යුක්‍රේනය තුල “ප්‍රොක්සි යුද්ධයේ” සිට නැටෝවේ ඍජු මැදිහත්වීමක් කරා..

මිගාර මල්වත්ත විසිනි.

air defender
Air Defender 23 is the largest deployment exercise of air forces in NATO’s history. Tornado and Eurofighter in formation: In composite air operations, combat aircraft with different capabilities are employed in combination Bundeswehr/Stefan Petersen. bundeswehr.de/en

මෙම ලිපිය ලෝක සමාජවාදී වෙබ් අඩවියෙහි (wsws.org) පළ වූ අදාළ ලිපි සහ වෙනත් මූලාශ්‍ර ද ඇසුරෙන් සම්පාදනය කරන ලද්දකි. මෙය ⁣යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා⁣ නැටෝව විසින් රුසියාවට එරෙහිව සිදුකරගෙන යන විනාශකාරී යුද්ධයේ වර්ධනය පිලිබඳ ලියවෙන ලපි මාලාවක කොටසක් වේ.

ජුලි මැද දක්වා මාසයකට වැඩි කාලයකදී, යුක්රේන සන්නද්ධ හමුදා විනාශකාරී භෞතික පාඩු ලබා ඇති අතර, එක්සත් ජනපද මාධ්‍ය විසින් මාස ගනනාවක් තිස්සේ ප්‍රවර්ධනය කරන ලද යුක්‍රේනයේ “වසන්ත ප්‍රතිප්‍රහාරය” සැලකිය යුතු ඉදිරි ගමනක් ගෙන නොමැති බව පැහැදිලිය.

මෙම ප්‍රහාරයේදී දිනකට යුක්‍රේන භටයින් 1000 පමණ මිය යන ලද බව යුක්‍රේනය ම පිලිගතතේය. එහෙයින්, දැන් හුදෙක් පුහුනුව හා ආයුධ සම්පාදනය අතින් පමනක් නොව, යුද්ධය තීව්‍ර කිරීම සඳහා අවශ්‍ය මිනිස් බලය සැපයීම අතින් ද යුක්‍රේන මිලිටරිය වඩ වඩා ඇමරිකා එක්සත් ජනපදය (එ.ජ) හා නැටෝව මත රැඳී සිටී.

රුසියාවට එරෙහි, මෙම මිලිටරි වටලෑම වඩාත් උච්චස්ථානයකට නංවමින්, එය රුසියානු භූමිය තුළට සිදු කරනු ලබන මිලිටරි ආක්‍රමණයක් දක්වා දිගු කර ගැනීම සඳහා, මෙතෙක් තමන් සිදු කරන ලද “ප්‍රොක්සි” මැදිහත් වීම පසෙක ලා, රුසියාවට එරෙහි ඍජු මැදිහත් වීමක් දක්වා එය වර්ධනය කර ගැනීම අධිරාජ්‍යවාදයේ ඊලඟ පියවරයි.

මුලින්, එ.ජ හා එක්සත් රාජධානිය මෙන් දැඩි ආක්‍රමණශීලි ස්ථාවරයක නොසිටි ප්‍රංශය, අද යුක්‍රේනයට නේටෝ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා පෙරමුණ ගෙන සිටී. එමෙන් ම, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් යුක්‍රේන විදේශ කටයුතු අමාත්‍ය ඩිමිට්‍රෝ කුලේබා සමඟ ලන්ඩනයේදී හමු වී, තව තවත් ආයුධ සහ මුදල් ඉක්මනින් ගලා එනු ඇති බව හැඟවීය. කුලේබා පසුව ප්‍රකාශ කළේ, යුක්‍රේනයේ නේටෝ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාව විල්නියස් සමුලුවට ඉදිරිපත් කිරීම සූදානම් කිරීමට ඔවුන් එහිදී සාකච්ඡා කළ බවයි. තවද, බයිඩන් ගේ පරිපාලන නිලධාරියෙක් සීඑන්එන් වෙත පැවසුවේ යුක්රේනය නේටෝවට බැඳීමට කඩිනම් සැලැස්මක් “විවෘතව” පවතින බවයි. ඔස්ලෝහි දී හමු වූ නේටෝ විදේශ ඇමතිවරුන්ගේ රැස්වීමකින් පසු  නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ “යුක්‍රේනයට හිමි ස්ථානය ඇත්තේ නේටෝව තුල” බවයි. “අද අපගේ අවධානය යොමු වූයේ යුක්රේනය නේටෝව වෙත සමීප කරවන්නේ කෙසේද” යන්නයැයි ඔහු කියා සිටියේය.

