The Socialist සඟරාව දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික අර්ථභාරය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කණ්ඩායම වන ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය.

මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 21 දින ඉංග්‍රීසි බසින් thesocialist.lk හි පළ විය. 

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් ප්‍රකාශයට පත් කරන මාසික ඩිජිටල් සඟරාව වන “The Socialist”, දකුණු ආසියාවේ විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ දේශපාලනික වශයෙන් වැදගත් වර්ධනයක් නියෝජනය කරයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක/ICFI) ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරිදර්ශනය පිළිබඳ සවිඥානික ප්‍රකාශයක් වන අතර ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයට වල කපමින් පැවති ජාතිකවාදී සහ අවස්ථාවාදී භාවිතයන්ගෙන් තීරණාත්මක ලෙස බිඳී යාමක් සනිටුහන් කරයි.

SLLA මුහුණ දෙන කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ICFI හි ගෝලීය සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා අරගල කිරීමයි. 2023 මාර්තු 11 වන දින thesocialist.lk දියත් කිරීම, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වර්ධනයන් පිළිබඳ සංගත මාක්ස්වාදී විශ්ලේෂණයන් වර්ධනය කිරීමේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලධර්ම හා වැඩ පිළිවෙළ (program) පිළිබඳව කම්කරුවන් සහ තරුණයින් උගන්වා ගැනීමේ ආරම්භක පියවරක් විය. 2024 ජූලි මාසයේදී සසප-වාම කණ්ඩායමේ භේදයෙන් සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය ආරක්ෂා කිරීම අතහැර දැමූ ජාතිකවාදී කන්ඩායම නෙරපා හැරීමෙන් පසුව, thesocialist.lk, SLLA හි න්‍යායික හඬ බවට පත්විය. 2025 ඔක්තෝම්බර් මාසයේදී The Socialist සඟරාව එළි දැක්වීම මෙම කාර්යයේ වැඩිදුර දේශපාලනික හා න්‍යායික පරිණාමය නියෝජනය කරයි. වෙබ් අඩවියෙන් ඔබ්බට ගිය වර්ධනයක් ලෙස, සඟරාව ICFI හි ඉදිරිදර්ශන විස්තාරණය කිරීම සඳහා ව්‍යුහගත හා මාසිකව සකස් කෙරෙන වේදිකාවක් සපයන අතර නාගරික කම්කරු පන්තිය, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර ඒවායේ ප්‍රවේශය පුළුල් කරයි. එය හුදෙක් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී සමාජවාදී නායකත්වය ගොඩනැගීමේ සටනේ අඛණ්ඩතාවය පමණක් නොව, එහි ගැඹුරු වීමක් පෙන්නුම් කරන අතර, එය ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර අරගලයට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත.

The Socialist යනු හුදෙක් නව ප්‍රකාශනයක් නොවේ. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදය සඳහා වන සටන ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරණය කරන ලද ගෝලීය විප්ලවවාදී මූලෝපාය (strategy) තුළ පදනම් විය යුතු බවට පිළිගැනීම තුළ මුල් බැසගත් ජාත්‍යන්තරවාදී මාක්ස්වාදී දිශානතියක ස්ඵටිකීකරණය එය නියෝජනය කරයි. පැබ්ලෝවාදයට සහ සියලු ආකාරයේ ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික පාඩම් මත පදනම්ව, ට්‍රොට්ස්කිවාදී දේශපාලන වැඩ පිළිවෙළ නැවත ස්ථාපිත කිරීම සහ න්‍යායික පැහැදිලිකම, පන්ති ස්වාධීනත්වය සහ විප්ලවවාදී ශුභවාදී බව සමඟ පන්ති අරගලයට මැදිහත් වීම SLLA හි සවිඥානික උත්සාහය යි.

ඓතිහාසික අඛණ්ඩතාව: ලෝසවෙඅ සිට The Socialist දක්වා

The Socialist දියත් කිරීම ඓතිහාසිකව හා දේශපාලනිකව 1998 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර කමිටුව විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ/WSWS) ආරම්භ කිරීම හා සම්බන්ධ වේ. ඒ අවස්ථාවේ ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කළ පරිදි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හුදෙක් නව ප්‍රකාශනයක් නොව, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයෙන් මතුවූ ගැඹුරු න්‍යායික හා දේශපාලනික පැහැදිලි කිරීමක ප්‍රතිඵලයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය බිහි වූයේ ධනේශ්වර නිෂ්පාදනයේ භූගෝලීයකරණය–ලෝක ආර්ථිකය තනි නිෂ්පාදන පද්ධතියකට ඒකාබද්ධ කිරීම–සියලු ජාතික වශයෙන් සීමිත දේශපාලන වැඩ පිළිවෙළවල් ප්‍රතිගාමී හා යල් පැන ගිය බවට හඳුනා ගැනීමෙනි. ගෝලීයකරණය වූ ධනවාදයේ යුගයට, සියලු ජාතික සීමාවන් හරහා කම්කරුවන්ගේ අරගල මෙහෙයවීමට හැකියාව ඇති, තනි ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් සහ වැඩ පිළිවෙළකින් එක්සත් වූ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයක් ගොඩනැගීම අවශ්‍ය විය. ජාතික බෙදාහැරීමේ සීමාවන් මගින් සීමා කරන ලද පක්ෂ මුද්‍රණාලයේ මුද්‍රිත සාම්ප්‍රදායික ආකාර, මෙම නව ඓතිහාසික අවධියට ප්‍රමාණවත් නොවීය. ගෝලීය සන්නිවේදනයේ වඩාත්ම දියුණු මාධ්‍යය ලෙස අන්තර්ජාලය, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ළඟා වීමට, අධ්‍යාපනය ලබා දීමට සහ දේශපාලනිකව එක්සත් කිරීමට බලගතු මෙවලමක් ICFI වෙත ලබා දුන්නේය.

The Socialist ඩිජිටල් සඟරාවක් ලෙස දියත් කිරීමට SLLA ගත් තීරණය මෙම ජාත්‍යන්තරවාදී දිශානතිය තුල පිහිටා සිටීමක් වන අතර එය පුළුල් කරයි. මාක්ස්වාදී න්‍යාය, ඓතිහාසික විශ්ලේෂණය සහ විප්ලවවාදී මූලෝපාය කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල්ම ස්ථර–විශේෂයෙන් ද්‍රව්‍යමය සම්පත් අහිමි වීම, භාෂාමය බාධක සහ ස්ටැලින්වාදය, මාඕවාදය සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ දශක ගණනාවක් තිස්සේ පාවාදීම් හේතුවෙන් දේශපාලන අධ්‍යාපනයෙන් හුදකලා වූ අය–වෙත ගෙන යාම සඳහා වඩාත්ම දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමේ අධිෂ්ඨානය එය ප්‍රකාශ කරයි.

ඩිජිටල් ආකෘතියේ දේශපාලන අර්ථය

The Socialist හි ඩිජිටල් PDF (portable document format) හෝ වෙනත් විද්‍යුත් පොත් (e-book) ආකෘතියක් හුදෙක් තාක්ෂණික පහසුවක් පමණක් නොව ගැඹුරු සමාජ හා තාක්ෂණික පරිවර්තනයන්ට අනුරූප වීමක් වේ. එය මුල් බැස ඇත්තේ සන්නිවේදනයේ සහ පන්ති අරගලයේ ද්‍රව්‍යමය තත්වයන්හි වෛෂයික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තුළ ය.

පසුගිය දශකය තුළ, ජංගම අන්තර්ජාල තාක්ෂණය සහ ස්මාර්ට්ෆෝන් පැතිරීම ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු සමාජය තුළ ගැඹුරින් සිදුවී තිබේ. දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පවා, කම්කරු පන්තියේ මව්වරු, සිසුහු සහ ග්‍රාමීය තරුණයෝ ඇතුළු මිලියන ගණනක් නිතිපතා WhatsApp සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා හරහා ඩිජිටල් ලේඛන වෙත ප්‍රවේශ වී බෙදා ගනිති. අධ්‍යාපනික ද්‍රව්‍ය, රජයේ ලේඛන, පුවත්පත් සහ ක්ෂණික ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් ඩිජිටල් ආකාරයෙන් සංසරණය වේ. මෙය හුදෙක් තාක්ෂණික වෙනසක් නොව, තොරතුරු සහ අදහස් බෙදා හැරීමේ සහ විඥානය ගොඩනඟන මාධ්‍යවල පරිවර්තනයක් නියෝජනය කරයි.

මෙම වර්ධනය, ICFI වැඩපිළිවෙළ සෘජුවම කම්කරුවන්, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව වෙත ගෙන යාම සඳහා SLLA වෙත ද්‍රව්‍යමය පදනම සපයයි. භූගෝලීය බාධක, දරිද්‍රතාවය, සේවා ස්ථාන සීමාවන් සහ සාම්ප්‍රදායික මුද්‍රිත බෙදාහැරීමේ ජාලවල සීමාවන් සහ ඉහළ පිරිවැය ජය ගනිමින්, දහස් ගණනකට The Socialist ක්ෂණිකව කියවා බෙදා ගත හැකිය. ධනේශ්වර ජාතිකවාදය, ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන් සහ වාර්ගික දේශපාලනය විසින් දශක ගණනාවක් තිස්සේ දේශපාලනිකව ආධිපත්‍යය දරන සමාජ ස්ථර වෙත ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී වැඩ පිළිවෙළ ළඟා කිරීමේ හැකියාව එය නිර්මාණය කරයි.

