකට පෙර, ජනාධිපති දිසානායක විසින් රජයේ මුද්‍රණාලය සහ රාජ්‍ය මාධ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර, එමඟින් එම ක්ෂේත්‍රයන්හි සිදුවන කාර්මික වර්ජන ක්‍රියාමාර්ග සඵල ලෙස (effectively) නීති විරෝධී කරනු ලැබීය. වරලත් ආයතන පනත් කෙටුම්පත යනු මෙම දැඩි ක්‍රියාමාර්ගයේ මතවාදී සමගාමී පියවර වේ. මේවායේ එකතුව දඬු අඬුවක් බඳු තත්ත්වයක් නිර්මාණය කරයි: රජය විසින් මාධ්‍ය කම්කරුවන්ගේ වැඩ වර්ජනය කිරීමේ අයිතියට ප්‍රහාර එල්ල කරන අතරම, එම සේවකයන්ට ලිවිය හැක්කේ මොනවාද සහ ලිවිය හැක්කේ කාටද යන්න පාලනය කිරීම සඳහා විනය පාලන යාන්ත්‍රණයක් ද ඒ සමඟම ගොඩනඟයි.

මාධ්‍ය නිදහසට එරෙහි ජාත්‍යන්තර ප්‍රහාරය

දිසානායක රජයේ මෙම පනත් කෙටුම්පත, මුද්‍රිත මාධ්‍ය සහ විශේෂයෙන්ම මාර්ගගත (online) මාධ්‍ය, රාජ්‍ය හා ආයතනික පාලනය යටතට පත් කිරීම සඳහා ධනේශ්වර රාජ්‍යයන් විසින් දියත් කරනු ලබන ගෝලීය ප්‍රහාරයක කොටසකි.

2010 දෙසැම්බර් මාසයේදී, අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් (Viktor Orbán) යටතේ පැවති හන්ගේරියානු පාර්ලිමේන්තුව, සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය ආයතන ඕර්බන්ගේ පාක්ෂිකයන්ගෙන් සැදුම්ලත් රාජ්‍ය “මාධ්‍ය කවුන්සිලයක” පාලනයට නතු කරමින් පුළුල් මාධ්‍ය නීතියක් සම්මත කළේය. “දේශපාලනිකව සමබර නොවන” බවට තීරණය කරනු ලබන වාර්තාකරණයන් සඳහා යුරෝ 730,000ක් දක්වා දඩ පැනවීමට එම කවුන්සිලයට බලය පවරා තිබුණි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එකල පෙන්වා දුන් පරිදි [2], ඕර්බන්ගේ මෙම ඒකාධිපති ගමන “යුරෝපීය සුවිශේෂී තත්ත්වයක්” නොව, ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළවල් විසින් ඉල්ලා සිටි “දරුණු සමාජයීය ප්‍රහාරයන්ගේ නව වටයක්” සඳහා වූ සූදානමකි. මාධ්‍ය මුඛවාඩම් බැඳීම සහ රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සිදුකරන ලද්දේ, සමාජ කප්පාදු හේතුවෙන් ඇතිවිය හැකි සමාජ ගැටුම් සෘජුවම අපේක්ෂා කරමිනි.

2018 වසරේදී බලාත්මක වූ ජර්මනියේ ජාල බලාත්මක කිරීමේ පනත (NetzDG), “වෛරී ප්‍රකාශ” සහ “අසත්‍ය පුවත්” වලට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් අන්තර්ජාල වාරණයක් සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස් කර දුන්නේය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) ලේඛනගත කර ඇති පරිදි [3], මෙම නීතිය” වාමාංශික සහ සමාජවාදී අදහස් මර්දනය කිරීම අරමුණු කරගනිමින්, අන්තර්ජාලය තුළ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ප්‍රහාර එල්ල කිරීම සඳහා දියත් කළ ජාත්‍යන්තර මර්දනකාරී පියවරක කොටසක්” විය.

