බයිඩන් මූලධර්මය: “එය පවතින තාක්” හෝ “කොපමණ  මැරුණත් කමක් නැත”

ඇන්ඩෘ ඩැමන්, ඩේවිඩ් නෝර්ත් විසිනි

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුලි 14 දින පල වූ ‘The Biden doctrine: “As long as it takes,” or “No matter how many die”‘ යන ඇන්ඩෘ ඩැමන් සහ ඩේවි් නෝර්ත් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

ගෝලීය යුද්ධයට සූදානම් වීමේ දී , මිලිටරි වියදම් දැවැන්ත ලෙස පුලුල් කිරීමට ප්‍රතිඥා දුන් නේටෝ සමුලුව අවසන් වීමෙන් පසු බදාදා, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩෙන් විල්නියස් හි වර්ගවාදී මැරවර ලිතුවේනියානු ජාතිකවාදීන්  පිරිසක් ඇමතීය.

බයිඩන් තම  කටුක වාග් ප්‍රහාරයෙන්, ඔහු පසුගිය වසරේ පෝලන්තයේ වෝර්සෝ හිදී පැවැත්වූ දේශනයට සමාන වූ තේමා ආමන්ත්‍රණය කළේය. එහිදී ඔහු “ පැමිනෙන ඉදිරි වසර සහ දශක ගනනාවක්” “සටන් කිරීමට” ප්‍රතිඥා දුන්නේය. නැවත 2022 දී, ජනාධිපතිරයාගේ  පිටපතක් නැති  තර්ජනාත්මක ප්‍රකාශ නිසා, ඔහුගේ ධවල ​​මන්දිර නිලධාරීන්ට  ජනාධිපතිගේ ඒවා ඉල්ලා අස්කර ගැනීමට බල කෙරුණි. නමුත් දැන් ඔහුගේ උපදේශකයින් බයිඩන්ගේ සටන්කාමී ප්‍රකාශ නැවත අර්ථකථනය කිරීමේ සහ වෙනස් කිරීමේ අවශ්‍යතාවය තවදුරටත් නොදකිති. එක්සත් ජනපද යුද අරමුනු ගැන ඔහු පවසන දේ , ඩිමෙන්ශියාව [ අමතක වීමේ මානසික රෝගය] නිසා ඇති වූ වැරදි නොව, අද ඔහුගේ පරිපාලනයේ ප්‍රතිපත්ති පිලිබඳ සැබෑ ප්‍රකාශයන් ය.

Biden
ජනාධිපති ජෝ බයිඩන් නේටෝ සමුළුවට සහභාගී වීමෙන් පසු 2023 ජූලි 12 වන බදාදා ලිතුවේනියාවේ විල්නියස් හි විල්නියස් විශ්ව විද්‍යාලයේදී කතා කරයි. [AP Photo/Susan Walsh]

විල්නියස් හි කතා කරමින් බිඩෙන් ප්‍රකාශ කලේ, “යුක්රේනය සඳහා අපගේ කැපවීම දුර්වල නොවනු ඇත. අපි විමුක්තිය සහ නිදහස වෙනුවෙන් අද, හෙට, සහ එයට ගතවන තාක් කල් පෙනී සිටිමු.”. 

යුද්ධයක කාලසීමාව මිනිස් ජීවිතයට සිදුවන හානියට නොවරදවාම සම්බන්ධ වේ. යුද්ධයක් දිග්ගැස්සෙන තරමට, සොල්දාදුවන් සහ සිවිල් වැසියන් යන දෙඅංශයේම ජීවිත හානි සහ මරණ සංඛ්‍යාව වැඩි වේ.

එමනිසා, රුසියාවේ පරාජය ගෙන ඒම සඳහා “ගත වන තාක්” ඔහුගේ පරිපාලනය සහ නේටෝව මුදල් හා ආයුධ සපයන බව බයිඩන් නැවත වරක් ප්‍රකාශ කරන විට, ඔහු ඇත්ත වශයෙන්ම පවසන්නේ මිනිස් ජීවිතවල වටිනාකම  නොතකා යුද්ධය දිගටම පවත්වනු ඇති බවයි. 