කෙසේ වෙතත්,  එය ධනේශ්වරයේ පාලනය යටතේ පවතින තුරු තාක්‍ෂණයම දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ නොවන බව අවධාරණය කළ යුතුය. ඩිජිටල් සන්නිවේදනයේ ව්‍යාප්තිය ධනේශ්වර වර්ධනයේ නිෂ්පාදනයකි– එය, ධනවාදය යටතේ මිනිස් ශ්‍රමය විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය නිෂ්පාදන බලවේගවල ප්‍රකාශනයකි. නමුත් අතිමහත් ප්‍රගතිශීලී විභවයක් දරන මෙම බලවේගම ධනේශ්වර ක්‍රමය තුළ සිරගතව සිටින අතර එහි අවශ්‍යතා සඳහා සේවය කරයි. තාක්‍ෂණයේ විප්ලවීය භාවිතය සඳහා මාක්ස්වාදී න්‍යාය සහ කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා සඳහා වන අරගලය මත පදනම් වූ සවිඥානික දේශපාලන හැසිරවීමක් අවශ්‍ය වේ.

මේ සම්බන්ධයෙන් The Socialist පුවත්පත දැවැන්ත දේශපාලන අර්ථභාරයක් දරයි: එය ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙළේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව දැනුවත් කිරීම සහ බලමුලු ගැන්වීම සිදු කරයි. එසේ කිරීමෙන්, එය SLLA හි කේන්ද්‍රීය මූලෝපායික කර්තව්‍යය–විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප/SEP) ගොඩනැගීම–නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය තරුණයින්, ගොවි ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර1 අතර නිර්ධන පන්තියේ නායකත්වය යටතේ සවිඥානික විප්ලවවාදී සන්ධානයක් (alliance) ඇති කිරීම මගින් සෘජුවම ඉදිරියට ගෙන යයි.

නායකත්වයේ අර්බුදය සහ විකොස/සසප අසාර්ථකත්වය

The Socialist දියත් කිරීම සමාජවාදී සමානතා පක්ෂයේ සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස/RCL) ඓතිහාසික අත්දැකීම් තුළ—සියල්ලටත් වඩා, කම්කරු පන්තිය තුළ මුල් බැසගත් සහ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී වැඩසටහනට දිනා ගැනීමට සමත් සැබෑ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට ඔවුන් අසමත් වීම තුළ–ස්ථානගත කළ යුතුය. දේශපාලන පසුබැසීම් (retreats) සහ අවස්ථාවාදී අනුගතවීම් (adaptations) තුළ මුල් බැසගත් මෙම ඓතිහාසික ඌනතාව, ව්‍යාපාරයේ මාක්ස්වාදී පදනම් නැවත ස්ථාපිත කිරීම සහ විප්ලවවාදී නායකත්වයේ කාර්යයන් සඳහා නව පරම්පරාවක් සූදානම් කිරීම පිණිස මෙවලමක් ලෙස The Socialist හි තීරණාත්මක වැදගත්කම අවධාරණය කරයි.

දකුණේ මහජන තරුණ නැගිටීම්, උතුරු හා නැගෙනහිර සිවිල් යුද්ධය සහ රාජ්‍ය භීෂණය මගින් සලකුණු කරන ලද 1987-1990 තීරනාත්මක කාල පරිච්ඡේදයේදී, විකොස තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නේය. ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර වැඩපිළිවෙල නිළ වශයෙන් ආරක්ෂා කළද, රැඩිකලීකරණය වූ  සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ස්ථර ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙලට දිනා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා සංවිධානාත්මක මූලෝපාය වර්ධනය කිරීමට පක්ෂය අසමත් විය.

මෙම අසමත් වීම ප්‍රධාන වශයෙන් උපායමාර්ගික (tactical) දෝෂ හෝ ප්‍රමාණවත් නොවන සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. එය ජාතික දේශපාලනයේ රාමුවට ගැඹුරු තත්ත්කාර්‍යවාදී අනුගත වීමකින් සහ පසුගාමී රටවලින් සමන්විත  කලාපයක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ විප්ලවවාදී ධාරිතාව පිළිබඳ මූලික සංශයකින් ගලා ආ, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මගින් ඒවාට එරෙහිව විස්තාරණය කරන ලද පැරණි මෙන්ෂෙවික් සංකල්ප දෙසට ආපසු යාමකි. පක්ෂ නායකත්වයේ භාවිතයන් පෙන්නුම් කළේ, ශ්‍රී ලංකාව වැනි පසුගාමී, ධනේශ්වර සංවර්ධනය  ප්‍රමාද වූ රටක කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී විප්ලවයට නායකත්වය දිය හැකි බවට වූ ඉදිරිදර්ශනය සඑල ලෙස අතහැර දමා, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ හෝ වැනි රටක කම්කරුවන් බලය අල්ලා ගැනීමට පෙර දියුණු ධනේශ්වර මධ්‍යස්ථානවල සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන් ජයග්‍රහණය කළ යුතු බවට වන උදාසීන අපේක්ෂාවකින් එය ප්‍රතිස්ථාපනය කිරීමය–එනම් අධිරාජ්‍යවාදය යටතේ ඒකාබද්ධ හා අසමාන සංවර්ධනය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය හරහා ට්‍රොට්ස්කි තීරණාත්මකව නිෂ්ප්‍රභා කළ පූර්ව-1905  සැලැස්ම කරා පසුබෑමකි.

රුසියානු විප්ලවයේ අත්දැකීම් සහ යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අරගල මගින් සත්‍යාපනය කරන ලද නොනවතින  විප්ලවයේ න්‍යාය, ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ, ඓතිහාසිකව ධනේශ්වර විප්ලවයන් සමඟ සම්බන්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික කාර්යයන් සාක්ෂාත් කරගත නොහැකි බව තහවුරු කරයි. එවැනි රටවල ධනේශ්වරය ඓතිහාසික වේදිකාවට පැමිණෙන්නේ ප්‍රමාද වී, අධිරාජ්‍යවාදයට හුය පට දහසකින් බැඳී, කම්කරු පන්තියේ සහ ගොවීන්ගේ විප්ලවීය බලමුලු ගැන්වීමට බියෙනි. ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජනතාව මෙහෙයවමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය ජාත්‍යන්තර පරිමාණයෙන් සමාජවාදය සඳහා වන සටනට සම්බන්ධ කරන කම්කරු පන්තියට පමණක් සමාජය මුහුණ දෙන මූලික ගැටලු විසඳිය හැකිය.

රැඩිකලීකරණය වූ සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් කෙරෙහි විධිමත්ව නැඹුරු වීමට විකොස අසමත් වීම, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපෙ/JVP) සහ උතුරේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE)2 සංවිධානය වැනි සුලු ධනේශ්වර ව්‍යාපාර විසින් ආධිපත්‍යය දරන ජාතිකවාදී දේශපාලන වාතාවරණයට ප්‍රතිපත්ති විරහිතව අනුගත වීමෙන් ගලා ආවේය. සිංහල ස්වෝත්තමවාදය කම්කරු පන්තිය කෙරෙහි ප්‍රචණ්ඩ සතුරුකම සමඟ ඒකාබද්ධ කරමින්, ජනතා විමුක්ති පෙරමුණ, දිශානතිහරිත සහ රැඩිකලීකෘත ග්‍රාමීය සිංහල තරුණයින් අතර මහජන පදනමක් ගොඩනගා ගැනීමට සමත් වූයේම, නිශ්චිතවම, මෙම ස්ථර වෙත විකොසට තිරසාර දිශානතියක් හෝ ප්‍රවේශයක් නොතිබූ බැවිනි3. 1983 සිට4, උතුරේත්, දකුණේත් ශ්‍රී ලංකා දේශපාලනය සහ පන්ති අරගලය මත–කම්කරු පන්තිය බෙදීමට, සමාජය මිලිටරිකරණය කිරීමට සහ ස්වාධීන නිර්ධන පන්ති අරගලය මර්දනය කිරීමට ධනේශ්වරය ගසා කන ලද–නොවිසඳුනු දෙමළ ජාතික ප්‍රශ්නය වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන ලද අතර මැදිහත් වීම සිදු විය. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ධනේශ්වර-ජාතිකවාදී ව්‍යාපාරවලට අනුගත වීමට බලපෑම් කළ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී අනුග්‍රහය යටතේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල LTTE සංවිධානය කෙරෙහි RCL මුලින් අනුවේදතාවයෙන්  (Sympathy) කටයුතු කිරීම දෙමළ තරුණයින්ව දේශපාලනිකව පාවාදීමක් විය. දෙමළ ජනතාවගේ ජාතික ස්වයං නිර්ණය සඳහා ‘විමුක්ති ව්‍යාපාරයක්’ නියෝජනය කරන බවට වූ LTTE සංවිධානයේ කියාපෑම අනුමත කිරීමෙන් සහ වෙනම දෙමළ ඊලමකට සහාය දීමෙන්, RCL පීඩිත දෙමළ තරුණයින්ට දිය යුතුව තිබූ නායකත්වය ධනේශ්වර වැඩ පිළිවෙළක් සඳහා සටන් කළ සුලු ධනේශ්වර-ජාතිකවාදී සංවිධානයක් අතට භාර දුන්නේය. WRP විසින් LTTE ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය, LTTE සහ අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල දේශපාලනය පිළිබඳව කිසිදු විශ්ලේශනයෙන් සිදු කිරීමෙන් RCL වලක්වන ලද අතර එය දෙමළ තරුණයින් අතර LTTE බලපෑම ශක්තිමත් කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම දේශපාලන ආස්ථානයන් උතුරේ දෙමළ තරුණයින් විප්ලවවාදී පක්ෂයට දිනා ගැනීමට RCL අසමත් වීමට හේතු වූ අතර, අනෙක් අතට, ජවිපෙට සම්බන්ධ වූ දකුණේ සිංහල ග්‍රාමීය තරුණයින්ගේ කෝපයට නතු වීමට හේතු විය. 1990 දශකයේ මුල් භාගයේදී, සසප නායකත්වය–1986 ට පෙර ස්ථාවරයෙන් අංශක 180 ක හැරීමක් වූ–බෙදුම්වාදයට සහාය දීම ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කිරීම, ජාතීන්ගේ ‘ස්වයං නිර්ණ අයිතිය’ ආරක්ෂා කිරීම අතහැර දැමීමක් ලෙස නොමඟ යවන සුළු ලෙස ප්‍රකාශ කළ අතර, එමඟින් පීඩිත දෙමළ ජනතාවගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ අත්‍යවශ්‍ය අන්තර්ගතය ක්‍රියාකාරී ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙය, ජාතික ප්‍රශ්නය විසඳීමට නායකත්වය දිය හැකි විප්ලවවාදී පක්ෂයක් ලෙස, දෙමළ තරුණයින්, දුප්පතුන් සහ වැඩ කරන ජනතාව සසප කෙරෙහි ඇති විශ්වාසය අහිමි කිරීම තවදුරටත් තහවුරු කළේය.

