මෙම ලිපිය “How to Establish an Action Committee of the Working Class? The Decline, Lessons and the Way to Re-establish the Colombo Action Committee” යන සිරසින් 2026 ඔක්තෝබර් 24 දින theSocialist.lk හි පළ කෙරිණි.
කොළඹ ක්‍රියාකාරී කමිටුව (CAC) යළි පිහිටුවීමට අරගල කරන සහෝදරවරුන් සහ කම්කරුවන් වෙත විවෘත ලිපියක්.
ප්‍රිය සහෝදරවරුනි,
- අරගලයෙන් ඉනික්බිතිවම, එනම් 2022 සැප්තැම්බර් 11 වන දින, කොළඹදී පිහිටුවන ලද ක්‍රියාකාරී කමිටුව (action committee) පුනර්ජීවනය කිරීමට ඔබ ගන්නා උත්සාහය අපි සාදරයෙන් පිළිගනිමු. එම කමිටුව ඓතිහාසික මොහොතක සැබෑ ඵලයක් විය. එය පිහිටුවන ලද්දේ ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, තරුණයන් සහ ග්‍රාමීය ශ්‍රම වගුරන්නන් (rural toilers) රාජපක්ෂ පාලන තන්ත්රයේ අත්තිවාරම සෙලවූ අවස්ථාවකදී සහ 2022 ජූලි 22 වන දින ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (World Socialist Web Site – WSWS) පළ කරන ලද සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) [Socialist Equality Party (Sri Lanka) – SEP] “කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා” (“For a Democratic and Socialist Congress of Workers and Rural Masses”) යන යෝජනාව එහි සාමාජිකත්වය විසින් ඒකමතිකව සම්මත කරගත් අවස්ථාවේදී ය. කමිටුව යළි පිහිටුවනු දැකීමට ඔබ තුළ ඇති අපේක්ෂාව සාදරයෙන් පිළිගත යුතු සහ අත්‍යවශ්‍ය පෙළඹීමක් වන අතර, අපි එය බැරෑරුම් ලෙස සලකමු. එහෙත්, ඔබ ඉදිරියේ ඇති කාර්යය සම්බන්ධයෙන් අපි ඒ හා සමානව බැරෑරුම් විය යුතු මෙන්ම ඒ හා සමානව අවංක විය යුතුය. මෙම කමිටුව අභාවයට ගියේ මහජනතාවගේ කිසිදු අසමත් වීමක් නිසා හෝ එය පිළිගත් ඉදිරි දර්ශනයේ (perspective) කිසිදු අඩුපාඩුවක් නිසා නොවේ. එය අභාවයට ගියේ සැබෑ ප්රජාතන්ත්රවාදය ක්‍රියාත්මක කිරීමට හැකි ස්වාධීන සාමාජිකත්වයක් සහිතව, සේවා ස්ථානවලින්/වැඩබිම් වලින් සහ ප්‍රජාවන් තුළින් පහළ සිට තවමත් එය ගොඩනගා නොතිබුණු නිසාත්; ජාතික අවස්ථාවාදයට එරෙහිව විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ තීරණාත්මක ප්රශ්නය මත එහි ප්රමුඛ කාඩර්වරුන් අන්තර්ගත වූ දේශපාලන ප්‍රවණතාව දෙකඩ වීම නිසාත්, එම කමිටුව වෙනත් තැනක ගෙන යන ලද අරගලයක වින්දිතයෙකු බවට පත්විමත් නිසාය. මේවා උගත යුතු පාඩම් වන අතර, කමිටුවේ පිරිහීමට හේතු වූ කාරණා අභිමුඛ කිරීමකින් තොරව ඒවා උගත නොහැකිය. තාක්ෂණික වශයෙන් ගතහොත් සාමාජිකත්වය අහෝසි වී තිබුණද, කමිටු සාමාජිකයන්ට මෙන්ම අනාගත සාමාජිකයන්ටද ඒවා උගත හැක්කේ, කමිටුවේ දේශපාලන පදනම් (political foundations) පිළිබඳ බැරෑරුම් සාකච්ඡාවක පදනම මත එම හේතුවලට අවංකව මුහුණ දීමෙන් පමණි. එම සාකච්ඡාව කමිටුව සැබෑ ලෙස යළි-පිහිටුවීමේ පූර්ව කොන්දේසිය වන අතර එය සැබෑ දේශපාලන පරිණතභාවයේ සලකුණයි.
- මෙම ලිපිය යෝජනා කරන සෑම දෙයක්ම ක්‍රියාත්මක කිරීමට ඔබට දැනටමත් හැකියාව ඇති බවට අපි මවාපෑමක් නොකරන්නෙමු. ඔබට එම හැකියාව නැති අතර, ඔබට එය ඇති ආකාරයට සලකා ලිවීම අපගේ අවංකභාවය නොවනු ඇත. මෙහිදී අපි ඉදිරිපත් කරන්නේ ඉදිරියට කළ යුතු වැඩකටයුතු සඳහා මගපෙන්වීමක් සහ ඉදිරි දර්ශනයකි—එනම්, වැඩකරන පන්තියේ (කම්කරු පන්තියේ) සැබෑ ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගිය හැක්කේ කුමන කොන්දේසි, ක්‍රමවේදය සහ දේශපාලන පදනම් මත පමණක්ද යන්න පිළිබඳ ප්‍රකාශයකි; එමෙන්ම, එය පූර්ව කමිටුවේ ඉරණම නැවතත් සිදු නොවන ආකාරයකට කොළඹ ක්‍රියාකාරී කමිටුව යළි පිහිටුවිය හැක්කේ කුමන පදනම මතද යන්න පිළිබඳ එවන් ප්‍රකාශයකි. අපි ඔබට ලියන්නේ සාමාජිකයන් බඳවා ගැනීමේ ව්‍යාපාරයක් ලෙස නොව, සහෝදරත්වයේ හැඟීමෙන් සාකච්ඡා සඳහා කැඳවීමට වන අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ/සමාජවාදී සමානතා පක්ෂයේ (SLLA/SEP) සාමාජිකයන් නොවන්නන් සහ තවමත් විවිධ ව්‍යාජ-වාම (pseudo-left) සංවිධාන දෙස නෙත් යොමා සිටින්නන් ඇතුළු ඔබ සැම වෙත අපි අමතමු. මන්ද යත්, ඔබ ඉදිරියේ ඇති ප්‍රශ්න යනු සෑම බැරෑරුම් කම්කරුවෙක්ම සහ තරුණයෙක්ම තමන් විසින්ම පිළිතුරු සොයාගත යුතු මූලධර්මාත්මක ප්‍රශ්න වන බැවිනි.

මෙම කර්තව්‍යය කාලෝචිත වන්නේ මන්ද?
- කමිටුව පුනර්ජීවනය කිරීම හුදු කාලෝචිත කාරණයක් පමණක් නොවේ; එය හදිසි අවශ්‍යතාවකි. ගෝලීයව ධනවාදී පද්ධතිය ගැඹුරු වන අර්බුදයක සහ තියුණු වන පන්ති අරගලයක තත්ත්වයක පවතී. ජාත්‍යන්තරව වැඩ කරන පන්තිය අධිරාජ්‍යවාදී යුද්ධවල ප්‍රතිවිපාකවලට මුහුන දෙමින් සිටී—ප්‍රධාන වශයෙන්ම යුක්රේනය තුළ රුසියාවට එරෙහි නේටෝ (NATO) යුද්ධය සහ මැදපෙරදිග පුරා පූර්ණ පරිමාණයේ යුද්ධයක් දක්වා වර්ධනය වෙමින් පවතින ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධය—ඒ සමගම ජීවන වියදම් අර්බුදයට, වසංගතයේ අඛණ්ඩ සමාජ විනාශයට සහ තමන් විසින් නිර්මාණය නොකරන ලද අර්බුදයක බර වැඩ කරන පන්තිය මත පැටවීම සඳහා සංගත (corporations) සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ගෙන යන නොපසුබට ව්‍යාපාරයට ඔවුන් මුහුන දෙමින් සිටී. සෑම රටකම පාලක පන්තීන් මෙම යුද්ධ භාවිතා කරන්නේ කප්පාදුව (austerity), මිලිටරිකරණය සහ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මත එල්ල කරන ප්‍රහාර සාධාරණීකරණය කිරීම සඳහාය. බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, එක්සත් ජනපදය, ඉන්දියාව, පාකිස්තානය, ඊජිප්තුව සහ ලොව පුරා කම්කරුවන් අරගලයට තල්ලු කරනු ලැබ ඇති අතර, සෑම අවස්ථාවකදීම ඔවුන් එකම බාධකයකට මුහුණ දී ඇත: එනම්, වෘත්තීය සමිති නිලධාරී තන්ත්රයන් සහ කම්කරුවන් මත දේශපාලන පොලිසිය ලෙස ක්‍රියා කරමින් සෑම කැරැල්ලක්ම නැවතත් ධනපති දේශපාලනයේ ආවෘත අන්තයට හරවා යවන ව්‍යාජ-වාම (pseudo-left) සංවිධානයි.
- ශ්‍රී ලංකාව මෙම ක්‍රියාවලියෙන් පිටත නොපිහිටයි; එය එහි වඩාත්ම තියුණු ප්රකාශනයන්ගෙන් එකකි. අරගලය මගින් වැඩ කරන පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ අතිමහත් විප්ලවීය විභවය (revolutionary potential) පෙන්නුම් කරන ලදී. එහෙත්, එම විභවයට ස්වාධීන දේශපාලන හා සංවිධානාත්මක ප්රකාශනයක් ලබා නොදුන් විට කුමක් සිදුවේද යන්නද එය ඛේදනීය ලෙස පෙන්නුම් කළේය. ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ ව්‍යාපාරය පාවා දෙනු ලැබ විසුරුවා හරින ලදී — එසේ වූයේ මහජනතාවට සටන්කාමීත්වය නොමැති වූ නිසා නොව, ඔවුන්ට තමන්ගේම නායකත්වයක් සහ තමන්ගේම බලයේ මූලාංග (organs of power) නොමැති වූ බැවිනි. මෙම ව්‍යාපාරය බලාපොරොත්තු තබා සිටි දේශපාලන බලවේග — විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ අනෙකුත් ව්‍යාජ-වාම හා ධනේශ්වර සංයුතීන් — වැඩ කරන පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමක් කෙරෙහි කිසිදු උනන්දුවක් නොදැක්වූහ. ඔවුන් උත්සාහ කළේ ව්‍යාපාරය කළමනාකරණය කිරීමටත්, එය ධනපති රාජ්‍යයේ රාමුව තුළ සීමා කිරීමටත්, බලයේ කොටසක් ලබා ගැනීම සඳහා තමන්වම ස්ථානගත කර ගැනීමටත් පමණි. එහි ප්‍රතිඵලය ඔබේ ඇස් ඉදිරියේ ඇත: අරගලයේ ආරක්ෂකයා ලෙස පෙනී සිටි ජවිපෙ (JVP), අද වන විට ආණ්ඩු බලයේ සිටිමින්, මීට පෙර ඔවුන් විසින් හෙළා දකින ලද එම කප්පාදුව සහ මර්දනයම ක්‍රියාත්මක කරයි. මෙය පුද්ගලයන් විසින් සිදු කරන ලද අහම්බයක් හෝ පාවාදීමක් නොවේ. මෙය ධනේශ්වර දේශපාලනයේ සහ ධනපති රාජ්‍යයේ රාමුව පිළිගන්නා ඕනෑම දේශපාලන ප්‍රවණතාවක තර්කණයයි.
- ස්වාධීන ප්‍රාදේශීය ක්‍රියාකාරී කමිටුවක් යළි පිහිටුවීම මෙතරම් වැදගත් වන්නේ සහ මෙවර එය නිවැරදිව සිදු කළ යුත්තේ මන්ද යන්නට හේතුව හරියටම මෙයයි.
කමිටුවේ පිරිහීමේ පාඩම
- මුල් කමිටුවේ ඉතිහාසය පිළිබඳව අපි අවංක විය යුතු අතර, එයින් නිවැරදි පාඩම් උකහා ගැනීමේදීද අපි ඒ හා සමානව අවංක විය යුතුය. මන්ද යත්, තමන්ගේම අත්දැකීම්වලින් පාඩම් උගෙන ගැනීමට නොහැකි කමිටුවකට එහි මීළඟ පරීක්ෂණයෙන් දිවි ගලවා ගත නොහැකි වන බැවිනි. නායකත්වයේ සිටි සහෝදරවරුන් අතර ඇති වූ මතභේදයකින් පසුව මෙම කමිටුව අක්‍රීය විය. කෙසේ වෙතත්, යම් යම් පුද්ගලයන් එකිනෙකා සමඟ අඩ දබර කරගත් නිසා පමණක් කමිටුව අසමත් වූවාක් මෙන්, මෙය හුදු පුද්ගලික ආරවුලකට ලඝු කිරීම වැරැද්දකි. සත්‍යය ඊට වඩා උපදේශාත්මක මෙන්ම වඩා වැදගත් වේ.
- මතභේදය සැබවින්ම පැන නැගුණේ කොතැනද යන්න පිළිබඳව අපි නිරවද්‍ය වෙමු, මන්ද, කමිටුව නැවත ගොඩනැගීමේ කාර්යයට එය අත්‍යවශ්‍ය වන බැවිනි. භේදයට තුඩු දුන් දේශපාලන වෙනස්කම් ක්‍රියාකාරී කමිටුව තුළ සෘජුවම පැන නැගුණේ නැත, එමෙන්ම ඒවා ක්‍රියාකාරී කමිටුවේ ස්වාධීනත්වය පිළිබඳ ප්රශ්නය මතද පැන නැගුණේ නැත. ඒවා පැන නැගුණේ කමිටුවේ නායකත්ව සාමාජිකයන් අතර, ඔවුන් එකට වැඩ කරමින් සිටි එකම දේශපාලන ප්රවණතාවයේ — එනම් “සසප වම” (SEP Left) ලෙස හැඳින්වෙන කණ්ඩායමේ — සාමාජිකයන් ලෙස ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළය. මෙම ප්‍රවණතාව මුලින් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (International Committee of the Fourth International – ICFI) ඉදිරි දර්ශනයට තමන් පක්ෂපාතී බව ප්‍රකාශ කර තිබුණි. එහෙත් එහි වැඩ කටයුතු කරගෙන යාමේදී, එක් කල්ලි කණ්ඩායමක් (clique faction) ස්වාධීන විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ අති මූලික කාර්යයෙන් අපගමනය විය. එය සමාජවාදී සමානතා පක්ෂය (සසප) තුළ සිදු කළ යුතු වූ ප්‍රතිපත්තිගරුක කණ්ඩායම් අරගලය (factional struggle) අතහැර දැමූ අතර ඒ වෙනුවට ජාතික කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වීමට යොමු වූයේ ශ්‍රී ලංකාවේ විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ සටන අතහැර දමමිනි. ජාතික, අවස්ථාවාදී මාවතක් වෙනුවෙන් විප්ලවවාදී පක්ෂය සඳහා වන අරගලය අතහැර දැමීම නම් වූ මෙම අපගමනයයි, 2024 ජූලි වන විට දේශපාලන භේදය නිර්මාණය කළේ. එසේම, ඊළගට ක්‍රියාකාරී කමිටුවේ සංවිධානාත්මක අක්‍රීය භාවයට හේතු වූයේ මෙම භේදය යි.
- මෙම පැහැදිලි කිරීම වැදගත් වේ, මන්ද එයින් කමිටුවේ පිරිහීම වූයේ කුමක්ද සහ එසේ නොවූයේ කුමක්ද යන්න අපට පවසන බැවිනි. ක්‍රියාකාරී කමිටුව බිඳ වැටුණේ එහි ස්වාධීනත්වය හෝ එහි වැඩපිළිවෙළ පිළිබඳව එහිම සාමාජිකයන්ට එකඟ වීමට නොහැකි වූ නිසා නොවේ. එය බිඳ වැටුණේ එහි ප්රමුඛ කාඩර්වරුන් සම්බන්ධව සිටි දේශපාලන ප්‍රවණතාව යුගයේ තීරණාත්මක ප්රශ්නය මත — එනම් ජාතික අවස්ථාවාදයට එරෙහිව විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමේ ප්රශ්නය මත — දෙකඩ වීම නිසාය. එමෙන්ම, තවමත් ස්වාධීන සාමාජිකත්වයක් සහ තමන්ගේම ස්වාධීන ප්රජාතන්ත්රවාදී ජීවිතයක් වර්ධනය කරගෙන නොතිබුණු ක්‍රියාකාරී කමිටුවට එම කම්පනයෙන් බේරී සිටීමට නොහැකි විය. ඇත්ත වශයෙන්ම, මෙම කමිටුව එම අරගලයට තමන්ම සහභාගී වීමකින් තොරවම, වෙනත් තැනක, එනම් එකී දේශපාලන ප්‍රවණතාව තුළ ගෙන යන ලද අරගලයක ගොදුරක් බවට පත් විය. මෙය ඉතා තීරණාත්මක වෙන්කොට හඳුනා ගැනීමක් වන අතර එය සෘජුවම අප පිළියම වෙත යොමු කරයි.
- වඩාත් ගැඹුරු ගැටළුව සංවිධානාත්මක එකක් වූ අතර, කමිටුව නැවත ගොඩනැගිය යුත්තේ කෙසේද යන්න කෙරෙහි එය සෘජුවම බලපාන බැවින්, අප වඩාත්ම සත්‍යවාදී විය යුත්තේ මෙහිදීය. මුල් කමිටුව කිසි විටෙකත් සැබවින්ම ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරී රාමුවක් ස්ථාපිත කළේ නැත. ප්‍රායෝගිකව, තීරණ ගන්නා ලද්දේ සහෝදරවරුන් ස්වල්ප දෙනෙකු විසින් වූ අතර සෙසු සාමාජිකයන් හුදෙක් එයට අවනත විය. බොහෝ අවස්ථාවලදී මෙය කිසිවෙකුගේ නරක චේතනාවක් නිසා සිදු වූවක් නොවේ. එය කමිටුවේ සංයුතියේ සහ එහි වැඩකරන ක්‍රමවේදයේ ප්රතිඵලයකි. සේවා ස්ථානවලින් සහ ප්‍රජාවන් තුළින් පහළ සිට ගොඩනගනු ලැබුවාට වඩා, මෙම කමිටුව සංගෘහිත කරන ලද්දේ කොළඹ විවිධ ප්‍රදේශවලින් සහ දිවයින පුරා විවිධ ප්‍රදේශවලින් එකතු වූ පුද්ගලයන් ගණනාවකගෙනි. එබැවින්, ප්රජාතන්ත්රවාදී රාමුවක් සැබවින්ම ක්‍රියාත්මක කිරීමට සහ ඵල දැරීමට අවශ්‍ය තරම් ස්වාධීන තනි සාමාජිකයන් සංඛ්‍යාවක් — එනම් තමන්ගේම අරගලවල මුල් බැසගත්, තමන්ගේම අදහස් ගොඩනැගීමට සහ ප්‍රකාශ කිරීමට හැකියාව ඇති කම්කරුවන් සහ තරුණයන් — එහි නොසිටියේය. එවැනි ස්වාධීන සාමාජිකයන් නොමැති තැනක ප්රජාතන්ත්රවාදය නිරර්ථක චාරිත්‍රවිධියක් (formality) පමණක් බවට පත්වේ. විවාදයක් පැවැත්වීමට තරම් ස්වාධීන හඬවල් ප්‍රමාණයක් නොමැති බැවින් එහි සැබෑ විවාදයක් නොමැත. සාමාජිකත්වයට නායකත්වය විනිශ්චය කිරීමට නොහැකි තත්ත්වයක පවතින බැවින් එහි සැබෑ වගවීමක් (accountability) නොමැත. මෙම රික්තය තුළට, දේශපාලන පැහැදිලිභාවය සහ ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීම් වෙනුවට පුද්ගලික සබඳතා සහ කල්ලි පාක්ෂික භාවය (clique allegiances) අනිවාර්යයෙන්ම ඉදිරියට පැමිණේ.
