WSWS වාර්තාකරණ කණ්ඩායම.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 18 දින “Mass mobilisation of youth and “Yellow Vests” shakes the French government” යන හිසින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

ද්විතීයික පාසල් (high school) ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල කෙරෙන මර්දනයට සහ ඉහළ යන බලශක්ති ගාස්තු හා ජීවන වියදමට එරෙහිව ඊයේ ප්‍රංශය පුරා අතිවිශාල ජනකායක් විරෝධතාවල නිරත වූහ. ද්විතීයික පාසල් සිසුන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීමට සහ පොලිසිය විසින් ඔවුන්ට සිදු කරන ලද තුවාල කිරීම්වලට එරෙහිව කෝපය ඇවිලී යද්දී, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති විය. බොහෝ නගරවල පැමිණි අතිවිශාල විරෝධතාකරුවන් හමුවේ පොලිසිය අසරණ විය.
ඊයේ රාත්‍රී අගභාගයේදී, ප්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම අන්තර්-වෘත්තීය සමිති සන්ධානය විසින් ගණනය කරන ලද විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව, ප්‍රංශය පුරා 400,000 සිට 550,000 දක්වා ඉහළ දමමින් සිය තක්සේරුව සංශෝධනය කළේය. පැරිස් නුවර විරෝධතාකරුවන් 110,000 ක් ද, මොන්පෙලියර් හි 35,000 ක් ද, ටූලූස් හි 32,000 ක් ද, නැන්ට්ස් සහ ලියොන් හි 20,000 බැගින් ද සිටි බව එය වාර්තා කළේය. ප්‍රදේශයේ සංවිධායකයින් වාර්තා කළේ ලිල් හි 80,000 ක් ද, රෙනස් සහ කාන් හි 30,000 බැගින් ද, ස්ට්රාස්බර්ග් හි 20,000 ක් ද, බ්‍රෙස්ට් සහ බෙසන්කොන් හි 10,000 බැගින් ද, සහ සමස්ත ප්‍රංශය පුරා 800,000 ක ජනතාවක් එකතු වී සිටි බවයි.
මෙම සංඛ්‍යාලේඛන තවමත් සැබෑ තත්ත්වයට වඩා අඩුවෙන් දක්වන්නකි. බෝඩෝ හි, ප්‍රාදේශීය පරිපාලනය විසින් විරෝධතාකරුවන් 7,000 ක සංඛ්‍යාවක් ඉදිරිපත් කළ අතර CGT (වෘත්තීය සමිති සන්ධානය) 100,000 ක් ගණනය කළේය. මාර්සෙයි හි ද ඊට සමාන සංඛ්‍යාවක් සහ පැරිස් නුවර සිය දහස් ගණනක් විරෝධතා දැක්වූහ. නිවාස අර්බුදය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මිලියන ගණනක ජනතා විරෝධතා සිදුවෙද්දී සහ බෙල්ජියම, පෘතුගාලය හා අයර්ලන්තය යන රටවල සමාජ කප්පාදුවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජන පැවැත්වෙද්දී, ඊයේ ප්‍රංශයේ විරෝධතාවලට එක්වූ පිරිස සැකයකින් තොරව මිලියන ගණනක් විය.
මැක්රොන් බලයෙන් පහ කිරීමටත්, සමාජ කප්පාදුව සහ යුරෝපයේ යුද්ධ උත්සන්න කිරීම නතර කිරීමටත් මහා වැඩවර්ජනයක් මෙතෙක් සිදුව නැත්තේ සටන් කිරීමට ඇති කැමැත්ත නොමැතිකම නිසා නොවේ. එය වෘත්තීය සමිති නිලධාරිවාදයේ සහ ජෝන්-ලුක් මෙලෙන්ෂොන්ගේ (Jean-Luc Mélenchon) ‘ලා ෆ්රාන්ස් ඉන්සුමීස්’ (La France Insoumise) වැනි ඔවුන්ගේ දේශපාලන මිත්රයින්ගේ විරෝධය සහ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙනි. අන්තර්-වෘත්තීය සමිති සන්ධානය නොවැම්බර් 5 වන දිනට නියම කර ඇත්තේ එක් දින ක්‍රියාමාර්ගයක් පමණි. ඒ, පන්ති අරගලයේ වර්ධනය පමා කිරීමට සහ කම්කරුවන් හා අප්‍රසාදයට පත් ප්‍රංශ රජය අතර විප්ලවවාදී ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙසයි.