මෙම ද්විත්ව අසාර්ථකත්වය–ග්‍රාමීය සිංහල තරුණයන් තුළට විනිවිද යාමට නොහැකිවීම සහ දෙමළ ධනේශ්වර ජාතිකවාදයට යටත් වීම–නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ LTTE ට එරෙහිව දේශපාලනිකව සටන් කිරීමට විකොසට නොහැකි වූ අතර, එමඟින්, ව්‍යාපාර දෙකටම විකොස එහි විප්ලවවාදී කර්තව්‍යයන්ගෙන් පසුබැසීමෙන් ඇති වූ රික්තය පිරවීමට ඉඩ හ්ප්‍රස්ථාව සැලසුණි. එහි ප්‍රතිවිපාක ලේ වැකි සහ ආපසු හැරවිය නොහැකි ඒවා විය. 1990 දශකයේ මුල් භාගයේ සිට, කම්කරු පන්තියේ නාගරික කොටස් මත පටු ලෙස සංකේන්ද්‍රණය වූ සසප සීමිත මැදිහත්වීම් කම්කරු පන්තිය තුළ මහජන පදනමක් ඒකරාශි කිරීමට බොහෝ දුරට ප්‍රමාණවත් නොවූ බැවින්, මෙම අර්බුදය ගැඹුරු විය. ජවිපෙ ෆැසිස්ට්වාදයේ සහ රාජ්‍ය භීෂණයේ කම්පන සහගත උරුමය, සෝවියට් සංගමයේ ධනේශ්වර පුනස්ථාපනයේ දැවැන්ත ගෝලීය බලපෑම, කම්කරු පන්තිය වාර්ගික රේඛා මත ධ්‍රැවීකරණය කිරීමට ධනේශ්වරය භාවිතා කළ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය, තරුණ පරම්පරාවක් අවමංගත කළ පශ්චාත්-නූතන සහ මාක්ස්වාද-විරෝධී ප්‍රවනතා ශාස්ත්‍රාලීය ක්ෂේත්‍රය තුළ නැගීම, සුලු ධනේශ්වර ව්‍යාජ-වාම ප්‍රවණතා වල මතුවීම සහ වැඩි වර්ධනය වන බලපෑම සහ, මැතිවරණ සහ පාර්ලිමේන්තු උපාමාරු හරහා ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් මත ධනේශ්වර ජාතිකවාදී සහ වාර්ගික පක්ෂ තහවුරු වීම යන මේ සියලු ක්‍රියාවලීන් සසප නායකත්වය තවදුරටත් හුදකලා කර අධෛර්යමත් කළ අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පාන්තික තරුණයින් මාක්ස්වාදයේ වැඩසටහනට දිනා ගැනීමේ හැකියාව පිළිබඳ දේශපාලන විශ්වාසයක් අහිමි වීමට හේතු විය. එමඟින් කම්කරු පන්තියේ සහ පීඩිතයින්ගේ මහජන ව්‍යාපාරයෙන් එය ඈත් වීම වේගවත් විය.5

සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ ඓතිහාසික උරුමය සහ FI තුළ එහි පීඩනය

විකොස හි සහ පසුව සසප හි මෙම පසුබැසීම, හතරවන ජාත්‍යන්තරය (FI) තුළම සංශෝධනවාදය (revisionism) සඳහා පදනම සකස් කළ පුළුල් ලෝක ඓතිහාසික ක්‍රියාවලිය තුළ විශ්ලේෂණය කළ යුතුය.

විසිවන සියවසේ තුන්වන දශකයේ සිට, ජාත්‍යන්තර කම්කරු පන්තිය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ටැලින්වාදයේ පාවාදීම්වලින් පැන නැඟුණු ව්‍යසනකාරී පරාජයන් මාලාවකට මුහුණ දුන්නේය: 1914 අගෝස්තුවේ යුද වියදම් සඳහා ඡන්දය දීමෙන් ආරම්භ වී 1918-1919 ජර්මානු නොවැම්බර් විප්ලවය රුධිරයෙන් ගිල්වා දැමීමෙන් කූටප්‍රාප්තියට පත් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාවාදීම; 1923 ජර්මානු විප්ලවයේ අසාර්ථකත්වය; 1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනයේ පරාජය; 1927 චීන විප්ලවයේ විනාශකාරී පාවාදීම; සහ සියල්ලටත් වඩා–ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් බවට නියත පරිවර්තනයක් සනිටුහන් කළ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ අවශ්‍යතාව උත්ගත කළ පරාජයක් වූ–1933 ජනවාරි මාසයේදී හිට්ලර් බලයට පත්වීම. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය තුළ, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි ඇති කරගත් ගිවිසුම්, මාෂල් සැලැස්ම සහ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය හරහා ලෝක ධනවාදය තාවකාලිකව නැවත ස්ථාවර වීමක් දක්නට ලැබුණි. මෙය යටත් විජිත ලෝකය පුරා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර සහ සුලු ධනේශ්වර රැඩිකල් ප්‍රවණතා සඳහා මෙහෙයුම් ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් කළේය.  නාගරික නිර්ධන පන්තිය නොව ගොවීන් මත පදනම් වූ බලවේග හරහා 1949 දී චීනයේ මාඕ සේතුංගේ ජයග්‍රහණය; නේරු, නසාර්, සුකර්නෝ සහ න්කෲමා වැනි පුද්ගලයින් බලයට ගෙන ආ යටත්විජිතහරණයේ රළ;  ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොමැතිව හෝ කම්කරු පන්තියේ සවිඥානික බලමුලු ගැන්වීමකින් තොරව, කැස්ත්‍රෝගේ ගරිල්ලා ව්‍යාපාරය හරහා කර්මාන්ත ජනසතු කළ 1959 කියුබානු විප්ලවය; ස්ටැලින්වාදී නායකත්වය යටතේ වියට්නාමයේ දී ප්‍රංශ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය; සහ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව පුරා ගරිල්ලා ව්‍යාපාරවල ව්‍යාප්තිය–මේ සියල්ල රැඩිකල්කරණය වූ කම්කරුවන්, තරුණයින් සහ බුද්ධිමතුන් අතර දැවැන්ත අධිකාරියක් අත්පත් කරගත්තේ, නිර්ධන පන්ති නොවන බලවේග හරහා සමාජවාදය සාක්ෂාත් කරගත හැකි බවට මිත්‍යාවක් නිර්මාණය කරමින් සහ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ හතරවන ජාත්‍යන්තරයේ ඉවසිලිවන්ත කාර්යය දෘශ්‍යමාන ලෙස කට්ටිවාදී හා යල් පැන ගිය එකක් බවට පත් කරවමිනි.

හතරවන ජාත්‍යන්තරය තුළ පැබ්ලෝවාදයෙන් කූඨප්‍රාප්තියට පත් සංශෝධනවාදී පීඩනයන් ජනනය කළේ හරියටම මෙම දේශපාලන වාතාවරණයයි. ඩේවිඩ් නෝර්ත් “අපි රක්නා උරුමය” තුළ පැහැදිලි කරන පරිදි, එය “මුල සිට අග දක්වාම දියකරහැරීමේවාදය” නියෝජනය කළේය. එනම්, නිර්ධන පන්තියේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම සහ හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී සංවිධාන තුළ–මෙම බලවේග වෛෂයික තත්වයන් මගින් විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කිරීමට බල කෙරෙනු ඇතැයි ප්‍රකාශ කරමින්–පීඩන කණ්ඩායමකට පහත හෙලීමයි. 1953 භේදය, සම්භාව්‍ය (orthodox) ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ජේම්ස් පී. කැනන්ගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට හේතු විය.

