කෘත්‍රිම බුද්ධිය සහ එහි ඇඟවුම් – ඩාවොස් රැස්වීමේ කේන්ද්‍රීය මාතෘකාවක්

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2024 ජනවාරි 18 දින පල වූ ‘AI and its implications a central topic at Davos meeting’ යන හිසින් නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි.

මෙම වසරේ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි (Davos) ගෝලීය ප්‍රභූන්ගේ ලෝක ආර්ථික සංසදයේ (World Economic Forum) රැස්වීමේ පොදු වේදිකා වල මෙන්ම, සැබෑ සාකච්ඡා-කටයුතු බොහොමයක් සිදු කෙරෙන පුද්ගලික සුඛෝපභෝගී හෝටල් (කට්ටල්) කාමර වල ප්‍රධාන මාතෘකාවක් වන්නේ  කෘත්‍රිම බුද්ධිය (AI) යි.

Davos
යාන් ලෙකන් (Yann LeCun), මෙටා හි (Meta) ප්‍රධාන AI විද්‍යාඥ සහ AI හි පුරෝගාමියා 2024 ජනවාරි 16 වන දින Davos හි පැවති ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික රැස්වීමට සහභාගී වේ. [AP Photo/Markus Schreiber]

AI තාක්ෂනය විසින්, ශ්‍රමයේ ඵලදායිතාව අතිවිශාල ලෙස වර්ධනය කිරීමට සහ එමගින් සමාජ ප්‍රගමනය සඳහා පදනම සැපයීමට හැකියාව ඇති තාක්‍ෂනයේ ප්‍රධාන දියුනුවක් නියෝජනය කෙරෙයි.

එහෙත් නිෂ්පාදන මාධ්‍යවල (ඊනියා බුද්ධිමය දේපල ඇතුලුව) පුද්ගලික හිමිකාරිත්වය සහ පුද්ගලික ලාභය උකහා ගැනීම මත පදනම් වූ ධනවාදයේ සමාජ සම්බන්ධතා යටතේ එය වර්ධනය වීම යන්නෙන් අදහස් වන්නේ එය මෙම බලපෑම ඇති නොකරනු ඇති බව සහ එහි ප්‍රතිලෝමය සිදුවනු ඇති බවයි.

සමාජවාදී ආර්ථික සබඳතා පිහිටුවීමේ අවශ්‍යතාවය මතු කරන ආර්ථික හා දේශපාලන ජීවිතයේ මෙම සත්‍යය, මෙම සතියේ රැස්වීම සඳහා WEF විසින් සකස් කරන ලද ගෝලීය අවදානම් වාර්තාවේ වක්‍රව වුවද පිලිගෙන ඇත.

තාක්‍ෂනික දියුනුව සහ භූ දේශපාලනික ගතිකත්වය – මෙය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන මිලිටරිවාදයේ නැඟීම පිලිබඳ නොපැහැදිලි සඳහනකි – එකට එක්වීම, දියුනු රටවල මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද නව ජයග්‍රාහකයින් සහ පරාජිතයින් සමූහයක් නිර්මානය කරනු ඇතැයි එහි දැක්වේ.

ඉදින්, “මහජන අවශ්‍යතා වෙනුවට වානිජ දිරිගැන්වීම් සහ භූ දේශපාලනික අවශ්‍යතා… AI සහ අනෙකුත් පර්යන්තික තාක්‍ෂනයන්හි (නව තාක්‍ෂනයන්-frontier technologies) සංවර්ධනයේ මූලික ධාවකයන් ලෙස පවතින්නේ නම්, ඉහල සහ අඩු ආදායම්ලාභී රටවල් අතර ඩිජිටල් පරතරය අදාල ප්‍රතිලාභ උත්පාදනය කිරීමේදී දැඩි විෂමතාවයක් සහ අවදානම් ඇති කෙරෙනු ඇත. අවදානමට ලක්ව ඇති රටවල සහ ප්‍රජාවන්ගේ ආර්ථික ඵලදායිතාව, මූල්‍යය, දේශගුනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා මෙන්ම ඒ ආශ්‍රිත රැකියා උත්පාදනය කෙරෙහි බලපාන අති ප්‍රබල කෘතිම බුද්ධි  පාරවේධනයන්ගෙන් ( නවමු නිර්මාන- breakthroughs) ඩිජිටල් ලෙස හුදකලා වී ඒවා වඩාත් පසුපසට  තල්ලු වනු ඇත.