2022 වසරේදී, බ්‍රිතාන්‍යයේ ඕෆ්කොම් (Ofcom) ආයතනය විසින් “නිෂ්පාක්ෂිකභාවය” සහ “නිදහස” යන වචන භාවිත කරමින්, ආර්.ටී (RT) නාලිකාවේ විකාශන බලපත්‍ර අවලංගු කරන ලදී. 2025 වසරේදී, රුසියාවට එරෙහිව යුරෝපා සංගමය විසින් පනවන ලද 17 වන සම්බාධක පැකේජය මඟින් රුසියානු හිතවාදී සහ පලස්තීන හිතවාදී මාධ්‍ය තහනම් කිරීම දක්වා එය තවදුරටත් පුළුල් කෙරිණි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) මෙය හැඳින්වූයේ [4] “මාධ්‍ය නිදහස සඳහා වූ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට එල්ල කළ විවෘත ප්‍රහාරයක්” ලෙසය.

එහි රටාව ඉතා පැහැදිලිය. ලොව පුරා වර්ධනය වන සමාජ විරෝධතාවලට මුහුණ දෙන ධනවාදී ආණ්ඩු, පොදු සමාජ කතිකාවන් පාලනය කිරීම සඳහා නෛතික හා ආයතනික යාන්ත්‍රණයන් ගොඩනඟමින් සිටී. ඒ සඳහා ඔවුන් නිරන්තරයෙන් භාවිත කරන්නේ “වෘත්තීය ප්‍රමිතීන්,” “ආචාර ධර්ම,” සහ “අසත්‍ය තොරතුරු මර්දනය කිරීම” වැනි එකම ආකාරයේ වදන් මාලාවකි. නමුත් මෙහි එකම අරමුණ වන්නේ කම්කරු පන්තියේ විරෝධය සහ ධනවාදයට එරෙහි විග්‍රහයන් යටපත් කිරීමයි.

කප්පාදු කිරීමේ ප්‍රතිපත්ති සඳහා මර්දනය අවශ්‍යය

වරලත් ආයතන පනත් කෙටුම්පත ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේග (JVP/NPP) ආණ්ඩුවේ පුළුල් ගමන් මඟෙන් බැහැර කර තනිව වටහා ගත නොහැක. දිසානායක 2024 සැප්තැම්බර් මාසයේදී බලයට පත්වූයේ, පවතින දේශපාලන ක්‍රමයට එරෙහි බාහිර පුද්ගලයෙකු ලෙස පෙනී සිටිමින්, ජනතා අප්‍රසාදයේ රැල්ලක් මත ය. කෙසේ වෙතත්, නව පාර්ලිමේන්තුව රැස්වී දින කිහිපයක් ඇතුළත, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) මූල්‍ය ඇප දී ගලවා ගැනීමේ (bailout) වැඩසටහන නැවත සාකච්ඡා කරන බවට වූ තම මැතිවරණ පොරොන්දුව [5] අතහැර දැමූ ආණ්ඩුව, එම වැය කප්පාදු වැඩසටහන සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමට කැපවිය.

එතැන් පටන් වාර්තා වී ඇත්තේ කම්කරු පන්තියට එරෙහිව එල්ල වූ නොනවතින ප්‍රහාරයන් ය. ජනගහනයෙන් හතරෙන් එකක් දරිද්‍රතා රේඛාවෙන් පහළට වැටී සිටින තත්ත්වයක් තුළ පවා, ආණ්ඩුව රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීම සහ පෞද්ගලීකරණය කිරීම සිදුකර ඇති අතර, 2026 පෙබරවාරි මාසයේ සිට ඉන්ධන මිල දළ වශයෙන් සියයට 40කින් ද, විදුලි ගාස්තු සියයට 32කින් ද, ගෑස් මිල සියයට 31කින් ද ශීඝ්‍රයෙන් ඉහළ නංවා, දැඩි වියදම් සීමාවන් පවත්වාගෙන ගොස් ඇත. 2026 අප්‍රේල් මාසයේදී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක්, දිසානායක “IMF නියෝගයන් දැඩි ලෙස අනුගමනය කිරීම” [6] අගය කරමින් ඔහුව ඉහළින්ම ප්‍රශංසාවට ලක් කළේය. එහිදී ජනාධිපතිවරයා ද “මෙම වැඩසටහන යටතේ නියම කර තිබූ සියලුම ඉලක්ක ශ්‍රී ලංකාව සපුරා ඇති බව” පවසමින් උදම් ඇනීය.