බයිඩන් මූලධර්මය ලෙස හැඳින්විය හැකි දෙයෙහි ම්ලේච්ඡ හරය මෙයයි: 

“කොපමණ කාලයක් ගත වුවද, කොපමණ සංඛ්‍යාවක් මිය ගියද කම් නැත “

බයිඩන් ගේ කථාව, එහි ප්‍රකාශනය සහ අන්තර්ගතය යන දෙකම මෙම මිනිසාට ආවේණික විය: එහි නොසැලකිලිමත්, වැරදි තොරතුරු, වැරදි වචන  සහ වැරදි ව්‍යාකරණ පිරී තිබුණි. එය පහළම බුද්ධිමය මට්ටමට සහ පහළම හැඟීම්වලට ආමන්ත්‍රනය කරන්නක් විය.

දෙවන ලෝක සංග්‍රාමයේ අවසානයෙන් පසු අඛණ්ඩව බෝම්බ හෙලා රටවල් අස්ථාවර කර, අනෙකුත් රටවල් ආක්‍රමණය කර ඇති එක්සත් ජනපදය ප්‍රජාතන්ත්‍රවාදය සහ සාමය සඳහා බලවේගයක් බව පවසමින්  බොරුවෙන් බොරුවක්, විකාරයෙන් විකාරයක් ඉදිරිපත් කළේය.

සදාචාරාත්මක මූලධර්ම කෙරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ සැබෑ ආකල්පය වරක් තම විශේෂිත නරුමවාදයෙන්, “නීති විරෝධී දේ අපි වහාම කරන්නෙමු,” සහ”ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවලියට තව ටිකක් කල් ගත වෙයි” යනුවෙන් සාරාංශ ගත කළේ ජීවත්ව සිටින වයස්ගතම ඇමරිකානු යුද අපරාධකරුවා වන හෙන්රි කිසිංගර් මිස අන් කිසිවකු නොවේ.

පසුගිය අර්ධ ශතවර්ෂයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් සිදු කරන ලද සෑම අපරාධයකදීම තමන්ගේම ඇඟිලි සලකුණු සොයාගත හැකි බයිඩන්, ප්‍රකාශ කලේ “අපි සියල්ලෝම අත්සන් කළ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය: ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාව තහවරු කරයි.. මේවා ජාතීන් අතර සාමකාමී සබඳතාවල කුළුණු දෙකකි. එක් රටකට තම අසල්වැසියාගේ භූමිය බලහත්කාරයෙන් අල්ලා ගැනීමට ඉඩ දිය නොහැක,” යන්නයි 

මොනතරම් නින්දිත කුහකකමක්ද! එක්සත් ජනපදය “බලය භාවිතා කිරීම” පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිවල තහනම, එක්සත් ජනපදය තරම් නිර්ලජ්ජිතව සහ නැවත නැවතත් උල්ලංඝනය කළ කිසිම රටක් නැත. එහි 

හිටපු රාජ්‍ය ලේකම් කොලින් පවෙල් වරක් ප්‍රකාශ කළේ, එක්සත් ජනපදය “කණ්ඩායමේ විශාලතම හිරිහැර කරන්නා” බවට පත් කිරීම ඔහුගේ ඉලක්කය බවයි.

ඔහු සෙනෙට් සභාවේ සහ පසුව උප ජනාධිපති ලෙස කටයුතු කරන කාලය තුළ, බයිඩන් 1991 දී එක්සත් ජනපදයේ ඉරාකය ආක්‍රමණය කිරීමේ ප්‍රමුඛ උපදේශකයෙකු සහ ආධාරකරුවෙකු වූ අතර ඉන්  වසර හයකට පසු 1997 දී යුගෝස්ලාවියාවට බෝම්බ හෙලීමට, 2001 දී ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කිරීමට, සහ 2003 දී ඉරාකයේ තවත් ආක්‍රමණයක් සඳහා සහාය ලබා දුන්නේය. ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍ර වෙනසක් කිරීම සඳහා උසිගැන්වීමේ ඇමරිකානු බෝම්බ ප්‍රහාර ව්‍යාපාර සහ ප්‍රයත්නයන් වෙනුවෙන් බිඩෙන් පෙනී සිටියේය.

