ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 15 වන දින “European states refuse to join in US blockade of Strait of Hormuz targeting Iran” යන හිසින් පළවූ ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
පසුගිය සතියේ ඉරානයට එරෙහි ආක්‍රමණශීලී යුද්ධයේදී සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු, ට්‍රම්ප් ඉරිදා ප්‍රකාශයට පත් කළ හෝමූස් සමුද්‍ර සන්ධියේ අවහිර කිරීමට සම්බන්ධ වන ලෙස ට්‍රම්ප් පරිපාලනය කළ ඉල්ලීම් යුරෝපීය ආන්ඩු ප්‍රතික්ෂේප කර තිබේ. එමගින්, එක්සත් ජනපදය සමඟ වන යුරෝපීය සබඳතාවල දුරදිග යන සහ ඓතිහාසික බිඳවැටීමක් සිදුවෙමින් පවතින බව පෙන්නුම් කරයි.
ඒ සමගම, යුරෝපීය ධනේශ්වරයේ ප්‍රතිචාරය සියල්ලටම වඩා බියගුලුකම සහ කුහකකම මගින් සලකුණු කර ඇත. හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම යුද ක්‍රියාවක් පමණක්ම නොව, මෙම වසා දැමීම මගින් යුරෝපයට සහ මුළු ලෝකයටම අත්‍යවශ්‍ය තෙල්, ගෑස් සහ පොහොර සැපයුම් කපා හරිනු ඇත. එහෙත් යුරෝපීය රජයන් කිසිවක් අවහිර කිරීම හෙළා දැකීමට, එය අවසන් කිරීම සදහා කැඳවීමට, යුද්ධය නතර කිරීමට ඉල්ලා සිටීමට හෝ එක්සත් ජනපද රජයට මිලිටරි හා මූල්‍ය ආධාර දීම අවසන් කිරීමට එඩිතර වී නැත.
ඒ වෙනුවට, ඔවුන් නියෝජනය කරන දූෂිත ධනේශ්වර කතිපයාධිකාරයේ දෘෂ්ටිය පිළිබිඹු කරමින්, යුරෝපීය ආන්ඩු පර්සියානු ගල්ෆ් කලාපයේ නාවික මැදිහත්වීමක් පිළිබඳව සාකච්ඡා කිරීම දිගටම කරගෙන යන්නේ, එවැන්නක් මෙතෙක් එක්සත් ජනපද නාවික හමුදාව ඉරානයේ වෙරළට පහර දීමෙන් වළක්වා ඇති ඉරාන මිසයිල තර්ජනයටම මුහුණ දෙනු ඇති තත්ත්වයක් තුළය. වොෂින්ටනයෙන් ස්වාධීනව හෝමූස් සමුද්‍ර සන්ධියට සම්බන්ධීකරණය කරන ලද නාවික මෙහෙයුමක් සූදානම් කිරීම සඳහා සිකුරාදා දින, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය රටවල් 40 ක සන්ධානයක සමුළු රැස්වීමක් කැඳවා ඇත.
“සටන් වැද සිටින පාර්ශවයන්ගෙන් වෙන් වූ මෙම දැඩි ආරක්ෂක මෙහෙයුම, තත්වය ඉඩ දුන් වහාම යොදවනු ඇත,” ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පැවසීය. “රාජ්‍ය තාන්ත්‍රික මාර්ගය හරහා මැද පෙරදිග ගැටුමට ස්ථිර හා කල් පවතින විසඳුමක්, සෑම කෙනෙකුටම සාමයෙන් හා ආරක්ෂාවෙන් ජීවත් විය හැකි ශක්තිමත් රාමුවක් කලාපයකට සපයන විසඳුමක්” ඔහු ඉල්ලා සිටියේය. “ඉරානයේ න්‍යෂ්ටික සහ බැලස්ටික් ක්‍රියාකාරකම් මෙන්ම කලාපය තුළ එහි අස්ථාවර ක්‍රියාවන්” ඔහු හෙළා දුටුවේය.