ආණ්ඩුව මේ වන විට බරපතල වෙමින් පවතින අර්බුදයකට මුහුණ දී සිටී [7]. එනම්, ගෙවුම් ශේෂ හිඟය තවදුරටත් නරක අතට හැරීම, රුපියලේ අගය පහත වැටීම, ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් තෙල් ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ කම්කරුවන් මෙන්ම ග්‍රාමීය දුප්පත් ජනතාවගෙන් මතුවන කැකෑරෙන විරෝධයයි. ආණ්ඩුව මීට ප්‍රතිචාර දක්වා ඇත්තේ අත්‍යවශ්‍ය සේවා නියෝග පැනවීම, විරෝධතාකරුවන්ට එරෙහිව පොලිස් ප්‍රචණ්ඩත්වය මුදාහැරීම, ශිෂ්‍ය ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගැනීම, වර්ජන මර්දනය සඳහා හමුදාව යෙදවීම සහ හදිසි නීතිය යටතේ පාලනය දිගින් දිගටම දීර්ඝ කිරීම මඟිනි. වරලත් ආයතන පනත් කෙටුම්පත යනු මෙම ඒකාධිපති ගමන් මඟෙහි මෑතකදීම ගනු ලැබූ දරුණුතම ඉදිරි පියවරයි. එනම්, එය සත්‍යය ප්‍රචාරය වීමට එරෙහිව ද, වැඩකරන ජනතාවගේ සැබෑ තත්ත්වය හෙළිදරව් කරන සහ කම්කරු පන්තිය එක්සත් විප්ලවවාදී බලවේගයක් ලෙස සංවිධානය වීමට අවශ්‍ය දේශපාලන විග්‍රහයන් සපයන මාධ්‍යවේදයට එරෙහිව ද, පූර්ව සූදානමකින් යුතුව එල්ල කරන ලද ප්‍රහාරයකි.

ජනතා විමුක්ති පෙරමුණ (JVP): ඝාතක කණ්ඩායම්වල සිට “වෘත්තීය ප්‍රමිතීන්” දක්වා

මාධ්‍ය වාරණය ක්‍රියාත්මක කරන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ (JVP) වත්මන් භූමිකාව වටහා ගත යුත්තේ එහි දේශපාලන ඉතිහාසය ආශ්‍රයෙන් ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) දශක ගණනාවක් තිස්සේ ලේඛනගත කර ඇති පරිදි [8], ජනතා විමුක්ති පෙරමුණ යනු සමාජවාදී හෝ කම්කරු පක්ෂයක් නොවන අතර එය කිසිදාක එවැන්නක් වී ද නැත. එය සිංහල ජනතාවාදය මත පදනම් වූ, දක්ෂිණාංශික, ජාතිකවාදී සහ වාර්ගිකවාදී (communalist) ව්‍යාපාරයකි. 1988-89 කාලසීමාවේදී එය (ජනතා විමුක්ති පෙරමුණ) දේශපාලන ඝාතන ව්‍යාපාරයක් දියත් කළ අතර, එහිදී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ සාමාජිකයන් ඇතුළු වාමාංශික දේශපාලන විරුද්ධවාදීන්, වෘත්තීය සමිති නායකයන් සහ කම්කරුවන් සිය ගණනක් ඝාතනය කෙරිණි. එමෙන්ම, 2009 මැයි මාසයේදී දෙමළ ජනතාව 40,000ක් සමූල ඝාතනය කිරීමෙන් කෙළවර වූ, දෙමළ සුළුතරයට එරෙහි ජාතිවාදී යුද්ධයේ දැඩිම සහ ප්‍රබලම ප්‍රකාශකයා වූයේ ද මෙම ව්‍යාපාරයයි.

