මෙම ලිපිය “The Prison Disrobing of Bhikku Gnanasara and the Capitulation of the JVP/NPP Government to the Buddhist Chauvinists” යන හිසින් theSocialist.lk හි ඉංග්රීසි බසින් 2026 ඔක්තෝම්බර් 10 දින පළ කෙරුණි.
සංජය ජයසේකර විසිනි.
සම්මත බන්ධනාගාර රෙගුලාසි යටතේ බොදු බල සේනා (BBS) නායක ගලගොඩ අත්තේ ඥානසාර භික්ෂුවගේ සිවුරු හැරවීම—සහ ඒ සමග මතු වූ සිංහල ස්වෝත්තමවාදී ඝෝෂාව හමුවේ ජවිපේ/ජාජබ ආණ්ඩුව සිදු කළ වේගවත් දේශපාලන යටත් වීම—විසින් දිසානායක පාලන තන්ත්රයේ ප්රතිගාමී ස්වභාවය අසාමාන්ය පැහැදිලි බවකින් හෙළිදරව් කර ඇත. මෙහිදී සිදුව ඇත්තේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ගෞරවය අනතුරට දැමීම නොව, රාජ්යය කෙරෙහි සිංහල-බෞද්ධ අධිකාරිය තහවුරු කිරීම සහ එම රාජ්යය හරහා දෙමළ හා මුස්ලිම් සුළුතර ජන කොටස් පාලනය කිරීමට පාර කැපීමයි.

වරදකරු කිරීම
භික්ෂුව නැවත අත්අඩංගුවට ගැනීම යනු සිංහල-බෞද්ධ සංස්ථාපිතය වසර ගණනාවක් තිස්සේ මඟහැරීමට උත්සාහ කළ, වරදකරු කිරීමේ තීන්දුව (conviction) නීත්යනුකූලව බලාත්මක කිරීමකි. අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට් බොදු බල සේනා සංවිධානයේ ප්රධාන ලේකම් ඥානසාර භික්ෂුව 2016 ජනවාරි මාසයේදී හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ කටයුතුවලට බාධා කිරීම මුල් කරගෙන, අධිකරණයට අපහාස කිරීමේ චෝදනා හතරකට 2016 දී අභියාචනාධිකරණය විසින් වරදකරු කරන ලදී. එම චෝදනා බරපතල විය: භික්ෂුව අවසරයකින් තොරව අධිකරණය ඇමතීම සහ එහි කටයුතුවලට බාධා කිරීම; අධිකරණ නියෝග පිළිනොගන්නා බවත් රටේ නීතිය අනුගමනය නොකළ යුතු බවත් විවෘත අධිකරණයේ ප්රකාශ කිරීම; අධිකරණය හමුවේ පැවැති නඩුවක සැකකරුවන් වූ රාජ්ය බුද්ධි අංශ නිලධාරීන්ට ඇප ලබා දෙන ලෙස අධිකරණයට බලපෑම් කිරීම; සහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්යෙෂ්ඨ රජයේ නීතිඥවරයා “නපුංසක රාජ්ය නිලධාරියෙකු” ලෙස හැඳින්වීම ඒ අතර විය. භික්ෂුවට වසර හයක් ඇතුළත ගෙවී යන පරිදි වසර 19 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම විය. 2018 ඔක්තෝබර් මාසයේදී ශ්රේෂ්ඨාධිකරණය විශේෂ අභියාචනා අවසරය ප්රතික්ෂේප කිරීමත් සමඟ භික්ෂුවගේ අභියාචනා මාර්ග අවසන් විය.
ජනාධිපති සමාව
ඉන්පසු භික්ෂුව නීතියට ඉහළින් තැබීමට මැදිහත් වූයේ බෞද්ධ සංස්ථාපිතයම විසිනි. 2019 මැයි මාසයේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන ඥානසාර භික්ෂුවට පූර්ණ ජනාධිපති සමාව ලබා දුන්නේය—ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවේ සඳහන් පරිදි මෙම සමාව ලබාගෙන ඇත්තේ සියම් මහා නිකායේ මල්වතු, අස්ගිරි සහ කෝට්ටේ පාර්ශ්වයන්හි මහානායක භික්ෂුන් සහ ශ්රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයාගේ සෘජු ඉල්ලීම් මගිනි. මහා සංඝ සංස්ථාපිතයේ නායක භික්ෂූන් 2018 සිටම මෙම වරදකරු වූ ෆැසිස්ට්වාදියා ඔහුගේ අපරාධවල විපාකවලින් ආරක්ෂා කිරීමට බලපෑම් කරමින් සිටිති. වර්තමාන සිවුරු හැරවීමට එරෙහි හඬගෑම යනු අලුත් මතු වීමක් නොවේ; එය එකම ව්යාපාරයේ තවත් දිගුවකි.