ප්‍රධානතම කාර්යය වන්නේ නිලධාරි තන්ත්රය විසින් වැළැක්වීමට උත්සාහ කරන මහා වැඩවර්ජනය සූදානම් කිරීම සඳහා, වෘත්තීය සමිති උපකරණවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු තුළ කම්කරු පංතිය සංවිධානය කිරීම සහ සූදානම් කිරීමයි. කෙසේ වෙතත්, දැනටමත් තත්ත්වය රාජ්‍ය යන්ත්‍රණය සමඟ කෙරෙන ගැටුමක් බවට පත්වෙමින් තිබේ. විරෝධතාකරුවෝ ලිමෝජ් නගර සභාව ගිනිබත් කළහ, මාර්සෙයි සහ ලිල් නගර සභාවලට කඩා වැදුණහ, සහ බෝඩෝ හි පොලිස් ප්‍රධානියාගේ නිල නිවසට කඩා වැදුණහ. ටූලූස් සහ මෙට්ස් නගර සභා දෙසට මෙන්ම පැරිසියේ එලිසි (Elysée) මාළිගාව දෙසට ගමන් කළ පාගමන් පොලිසිය විසින් ආපසු හරවා යවන ලදී.
රජයේ සහ පාර්ලිමේන්තු පක්ෂවල නායකයින් සියලු දෙනාම, තම තමන්ගේ ආකාරයෙන් මෙම ව්‍යාපාරය පිළිබඳ බිය සහ විරෝධය ප්‍රකාශ කර ඇත. “අවුල් වියවුල් වපුරන අයට එරෙහිව අපි සියලු දෙනාම එකට සිටගන්නෙමු” යි මැක්රොන් පොරොන්දු විය. රිපබ්ලිකන් පක්ෂය (LR) වෙනුවෙන් බෲනෝ රෙටායෝ (Bruno Retailleau), විරෝධතාවල පැවැති “පෙර නොවූ විරූ තීව්‍රතාවය” හෙළා දුටු අතර, “රාජ්‍යයේ නොපසුබට බලය” සහ විරෝධතාකරුවන්ට “සිරදඬුවම්” දෙන ලෙස ඉල්ලා සිටියේය.

මෙලෙන්ෂොන් (Mélenchon) සිය මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් සහ කම්කරුවන් මහා වැඩවර්ජනයක් සහ විප්ලවවාදී අරගලයක් සඳහා බලමුලු ගන්වන ලෙස ඉල්ලා නොසිටියි. X හි සටහනක් තබමින් ඔහු පැවසුවේ “පොලිසිය නොමැති විට සෑම තැනකම අතිවිශාල පිරිසක්, ඉතා සන්සුන්ව සහ ප්‍රීතියෙන්” සිටින බවයි. සියල්ලටම වඩා, පොලිස් මර්දනය මගින් “අවුල් වියවුල් සඳහා දොරටු විවෘත කර ඇති බවට” පැමිණිලි කළ ඔහු, “කොල්ලකෑම් සහ විනාශ කිරීම්” හෙළා දුටු අතර, “දේශපාලන අර්ථයක් නැති සහ අපගේ ක්‍රමවේදයන්ට පටහැනි ක්‍රියාමාර්ගවලට සහභාගී වීම අප ප්‍රතික්ෂේප කළ යුතුය” යි අවධාරණය කළේය.
නව-ෆැසිස්ට්වාදී නැෂනල් රැලි (RN) පක්ෂය වෙනුවෙන් මරීන් ලෙ පෙන් (Marine Le Pen), “අති-වාමාංශිකයන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති” සහ “රට අවුල් ජාලයකට හෙළීමට උත්සාහ කරන” විරෝධතා හෙළා දුටුවාය. සැබවින්ම, ඊයේ සිදු වූ දැවැන්ත බලමුලු ගැන්වීම, ප්‍රංශයේ සහ යුරෝපය පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් “අති-වාමාංශිකයන්” ලෙස හඳුන්වන සංවිධානවල නායකයින්ගේ කුමන්ත්‍රණයක් නොවේ. එය අරගලය හරහා ඒ සංවිධානවලින් මිදීමට කම්කරුවන් සහ තරුණයන් දැරූ උත්සාහයකි.
පැරිසියේදී, ද්විතික පාසල් විරෝධතාකරුවන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් අඩපණ කිරීමට එරෙහිව තමන්ගේ ඇති විරෝධය, විශේෂයෙන්ම බලශක්ති ගාස්තු ඇතුළු ඉහළ යන බඩු මිල පිළිබඳ කෝපය, සහ පුළුල් ලෙස යුද්ධයට, පොලිස් රාජ්‍යයට හා ධනපති කතිපයාධිකාරයට (oligarchy) එරෙහි තමන්ගේ විරෝධය ගැන විරෝධතාකරුවෝ WSWS වෙත පැවසූහ. ඇල්ජීරියානු නිදහස් යුද්ධය පැවැති සමයේ, 1961 ඔක්තෝබර් 17 වන දින පැරිස් පොලිසිය විසින් ඇල්ජීරියානු විරෝධතාකරුවන් සමූලඝාතනය කිරීම සලකුණු කිරීම සඳහා බොහෝ විරෝධතාකරුවෝ ඇල්ජීරියානු ජාතික කොඩිය රැගෙන සිටියහ.
“කහ කබාකාරයෙකු” සහ පාපැදි අලුත්වැඩියා කරන්නෙකු වන ඔගස්ටින් පැවසුවේ තමා ද්විතීක පාසල් සිසුන්ට සහය පල කිරීමට සහ ආර්ථික අසමානතාවයට එරෙහිව විරෝධතාවල නිරත වන බවයි: “මැක්රොන්ගේ අවුරුදු 10 ඇතුළත, සාමාන්‍ය ප්‍රංශ ජාතිකයෙකුගේ වේතනයේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) සියයට 4 කින් 5 කින් අඩුවෙලා තියෙනවා. ඒත් බර්නාඩ් අර්නෝ (Bernard Arnault) තමන්ගේ වත්කම හතර ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. අපි දැක්කේ ඉතා දකුණාංශික ලිබරල් ප්‍රතිපත්තියක්. හාම්පුතුන්ගේ දායකත්වයන් අවුරුදු 10 ක කාලය තුළ අඩුම මට්ටමට අඩුවෙලා. ධන බද්ද අහෝසි කළා. කෝටිපතියන්ගෙන්, සාපේක්ෂව, අපෙන් අය කරනවාට වඩා අඩුවෙන් බදු අය කරන්නේ.”

විශේෂයෙන්ම රුසියාවට සහ ඉරානයට එරෙහි යුද්ධ හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුම් අඩාල වී මිල ගණන් අහස උසට ඉහළ යන පසුබිමක, යුද්ධයට එරෙහි සිය විරෝධය ඔගස්ටින් අවධාරණය කළේය: “අපි යුද්ධය සමනය කළ යුතුයි, ඒ වගේම හමුදාවේ ප්‍රමාණය අඩු කළ යුතුයි, අපේ සන්නද්ධ බලකායන් අඩු කළ යුතුයි, මොකද… අපේ අරමුණ ලෝක සාමය ඇති කිරීම නම්, ඒක හමුදා සම්පත් වැඩි කිරීමෙන් සිදු වෙන්නේ නැහැ.”
2027 ජනාධිපතිවරණයේදී මෙලෙන්ෂොන් පත්වීම මගින් යම් වෙනසක් සිදුවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පැවසූ ඔහු, මෙලෙන්ෂොන්ගේ පාලනය බලාපොරොත්තු කඩ කළහොත් තමන් වීදි බසින බව පැවසීය: “මෙලෙන්ෂොන් අපිට ද්‍රෝහි වුණොත්, අපි දස ගුණයක ශක්තියෙන් පාරට බහිනවා. මොකද ඇත්තටම, ඔහු අපේ අවසාන බලාපොරොත්තුව… මට නම්, මෙලෙන්ෂොන් කියන්නේ එක් අධියරක් විතරයි, අවසාන අරමුණ නෙවෙයි. ඒක ඇත්තටම අවසානය නෙවෙයි.”

ශිෂ්‍යයෙකු වන ඊතන් (Ethan) මෙසේ පැවසීය: “ජාතික අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තියනවා. ප්‍රංශයේ කම්කරුවන්ට නරක ලෙසට සලකන්නේ. ප්රාග්ධනය — අපි ප්රාග්ධනයට විශාල තෑගි දෙන අතරේ ශ්රමයට වටිනාකමක් දෙන්නේ නැහැ. මධ්‍යම පංතිය සහ කම්කරු පංතිය දැඩි ලෙස පීඩාවට පත්වෙනවා. ඒක අවමානයක්, ඒ නිසයි අපි මෙතනට ආවේ, අපිට මේක එපා කියලා කියන්න.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “මම වෘත්තීය සමිති එක්ක සම්බන්ධ නැහැ, මට තොරතුරු නැහැ, ඒත් මම හිතන්නේ ඒක නින්දා සහගතයි. බලය සහ සංවිධානාත්මක සම්පත් තියෙන වෘත්තීය සමිතිවලට වඩා වේගයෙන් ජනතාවට තමන්ම සංවිධානය වෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

ආතර් (Arthur) ලොරේන් හි කුරුසය (Cross of Lorraine) සහිත කොඩියක් රැගෙන ගියේ ප්‍රංශ ස්වෝත්තමවාදයෙන් නොව, ෆැසිස්ට් විරෝධය සහ ප්‍රතිරෝධී (Resistance) ව්‍යාපාරයේ මතකයට වාමාංශික අන්තර්ගතයක් ලබා දීම සඳහාය: “ලොරේන් හි කුරුසය කියන්නේ නිදහස් ප්‍රංශයේ, ඒ කියන්නේ 1940 ගණන්වල නාසීන්ට සහ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කළ ‘ප්‍රතිරෝධය’ ව්‍යාපාරයේ සංකේතයයි. අද, හොලෝකොස්ට් (යුදෙව් සමූලඝාතනය) නැතැයි කියන පිරිස් විසින් මෙම සංකේතය කෙලෙසනවා අපි දකිනවා. මෙම සංකේතය නැවත අත්පත් කර ගැනීම වැදගත්; එය ෆැසිස්ට් විරෝධයේ ශක්තිමත් සංකේතයක් ලෙස පවතිනවා… මම උත්සාහ කරන්නේ ඊට නැවත වාමාංශික අන්තර්ගතයක් දෙන්න.”
කොලින් (Coline) WSWS වෙත මෙසේ පැවසුවාය: “මම ද්විතීක පාසල් ශිෂ්‍යාවක්, මම මෙතන ඉන්නේ සියලුම අවාසිදායක තත්ත්වයන්හි පවතින ද්විතීක පාසල්වලට සහය දක්වන්න. උද්ධමනය, ඩීසල් මිල, ප්‍රංශයේ සෑම දෙයකම මිල ඉහළ යාම, සහ අපගේ පෙර බලමුලු ගැන්වීම්වලට එල්ල වූ පොලිස් මර්දනය යන සියල්ල සමග අරගලයන් එකිනෙක බද්ධ වීමක් මෙතන තියෙනවා. … බලයේ සිටින රජය ඉවත් විය යුතුයි, මොකද ඒක හොඳ රජයක් නෙවෙයි, ඒක ජනතාවට ඇහුම්කන් දෙන්නේම නැහැ.”

දෙවන ලෝක යුද්ධ සමයේ නාසීන් සමග සහයෝගයෙන් කටයුතු කළ ආඥාදායක පේටන්ගේ (Pétain) නම සඳහන් කරමින්, ඇගේ පුවරුවේ ආණ්ඩුව “පේටන්ගේ බල්ලන්” ලෙස හඳුන්වා තිබූ බව WSWS පෙන්වා දුන් විට, කොලින් පිළිතුරු දුන්නේ: “පැහැදිලිවම” යනුවෙනි. ප්‍රතිරෝධී ව්‍යාපාරය (Resistance) යනු ප්‍රධාන වශයෙන්ම කම්කරු පංතිය මත පදනම් වූ යුරෝපීය කැරලිකාර ව්‍යාපාරයක් වූ බවත්, යුරෝපය සහ ලෝකය පුරා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින බවත්, එය නැවත වරක් මහා වැඩවර්ජනයකට සහ විප්ලවවාදී අරගලයකට මග පාදන බවත් WSWS මතක් කර දුන්නේය. කම්කරුවන්ගේ ජාත්‍යන්තර විප්ලවවාදී බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනයට තමා එකඟ වන බව කොලින් පැවසුවාය.
වත්මන් ව්‍යාපාරය ගැන ඇය මෙසේ පැවසුවාය, “මෙය සමාජ පංති මට්ටමේ ව්‍යාපාරයක් ද වෙනවා, මොකද බලද්දී, දැන් අති-ධනවතුන් ඉන්නවා, ජනගහනයේ අනිත් කොටස් එක්ක බලද්දී ප්‍රංශයේ ඔවුන් කවදාවත් මෙච්චර ධනවතුන් වෙලා නැහැ. ඒ නිසා මෙය ද්විතීක පාසැල් සමාජ ව්‍යාපාර විතරක් නෙවෙයි, සමාජ පංති අරගලයක් ද විය යුතුයි. අපි අති-ධනවතුන්ට සහ බිලියනපතියන්ට එරෙහිව ද කැරලි ගැසිය යුතුයි. ඒ නිසා ඔව්, මෙය පෙර පැවැති ප්‍රතිරෝධී ව්‍යාපාරය හා දැඩි ලෙස දේංකාර දෙනවා, මොකද මෙය කම්කරු පංතියේ ව්‍යාපාරයක් විය යුතුයි.”

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය, “ඒ නිසා විප්ලවයක් වෙනවාට මම කැමතියි, සැබෑ විප්ලවයක් — ඒක ටිකක් සැර වැඩි ඇති — ඒත් සෑම දෙයක්ම පෙරළනවාට, අපිට අලුත් ක්‍රමයක් ලැබෙනවාට මම කැමතියි.“
ප්‍රංශයේ ද්විතීක පාසල් ව්‍යාපාරයේ සහ යුරෝපය පුරා කම්කරුවන්ගේ හා තරුණයන්ගේ දැවැන්ත බලමුලු ගැන්වීම් මගින් එවැනි ප්‍රතිඵලයකට මග පාදමින් සිටී. ධනපති ආණ්ඩු ඔවුන්ගේ පැත්තෙන් යුද්ධය, මර්දනය හෝ ආඥාදායකත්වයේ නැගීම නතර කරන්නේ නැත. ප්‍රංශයේ, ධනපති පන්තිය ඒ වෙනුවට මර්දනය තීව්ර කරන බවට පොරොන්දු වෙමින් සිටින අතර, ඊයේ පැවැති විරෝධතාවලදී පමණක් පොලිසිය විසින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරය ආරම්භ වූ තැන් සිට 8,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. සෙන්ට්-එටියන් (Saint-Étienne) හිදී පොලිස් අත්බෝම්බයක් නිසා විරෝධතාකරුවෙකුගේ අතක් වෙන් වී ගිය අතර, ඊයේ මර්දනයේ සමස්ත හානිය තවමත් අනාවරණය වී නොමැත.
1968 මැයි මාසයේදී මෙන්, මහා වැඩවර්ජනයක් පිළිබඳ පූර්ව අපේක්ෂාව විරෝධතාකරුවන් අතර එකහෙළා පාහේ පිළිගැනීමට ලක්ව ඇත. එවැනි ව්‍යාපාරයක් දැන් සූදානම් කළ යුතු අතර, එයින් පැනනගින විප්ලවවාදී කාර්යයන් සඳහා කම්කරු පංතිය සූදානම් කළ යුතුය. ප්‍රංශයේ සහ යුරෝපයේ සෙසු ප්‍රදේශවල දැනටමත් බලමුලු ගැන්වී ඇති තරුණයන් සහ කම්කරුවන් ක්‍රියාකාරී කමිටු තුළ එක්රැස් කිරීමත්, සේවකයින් සිටින ස්ථාන වෙත ගොස් කම්කරුවන් වඩාත් පුළුල් ලෙස බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටීමත් මීට අවශ්‍ය වේ. කාර්යය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවලට සහ ආඥාදායකත්වයට එරෙහිව මහා වැඩවර්ජනයකින් බලමුලු ගැන්වීමයි. එයින් ධනපති කතිපයාධිකාරයෙන් බලය උදුරාගෙන එය කම්කරුවන්ට පැවරීමේ අවශ්‍යතාවය මතු කරනු ඇත.
(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)