වෙනත් වචන වලින් කිවහොත්, AI හි සංවර්ධනය ගෝලීය සමාජ අසමානතාවය සහ දරිද්‍රතාවය අවසන් කිරීමේ මාධ්‍යයක් බවට පත්වීම වෙනුවට, ප්‍රධාන ධනේශ්වර බලවතුන්ගේ ලාභ චේතනා සහ අවශ්‍යතා අනුව එම තතු වඩාත් නරක අතට හැරෙනු ඇත.

ලේඛනයේ තවත් කොටසක, එය AI සහ අනෙකුත් දියුනු තාක්‍ෂනයන්හි පෘථුල ඇඟවුම් පෙන්වා දෙයි.

“වඩාත් ප්‍රබල පොදු කාර්ය සඳහා වූ AI තාක්‍ෂනයන්හි අපාලිත ව්‍යාප්තිය ඉදිරි දශකය තුල ආර්ථිකයන් සහ සමාජයන් රැඩිකල් ලෙස යලි හැඩ ගස්වනු ඇත… එමෙන්ම එය සමාන්තර වර්ධනයන් සමඟ ද අන්තර් ක්‍රියා කරනු ඇත. මෙහි ඇඟවුම් ගැඹුරු වීම සඳහා ඒවා හිතාමතා අනිසි ලෙස භාවිතා කිරීම අවශ්‍ය නොවේ.

“භෞතික ලෝකය මත වැඩි පාලනයක් පවරා දෙනු ලබන ස්වයං-වැඩිදියුනු වන උත්පාදක AI ආකෘති (self-improving generative AI models) විසින් සමාජ ආර්ථික ව්‍යූහයන්හි විශාල පරිමානයේ වෙනස්කම් අවුලුවනු ලැබීම මඟින් නව අවදානම් පැන නඟිනු ඇත.”

ධනේශ්වරය යනු, පාලනය කරන්නේ කෙසේදැයි තමන් නොදත් භූතාත්ම යම ලෝකයෙන් කැඳවා ගත් ආධුනික යක්දෙස්සා වැනියැයි මාක්ස් විසින් කොමියුනිස්ට් ප්‍රකාශනයේ  කරන ලද නිරීක්‍ෂනය මෙහිදී කෙනෙකුට සිහි ගැන්වෙනු ඇත.

කම්කරු පන්තිය විසින් සිදුකරනු ලබන සමාජ විප්ලවය තුලින් සාක්ෂාත් කරගනු ලබන සමාජවාදය සඳහා ඇති වෛෂයික ඓතිහාසික අවශ්‍යතාවය පැන නගින්නේ, නිෂ්පාදන බලවේගවල වර්ධනය සහ ඒවා කොටු වී ඇති ධනවාදයේ සමාජ සම්බන්ධතා අතර ප්‍රතිවිරෝධතාවයෙන් බවට වන මාක්ස්ගේ විශ්ලේෂනය, වඩාත් ගැඹුරු තලයක දී ඉන් සිහිපත් කෙරේ.

මෙම ඉදිරිදර්ශනයට විකල්පය වශයෙන් පවතින්නේ ම්ලේච්ඡත්වයට කරා පල්ලම් බැසීමයි. එකී ම්ලේච්ඡත්වයේ වඩාත් ම සුපැහැදිලි ප්‍රකාශනය වනුයේ යුද්ධයයි. 