නේටෝ සාමාජිකයෙකු වීමට යුක්‍රේනය දරන උත්සාහයට නව යුරෝපා සංගම් කවුන්සිලයේ සභාපති සැන්චෙස් ද සිය උණුසුම් සහාය ප්‍රකාශ කලේය. “ස්පාඤ්ඤය නේටෝ-යුක්රේන කවුන්සිලයක් නිර්මාණය කිරීම හරහා යුක්රේනයේ දේශපාලන සහභාගීත්වය ශක්තිමත් කිරීමට සහාය දක්වයි, යුක්රේනය තවදුරටත් ආරාධිත පක්ෂයක් නොව පූර්ණ සාමාජිකයෙකු වනු ඇත. ප්‍රායෝගික සහයෝගීතාව ශක්තිමත් කිරීමටත්, ඔබේ ආරක්ෂක අංශය නේටෝ ප්‍රමිතීන්ට අනුව අනුවර්තනය කිරීමටත් අපි කැමැත්තෙමු, ”සැන්චෙස් පැවසීය.

යුක්රේනය තම සාමාජිකයෙකු ලෙස නේටෝව පිළිගතහොත්, නේටෝ ගිවිසුමේ 5 වැනි වගන්තිය යටතේ සියලුම නේටෝ රටවල්වලින් රුසියාව සමඟ යුද්ධයට එළඹෙන ලෙස ඉල්ලා සිටීමට ඔවුන්ට හැකි වනු ඇත. 5 වන වගන්තිය අනුව, මිලිටරි ප්‍රහාරයකට ලක්ව සිටින සාමාජිකයෙකුට ආධාර සැපයීමට සියලුම නේටෝ සාමාජිකයෝ බැඳී සිටිති.

කෙසේ වෙතත්, මෙහිදී සැබැවින්ම සිදුවන්නේ වන්නේ යුක්රේනය නේටෝවට ඇතුළු වීම නොව, නේටෝව යුද්ධයට තම මැදිහත්වීම විශාල ලෙස පුළුල් කිරීම හරහා යුක්‍රේනයට “ඇතුළු වීමයි”. 

මෙසේ නේටෝ බලවතුන්ට මෙම යුද්ධයට ඍජුව මැදිහත් වීම වඩාත් හදිසි කර්තව්‍යයක් බවට පත්ව ඇත්තේ, මේ මොහොතේ යුද්ධයේම සිදුවන අනපේක්ෂිත වර්ධනය නිසාය.

යුක්රේන මිලිටරිය විසින් බොහෝ ප්‍රබෝධමත් ආකාරයකින් ආරම්භ කරන ලද ප්‍රතිප්‍රහාරය දිග්ගැස්සුනු පරාජයක් බවට පත්ව ඇති තතු යටතේ, හිටපු නේටෝ අණ දෙන නිලධාරියෙකුගේ වචන වලින් පැවසුවහොත්, රුසියාවේ “කොන්ද කැඩීම” වූ එහි ඉලක්කය සහතික කිරීම සඳහා ගැටුමට සෘජුවම මැදිහත් වීමට දැන් නේටෝවට සිදුව ඇත. 

ජූලි 11 හා 12 යන දින දෙක තුළ පැවත්වීමට නියමිතව තිබූ ලිතුවේනියාවේ විල්නියස් සමුළුව නේටෝ බලවතුන් විසින් සලකනු ලැබ තිබුනේ ජයග්‍රාහකයන්ගේ සමුලුවක් ලෙස ය. ඒ වෙනුවට, නැටෝ බලවතුන් හමු වූයේ, මිලිටරි අසාර්ථකත්වයේ පසුබිමක සිට ය. සියලු ම නැටෝ පාලන තන්ත්‍ර ගැඹුරු අභ්‍යන්තර අර්බුදවලට මුහුන දී සිටින අතර, ඒවා තමන් විසින්ම අවුලුවා ලනු ලැබූ යුද්ධයේ සුවිසල් අසාර්ථකත්වයෙන් තීව්‍ර කෙරෙනු ඇත.

ලිතුවේනියාවේ විල්නියස් හි නේටෝ සාමාජිකයින් 31 දෙනාගේ රාජ්‍ය නායකයින් සහ ආන්ඩු විසින් එම සතියේ සම්මත කරන ලද ප්‍රකාශය ගෝලීය යුද්ධයේ සැලසුමකි. පිටු 24කින් යුත් ලේඛනයේ කොටසක් පමණක් සමුළුවේ කේන්ද්‍රීය ප්‍රශ්නය වන යුක්‍රේනයේ යුද්ධය සම්බන්ධයෙන් සඳහන් කරයි. ඉතිරිය තුළ, නේටෝව සිය කැමැත්ත සමස්ත ලෝකය මත පැටවීමේ අභිප්‍රාය ප්‍රකාශ කරයි. 

ලේඛනයේ, යුක්‍රේන යුද්ධයට අදාල කොටසෙහි, රුසියාව සමග සාකච්ඡාමය විසඳුමක් ඇතිකර ගැනීම සම්පූර්ණයෙන්ම බැහැර කොට ඇත. තවද, ඊටත් වඩා, එහි (පුටින් ආන්ඩුවේ) “යුද අපරාධ” වලට “දන්ඩ මුක්තියක්” තිබිය නො හැකි යයි ද, “වගකිව යුතු සියල්ල චෝදනාවට ලක්කල යුතු” යයි ද නැටෝව විධාන කරයි. සාමය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ “රුසියාව මුලුමනින් ම හා කොන්දේසි විරහිත ව යුක්‍රේනයෙන් ඉවත් වීම යි”.

“යුක්‍රේනයෙහි අනාගතය පවතින්නේ නැටෝව තුලයි” යැයි ප්‍රකාශය අවධාරනය කරන නමුත්, නේටෝ හි යුක්‍රේනියානු සාමාජිකත්වය සඳහා සමුළුව තුල දී, කාල රාමුවක් එමගින් ඉදිරිපත් නොකෙරුනි. ඒ වෙනුවට එහි සඳහන් කර ඇත්තේ, “මිත්‍ර පාර්ශවයන් එකඟ වන විට හා කොන්දේසි සපුරන විට” අනාගතයේ යම් දිනයක යුක්‍රේනයට සාමාජිකත්වය ලැබෙනු ඇති බවයි.

මෙවැනි පියවරක් නේටෝව විසින් ගැනීම පිටුපස පවතින්නේ පැහැදිලිවම උපායාත්මක හැරීමකි. මේ අවස්ථාවෙහි, කඩිනමින්ම නැටෝ සම්මුතියේ 5වන වගන්තිය ක්‍රියාවට දැමීමට යුක්රේනයට අවස්ථාව ලබාදීම වඩා වාසිදායක නොවන බවට ඔවුන් ගණන් බලා ඇති බව පෙනී යයි. මෙය වඩාත් සැලසුම් සහගත ලෙස නේටෝ හමුදා යුද්ධයට මැදිහත් කරවීමට සුදුසු අවස්ථාවක් නිර්මාණය කරන තුරු කල්මැරීමේ පියවරකි. 

සැබවින්ම, රුසියාවට එරෙහිව නේටෝ බලමුලු ගැන්වීම වඩාත් ඉහළ අදියරකට රැගෙන යාමට අධිරාජ්‍යවාදයට අවශ්‍ය වී ඇත. “යුක්‍රේනය වඩවඩා සන්ධානය සමග අන්තර්-මෙහෙයුම්කාරී හා දේශපාලනික ව ඒකාග්‍ර වී ඇති” නිසා, 2008 දී ස්ථාපිත කරන ලද “සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්ම සඳහා අවශ්‍ය ප්‍රමානයෙන් ඔබ්බට යමින් යුරෝ-අත්ලාන්තික පූර්න ඒකාග්‍රකරනයට යුක්‍රේනය ගමන් කර ඇතැ”යි විල්නියස් හි “නව ලේඛනයෙහි” දැක්වීමෙන් අදහස් වන්නේ එයයි. එය තවදුරටත් මෙසේ පවසයි:  

“යුක්රේනය එහි ජාත්‍යන්තරව පිළිගත් දේශසීමා තුළ එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව දිගටම ආරක්ෂා කරන බැවින්, එයට දේශපාලන සහ ප්‍රායෝගික සහයෝගය තවදුරටත් ඉහළ නැංවීමට අපගේ කැපවීමෙහි අපි ස්ථිරව සිටින අතර, එම සහයෝගය අවශ්‍ය තාක් කල් දිගටම ලබා දෙන්නෙමු.”  

ලේඛනයට අත්සන් තබන සෑම රටක් ම, යුද්ධයට සිය “දල දේශීය නිෂ්පාදිතයෙන් අවම වසයෙන් සියයට 2ක්” කැප කරන බවට ප්‍රතිඥා දෙති. එහෙත්, ඒ අතර ම එය, “පවතින ඌනතාවන්වලට පිලියම් යෙදීමට… සියයට 2ට වඩා අවශ්‍ය වනු ඇතැ”යි ද සඳහන් කරයි.

යුරෝපය පුරා හමුදා සහ ආයුධ යෙදවීම් විස්තර කෙරෙන, සම්මන්ත්‍රණයේ දී සම්මත කරගත්, පිටු 4,000කින් යුත් සම්පූර්ණ යුධ සැලැස්මෙහි නේටෝවේ වේගවත් ප්‍රතික්‍රියා බලකාය සොල්දාදුවන් 40,000 සිට 300,000 දක්වා වැඩි කිරීමට නියමිතය.