Lenin Trotsky
ව්ලැඩිමීර් ලෙනින් මොස්කව්හිදී කතාවක් පවත්වමින් සිටියදී, ලියොන් ට්‍රොට්ස්කි පසුබිමේ සිටී (1920)

ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික හා වැඩ පිළිවෙළ පිළිබඳ පදනම් ආරක්ෂා කරමින් සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින්, පැබ්ලෝවාදී දියකරහැරීමේවාදයට එරෙහිව ප්‍රතිපත්තිගරුක හා ඓතිහාසිකව සනාථ කෙරුනු අරගලයක් දියත් කළද, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා කාලයත් සමඟ ජාතිකවාදී පීඩනයන්ට සහ කම්කරු පන්තියේ සහ සුලු ධනේශ්වරයේ ජාතික විඥානයට ගොදුරු විය හැකි බව ඔප්පු වූ අතර, ධනේශ්වර සහ සුලු ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන පවතින දේශපාලන රාමුවට ප්‍රායෝගිකව අනුගතවීම් වලට යොමු විය: පැබ්ලෝවාදයට එරෙහිව අරගලයෙන් දශකයකට පසු එයට යටත් වූ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (SWP), 1963 දී කැස්ත්‍රෝවාදය උත්කර්ෂයට නැංවීමේ පදනම මත පැබ්ලෝවාදීන් සමඟ නැවත එක් වී, එමඟින්, මාක්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද සමාජවාදී විප්ලවය පිළිබඳ සමස්ත ඓතිහාසික හා න්‍යායික සංකල්පය ප්‍රතික්ෂේප කළේය; 1980 ගණන්වල අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී නායකත්වයේ පාවාදීම්වලට එරෙහිව අනවරත හා ප්‍රතිපත්තිගරුක අරගලයකින් ජාත්‍යන්තර කමිටුව දේශපාලනික ඉදිරි පිම්මක් අත්කර ගත්තේ  වී නමුදු, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ පසුව ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජාතික පීඩනයන්ට යටත් විය. මෙම ගොදුරුවීමේ අවදානම් සහගත බව විකොස/සසප තුළ ප්‍රකාශ වූයේ පැහැදිලිව පෙනෙන වැඩ පිළිවෙළ  පිළිඹඳ සංශෝධනවාදය හරහා නොව–පක්ෂය නොනවතින විප්ලව න්‍යාය සහ සංක්‍රමණ වැඩ පිළිවෙළ (Transitional Program) විධිමත් ලෙස ආරක්ෂා කරන බව කියා සිටියේය–ඒ වෙනුවට, නිල ලේඛනවල අන්තර්ගත විප්ලවවාදී මූලධර්ම සහ පක්ෂයේ සංයුක්ත දේශපාලන භාවිතය සහ දිශානතිය අතර වැඩෙන විභේදනයක් හරහා ය.

සසප නායකත්වය කවිප හි ජාතික-අවස්ථාවාදී (national opportunist) පරිහානියට එරෙහි තම දිගුකාලීන අරගලයෙන් ජාත්‍යන්තර කමිටුව ලබාගත් අත්‍යවශ්‍ය පාඩම් ගැඹුරින් විකෘති කළේය. එම අරගලය තහවුරු කළේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය—පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට එරෙහි සටන් හරහා නැවත තහවුරු කරන ලද විප්ලවවාදී මාක්ස්වාදයේ මූලික මූලධර්මය—ඉල්ලා සිටින්නේ පන්ති අරගලය තුළ ක්‍රියාකාරී මැදිහත්වීමක් හරහා නිර්ධන පන්තියේ සවිඥානක දේශපාලන නායකත්වය ලෙස විප්ලවවාදී පක්ෂය ක්‍රමානුකූලව ගොඩනැගීම මිස, එම පක්ෂය ස්ටාලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානයන් තුළ විසුරුවා හැරීම නොවන බවයි. WRP හි පාවාදීම නිශ්චිතවම සමන්විත වූයේ ස්වාධීන විප්ලවවාදී ඉදිරිදර්ශනය පිටස්තර පන්ති බලවේගවලට අනුගතවීම සඳහා දියකර හැරීමයි: එය හතරවන ජාත්‍යන්තරයේ ශාඛා මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට යටත් කළ අතර යටත් විජිත සහ අර්ධ යටත් විජිත ලෝකයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීම සඳහා උපායමාර්ගික පදනම ලෙස නොනවතින විප්ලවයේ න්‍යාය ප්‍රතික්ෂේප කළේය. කෙසේ උවත්, සසප නායකත්වය දේශපාලන ස්වාධීනත්වයේ අර්ථය උඩු යටිකුරු කළේය. කම්කරු පන්ති නොවන බලවේග සමඟ අවස්ථාවාදී සන්ධාන හරහා කවිප පක්ෂය දියකර හරින විට, පක්ෂ ගොඩනැගීමේ සංයුක්ත වැඩවලින් කට්ටිවාදීව (sectarian) බැහැරව සිටීම හරහා සසප පක්ෂය කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා කළේය. ඔවුහු, දේශපාලන ස්වාධීනත්වය යන්න, කම්කරු අරගලවලදී නිර්භීත නායකත්වයක් ඉල්ලා සිටින ඉදිරිදර්ශනයකින්—එනම්, කම්කරුවන්, ග්‍රාමීය තරුණයින්, වතු කම්කරුවන් සහ නාගරික පීඩිත මධ්‍යම පන්තිය අතර පන්ති අරගලයේ ප්‍රායෝගික මුලපිරීම සමඟ න්‍යායික අධ්‍යාපනය බද්ධ කිරීම හරහා පක්ෂයේ අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රමානුකූල අරගලයක් අවශ්‍ය කරන ඉදිරිදර්ශනයකින්–ගලවා ක්‍රමානුකූල විප්ලවවාදී වැඩවලින් වෙන් වූ නිෂ්ක්‍රීය (passive) ප්‍රචාරණවාදයක් (propagandist) සඳහා තාර්කිකකරණයක් බවට එය පරිවර්තනය කළහ.

වැඩ පිළිවෙළේ සම්භාව්‍යතාවය (orthodoxy) සහ විප්ලවවාදී භාවිතය (practice) අතර මෙම පරතරය කම්කරු ව්‍යාපාරය තුළ සිංහල ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ නිලධාරිවාදී වෘත්තීය සමිතිවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයෙන් පසුබැසීම; කර්මාන්තශාලා, වතුකරය, කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ සහ උතුරේ සහ දකුණේ රැඩිකල්කරණය වූ ග්‍රාමීය සහ රැකියා විරහිත තරුණයින් අතර මුල් බැසගත් සැබෑ මහජන සංවිධානයක් ලෙස පක්ෂය ගොඩනැගීමට අපොහොසත් වීම; සහ ශ්‍රී ලාංකික නිර්ධන පන්තිය සහ පීඩිත ජනතාව මුහුණ දෙන සංයුක්ත තත්වයන්ට සංක්‍රමණ වැඩ පිළිවෙළ ක්‍රමානුකූලව යෙදුම අතහැර දැමීම යනාදිය තුළ ප්‍රකාශයට පත් විය. මෙම කටිවාදී අපගමනය–කම්කරු හා පීඩිත මහ ජනතාව තුළ ක්‍රියාකාරී නායකත්වයක් සඳහා සටන් කිරීමට වඩා සිදුවීම් පිළිබඳ නිෂ්ක්‍රීය විවරණ සිදු කිරීම ලෙස ප්‍රකාශ වීම–ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර ජාතිකවාදී ආධිපත්‍යය සහ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර සහ වෘත්තීය සමිතිවල මතුපිටින් පෙනෙන අධිකාරිය විසින් ඇති කරන ලද දැවැන්ත පීඩනයට අවස්ථාවාදී අනුගතවීමක් නියෝජනය කළේය. පන්ති ස්වාධීනතාවය පිළිඹඳ පාඩම් විකෘති කිරීම මගින් ජාත්‍යන්තර සමාජවාදයේ ධජය යටතේ සිංහල හා දෙමළ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීමෙන් පක්ෂය පසුබැසීම තාර්කිකකරණය කරන ලද අතර, එමඟින් ධනේශ්වර සහ සුලු ධනේශ්වර ජාතිකවාදයේ සියලු ප්‍රභේදවල බලපෑමෙන් ශ්‍රී ලාංකික නිර්ධන පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ අරගලය අතහැර දමා, කම්කරු පන්තියේ සහ පීඩිත ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ විප්ලවවාදී අරගලවලට නායකත්වය දීමට නොහැකි ප්‍රචාරක කවයක් බවට පක්ෂය පරිවර්තනය වීමට කොන්දේසි සකස් කරන ලදී.