WEF වාර්තාව පෙන්වා දී ඇති පරිදි, AI තාක්ෂනය මෙහි දී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“යන්ත‍්‍ර බුද්ධිය, ගැටුම් සහගත තීරන ගැනීම – ස්වයංක්‍රීයව ඉලක්ක තෝරා ගැනීම සහ අරමුනු තීරනය කිරීම – දක්වා රිංගා ගැනීම විසින්, ඉදිරි දශකය තුල අහම්බෙන් හෝ හිතාමතා (ගැටුම්) උත්සන්න වීමේ අවදානම සැලකිය යුතු ලෙස ඉහල නැංවෙනු ඇත”යි එය පවසයි.

අන්‍යයෝ ද අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තාහ. ඔක්තෝබර් මාසයේ දී, එක්සත් ජනපද සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති ගැරී ජෙන්ස්ලර් ෆයිනෑන්ෂල් ටයිම්ස් (FT) සමඟ සම්මුඛ සාකච්ඡාවක යෙදෙමින් පැවසුවේ, මූල්‍ය පද්ධතිය තුල  AI වේදිකාවල භාවිතය පාලනය කිරීමට ක්‍රමයක් සොයා නොගතහොත් ඉදිරි දශකය තුල අර්බුදයක් ඇතිවිම නොවැලැක්විය හැකි ම පාහේ වනු ඇති බවයි.

වෙලඳපල සහභාගිකරුවන් එකම AI ආකෘති භාවිතා කිරීම මඟින් “රංචු” හැසිරීමක් ජනනය කර, ඉන් අර්බුදයක් මුදා හල හැකි බව ඔහු පැවසීය.

මෙම අනතුරු ඇඟවීම් ඩාවෝස් රැස්වීමට ආසන්නයේ  FT සමඟ සම්මුඛ සාකච්ඡාවකදී ස්පාඤ්ඤ බැංකුවේ අධිපතිවරයා සහ බැංකු අධීක්ෂනය පිලිබඳ බාසල් කමිටුවේ සභාපති පැබ්ලෝ හර්නාන්ඩස් විසින් ප්‍රතිරාවය කරන ලදී.

ශීඝ්‍රයෙන් දියුනු වන තාක්‍ෂනය, විශේෂයෙන්ම AI තාක්ෂනය, “ඉතිහාසයේ ගමන් මග වෙනස් කල හැකි අතර, ඒ යහපත සඳහා ම වීම අත්‍යවශ්‍ය නොවේ,”යැයි ඔහු පැවසීය.

පසුගිය දශකය තුල ආර්ථික ගැටලු ඉහල යාමේ අර්ථය වූයේ වඩාත් විශාල ජාත්‍යන්තර සහයෝගීතාවයක් අවශ්‍ය වන බවයි. 

“කෙසේ වෙතත්, භූ දේශපාලනික මට්ටමින් අප නිරීක්ෂනය කරන දෙයින් පෙනී යන්නේ පොදු එකඟතාවලට එලඹීම වඩ වඩාත් දුෂ්කර වෙමින් පවතින බවයි. එය මට කනස්සල්ලකි, එමෙන්ම එය බොහෝ දෙනෙකුගේ ද කනස්සල්ලට කරුනකි ”ඔහු පැවසීය.

“මූල්‍ය ස්ථායීතාවය යනු එක් මානයක් පමනි, AI හා බැඳුනු තවත් විභව වැදගත්කමින් ඉතා ඉහල ප්‍රතිවිපාක පවතී. … සම්බන්ධීකෘත ගෝලීය ප්‍රතිචාරයක් ලබා දීමට අපට නොහැකි වුවහොත්, මෙම අභියෝගවලට නිවැරදි විසඳුම ලබා ගැනීමේ සම්භාවිතාව අඩු වනු ඇත.”

එහෙත් ගෝලීය සහයෝගීතාවයේ අවශ්‍යතාවය වැඩි වන අතරම, එය  සාක්ෂාත් කර ගැනීමේ අපේක්ෂාව, ධනේශ්වර ක්‍රමයේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතාව මත – එනම්, ඒකාබද්ධ හා අන්තර් සම්බන්ධිත ලෝක ආර්ථිකය ද, සෑම එකෙක්ම තමන්ගේම අවශ්‍යතා පසුපස හඹා යන මහ බලවතුන් සහ එකිනෙකාට පරසතුරු ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර ප්‍රතිවිරෝධතාව මත – අබලන්ව යයි.