මෙම ක්‍රියාවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ජාත්‍යන්තර නීතිය විවෘතව හා පැහැදිලිවම නොසලකා හරිමින් සිදු කරන ලදී. 2002 දී, එක්සත් ජනපදය ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිහිටුවන ලද රෝම ප්‍රඥප්තියෙන් ඉවත් වූ අතර, එක්සත් ජනපද නිලධාරීන් විසින්  නිතිපතා සිදු කරන යුද අපරාධ සම්බන්ධයෙන් නඩු විභාග කිරීමට කිසිදු ජාත්‍යන්තර ආයතනයක නීත්‍යානුකූල භාවය එය පිලි නොගනී.

පසුගිය සතියේ පමණ, බයිඩන් ප්‍රකාශ කළේ තමන් යුක්‍රේනයට පොකුරු බෝම්බ යවන බවයි. ගැටුම් අවසන් වීමෙන් පසු දශක ගනනාවක් තිස්සේ සිවිල් වැසියන් මරා දැමීම සහ ආබාධිත කිරීම කරන නිසා රටවල් 100 කට අධික සංඛ්‍යාවක් විසින් එය තහනම් කර ඇත.

කෲරත්වයට එරෙහි අරගලය පිළිබඳ ලිතුවේනියාවේ මිථ්‍යාව මත පදනම් වූ ආඛ්‍යානය ගැන බයිඩෙන් අවලස්සන සඳහනක් කළ අතර ඔහු එහි නිදහස සඳහා එක්සත් ජනපදයේ කැපවීම ගැන පුරසාරම් දෙඩුවේ ය. එහෙත් බිඩෙන් ඔහුගේ වංචාකාරී ඉතිහාස දේශනයෙන් ඉවත් කරනු ලැබූයේ, නාසි ජර්මනිය සමඟ ලිතුවේනියානු ජාතිකවාදීන්ගේ දැඩි සහභාගීත්වය හා රටේ සමස්ත යුදෙව් ජනතාවම පාහේ සමූල ඝාතනය කරනු ලැබීම සඳහා එහි සෘජු සහභාගීත්වය යි.

ලිතුවේනියාවේ තුන් අවුරුදු නාසි වාඩි ලා ගැනීම තුළ, රටේ සමස්ත යුදෙව් ජනගහනයෙන් සියයට 95 ක් සමූලඝාතනය කරන ලදී – පිරිමින්, කාන්තාවන් සහ ළමුන් 195,000 ක්‍රමානුකූලව මරා දමන ලදී.

මෙම යථාර්ථය බිඩෙන්ගේ ප්‍රකාශයට රුදුරු ස්වරයක් ලබා දුන්නේය. එක්සත් ජනපදයට සංචාරය කළ ලිතුවේනියානු පිටුවහල්කරුවන්ට ප්‍රශංසා කරමින්  “ලිතුවේනියානු සහ ඇමරිකානු ජනතාව අතර බැඳීම් කිසි විටෙකත් නොනැසී පවතී” යන්න සදහන් කලේය. 

කෙසේ වෙතත්, බයිඩන් සඳහන් නොකළ දෙය නම්, එක්සත් ජනපදය විසින් පිළිගත් ලිතුවේනියානු සංක්‍රමණිකයන් දෙදෙනෙකු , එම රටේ  සමූලඝාතනයට (Holocaust) වඩාත්ම වගකිව යුතු පුද්ගලයින් බව ය.

ලිතුවේනියාවේ නාසි ආක්‍රමණයේ දී විල්නියස් හි ලිතුවේනියානු ආරක්ෂක පොලිසියේ ප්‍රධානියා සහ සමූලඝාතන අපරාධකරුවෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රාස් ලිලීකිස් එක්සත් ජනපදයට ආරක්ෂිතව ගමන් කර මධ්‍යම බුද්ධි ඒජන්සියට [සීඅයිඒ] සේවය කළේය. ඔහුගේ නියෝජ්‍ය, කසීස් ගිම්සාස්කස් (Kazys Gimžauskas) ද එක්සත් ජනපදයට සංක්‍රමණය වූ අතර, එසේම එයට ඔහුගේ යටත් නිලධාරීන් තිදෙනෙකු ද ඇතුළත් විය.

