පීටර් සිමන්ඩ්ස් විසිනි.
මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2026 පෙබරවාරි 08 වන දින ‘Workers at BYD’s Xi’an plant in China strike over poverty wages’ යන හිසින් පලවූ පීටර් සිමන්ඩ්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.
පෙබරවාරි 5 වන දින, ෂියාන්හි (Xi’an’s) අධි-තාක්ෂණික කලාපයේ ජික්සියන් කාර්මික උද්‍යානයේ (Jixian Industrial Park) පිහිටි BYD හි අධි වෝල්ටීයතා විදුලි උපකරණ කම්හලේ කම්කරුවන් තම කෑලි-අනුපාත ප්‍රසාද දීමනා ම්ලේච්ඡ ලෙස කප්පාදු කිරීම් වලට එරෙහිව සාමූහික වැඩ වර්ජනයක් දියත් කළහ. BYD හි දැනට ක්‍රියාත්මක පිරිවැය අඩු කිරීමේ මෙහෙයුම යටතේ, කම්කරුවන්ගේ සොච්චම් ආදායමේ තීරණාත්මක අංගයක් වන, උපරිම මාසික කෑලි-අනුපාත ප්‍රසාද දීමනාව යුවාන් 2,400 සිට යුවාන් 300-600 දක්වා අඩු කරන ලදී.
සමාජ රක්ෂණ සහ නිවාස අරමුදල් දායක මුදල් සඳහා අනිවාර්ය අඩු කිරීම් වලින් පසුව, බොහෝ සේවකයින් වාර්තා කළේ ඔවුන්ගේ මාසික අතට ලැබෙන වැටුප යුවාන් 2,000 ට (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 290) ට වඩා පහත වැටී ඇති බවයි. මෙම අගය වෙනත් විදිහකට පවසතොත්, මසකට යුවාන් 2,000 ක් වසරකට දළ වශයෙන් ඩොලර් 3,480 කි.
මේ අතර, BYD නිර්මාතෘ, සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) ගේ පසුගිය වසරේ ඇස්තමේන්තුගත පුද්ගලික ධනය ඩොලර් බිලියන 28.5 ක් බව ෆෝබ්ස් වාර්තා කරයි. මසකට යුවාන් 2,000 ක් උපයන තනි BYD කර්මාන්තශාලා සේවකයෙකුට අද වැන්ග් සතුව ඇති ධනය රැස් කර ගැනීමට වසර මිලියන 8.2 කට වඩා කාලයක් වැඩ කිරීමට සිදුවනු ඇත.
මෙම දැවැන්ත විෂමතාවය අපගමනයක් නොව BYD හි ව්‍යාපාරික ආකෘතියේ අත්තිවාරමයි. එහිදී මූලික වැටුප් හිතාමතාම ප්‍රාදේශීය අවම වැටුප් මට්ටම්වලට වඩා යන්තම් ඉහළින් –සමහර විට යන්තම් සමාන වනසේ–සකසා ඇති අතර, සේවකයින්ට කළමනාකරණයේ අභිමතය පරිදි ඉවත් කර ගත හැකි අතිකාල, ප්‍රසාද දීමනා සහ කාර්ය සාධන අතිරේක දීමනා මත යැපීමට බල කෙරේ.
ෂියෑන් වැඩ වර්ජනය හුදකලා සිදුවීමක් නොවේ. එය වසර ගණනාවක් පුරා විහිදෙන සහ රටවල් ගණනාවක් සහ චීනයේ පළාත් පුරා පැතිරී ඇති BYD හි දැවැන්ත නිෂ්පාදන අධිරාජ්‍යය පුරා උත්සන්න වන කම්කරු නොසන්සුන්තාවයේ රටාවක නවතම පිපිරීමයි.
2024 මැයි මාසයේදී, එක්සත් ජනපදය පදනම් කරගත් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයෙකු වන ජබිල්ට (Jabil) අයත් වූ BYD හි වූක්සි (Wuxi) කම්හලේ සේවකයින් වැඩ වර්ජනය කළේ, සමාගම විසින් අතිකාල ඉවත් කරන නව කාලසටහනක් පැනවීමෙන් පසුවය. එය කම්කරුවන් ඔවුන්ගේ දරිද්‍රතා මට්ටමේ මූලික වැටුපට අතිරේකව යමක් උපයා ගත් ප්‍රධාන යාන්ත්රණයයි. වූක්සි හි BYD හි මූලික වැටුප, නීත්‍යානුකූල අවමයට වඩා යන්තම් ඉහළ යුවාන් 2,490 ක් ලෙස පිහිටුවා තිබුණි. චීන කම්කරු නීතියට අනුව සාමාන්‍ය අනුපාතයට වඩා 1.5 සිට 2 ගුණයකින් ගෙවීමට අවශ්‍ය වන අතිකාල ඉවත් කිරීම, සැබෑ මාසික ආදායම බොහෝ සේ පහත වැටීමට හේතු විය.