ජනතා විමුක්ති පෙරමුණ (JVP), ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැය කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, පොලිස්-හමුදා මර්දනය මුදාහරින සහ දැන් මාධ්‍ය වාරණය සඳහා රාජ්‍ය යාන්ත්‍රණයක් ගොඩනඟන ධනේශ්වර පාලනයේ පක්ෂයක් බවට පරිවර්තනය වීම, එහි මුල් ප්‍රතිපත්ති පාවාදීමක් නොවේ. එය සුළු ධනේශ්වර ජාතිකවාදී සංවිධානයක් ලෙස එහි පන්ති ස්වභාවයේ තර්කානුකූල අවසානයයි. දිනෙක තම වාමාංශික විරුද්ධවාදීන් භෞතිකව විනාශ කළ පක්ෂයම, දැන් “වරලත් ආයතනයක” නිලධාරිවාදී යාන්ත්‍රණයන් හරහා ඔවුන්ගේ හඬ යටපත් කිරීමට උත්සාහ කරයි. එහි ක්‍රමවේදයන් නවීකරණය වී ඇත, නමුත් කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය මර්දනය කිරීම යන එහි මූලික අරමුණ එලෙසම පවතී.

ව්‍යාජ වාම සහ වෘත්තීය සමිති: මර්දනයේ අනුබලදෙන්නන් ලෙස 

ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම සඳහා කම්කරු පන්තියට ව්‍යාජ වාම සංවිධාන හෝ වෘත්තීය සමිති නිලධාරිවාදය දෙස බලා සිටිය නොහැක. ආණ්ඩුවේ වාමාංශික විරුද්ධවාදියෙකු ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP), වෘත්තීය සමිති යාන්ත්‍රණය සමඟ සහයෝගයෙන් කටයුතු කරමින්, ඔවුන්ගේ පාවාදීම් වසන් කරන අතරතුර, කම්කරුවන් නිශ්ඵල සාකච්ඡා සහ පාර්ලිමේන්තුව වෙත කෙරෙන ඉල්ලීම් වෙත යොමු කරයි. ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගයට (JVP/NPP) අනුබද්ධ වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් මාරාන්තික නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යන අතර, ඔවුන්ගේ සාමාජිකයන්ගේ සියලුම ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් සක්‍රීයව වළක්වයි. විපක්ෂයේ පාර්ලිමේන්තු පක්ෂ වන සමගි ජන බලවේගය (SJB) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට (SLPP) සම්බන්ධ වෘත්තීය සමිති, කම්කරු පන්තියේ සැබෑ විරෝධය දියකර හැරීමේ අරමුණින් යුතුව සීමිත ක්‍රියාමාර්ග පමණක් කැඳවනු ලබයි.

මෙම බලවේග කිසිවක් මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රතිපත්තිගරුක ආරක්ෂාවක් ගොඩනඟන්නේ නැත. මන්ද, ආණ්ඩුව මෙන්ම විපක්ෂය ද ඇතුළු ඔවුන් සියලු දෙනාම, කම්කරු පන්තිය අන්ත අසරණ භාවයට පත් කරන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැඩසටහනට සහයෝගය දක්වන බැවිනි. ඔවුන් සියලු දෙනාම කම්කරුවන්ගේ සහ තරුණයන්ගේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම කෙරෙහි බියක් දක්වති. එමෙන්ම, පොදු සමාජ කතිකාව පාලනය කිරීම සම්බන්ධයෙන් ඔවුන් සැමටම ඇත්තේ එක හා සමාන අවශ්‍යතාවයකි. ජනාධිපති දිසානායක  විසින් දිට්වා (Ditwah) සුළි කුණාටුවෙන් පසු හදිසි නීති රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට ප්‍රථම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් ඒ සඳහා ඉල්ලා සිටියා සේම, වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය පනත් කෙටුම්පත ද එහි මූලික හරය අනුව  ද්විපාර්ශ්වික (පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම සහභාගීත්වය ඇති) ව්‍යාපෘතියකි.

කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම ගොඩනගනු

ශ්‍රී ලංකා වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතනය (CIMP) පනත් කෙටුම්පතට එරෙහි අරගලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවරයන්ට එරෙහි, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සහ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය උදෙසා වන අරගලයෙන් වෙන් කළ නොහැක්කකි. මාධ්‍ය නිදහස යනු “ආර්ථික ඉල්ලීම්” දිනා ගන්නා තෙක් පසෙක තැබිය යුතු ධනේශ්වර සුඛෝපභෝගීත්වයක් නොවේ. එය පන්ති අරගලයේදී අත්‍යවශ්‍ය ආයුධයකි. ඉදිරි සටන් සඳහා සන්නද්ධ වීමට නම්, තොරතුරු, විශ්ලේෂණ සහ දේශපාලන විවාද සඳහා කම්කරු පන්තියට බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ හැකියාව තිබිය යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI), ලෝක සමාජවාදී වෙබ් අඩවිය සහ thesocialist.lk වෙබ් අඩවිය ඉදිරිපත් කරන විප්ලවවාදී මාක්ස්වාදී ඉදිරිදර්ශනය ද ඊට ඇතුළත් වන අතර, එය විශේෂයෙන්ම වැදගත් වේ.

ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) කම්කරුවන්ගෙන්, තරුණ ජනතාවගෙන්, මාධ්‍යවේදීන්ගෙන්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන්ගෙන්  සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකින සියලු දෙනාගෙන් මෙසේ ඉල්ලා සිටියි:

  • වරලත් මාධ්‍ය වෘත්තිකයන්ගේ ආයතන පනත් කෙටුම්පත සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු! මෙය සංශෝධනය කළ යුතු පනතක් නොවේ — එය පරාජය කළ යුතු පනතකි!
  • මාධ්‍යවේදීන්ට රාජ්‍ය බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදය එපා! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි, ධනපති රාජ්‍යය විසින් පිරිනමනු ලබන වරප්‍රසාදයක් නොවේ!
  • රාජ්‍ය මැදිහත්වීම්වලින් තොරව ප්‍රකාශනයෙහි යෙදීමට සමාජ මාධ්‍ය අන්තර්ගත නිර්මාණකරුවන්ට සහ අන්තර්ජාල විචාරකයන්ට ඇති අයිතිය සුරකිනු!
  • පුවත්පත් මණ්ඩල පනත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, යෝජිත රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සහ පෙර පාලන තන්ත්‍රයන්ගෙන් උරුම වූ සියලුම මර්දනකාරී නීති අහෝසි කරනු!
  • රජයේ මුද්‍රණාල සහ රාජ්‍ය මාධ්‍ය සේවකයන්ට පනවා ඇති අත්‍යවශ්‍ය සේවා තහනම එපා ! වැඩවර්ජනය කිරීමේ අයිතිය සුරකිනු!
  • ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැය කප්පාදුවලට සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වන ප්‍රහාරයන්ට එරෙහිව සටන් කිරීම සඳහා, සියලුම සේවා ස්ථාන පුරා ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පෙරමුණ ගනු!
  • පොදු සතුරා වන ගෝලීය ධනවාදයට සහ එහි රාජ්‍ය ආයතනවලට එරෙහිව, දකුණු ආසියාවේ සහ ජාත්‍යන්තරව සිටින තම පන්ති සහෝදර සහෝදරියන් සමඟ ශ්‍රී ලාංකික කම්කරු පන්තියේ එක්සත්භාවය ඇති කරනු!
  • ධනපති පක්ෂ සහ ඔවුන්ගේ වෘත්තීය සමිති අනුබද්ධයන් මත නොව, කම්කරු කමිටු මත පදනම් වූ කම්කරු ආණ්ඩුවක් ගොඩනැගීමට පෙරමුණ ගනු!
  • සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මාධ්‍ය නිදහසේ එකම පදනම වන සමාජය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීමට පෙරමුණ ගනු!