මැක්‍රොන්ගේ මුසාවන් විශ්මයජනකය. මැද පෙරදිග සාමය හා ආරක්ෂාවට මූලික තර්ජනය පැමිණෙන්නේ මෙම යුද්ධය හෝ තමන්ට එරෙහිව දියත් කරන ලද වෙනත් කිසිදු යුද්ධයක් ආරම්භ නොකළ ඉරානයෙන් නොව, වොෂින්ටනයෙන් සහ ඇමරිකාවේ ෆැසිස්ට් ජනාධිපතිවරයා විසින් දියත් කරන ලද මෙම සමූලඝාතන යුද්ධයෙන් ය. මැද පෙරදිග සාමය සම්බන්ධයෙන් ගත් කල, ගාසා තීරයේ සමූල ජන සංහාරය මධ්‍යයේ ඊශ්‍රායල රජය සමඟ මැක්‍රොන්ගේ මිත්‍රත්වය නිරන්තරයෙන් අවධාරණය කිරීමෙන් පැරිසිය එයට වල කැපීමට හවුල් වේ.
ජර්මනියේදී ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස් ප්‍රතිචාර දැක්වූයේ, “මේ යුද්ධය අපේ යුද්ධයක් නොවේ, අපි එය ආරම්භ කළේ නැහැ… බලවත් එක්සත් ජනපද නාවික හමුදාවට පවා හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කර ගැනීම කල නොහැකි වූ විට, යුරෝපීය යුද නැව් අතලොස්සක් මගින් ඩොනල්ඩ් ට්‍රම්ප්ට හෝර්මූස් සමුද්‍ර සන්ධිය තුළ ඉටු කර ගැනීමට අවශ්‍ය වන්නේ කුමක්ද?” චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්ගේ කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කළේ ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ යුද්ධය “නේටෝව සමඟ කිසිදු සම්බන්ධයක් නැත” යනුවෙනි.
මර්ස්ගේ ප්‍රකාශය කණගාටුදායක මගහැරීමකි, මන්ද ට්‍රම්ප් ඉරානය සමඟ කරන යුද්ධය සහ විශේෂයෙන් ඔහු හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම යුරෝපයට ප්‍රධාන බලශක්ති සැපයුම් කපා හරින බව පැහැදිලි හෙයිනි. මෙය සිදු වන්නේ, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියාවට යන ජර්මනියේ නෝර්ඩ්ස්ට්‍රීම් නල මාර්ගය විනාශ කරන බවට තර්ජනය කිරීමෙන් පසුව එය විනාශ කිරීමෙනි. මෙසේ යුරෝපයේ බලශක්ති සැපයුම කපා හැරීමට සෘජුවම තර්ජනය කරමින් සිදුවන මෙම ස්ථාවර එක්සත් ජනපද ප්‍රතිපත්තිය, නිසැකවම “නේටෝව සමඟ සම්බන්ධ වේ.”
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් බීබීසී රේඩියෝවට මෙසේ පැවසීය: “අපි මෙම අවහිර කිරීමට සහාය නොදෙන්නෙමු; සියලු ආකාරයේ රාජ්‍ය තාන්ත්‍රික දක්ෂතාවහන්, දේශපාලනිකව සහ හැකියාවන් …ඒ සියල්ල අපගේ දෘෂ්ටි කෝණයෙන්, සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම විවෘත කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “පීඩනය කුමක් වුවත්–එමෙන්ම ඒ සඳහා සැලකිය යුතු පීඩනයක් තිබුණිද–අපි යුද්ධයට ඇදී නොයමු. එය අපගේ ජාතික අවශ්‍යතාවයන් සපුරන්නේ නොවේ, මන්ද එයට පැහැදිලි, නීත්‍යානුකූල පදනමක් සහ පැහැදිලි සිතා බලා කළ හැකි සැලැස්මක් නොමැති නම් මම ක්‍රියා නොකරමි.”
කම්කරු මුල් (කාලීන)අධ්‍යාපන අමාත්‍ය ඔලිවියා බේලිගෙන් ප්‍රශ්න කිරීමේදී යුරෝපීය රජයන්ගේ දෙබිඩි ස්ථාවරය මතු විය. ස්කයි නිවුස් මාධ්‍යවේදීන් ඇය එක්සත් ජනපද අවහිරයට සහාය දක්වන්නේ දැයි හය වතාවක් විමසීය. බේලි ඔව් හෝ නැත යනුවෙන් පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර, ඒ වෙනුවට ඇය නැවත නැවතත් පිළිතුරු දුන්නේ: “අපි අවහිරයට සහභාගී නොවන්නෙමු, එමෙන්ම මුහුදේ නිදහස් සංචලනයේ ඉතා වැදගත් මූලධර්මය අපි විශ්වාස කරන අතර හෝර්මුස් සමුද්‍ර සන්ධිය තුල නිදහස් සංචලනයක් දැකීමට අපට අවශ්‍යයි.”යනුවෙනි.
