පැට්රික් මාටින් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 11 දින “25 years since the September 11 terrorist attacks” යන හිසින් පළවූ පැට්රික් මාටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

එක්සත් ජනපදය තුළ පුද්ගලයින් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් කරමින්, 2001 සැප්තැම්බර් 11 වන දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට අදට වසර 25 ක් සපිරේ. පුද්ගලයින් 19 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් — ඔවුන්ගෙන් 15 දෙනෙකුම සෞදි අරාබියේ වැසියන් විය — ගුවන් යානා හතරක් පැහැරගෙන, ඉන් දෙකක් නිව් යෝර්ක් නගරයේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ (World Trade Center) නිවුන් කුළුණු වෙත ද, එකක් පෙන්ටගනය වෙත ද, අනෙක මගීන් ඔවුන්ට එරෙහිව සටන් කිරීමෙන් පසු පෙන්සිල්වේනියා හි එළිමහන් භූමියකට ද කඩා වදින ලෙස පියාසර කළහ. මෙය සිවිල් යුද්ධයෙන් පසුව ඇමරිකාවේ එකම දිනකදී සිදුවූ විශාලතම ප්‍රචණ්ඩකාරී මරණ සංඛ්‍යාව විය.
2001 සැප්තැම්බර් 12 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් මෙසේ ප්‍රකාශ කළේය:
“ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර කිසි සැකයකින් තොරව හෙළා දකියි. මගී ගුවන් යානා හතරක් පැහැරගෙන ඒවා පියාසර කරන බෝම්බ බවට පත්කිරීමට වගකිවයුත්තන්, සමූහ ඝාතනයකට වරදකරුවෝ වෙති. මිනිස් ජීවිත මෙලෙස ම්ලේච්ඡ ලෙස සහ ඉවක් බවක් නැතිව විනාශ කිරීම මත පදනම්ව කිසිදු සාමාජික ප්රගතිශීලී අරමුණක් ඉටුකර ගත නොහැක.
“මෙම මිනීමරු ත්‍රස්ත ක්‍රියාවන්ගෙන් පිළිඹිබු වන්නේ, අධෛර්යමත් වූ අශුභවාදය, ආගමික සහ අන්ත-ජාතිකවාදී අන්ධකාරවාදය (obscurantism) මෙන්ම, අතිශයින්ම නින්දිත දේශපාලන අවස්ථාවාදයේ විෂ සහිත සංයෝගයකි. ත්‍රස්තවාදී සංවිධාන — ඔවුන්ගේ ඇමරිකානු විරෝධී ප්‍රකාශ (anti-American rhetoric) මොනවා වුවත් — තම උපායමාර්ග පදනම් කරගන්නේ, භයානක හදිසි ප්රචණ්ඩ ක්‍රියා මගින් ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිපත්ති වෙනස් කිරීමට බලකළ හැකිය යන මිත්‍යාව මතය. ඒ අනුව, අවසාන විග්රහයේදී ඔවුන් බලාපොරොත්තු වන්නේ වොෂින්ටනය සමඟ ගනුදෙනුවකට එළඹීමටය.