දිසානායක ආණ්ඩුව පොලිස් රාජ්‍යයක ව්‍යුහය ගොඩනඟමින් සිටින්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වැය කප්පාදුවලින් තමන් තවදුරටත් උග්‍ර කරමින් සිටින සමාජ අර්බුදය, දැවැන්ත මහජන විරෝධයක් ජනිත කරනු ඇති බව එය දන්නා බැවිනි. වැඩකරන ජනතාව මීට පිළිතුරු දිය යුත්තේ තමන්ගේම ස්වාධීන සංවිධාන ගොඩනැගීමෙනි — එනම් ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන, සමාජවාදී-ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙළකින් දේශපාලනිකව සන්නද්ධ වූ ක්‍රියාකාරී කමිටු සෑම සේවා ස්ථානයකම සහ නිවහන් ප්‍රදේශයකම පිහිටුවීමෙනි. මාධ්‍ය වාරණයට එරෙහි සටන යනු වැඩකරන ජනතාවගේ දේශපාලන ස්වාධීනත්වය උදෙසා කෙරෙන සටනකි. එය ජයගත හැක්කේ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමෙන් සහ සමස්ත ධනපති ක්‍රමයට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමෙන් පමණි.

ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය ( SLLA) වන අපි මෙම සටනේ යෙදෙන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (International Committee of the Fourth International) ජාත්‍යන්තර වැඩපිළිවෙළ සමඟ සහයෝගීතාවයෙනි. සමාජවාදය සඳහා වන සටනට අත්‍යවශ්‍ය විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට සහ මෙම අරගලය ඉදිරියට ගෙන යාමට අප හා එක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් , තරුණ ජනතාවගෙන්, බුද්ධිමතුන්ගෙන් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සුරකින සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමු.

[1] දිට්වා සුළි කුණාටු ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ එන්පීපී ආණ්ඩුව හදිසි නීතිය පනවයි: කම්කරු පන්තියට අනතුරු ඇඟවීමක්, සංජය ජයසේකර (4 දෙසැම්බර් 2024) <https://www.thesocialist.lk/04-12-2025-sri-lanka-npp-government-imposes-emergency-laws-following-cyclone-ditwah-disaster-a-warning-to-the-working-class-sin/

Sri Lankan government extends draconian state of emergency, Saman Gunadasa (15 May 2026) <https://www.wsws.org/en/articles/2026/05/16/fkbi-m16.html

[2] The demolition of press freedom in Hungary, Markus Salzmann, Peter Schwarz (24 December 2010) <https://www.wsws.org/en/articles/2010/12/hung-d24.html

[3] Germany’s “Network Enforcement Law” goes into effect: A move to censor the Internet, Johannes Stern (4 January 2018) <https://www.wsws.org/en/articles/2018/01/04/netz-j04.html

[4] Ban on Red Media: EU sanctions against Russia attack press freedom, Marianne Arens (28 May 2025) <https://www.wsws.org/en/articles/2025/05/29/qopq-m29.htm

[5] Sri Lankan president announces JVP/NPP government will implement savage IMF austerity program in full, Saman Gunadasa, Keith Jones (22 November 2024) <https://www.wsws.org/en/articles/2024/11/23/kjdl-n23.html>

[6] IMF delegation praises Sri Lankan government’s austerity measures, Saman Gunadasa(7 April 2026) <https://www.wsws.org/en/articles/2026/04/08/abhi-a08.html

[7] ජාමූඅ නියෝග බලාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ පාලක ජාජබ ශක්තිමත් පාර්ලිමේන්තු බහුතරයක් ලබා ගනී: කප්පාදුවලට එරෙහිව සටන් කිරීමට සසප ගොඩනඟන්න! ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (එස්එල්එල්ඒ) ප්‍රකාශය. (21 නොවැම්බර් 2024) <https://www.thesocialist.lk/sri-lankas-ruling-npp-secures-a-strong-parliamentary-majority-to-enforce-imf-dictates-build-the-sep-to-fight-the-cuts/>

JVP/NPP government in Sri Lanka preparing further attacks on workers amid growing crisis, Saman Gunadasa (21 May 2026) <https://www.wsws.org/en/articles/2026/05/22/ingw-m22.html

[8] The Sri Lankan elections: JVP assumes responsibility for defending capitalism amid a deepening revolutionary crisis, Keith Jones (23 September 2024) <https://www.wsws.org/en/articles/2024/09/24/gpzw-s24.html>

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top