2025 මාර්තු අග සහ අප්‍රේල් මුලදී තත්වය නාටකාකාර ලෙස තීව්ර විය. මාර්තු 28-29 දිනවල වූක්සි කම්හලේ සේවකයින් 1,000 කට වැඩි පිරිසක් වැඩ වර්ජනය කළ අතර, මාර්තු 31 සිට අප්‍රේල් 1 දක්වා BYD හි චෙන්ග්ඩු කම්හලේ ඔවුන්ගේ සගයන් ද වැඩ වර්ජනය කළහ. දුක්ගැනවිලි සමාන විය: කාර්ය සාධනය මත පදනම් වූ වැටුප් අඩු කිරීම්, යුවාන් 30 ක උපන්දින සහනාධාරයක් වැනි සංකේතාත්මක ප්රතිලාභ පවා ඉවත් කිරීම, අත්තනෝමතික තනතුරු මාරු කිරීම් සහ පහත් කිරීම්.
සියල්ලටත් වඩා, වූක්සි කම්හලේ කම්කරුවන්ගේ කෝපය යොමු වූයේ 2023 දෙසැම්බර් මාසයේදී ජබිල් හි ග්‍රීන් පොයින්ට් මෙහෙයුම් යුවාන් බිලියන 15.8 කට අත්පත් කර ගැනීමේදී BYD විසින් දුන් පොරොන්දු බරපතල ලෙස උල්ලංඝනය කිරීම කෙරෙහි ය. එහිදී කළමනාකාරිත්වය අවම වශයෙන් මාස 18 ක් වැටුප් හා කොන්දේසි නොවෙනස්ව පවතින බවට පොරොන්දු විය.
වූක්සි කම්හලට පොලිසිය යොදවා තිබූ අතර, විරෝධතාකරුවන් මහජන දර්ශනයෙන් වැළැක්වීම සඳහා රෙදි තිර ඉදිකර තිබුණි. චෙන්ග්ඩු හි, කැරලි මර්දන පොලිසිය සහ SWAT කණ්ඩායම් පසුගිය වසරේ අප්‍රේල් 2 වන දින වැඩ වර්ජනය බලහත්කාරයෙන් විසුරුවා හැරිය අතර, අත්අඩංගුවට ගැනීම් වාර්තා විය. මාර්තු මැද භාගයේදී එක් සේවකයෙකු ඒ වනවිටත් දින පහක් රඳවාගෙන සිටියේ සේවය පහත් කිරීමකට විරෝධය දැක්වීම නිසාය.

සූරාකෑමේ රටාව චීනයේ දේශසීමාවලින් ඔබ්බට විහිදේ. 2024 දෙසැම්බර් මාසයේදී, බ්‍රසීල බලධාරීන් බහියා හි කැමසාරි හි නව BYD කම්හලක් සඳහා ඉදිකිරීම් ස්ථානයක, අවම වශයෙන් චීන කම්කරුවන් 163 දෙනෙකු අභිචෝදකයන් විසින් “වහල්භාවයට සමාන කොන්දේසි” ලෙස විස්තර කළ තත්වයෙන් බේරා ගත්හ. පසුගිය වසරේ ආසියාවෙන් පිටත සමාගමේ පළමු මගී මෝටර් රථ කම්හල විවෘත කිරීම ප්‍රමාද කරමින් එම ස්ථානය වසා දමන ලදී.
HK කම්කරු අයිතිවාසිකම් නිරීක්ෂක වෙබ් අඩවියට (HK Labour Rights Monitor website) අනුව, “පරීක්ෂණයෙන් කම්පනය සහගත අපයෝජන අනාවරණය විය: සමහර සේවකයින් හිස් ඇඳන් මත නිදා ගත් අතර, පුද්ගලයෝ 31 දෙනෙකු එකම වැසිකිළියක් පාවිච්චි කළහ. ආහාර සහ පුද්ගලික අයිතම අපිරිසිදු තත්වයන් යටතේ ගබඩා කර තිබුණි. වාර්තා වන පරිදි, සේවකයින්ට අලුයම 4 ට පමණ වේලාසනින් අවදි වීමට බල කෙරුණි, විවේක දින නොමැතිව අධික වැඩ පැය ගණනක් විඳදරාගත් අතර සමහර අවස්ථාවල දින 25 ක් අඛණ්ඩව වැඩ කළහ.”