විකොස/සසප ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපය

ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා වූ ක්‍රමානුකූල වැඩවලින් පසුබැසීම, එහි හරය තුළ, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තත්වයන්ට නොනවතින විප්ලව න්‍යායේ වලංගුභාවය සහ අදාළත්වය පිළිබඳ සංශය ප්‍රකාශ කළේය. මෙම ඉදිරිදර්ශන ඛාදනය හුදෙක් උපායමාර්ගික දෝෂවලට පමණක් නොව ගැඹුරු මූලෝපායික පසුබෑමකට හේතු විය. පීඩිත ග්‍රාමීය හා මධ්‍යම පන්තික ස්ථර සමඟ කම්කරු පන්තියේ දේශපාලන එක්සත්කම තනි ජාත්‍යන්තරවාදී වැඩ පිළිවෙළක් යටතේ ගොඩනගා ගැනීමේ ක්‍රියාකාරී අරගලයක් වෙනුවට, නායකත්වය නිෂ්ක්‍රීය ප්‍රචාරකවාදයට ඇද වැටිණි: සංයුක්ත විප්ලවවාදී භාවිතය වෙනුවට වියුක්ත සූත්‍රකරණ ආදේශ කරන, වැඩපිළිවෙළ සම්බන්ධ සම්භාව්‍ය ප්‍රකාශන චාරිත්‍රානුකූල ආකාරයෙන් නිකුත් කෙරුණු අතර, එමගින් මූලික වශයෙන් කට්ටිවාදී ස්වභාවයක් හෙළි කරමින්, මාක්ස්වාදී න්‍යාය සහ ආස්ථානයන් පන්ති අරගලය තුළ ක්‍රමානුකූල මැදිහත්වීම මගින් සාක්ශාත් කළ යුතු ඒවායේ අවශ්‍ය මූර්තිමත් කිරීමෙන් වෙන් කළේය. ප්‍රායෝගිකව න්‍යායික මූලධර්ම අතහැර දැමූ අවස්ථාවාදී නායකත්වය, මහජනතාව අතර පක්ෂය ගොඩනැගීමේ සංයුක්ත කාර්යයේ නිරත වීම ප්‍රතික්ෂේප කරමින්, න්‍යායික සම්භාව්‍යතාව පිටුපස සැඟවීමෙන් තම කට්ටිවාදී ස්වභාවය හෙළිදරව් කළේය.​​​

එවැනි පසුබෑමක් ධනේශ්වර සහ සුළු-ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන දේශපාලන පරිසරයට අවස්ථාවාදී අනුගතවීමක් වූ අතර, එයට දොර විවර කළේය—එය, ධනපති සංවර්ධනය පසුගාමී වූ රටක විප්ලවවාදී පක්ෂයක නායකත්වයට විශේෂ වූ නිෂ්ක්‍රීය අවස්ථාවාදයේ ප්‍රවර්ගයක් වන ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම (inverse) ස්වරූපය6 ලෙස හැඳින්විය හැකි ප්‍රවණතාවකි. ප්‍රායෝගිකව, එයින් අදහස් වූයේ ජාත්‍යන්තරව විප්ලවවාදී ව්‍යාපාරය මංමුලා කර කැබලි කළ–ස්ටාලින්වාදී, මාඕවාදී, පැබ්ලෝවාදී, සහ සුළු-ධනේශ්වර රැඩිකල් පාවාදීම්වල දශක ගණනක් විසින් හැඩගස්වන ලද–සංශෝධනවාදී සහ ජාතිකවාදී ප්‍රවණතාවන්ට නායකත්වය අත්හැරීමයි. නොනවතින විප්ලව න්‍යාය ශ්‍රී ලංකාවේ සංයුක්ත තත්ත්වයන්ට යෙදීමේ අධිෂ්ඨානශීලී සහ සම්මුති විරහිත අරගලයක් අතහැර දැමීමෙන්, සසප නායකත්වය ක්‍රමයෙන් කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා වූ අතර, ඔවුන්ගේ දේශපාලන විශ්වාසය අහිමි කර ගනිමින්, එමගින් තමන්ගේම එකතැන පල්වීම සදාකාලිකව පවත්වාගෙන ගොස් තම දේශපාලන පරිහානිය සහ අභ්‍යන්තර කුණුවීම උග්‍ර කළේය.​​​​​​​​​​​​​​​​

ජාත්‍යන්තර සංසිද්ධියක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ පන්ති අරගල තීව්‍ර වෙමින් පවතින පසුබිමක, කම්කරු පන්ති අරගලවලට සසප ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවීම, කර්මාන්තශාලා, වතු සහ සේවා ස්ථානවල ස්වාධීන විප්ලවවාදී සංවිධාන ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අරගලයෙන් පසුබැසීමෙන් ගලා ආවේය. ජාතිකවාදී දේශපාලනයට කම්කරුවන් යටත් කරන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරය, ජාතිකවාදී දේශපාලන වාතාවරණයට කම්කරු පන්තිය යටත් කරන සංවිධානාත්මක මෙවලම ලෙස ක්‍රියා කරයි. සේවා ස්ථානවල විප්ලවවාදී විකල්ප–ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු–ගොඩනැගීමට සසප ඓතිහාසිකව අසමත් වීමේ අර්ථය වූයේ, ඒකාබද්ධ, ස්වාධීන පන්ති ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අවහිර කරන සහ ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාවන් සහ වාර්ගික බෙදීම් ශක්තිමත් කරන මෙම නිලධාරිවාදී උපකරණවල දෘෂ්ටිවාදාත්මක හා සංවිධානාත්මක ග්‍රහණය යටතේ කම්කරුවන් රැඳී සිටීමයි. මෙය ප්‍රතිලෝම අවස්ථාවාදයේ තවත් ප්‍රකාශනයකි: එනම්, සහයෝගීතාවයෙන් (collaboration) නිලධාරිවාදයට අනුගතවීම නොව, කම්කරුවන් අතර ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී ක්‍රියාවන්හි නිරත වීමට අපොහොසත් වීමෙන් එහි ආධිපත්‍යයට  අවස්ථා සම්පාදනය (accommodation) කිරීමයි.

SLLA හි න්‍යායික සහ දේශපාලනික පදනම්

SLLA පිහිටුවන ලද්දේ ජාතිකවාදී අවස්ථාවාදයේ සහ දේශපාලනික නිෂ්ක්‍රීයභාවයේ/අකර්මන්‍යතාවයේ මෙම උරුමය නිශ්චිතවම ජය ගැනීම සඳහාය. එහි කාර්යය පදනම් වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම–නොනවතින විප්ලව න්‍යාය, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවය–වෙත නැවත පැමිණීම මත ය.

මෙම කර්තව්‍යයේ කේන්ද්‍රයේ පවතින්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය ජාතික රාමුවක් තුළ සම්පූර්ණ කළ නොහැකි බවට වන අවබෝධයයි. අධිරාජ්‍යවාදී යුගයේ සියලුම ආර්ථිකයන් මෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ද ලෝක ධනේශ්වර ක්‍රමයට ඒකාබද්ධ වී ඇත. කම්කරුවන් සහ පීඩිත ජනතාව මුහුණ දෙන අර්බුද–ආර්ථික බිඳවැටීම, සමාජ අසමානතාවය, ඒකාධිපති පාලනය–ධනවාදයේ ගෝලීය අර්බුදයේ ප්‍රකාශනයන් වේ. මේවායේ විසඳුම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ ලෝක පරිමාණයෙන් ධනවාදය පෙරලා දැමීම අවශ්‍ය වේ.

මෙහි තේරුම නම් ශ්‍රී ලංකාවේ සමාජවාදය සඳහා වන සටන ඉන්දියාවේ, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි බවයි. එයට කම්කරු පන්තිය, සිංහල, දෙමළ හෝ වෙනත් ඕනෑම වාර්ගික අනන්‍යතාවයකින් යුතු, සියලු ආකාරයේ ජාතිකවාදයන්ගෙන් බිඳ වෙන් කිරීම සහ පොදු පන්ති අවශ්‍යතා මත පදනම්ව වාර්ගික, ආගමික සහ ජාතික රේඛා හරහා කම්කරුවන් එක්සත් කිරීම අවශ්‍ය වේ.

ඒ සඳහා නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන්, කෘෂිකාර්මික කම්කරුවන්, දුගී ගොවීන් සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර විප්ලවවාදී සන්ධානයක් ගොඩනැගීම ද අවශ්‍ය වේ. මෙය මෙම ස්ථරවල අගතීන් හෝ සීමිත දෘෂ්ටියට ඉඩ සැලසෙන පරිදි සමාජවාදී වැඩසටහන සකස් කිරීමේ ප්‍රශ්නයක් නොව, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි ආකාරය ක්‍රමානුකූලව පැහැදිලි කිරීමේ ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ග්‍රාමීය ජනතාව ගැඹුරු වන දරිද්‍රතාවයට මුහුණ දෙති: ඉඩම් නොමැතිකම, ණයගැතිභාවය, සාම්ප්‍රදායික ජීවනෝපායන් විනාශ කිරීම සහ ග්‍රාමීය විරැකියාව ඒ අතර වේ. මේවා හුදකලා “ග්‍රාමීය ගැටලු” නොව, ලෝක ධනවාදයේ අර්බුදයේ සහ කෘෂිකර්මාන්තය කෘෂි ව්‍යාපාර ඒකාධිකාරයන්ගේ සහ අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතා සඳහා යටත් කිරීමේ ප්‍රකාශන වේ. විසඳුම ඇත්තේ ධනවාදය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණය හෝ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාතිකවාදී හෝ ජනතාවාදී (populist) වැඩසටහන් තුළ නොව, කම්කරුවන්ගේ පාලනය යටතේ තාර්කිකව සැලසුම් කළ ආර්ථිකයක කොටසක් ලෙස කෘෂිකර්මාන්තය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම තුළ ය.