- මෙය ඉතා තීරණාත්මකම කරුණ වන අතර එය පැහැදිලිව තේරුම් ගත යුතුය. කමිටුව පිරිහීමේදී විශාල කාර්යභාරයක් ඉටු කළ කල්ලි සබඳතා යනු කමිටුවේ දුර්වලතාවයට හේතුව නොවේ; ඒවා එහි රෝග ලක්ෂණය (symptom) විය. සංවිධානයක් වැඩ කරන පන්තිය තුළ මුල් බැස නොමැති විට, එහි සාමාජිකත්වය සැබෑ සමාජ බලවේගවල සංවිධානාත්මක ප්රකාශනයක් නොව පුද්ගලයන් එකතුවක් වන විට, සහ එහි තීරණ ස්වාධීන සාමාජිකයන් අතර විවෘත දේශපාලන සාකච්ඡාවක ප්‍රතිඵලයක් නොවන විට, පුද්ගලික පක්ෂපාතීත්වයන්, මිත්‍රත්වයන් සහ කණ්ඩායම් අත්‍යවශ්‍යයෙන්ම ආධිපත්‍යය දැරීමට පැමිණේ. අදහස් පරීක්ෂා කිරීමට හා එකිනෙක හා ගැටී සටන් කිරීමට හැකි ශක්තිමත් දේශපාලන හා සමාජීය අත්තිවාරමක් නොමැති බැවින් ජනතාව අදහස්වලට වඩා පුද්ගලයන් අනුගමනය කරනු ඇත. එවිට කමිටුව නරකම ආකාරයෙන් බිඳෙනසුලු තත්වයට පත් වේ: එහි නායකත්වයේ සාමාජිකයන් අයත් වීමට සිදු වූ දේශපාලන ප්‍රවණතාවක් තුළ වූ භේදයක් වැනි, තමන්ගේම නොවූ ආරවුලකින් වුවද එය බිඳී යා හැක. මන්ද එය එකට බැඳ තබා ගන්නා වඩාත් දෘඩ සංයුතියක් එයට නොමැති බැවිනි.
- රෝග විනිශ්චයෙන් සෘජුවම පිළියම ගලා ඒ. එය දේශපාලන මතභේද පිළිබඳ සාකච්ඡා කිරීමෙන් වැළකී සිටීම නොවේ — ඊට ප්රතිවිරුද්ධව, දේශපාලන සාකච්ඡාව කමිටුවේ පැවැත්මේ පදනමම බවට පත් කිරීම සහ මෙම සාකච්ඡාව පවත්වනු ලබන්නේ සැබවින්ම ස්වාධීන සහ සැබවින්ම පන්තිය තුළ මුල් බැසගත් සාමාජිකත්වයක් විසින් බව සහතික කිරීමයි. දේශපාලන මතභේදවලට බිය වන කමිටුවක් යනු පළමු බැරෑරුම් පරීක්ෂණයේදී ම විසිරී යන කමිටුවකි. තම වැඩපිළිවෙළ විවෘතව විවාද කරන, එහිදී තීරණ ප්‍රජාතන්ත්‍රවාදීව ගනු ලබන සහ ඒවා සැමට බන්ධනීය වන (binding), එමෙන්ම එම ප්රජාතන්ත්රවාදය සැබෑ කිරීමට තරම් ප්‍රමාණවත් තරමට විශාල හා ස්වාධීන සාමාජිකත්වයක් ඇති කමිටුවක් යනු ඕනෑම පුද්ගලයෙකුගේ පිටත්ව යාමක් — සහ ඕනෑම දේශපාලන ප්‍රවණතාවක බිඳ වැටීමක් — වුවද දරාගත හැකි කමිටුවකි. මන්ද එය ඕනෑම පුද්ගලයෙකුට වඩා සහ ඕනෑම කල්ලියකට වඩා විශාල දෙයක මුල් බැස ඇති බැවිනි.
- කමිටුව යළි පිහිටුවීමට පෙර එහි දේශපාලන පදනම් පිළිබඳ සාකච්ඡාවක් සහ එකඟතාවක් ඇති කර ගත යුතු බවත්, කමිටුවේ සංයුතිය සහ ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්රශ්නය එම සාකච්ඡාවෙන් වෙන් කළ නොහැක්කේ මන්ද යන්නත් අපි අවධාරණය කරන්නේ මේ නිසාය. අපි තවත් ඉදිරියට යමු: දේශපාලන අත්තිවාරම් පිළිබඳ සාකච්ඡාව යනු “සැබෑ වැඩ” ආරම්භ වීමට පෙර කළ යුතු ප්රාරම්භක වතාවතක් බඳු කාර්යයක් නොවේ. එයම සැබෑ වැඩ කටයුත්ත වේ. ජාතික අවස්ථාවාදයට එරෙහිව විප්ලවවාදී නායකත්වය පිළිබඳ ප්රශ්නය සම්බන්ධයෙන් පැහැදිලි ස්ථාවරයක්, සහ සැබෑ ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීමේ හැකියාව ඇති සාමාජිකත්වයක් සමඟ, සේවා ස්ථානවලින් සහ ප්‍රජාවන් තුළින් පහළ සිට කමිටුව ගොඩනැගීමට ඇති පැහැදිලි කැපවීම ඇතුළු කමිටුවේ දේශපාලන පදනම් යනු සැබෑ ක්‍රියාකාරී කමිටුවක්, සහන සඳහා පාලක පන්තියට බලපෑම් කිරීමට සහ මහජනතාවගේ අතෘප්තිය පාලනය (police) කිරීමට පමණක් පවතින අසංඛ්‍ය “මහජන සභා”, “සිවිල් සමාජ” සංසද සහ ව්‍යාජ-වාම “සාමාන්‍ය සාමාජික” (rank-and-file) ආරම්භකත්වයන්ගෙන් වෙන්කර හඳුනා ගන්නා කාරණා වේ.
සැබෑ ක්‍රියාකාරී කමිටුවක් යනු කුමක්ද?
- ක්‍රියාකාරී කමිටුවකින් අපි අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි පැහැදිලි වෙමු, මන්ද එම පදය කොතරම් අයථා ලෙස භාවිතා කර ඇත්ද යත් එහි අර්ථය නැවත අත්පත් කරගත යුතු වන බැවිනි.
- ක්‍රියාකාරී කමිටුවක් යනු වැඩ කරන පන්තියේ සහ පීඩිත ජනතාවගේම සංවිධානයකි. එය පීඩනය යොදන කණ්ඩායමක් නොවේ, බලපෑම් දමන කණ්ඩායමක් (lobby) නොවේ, සංවාද කවයක් නොවේ, සහ කිසිදු පක්ෂයක පෙරමුණක්ද නොවේ. එය සේවා ස්ථානවල, නිවහන් ප්‍රදේශවල (neighbourhoods), වතුයායන්හි සහ පාසැල්වල කම්කරුවන් සහ ශ්‍රම වගුරන්නන් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගන්නා ලද, ඔවුන්ට වගකියන සහ ඔවුන් විසින් ආපසු කැඳවීමට යටත් වන (subject to recall) සටන්කාමී සංවිධානයකි. එහි අරමුණ වන්නේ ධනපති රාජ්‍යයට, ධනපති පක්ෂවලට සහ වෘත්තීය සමිති යාන්ත්රණවලට ස්වාධීනව — සහ අවශ්‍ය විටෙක ඒවාට එරෙහිව — වැඩ කරන පන්තියේ සමාජ හා ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය සංවිධානය කිරීමයි.
- මෙම සංකල්පයට ගැඹුරු ඓතිහාසික මූලයන් ඇත. ලියොන් ට්‍රොට්ස්කි (Leon Trotsky) පැහැදිලි කළ පරිදි, 1917 රුසියානු විප්ලවයේදී මතු වූ සෝවියට් සභා (Soviets) ආරම්භ වූයේ “බලවත් වැඩවර්ජන කමිටු” ලෙසිනි — ඒවා අනාගත බලයේ අවයව යැයි කිසිවෙකු මුලදී සිතුවේ නැත. අපි ඉදිරිපත් කරන ක්‍රියාකාරී කමිටු අයත් වන්නේ එම පවුලටමය. ඒවා වැඩ කරන පන්තියේ ස්වාධීන දේශපාලන බලයේ කළල රූප (embryonic forms) වේ. 1930 ගණන්වල ස්පාඤ්ඤ විප්ලවයේදී, ට්‍රොට්ස්කි අවධාරණය කළේ වැඩ කරන පන්තියට තමන්ගේම කමිටු, තමන්ගේම වැඩපිළිවෙළ සහ තමන්ගේම නායකත්වයක් නොමැතිව ඉදිරියට යා නොහැකි බවයි. තවද ඔහු අනතුරු ඇඟවූයේ, ව්‍යාපාරයක මුල් අවධියේදී එහි ශක්තිය වන ස්වයංසිද්ධතාවය (spontaneity), එයට සංවිධානාත්මක හා දේශපාලන පැහැදිලි බවක් ලබා නොදුනහොත් එහි දුර්වලතාවයේ මූලාශ්‍රය බවට පත්වන බවයි. අරගලය විසින් මෙම අනතුරු ඇඟවීම අකුරටම ඔප්පු කරන ලදී.
- 2022 ජූලි මස සසප (SEP) යෝජනාව මගින් මූලෝපායික ඉදිරි දර්ශනය සකස් කරන ලදී: එනම් සේවා ස්ථානවල, වතුවල, නිවහන් ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල ගොඩනගන ලද ක්‍රියාකාරී කමිටු, කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්රජාතන්ත්රවාදී සහ සමාජවාදී සම්මේලනයක් සඳහා — ධනපති රාජ්‍යයට සහ පාලක පන්තියේ සෑම පක්ෂයකටම විරුද්ධ වූ සූරාකෑමට ලක් වූ ජනතාවගේ ස්වාධීන දේශපාලන බල මධ්‍යස්ථානයක් සඳහා — අත්තිවාරම විය යුතු බවයි. එම ඉදිරි දර්ශනය තවමත් නිවැරදිය. අරගලය විසින් මතු කෙරුණු නමුත් එයට පිළිතුරු දීමට නොහැකි වූ ප්‍රශ්නයට පිළිතුරු සපයන එකම ඉදිරි දර්ශනය මෙයයි: එනම්, වීදිවල තම බලය ප්‍රදර්ශනය කර ඇති මහජනතාව, එම බලය තම අවශ්‍යතා (interests) ආරක්ෂා කර ගැනීමට සහ අවසානයේදී බලය අල්ලා ගැනීමට හැකි කල් පවතින දේශපාලන බලවේගයක් බවට පරිවර්තනය කරන්නේ කෙසේද යන්නයි.
සැබෑ ක්‍රියාකාරී කමිටුවක කොන්දේසි
- මෙම අවබෝධය මත පදනම්ව, යළි පිහිටුවන කොළඹ ක්‍රියාකාරී කමිටුවේ දේශපාලන පදනම් ලෙස අපි පහත සඳහන් කොන්දේසි යෝජනා කරන්නෙමු.
- පළමුව, ස්වාධීනත්වය: කමිටුව ධනපති පන්තියේ සියලුම පක්ෂවලින් — ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP), එක්සත් ජාතික පක්ෂය (UNP), සමගි ජන බලවේගය (SJB), ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ ධනපති රාජ්‍යයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) රාමුව පිළිගන්නා අනෙකුත් සෑම සංයුතියකින්ම ස්වාධීන විය යුතුය. සංගත කළමනාකරණයේ සහ රාජ්‍යයේ ව්‍යුහයන් තුළට ඒකාබද්ධ වී ඇති සහ පන්ති අරගලය ඉදිරියට ගෙන යාමට නොව එය මර්දනය කිරීමට ක්‍රියා කරන වෘත්තීය සමිති නිලධාරී තන්ත්රයන්ගෙන් එය ස්වාධීන විය යුතුය. තවද එය “වාම” ලෙස පෙනී සිටින නමුත් වැඩ කරන පන්තියේ විරුද්ධත්වය නැවත ධනපති දේශපාලනයට හැරවීමට සහ සාමාන්‍ය කම්කරුවන්ට එරෙහිව වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය ආරක්ෂා කිරීමට කටයුතු කරන ව්‍යාජ-වාම සංවිධානවලින් — පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් (FSP) සහ සමාන කණ්ඩායම්වලින් — ස්වාධීන විය යුතුය. මෙයින් අදහස් වන්නේ මෙම සංවිධානවල සාමාජිකයන්ට කමිටුවට තහනම් කර ඇති බවක් නොවේ. එයින් අදහස් වන්නේ කමිටුව ඒ කිසිවකුගේ දේපළක් නොවන බවත්, කිසිදු පක්ෂයකට හෝ ප්‍රවණතාවකට එය පෙරමුණු සංවිධානයක් (front) ලෙස භාවිතා කළ නොහැකි බවත්, එහි වැඩපිළිවෙළ සහ තීරණ විවෘත සාකච්ඡා පදනම මත එහිම සාමාජිකත්වය විසින් තීරණය කරනු ලබන බවත්ය.
- දෙවනුව, පන්ති වැඩපිළිවෙළක්: කමිටුව වැඩ කරන පන්තිය සහ පීඩිත ජනතාව තුළ මුල් බැස ගත යුතු අතර, එය ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ යුතුය. මෙයින් අදහස් වන්නේ පන්ති අරගලයේ වැඩපිළිවෙළකි: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු (austerity) න්යායපත්රය ප්‍රතික්ෂේප කිරීම; රැකියා, වැටුප්, වැඩ කරන කොන්දේසි, මහජන අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා සහ මිල සහනාධාර ආරක්ෂා කිරීම; විදේශ ණය ගෙවීම ප්‍රතික්ෂේප කිරීම; ධන කුවේරයන්ගේ වත්කම් අත්පත් කර ගැනීම සහ කම්කරු පාලනය යටතේ ප්‍රධාන බැංකු සහ සංගත ජනසතු කිරීම; විධායක ජනාධිපති ක්‍රමය සහ මර්දනකාරී නීති අහෝසි කිරීම; සහ සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර් යන සියලුම කම්කරුවන්ගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්, සෑම ආකාරයකම ස්වෝත්තමවාදී (chauvinism) සහ වාර්ගික බෙදීම්වලට එරෙහිව ආරක්ෂා කිරීමයි. එවැනි වැඩපිළිවෙළක් නොමැති කමිටුවක් යනු ක්‍රියාකාරී කමිටුවක් නොවේ; එය කතා සාප්පුවකි (talking shop) — නැතහොත්, ඊට වඩා නරක ආකාරයෙන්, එහි අතිධාවනකාරීත්වය (adventurism) මගින් රජයේ මර්දනයට ආරාධනා කරන සහ කම්කරු ව්‍යාපාරය මර්දනය කිරීමට පාලක පන්තියට හේතුවක් සපයන රැඩිකල්, අති-ක්‍රියාකාරී සහ ප්රකෝපකාරී කණ්ඩායමකි.
- තෙවනුව, ප්රජාතන්ත්රවාදය — සහ පහළ සිට කමිටුව ගොඩනැගීම: මෙම කොන්දේසිය කොතරම් කේන්ද්‍රීය ද යත්, එය කමිටුවේ පිරිහීමේ පාඩම් සමඟ කෙතරම් සෘජුව සම්බන්ධ වී ඇත්ද යත්, එය දීර්ඝ ලෙස පැහැදිලි කළ යුතුය.
- කමිටුව ප්රජාතන්ත්රවාදී ලෙස සංවිධානය කළ යුතුය. එහි නායකත්ව මණ්ඩල සාමාජිකත්වය විසින් තෝරා පත් කර ගත යුතු අතර ආපසු කැඳවීමට යටත් විය යුතුය. එහි තීරණ විවෘත සාකච්ඡාවකින් පසු ගත යුතු අතර, ඒවාට එරෙහිව ඡන්දය දුන් අය ඇතුළු සියලුම සාමාජිකයන්ට ඒවා බන්ධනීය විය යුතුය. එහි මූල්‍යමය කටයුතු සහ ක්‍රියාකාරකම් විනිවිද පෙනෙන සුළු විය යුතුය. නමුත්, මෙහි ප්රජාතන්ත්රවාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව අපි පැහැදිලි විය යුතුය, මන්ද එම වචනය පිළිබඳ කිසිදු උත්සුකයක් නොමැති බලවේග විසින් එහි අන්තර්ගතය උපුටා දමා ඇති බැවිනි. ක්‍රියාකාරී කමිටුවක ප්රජාතන්ත්රවාදය යනු විධිමත් ක්‍රියා පටිපාටියක කාරණයක්, රැස්වීම් පැවැත්වීමේ සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ කාරණයක් නොවේ. එය කමිටුවේ සමාජ සංයුතිය සහ එය ගොඩනැගීමේ ක්‍රමවේදය පිළිබඳ කාරණයකි. කමිටුවකට මෙතෙක් ලියැවුණු වඩාත්ම ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාව තිබිය හැකි අතර, එසේ උවද, එහි සාමාජිකත්වය පන්තිය තුළ මුල් බැසගත් ස්වාධීන පුද්ගලයන්ගෙන් සමන්විත නොවන්නේ නම් සහ එහි තීරණ එවැනි පුද්ගලයන් අතර සැබෑ දේශපාලන සාකච්ඡාවක ප්‍රතිඵලයක් නොවන්නේ නම්, එය ප්‍රායෝගිකව තවමත් කල්ලියක මෙවලමක් විය හැක.
- මෙය තීරණාත්මක කාරණාව වන අතර එය මුල් කමිටුවේ ඉතිහාසයෙන් සෘජුවම ගලා එයි. කොපමණ අවංක වුවත්, රටේ විවිධ ප්‍රදේශවලින් එකතු වූ තමන් විසින්ම තේරී ගත් පුද්ගලයන් දුසිම් කිහිපයකින් සමන්විත කමිටුවක් ක්‍රියාකාරී කමිටුවක් නොවේ. අපි මෙය පැහැදිලිව කිව යුතුය, මන්ද එය කමිටුවේ පිරිහීමේ වැදගත්ම තනි පාඩම වන බැවිනි. එවැනි සංවිධානයක් තමන් ක්‍රියාකාරී කමිටුවක් ලෙස හඳුන්වාගත හැක; එය වඩාත්ම නිවැරදි යෝජනා සම්මත කර ගත හැක; එය ප්‍රයෝජනවත් වැඩ කටයුතු සිදු කළ හැක. එහෙත් ක්‍රියාකාරී කමිටුවක් නිර්වචනය කරන අත්‍යවශ්‍ය ගුණාංගය එයින් ගිලිහී ගොස් ඇත: එනම්, එය වැඩ කරන පන්තියේ සහ පීඩිත ජනතාවගේම සංවිධානාත්මක ප්රකාශනයක් නොවේ. එය පුද්ගලයන්ගේ එකතුවක් වන අතර, කෙසේ කොතරම් හොඳ චේතනාවෙන් යුක්ත වුවද, පුද්ගල එකතුවක් සමාජ බලවේගයක් නොවේ. මහජනතාව එය තෝරා පත් කර නොගත් බැවින් සහ මහජනතාව එය වගවීමට ලක් නොකරනු ලබන බැවින් එහි අධිකාරය මහජනතාවගෙන් උකහා ගෙන නැත. පන්තිය එහි සාකච්ඡාවල නියෝජනය නොවන බැවින් එහි තීරණ පන්තියේ තීරණ නොවේ. තවද, එය පන්තිය තුළ මුල් බැසගෙන නොමැති නිසාම, මුල් කමිටුව විනාශ කළ රෝගයට එය ගොදුරු වේ: එනම්, දේශපාලන පැහැදිලිභාවය සහ ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීම් වෙනුවට පුද්ගලික සබඳතා සහ කල්ලි බැඳීම් ආදේශ කිරීමයි.
- මෙම රෝගයේ යාන්ත්‍රණය පිළිබඳව අපි නිරවද්‍ය වෙමු, මන්ද එය අවබෝධ කර ගැනීම එය නැවත ඇතිවීම වැළැක්වීමේ යතුර වන බැවිනි. කමිටුවක සාමාජිකත්වය සේවා ස්ථානවල සහ ප්‍රජාවන් තුළ ගොඩනැගීමේ සැබෑ ක්‍රියාවලිය මගින් තීරණය නොවන විට — ඒ වෙනුවට එහි සාමාජිකත්වය කල්ලි සබඳතා මගින් පෙර සූදානම් කර, එක්තැන් කර සහ බලපෑමට ලක්වන විට — එවිට ආරම්භයේ සිටම ප්රජාතන්ත්රවාදය අශක්‍ය වේ. සාමාජිකත්වය යනු පොදු වැඩපිළිවෙළක් මත එකතු වී ඇති සහ තමන්ගේම අදහස් ගොඩනැගීමට සහ ප්‍රකාශ කිරීමට හැකියාව ඇති ස්වාධීන පුද්ගලයන්ගේ සමස්ථයක් නොවේ. එය පුද්ගලික සබඳතා මගින්, මිත්‍රත්වයෙන්, යම් යම් පුද්ගලයන්ට ඇති පක්ෂපාතීත්වයෙන් එකිනෙකාට බැඳුණු පිරිසකි. එවැනි කවයක් තුළ සාකච්ඡා යනු අදහස්වල සැබෑ ගැටුමක් නොවේ; මන්ද, කවය රඳා පවතින පුද්ගලික පක්ෂපාතීත්වයන්ට තර්ජනයක් නොවන සේ සහභාගී වන්නන් එකිනෙකා සමඟ එකඟ නොවීමට තරම් හෝ නායකත්ව චරිත සමඟ එකඟ නොවීමට තරම් හෝ ඔවුන් ස්වාධීන නොවන බැවිනි. තීරණ යනු විවෘත විවාදයක ප්‍රතිඵලයක් නොවේ; ඒවා යටත්වීමේ (deference) ප්රතිඵලයකි. ස්වල්ප දෙනෙක් තීරණය කරති, සෙස්සෝ කීකරු වෙති — එය බලහත්කාරයක් නිසා නොව, කණ්ඩායමේ සමාජ හා පුද්ගලික ව්‍යුහය ඔවුන්ට වෙනත් භූමිකාවක් ඉතිරි නොකරන බැවිනි. මුල් කමිටුවේ සිදු වූ පරිදි, දේශපාලන මතභේදයක් මතු වූ විට, එය විවෘතව සටන් කර ප්රජාතන්ත්රවාදී ලෙස විසඳාගනු නොලැබේ. එය කල්ලි අතර කණ්ඩායම් අරගලයක් ලෙස සටන් කරනු ලබන අතර, එකිනෙකට ගැටෙන ස්ථාවරයන් අතර විනිශ්චය කිරීමට සහ සංවිධානය එකට තබා ගැනීමට හැකි ස්වාධීන සාමාජිකත්වයක් නොමැති බැවින් එය සංවිධානය කැබලිවලට ඉරා දමයි.
- කමිටුවේ සංයුතිය පිළිබඳ ප්රශ්නය අවසානයට තැබිය යුතු තාක්ෂණික ප්‍රශ්නයක් නොවන්නේ මේ නිසාය. එය හරියටම ප්රජාතන්ත්රවාදය පිළිබඳ ප්රශ්නයේ හදවතයි. සැබෑ ක්‍රියාකාරී කමිටුවක් සේවා ස්ථානවලින් සහ ප්‍රජාවන් තුළින් පහළ සිට ගොඩනගා ගත යුතුය. එහි සාමාජිකයන් විය යුත්තේ කර්මාන්තශාලා, වරාය, ප්‍රවාහන පද්ධතිය, රෝහල්, පාසල්, වතු සහ කොළඹ හා ඉන් ඔබ්බෙහි නිවහන් ප්‍රදේශවල තමන්ගේම අරගලවල මුල් බැසගත් සහ, පුද්ගලික සම්බන්ධතා හරහා බඳවා ගත් පුද්ගලයන් ලෙස නොව, එම අරගලවල නියෝජිතයන් ලෙස කමිටුවට පැමිණෙන කම්කරුවන් සහ තරුණයන්ය. එහි අධිකාරිය ගලා ආ යුත්තේ එය කම්කරුවන් සහ පීඩිත ජනතාව සැබවින්ම නියෝජනය කරන සහ බලමුලු ගන්වන ප්‍රමාණයෙනි. සංඛ්‍යා වැදගත් වුවද, මෙය හුදු සංඛ්‍යා පිළිබඳ කාරණයක් නොවේ. එය පන්තිය සමඟ කමිටුවට ඇති සම්බන්ධතාවය පිළිබඳ කාරණයකි. තම සේවා ස්ථානවල සැබවින්ම මුල් බැසගත් සහ තම සෙසු කම්කරුවන් වෙනුවෙන් සැබවින්ම කතා කරන කම්කරුවන් දස දෙනෙකුගෙන් යුත් කමිටුවක්, තීරණාත්මක අර්ථයෙන්, රටේ විවිධ ප්‍රදේශවලින් එකතු වූ තමන් විසින්ම තෝරාගත් පුද්ගලයන් පනස් දෙනෙකුගෙන් යුත් කමිටුවකට වඩා ශක්තිමත් සහ ප්රජාතන්ත්රවාදී සංවිධානයකි. මන්ද පළමුවැන්න වැඩකරන පන්තියේ බල සංස්ථාවක් වන අතර දෙවැන්න එසේ නොවන බැවිනි.
- මෙසේ පැවසීමෙන්, කමිටුවක් ක්‍රියාත්මක වීම සඳහා විශාල සාමාජිකත්වයක් ලැබෙන තෙක් බලා සිටිය යුතු යැයි අදහස් නොවේ. ඊට හාත්පසින්ම වෙනස්ව, ජාත්‍යන්තරව සාමාන්‍ය කම්කරුවන්ගේ (Rank-and-file) කමිටුවල අත්දැකීම්වලින් පෙන්නුම් කරන්නේ, කමිටුවක නිර්මාතෘවරුන්ගේ කාර්යභාරය වන්නේ පහළින් පටන් ගෙන එය ගොඩනැගීම බව ඔවුන් වටහා ගන්නේ නම්, ඉතා ස්වල්ප වූ කම්කරුවන් සංඛ්‍යාවකට වුවද කමිටුවක් පිහිටුවිය හැකි බවයි. එනම්, අරගලය තුළින් ජනතාවගේ විශ්වාසය දිනාගැනීමත්, වැඩබිම් සහ ප්‍රජාවන් තුළ කමිටුවේ පදනම පුළුල් කිරීමත්, කමිටුව යම් පුද්ගලයෙකුගේ හෝ කල්ලියකගේ බූදලයක් බවට පත් නොකොට සමස්ත පන්තියේම ක්‍රියාකාරී මෙවලමක් බවට පත්කිරීමත් මගිනි. කමිටුවේ බලය පැමිණෙන්නේ එය කම්කරුවන් සඳහා ක්‍රියාත්මක කළ හැකි මූලෝපායක් ඇති එකම සංවිධානය වීමෙනි. එය කම්කරුවන්ගේ ගැඹුරින් දැනෙන විරුද්ධත්වයට පැහැදිලි ස්වරූපයක් ලබා දීමෙන් වර්ධනය වේ. එහෙත් මෙම වර්ධනය සිදු කළ හැක්කේ කමිටුවේ වැඩ කරන ක්‍රමවේදය ආරම්භයේ සිටම පන්තියට නැඹුරු වී ඇත්නම් පමණි — එනම්, එය විවෘත රැස්වීම් පවත්වන්නේ නම්, නිතිපතා ප්රකාශනයක් (bulletin) පළ කරන්නේ නම්, පුපුරා යන සෑම අරගලයකටම මැදිහත් වන්නේ නම්, සහ පුද්ගලික ජාල සහ කල්ලි සබඳතා හරහා සාමාජිකයන් එකතු කරනවාට වඩා එහි වැඩපිළිවෙළ මත පදනම්ව කම්කරුවන් සහ තරුණයන් සක්‍රීයව බඳවා ගන්නේ නම් පමණි.
- අවසාන වශයෙන්, කමිටුවේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ පරීක්ෂණය සරල එකකි: ඕනෑම පුද්ගලයෙකුගේ හෝ ඕනෑම කල්ලියක පිටත්ව යාම දරාගෙන කමිටුවට එහි වැඩ කටයුතු කරගෙන යාමට හැකිද? එයට නොහැකි නම් — නායකත්වයේ යම්කිසි චරිතයක් අහිමි වීමත් සමඟ කමිටුව බිඳ වැටුණොත්, හෝ යම් දේශපාලන ප්‍රවණතාවක් තුළ සිදු වූ භේදයකින් එය කැබලිවලට ඉරා දැමුනොත් — එහි ව්‍යවස්ථාව කුමක් කීවත් එය ප්රජාතන්ත්රවාදී කමිටුවක් නොවේ. එය කමිටුවක නම ඇති කල්ලියකි. සැබවින්ම ප්රජාතන්ත්රවාදී කමිටුවක් ඕනෑම පුද්ගලයෙකුට වඩා සහ ඕනෑම කල්ලියකට වඩා විශාල දෙයක මුල් බැස ඇත: එනම් වැඩ කරන පන්තිය තුළම සහ එම පන්තියේ අවශ්‍යතා ප්‍රකාශ කරන වැඩපිළිවෙළ තුළය. එබැවින් කමිටුව නැවත ගොඩනැගීම පළමු දින සිටම මෙම පරීක්ෂණය පිළිබඳ අදහස සහිතව සිදු කළ යුතුය. සාමාජිකත්වය බිම් මට්ටමේ සිට, සේවා ස්ථානවලින් සහ ප්‍රජාවන් තුළින් ගොඩනගා ගත යුතුය. නායකත්ව මණ්ඩල එම සාමාජිකත්වය විසින් තෝරා පත් කර ගත යුතු අතර ඔවුන් විසින් ආපසු කැඳවීමට යටත් විය යුතුය. තීරණ යනු ස්වාධීන සාමාජිකයන් අතර විවෘත දේශපාලන සාකච්ඡාවක ප්‍රතිඵලය විය යුතුය. තවද, කමිටුව වර්ධනය වන විට එහි ප්රජාතන්ත්රවාදය අඩුවීමට නොව වඩාත් සැබෑ වනු පිණිස, තම පදනම පුළුල් කර ගැනීමට කමිටුව සවිඤ්ඤාණිකව සහ අඛණ්ඩව කටයුතු කළ යුතුය.
- සිව්වනුව, කමිටු සාමාජිකයන් ආරක්ෂා කිරීම: පාලක පන්තිය සහ එහි වෘත්තීය සමිති සහ ව්‍යාජ-වාම නියෝජිතයන් සැබෑ ක්‍රියාකාරී කමිටුවක් සාදරයෙන් පිළිගන්නේ නැත. ඔවුන් එහි සාමාජිකයන් බිය ගැන්වීමට, හුදකලා කිරීමට සහ පීඩාවට පත් කිරීමට උත්සාහ කරනු ඇත. එබැවින්, කමිටුව විසින්, විශේෂයෙන්ම මුල් අවධියේදී, තම සාමාජිකයන් ආරක්ෂා කිරීමට පියවර ගත යුතු අතර, පීඩාවට පත් වූ කම්කරුවන් ආරක්ෂා කිරීම එහි වැඩ කටයුතුවල කේන්ද්‍රීය කොටසක් බවට පත් කළ යුතුය. ජාත්‍යන්තර මට්ටමින් කම්කරු ක්‍රියාකාරී කමිටුවල අත්දැකීම් මෙහිදී උපදේශාත්මක වේ: වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය නිරන්තරයෙන්ම ස්වාධීන කමිටුවලට අපහාස සහ තර්ජන මගින් ප්‍රතිචාර දක්වන අතර, මෙම ප්‍රතිචාරයම එවැනි කමිටු අවශ්‍ය වන්නේ මන්ද යන්නට සාක්ෂිය වේ.
යාන්ත්‍රණය සහ විධි ක්‍රමය (Modus Operandi)
- එවැනි කමිටුවක් සැබවින්ම ක්‍රියාත්මක විය යුත්තේ කෙසේද? ජාත්‍යන්තර මට්ටමින් කම්කරු ක්‍රියාකාරී කමිටුවල අත්දැකීම් මත පදනම්ව අපි පහත සඳහන් දෑ යෝජනා කරමු.
- කමිටුව කුමක්ද, එය පිහිටුවා ඇත්තේ මන්ද සහ එය සටන් කරන්නේ කුමක් සඳහාද යන්න දක්වමින්, සම්පූර්ණ සාකච්ඡාවකින් පසු සම්මත කරන ලද ආරම්භක ප්‍රකාශයකින් කමිටුව ආරම්භ විය යුතුය. මෙම ප්‍රකාශය සේවා ස්ථානවල, අසල්වැසි ප්‍රදේශවල, පාසැල්වල සහ අන්තර්ජාලය හරහා හැකි පුළුල් ලෙස බෙදා හැරිය යුතු අතර, සාමාජිකයන් බඳවා ගැනීමට සහ සහයෝගය ගොඩනැගීමට පදනම ලෙස එය සේවය කළ යුතුය. “ක්‍රියාකාරී කමිටුවේ පිලිවෙත” සමාලෝචනය කර යළි සකස් කළ යුතුය. ඉන්පසු කමිටුව කොළඹ ප්‍රධාන සේවා ස්ථානවල/වැඩබිම්වල සහ ප්‍රජාවන් තුළ පැවැත්මක් ස්ථාපිත කිරීමට ක්‍රමානුකූලව කටයුතු කළ යුතුය. විවෘත රැස්වීම් පැවැත්වීම, නිතිපතා ප්රකාශනයක් (bulletin) පළ කිරීම, සහ පුපුරා යන සෑම අරගලයකටම — වැඩවර්ජනයකට, බඩු මිල හෝ විදුලිය සම්බන්ධ විරෝධතාවකට, ගොදුරු කරගැනීම් වලට එරෙහි සටනකට — මැදිහත් වීම මගින්, ඒවාට සම්බන්ධ වන කම්කරුවන් එක්සත් කිරීම සහ කප්පාදුවට (austerity) සහ ධනපති රාජ්‍යයට එරෙහි පුළුල් සටනට ඔවුන්ගේ අරගලය සම්බන්ධ කිරීම මෙහි අරමුණ විය යුතුය.
- කමිටුව රටේ වෙනත් ප්‍රදේශවල සහ ජාත්‍යන්තර මට්ටමින් ඒ හා සමාන කමිටු සමඟ සම්බන්ධ වීමට උත්සාහ කළ යුතුය. මෙය ද්විතියික කාරණයක් නොවේ. වැඩ කරන පන්තිය යනු ජාත්‍යන්තර පන්තියක් වන අතර, එය සටන් කරන සංගත සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ජාත්‍යන්තරව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය කම්කරුවන්ගේ ස්වාධීන කම්කරු ක්‍රියාකාරී සංවිධාන ජාත්‍යන්තරව එක්සත් කිරීම සඳහා රාමුවක් සැපයීමේ අරමුණින්ම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) විසින් කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (IWA-RFC- International Workers Alliance of Rank-and-File Committees) පිහිටුවා ඇත. යුද්ධයට, කප්පාදුව සහ සෑම තැනකම ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මත එල්ල කරන ප්‍රහාරවලට එරෙහිව වැඩ කරන පන්තියේ ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙස තමන්ව වටහා ගන්නා කොළඹ ක්‍රියාකාරී කමිටුවක් යනු 2022 අරගලය මෙන් හුදකලා කර තලා දැමිය නොහැකි කමිටුවකි.
ජාත්‍යන්තර උදාහරණ
- ජාත්‍යන්තර කම්කරුවන්ගේ අත්දැකීම් ඔබ සදහා පාඩම්වලින් පොහොසත් ය.
- ඇමරිකා එක්සත් ජනපදයේ, වර්ජිනියා ප්‍රාන්තයේ ඩබ්ලින් හි වොල්වෝ ට්‍රක්ස් (Volvo Trucks) කර්මාන්තශාලාවේ කම්කරු ක්‍රියාකාරී කමිටුව, United Auto Workers (UAW) විසින් ගෙන එන ලද කම්කරුවන් පාවාදීමේ කොන්ත්‍රාත්තු ගණනාවකට එරෙහිව විරුද්ධත්වය බලමුලු ගැන්වීමේදී සහ වෘත්තීය සමිතියට වැඩවර්ජනයක් කැඳවීමට බලපෑම් කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය යනු ඔවුන්ගේ මෙවලමක් නොව ඔවුන්ගේ බාධකය බව වටහාගත් සහ එයින් ස්වාධීනව සංවිධානය වූ කම්කරුවන් අතළොස්සක් විසින් මෙම කමිටුව ගොඩනගන ලදී. 2022 අගෝස්තු 28 වන දින WSWS හි පළ කරන ලද දුම්රිය කම්කරුවා සහ UAW සභාපති සඳහා තරඟ කළ සමාජවාදී අපේක්ෂක විල් ලෙමන් (Will Lehman) අතර සංවාදය, එවැනි කමිටුවක් ගොඩනගන්නේ කෙසේද යන්න පැහැදිලි බසින් දක්වයි: එය පිහිටුවීමට මහජන සහයෝගය එනතුරු බලා සිටීමට අවශ්‍ය නැත; කම්කරුවන් එක් අයෙක් හෝ දෙදෙනෙක් කමිටුව පිහිටුවීමේ අවශ්‍යතාවය සමඟ එකඟ වන්නේ නම්, එයයි අත්තිවාරම; කමිටුවේ බලය ගලා එන්නේ එය කම්කරුවන් සඳහා ක්‍රියාත්මක කළ හැකි මූලෝපායක් සහිත එකම සංවිධානය වීමෙනි. එමෙන්ම එය කම්කරුවන්ට ගැඹුරින් දැනෙන විරුද්ධත්වයට පැහැදිලි ස්වරූපයක් ලබා දීමෙන් වර්ධනය වේ.
- බ්‍රිතාන්‍යයේදී, 2023 අප්‍රේල් මාසයේදී එහි සමාජවාදී සමානතා පක්ෂය සහ WSWS හි ආධාර ඇතිව පිහිටුවන ලද තැපැල් කම්කරුවන්ගේ කම්කරු ක්‍රියාකාරී කමිටුව (Postal Workers Rank-and-File Committee), වසරක් පුරා පැවති ආරවුලක් මත සන්නිවේදන කම්කරු සමිතියේ (Communication Workers Union – CWU) නිලධාරී තන්ත්රයේ ග්‍රහණය බිඳ දැමීමට උත්සාහ කළ කම්කරුවන්ගේ සහයෝගය දිනා ගත් අතර, එහි ප්‍රකාශන ලක්ෂ සංඛ්‍යාත වාර ගණනක් කියවා ඇත. එහි වැදගත්කම පවතින්නේ එය විරුද්ධ වූ දෙය තුළය: එනම්, සේවායෝජකයාට පමණක් නොව, වෘත්තීය සමිති සාමාජිකයන්ගේ අතෘප්තිය පාලනය කිරීම සහ එය නිලධාරී තන්ත්රයේ ආධිපත්‍යය යටතේ තබා ගැනීම සැබෑ අරමුණ වූ කවුන්ටෆයර් (Counterfire) හි “අපි සටන් කරන්නේ කෙසේද, අපි දිනන්නේ කෙසේද” (How We Fight, How We Win) සමුළුව සහ ඒ සමාන ව්‍යාපාර වැනි ව්‍යාජ-වාම “සාමාන්‍ය කම්කරුවන්ගේ” (“rank-and-file”) මුලපිරීම්වලට එරෙහි වීමයි. පාඩම නම්, වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය විවේචනය කිරීම ප්‍රතික්ෂේප කරන, වෘත්තීය සමිති නායකයන්ට පක්ෂපාතී බවට ප්‍රතිඥා දෙන, සහ ඒවාට “පීඩනය යෙදීමට” පමණක් උත්සාහ කරන “සාමාන්‍ය කම්කරු” මුලපිරීමක් යනු සැබෑ සාමාන්‍ය කම්කරු ව්‍යාපාරයක ප්‍රතිවිරුද්ධ දෙයයි. එය පාලනය කිරීමේ යාන්ත්රණයකි.
- තවද ශ්‍රී ලංකාව තුළම, 2009 වසරේදී වතු කම්කරුවන් විසින් පිහිටුවන ලද බැල්මෝරල් වතු ක්‍රියාකාරී කමිටුව (Balmoral Estate Action Committee) මගින් පෙන්නුම් කරන ලද්දේ ක්‍රියාකාරී කමිටු යනු විදේශීය ආනයනයක් නොව ශ්‍රී ලංකාවේ වැඩ කරන පන්තියේ අරගලවලින් ස්වභාවිකවම මතුවන සංවිධාන ස්වරූපයක් බවයි.
- එම මූලධර්මයම සේවා ස්ථානයෙන්/වැඩබිමෙන් ඔබ්බටද අදාළ වේ. 2025 මාර්තු මාසයේදී, මහා ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ක්‍රියා කරන කම්කරු පක්ෂ (Labor) රජයක් විසින් තමන්ගේ නිවාස කඩා දැමීමට මුහුණ දුන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පොදු මහල් නිවාස පදිංචිකරුවන්, අරගලය තමන් අතටම ගැනීම සඳහා නිවහන් ප්‍රදේශ ක්‍රියාකාරී කමිටුවක් (Neighbourhood Action Committee) පිහිටුවා ගත්හ. මෙය වෘත්තීය සමිති පාවාදීමකට ලබා දුන් ප්‍රතිචාරයක් නොවේ; එය ඔවුන්ගේ නිවාස සහ යහපත් ජීවිතයක් සඳහා ඇති අයිතිය ආරක්ෂා කර ගැනීම සඳහා, ස්ථාපිත දේශපාලන මාර්ගවලින් පිටත සහ ඒවාට එරෙහිව, වැඩ කරන ජනතාව තම ප්‍රජාවන් තුළ බිහි කරගත් ස්වයං-සංවිධානයකි. පාඩම එකමය: වැඩ කරන පන්තිය කොතැනක හෝ ප්‍රහාරයකට මුහුණ දෙන්නේ නම් — එය වැටුප් මත, නිවාස මත හෝ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මත වේවා — එය තමන්ගේම ස්වාධීන සංවිධාන ගොඩනගා ගත යුතුය. අසල්වැසි කමිටුව සහ සාමාන්‍ය කම්කරු කමිටුව යනු එකම දෙයක ස්වරූප දෙකකි: එනම්, පාලක පන්තියට සේවය කරන පක්ෂ සහ නිලධාරී තන්ත්රයන් හරහා නොව, වැඩ කරන පන්තිය තමන් වෙනුවෙන්ම ක්‍රියා කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන සහ ෆැසිස්ට් කල්ලි පෝෂණය කරන රජයකට මුහුණ දෙන ශ්‍රී ලංකාවේ වැඩ කරන පන්තියට, ඉදිරි මාවත මෙය වේ — එනම්, ස්වෝත්තමවාදී (chauvinist) සංඝයාට සහ කප්පාදු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන රාජ්‍යයට එකසේ එරෙහිව, වැඩබිමේදී සහ ප්‍රජාව තුළ, තමන්ගේම කමිටුවල සංවිධානය වූ සිංහල, දෙමළ සහ මුස්ලිම් කම්කරුවන්ගේ එකමුතුවයි.

- මෙම සියලු උදාහරණවල පොදු හුයපට එකමය: කමිටුව ගොඩනගනු ලබන්නේ කම්කරුවන් විසින්ම, පැහැදිලි පන්ති වැඩපිළිවෙළක් මත, වෘත්තීය සමිති නිලධාරී තන්ත්රයට සහ ව්‍යාජ-වමට විවෘත විරුද්ධත්වයකින් යුතුව වන අතර, එය අරගලය හරහා මහජනතාවගේ විශ්වාසය දිනා ගැනීමෙන් වර්ධනය වේ.
විප්ලවවාදී පක්ෂයේ කාර්යභාරය පිළිබඳව
- මතු කළ යුතු කේන්ද්‍රීය ප්‍රශ්නයක් වන්නේ ක්‍රියාකාරී කමිටුව සහ විප්ලවීය පක්ෂය අතර ඇති සම්බන්ධතාවයයි — ශ්‍රී ලංකාවේදී එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂයයි; එහි විප්ලවවාදී වාම කණ්ඩායම (Revolutionary Left Faction) වන ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLLA) වන අපි, කලාපය තුළ මෙම විප්ලවවාදී නායකත්වය ගොඩනැගීමට කැපවී සිටිමු. මෙම ප්‍රශ්නයට අවංකව පිළිතුරු දිය යුතුය, මන්ද මෙම කරුණ සම්බන්ධයෙන් ඇති වන ව්‍යාකූලත්වය බොහෝ මුලපිරීම් නෂ්ට භංග කර ඇති බැවිනි. ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ මගපෙන්වීම යටතේ 2019 වසරේදී පිහිටුවන ලද කලාවේ හා ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (Action Committee for the Defence of Freedom of Art and Expression – ACDAE) උදාහරණය සලකා බලන්න. වැදගත් ක්‍රියාකාරකම් කිහිපයක නිරත වීමෙන් පසු, මෙම කමිටුව පක්ෂයේම අනුබද්ධිත ආධාරකයක් සහ පෙරමුණු සංවිධානයක් බවට පරිවර්තනය වීමත් සමඟ අභාවයට ගියේය. පාඩම වන්නේ පක්ෂයට එවැනි කමිටු සමඟ කිසිදු සම්බන්ධයක් නොතිබිය යුතු බව නොවේ. පාඩම නම් විප්ලවවාදී පක්ෂයක් ඇතුළු ඕනෑම පක්ෂයක දේපළක් බවට පත්වන කමිටුවක් ක්‍රියාකාරී කමිටුවක් වීම නතර වන අතර, එමඟින් එය වැඩදායී කළ සැබෑ ශක්යතාවම එයට අහිමි වන බවයි.
- ක්‍රියාකාරී කමිටුව යනු පක්ෂය නොවන අතර, පක්ෂය යනු ක්‍රියාකාරී කමිටුව නොවේ. ක්‍රියාකාරී කමිටුව යනු ව්‍යාජ-වාම පක්ෂවලට සහාය දක්වන අය හෝ කිසිදු පක්ෂයකට සහාය නොදක්වන අය ඇතුළුව විවිධ දේශපාලන අදහස් ඇති කම්කරුවන්ට සහ තරුණයන්ට විවෘත වූ පුළුල් අරගලයේ උපකරණයකි. එහි එකමුතුව යනු දේශපාලන මූලධර්ම සම්බන්ධ ඒකමතීත්වයක් නොව, පන්ති වැඩපිළිවෙළක් වටා ඇති ක්රියාකාරීත්වයේ එකමුතුවකි. විප්ලවවාදී පක්ෂය කමිටුව තම පෙරමුණ බවට පත් කිරීමට උත්සාහ නොකළ යුතු අතර, කමිටුවේ සාමාජිකත්වය සඳහා පක්ෂයේ සාමාජිකත්වය කොන්දේසියක් නොවේ.
- එහෙත් මෙයින් අදහස් වන්නේ පක්ෂය පිළිබඳ ප්රශ්නය කමිටුවට අදාළ නැති බව නොවේ. සත්‍යය ඊට ප්රතිවිරුද්ධවය. කම්කරු පන්ති ව්‍යාපාරයේ ඉතිහාසය මගින් පෙන්නුම් කරන්නේ සමාජය පිළිබඳ විද්‍යාත්මක අවබෝධයකින් සහ සමාජය සමාජවාදී පරිවර්තනයකට ලක් කිරීමේ වැඩපිළිවෙළකින් සන්නද්ධ වූ පක්ෂයක් වන විප්ලවවාදී නායකත්වයක් නොමැතිව මහජනතාවට ජයග්‍රහණය ලබා ගත නොහැකි බවයි. ක්‍රියාකාරී කමිටුව යනු අරගලයේ අත්‍යවශ්‍ය මෙවලමක් වන නමුත් එය පක්ෂය සඳහා ආදේශකයක් නොවේ. කමිටුවට කම්කරුවන්ගේ ක්ෂණික අරගල සංවිධානය කළ හැකිය; දේශපාලන බලය පිළිබඳ මූලෝපායික ප්රශ්නය තනිවම විසඳීමට එයට නොහැකිය. ඒ සඳහා විප්ලවවාදී පක්ෂය ගොඩනැගීම අවශ්‍ය වේ.
- මුල් කමිටුව විසින් අනුමත කරන ලද 2022 ජූලි මස සසප යෝජනාව එතරම්ම වැදගත් වන්නේ හරියටම මේ නිසාය. එය කමිටුව මත පටවන ලද පක්ෂ ලේඛනයක් නොවේ; එය කමිටුව විසින්, එහිම සාකච්ඡාව තුළ, නිවැරදි යැයි වටහා ගන්නා ලද මූලෝපායික ඉදිරි දර්ශනයකි. සටන භාර ගැනීමට කැමති සෑම කම්කරුවෙකුටම සහ තරුණයෙකුටම විප්ලවවාදී පක්ෂය එම ඉදිරි දර්ශනය සහ එහි දේශපාලන සහයෝගය ලබා දෙයි. SLLA ඒ සඳහා කැපවී සිටී. එහෙත් ඉදිරි දර්ශනයක් අනුගමනය කිරීමේ තීරණය සහ පක්ෂයට බැඳීමේ තීරණය යනු කමිටුවේ සෑම පුද්ගලයෙකුම තම තමන්ගේ අධ්‍යයනය සහ අත්දැකීම් හරහා තමන් විසින්ම ගත යුතු තීරණ වේ. සසප හෝ SLLA වෙත බැඳෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා නොසිටිමු. පන්ති අරගලය මතු කරන ප්‍රශ්න පිළිබඳව බැරෑරුම් ලෙස සිතන ලෙසත්, වැඩ කරන පන්තියේ අවශ්‍යතාවල ප්‍රමිතියට අදාලව — අපගේ ප්‍රවණතාව ඇතුළු — සෑම දේශපාලන ප්රවණතාවක්ම පරීක්ෂා කරන ලෙසත් අපි ඔබෙන් ඉල්ලා සිටිමු.
- කෙසේ වෙතත්, අපි අවධාරණය කරන්නේ, වෘත්තීය සමිති නිලධාරී තන්ත්රය, සෑම ධනපති පක්ෂයක්ම සහ සෑම ව්‍යාජ-වාම පක්ෂයක්ම පිළිබඳ විවේචනාත්මක තක්සේරුවක් කමිටුවේ දේශපාලන පදනම්වලට ඇතුළත් විය යුතු බවයි. මෙම තක්සේරුව සිදු කිරීම ප්‍රතික්ෂේප කරන කමිටුවක් — එනම් ජවිපෙ (JVP), FSP, වෘත්තීය සමිති නායකයන් සහ ධනපති පක්ෂ යනු ජයගත යුතු බාධක ලෙස නොව පීඩනය යෙදිය යුතු සුජාත හවුල්කරුවන් ලෙස සලකන කමිටුවක් — ස්වාධීන ක්‍රියාකාරී කමිටුවක් නොවේ. එවැන්නක් 2022 අරගලය පාවා දුන් බලවේග සඳහාම සාමාජිකයන් බඳවා ගැනීමේ භූමියක් වේ. මෙම බලවේග පිළිබඳ විවේචනාත්මක තක්සේරුව යනු කට්ටිවාදී (sectarian) මැදිහත් වීමක් නොවේ; එය කමිටුවේ ස්වාධීනත්වයේ සහ, එමඟින්, එහි පැවැත්මේ පූර්ව කොන්දේසියයි.
අවසාන වදනක්
- සහෝදරවරුනි, කොළඹ ක්‍රියාකාරී කමිටුව යළි පිහිටුවීම බැරෑරුම් හා අත්‍යවශ්‍ය කාර්යයකි. වාස්තවික (objective) තත්ත්වය එය ඉල්ලා සිටී. ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර මට්ටමින් වැඩ කරන පන්තිය තමන් විසින් නිර්මාණය නොකළ අර්බුදයක් මගින් අරගලයට තල්ලු කරනු ලබමින් සිටින අතර, එය නියෝජනය කරන බවට කියාපාන සංවිධාන මඟින් සෑම අවස්ථාවකදීම එය පාවා දෙනු ලැබේ. මහජනතාවට කළ හැකි දේ අරගලය-2022 මඟින් පෙන්නුම් කරන ලදී. එම හැකියාව සංවිධානය කර දේශපාලන දිශානතියක් ලබා නොදුන් විට කුමක් සිදුවේද යන්නද එය පෙන්නුම් කළේය.
- ස්වාධීන, ප්රජාතන්ත්රවාදී, වැඩ කරන පන්තිය තුළ මුල් බැසගත්, පන්ති වැඩපිළිවෙළකින් සන්නද්ධ වූ සහ ජාත්‍යන්තර අරගලයට සම්බන්ධ වූ සැබෑ ක්‍රියාකාරී කමිටුවකට, මහජනතාවගේ මීළඟ නැගීසිටීම එම පාවාදීමෙන්ම අවසන් නොවන බව සහතික කිරීමේදී, තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. මෙම වැඩ කටයුතු සඳහා අපගේ පූර්ණ දේශපාලන සහයෝගය අපි ඔබට ලබා දෙන අතර, අපි ඉස්මතු කර ඇති කොන්දේසි මත පදනම්ව ඉදිරියට යන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු: දේශපාලන පදනම් පිළිබඳ විවෘත සාකච්ඡාව, ප්රජාතන්ත්රවාදී සංවිධානය, පන්ති වැඩපිළිවෙළක් සහ ධනපති පන්තියේ සෑම බලවේගයකින් සහ එහි ව්‍යාජ-වාම හා වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් ස්වාධීන වීම.
- කර්තව්‍යය විශාලය, එහෙත් වැඩ කරන පන්තියට ඇති බලවේග ඊටත් වඩා විශාලය. ප්රශ්නය වන්නේ ඒවා සංවිධානය කරනු ලබන්නේ ද යන්නයි.
සහෝදරත්වයේ සුබපැතුම් සමඟ,
සංජය ජයසේකර,
සාමාජික, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය [Socialist Lead of Sri Lanka and South Asia – SLLA],
හිටපු සභාපති, කොළඹ ක්‍රියාකාරී කමිටුව (CACPS) සහ කලාවේ හා ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (ACDAE).