“තමන්ව සාධාරණීකරණය කිරීමට කෙතරම් උත්සාහ කළද, ත්‍රස්තවාදී ක්‍රමවේදය මූලික වශයෙන්ම ප්රතිගාමී වේ. අධිරාජ්‍යවාදී මිලිටරිවාදයට ප්‍රබල පහරක් එල්ල කිරීම කෙසේ වෙතත්, ත්‍රස්තවාදය විසින් සිදුකරන්නේ, පාලක ප්‍රභූ පැළැන්තියේ භූ-දේශපාලනික සහ ආර්ථික වුවමනාවන් වෙනුවෙන් යුද්ධය සාධාරණීකරණය කිරීමට සහ සුජාත කිරීමට මෙවැනි සිදුවීම් භාවිත කරන ඇමරිකානු ආයතන පද්ධතිය (US establishment) තුළ සිටින පාර්ශවයන්ගේ හස්තයන් ශක්තිමත් කිරීමයි. අහිංසක සිවිල් වැසියන් ඝාතනය කිරීම මගින් මහජනතාව කෝපයට, අස්ථානගත කිරීමට හා ව්‍යාකූලත්වයට ලක්වේ. එය කම්කරු පන්තියේ ජාත්‍යන්තර එක්සත්කම උදෙසා කෙරෙන අරගලයට හානි පමුණුවන අතර, මැද පෙරදිග වර්තමාන සිදුවීම්වලට පදනම් වූ ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව ඇමරිකානු ජනතාව දැනුවත් කිරීමට දරන සියලු උත්සාහයන් අඩපණ කරයි.”
ඉන්පසු සිදු වූ සියලුම සිදුවීම් මගින් මෙම විග්‍රහය තහවුරු විය. වෙනත් බොහෝ ලේඛන සමඟ මෙම ප්‍රකාශය ද, 9/11 ප්‍රහාරය, එහි මූලාරම්භය සහ ප්‍රතිඵල පිළිබඳ WSWS වාර්තාවල විශේෂ ප්‍රදර්ශනයට ඇතුළත් කර ඇත.
මෙම ප්‍රහාරය රටේ ඉතිහාසයේ එක්සත් ජනපද බුද්ධි අංශවල විශාලතම “අසාර්ථකත්වය” ලෙස වහාම විස්තර කරන ලදී. එහෙත් මාධ්‍ය හරහා අතිවිශාල ප්‍රචාරයක් ලබා දීම, 9/11 කොමිෂන් සභාව මගින් සිදුකළ පරීක්ෂණ සහ ගණනය කළ නොහැකි තරම් වූ කොංග්රස් මණ්ඩල සභා විමර්ශන පැවැත්වීම නොතකා, මෙම අපරාධය සංවිධානය කිරීම පිළිබඳව එදා දැන සිටි ප්‍රමාණයට වඩා වැඩි යමක් අද වන විටත් ඇමරිකානු ජනතාව දන්නේ නැත.
ඊට අමතරව, මෙම ව්‍යසනය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකුවත් රැකියාවෙන් පහ කිරීම, නිලයෙන් පහත හෙලීම හෝ කිසිදු අයුරකින් වගකිවයුතු හෝ වගවිය යුතු අයෙකු බවට පත් කිරීම සිදු කර නොමැත. 1941 දෙසැම්බර් 7 වන දින පර්ල් හාබර් (Pearl Harbor) වෙත ජපන් ප්‍රහාරය එල්ල වීමෙන් පසුව, නාවික හමුදා අද්මිරාල්වරුන් සහ පහළ ශ්‍රේණිවල නිලධාරීන් කිහිප දෙනෙකුටම තමුන්ගේ රැකියා අහිමි විය. සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව එවැනි කිසිවක් සිදු වූයේ නැත.
ඒ වෙනුවට, බුද්ධි අංශවලට “තොරතුරු එකිනෙක සම්බන්ධ කර ගැනීමට (connect the dots)” නොහැකි වූ බවට ප්‍රකාශ කරමින්, අඛණ්ඩ සහ ක්රමානුකූල වසන් කිරීමක් සිදුවිය. මෙම යෙදුම පැහැදිලි කළ නොහැකි කරුණු පැහැදිලි කිරීම සඳහා වූ සර්වකාර්ය සාධක නිදහසට කරුණක් බවට පත් විය. එක්සත් ජනපද ආරක්ෂක ආයතන විසින් ප්‍රසිද්ධ අල්-කයිඩා ක්‍රියාකාරීන්ට රට තුළට ඇතුළු වීමටත්, මගී ජෙට් යානා පියාසර කිරීමට ඔවුන් පුහුණුව ලැබූ ගුවන් පියාසර පාසල්වලට ඇතුළත් වීමටත්, එකම උදෑසනක බොස්ටන් සහ වොෂින්ටන් ඩී.සී. වෙතින් පිටත්ව ගිය ගුවන් යානා හතරකට ගොඩ වූ සිව්දෙනෙකුගෙන් හෝ පස්දෙනෙකුගෙන් යුත් සන්නද්ධ කණ්ඩායම් සංවිධානය කිරීමටත් ඉඩ හරින ලදී.