ඒ හා සමානව, ග්‍රාමීය හා කුඩා නගර පසුබිම්වල, විරැකියාව, දරිද්‍රතා වැටුප් සහ සමාජ ආවෘත අන්තවලට මුහුණ දෙන පොදු අධ්‍යාපනය ව්‍යාප්තියේ නිෂ්පාදන වන උගත් තරුණයින් විභව විප්ලවීය බලවේගයක් නියෝජනය කරයි. මෑත කාලීන Gen-Z විරෝධතා ව්‍යාපාර ඔවුන්ගේ විප්ලවීය විභවයට සාක්ෂි දරයි. මාක්ස්වාදී න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී පක්ෂයක මැදිහත්වීමකින් තොරව, මෙම අතෘප්තිය සහ රැඩිකල්වාදය ප්‍රතිගාමී ජාතිකවාදී, ආගමික මූලධර්මවාදී හෝ ෆැසිස්ට්වාදී ව්‍යාපාර වෙත යොමු කරනු ලබන බව ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

මෙම ස්ථර කෙරෙහි SLLA හි දිශානතිය පදනම් වී ඇත්තේ ගොවි ජනතාව හෝ සුලු ධනේශ්වරය රෝමාන්තිකව උත්කර්ෂයට නැංවීම මත නොවේ–එසේ කිරීම මාඕවාදී, ජනතාවාදී සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ලක්ෂණයයි. එය පදනම් වී ඇත්තේ ප්‍රවේසම් සහගත මාක්ස්වාදී විශ්ලේෂණයක් මත ය: ධනවාදයෙන් වෛෂයිකව විනාශ වූ සහ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි මෙම ස්ථරවලට ප්‍රගතිශීලී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් සඳහා සටන් කරන කම්කරු පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ පමණි.

විප්ලවවාදී අධ්‍යාපනයේ මෙවලමක් ලෙස The Socialist

The Socialist මෙම දේශපාලනික පුනර්-දිශානගත වීමේ කේන්ද්‍රීය මෙවලමක් වෙයි. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන, අතීත අරගල පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණ සහ සමකාලීන දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණයන් ක්‍රමානුකූලව ප්‍රචාරය කිරීමෙන්, එය නව පරම්පරාවේ විප්ලවවාදී කේඩරයක් අධ්‍යාපන ගත කිරීම සහ කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල් ස්ථරයන්ගේ දේශපාලන විඥානය ඉහළ නැංවීම අරමුණු කරයි.

සඟරාවේ ඩිජිටල් ආකෘතිය මඟින් මෙම ලේඛන විකොස සහ සසප ක්‍රමානුකූලව ළඟා වීමට අපොහොසත් වූ එම ස්ථර වෙත–ග්‍රාමීය තරුණයින්, පීඩිත මධ්‍යම පන්තික ස්ථර සහ සාම්ප්‍රදායික දේශපාලන සංවිධානයේ මධ්‍යස්ථානවලින් හුදකලා වූ කම්කරුවන් වෙත–හරියටම ළඟා වන බව සහතික කරයි. The Socialist සහ theSocialist.lk හරහා SLLA පහත දේ සිදු කරයි:

  • මහජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුදවල පන්ති ස්වභාවය පැහැදිලි කර සියලු ජාතිකවාදී, ජනතාවාදී සහ ප්‍රතිසංස්කරණවාදී විසඳුම්වල බංකොලොත්භාවය හෙළිදරව්  කිරීම;
  • ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ඓතිහාසික පාඩම්–විශේෂයෙන් පැබ්ලෝවාදයට එරෙහි සටන සහ නොනවතින විප්ලවය න්‍යාය ආරක්ෂා කිරීම–පිළිබඳ කම්කරුවන්ට සහ තරුණයින්ට අධ්‍යාපනය ලබා දීම;
  • ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ අනෙකුත් රටවල සමකාලීන දේශපාලන වර්ධනයන් විශ්ලේෂණය කිරීම;
  • ධනේශ්වර, ස්ටැලින්වාදී සහ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම මතවාදයන්ගේ බලපෑමට එරෙහිව සටන් කිරීම;
  • විප්ලවවාදී පක්ෂය (සසප) සහ පීඩිත පන්තිවල පුළුල් ජනතාව අතර දේශපාලන පාලම් ගොඩනැගීම.

මෙය වියුක්ත අර්ථයෙන් ගත්, ජීවමාන පන්ති අරගලයෙන් වෙන් වූ න්‍යායික-ප්‍රචාරණයක් (propaganda) නොවේ. එය විප්ලවවාදී මැදිහත්වීම සමඟ ඒකාබද්ධ වූ අධ්‍යාපනයකි–එනම්, විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ සහ බලය අල්ලා ගැනීම සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස මාක්ස්වාදී විඥානය වර්ධනය කිරීමයි.

තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විප්ලවීය අධ්‍යාපනය

අන්තර්ජාල තාක්ෂණයේ සහ කෘතිම බුද්ධියේ (AI)–වඩාත් නිවැරදිව වර්ධිත බුද්ධිය ලෙස තේරුම් ගත් තක්ක්ෂණයේ–වේගවත් වර්ධනය විප්ලවවාදී ව්‍යාපාරය සඳහා අවස්ථා සහ අභියෝග යන දෙකම මුන ගස්වයි. සාමූහික මිනිස් ශ්‍රමයේ සහ පරම්පරා ගණනාවක් පුරා රැස් කරගත් විද්‍යාත්මක දැනුමේ නිෂ්පාදන වන AI පද්ධති ධනවාදය යටතේ වර්ධනය වූ දැවැන්ත නිෂ්පාදන හැකියාවන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ධනවාදය යටතේ ඇති සියලුම නිෂ්පාදන බලවේග මෙන්, ධනපති පන්තියේ අතේ පැවතෙන විට, ඒවා පෞද්ගලික දේපළවල සමාජ සම්බන්ධතාවලට පරස්පර විරෝධීව පවතින අතර ප්‍රධාන වශයෙන් ලාභ නිස්සාරණය සඳහා, සේවාවන් ස්වයංක්‍රීය කිරීමෙන් විරැකියාව වැඩි කිරීම සහ වැටුප් පහත දැමීම් සඳහා, මහා සෝදිසි කිරීම්/ඔත්තු බැලීම් සඳහා, මහා සංහාරක අවි වර්ධනය කිරීම සඳහා සහ නවීන පන්නයේ ධනපති ප්‍රචාරණන් ජනනය සඳහා යොදා ගැනෙයි. AI වර්ධනය පාලනය කරන තාක්ෂණික ඒකාධිකාරයන් ඔවුන්ගේ පද්ධති පුද්ගලික දේපළ ලෙස ආරක්ෂා කරන අතර, දත්ත නිෂ්පාදනය කරන සහ AI සාර්ථක කිරීමේ ශ්‍රමය සපයන කම්කරුවන් දරිද්‍රතාවයට තල්ලු කරනු ලැබේ.

විප්ලවවාදී ව්‍යාපාරය සඳහා, AI තාක්ෂණයේ දියුණුව විප්ලවීය අධ්‍යාපනය, පරිවර්තනය, ලේඛනාගාරය, ජාත්‍යන්තර සන්නිවේදනය සහ සංවිධානයේ නව යුගයක් විවෘත කර ඇත. මෙම මෙවලම් ICFI ලේඛන බහු භාෂාවලට වේගයෙන් පරිවර්තනය කිරීමේ හැකියාව සපයයි; ගැඹුරු ඓතිහාසික පර්යේෂණ සහ දැඩි විශ්ලේෂණයට සහාය වෙයි; සහ ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුණයින්ට මාක්ස්වාදී සාහිත්‍යය බෙදා හැරීමේ ධාරිතාව විශාල ලෙස පුළුල් කරයි. 

කෙසේ වෙතත්, AI තාක්‍ෂණය භාවිතය, ධනවාදී තාක්‍ෂණ සමාගම්වල තර්කනයට යටත් කිරීම හෝ තාක්‍ෂණික-යුතෝපියානු මායාවන් මත පදනම් නොකළ යුතු අතර, මාක්ස්වාදී න්‍යායෙන් මෙහෙයවනු ලබන, විප්ලවවාදී පක්ෂයේ සවිඥානික මඟ පෙන්වීම සහ මැදිහත්වීම යටතේ සිදුවිය යුතුය. තීරණාත්මක සාධකය වන්නේ තාක්‍ෂණයම නොව, එහි භාවිතය මෙහෙයවන දේශපාලන වැඩ පිළිවෙළ සහ පන්ති ඉදිරිදර්ශනයයි.

මේ අනුව, SLLA විසින් The Socialist සඳහා ඩිජිටල් ප්‍රකාශන ක්‍රමය භාවිතා කිරීම පුළුල් මාක්ස්වාදී ප්‍රවේශයක කොටසකි: එනම්, සමාජයේ විප්ලවීය පරිවර්තනය සඳහා කම්කරු පන්තියේ විඥානය සහ සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා මිනිස් ශ්‍රමය විසින් වර්ධනය කරන ලද දියුණු නිෂ්පාදන බලවේග භාවිතා කිරීමයි. 

ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බුද්ධිමය සන්නද්ධ කිරීමේ තීරණාත්මක හා දැවැන්ත දියුණුවක් ලෙස ICFI විසින් සංවර්ධනය කරන ලද කෘතිම බුද්ධි වේදිකාව වන “Socialism AI” දියත් කිරීම SLLA විසින් පිළිගන්නේ මෙම ඉදිරිදර්ශනය මත පිහිටාය7.

Image Not Found

ලෝක පක්ෂය ගොඩනැගීම: ජාත්‍යන්තරවාදය ප්‍රායෝගිකත්වයට

The Socialist හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක මාධ්‍යයේ කොටසක් ලෙස තේරුම් ගත යුතුය. සිංහල භාෂාවෙන් පළවන එහි ආරම්භක ප්‍රකාශනය ජාතික හා භාෂාමය බෙදීම් ඉක්මවා යන විප්ලවවාදී මාධ්‍ය ගොඩනැගීමේ තවත් වැදගත් පියවරකි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන අනාගත සංස්කරණ දකුණු ආසියාව පුරා එහි ප්‍රවේශය පුළුල් කරනු ඇති අතර, වාර්ගික හා ජාතික රේඛා හරහා කම්කරු පන්තියේ දේශපාලන එකමුතුව ශක්තිමත් කරනු ඇත.

ට්‍රොට්ස්කි විසින් ‘හතරවන ජාත්‍යන්තරය සඳහා විවෘත ලිපිය: සියලුම විප්ලවවාදී කම්කරු පන්ති සංවිධාන සහ කණ්ඩායම් වෙත‘ (1935) හි ප්‍රකාශ කරන ලද මූලික මූලධර්මය තවමත් අදාලය: 

“සියලු තත්වයන් යටතේ, විශේෂයෙන් විප්ලවයක් අතරතුර, ධනේශ්වරය සමඟ සන්ධානයක් වෙනුවෙන්, වැඩ කරන ජනතාවට පිටුපා සිටීම පිළිගත නොහැකිය. රැවටුණු සහ කලකිරුණු ජනතාව, තමන්ගේ විශ්වාසය අහිමි කර ගත් පක්ෂයක ප්‍රමාදිත ඉල්ලීම මත ආයුධ අතට ගැනීමට පියාඹා එනු ඇතැයි අපේක්ෂා කිරීම සහ එසේ කිරීමට ඉල්ලීම කළ නොහැකිය. බංකොලොත් නායකත්වයක නියෝග මගින් නිර්ධන පන්ති විප්ලවය හිටිගමන් නිර්මාණය නොවේ. නායකත්වය වෙත පක්ෂයේ නොසැලෙන විශ්වාසය දිනා දෙනු ලබන, පෙරටුගාමීන් සමස්ත පන්තිය සමඟ බද්ධ කරන සහ නගරයේ සහ ගම්බද ප්‍රදේශවල සූරාකෑමට ලක්වන සියලු දෙනාගේ නායකයා බවට නිර්ධන පන්තිය පරිවර්තනය කරන අඛණ්ඩ සහ නොපෑහිය හැකි පන්ති අරගලයක් හරහා විප්ලවය සූදානම් කළ යුතුය.”

නොනවතින විප්ලව න්‍යායට සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාව පුරා පවතින තත්වයන්ට එහි යෙදුමට අනුකූලව මෙහි තේරුම පහත පරිදිය:

  • ශ්‍රී ලංකාව වැනි ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය සහ සැබෑ සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ස්ථාපිත කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳීමට ධනේශ්වරය තම පරම නොහැකියාව පෙන්නුම් කර ඇති බව හඳුනා ගැනීම. පීඩිත ග්‍රාමීය ජනතාවට නායකත්වය දෙන කම්කරු පන්තියට පමණක් මෙම ඓතිහාසික වශයෙන් අවශ්‍ය පරිවර්තනයන් සාක්ෂාත් කරගත හැකි අතර, ඒවා අනිවාර්යයෙන්ම සමාජවාදී විප්ලවය දක්වා වර්ධනය විය යුතුය.
  • ධනේශ්වර පාලනය සහ නිර්ධන පංතියේ ආඥාදායකත්වය අතර අතරමැදි අවධීන් පිළිබඳ සියලු සංකල්ප නිශ්චිතවම ප්‍රතික්ෂේප කිරීම. රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය සහ කම්කරු බලය අතර, ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) සහ ව්‍යාජ-වම්මුන්ගේ බංකොලොත් වැඩපිළිවෙළවල් සහ ICFI හි විප්ලවවාදී මාක්ස්වාදී වැඩපිළිවෙළ අතර, මැද මාවතක් නොමැත. ගොවි ජනතාව, ග්‍රාමීය වැඩ කරන ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් සමඟ කම්කරු පන්තියේ සන්ධානය සාක්ෂාත් කරගත හැක්කේ ජාතික ධනේශ්වරයේ බලපෑමට සහ සියලු ආකාරයේ සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව නොපෑහිය හැකි (irreconcilable) අරගලයක් හරහා පමණි.
  • සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ සෑම ආකාරයකම වර්ගවාදී සහ අනන්‍යතා දේශපාලනය යන සියලු ජාතිකවාදී දෘෂ්ටිවාදයන්ගේ ප්‍රතිගාමී සහ ඓතිහාසිකව වියැකී ගිය ස්වභාවය හෙලිදරව් කිරීම සහ, කම්කරු පන්තිය ධනේශ්වර පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට යටත් කර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් දෙකම විසඳීමට ඇති මාර්ගය අවහිර කරන වැඩ පිළිවෙළවල් ලෙස ඒවා හෙලිදරව් කිරීම.
  • ජාතික සමානාත්මතාවය, ඉඩම් ප්‍රතිසංස්කරණය, ඒකාධිපති පාලනය අවසන් කිරීම සහ සමාජ සාධාරණත්වය සඳහා වන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයෙන් වෙන් කළ නොහැකි බව තේරුම් ගැනීම. ධනේශ්වර පරිහානියේ යුගයේ දී, ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ, සංක්‍රමණ ඉල්ලීම් සහ සමාජවාදී විප්ලවයේ ගැටළු වෙනම ඓතිහාසික යුගවලට බෙදී නොයන අතර එකිනෙකින් සෘජුවම පැන නගී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සඳහා වන සටන් පාඨ, කම්කරු බලය සඳහා වන අරගලයට සහ ධනේශ්වර දේපළ අත්පත් කර ගැනීම සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ විය යුතුය.
  • පොදු විප්ලවවාදී වැඩපිළිවෙලක පදනම මත, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සහ ඉන්දියානු කම්කරුවන් සමඟ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැගීම. IMF කප්පාදුවට එරෙහි වීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දක්වා ශ්‍රී ලාංකික කම්කරු පන්තිය මුහුණ දෙන කර්තව්‍යයන්, තමන්ගේම සූරාකන්නන් සහ ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව කලාපය පුරා කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි ය.
  • ගැඹුරු වන අධිරාජ්‍යවාදී අර්බුදයේ සහ තීව්‍ර වන පන්ති අරගලයේ කොන්දේසි යටතේ, ඉදිරි විප්ලවවාදී අරගල ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්, කම්කරු පන්තිය තුළ මුල් බැසගත්, ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිවලට නායකත්වය දෙන, නොනවතින විප්ලව න්‍යායෙන් සහ සංක්‍රමණ වැඩපිළිවෙළෙන් සන්නද්ධ වූ, සැබෑ මහජන විප්ලවවාදී පක්ෂ ලෙස සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) සහ දකුණු ආසියාව පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම.

මෑතකදී, ශ්‍රී ලංකාවේ අරගලය සහ බංග්ලාදේශය, නේපාලය සහ වෙනත් තැන්වල ඒ හා සමාන මහජන ව්‍යාපාර හරහා දූෂිත පාලන තන්ත්‍රයන්ට අභියෝග කිරීමට ඇති සූදානම පෙන්නුම් කළ දස දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අභිලාෂයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් බවට වන අවභෝධයට දිනා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්වයංසිද්ධතාවයට (spontaneity), සුලු ධනේශ්වර රැඩිකල්වාදයට හෝ ධනවාදය පෙරලා දමා නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත නොකර ජනතාවට තම අරමුණු සාක්ෂාත් කරගත හැකි බවට ඇති මිත්‍යාවට යටත් වීම නොව, ක්‍රමානුකූල දේශපාලන අධ්‍යාපනය, න්‍යායාත්මක පැහැදිලි කිරීම සහ විප්ලවවාදී සංවිධානය ගොඩනැගීම තුළින් සමාජවාදී විඥානය ඉවසිලිවන්තව වර්ධනය කිරීමයි.