සමූලඝාතනයට සහභාගී වීම නිසා ඔවුන් දෙදෙනාගෙන් කිසිවෙකු සිරගතව සිටින දිනයක් දුටුවේ නැත.

ගැටුමේ කිසිදු “රාජ්‍ය තාන්ත්‍රික විසඳුමක්” ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඔහු රුසියාව හෙලා දකින අතරම, බයිඩන් නේටෝව ප්‍රසාරනය කිරීමේදී තමාගේම භූමිකාව ගැන පුරසාරම් දෙසා බෑවේ ය. ඔහු ප්‍රකාශ කළේ, “2004 දී නේටෝවට බැඳීමට ලිතුවේනියාව සහ අනෙකුත් බෝල්ටික් රාජ්‍යයන් දිනා ගැනීම සඳහා එක්සත් ජනපද සෙනෙට් සභිකයෙකු ලෙස කටයුතු  කිරීමේ වරම මට හිමි විය.  මම එය දක්ෂ ලෙස කළා නොවේද?’

1998 දී නේටෝවේ ව්‍යාප්තිය සඳහා ඡන්දය දීමේදී බයිඩන් “තවත් වසර 50ක සාමයේ ආරම්භය” ප්‍රකාශ කළේය. යථාර්ථය නම්, එක්සත් ජනපදය හිතාමතාම යුක්රේනය තුල පිපිරී ඇති ආකාරයේ භාතෘඝාතක යුද්ධයකට වේදිකාව සකසමින් සිටියේ, රුසියාව සිය දේශසීමාවල යුද්ධවලට ඇද දමා  එය දුර්වල කිරීමේ අරමුන ඇතිව ය.

බිඩෙන්ගේ වඩාත්ම අභූත බොරු අතර, යුක්රේනයේ යුද්ධයේ “රාජ්‍යතාන්ත්‍රික ප්‍රතිඵලයක” යෝජකයෙකු ලෙස පෙනී සිටීමට ඔහු දැරූ උත්සාහය විය. “අවාසනාවකට මෙන්, රුසියාව මෙතෙක් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිඵල කෙරෙහි උනන්දුවක් දක්වා නැත,” බයිඩන් පැවසීය.

“රුසියාවට හෙට යුක්රේනයෙන් තම හමුදා ඉවත් කර ගැනීමෙන් මෙම යුද්ධය අවසන් කළ හැකිය, මෙම ජාත්‍යන්තර දේශසීමා හඳුනා ගන්න.” එහෙත් ඔහු මෙම “රාජ්‍ය තාන්ත්‍රික ප්‍රතිඵලය” නිර්වචනය කළේ රුසියාවේ සම්පූර්ණ යටත්වීම සහ නේටෝවේ සියලු යුද අරමුනු සාක්ෂාත් කර ගැනීම ලෙසය. බයිඩන්ගේ ගේ “රාජ්‍ය තාන්ත්‍රික විසඳුම” මිලිටරි ජයග්‍රහණයයි.

රුසියාව සහ චීනය යටත් කර ගැනීමේ එහි තීරනාත්මක සංරචකයක් ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදය දකින ගැටුමේ ඕනෑම සාකච්ඡාමය විසඳුමක් වැලැක්වීම ජනාධිපතිගේ ප්‍රකෝපකාරී ප්‍රකාශයන් අරමුනු කර ඇත.

බයිඩන්ගේ  “කොපමණ මැරුණත් කමක් නැත” මූලධර්මයෙන් අදහස් වන්නේ යුද්ධය උත්සන්න වනු ඇති බවත්, තවත් ගණන් කළ නොහැකි දහස් ගණනක් මිය යනු ඇති බවත්, ලෝකය න්‍යෂ්ටික ගින්නක අද්දරට ගෙන යනු ඇති බවත්ය. කම්කරු පන්තිය මත පදනම් වූ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් වර්ධනය කිරීම හැර අන් කිසිවකට මෙය නැවැත්විය නොහැක.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top