යුරෝපීය ආන්ඩු වල ප්‍රතිපත්තිය එක් මූලික පරස්පර විරෝධයක් සනිටුහන් කරයි. එක්සත් ජනපද රජය ඔවුන් ඉලක්ක කර ගනිමින් යුද පියවර ගන්නා විට, ඔවුන් පළිගන්නේ එක්සත් ජනපදයට එරෙහිව නොව ඉරානයට සහ මැද පෙරදිගට එරෙහිව ය. ට්‍රම්ප් සමඟ ඔවුන්ගේ සහයෝගිතාවයට යටින් පවතින්නේ පුද්ගලික බියගුලුකම පමණක් නොව, සියල්ලටත් වඩා වෛෂයික අධිරාජ්‍යවාදී අවශ්‍යතා ය. යුරෝපීය බලවතුන් මැදිහත් වන්නේ තමන්ගේම හමුදා කඳවුරු සහ මැද පෙරදිගින් ලබාගත් ලාභ ආරක්ෂා කර ගැනීමට සහ වෝල් වීදිය හා මූල්‍ය සබඳතා මෙන්ම ඇමරිකානු අධිරාජ්‍යවාදය සමඟ ඔවුන්ගේ නේටෝ මිලිටරි සන්ධානය පවත්වා ගැනීමට ය.
යුද්ධයේ ජීවිත හානි සහ ගැටුමෙන් මිලියන සංඛ්‍යාත කම්කරුවන්ගේ රැකියා සහ සමස්ත ජනගහනයේ මිලදී ගැනීමේ ශක්තිය කෙරෙහි ඇති කරන විනාශකාරී ආර්ථික බලපෑම පිළිබඳව මැක්‍රොන්, ස්ටාර්මර් සහ යුරෝපය පුරා අනෙකුත් ධනේශ්වර ආණ්ඩු වල නායකයින්ට එතරම් වැඩක් නැත. යුරෝපයේ හෝ ලෝකයේ වැඩ කරන ජනතාවගේ යහපැවැත්මට වඩා ට්‍රම්ප්ගේ යුද්ධයේ ආරම්භක අසාර්ථකත්වයෙන් වඩ වඩාත් තර්ජනයට ලක්ව ඇති ලෝක අධිරාජ්‍යවාදයේ මැද පෙරදිග ආධිපත්‍යය බේරා ගැනීම ගැන ඔවුන් ඊට වඩා බොහෝ සෙයින් සැලකිලිමත් වෙයි.
ඇමරිකානු අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තියේ වඩාත්ම ප්‍රතිගාමී අංගවලට අභියෝග කිරීම යුරෝපීය බලවතුන් ප්‍රතික්ෂේප කළද, වොෂින්ටනය සහ එහි යුරෝපීය නේටෝ “සහචරයින්” අතර භේදය දිනෙන් දින පුළුල් වෙමින් හා පුපුරන සුලු ලෙස වර්ධනය වෙමින් පවතී.
මේ සඳහා එක් ඇඟවීමක් වන්නේ නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් අතර වැඩෙන මූල්‍ය හා ආර්ථික ආතතීන් ය. යුරෝපය ට්‍රම්ප්ගේ තීරුබදු වලට යටත් නොවන්නේ නම්, එක්සත් ජනපද ස්වාභාවික ද්‍රව ගෑස් අපනයනය කපා හැරීමට ට්‍රම්ප් තර්ජනය කරන විට, යුරෝපීය පන්තියේ බලවත් බලවේග එක්සත් ජනපද ඩොලරයට එරෙහිව මාරුවක් ගවේෂණය කරමින් සිටී. මැදපෙරදිග තෙල් හා ගෑස් වෙළඳාමෙන් ඩොලරය කපා හැරීම නිසා බලශක්තිය මිලදී ගැනීම සඳහා රටවල් ඩොලර් තබා ගැනීමේ අවශ්‍යතාවය අඩු වන බැවින්, ඔවුන් ඩොලරයට විකල්ප කෙරෙහි උනන්දුවක් දක්වන බවට සංඥා කරයි.