නොනවතින විප්ලවයට ආපසු පැමිණීමක්

The Socialist සඟරාව දියත් කිරීම, විකොස සහ සසපයේ වැඩ කටයුතුවලට වලකැපූ ජාතිකවාදී අපගමනයන් වලට එරෙහිව සවිඥානික දේශපාලනික නිවැරදි කිරීමක් සනිටුහන් කරයි. එය මෙම රටවල කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ විප්ලවවාදී ශක්‍යතාවය කෙරෙහි නැවුම් විශ්වාසය ප්‍රකාශ කරයි; එය පදනම් වී ඇත්තේ අපේක්ෂාමය සිතුවිලි මත නොව ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය සහ සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාවය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණය මතය.​​​​​​​​​​​​​​​​ ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපයට එරෙහි සටනට අවශ්‍ය වන්නේ පන්ති අරගලයේ තීව්‍ර දෛනික කටයුතු සඳහා සංවිධානාත්මක හැරීමක් පමණක් නොව, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් නොනවතින විප්ලවයේ වැඩසටහනට සහ හතරවන ජාත්‍යන්තරය පදනම් වූ මූලධර්මවලට නිශ්චිත හා සවිඥානික ආපසු පැමිණීමකි.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර, විවිධ භාෂාමය ප්‍රජාවන් අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර බාධක ජය ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින්, සමාජවාදී විප්ලවය යනු නිර්ධන පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ සියලු පීඩිත ස්ථර එක්සත් කරන ජාත්‍යන්තර ක්‍රියාවලියක්ය යන මාක්ස්වාදී සංකල්පය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට SLLA කටයුතු කරයි.

දකුණු ආසියාවේ ICFI ශාඛා ගොඩනැගීමේ, ට්‍රොට්ස්කිවාදී කේඩරයේ නව පරම්පරාවක් උගන්වා ගැනීමේ සහ මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ සටනේදී, theSocialist.lk වෙබ් අඩවිය සමඟ එක්ව, The Socialist න්‍යායාත්මක හා ප්‍රායෝගික මෙවලමක් ලෙස නැගී සිටියි. එය, විසිඑක්වන සියවසේ ට්‍රොට්ස්කිවාදයේ ජීවමාන අඛණ්ඩතාව නැවත තහවුරු කරන අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ තීරණාත්මක ඉදිරි පියවරක් නියෝජනය කරයි.

SLLA සමඟ එකතු වෙන්න! සසප ගොඩනඟන්න!

              1. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1987 සැප්තැම්බර් 25 වන දින ඩේවිඩ් නෝර්ත් ගෙන් කීර්ති බාලසූරියට ලිපියක්.  ↩︎
              2. “ලසසපයේ පරිහානිය ගැඹුරු දේශපාලන ප්‍රතිවිපාක ඇති කළේය. සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය අතහැර දැමීමෙන්, ලසසප කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට වාර්ගික දේශපාලනයට එරෙහි විකල්පයක් අහිමි කළ අතර, වාර්ගිකව පදනම් වූ සංවිධාන–LTTE සහ දකුණේ සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ වැනි සුළු ධනේශ්වර සංවිධාන–නැගීමට සෘජුවම දායක විය.” විජේ ඩයස්, ‘ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවෙකුට පිළිතුරු දෙයි’, ලෝසවෙඅ (2000 සැප්තැම්බර් 29) https://www.wsws.org/en/articles/2000/09/ltte-s29.html  ↩︎
              3. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1990 නොවැම්බර් 6-9 දිනවල විකොස සැසිසේදී ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද ප්‍රතිපදානය.  ↩︎
              4. රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධී සංහාරය 1983 ජූලි මස අග දී සිදු වූ අතර, එය 2009 මැයි දක්වා පැවති වර්ගවාදී සිවිල් යුද්ධය තීව්‍ර කිරීමට හේතු වූ ආසන්නම උත්තෙජකය විය.  ↩︎
              5. SLLA විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන රචනා මාලාවක් මෙම ඓතිහාසික සත්‍යයන් වඩාත් විස්තරාත්මකව විදාරණය කරනු ඇත.  ↩︎
              6. මහජනතාවගේ ස්වාධීන විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම වෙනුවට ජාතික දේශපාලන වාතාවරණයට අනුගත වීමේ මෙම පසුබැසීම, අවස්ථාවාදයේ ප්‍රතිලෝම ආකාරයක් නියෝජනය කරයි; මන්ද මෙම සුවිශේෂී ප්‍රවණතාවය විශේෂයෙන් පසුගාමී රටවල–ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල–විප්ලවවාදී නායකත්වය තුළ ප්‍රකාශයට පත් වේ. මෙම රටවල ධනේශ්වරය, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යටතේ ඓතිහාසික අවධියට ප්‍රමාද වී පැමිණෙන අතර, සම්භාව්‍ය ධනේශ්වර විප්ලවයන්හි දී එය ඉටු කළ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් (ජාතික නිදහස, ගොවිජන විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ජාතික පරපීඩනය අවසන් කිරීම) විසඳීමට ඓන්ද්‍රීයව නොහැකි බව ඔප්පු කර ඇත. ට්‍රොට්ස්කිවාදී න්‍යායික අර්ථයෙන් ශ්‍රී ලංකාව එවැනි පසුගාමී රටක් නිරූපණය කරයි: ධනේශ්වර සංවර්ධනය යටත්-විජිත පාලනය යටතේ සිදු වූ අතර, එය දිගටම අධිරාජ්‍යවාදයට සහ ලෝක වෙළඳපොළට නව යටත්-විජිත යට කිරීම (subjugation) තුළ සිදුවෙයි; අධිරාජ්‍යවාදයට බැඳී සිටින සහ පීඩිත මහජනතාවට බියෙන් සිටින ජාතික ධනේශ්වරයට දෙමළ ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය විසඳීමට හෝ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කිරීමට නොහැකිය. ප්‍රථිඵල වශයෙන්, මෙම නොවිසඳුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න දේශපාලන භූමිය ආධිපත්‍යය දරන අතර, ට්‍රොට්ස්කි පෙන්නුම් කළ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් ඓතිහාසික අවධීන්ට වෙන්වීමට වඩා අන්තර් විනිවිද යන තත්වයන් නිර්මාණය කරයි. දකුණු ආසියාව පුරා නිදර්ශනය කර ඇති මෙම නිශ්චිත තත්වයන් යටතේ, ප්‍රතිලෝම අවස්ථාවාදය ක්‍රමානුකූල රටාවක් ලෙස මතු වේ: විප්ලවවාදී පක්ෂය රැඩිකල්කරණය වූ ග්‍රාමීය තරුණයින් අතර ක්‍රමානුකූල සංවිධානයක් ගොඩනැගීමෙන් පසුබසියි (ජේවීපී සහ එල්ටීටීඊයට ආධිපත්‍යය දැරීමට ඉඩ සලසයි); කම්කරු පන්ති අරගලවලට ක්‍රමානුකූල මැදිහත්වීමෙන් පසුබසියි (ජනවාර්ගික බෙදීම් සහ ප්‍රතිසංස්කරණවාදී මායාවන් බල ගන්වන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරයන්ට කම්කරුවන්ගේ ගෙල සිරකරීමට අවස්ථාව සලසයි); සහ සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට අවස්ථාවාදීව අනුගත වීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලින් කට්ටිවාදීව හුදකලා වීම අතර දෝලනය වේ. ඒ සෑම ප්‍රකාශනයකම, පොදු හුය වන්නේ ස්වාධීන නිර්ධන පන්ති නායකත්වයක් ගොඩනැගීම සඳහා ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී කාර්යයක් කිරීමට අපොහොසත් වීමයි: එය, අවස්ථාවාදී බලවේග සමඟ ක්‍රියාකාරී සහයෝගීතාවයෙන් නොව, ධනේශ්වර සහ සුලු ධනේශ්වර ප්‍රවණතාවන්ට කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව අතර ආධිපත්‍යය දැරීමට ඉඩ සලසන සංවිධානාත්මක නිෂ්ක්‍රීයතාවය හරහා ජාතිකවාදී දේශපාලන වාතාවරණයට අනුගතවන පසුබැසීමකි (retreat). ජාතික අවස්ථාවාදය යනු දී ඇති රටක් හෝ කලාපයක් තුළ ධනේශ්වර, සුලු ධනේශ්වර හෝ ජාතිකවාදී බලවේග සමග සන්ධානවලට එළඹීමට හා ඒ මත දේශපාලනිකව යැපීමට පක්ෂව නිර්ධන පන්තික ජාත්‍යන්තර මූලෝපාය අත්හැරීමයි. හීලි, බන්ඩා සහ පසුව ස්ලෝටර් යටතේ කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) සම්බන්ධයෙන් ගත් කළ, ධනේශ්වර පාලන තන්ත්‍රයන්, ජාතිකවාදීන් සහ ප්‍රතිගාමී රාජ්‍ය ක්‍රියාකාරීන් සමඟ පවා සහයෝගීතාවය මගින් නිර්ධන පන්ති ස්වාධීනත්වය ස්ථාවර ලෙස එයට ආදේශ කිරීමක් ලෙස අවස්ථාවාදයට පරිහානිගත වීම සංයුක්ත ස්වරූපයක් ගත්තේය. ↩︎
              7. විකොස/සසප දේශපාලන කටයුතු පිළිබඳ සම්පූර්ණ ඓතිහාසික වාර්තාව සමඟ Socialism AI වැඩිදියුණු කිරීම සඳහා, 1972 සිට 1998 දක්වා ප්‍රකාශයට පත් කරන ලද විකොස/සසප න්‍යායික ප්‍රචාරණ පුවත්පත වන කම්කරු මාවතේ (Kamkaru Mawatha) සම්පූර්ණ වෙළුම්වල ඩිජිටල් පිටපත් සමඟ පද්ධතිය පෝෂණය කිරීමට SLLA යෝජනා කරයි. ↩︎

              Leave a Comment

              Your email address will not be published. Required fields are marked *

              Scroll to Top