අධිරාජ්‍යවාදය තම “අවසාන විසඳුම” ගාසා තීරයේ දියත් කරයි

ලෝසවෙ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය විසිනි.

Khan Yunus
2025 මැයි 19 වන සඳුදා, ඊශ්‍රායල හමුදා ප්‍රහාරය මධ්‍යයේ, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයෙන් අවතැන් වූ පලස්තීනුවන් පලා යති [AP ඡායාරූපය/අබ්දෙල් කරීම් හනා]

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 මැයි 19 දින ‘Imperialism launches its “final solution” in Gazaයන හිසින් පලවූ ලෝසවෙ ජාත්‍යන්තර කතෘ මණ්ඩලය විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

සති අන්තයේ ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) විසින් “ගිඩියොන්ගේ යුධරථ මෙහෙයුම” පූර්ණ පරිමාණයෙන් දියත් කිරීම නිවේදනය කරන ලද අතර එය ගාසා තීරයේ “අවසාන පියවර” ලෙස අගමැති බෙන්ජමින් නෙතන්යාහු විස්තර කළේය. මෙම භාෂාව “අවසාන විසඳුම” – යුරෝපයේ යුදෙව්වන් ක්‍රමාණුකූලව සමූලඝාතනය කිරීම සඳහා නාසි ජර්මනියේ යෙදුම- ප්‍රතිරාවය කරයි.

මෙහෙයුමේ අරමුන වන්නේ ගාසා තීරය මුළුමනින්ම මිලිටරි ආක්‍රමණය කිරීම සහ අත්පත් කර ගැනීම, ඉතිරි ජනගහනය දකුණේ ගාල් කඳවුරුවලට බලහත්කාරයෙන් අභ්‍යන්තර විස්ථාපනය කිරීම සහ ඔවුන් පලස්තීනයෙන් මුළුමනින්ම නෙරපා හැරීමට සූදානම් වීමයි.

මෙම මෙහෙයුම සමග සමගාමීව සිරගත කර  සිටින ජනගහනයට ආහාර බෙදා හැරීම, එක්සත් ජනපදය-ඊශ්‍රායලය ඒකාබද්ධව අත්පත් කර ගැනීමත්, ඇමරිකානු සැපයුම් සමාගම් සහ පුද්ගලික හමුදා කොන්ත්‍රාත්කරුවන් විසින් මුහුණ හඳුනාගැනීමේ තාක්‍ෂණය හරහා හඳුනාගෙන පූර්ව පරීක්ෂාවට ලක් වූ පුද්ගලයින්ට සාගත මට්ටමේ සලාක බෙදාහැරීමත් සිදුකරනු ඇත.

තිරය ​​පිටුපසින් ට්‍රම්ප් පරිපාලනය, හොලෝකෝස්ට සමූලඝාතනයෙන් [දෙවන ලෝක යුද්ධ සමයේ දී හිට්ලර් ප්‍රමුඛ ෆැසිස්ට්වාදින් සිදුකළ මිලියන් 6 ක යුදෙව් ජන සංහාරය] පසු විශාලතම අධිරාජ්‍යවාදී පිටුබලය සහිත වාර්ගික ශුද්ධ කිරීමේ මෙහෙයුම මෙහෙයවයි. බලහත්කාරයෙන් අවතැන් කරන  මිලියනයකට අධික පලස්තීනුවන් නැව් මගින් හෝ ගොඩබිමෙන් භාර ගැනීම සදහා – එක්සත් ජනපදයේ පිටුබලය ලබන ඉස්ලාමීය කැරලිකරුවන් විසින් පෙරලා දැමූ ආන්ඩු සහිත – ලිබියාවේ සහ සිරියාවේ පාලන තන්ත්‍රයන් සමඟ ධවල මන්දිරය සාකච්ඡා කරමින් සිටී.

දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් වසර අසූවකට පසුව, නාසි ජර්මනියේ දැවැන්තම අපරාධ – මහා පරිමාන සමූල ඝාතනය, හිතාමතා මහා පරිමාන සාගතය සහ වාර්ගික ශුද්ධ කිරීම – අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ක්‍රියාත්මක කර සාමාන්‍යකරණය කරමින් සිටී. 

එහෙත් හොලෝකෝස්ටයේ සැලසුම්කරුවන් ඔවුන්ගේ අපරාධවල පරිමාණය ජර්මානු ජනගහනයෙන් සහ ලෝකයෙන් වසන් කිරීමට උත්සාහ කළ අතර, ගාසා තීරයේ සමූල ජන ඝාතනය මුළුමනින්ම එළිපිටම දිග හැරෙමින් තිබේ. ඇමරිකානු ජනාධිපතිවරයා පලස්තීනය ජනවාර්ගික ශුද්ධ කිරීම සහ ඈඳා ​​ගැනීම තම පරිපාලනයේ මූලෝපායික අරමුණක් ලෙස විවෘතව ප්‍රකාශ කර ඇත.

ගාසා තීරයේ ජන සංහාරය ට්‍රම්ප් සහ නෙතන්යාහු විසින් මෙහෙයවනු ලැබූව, එය සියලු අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආරක්ෂා කර නීත්‍යානුකූල කර ඇති අතර ධනේශ්වර අරාබි පාලන තන්ත්‍රයන් විසින් ඊට පහසුකම් සලසා ඇත.

අධිරාජ්‍යවාදී ආන්ඩු ඊශ්‍රායලයට “තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ඇති” බව ප්‍රකාශ කිරීම මගින් සමූහ මිනීමැරුම් සහ වාර්ගික ශුද්ධ කිරීම් නීත්‍යානුකූල කරයි. යුරෝපය පුරා සෑම ආන්ඩුවක්ම ජන සංහාරයට එරෙහි විරෝධතා වංචනිකව “සෙමිටික් (යුදෙව්)-විරෝධී” ලෙස හෙලා දැක, සමූහ අත්අඩංගුවට ගැනීම් සිදු කරමින් සහ ඊශ්‍රායල රාජ්‍යයේ අපරාධවලට එරෙහිව කතා කරන අයට හිංසා පීඩා කරමින් සිටී.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස්, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුට ජර්මනියට ආරාධනා කර ඇති අතර, නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුව කඩ කරන බවට ප්‍රතිඥා දී තිබේ.

සෞදි අරාබිය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ට්‍රම්ප්ගේ සංචාරය ගාසා ජන සංහාරයේ අරාබි පාලන තන්ත්‍රවල හවුල්කාරිත්වය සමස්ත ලෝකය ඉදිරියේ ප්‍රදර්ශනය කර ඇත. ගාසා තීරයේ විනාශය වෙනුවෙන් ට්‍රම්ප් ඊශ්‍රායලයට ඩොලර් බිලියන ගණනින් බෝම්බ ලබා දෙද්දී කටාර් රජ පවුල ට්‍රම්ප්ට ඩොලර් මිලියන 400 ක පෞද්ගලික ජම්බෝ ජෙට් යානයක් තෑගි කර තිබේ.

පලස්තීනුවන් සාගතයේ තැබීම හෙළා දකින නාම මාත්‍ර ප්‍රකාශ නිකුත් කළ ද, අරාබි පාලන තන්ත්‍ර ගාසා තීරයේ සමූල ජන සංහාරයට සහ බලහත්කාරයෙන් අවතැන් කිරීමට හවුල්කාරී වේ.

මාධ්‍යවේදී බොබ් වුඩ්වර්ඩ් යුද්ධය නම් සිය පොතේ සඳහන් කර ඇති පරිදි , ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු 2023 දී රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන්ට පැවසුවේ, “ඊශ්‍රායලය හමාස් පරාජය කළ යුතුය. අපි මෙය ප්‍රසිද්ධියේ නොකියමු, නමුත් අපි හමාස් පරාජයට සහාය දෙමු.” ඊශ්‍රායලය පලස්තීනුවන් සමූල ඝාතනය කරමින් සිටියදී පවා ඔහුගේ පාලනයට අවශ්‍ය වන්නේ ඊශ්‍රායලය සමඟ සාමය පවත්වා ගැනීමට පමණක් බව ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆාටා එල්-සිසි බ්ලින්කන්ට පැවසූ බවත් වුඩ්වර්ඩ් ලිවීය.

“ජාත්‍යන්තර නීතියේ” ආයතන සිදුවෙමින් පවතින සමූල ජන සංහාරය හමුවේ සම්පූර්ණයෙන්ම බංකොලොත් බව ඔප්පු කර ඇත. අඩ සියවසක අධිරාජ්‍යවාදී අනුග්‍රහය ලත් “සාම සැලසුම්”, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සහ ආරක්ෂක මණ්ඩලයේ ගණන් කළ නොහැකි ඡන්ද, ජාත්‍යන්තර අධිකරණයේ තීන්දු සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ චෝදනා සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත බව ඔප්පු වී ඇත.

යෝධ පරිමාණ අපරාධයක් වන ගාසා තීරයේ දිග හැරෙමින් පවතින දෙය අතිශය දුරදිග යන දේශපාලන ඇඟවුම් දරා සිටි. එය අධිරාජ්‍යවාදයේ සහ සියලු “ප්‍රජාතන්ත්‍රවාදී” ධනේශ්වර ආන්ඩුවල අති මූලික ස්වභාවය හෙලිදරව් කරයි. පළමු ලෝක යුද්ධය මධ්‍යයේ 1916 දී ලියන ලද අධිරාජ්‍යවාදය පිලිබඳ ඔහුගේ නොනැසෙන සුළු විග්‍රහයේ දී, ලෙනින් අනතුරු ඇඟවූයේ, ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදය සහ පැරණි රාජාණ්ඩු ආඥාදායකත්වය අතර වෙනස මැකී යමින් පවතින බවයි. ශතවර්ෂයකට පසුව, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් යැයි කියා ගන්නා නවීන අධිරාජ්‍යවාදී පාලන තන්ත්‍ර, සමස්ථ ජනගහණයක් සමූල ඝාතනය කිරීම, යුක්ති සහගත කිරීම, සහාය දීම සහ ඊට අත්පොළසන් දීම පවා කරති.

සමූල ජන ඝාතනය  සාමාන්‍යකරණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර තීව්‍ර කිරීම, කම්කරු පන්තිය දුප්පත් කිරීම  සහ අධිරාජ්‍යවාදී ආන්ඩුවල යුද සැලසුම් වලින් වෙන් කළ නොහැකි සංරචකයකි. වොෂින්ටනයේ සිට බර්ලින්, ලන්ඩන් සහ ටෝකියෝ දක්වා සියලුම අධිරාජ්‍යවාදී අගනගරවල ආන්ඩු සමාජ වැඩසටහන් කප්පාදු කරමින් මිලිටරි වියදම් දැවැන්ත ලෙස පුලුල් කරමින් සිටී.

සෑම අධිරාජ්‍යවාදී ආන්ඩුවකම නායකයින්  – සහ ඔවුන්ගේ මැද පෙරදිග අනුගාමික පාලන තන්ත්‍රයන් – ඊශ්‍රායලය විසින් සිදු කරන ලද සමූල ජන ඝාතනයට සහාය දෙන අතර, ලෝක ජනගහනයෙන් අතිමහත් බහුතරයක් මෙම අපරාධ වලින් කම්පනයට පත්ව සිටිති. ලොව පුරා ප්‍රධාන නගරවල සහ උප නගරවල- ගණන් කළ නොහැකි දහස් ගණන් යුදෙව්වන් ද ඇතුළු- මිලියන සංඛ්‍යාත ජනයා ගාසා සමූල ජන ඝාතනයට එරෙහි මහජන විරෝධතාවලට සම්බන්ධ වී සිටිති. සමූල ජන ඝාතනයෙන් කෝපයට පත් ලෝක ජනතාව සහ ඔවුන්ගේ ආන්ඩු අතර සමහන් කළ නොහැකි අගාධයක් විවර වී ඇත.

සමූල ජන ඝාතනය ආරම්භයේ සිට මාස දහනවයක් ගත වන විට, යම් මූලික නිගමනවලට එළඹීම අවශ්‍ය වේ. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, අධිරාජ්‍යවාදී බලවතුන්ට හෝ ජාත්‍යන්තර නීති ආයතනවලට ආයාචනා කිරීම හරහා ගාසා සමූල ජන ඝාතනය  නැවැත්විය නොහැක. ගාසා තීරයේ සංහාරය නැවැත්විය හැකි එකම මාර්ගය කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. සමූල ජන ඝාතනයට එරෙහි අරගලය රඳා පවතින්නේ පන්ති අරගලයේ පුළුල් කිරීම සහ කම්කරු පන්තියේ සමාජ, ආර්ථික හා දේශපාලන අයිතීන් ආරක්ෂා කිරීම මත ය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top