මෙම මස මුලදී, ප්‍රංශයේ මහ බැංකුව පැරිසියේ තම සංචිත සුරක්ෂිතාගාරයේම තබා ගැනීම සඳහා රත්‍රන් මිලදී ගැනීමට එක්සත් ජනපදයේ ඉතිරිව ඇති රන් සංචිත ඈවර කළේය. ජර්මනියේ, ඉතාලියේ සහ අනෙකුත් ප්‍රමුඛ යුරෝපීය බලවතුන්ගේ නිලධාරීන් එක්සත් ජනපදයේ තබා ඇති තමන්ගේම රන් සංචිත යුරෝපයට ආපසු ලබා ගැනීමේ හැකියාව පිළිබඳව විවාද කරන අතරතුර මෙය සිදු වේ.
යුරෝක්ලියර් ගෙවීම් නිෂ්කාශන පද්ධතිය (Euroclear payment-clearing system), චීන බැඳුම්කරවල වැඩිපුර ආයෝජනය කිරීම සහ ඇමරිකානු ඩොලර් වත්කම්වලින් චීන රෙන්මින්බි-නාමික වත්කම් වෙත ප්‍රාග්ධනය මාරු කිරීම මගින් ඩොලරයෙන් ඈත් වීම සලකා බලන බවට ද සංඥා කර ඇත. එය ප්‍රකාශයක් නිකුත් කරමින් මෙසේ පැවසීය: “විවිධාංගීකරණය (Diversification) යනු ප්‍රාග්ධන වෙළඳපොළවල සැබවින්ම ක්‍රියාත්මකවීමට පටන්ගෙන ඇති දෙයකි. ගෝලීය ආයෝජකයින් සොයන ජාත්‍යන්තර ප්‍රමිතීන් සමඟ චීනයේ අවශ්‍යතා සහ නියාමන අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරය බැලීම සඳහා උත්සාහ කිරීමේ විවෘත කිරීමක් තිබේ.”
බලශක්ති කප්පාදුවක් පිළිබඳ එක්සත් ජනපද තර්ජන දෘශ්‍යමාන ලෙස යුරෝපීය ආර්ථිකයට මාරාන්තික තර්ජනයක් එල්ල කරන අතර, එවැනි මූල්‍ය පියවරයන් එක්සත් ජනපද ආර්ථිකයට ද ඒ හා සමාන තර්ජනයක් එල්ල කරයි. යුරෝපීය ආයෝජකයින් එක්සත් ජනපද වත්කම්වල ඇස්තමේන්තුගත මුළු ඩොලර් ට්‍රිලියන 8 ක්, භාණ්ඩාගාර බැඳුම්කර, කොටස් සහ ආයතනික (සංගත) බැඳුම්කර ලෙස තබාගෙන සිටින අතර එය එක්සත් ජනපද ස්වෛරී ණයෙන් සියයට 24 කට සමාන වේ. ඇමරිකානු ඩොලර් වත්කම් මත වැඩි වැඩියෙන් අඩු වන ප්‍රතිලාභ හේතුවෙන් හෝ එක්සත් ජනපද තීරුබදු හෝ බලශක්ති තර්ජනවලට පළිගැනීමක් ලෙස හෝ යුරෝපීය ආයෝජකයින් ඔවුන්ගේ එක්සත් ජනපද භාණ්ඩාගාර බැඳුම්කර ඉවත දැමුවහොත්, එය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 38 ක ස්වෛරී ණයෙහි දැවැන්ත අර්බුදයක් සහ එක්සත් ජනපද පොලී අනුපාත ඉහළ යාමක් ඇති කළ හැකිය.
නේටෝ අධිරාජ්‍යවාදී බලවතුන් අතර ඇති මෙම පුපුරන සුලු ගැටුම්, ධනේශ්වර ක්‍රමය තුළ ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර ඇති මූලික ප්‍රතිවිරෝධතාව නැවතත් පෙන්නුම් කරයි. 20 වන සියවසේ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන් එම සියවසේ ලෝක යුද්ධ දෙකෙහි මූලාශ්‍රය ලෙස එය හඳුනා ගෙන තිබුණි. 21 වන සියවසේ කම්කරුවන් සඳහා තීරනාත්මක කර්තව්‍යය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තිය තුළ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය කිරීම මගින් ධනවාදය ගෝලීය යුද්ධයට සහ සමූල ජන සංහාරයට වේගයෙන් ඇද වැටීම නැවැත්වීම සහ ධනේශ්වර කතිපයාධිකාරය අතින් බලය ලබාගෙන සමාජවාදය ස්ථාපිත කිරීමයි. (අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි)