කම්කරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර රඳවා ගන්නා ලද අතර, වැටුප් වලින් සියයට 60 ක් දක්වා අත්හිටුවා, දිනකට පැය 12 ක් දක්වා, සතියේ දින හතේම, අඛණ්ඩව දින 25 ක් වැඩ කිරීමට බල කෙරුණි. පසුව ෆෙඩරල් නඩු පවරන්නන් රිඉස් මිලියන 257 ක (ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45) වන්දි ඉල්ලා නඩුවක් ගොනු කළ අතර, පසුව රිඉස් මිලියන 40 ක් පමණක් ගෙවීමට එය සමථ වී ඇත.
2008 සිට 2025 දක්වා වසර 17ක් පුරා, BYD හි කම්කරු පිළිවෙතට ලොව ධනවත්ම පුද්ගලයින්ගෙන් කෙනෙකු වන බහු-ප්‍රකෝටිපති සමපේක්ෂක වොරන් බෆට් (Warren Buffett) වක්‍රව සහාය ලබා දී ඇත. බෆට්ගේ ආයෝජන උපකරණය වන බර්ක්ෂයර් හැතවේ (Berkshire Hathaway), BYD හි ප්‍රධාන කොටස් හිමිකරගෙන සිටි අතර, බෆට්ගේ මියගිය ව්‍යාපාර සහකරු චාලි මුන්ගර් (Charlie Munger) ගේ උනන්දු කිරීම පරිදි, මුලින් 2008 දී, ඩොලර් මිලියන 230 කට එය අත්පත් කර ගන්නා ලදී. මුන්ගර් වැන්ග් චුවාන්ෆු (Wang Chuanfu) “තෝමස් එඩිසන් සහ ජැක් වෙල්ච්ගේ (Jack Welch) සංයෝජනයක්” ලෙස විස්තර කළේය.
එහි උච්චතම අවස්ථාවේදී, බර්ක්ෂයර් හි BYD කොටස් වටිනාකම ඩොලර් බිලියන 9 ඉක්මවිය–එය දළ වශයෙන් 40 ගුණයක ලාභයකි. ආයෝජනයෙන් ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 7 ක ලාභයක් උපයා ගන ඇත. මෙම කාලය පුරාම, BYD සේවකයින් දරිද්‍රතා වැටුප්, වැඩ වර්ජන සඳහා පොලිස් මර්දනයන්, විදේශයන්හි විදේශ ගමන් බලපත්‍ර රඳවා ගැනීම් සහ ක්‍රමානුකූලව කඩ කරන ලද පොරොන්දු විඳදරා ගනිද්දි, බර්ක්ෂයර් හැතවේ ප්රමුඛ කොටස් හිමියෙකු ලෙස රැඳී සිටිමින්, එහි සහ පෞද්ගලිකව බෆට්ගේ කීර්තිය සමාගමට ලබා දුන්නේය.
බර්ක්ෂයර් 2022 අගෝස්තු මාසයේදී තම කොටස් විකිණීම ආරම්භ කළ අතර 2025 මුල් භාගය වන විට එහි පිටවීම සම්පූර්ණ කළේය. බෆට් BYD හි අධික ලෙස සූරාකෑමේ ශ්‍රම පිළිවෙත් පිළිබඳව කිසිදු විවේචනයක් ඉදිරිපත් කළේ නැත. ඔහුගේ එකම ප්‍රසිද්ධ ප්‍රකාශය වූයේ, 2023 දී, BYD යනු “අපූර්ව පුද්ගලයෙකු” විසින් පවත්වාගෙන යනු ලබන “අපූර්ව සමාගමක්” බවයි. එනමුත්, තමන් “මුදල් වලින්, වඩා හොඳ හැඟීමක් ඇති කරන දේ සොයා ගන්නා බව” ඔහු පැවසීය.
BYD හි පුණරාවර්තනය වන වැඩවර්ජන මගින් චීනයේ ධනවාදී සූරාකෑමේ ස්වභාවය සහ ලෝකයේ ප්රමුඛ විදුලි වාහන නිෂ්පාදකයා ලෙස BYD හි නැගීම හෙළි වේ. 2024 දී යුවාන් බිලියන 777.1 ක ආදායමක් සහ යුවාන් බිලියන 40 කට වඩා වැඩි ශුද්ධ ලාභයක් BYD වාර්තා කළේය. වැන්ග් චුවාන්ෆුගේ පෞද්ගලික ධනය ඔහුව පෘථිවියේ ධනවත්ම පුද්ගලයින් අතරට පත් කරයි–පසුගිය වසරේ Forbes සඟරාව විසින් චීනයේ බිලියනපතියන් අතරින් 9 වන ධනවත්ම පුද්ගලයා ලෙස ඔහුව ලැයිස්තු ගත කෙරුණි.
එහෙත් බොහෝ කර්මාන්තශාලා වල, මෙම ධනය නිෂ්පාදනය කරන–චීනයේ විශාලතම ප්‍රසිද්ධියේ වෙළඳාම් කරන (publicly traded company) සේවා යