මියේ: භූමියේ ජීවිතය – ග්‍රාමීය සංක්‍රාන්තියේ රැඩිකල් නිරූපණයක්

පෝල් මිචෙල් විසිනි.


මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 12 දින “Millet: Life on the Land—A radical depiction of rural transitionයන හිසින් පලවූ පෝල් මිචෙල් විසිනි විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

ලන්ඩනයේ ජාතික ගැලරියේ [ඔක්තෝම්බර් 19 දක්වා පැවැත්වෙන] “මියේ: භූමියේ ජීවිතය” සිතුවම් ප්‍රදර්ශනය ප්‍රංශ කලාකරු ෂෝන් ෆ්රන්ස්වා මියේ [Jean-François Millet (1814–1875)] ගේ අභාවයෙන් 150 වන සංවත්සරය සනිටුහන් කරයි. එය පරිමාණයෙන් චාම් නමුත් අනුනාදයෙන් පොහොසත් වන අතර, වසර පනහකට ආසන්න කාලයක් තුළ මියේ ගේ කෘති සඳහා කැපවූ එක්සත් රාජධානියේ පැවැත්වෙන පළමු ප්‍රදර්ශනය වෙයි. එය, දහනව වන සියවසේ මැද භාගයේ ප්‍රංශයේ කෘෂිකාර්මික ජීවිතය ආලෝකවත් කරන ඔහුගේ විශිෂ්ට සිතුවම් සහ චිත්‍ර ( paintings and drawings ) පහළොවක එකතුවකි.

Millet
ෂෝන් ෆ්රන්ස්වා මියේ, 1856-58 දී ඡායාරූප ගත කරන  ලදුව [ඡායාරූපය: Félix Nadar, මෙට්‍රොපොලිටන් කෞතුකාගාරය, නිව් යෝර්ක්]

මියේගේ කලාව අතුරුදහන් වෙමින් පවතින ගොවි ජනතාවක් සහ ධනවාදය විසින් දුප්පත් කර නිමක් නැති කොඳු නාරටි කඩා දමන ශ්‍රම වැගිරීමේ චක්‍රයකට ඇද දමා ඇති අලුතින් මතුවන ග්‍රාමීය ඉඩම් නොමැති කම්කරුවන්ගේ පන්තියක් ග්‍රහණය කර ගනී. ඔහු කෘෂිකාර්මික ශ්‍රමය පූජනීය තත්වයක ආසන්නයට ඔසවා තැබූ අතර, ලී ඉරන්නනන් සහ දැව එකතු කරන්නන්, එඬේරුන් සහ කිරි සේවිකාවන්–දිගු කලක් තිස්සේ නොසලකා හරින ලද, සංවේගාතිශය භාවයට (sentimentalised) ලක් කළ, කලාව තුල සමච්චලයට ලක් කරන ලද චරිත–ගෞරවනීය බවට හා අනුස්මරණීය බවට පත් කළේය.

නෝමන්ඩි හි ගොවි පවුලක උපත ලැබූ මියේ, ප්‍රාදේශීය අප්‍රසිද්ධියේ සිට පැරිසියානු කලා ලෝකයට යන ගමන, කලාත්මක උපදේශකයින් පරම්පරාවක්  විසින් හැඩගස්වන ලදී. 1849 දී, දේශපාලන කැලඹීම් මධ්‍යයේ, ඔහු අගනුවරින් සැතපුම් පනහක් දුරින් පිහිටි ග්‍රාමීය ගම්මානයක් වන බාබිසන් (Barbizon) වෙත පිටත්ව ගොස්, තියඩෝර් රූසෝ (Théodore Rousseau) සහ ෂොන්-බැටීස්ට්-කමී කොරො (Jean-Baptiste-Camille Corot.) ඇතුළත් කලාකරුවන්ගේ ජනපදයකට සම්බන්ධ විය.

බාර්බිසන් ගුරුකුලය ශාස්ත්‍රීය සම්භාව්‍යවාදයෙන් තීරණාත්මක බිඳීමක් සනිටුහන් කළ අතර, සොබාදහමෙන් සෘජු නිරීක්ෂණ (en plein air) උකහා ගැනීමේ පුරෝගාමී වෙමින් ග්‍රාමීය ජීවිතයේ සුන්දරත්වය සහ දුෂ්කරතා යන දෙකම කෙරෙහි අවධානය යොමු කළේය. ග්‍රාමීය ශ්‍රමය සෞන්දර්යාත්මකව හා සමාජීය වශයෙන් පහත් යැයි සැලකුණු හා ඉතිහාස සිතුවම්, මිථ්‍යා විෂයයන් සහ ප්‍රභූ ආලේඛ්‍ය චිත්‍ර (portraiture) කලාව ආධිපත්‍යය දරන යුගයක මෙය රැඩිකල් හැරීමකි.

“කලාවට එහි සැබෑ බලය ලබා දෙන්නේ උත්කෘෂ්ට හැඟීමෙන් යුතුව සාමාන්‍ය දෙය පිලිඹඳ කටයුතු කිරීම මගිනි” යන මියේගේ ප්‍රකාශය ඔහුගේ ආචාර විධිය  සංක්ෂිප්ත කරයි. ස්වභාවධර්මයේ භීෂණය හෝ විභූතිය තුළ උත්කෘෂ්ටභාවය සෙවූ ටර්නර් සහ ෆ්‍රෙඩ්රික් වැනි රොමෑන්තික පූර්වගාමීන් මෙන් නොව, මියේ එය සාමාන්‍ය සහ නොසලකා හරින ලද දේ තුළ සොයා ගත්තේය. ඔහු සංවේගාතිශය භාවයට (sentimentality) විරුද්ධ වූ අතර, මෙසේ අවධාරනය කළේය: “මට අවශ්‍ය සියල්ල දැඩි ලෙස සහ සම්පූර්ණයෙන්ම ඉදිරිපත් කිරීමට අවශ්‍යයි, මන්ද දුර්වල ලෙස පවසන දේ කිසිසේත් නොකියා සිටීම හොඳය.” 

ශිල්පක්‍රමය, තේමාව සහ සමාජ සම්බන්ධතාවය පිළිබඳ බාබිසන් පාසලේ නවෝත්පාදනයන්, යථාර්ථවාදය (realism) සහ ධාරණාවාදය (Impressionism) සඳහා අඩිතාලම දැමූ අතර, යුරෝපය පුරා සහ ඉන් ඔබ්බට කලාකරුවන්ට ආස්වාදයක් ලබා දුන්නේය.

ප්‍රදර්ශනය ආරම්භ වන්නේ The Sower (වපුරන්නා) (1847-48) සමඟිනි; එහිදී හුදකලා ගොවියෙකු අඳුරු කෙතක් හරහා පා තබමින් ගමන් කරයි, බීජ විසුරුවා හැරීම සඳහා අත විදා හරිමින් ඔහු, සීතල අහසකට එරෙහිව ඡායා දර්ශනයට (silhouette) ලක් කර ඇත. පොලවේ පැහැයන්ගෙන් සහ නිල් වර්ණයෙන් ඉදිරිපත් කරන ලද මෙම රූපය පැරිස් කලා සංස්ථාපිතය විසින් රළු, තර්ජනාත්මක සහ සමාජවාදී ලෙස හෙළා දකින ලදී.

Image Not Found
වපුරන්නා (1847-48) [ඡායාරූපය: Amgueddfa Cymru – ජාතික කෞතුකාගාරය වේල්ස්]

මියේ ප්‍රතිචාර දැක්වූයේ මෙසේය: “මම කිසිදා ප්‍රචාරණ අරමුණින් එක සිතුවමක්වත් පින්තාරු කර නැත්තෙමි.” එහෙත් ඇමරිකානු කවිවර වෝල්ට් විට්මන් මියේගේ කෘතිය තුළ ඔහුගේම දැක්මට දෘශ්‍ය සාදෘශ්‍යයක් දුටු අතර, එහි ඇති “උත්කෘෂ්ට අඳුරු බව සහ ප්‍රාකෘත සිර කළ කෝපය” නිර්මාණශීලී කලාකරුවා–එනම්, සමාජ වෙනසක් සඳහා ඇති ශක්‍යතාවය සහ බීජ යන දෙකම වපුරන තැනැත්තා–සඳහා නව මූලාකෘතියක් පෙරටු කරන බවට ප්‍රශංසා කළේය.

The Winnower (පොළන්නා) (1847–48) හි නිරූපණය කර ඇත්තේ වැරහැලි එතූ කලිසම් සහ පිදුරු පිරවූ සපත්තු පැළඳ සිටින තනි මිනිසෙකු, තිරිඟු බීජ රන් වලාකුළක් මුදා හැරීම සඳහා පුළුල් කූඩයක් සොලවන ආකාරයයි. Wood Choppers (දර කපන්නෝ) (1850) හි, මියේ මිනිසුන් දෙදෙනෙකු නිරූපණය කිරීමට කළු හුණු භාවිතා කරයි: එක් අයෙක් කෝටු මිටියක් බඳිද්දී, අනෙකා ලී කපන අතර, දුරස්ථ අයෙක් ගොඩවල් සාදයි. මෙම දර්ශන දර එකතු කිරීමේ නීත්‍යානුකූලව අවදානම් සහගත ශ්‍රමය හෙළි කරයි–එය, ප්‍රංශයේ නව වනාන්තර නීති යටතේ අපරාධකාරී කර පැවති අතර එය සාමූහික අයිතිවාසිකම් වලට ඉහළින් පුද්ගලික දේපළ සහ රාජ්‍ය පාලනය සඳහා වරප්‍රසාද ලබා දුන්නේය.

Milkmaid
A Milkmaid (1853) [ඡායාරූපය: හෙන්රි බාබර් භාරය, බාබර් ලලිත කලා ආයතනය, බර්මින්හැම් විශ්ව විද්‍යාලය]

වැඩකර මහන්සිවී විවේක ගන්නා කාන්තාවන් දෙදෙනෙකු දක්වන The Faggot Gatherers (දර එකතු කරන්නෝ) (1850–55) හි මියේ මෙම තේමාවට නැවත පිවිසේ. ඇගේ තරුණ සහකාරිය සමග සංසන්දනය කරමින් වැඩිමහල් ස්ත්‍රියගේ ගැට ගැහුනු රළු අත් සහ වියැකී ගිය මුහුණ මත ආලෝකය පතිත වේ.  තාරුණ්‍යයේ අස්ථිර ස්වභාවය, වෙහෙසට පත් ගැහැණු ළමයෙක් පාත්තයින් රෑනක් මධ්‍යයේ ඇගේ සැරයටිය මත හේත්තු වී සිටින The Goose Girl at Gruchy (1854–56) සිතුවමේ ද, සඳ එළිය සුදු පැහැයෙන් රූපය පුරවා, පාරලෞකික, ආගමික රශ්මි මණ්ඩලයකට ආසන්න ස්වභාවයක් ඇයට ලබා දෙන A Milkmaid (කිරි කාරී) (1853) සිතුවමෙහි හි ද, පුනරාවර්තනය වේ.

The Wood Sawyers (ලී ඉරන්නෝ) (1850–52) මියේගේ ස්වභාවවාදය (naturalism) සහ රූපමය සංයුතිය නිදර්ශනය කරයි. පිටුපසින් බැලූ විට පෙනන පරිදි, හැඩි දැඩි ඇඟ පත ඇති කම්කරුවෝ දෙදෙනෙක් දැවැන්ත ගස් කඳක් කපන අතරතුර දිගු කියතක් සමඟ පොරබදති. රතු පැහැයෙන් සැරසුණු තුන්වන තැනැත්තෙක් පොරවක් හසුරුවයි. දැව ඉරීම පහත් තරාතිරමේ කාර්යයක් වුවද, සිතුවමේ වර්ණ එලකය–නිල්, සුදු සහ රතු–ප්‍රංශ ත්‍රිවර්ණ ධජය සහ එහි විප්ලවීය පොරොන්දුව වන නිදහස, සමානාත්මතාවය සහ සහෝදරත්වය අවදි කරයි.

Image Not Found
The Wood Sawyers (1850-52) [ඡායාරූපය: V&A රූප / වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරය, ලන්ඩන්]

ප්‍රදර්ශනයේ කේන්ද්‍රීය අංගය වන L’Angélus (1857–59), අර්තාපල් අස්වැන්න නෙළන ගොවීන් දෙදෙනෙකු, පල්ලියේ සීනුවේ හඬට සවස් යාමයේ යාච්ඤා කරන ආකාරය නිරූපණය කරයි. ග්‍රාමීය ප්‍රංශයේ දිනකට තුන් වරක් කියවන මෙම කතෝලික යාඥාවට තම ආච්චි තමා සහ ඔහුගේ සහෝදර සහෝදරියන් එක් කර ගන්නා ආකාරය මියේ සිහිපත් කළේය. දර්ශනය සංකේතාත්මක විස්තර වලින් පොහොසත් ය: හිරු බැස ගොස්ය, එහෙත් තවමත් කම්කරුවන්ගේ නැමුණු හිස්, පිදුරු මිටි සහ වක්‍ර වූ මිට දිග මුල්ලුව රන්වන් ආලෝකයෙන් නහවයි.

මියේගේ ජීවිතයේ අවසානයට ආසන්නව පින්තාරු කරන ලද අවසාන කෘතිය වන Winter: The Faggot Gatherers (1868–75) සිතුවම ශෝකාකූල හැගිම් සිත තුල රාව නංවන නිම නොකළ කැන්වසයකි. දරවලින් බර වූ කාන්තාවන් තිදෙනෙක්, දැඩි ශීශීර භූ දර්ශනයක් හරහා අස්ථායී ලෙස පිය නගති–මෙය, ආන්තික වෙහෙසට පත්වීම හා විඳදරාගැනීම පිලිබඳ දෙස් දීමකි.

Millet painting
L’Angelus (1857-59) [ඡායාරූපය: Musée d’Orsay, Dist. Grand Palais Rmn / Patrice Schmidt]

එහෙත් මෙම කෘතිවල ප්‍රබලත්වය තිබියදීත්, ප්‍රදර්ශනයේ භාරකරුවෝ මියේගේ රැඩිකල් දැක්ම සඳහා ඉතා සුළු ඓතිහාසික සන්දර්භයක් පමණක් ඉදිරිපත් කරති. ඔහුගේ කලාත්මක ජයග්‍රහණ ඔහුගේ ගොවි සම්භවය සහ ඔහුගේ වාසනාවට ලැබුනු උපදේශකත්වයට ආරෝපණය කර ඇති අතර, 1849 දී ඔහු පැරිසියෙන් පිටවීම “ව්‍යාකූලක් තත්ත්වයට” ප්‍රතිචාරයක් ලෙස අවිශද ලෙස පැහැදිලි කර ඇත.

නමුත් ඩේවිඩ් නෝර්ත් 2011 දී ඔහුගේ “1848 විප්ලවයන් සහ මාක්ස්වාදී මූලෝපායේ ඓතිහාසික පදනම්” යන දේශනයේදී සඳහන් කළ පරිදි, “යුරෝපය දේශපාලන පිපිරීමක අද්දර සිටියේය… ධනවාදය, වැඩ කරන ජනගහනයේ පුළුල් කොටස් කෙරෙහි විනාශකාරී බලපෑමක් ඇති කළ ප්‍රධාන ආර්ථික අර්බුදයක වෙලී සිටියේය. 1846-47 වසර, දහනව වන සියවසේ පෙර කිසිදු කාල පරිච්ඡේදයකට වඩා විශාල පරිමාණයකින් මානව දුක් වේදනා අත්විඳියේය. පුළුල් සාගතයක් ඇති කළ බෝග වගා අසාර්ථකත්වයකින් ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය. විරැකියා අනුපාතය අහස උසට නැගුනි.”

Image Not Found
ශීත ඍතුව: The Fagot Gatherers (1868-75) [ඡායාරූපය: Amgueddfa Cymru – ජාතික කෞතුකාගාරය වේල්ස්]

1848 දී, “පුරවැසි රජු” ලුවී-පිලිප්ගේ දූෂිත පාලනය, මියේ කෙටි කලක් සහභාගී වූ මහජන නැගිටීමකින් පෙරලා දමන ලදී. කැරැල්ල, කොන්සර්වේටිව් ධනේශ්වර තාවකාලික රජය විසින්  තලා දැමුනි.

1847 දී කොමියුනිස්ට් ප්‍රකාශනය (The Communist Manifesto) සහ 1850 දී ප්‍රංශයේ පන්ති අරගල (The Class Struggles in France) ප්‍රකාශයට පත් කළ කාල් මාක්ස්ට, පැරිසියානු කම්කරු පන්තිය මර්දනය කිරීම ලෝක-ඓතිහාසික සිදුවීමක් විය. එය ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස පිළිබඳ සටන් පාඨ පිටුපස ඇති පන්ති ගැටුමේ කුරිරු යථාර්ථය හෙළි කළේය. මාක්ස් ලියූ පරිදි, ධනේශ්වර ජනරජය එහි “කැළැල් සහිත, සමහන් කළ නොහැකි, පරාජය කළ නොහැකි සතුරා” වන කම්කරු පන්තියට එරෙහිව මුහුණ දීම සඳහා  “වහාම ධනේශ්වර ත්‍රස්තවාදය බවට හැරවීමට” නියමිතව තිබුණි.

මියේගේ කෘති රසාස්වාදනයේදී මෙම සිදුවීම් බැහැර කිරීම යනු ඔහුගේ කලාවේ සැබෑ වැදගත්කම අවතක්සේරු කිරීමයි: ඔහුගේ කලාව, ප්‍රතිවිරෝධතාව, අරගලය සහ පරිවර්තනය මගින් සලකුණු වූ යුගයක පරිපූර්ණ ආවර්ජනයකි.

අද දින, මියේ සහ බාබිසන් පාසලේ කෘති ඓතිහාසික ලේඛන ලෙස පමණක් නොව, මනුෂ්‍යත්වය, සොබාදහම සහ වඩාත් සාධාරණ සමාජයක් පරිකල්පනය කිරීමේදී කලාකරුවාගේ භූමිකාව පිළිබඳ දූරදර්ශී භාවනාවන් ලෙසද නොනැසී පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top