අවලංගු කිරීම
2026 සැප්තැම්බර් මාසයේදී — විකල්ප ප්රතිපත්ති කේන්ද්රය (Centre for Policy Alternatives) සහ ආචාර්ය පාකියාසෝති සරවනමුත්තු මෙන්ම අතුරුදහන් වූ මාධ්යවේදී ප්රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්යා එක්නැලිගොඩ විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් — ශ්රේෂ්ඨාධිකරණය එම ජනාධිපති සමාව ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැණි සහ අත්තනෝමතික බව ප්රකාශ කළේය. සිරිසේන කිසිදු හේතුවක් සටහන් නොකර යාන්ත්රිකව කටයුතු කර ඇති බවත්, එමගින් තමාගේ ආණ්ඩුක්රම ව්යවස්ථාපිත බලය ක්රියාත්මක කිරීම අත්හැර දමා ඇති බවත් අධිකරණය තීන්දු කළේය; අධිකරණයේ වචනවලින් කියතොත්, එම සමාව “අත්තනෝමතික, මහජන භාරය සහ ස්වාභාවික යුක්තියේ රීතීන් උල්ලංඝනය කරන, ඔහුගේ බලතල ඉක්මවා ගිය (ultra vires) එකක්” විය. අධිකරණය එම සමාව බලරහිත සහ ශූන්ය බව ප්රකාශ කරමින්, වරදකරු කිරීම සහ සිරදඬුවම නැවත බලගැන්වීය.
සිවුරු හැරවීම
ස්වෝත්තමවාදී විරෝධතාව ඇවිළවූයේ සම්මත බන්ධනාගාර ස්ථාවර නියෝග ක්රියාත්මක කිරීම—එනම් වරදකරු වූ සිරකරුවෙකුගේ සිවුරු හැරවීම සහ ඔහුට සිරකරුවෙකුගේ සාමාන්ය ඇඳුම් ඇන්දවීමයි. මහා සංඝ සංස්ථාපිතය, විපක්ෂ දේශපාලනඥයන් සහ සිංහල ස්වෝත්තමවාදී කොටස් විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම වන්නේ සිරගත කරන ලද භික්ෂූන් සාමාන්ය නීතියෙන් නිදහස් කළ යුතු බවයි. සිවුරු හැරවීම බන්ධනාගාර පරිපාලනයට නොව, සංඝ සභාවට (ecclesiastical authority) අයත් එකක් බවට කරන ප්රකාශයේ සාරය වන්නේ බෞද්ධ භික්ෂූන් අපරාධ යුක්ති විනිශ්චය පද්ධතියට ඉහළින් පිහිටන බවයි—එනම් තම සාමාජිකයන් සම්බන්ධ කාරණාවලදී රාජ්යය සංඝයාට යටත් විය යුතු බවයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ හදිසි රැස්වීමක් කැඳවමින්, සිරගත කළ භික්ෂූන්ට සිවුරු දැරීමට ඉඩ සැලසෙන පරිදි නීතිමය සහ බන්ධනාගාර රාමුව සමාලෝචනය කිරීමට නියෝග කරමින් ජනාධිපති දිසානායක වේගයෙන් යටත් වීම මගින් ලබා දෙන්නේ හරියටම මෙම අයිතියයි. එය කිසිදු සාමාන්ය සිරකරුවෙකුට භුක්ති විඳීමට නැති වෙනම නීතිමය පහසුකමක් භික්ෂූන් ට ලබා දෙයි.
මෙය හුදකලා සහනයක් නොවේ. බෞද්ධ භික්ෂූන් සාමාන්ය නීතිමය ක්රියාවලියෙන් පිටත තබමින්, භික්ෂුන් සඳහා වෙනම අධිකරණ පිහිටුවීමට ආණ්ඩුව මීට පෙර දුන් පොරොන්දුවට පසුව මෙය සිදුවේ. මෙබඳු සෑම පියවරක්ම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය සමඟ රාජ්යයේ ආයතනික බද්ධ වීම ගැඹුරු කරයි. ගමනාන්තය පැහැදිලිය: එනම් බෞද්ධ ධූරාවලිය යනු හුදෙක් වරප්රසාද ලත් සමාජ තීරුවක් පමණක් නොව එය රාජ්යයේ සම-පාලන අධිකාරියක් වන, නීතියම වාර්ගිකවාදී අරමුණු සඳහා නමනු ලබන රාජ්යයක් කරා ගමන් කිරීමයි.
වාර්ගික සුළුතරයන්ට එරෙහි උද්ඝෝෂණය
මෙම වර්ධනයේ වැදගත්කම වටහා ගත හැක්කේ දෙමළ සහ මුස්ලිම් ජනයාට එරෙහිව දැනටමත් දියත් කර ඇති ස්වෝත්තමවාදී උද්ඝෝෂණයේ සන්දර්භය තුළ පමණි. භික්ෂූන් සඳහා විශේෂ නීතිමය වරප්රසාද ඉල්ලා සිටින බලවේගයන්ම යනු ජාතික සුළුතරයන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට පද්ධතිගත ලෙස ප්රහාර එල්ල කළ බලවේගයන්ය.
දෙමළ ජනතාවට එරෙහිව, රජය විසින් “යුද විරුවන් සැමරීම”—එනම් සිවිල් යුද්ධයෙන් මියගිය පිරිස් සිහිපත් කෙරෙන මහවිරු දිනය (Maaveerar Naal)—තහනම් කිරීමට පියවර ගෙන ඇති අතර, තමන්ගේ මියගිය ඥාතීන් සිහිපත් කිරීමට උත්සාහ කළ දෙමළ තරුණයන් අත්අඩංගුවට ගනිමින් සිටියි. දෙමළ ස්මරණයන් මර්දනය කිරීමේ ඉල්ලීම යනු දෙමළ ජනතාවගේ ඓතිහාසික අත්දැකීම් මකා දැමීමේ, ඔවුන්ගේ ශෝකය සහ මතකය අපරාධයක් බවට පත් කිරීමේ ඉල්ලීමකි. පසුගිය මාසයේදී, දෙමළ ජනයාගේ සති දෙකක ස්මරණ කටයුතුවලින් පසුව, 1987 දී උපවාසයක යෙදී මියගිය LTTE සාමාජිකයෙකු වූ තිලීපන්ගේ අලුතින් ස්ථාපිත කරන ලද පිළිරුවක් නල්ලූර් කෝවිල අසල ස්ථානයකින් ආණ්ඩුව විසින් බලහත්කාරයෙන් ඉවත් කරන ලදී. මීට සමාන්තරව, අනුක්රමික ආණ්ඩු විසින් සිංහල ජනාවාස සහ හමුදා අත්පත් කරගැනීම් සඳහා භාවිතා කිරීමට කටයුතු කළ උතුරු නැගෙනහිර ඉඩම් වන දෙමළ ජනයාගේ සාම්ප්රදායික වාස භූමිය (traditional habitation) කෙරෙහි ඇති ඔවුනට ඇති අයිතියට එරෙහිව ද උද්ඝෝෂණයක් ක්රියාත්මක වේ.