කර්මාන්තයේ සියලුම අංශවල AI භාවිතය වැඩි වීම, ශ්‍රම වෙලඳපොලේ “ප්‍රතිව්‍යුහගත කිරීම” ලෙස මෘදූක්තියෙන් (මෘදු ලෙස) හඳුන්වන දෙයට ද හේතු වනු ඇත.

පසුගිය මාර්තු මාසයේදී ගෝල්ඩ්මන් සැක්ස් වාර්තාවක් නිකුත් කරමින් පැවසුවේ, එක්සත් ජනපදයේ සහ යුරෝ කලාපයේ සිදු කෙරෙන වැඩවලින් හතරෙන් එකක් ස්වයංක්‍රීයකරනයට AI හේතු විය හැකි බවයි.

මානව නිමැවුම් වලින් වෙන්කර හඳුනාගත නොහැකි අන්තර්ගතයන් ජනනය කරන AI පද්ධති ඉදිරි දශකය තුල වාර්ෂික දල දේශීය නිෂ්පාදිතය සියයට 7 කින් වැඩි කල හැකි බව එහි සඳහන් වේ. නමුත් මෙම ඵලදායිතාවයේ වැඩිවීම ජීවන මට්ටම්වල ද්‍රව්‍යමය දියුනුවක්  ඇති කරනු නැති අතර, එය ලාභයේ වැඩිවිමක් පමනක් ඇති කරනු ඇත.

වාර්තාව දක්වන පරිදි, ප්‍රධාන ආර්ථිකයන්හි කම්කරුවන් මිලියන 300ක් පමන එහි ප්‍රතිවිපාකවලට නිරාවරනය කරමින් AI තාක්ෂනය ශ්‍රම වෙලඳපොලට “සැලකිය යුතු බාධාවක්” ගෙන එනු ඇත. සියලුම රැකියාවලින් තුනෙන් දෙකක් කිසියම් ප්‍රමානයක ස්වයංක්‍රීයකරනයකට නිරාවරනය වී ඇති බව වාර්තාව පවසයි.

Davos රැස්වීම ආරම්භ වන විට ප්‍රතිඵල නිකුත් කල, PwC ගිනුම්කරන සමාගම විසින් ඓදු කෙරුනු ගෝලීය ප්‍රධාන විධායකයින්ගේ සමීක්ෂනයකින් පවසා ඇත්තේ, ඔවුන්ගෙන් හතරෙන් එකක් AI මගින් මෙම වසරේ රැකියා නියුක්තිය සියයට 5 කින් අඩු කිරීමට හේතු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි. සියයට 46ක් පමන කියා සිටියේ තත්පර කිහිපයකින් පෙල (Text), රූප සහ කේත ජනනය කල හැකි උත්පාදක AI (generative AI) භාවිතය ඉදිරි වසර තුල ලාභය ඉහල නංවනු ඇති බවයි.

මෙම වාර්තා සහ සමීක්ෂන අවධාරනය කරන්නේ ධනය වැඩි කිරීම සඳහා AI හි ඇති දැවැන්ත විභවයයි; නමුත් එය ධනේශ්වර පාලක පන්තීන්ගේ අතේ පැවතියහොත් එය සමාජ ප්‍රගතිය නොව තව තවත් අසමානතාවය සහ දුක්ඛිතභාවය ගෙන එනු ඇත. එහි සුසංයෝගී සංවර්ධනය සඳහා අවශ්‍ය ගෝලීය සහයෝගීතාවය ගෙන ඒම වෙනුවට, එය දැනටමත් යුද්ධය තුල ප්‍රකාශ වන භූ දේශපාලන ගැටුම් සහ ආතතීන් තීව්‍ර කරනු ඇත.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top