ඊශ්‍රායල යුද යාන්ත්‍රණයට එරෙහිව සහයෝගිතා ක්‍රියා මාර්ගයකට පලස්තීන වෘත්තීය සමිති කල කැඳවුම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය වෘත්තීය සමිති නිශ්ශබ්දතාවයේ 

ටෝනි රොබ්සන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ ‘British trade union leaders silent on Palestinian trade unions’ call for solidarity action against Israeli war machine’ යන ටෝනි රොබ්සන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  ආර්. පෙරේරා විසිනි.

වොෂින්ටනයේ සහ ලන්ඩනයේ සහයෝගය ලබමින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ පලස්තීන ජාතිකයන්ට එරෙහිව දිගටම කරගෙන යන්නා වූ අත්‍යන්ත සාහසිකකම් ඉදිරියේ, යුද මෙහෙයුම් නැවත්වීමට සහයෝගිතා ක්‍රියාමාර්ගයක් සඳහා පලස්තීන වෘත්තීය සමිති සිදු කර ඇති කැඳවීමට, බ්‍රිතාන්‍ය වෘත්තීය සංගම් මාරාන්තික නිශ්ශබ්දතාවයක් පවත්වාගෙන යමින් සිටී. 

සඳුදින, පලස්තීන ගාසා වෘත්තීය සංගම්වල පොදු සම්මේලනය (PGFTU) සහ තවත් සංගම් හා වෘත්තීය සංවිධාන 31ක්, “සියලු අයථා මැදිහත්වීම් නවතනු, ඊශ්‍රායලය සන්නද්ධ කිරීම නවත්වනු, පලස්තීන වෘත්තීය සංගම්වලින් නිකුත් කෙරෙන හදිසි ඉල්ලීමක්” මැයෙන් වන කැඳවීමක්, ලෝකය පුරා සිටින සිය සගයන් වෙත නිකුත් කලෝය. 

මෙම විවෘත ලිපිය, පලස්තීන ජාතිකයන්ගේ ආරක්ෂාවට  ඉදිරිපත් වන ලෙසත්, ඊශ්‍රායල යුදමය ප්‍රහාර නැවතීමට මැදිහත් වන ලෙසත් කම්කරු පංතියට කරන සෘජු ඇමතුමක් විය. සිවිල් වැසියන් මතට සැලසුම්ගතව කරන බෝම්බ හෙලීම්, මාරාන්තික සුදු ෆොස්පරස් හා රසායන අවි භාවිතය සහ මිලියන 2.3ක් වූ ගාසා ජනතාව මත පටවා ඇති සාමුහික දන්ඩන වන ජලය, ආහාර, ඉන්ධන සහ වෛද්‍ය සැපයුම් කපාහැරීම් ද ඇතුලු අවම වශයෙන් පලස්තීන ජීවිත 4,000 ක් විනාශ කල වඩවඩාත් උත්සන්න කෙරෙන යුද අපරාධ සඳහා “බටහිර ජාතින්ගේ රැකවරනය” ඊශ්‍රායලයට ලැබෙන අයුරු පැහැදිලි කරයි.   

“ මෙම තීරනාත්මක, උග්‍ර ජනඝාතනයේ තතු වැලැක්විය හැක්කේ, පලස්තීන ජනතාව කෙරේ දැල්වෙන ගෝලීය සහයෝගිතාවය ඊශ්‍රායල යුද යාන්ත්‍රනය අක්‍රීය කල හැකි පරිමානයේ ඉහල දැමීමකින් පමනි.” 

Uni9ns
(CWU/ සන්නවේදන කම්කරු සමිතිය) ප්‍රධාන ලේකම් ඩේව් වෝඩ් (වමේ) සහ (RMT/දුම්රිය සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමය) ප්‍රධාන ලේකම් මික් ලින්ච්

PGFTU පොදු සම්මේලනය විසින් ඉදිරිපත් කෙරී ඇති සහයෝගිතා ක්‍රියාමාර්ග සඳහා වූ ඉල්ලීම සම්බන්ධයෙන්, ප්‍රධාන වෘත්තීය සංගම් තුනක නායකයන් හා විධායකයන් වන දුම්රිය, සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමයේ (RMT) මික් ලින්ච්, යුනයිට් (Unite) හි ෂැරන් ග්‍රැහැම් සහ සන්නිවේදන කම්කරු සංගමයේ (CWU) ඩේව් වෝඩ් වෙත, ඔක්තෝබර් 18 වන දින ලෝක සමාජවාදි වෙබ් අඩවිය (WSWS) ලිපියක් යැවීය. වෘත්තීය සමිති නිලධරය කම්කරුවන්ගේ ගැලවුම්කරුවෝ වෙතිය යන බොරුව පවත්වා ගැනීම සඳහා, මාධ්‍ය ද, වමුන් ලෙස තමා හඳුන්වා ගන්නා ව්‍යාජ වම්මු ද මෙම නායකයන්ගේ කීර්තිනාමය ඔපදමමින්, ඔවුන් ඔසවා තබති.  

ලෝක සමාජවාදි වෙබ් අඩවිය, PGFTU කල ඉල්ලීම් උපුටා දක්වමින්, ක්ෂනික පිලිතුරක් පහත සඳහන් පරිදි ඉල්ලා සිටියේය. 

  1. ඊශ්‍රායලයට යැවීම සඳහා නියමිත ආයුධ නිශ්පාදනය කිරීම ප්‍රතික්ෂේප කරනු,
  2. ඊශ්‍රායලයට යුද අවි ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කරනු,
  3. මේ සඳහා යෝජනා සම්මත කරනු,
  4. ඊශ්‍රායලයේ කුරිරු සහ නීති විරෝධි වැටලීම් තත්ත්වයට සහාය දෙන සමාගම්වලට එරෙහිව – විශේෂයෙන්, ඔවුනට ඔබගේ ආයතනය හා ගිවිසුම් ඇත්නම් – ඒවාට එරෙහිව ක්‍රියා මාර්ග ගනු, 
  5. ඊශ්‍රායලය සමඟ සියලු යුදමය වෙලඳ කටයුතු – ඇමරිකාව සම්බන්ධයෙන් ගත් කල යුද්ධයට අරමුදල් සම්පාදනය – නවත්වා දැමීමට ආන්ඩුවලට බලකරනු. 

ලෝක සමාජවාදි වෙබ් අඩවියට මෙතෙක් කිසිම පිලිතුරක් ලැබී නැත. ඒ තබා, පලස්තීන වෘත්තීය සංගම්වල විවෘත ඇමතුම මගින් කරන ලද ඉල්ලීමට ලින්ච්, ග්‍රැහැම් සහ වෝඩ් කිසිදු ප්‍රසිද්ධ ප්‍රතිචාරයක් ප්‍රකාශ කිරීමට හැකි තත්ත්වයක සිටින බවක් හෝ පෙන්වා නැත. 

දුම්රිය සාමුද්‍රීය හා ප්‍රවාහන සංගමය  (RMT ) ගාසා වැටලීමට එරෙහි එකම ප්‍රසිද්ධ ප්‍රකාශනයක් හෝ සිදු කර නැත. එපමනක් නොව, ඔවුන්ට විශේෂයෙන්ම කිසිදු සමාවක් දිය නො හැක්කේ, එය, ඉරානය, සිරියාව, හා ලෙබනනයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයකින් තර්ජනය කරන ඇමෙරිකන් යුද නැව් සමූහයේ කොටසක් ලෙස පලස්තීනයේ බෙල්ලට තොන්ඩුව හිර කිරීමට ඊශ්‍රායලයට සහයෝගය දීම සඳහා එම ප්‍රදේශයට යවා ඇති එක්සත් රාජධානියේ “කාර්යසාධන කණ්ඩායමේ”ම කොටසක් ලෙස තමා නියෝජනය කරමින්, රාජකීය සහායක නැව් සමූහයේ සේවයට තම සාමාජිකයන් නිල ඇඳුමින් සරසා යවා ඇති බැවිනි. 

කොන්සර්වේටිව් ආන්ඩුව ඔක්තෝබර 13 දාතමින් කල මාධ්‍ය නිකුතුව වූ, “ එක්සත් රාජධානි අගමැති, ඊශ්‍රායලයට සහාය පිනිස තම හමුදා මැද පෙරදිගට යොදවයි” යන්නෙහි, කිසිදු සැකයකට ඉඩක් තබා නැත. එය මෙසේ ප්‍රකාශ කරයි:

“යුදමය පැකේජයට P8 යුද යානා, ඔත්තු බැලීමේ සම්පත්,  RFA Lyme Bay සහ RFA Argus යන රාජකීය නාවික හමුදා නැව් දෙක, මෙර්ලින් හෙලිකොප්ටර තුනක් හා රාජකීය නාවික භට සමාගමක් ඇතුලුවන අතර, ඊශ්‍රායලයට හා ප්‍රදේශයේ සෙසු සගයන්ට ප්‍රායෝගික සහාය ලබාදෙනු පිනිස මේවා සීරුවෙන් තබා ඇත. ඒවායින් (සතුරා) අධෛර්යමත් කිරීම හා (මිතුරාට) සහතිකයක් ලබා දීම කරනු ලබයි.”

RFA Lyme Bay යනු ඇඳවල් 100 කින් යුත් රෝහල් නෞකාවක් බවටත්, මානුෂික සහාය සැපයීමට එයට ශක්‍යතාවයක් ඇති බවටත් සුනාක් රජය පම්පෝරි ගසයි. කෙසේ වෙතත්, ෆෝබ්ස් නෙට් පවසන පරිදි, “RFA Lyme Bay …. යනු, සටන් බලඇනියක් ලොව කොතැනකට හෝ රැගෙන යා හැකි, ගොඩබෑමේ නැව් තටාකයකි.”  

කාර්ය සාධන හමුදාව, දැනටමත් එම කලාපයේ රඳවා ඇති රාජකීය නාවික යුද නැව් දෙක වන, නැගෙනහිර මධ්‍යධරනී මුහුදේ ඇති HMS ඩන්කන් සහ පර්සියන් ගල්ෆ් වල රඳවා ඇති HMS ලන්කැස්ටර් සමඟ සම්බන්ධ වනු ඇත. 

ඊශ්‍රායලය විසින් ඝාතන ආරම්භ කරනු ලැබ දින 10 කට පසුව, ඔක්තෝබර් 18 දාතමින් යුත් අභ්‍යන්තර ලිපියක් ලින්ච් දුම්රිය සාමුද්‍රික හා ප්‍රවාහන සංගමයේ (RMT) ශාඛාවලට නිකුත්කලේය. සම්පූර්ණ නිෂ්ක්‍රියත්වය හේතුවෙන් එල්ල වූ සාමාජිකත්වයේ පීඩනය යටතේ, RMT ය ඊලඟ සෙනසුරාදා ලන්ඩන්හි පැවැත්වීමට නියමිත වෘත්තීය සමිති සමූහයේ මහජන විරෝධයට සම්බන්ධවන බවට නිවේදනය කලේය. RMT හි සහායක ප්‍රධාන ලේකම් එඩී ඩෙම්ප්සි හා ස්ටැලින්වාදී නායකයෙක් එහිදී කතාකරනු ඇත. මෙය ගාසා තීරයේ සිටින තම කම්කරු සහෝදරයන් හා සහෝදරියන්  ආරක්ෂා කිරීම සඳහා බ්‍රිතාන්‍ය කම්කරුවන් බලමුලු ගැන්වීම වෙනුවෙන් ඇඟිල්ලක්වත් එසවීම ප්‍රතික්ෂේප කර සිටින RMT ක්‍රියා කලාපය වසන් කිරීමකි. 

බ්‍රිතාන්‍ය නාවික බලඇනිය මගින් ගාසාව  අවහිර කිරීම උත්සන්න කිරීමට විරෝධයක් සංවිධානය කරනු වෙනුවට, RMT ලිපිය සඳහන් කරන්නේ, “අවසාන වශයෙන්, කලාපයට යවා ඇති රාජකීය නැව් සමූහයේ සහායක නැව්වල සේවය සඳහා” සිය “වෘත්තීය සමිති සාමාජිකයන් සේවයේ යෙදී සිටින බව දැනගැනීම වැදගත්  බවත්”, තම “සාමාජිකයන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන්” තමන්ට “දිය හැකි සෑම සහයෝගයක්ම දෙන” බවත් ය.

“වහා සාමය ගෙන ඒම හා එක්සත් ජාතින්ගේ යෝජනා සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ සාධාරන විසඳුමක් ඇති කර ගැනීම ඇතුලුව ඊශ්‍රායලයට ආයුධ විකිනීම නැවත්වීම” සඳහා සිදු කෙරෙන නාමමාත්‍ර ආයාචනයක් විනා, තව දුරටත් කුරිරුකම් වල යෙදීමට සුනැක් ආන්ඩුව හා ලේබර් පක්ෂය ලබා දී ඇති වරපත්‍රයට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් යෝජනා කර නැත. 

එ පරිදිම, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවලට (IDF) රජය විසින් නොකඩවා ආයුධ සැපයීමට එරෙහිව යුනයිට් (Unite) සාමාජිකයන් කිසිදු ක්‍රියා මාර්ගයක් ගැනීම වැලැක්වීමට ග්‍රැහැම් ක්‍රියා කර ඇත. ගාසාව මත වර්ෂාවක් සේ මරනය පතිත කරන F35 ලොක්හීඩ් මාටින් රහසිගත යුද ගුවන් යානාවල කොටස්වලින් 15% ක් සපයන BAE Systems වැනි එක්සත් රාජධානි යුධ කර්මාන්තය තුල Unite කම්කරුවෝ දසදහස් ගනනක් සේවය කරති. 

රුසියන් තෙල් සහ ගෑස් ප්‍රවාහන නෞකාවලින් ගොඩ බෑමේ කටයුතුවලින් වැලැකීමට බඩු ගොඩ බාන කම්කරුවන් විසින් ගනු ලැබූ තීන්දුවට Unison සමිතිය සමඟ එක් ව සහාය දෙමින් ග්‍රැහැම්, රුසියාවට එරෙහි ව නැටෝව විසින් බලල් අත් යොදා කරනු ලබන යුද්ධයේ වඩාත්ම ඝෝෂාකාරී සහායකයෙකු බවට පත් විය. යුනයිට් රැලි වල දී යුක්රේන ධජය ලෙල දුන්නේය. 

කෙසේවුවත්, පලස්තීන ජනයා සමූලඝාතනය කිරීමේ තර්ජනය ඉදිරියේ කිසිම ක්‍රියා මාර්ගයක් නොගැනීම බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට අඛන්ඩ ව සහයෝගය දීමෙන් ඔබ්බට යයි. යුනයිට් හි ඔක්තෝබර 16 දින මාධ්‍ය ප්‍රකාශය, ඒ වෙනුවට, “ සාමය සඳහා වැඩ කිරීමටත්, ජාත්‍යන්තර නීතියට ගරු කිරීමටත්, රාජ්‍ය දෙකක විසඳුමක් හා ගැටුම විසඳීමට සාමකාමි හා ප්‍රජාතන්ත්‍රවාදී විසඳුමක් කරා වූ මාවතක් සොයා ගැනීමටත් බ්‍රිතාන්‍ය රජයට කරන කැඳවීම් යලි අලුත් කරයි.” 

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය යුද අපරාධවලට පූර්න වශයෙන් සම්බන්ධ නැත යන ප්‍රබන්ධය පවත්වාගෙන යාමට පේ වී සිටින සන්නිවේදන කම්කරු සංගමය (CWU), තමන්ගේ සමිතිවල සිටින මිලියන 6ක සාමාජිකයන් ක්‍රියා මාර්ගයකට යාම වලක්වමින් ගාසා තීරය පිලිබඳව වෘත්තීය සමිති කොංග්‍රසය කර ඇති ප්‍රකාශයන්  නැවත නැවත පල කිරීමකට කොටු වී සිටී. එය, යුද්ධය උත්සන්න කිරීම අඩු කිරීමට හා සටන් විරාමයකට එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් කෙරුනු කැඳවීම් පිලිබඳ සඳහන් කරන්නේ, මෙම යුද්ධය කෙරේ දැක්වෙන සිය නිෂ්ක්‍රිය භාවය විසින් නියෝජනය කෙරෙන තුෂ්නිම්භූත සහයෝගය වසං කිරීමේ දේශපාලන තිමිර පටක් වශයෙනි.

ගාසාවට එල්ල කෙරෙන ඊශ්‍රායල් ජනඝාතක ප්‍රහාරවලට හා බ්‍රිතාන්‍යය එකී ප්‍රහාරකයන් සමඟ පවත්වන දුස්සන්ධානයට එරෙහිව මහජනයාගේ යුද විරෝධි හැඟීම් පිපිරී යාම, කම්කරු ජනතාව හා වෘත්තීය සමිති නිලධරයේ වරප්‍රසාදිත ස්ථර අතර ඇති අගාධය තව දුරටත් ගැඹුරු කර ඇත. 

මෑතක දී පැවැති කම්කරු පක්ෂ සම්මේලනයේ දී ලින්ච්, ග්‍රැහැම් සහ වෝඩ් ලද සෑම අවස්ථාවක දී ම ඒත්තු ගැන්වීමට උත්සාහ කලේ, යුද්ධයට මැදි වී සිටින කම්කරුවන් සුනාක් ආන්ඩුවෙන් ආරක්ෂා කිරීමේ එකම මාර්ගය වන්නේ කෙයිර් ස්ටාමර් සාමිවරයාට රුකුල් දීම සහ කම්කරු පක්ෂය බලයට ගෙන ඒම බවයි. එහෙත් පසුගිය සතිය තුල සිදුවීම් වලින් තහවුරු වී ඇත්තේ ලේබර් පක්ෂය ඇත්ත වශයෙන් ම ටෝරින් සමග තත්‍ය යුද සභාගයක පාර්ශවකරුවන් ලෙස ක්‍රියා කරන බවයි.  

පසුගිය වසර තුල, දුම්රිය, තැපැල් සේවය, අධ්‍යාපනය හා ජාතික සෞඛ්‍ය සේවයේ මිලියන දෙකක බලගතු වැඩවර්ජන රැල්ල කිසිදු එක්සත් ක්‍රියා මාර්ගයකට පැමිණීම වලක්වමින් හා එකකට පසු තවෙකක් වශයෙන් ඒවා විකුනා දැමීමේ ගිවිසුම්වලට යටත් කරමින් කම්කරුවන් නොමග යැවීමට හා පාවාදීමට ලේබර් පක්ෂය වෘත්තීය සමිති නිලධරය සමග එක් ව ක්‍රියා කලේය. මෙ මගින්, පන්ති අරගලය පාගා දැමීමේ ප්‍රධාන ක්‍රියා කලාපය ඒවා විසින් ඉටු කරනු ලැබීම පිලිබඳ ව හා සාමාන්‍ය කම්කරුවන්ගේ කැරැල්ලක අවශ්‍යතාවය පිලිබඳ ව නව පාඩමක් අපට සපයා ඇත. 

කම්කරු පංතිය, ඒකාබද්ධ ජාත්‍යන්තර බලමුලු ගැන්වීමක් හරහා මෙම යුද උන්මත්තකයන් නිරායුධ කල යුතුව ඇත. විනාශකාරි ගොඩබිම් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටින ඊශ්‍රායලයට කවර හෝ අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන් නිශ්පාදනය කිරීම, බෙදාහැරීම හා සැපයීම ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ට බලකර සිටිමු. 

ආරක්ෂක කර්මාන්තයේ යෙදී සිටින කම්කරුවන්, ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සන්නද්ධ කිරීමට අවශ්‍ය ආයුධ හෝ උපාංග නිපැයුම වර්ජනය කිරීමට සංවිධානය විය යුතුය. වරාය කම්කරුවන්, ගුවන් තොටුපල සහ ප්‍රවාහන කම්කරුවන් ආයුධ නැව්ගත කිරීම්වල යෙදීම ප්‍රතික්ෂේප කල යුතුය. ප්‍රදේශයේ හමුදා බලය වර්ධනය කිරීමේ කොටසක් ලෙස බ්‍රිතාන්‍ය හමුදා ප්‍රවාහනය කිරීම සඳහා සිවිල් නාවිකයන්ගේ ජීවිත අනතුරේ දැමීම නොකල යුතුය. සෙසු සියලු යුද අපරාධකරුවන් සමග සුනාක් සහ ස්ටාමර් ජාත්‍යන්තර අපරාධ අධිකරණයක් ඉදිරියට ගෙන ඒමට කෙරෙන දේශපාලන අරගලයක් සමඟ මෙම ක්‍රියාමාර්ග ඒකාබද්ධ කල යුතුව ඇත. 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top