ප්‍රදර්ශනයට එකතු කර ඇති ලිපි දුසිම් ගණනකින් WSWS පැහැදිලි කළ පරිදි, සිද්ධිය පිළිබඳ නිල ප්‍රකාශය චේතනාන්විත ආරක්ෂාව ලිහිල් කිරීමකට සුදුහුණු ගෑම සඳහා කළ එකකි. සම්පූර්ණයෙන්ම ප්‍රසිද්ධ මූලාශ්‍ර පදනම් කරගනිමින් ලිපි හතරකින් යුත් විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් 2002 ජනවාරි මාසයේදී WSWS මෙසේ ලියා සිටියේය: “එදින සිදුවීම් පිළිබඳ අවම පිළිගත හැකි සහ අවම විශ්වාසනීය පැහැදිලි කිරීම වන්නේ, ගුවන් යානා ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ සහ පෙන්ටගනයේ වදින තෙක්ම එක්සත් ජනපදයේ දැවැන්ත ජාතික ආරක්ෂක යාන්ත්‍රණය ගුවන් යානා පැහැරගත් අයගේ ක්‍රියාකාරකම් පිළිබඳව සම්පූර්ණයෙන්ම නොදැන සිටියේය යන්නයි.”
එල්ල වීමට නියමිත ත්‍රස්ත ප්‍රහාර පිළිබඳව අනතුරු ඇඟවීම් ගණනාවක් තිබූ අතර, ගුවන් යානා පැහැරගැනීමේ අනතුර පිළිබඳව 2001 අගෝස්තු මාසයේදී ජනාධිපති ජෝර්ජ් ඩබ්. බුෂ් වෙත ලබා දුන් සුප්‍රකට තොරතුරු දැනුම්දීම ද ඊට ඇතුළත් විය.
එක්සත් ජනපද ආරක්ෂක සේවාවන්ට යානා පැහැරගත් අය කිහිප දෙනෙකු වෙත සෘජුවම ප්‍රවේශ වීමේ හැකියාව තිබුණි. ඔවුන්ගෙන් දෙදෙනෙකු වූ නවාෆ් අල්-හස්මි (Nawaf al-Hazmi) සහ ඛාලිඩ් අල්-මිහ්දාර් (Khalid al-Mihdhar), සැන් ඩියේගෝ (San Diego) හි එෆ්බීඅයි තොරතුරුකරුවෙකුගේ නිවසේ ලැගුම්ගෙන සිටියහ. ප්‍රධාන සංවිධායකයා වූ මොහොමඩ් අටා (Mohamed Atta), 2001 ජනවාරි මාසයේදී සංචාරක වීසා බලපත්‍රයකින් මියාමි (Miami) වෙතින් නැවත එක්සත් ජනපදයට ඇතුළු වූ අතර, තමා ෆ්ලෝරිඩා ගුවන් පියාසර පාසලක පුහුණුව ලබන බව ආගමන විගමන පරීක්ෂකවරුන්ට පැවසීය — එය ඔහුගේ ඇතුළුවීමේ කොන්දේසිවලට සෘජුවම පටහැනි විය. ඔහුව ද්විතීයික පරීක්ෂාවකට යොමු කළ අතර, කෙසේ වෙතත් ඇතුළුවීමට ඉඩ දෙන ලදී. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු කුළුණ වෙත ඇමරිකන් එයාර්ලයින්ස් 767 යානයක් පදවාගෙන යාමට හැකි වන පරිදි ඔහු නැවතත් තම පුහුණුවට එක්විය.
අල්-කයිඩා සංවිධානය එක්සත් ජනපද බුද්ධි අංශ හොඳින් දැන සිටි එකකි. එහි නිර්මාතෘ, සෞදි අරාබි ඉදිකිරීම් ක්ෂේත්රයේ කෝටිපතියෙකු වූ ඔසාමා බින් ලාඩන්, 1979 සොවියට් ආක්‍රමණය ප්‍රකෝප කිරීම සඳහා ඇෆ්ගනිස්ථානයේ සෝවියට් විරෝධී නො-නිල මිලිටරි බලකායක් ගොඩනැගීමේ උත්සාහයේ කොටසක් ලෙස ඇමරිකානු සීඅයිඒ සංවිධානය විසින් මූල්‍යනය කරනු ලැබීය. ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ජිමි කාටර්ගේ ජාතික ආරක්ෂක උපදේශක ස්බිග්නිව් බ්‍රෙසින්ස්කිගේ (Zbigniew Brzezinski) වචනවලින් කිවහොත්, එහි අරමුණ වූයේ “සෝවියට් සංගමයට එහි ‘වියට්නාමය’ ලබා දීමයි.” බින් ලාඩන් සිය ඇමරිකානු අනුග්‍රාහකයන්ට එරෙහිව හැරුණේ, 1990-91 පර්සියානු ගල්ෆ් යුද්ධයේදී එක්සත් ජනපදය විසින් 700,000 ක සෙබළුන් පිරිසක් – ඉන් වැඩි පිරිසක් සෞදි අරාබියේ රඳවා සිටි – බලමුලු ගැන්වීමෙන් පසුව පමණී.
තවමත් පැහැදිලි නොකළ කුමන්ත්රණයේ නිශ්චිත අංග මොනවා වුවද, ප්‍රහාරවල සැබෑ දේශපාලන වැදගත්කම වන්නේ ඇමරිකානු රජයේ විදේශීය මෙන්ම දේශීය ප්‍රතිපත්තියේ ද එය තීරණාත්මක හැරවුම් ලක්ෂයක් බවට පත්වූ ආකාරයයි. “ත්රස්තවාදයට එරෙහි යුද්ධය (war on terror)” යන්න පෙර නොවූ විරූ අයුරේ ජාත්‍යන්තර ආක්රමණශීලීත්වයේ සහ දේශීය මර්දනයේ ව්‍යාපාරයක් සඳහා වූ සර්වකාර්ය සාධක (කෝකටත් තෛලය) නිදහසට කරුණ බවට පත් විය. මෙම ක්‍රියාමාර්ග දිගු කලක් තිස්සේ සූදානම් කර තිබූ – 9/11 මගින් සපයන ලද – සුදුසු නිදහසට කරුණක් ලැබෙන තෙක් පමණක් බලා සිටි ඒවා විය.
සති කිහිපයක් ඇතුළත, ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල ඒකමතික ස්වභාවයේ සහයෝගය ඇතිව, 9/11 ප්‍රහාරයට වගකිවයුත්තන්ට එරෙහිව මිලිටරි බලය භාවිත කිරීමේ බලය පැවරීමේ පනත (Authorization for the Use of Military Force – AUMF) කොංග්රස් මණ්ඩලය විසින් සම්මත කරන ලදී. ඔසාමා බින් ලාඩන්ගේ ප්‍රධාන කඳවුර පිහිටා තිබූ ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමේ පදනම ලෙස බුෂ් පරිපාලනය විසින් එය ප්‍රථමයෙන් යොදා ගන්නා ලදී. කෙසේ වෙතත්, ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් පරිපාලනයන් විසින්, පාකිස්ථානයේ සිට සිරියාව , ලිබියාව සහ උතුරු අප්‍රිකාව පුරා ඩ්‍රෝන ප්‍රහාර සහ විශේෂ බලකා ප්‍රහාර ඇතුළුව අවම වශයෙන් රටවල් 22 ක තවදුරටත් හමුදා මෙහෙයුම් සඳහා වූ පදනම ලෙස AUMF නැවත නැවතත් යොදා ගන්නා ලදී. බින් ලාඩන් ඝාතනය කර වසර 15 කට පසුවත් එය අදටත් බලාත්මකව පවතී. මේ අතර, වොෂින්ටනයේ ප්‍රතිපත්තියට ගැලපෙන විට, අල්-කයිඩා සංවිධානයට පැහැදිලිවම සම්බන්ධ සිරියානු පාලන තන්ත්රයක්, එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්ති ඉලක්කවලට සේවය කිරීමට එකඟ වන විට මිත්‍රයෙකු ලෙස සාදරයෙන් පිළිගනු ලැබේ.
ඉරාක යුද්ධය සඳහා නීතිමය පදනම වෙනම AUMF එකක් වූ අතර, දෙවන යුද යෝජනාව ලබා ගැනීමේ එක් පදනමක් ලෙස බුෂ් පරිපාලනය සදාම් හුසේන් සහ අල්-කයිඩා අතර නොපවතින සම්බන්ධතාවයක් (සැබවින්ම ඔවුන් තදබල සතුරන් විය) උපුටා දැක්වීය. අනෙක් බොරුව වූයේ ඉරාකය සතුව “මහා විනාශකාරී ආයුධ (weapons of mass destruction)” ඇති බවත්, එක්සත් ජනපදයට එරෙහිව භාවිත කිරීම සඳහා අල්-කයිඩාවට පරමාණුක බෝම්බයක් සැපයිය හැකි බවත්ය. ඉරාකය එක්සත් ජනපදයට තර්ජනයක් බවට සාක්ෂි අවශ්‍ය බව ප්‍රතික්ෂේප කරමින් බුෂ්ගේ ජාතික ආරක්ෂක උපදේශක කොන්ඩොලීසා රයිස් (Condoleezza Rice) 2002 දී ප්‍රකාශ කළ පරිදි: “දුම් පිටවන තුවක්කුව (smoking gun) හතු පිපෙන ආකාරයේ පරමාණුක වලාකුළක් (mushroom cloud) වෙනවාට අප කැමති නැත.”
දේශීය වශයෙන්, 9/11 හි බලපෑම සමහර විට ඊටත් වඩා විශාල විය. දැවැන්ත මට්ටමේ අභ්‍යන්තර හමුදා-පොලිස් ක්‍රියාමාර්ග සමඟ රට යුද තත්ත්වයකට පත් කරන ලදී. කොංග්රස් මණ්ඩලය විසින් පේට්‍රියට් පනත (Patriot Act) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී 357 ට 66 ක් ලෙසද, සෙනෙට් මණ්ඩලයේදී 98 ට එකක් ලෙසද සම්මත කරන ලදී.
නියෝජිතායතන 22 ක් ඒකාබද්ධ කරමින් සහ ට්‍රම්ප්ගේ පොලිස්-රාජ්‍ය මෙහෙයුම්වල පෙරමුණ බවට පත්ව ඇති අලුතින් පිහිටුවන ලද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ ඒකකය (Immigration and Customs Enforcement – ICE) ඇතුළත් කරමින්, මාතෘභූමි ආරක්ෂක දෙපාර්තමේන්තුව (Department of Homeland Security) නමැති අලුත් ෆෙඩරල් දෙපාර්තමේන්තුවක් සාදන ලදී. ලොව පුරා පිහිටි රහසිගත සීඅයිඒ (CIA) බන්ධනාගාරවල මෙන්ම කියුබාවේ ගුවන්තනාමෝ බේ (Guantanamo Bay) හි පිහිටි එක්සත් ජනපද නාවික හමුදා කඳවුරේ ප්‍රධාන රැඳවුම් මධ්‍යස්ථානයේ ද වධහිංසා පැමිණවීම සම්මත පුරුද්දක් බවට පත් විය. “තවත් 9/11 ක්” වැළැක්වීමේ නාමයෙන් සිරකරුවන්ට වතුරෙන් වධදීමේ (waterboarding-හිස පහතට සිටිනසේ ලෑල්ලක සිරුර ගැට ගසා නාසය සහ කටට වතුර වත් කරමින් ගිලෙන සෙයක් දැනීමට සැලැස්වීම) ක්‍රමය සාධාරණීකරණය කරමින් අධිකරණ දෙපාර්තමේන්තුවේ (Justice Department) සටහන් නිකුත් විය.
ඩිමොක්රටික් පක්ෂය “ත්රස්තවාදයට එරෙහි යුද්ධයේ” පූර්ණ පාර්ශ්වකරුවෙකු වූ අතර, බුෂ්ගේ යුද්ධ සඳහා අරමුදල් සැපයීමට නැවත නැවතත් ඡන්දය දුන් අතර, පසුව එක්සත් ජනපද-නැටෝ ලිබියානු බෝම්බ හෙලීම සහ සිරියාවේ සහ යේමනයේ එක්සත් ජනපද අනුග්‍රහය ලත් යුද්ධ ආරම්භ කළ ඔබාමා යටතේ ඒවා පවත්වාගෙන යමින් තවදුරටත් පුළුල් කළේය. නීතිමය ක්‍රියාපටිපාටියකින් තොරව එක්සත් ජනපද පුරවැසියන් ඇතුළු පුද්ගලයන් ඩ්‍රෝන මිසයිල මගින් ඝාතනය කිරීම සඳහා නීතිමය පදනම සකස් කළේ ද, එක්සත් ජනපද යුද අපරාධ සහ නීති විරෝධී මහජන පිළිබද ඔත්තු බැලීම හෙළිදරව් කළ චෙල්සී මැනින්ග් (Chelsea Manning) සහ එඩ්වඩ් ස්නෝඩන් (Edward Snowden) වැනි ධෛර්ය සම්පන්න තොරතුරු හෙළිදරව් කරන්නන්ට (whistleblowers) හිංසා පීඩා කිරීමට පෙරමුණ ගත්තේ ද ඔබාමාගේ නීතිපති එරික් හෝල්ඩර් (Eric Holder) විසිනි.
සංගත (සමාගම්) මාධ්‍ය ජාත්‍යන්තර නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එල්ල වූ ප්‍රහාරවල උද්යෝගිමත් අනුගාමිකයන් විය. ඩිමොක්රටික් පක්ෂ ලිබරල්වාදයේ ප්‍රධාන ප්‍රකාශකයා වූ නිව් යෝර්ක් ටයිම්ස් පෙරමුණ ගනිමින්, මාධ්‍ය ස්වාධීනත්වයේ සෑම අංශුවක්ම අතහැර දමන ලදී.
ලෝක සමාජවාදී වෙබ් අඩවියේ භූමිකාව කෝපරේට් මාධ්‍යවල යටත්වීමට වඩාත්ම තියුණු ලෙස වෙනස් විය. ප්‍රහාර එල්ල වූ දින සිටම, WSWS ඒවා පතිගාමී මහා ඝාතන ක්‍රියා ලෙස හෙළා දුටු අතර, දීර්ඝ කාලයක් තිස්සේ සැලසුම් කරන ලද මිලිටරි ප්‍රහාර සහ දේශීය වශයෙන් ප්රජාතන්ත්රවාදී අයිතීන් විනාශ කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඒවා යොදා ගනු ඇතැයි අනතුරු ඇඟවීය.
මාධ්‍ය සහ රජය එකතු වී සිදු කළ වසන් කිරීම් හමුවේ වුවද මතුවූ සියලු සාක්ෂි අපි ප්‍රවේශමෙන් විශ්ලේෂණය කළ අතර, ඩිමොක්රටිකයන් සහ රෙපබ්ලිකානුවන් යන දෙපිරිසම වැළඳගත් යුද්ධයේ සහ මර්දනයේ වැඩපිළිවෙලට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් කළෙමු. අල්-කයිඩා මහා ඝාතනය අගය කළ සුළු-ධනපති වමේ (petty-bourgeois left) කොටස්වල ජනප්‍රියවාදී ප්‍රකාශ (demagogy) අපි ප්‍රතික්ෂේප කළ අතර, ප්‍රහාරයෙන් දින දහයකට පසු, “ව්‍යාජ සමාජවාදයේ එක් ආකාරයක්, එනම් නරුමයන්ගේ සහ මෝඩයන්ගේ ව්‍යාජ ‘අධිරාජ්‍යවාදී විරෝධය’” ගැන ලියා තැබුවෙමු.
මිලිටරි ආක්‍රමණ, මහා පරිමාණ රඳවා තබා ගැනීම් සහ වධහිංසා පැමිණවීම් සාධාරණීකරණය කිරීමට සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදාගත් ලිබරල් විද්වතුන්ගේ සහ බුද්ධිමතුන්ගේ යටත්වීම අපි හෙළිදරව් කළෙමු. “අප සටන් කරන්නේ කුමක් සඳහාද (What We’re Fighting For)” ප්රකාශනයට අත්සන් තැබූ මහාචාර්යවරුන් හැට දෙනා ගැන WSWS මෙසේ ලීවේය: “මෙහි අඩංගු වන්නේ නොදැනුවත්කම හෝ අහිංසක කම නෙවෙයි, වංකභාවය සහ නරුමත්වයයි.”
9/11 සිට ගෙවී ගිය වසර 25 බොරු ප්‍රචාරණය අපකීර්තියට පත් කර ඇති අතර ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගැඹුරු වන අර්බුදය පෙන්නුම් කර ඇත. ඇෆ්ගනිස්ථාන යුද්ධය විනාශයකින් කෙළවර වූ අතර, තලිබාන් (Taliban) සංවිධානය නැවත බලයට පැමිණීමෙන් අවසන් වූ වසර 20 ක ගැටුමකදී ඇෆ්ගන් ජාතිකයන් 100,000 කට වැඩි පිරිසක් මෙන්ම ඇමරිකානුවන් 6,000 ක් ද මිය ගියහ. ඉරාක යුද්ධය ඊටත් වඩා විශාල ලේ වැගිරීමක් වූ අතර, ඇමරිකානුවන් 7,000 කට අමතරව ඉරාක ජාතිකයින් මිලියන 1 ක් පමණ මිය ගියහ. එක්සත් ජනපදය දැන් ඉරානය සමඟ යුද්ධයක නියැලී සිටින අතර, ප්රහාරකයන්ගෙන් බහුතරයක් සැපයූ සහ ඔවුන්ගෙන් සමහරෙකුට මූල්‍යමය වශයෙන් පවා ආධාර කළ සෞදි අරාබිය, වොෂින්ටනය සමඟ ඊටත් වඩා සමීප සබඳතා පවත්වාගෙන යයි.
9/11 සඳහා එහි ප්‍රතිචාරය මගින් ඇමරිකානු පාලක පන්තිය තුළ ප්රජාතන්ත්රවාදය සඳහා වූ කිසිදු සහයෝගයක් නොමැති බව හෙළි විය. එතැන් සිට, අභ්‍යන්තර පොලිස් බලතල දැඩි කිරීම — නිරීක්ෂණය/ඔත්තු බැලීම, පොලිස් ඝාතන, මහා පරිමාණ රඳවා තබා ගැනීම් — පිම්මේ වර්ධනය වී ඇත. එවැනි තවත් ප්‍රහාරයක් සිදුවුවහොත් — නැතහොත් හිට්ලර්ගේ රයිච්ස්ටැග් ගින්න (Reichstag fire) ආකෘතියෙන් වේදිකාගත කළහොත් — ධනපති රාජ්‍යයේ ප්‍රතිචාරය ඊටත් වඩා පාලනයකින් තොර වනු ඇත. වීදිවල හමුදාව යෙදවීම, මහා පරිමාණ අත්අඩංගුවට ගැනීම් සහ පූර්ණ පරිමාණයේ පොලිස්-රාජ්‍ය ක්‍රමවේද ක්‍රියාත්මක වනු ඇත.
නමුත් කම්කරු පන්තිය ද තිත්ත පාඩම් ඉගෙන ගෙන ඇත. බුෂ්, ඔබාමා, ට්‍රම්ප්, බයිඩන් සහ දැන් නැවතත් ට්‍රම්ප් විසින් ගෙනයනු ලබන “නිමක් නැති යුද්ධ (forever wars)” සඳහා කිසිදු සහයෝගයක් නැත. මිලිටරි-බුද්ධි යාන්ත්‍රණයේ සහ එහි මාධ්‍ය ප්‍රකාශකයන්ගේ යුද හිතකාමී ප්‍රචාරයන් සැලකිය යුතු ලෙස ගන්නේ ස්වල්ප දෙනෙකි. පොලිසිය විසින් ජෝර්ජ් ෆ්ලොයිඩ් (George Floyd) ඝාතනය කිරීම 2020 දී දැවැන්ත මහජන විරෝධතාවලට හේතු විය. නැවත පිහිටුවන ලද ට්‍රම්ප් පරිපාලනය, “රජවරු එපා (No Kings)” විරෝධතාවලදී, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම විපක්ෂ විරෝධතාවලට මුහුණ දී ඇත. කම්කරුවන් වැඩි වැඩියෙන් පන්ති සටන් ක්‍රම වෙත යොමු වෙමින් සිටින අතර, එහිදී ඔවුන්ට වහාම වෘත්තීය සමිති යාන්ත්‍රණයේ විරෝධයට මුහුණ දීමට සිදු වේ.
දැන් පවතින කාර්යය වන්නේ ගෙවී ගිය සියවසෙන් කාලයක — සහ ඊට වැඩි කාලයක — දේශපාලන පාඩම් උකහා ගැනීම සහ ඩිමොක්රටික් සහ රිපබ්ලිකන් යන දෙපිරිසම ඇතුළත් මහා සමාගම් පක්ෂවලින් දේශපාලනිකව වෙන්වීම මත පදනම්ව, විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙලක් ඉදිරියට ගනිමින් ධනපති ක්‍රමයට එරෙහිව කම්කරු පන්තියේ බලවත් මහා ව්‍යාපාරයක් ගොඩනැගීමයි.
සැප්තැම්බර් 11, එහි මූලාරම්භය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තා එකතු කර ඇති, මෙම ප්රකාශනය සමඟ ඇති ප්‍රදර්ශනය අධ්‍යයනය කරන ලෙස අපි සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. එමෙන්ම මෙරිං බුක්ස් (Mehring Books) වෙතින් ලබාගත හැකි, 1990 පර්සියානු ගල්ෆ් කලාපයෙන් ආරම්භ වූ යුද ව්‍යාපාරය තුළ මෙම ප්‍රහාර පිහිටුවා විග්රහ කරන ඩේවිඩ් නොර්ත්ගේ ශතවර්ෂ කාලක් පුරා යුද්ධ: ගෝලීය අධිපත්‍යය සඳහා එක්සත් ජනපදයේ තල්ලුව 1990-2016 (David North’s A Quarter Century of War: The US Drive for Global Hegemony 1990-2016) ග්‍රන්ථය මිලදී ගන්නා ලෙස ද අපි පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.
[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]