මේ ආකාරයෙන්, රුසියාවට එරෙහි අතිශය බිහිසුණු යුද්ධයක් සඳහා ඍජු මැදිහත්වීමකට කල් යල් බලන අතරතුර ම, යුක්‍රේනය බළල් අතක් ලෙස යොදවා ගනිමින් පවත්වා ගෙන යන යුද්ධයේ ගිනි මැලය වඩවඩාත් ඇවිලවීම සඳහා අනවරත ලෙස ඉන්ධන යොදමින් සිටී.  

සැපෝරීෂියා (Zaporizhzhia ) න්‍යෂ්ටික බලාගාරය (ZNPP) පුපුරුවා හැරීමේ අරමුණින් එහි කැණීම් කරන බවට යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙනිස්කි රුසියාවට චෝදනා කලේ මෙම පසුබිම යටතේ ය.

“රුසියානු හමුදා සැපෝරීෂියා න්‍යෂ්ටික බලාගාරයේ බල ඒකක කිහිපයක වහලය මත පුපුරණ ද්‍රව්‍ය තබා ඇති” බව කියා සිටි ඔහු රුසියාව බලාගාරයේ “නව නපුරක් කිරීමට” ඉලක්ක කර ඇති බවත්, “එය නැවැත්වීම ලෝකයේ සෑම දෙනාගේම වගකීමයි” බවත් පැවසීය.

සෙලෙන්ස්කි ගේ ප්‍රකාශයන්ට පටහැනිව, IAEA අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් මරියානෝ ග්‍රෝසි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ, සිය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බලාගාරයේ “පතල් හෝ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ දෘශ්‍යමාන ඇඟවීම්” නිරීක්ෂණය වී නොමැති බවයි.

තම භූ දේශපාලනික අවශ්‍යතා උදෙසා ව්‍යාජ හේතූන් නිර්මාණය කර ගනිමින්, රටවල් ආක්‍රමණය කිරීමේ කුප්‍රකට ඉතිහාසයකට එක්සත් ජනපදය ප්‍රමුඛ අධිරාජ්‍යවාදයෝ හිමිකම් කියති. 

වියට්නාම් යුද්ධයට එක්සත් ජනපදය සෘජුවම සම්බන්ධ වීමට පෙලඹවූ 1964 ටොන්කින් බොක්ක සිද්ධිය ගොතන ලද එකකි. ඇෆ්ගනිස්ථානය, ඉරාකය ආක්‍රමණය කිරීම සහ සමස්ත ‘ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය’ යුක්ති සහගත කිරීමට 2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය යොදා ගනු ලැබුණි. ඉරාක ආක්‍රමණය සඳහා එක්සත් ජනපදය භාවිතා කළ “සමූලඝාතක අවි” පිලිබඳ මුසාව කොල්ලකාරී යුද්ධයක් සාධාරණීකරණය කිරීමට ගෙතූ මුසාවක් බව හෙළිවීමට වැඩි කලක් ගත නොවීය.

සෙලෙන්ස්කිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ, නේටෝවේ සෘජු මිලිටරි මැදිහත්වීම සඳහා කඩතුරාවක් ලෙස බලාගාරයේ සිදුවිය හැකි ඕනෑම සිදුවීමක් හෝ ප්‍රකෝපකරනයක් භාවිතා කිරීමට ඔවුන් යොමු වී ඇති බවයි. 

මෙහිදී , යුක්රේනයට මිලිටරි පරාජයක් සිදු වුවහොත්, (උපායශීලී න්‍යෂ්ටික අවි රැගෙන යා හැකි F – 16 ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත් වන) නේටෝ ප්‍රහාරක ගුවන් යානා සම්බන්ධ කර ගනිමින් රුසියානු ගුවන් යානාවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා යුක්‍රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ක්‍රියාත්මක කරන බවට ප්‍රකාශ කිරීමත් සමඟ මේ සදහා නේටෝ බලවතුන්ගේ ප්‍රතිචාර දැක්වීම අන්ත අන්තරායකාරී මට්ටමක පවතී. 

 “Air Defender 2023” යනු යුද්ධයට නේටෝවේ සෘජු මැදිහත්වීමේ ක්ෂනික ආරම්භක ලක්ෂ්‍යය බවට පත්වේ ද යන්න නොසලකා – ඇත්තෙන්ම මෙය යථා අනතුරක් ලෙස පවතී – මෙම උපාමාරුව තුන්වන ලෝක යුද්ධයක් කරා වර්ධනය වීමේ කොටසක් වනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top