මුස්ලිම් ජනයාට එරෙහිව ස්වෝත්තමවාදී උද්ඝෝෂණය පැන නැගී ඇත්තේ මුස්ලිම් ඇඳුම් පැළඳුම්—බුර්කා තහනම සහ ඊට අදාළ උසිගැන්වීම්—සහ මුස්ලිම්වරුන් සිංහල වර්ගයට (race) එරෙහිව කුමන්ත්රණය කරන බවට චෝදනා කරන කුමන්ත්රණ න්යායන් ප්රචාරය කිරීමේ ස්වරූපයෙනි. මේවා පරිවාරයේ සිදුවීම් නෙවෙයි; මේවා මහා සංඝයා විසින් රාජ්යයෙන් සුඛෝපභෝගය ඉල්ලා සිටින පුද්ගලයාගේම ප්රධාන උපක්රමයන්ය. ඥානසාර යනු නීතිමය තාක්ෂණික කරුණක පැටලුණු ආගමික චරිතයක් නොවේ. ඔහු මුස්ලිම් සුළුතරයට එරෙහිව ප්රචණ්ඩත්වය උසිගැන්වීම සඳහා තමාගේ වෘත්තීය ජීවිතයම කැප කළ ෆැසිස්ට් ප්රකෝපකාරිකයෙකි. 2014 ජූනි මාසයේදී දර්ගා නගරයේ පැවැති අන්ත දක්ෂිනාංශික, ෆැසිස්ට් BBS සංවිධානයේ ආක්රමණශීලී රැලියකදී ඔහු කළ කුපිත කරවන සුලු කතා, අලුත්ගම සහ බේරුවල මුස්ලිම් විරෝධී ප්රහාරයන් (pogroms) ඇවිළවීමට හේතු විය. එහිදී ස්වෝත්තමවාදී මැර කල්ලි විසින් මුස්ලිම් නිවාස, ව්යාපාර සහ පූජනීය ස්ථානවලට ප්රහාර එල්ල කළ අතර, කිහිප දෙනෙකු මියගොස් පවුල් සිය ගණනක් අවතැන් විය. එකල පැවැති රාජපක්ෂ පාලන තන්ත්රය මෙම ෆැසිස්ට් කොටස් සක්රියව ආරක්ෂා කර බල ගැන්වූ අතර, රාජ්යයේ හවුල්කාරිත්වය සැඟවීම සඳහා මෙම අමානුෂික ක්රියා පිළිබඳ මාධ්ය වාර්තාකරණය වාරණය කළේය. පසුව, 2018 මාර්තු මුලදී මහනුවර දිගන මුස්ලිම් විරෝධී ප්රහාරය ඇවිළවීමටද ඥානසාර මුල් විය.
ත්රස්තවාදයට එරෙහිව සටන් කරන බවට කරන ප්රකාශයට හාත්පසින්ම වෙනස්ව, ගලගොඩ අත්තේ ඥානසාර සහ සිංහල ස්වෝත්තමවාදීහු එය සක්රියව පෝෂණය කළහ—එනම්, 2019 පාස්කු ඉරිදා බෝම්බකරුවන් මෙහෙයවා ගැනීම සඳහා සහරාන් හෂීම් විසින් ආයුධයක් කරගනු ලැබූ මුස්ලිම් විරෝධී ද්වේෂයේ සහ ප්රචණ්ඩත්වයේ සාරවත් පස නිර්මාණය කිරීමයි. මෙය හුදෙක් අපගේ විග්රහය පමණක් නෙවෙයි; එය රාජ්යයේම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේඛනගත සොයාගැනීමයි. පාස්කු ඉරිදා ප්රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව (2021) මගින් තහවුරු කළේ ඥානසාර භික්ෂුවගේ කතා “වහබි මතවාදය ඉලක්ක කිරීමෙන් නතර නොවී පොදුවේ මුස්ලිම් ප්රජාව ඉලක්ක කිරීම දක්වා ඉදිරියට ගිය බවත්”, භික්ෂුවගේ “ඇතැම් ක්රියා සහ ප්රකාශ මුස්ලිම් තරුණයන් අන්තවාදයට (extremism) යොමු වීමට සහ සහරාන් හා එක්වීමට හේතු වූ බවත්ය”. “සහරාන් තමාගේ අරමුණ සඳහා සහයෝගය රැස් කර ගැනීමට භික්ෂුවගේ කතා සහ ක්රියා භාවිත කළ බවට සාක්ෂි” මගින් සොයාගත් කොමිෂන් සභාව, ප්රහාරයට හේතු පැහැදිලි කරන සහරාන්ගේ අවසාන වීඩියෝව තුළ ඥානසාර භික්ෂුවගේ ක්රියාකලාපය සෘජුවම සඳහන් කර ඇති බව නිරීක්ෂණය කළේය. ඥානසාර භික්ෂුවගේ හැසිරීම “මුස්ලිම් තරුණයන්ගේ අන්යෝන්ය රැඩිකලීකරණයට (reciprocal radicalization) හේතු වූ” බවට නිගමනය කළ කොමිෂන් සභාව, 2013 මහරගම සහ 2014 අලුත්ගම කතාවලට අදාළව ICCPR පනත යටතේ භික්ෂුවට එරෙහිව අපරාධ නඩු පැවරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස නීතිපතිවරයාට නිර්දේශ කළ අතර, BBS සංවිධානය “ආගමික සහජීවනයට තර්ජනයක් බවත් එය තහනම් කළ යුතු බවත්” ප්රකාශ කළේය.
ස්වෝත්තමවාදීහු අන්තවාදයට එරෙහිව සටන් කළේ නැත; ඔවුහු එය පෝෂණය කළහ. ඔවුන්ගේ වාර්ගික ප්රහාරයන් (pogroms), කුමන්ත්රණ න්යායන් සහ මුස්ලිම් සුළුතරය දරුණු ලෙස අමානුෂිකකරණය (dehumanization) කිරීම මගින් බෝම්බකරුවන්ගේ මතවාදය පෝෂණය කළ අත්යවශ්ය ඉන්දන සැපයිණි. 300 කට ආසන්න පිරිසක් බිලිගත් පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය යනු සාමකාමී සමාජයකට එල්ල වූ බාහිර ප්රහාරයක් නෙවෙයි. එය සිංහල-බෞද්ධ සංස්ථාපිතය විසින් වසර ගණනාවක් තිස්සේ වගා කරන ලද ජාතිවාදී විෂෙහි අස්වැන්නයි—ඉන්පසු ඇති වූ මුස්ලිම් විරෝධී මර්දනය තුළ, තමන් විසින්ම ගොදුරු කරගත් ප්රජාවට එරෙහි පීඩනය තීව්ර කිරීම සඳහා එම සංස්ථාපිතය විසින්ම එය නැවත භාවිත කරන ලදී.
ඥානසාර භික්ෂුව දැනට සිරගතව සිටීම නීතියේ රැහැනට ඔහු හසු වූ පළමු අවස්ථාව නෙවෙයි. 2016 දී කොළඹදී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඉස්ලාම් ආගම සහ මුස්ලිම් ප්රජාවට එරෙහිව චේතනාන්විතවම අපහාසාත්මක, කුපිත කරවන සහ ද්වේෂසහගත ප්රකාශ කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්රහයේ 291B වගන්තිය යටතේ 2024 මාර්තු 28 වන දින කොළඹ මහාධිකරණය විසින් ඥානසාර භික්ෂුව වරදකරු කර, වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ දඩයක් නියම කරන ලදී. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත භික්ෂුව නැවත අත්අඩංගුවට ගැනීම යනු ඔහුගේ වාර්ගිකවාදී උසිගැන්වීම් පිළිබඳ දීර්ඝ අපරාධ වාර්තාවක දිගුවකි. ආගමික ද්වේෂය සහ වාර්ගිකවාදී ප්රචණ්ඩත්වය උසිගැන්වීමට වරදකරු වූ මෙම පුද්ගලයා වෙනුවෙන් භික්ෂූන් නීතියට ඉහළින් තබන නීතිමය පහසුකමක් බෞද්ධ සංස්ථාපිතය විසින් ඉල්ලා සිටින අතර, දිසානායක ආණ්ඩුව යටත් වී ඇත්තේ මෙම ඉල්ලීමටයි.
සිවුරු හැරවීමේ සිදුවීම හා සම්බන්ධ උද්ඝෝෂණය දැකිය යුත්තේ මෙම යුද්ධයේම තවත් එක් ඉදිරිපෙළක් ලෙසයි. භික්ෂූන් නීතියට ඉහළින් තැබීමේ ඉල්ලීම යනු බෞද්ධ භික්ෂූන් සිංහල ජාතියේ උත්තරීතර අධිකාරිය ලෙස පිළිගැනීමේ—සහ රාජ්යය විසින් සුළුතරයන්ට එරෙහිව එම ආධිපත්යවාදය (supremacism) බලාත්මක කිරීමේ—ඉල්ලීමයි. එය වාර්ගිකවාදී ප්රහාර මෙහෙයවන, පල්ලි ගිනි තබන, බුර්කාව තහනම් කරන සහ දෙමළ ජනයාට තමන්ගේ මියගිය අය වෙනුවෙන් ශෝක වීම තහනම් කරන මතවාදයේම නීතිමය ප්රකාශනයයි.
ආණ්ඩුව යටත් වූයේ මන්ද?
ආණ්ඩුව යටත් වූ වේගය සියල්ලටම වඩා කරුණු හෙළිදරව් කරන්නකි. දිසානායක ඊට ප්රතිරෝධය පෑවේ නැත, නීතිය ඉදිරියේ සමානතාව පිළිබඳ මූලධර්මය ආරක්ෂා කිරීමට උත්සාහ කළේවත් නැත. ඔහු මහා සංඝයා කැඳවා, භික්ෂූන්ගේ ඉල්ලීම්වලට සවන් දී, නීතිය වෙනස් කිරීමට නියෝග කළේය. මෙය තමාගේ දේශපාලන පැවැත්ම රඳා පවතින්නේ කොතැනදැයි හරියටම දන්නා සහ පෙර නොවූ විරූ ප්රමාණයේ ගෝලීය අර්බුදයක සෙවණැල්ල යටතේ තමාගේ ස්ථාවරය ගණනය කරමින් සිටින ආණ්ඩුවක හැසිරීමයි.

ජවිපේ/ජාජබ යනු ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) විසින් පනවන ලද කප්පාදු පිළිවෙත් (austerity) කෲර ලෙස බලාත්මක කිරීම සඳහා සියලු මැතිවරණ පොරොන්දු අත්හැර දැමූ දක්ෂිණාංශික, අධිරාජ්යවාදී ගැති පක්ෂයකි. එය ජීවන තත්ත්වයන් කෙරෙහි දරුණු කප්පාදු පනවා ඇත, ඇමරිකානු අධිරාජ්යවාදය සමඟ පෙළගැසී ඇත, සහ තමාගේ න්යාය පත්රයට එරෙහි වන කම්කරුවන්ට සහ ශිෂ්යයන්ට එරෙහිව රාජ්ය මර්දනය දියත් කර ඇත. එය පාලනය කරන්නේ බහුතර ජනතාවගේ හිතසුව පිණිස නොවෙයි, එය ඒ බව දනී. එහි මැතිවරණ පදනම කම්කරු පන්තිය නොව, ජවිපේ විසින් තමාගේ ඉතිහාසය පුරා පෝෂණය කරන ලද සිංහල සුළු ධනේශ්වර පන්තිය සහ ස්වෝත්තමවාදී කොටස්ය.
නමුත් ආණ්ඩුවේ ගණනය කිරීම් ජාතික වශයෙන් හුදකලා කර වටහා ගත නොහැක. එය බලාත්මක කරන කප්පාදු ප්රතිපත්ති (austerity) යනු දේශීය ප්රතිපත්ති තේරීමක් නෙවෙයි; එය ගෝලීය අර්බුදයක දේශීය ප්රකාශනයයි. ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්රායල ආක්රමණශීලී යුද්ධය ඇවිළීම මගින් ගෝලීය ධනපති ක්රමයේ ගෝලීය අර්බුදය ගැඹුරු වී ඇති අතර, ඇමරිකා එක්සත් ජනපදය තුළ ඇතුළුව ජාත්යන්තර පන්ති අරගලය අතිමහත් ලෙස උග්ර වී ඇත. යුද්ධය, පශ්චාත්-යුද ආර්ථික ක්රමයේ බිඳවැටීම සහ ගැඹුරු වන ගෝලීය ආර්ථික පසුබෑම (recession) මගින් සෑම අධිරාජ්යවාදී බලවතෙකුම අර්බුදයේ වන්දිය කම්කරු පන්තිය ලවා ගෙවීමට තල්ලු කරමින් සිටින අතර, එම බර අර්ධ-යටත් විජිත ලෝකයේ කම්කරු-පීඩිත ජනතාව වෙත පටවන මෙවලම වන්නේ IMF ය. ජවිපෙ/ජාජබ විසින් අකුරටම ක්රියාත්මක කරනු ලබන කප්පාදු නියෝග යනු මෙම ගෝලීය යුද්ධයේ සහ ආර්ථික තත්ත්වයේ සෘජු ඵලයකි.
ආණ්ඩුවේ ස්ථාවරය මෙතරම් අස්ථාවර කරන්නේ හරියටම මෙයයි. කප්පාදුව පැනවීමට ආණ්ඩුවට බලකරන එම ගෝලීය අර්බුදයම, කම්කරුවන් තමන්ගේ ජීවන තත්ත්වයට එල්ල වන ප්රහාරයන්ට මුහුණ දෙන විට—ඇමරිකා එක්සත් ජනපදය, ප්රංශය, ඉන්දියාව ආදී රටවල මෙන්—ජාත්යන්තර වශයෙන් පන්ති අරගලයේ නැගීමක්ද නිර්මාණය කරයි. ජාත්යන්තර පන්ති අරගලය නැගී එමින් පවතින අතර, ශ්රී ලාංකේය කම්කරු පන්තිය එයින් වෙන්වී නැත. ඊට පටහැනිව: ආණ්ඩුව IMF ඉල්ලීම් කෙතරම් කෲර ලෙස බලාත්මක කරන්නේද, දේශීය වශයෙන් මහජන විරෝධය සඳහා වන ශක්යතාවද එතරම්ම වැඩි වේ. ගෝලීය අර්බුදයේ බලපෑම යටතේ, දැනට ජනගහනය අතර පැතිර යන මුළාව දුරීභූතවීම (disillusionment) වේගයෙන් පුපුරන සුලු ස්වරූපයක් ගත හැකි බව ආණ්ඩුව දනී.
මහා සංඝයාට යටත් වීම වටහා ගත යුත්තේ මෙම පසුබිම තුළ ය. පන්ති අරගලයේ වර්ධනය වන ශක්යතාවට මුහුණ දෙන ආණ්ඩුව, තමාගේ රාජ්ය බලය අස්ථාවර වීමෙන් ආරක්ෂා කර ගැනීම සඳහා සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී කොටස් සැනසිය යුතු බව ගණනය කරයි. මෙම මූලෝපායේ අත්යවශ්ය මෙවලම වන්නේ බෞද්ධ භික්ෂූන් ය: එනම්, ආණ්ඩුව තමාගේ ස්වෝත්තමවාදී ඡන්ද පදනම මෙහෙයවන උපකරණය සහ—පන්ති අරගලයේ මොහොතවල දී—කම්කරු පන්තිය වාර්ගිකවාදී පදනමින් බෙදා වෙන් කරන උපකරණය යි. සමාජ තත්ත්වය කෙතරම් අන්තරායකර වන්නේද, පාලක පන්තියට මෙම ආයුධය එතරම්ම නැතිවම බැරි එකක් ලෙස පෙනී යයි.
මූලික කරුණ මෙයයි. ශ්රී ලංකාවේ කම්කරු පන්තිය යනු සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයාගෙන් සමන්විත එකකි. එහි එකමුතුව, කප්පාදුවට එරෙහිව, IMF ට එරෙහිව, ධනපති ක්රමයටම එරෙහිව කෙරෙන ඕනෑම අරගලයක පූර්ව කොන්දේසියයි. ස්වෝත්තමවාදී උද්ඝෝෂණය—දෙමළ ස්මරණයන්ට එරෙහි ප්රහාර, මුස්ලිම් විරෝධී උසිගැන්වීම් සහ දැන් බෞද්ධ භික්ෂූන් නීතියට ඉහළින් තැන්පත් කිරීම—යන සියල්ලටම ඇත්තේ එකම අරමුණකි: එනම් එම එකමුතුව වැළැක්වීම, සිංහල කම්කරුවන් තමන්ගේ දෙමළ සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ට එරෙහිව මෙහෙයවීම, සහ ඒ මගින් ගෝලීය අර්බුදය විසින් කම්කරු පන්තිය අරගලය දෙසට තල්ලු කරන මොහොතේම මුළු පන්තියම නිරායුධ කිරීමයි.
අනතුර
මෙම වර්ධනයේ අනතුරු විශාල වන අතර, ඒවා වර්ධනය වෙමින් පවතී. සිදුවීම් පෙළගැස්මම චෝදනා පත්රයකි. දින කිහිපයකට පෙර ශ්රේෂ්ඨාධිකරණ තීන්දුවක්—ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැණි සමාවක් අවලංගු කළ සහ සමානතාව සඳහා වන මූලික අයිතිවාසිකම සනාථ කළ තීන්දුවක්—බලාත්මක කරමින් සිටි ආණ්ඩුවක්, දැන් එම තීන්දුව එල්ල කෙරුණු බලවේගයන්ටම යටත් වී ඇත. ආණ්ඩුව විසින් සිරගත කරන ලද වරදකරු කරනු ලැබූ ෆැසිස්ට්වාදියාට බන්ධනාගාරය තුළදීත් ඔහුගේ තනතුරේ සිවුර දරා සිටීමට හැකි වන පරිදි නීතිය සංශෝධනය කිරීමට ආණ්ඩුව එකඟ වී ඇත. තමාගේ බලය තහවුරු වන්නේ නම්, එය නොඑළඹෙන එකඟතාවක්, එය අත් නොහරින මූලධර්මයක්, එය දං ගෙඩියට නොදෙන සුළුතර අයිතිවාසිකමක් නොමැත.
තවද මෙම මොහොතේ කාල නිශ්චය අහඹුවක් නෙවෙයි. මෙම යටත් වීම සිදුවන්නේ ගෝලීය අර්බුදය—ඉරානයට එරෙහි අධිරාජ්යවාදී යුද්ධය, ගැඹුරු වන ගෝලීය ආර්ථික පසුබෑම, ඇමරිකා එක්සත් ජනපදය, ප්රංශය සහ ඉන්දියාව යන රටවල පන්ති අරගලයේ නැගීම ආදියෙන් පෙන්නුම් කෙරෙන අර්බුදය—විසින් IMF කප්පාදුව අකුරටම බලාත්මක කිරීමට ආණ්ඩුව තල්ලු කරන, සහ ඒ මගින් ශ්රී ලාංකේය කම්කරු පන්තිය අරගලය දෙසට තල්ලු කරන මොහොතේමය. පාලක පන්තිය තමාගේ වාර්ගිකවාදී ආයුධය වෙත යොමු වන්නේ හරියටම මෙබඳු මොහොතවල්වලදී ය. බෞද්ධ භික්ෂූන් යනු ආණ්ඩුව තමාගේ ස්වෝත්තමවාදී පදනම බලමුලු ගන්වන සහ, පන්ති අරගලය තියුණු වන විට සිංහල කම්කරුවන් තමන්ගේ දෙමළ සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් බෙදා වෙන් කිරීමට යොදා ගන්නා උපකරණය යි. සමාජ තත්ත්වය කෙතරම් අන්තරායකර වන්නේද, මෙම ආයුධය එතරම්ම කෲර ලෙස භාවිත කරනු ඇත.
කම්කරු පන්තිය නිවැරදි නිගමනයට එළඹිය යුතුය. භික්ෂූන් නීතියට ඉහළින් තැබීමේ ඉල්ලීම තුළ කම්කරු පන්තියට කිසිදු සෙතක් නැත. එම ඉල්ලීම යනු වාර්ගිකවාදී ප්රතිගාමීත්වයේ ආයුධයක් මිස පීඩිතයන් ආරක්ෂා කිරීමක් නෙවෙයි. කප්පාදුවට මෙන්ම ස්වෝත්තමවාදයට ද ඇති එකම පිළිතුර වන්නේ ආණ්ඩුවට සහ එය සේවය කරන ධනපති ක්රමයට එරෙහිව එක්සත් වූ—සිංහල, දෙමළ සහ මුස්ලිම්—කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මෙහෙයවීමයි. පාලක පන්තිය විසින් දේශපාලන දේහයට අලුත් ශක්තියකින් එන්නත් කරමින් සිටින ස්වෝත්තමවාදී විෂ අවසන් කළ හැක්කේ, සියලු වාර්ගිකවාදී සහ ආගමික පීඩනයන්හි භෞතික පදනම අහෝසි කරන සමාජයේ සමාජවාදී පරිවර්තනයකට පමණි.
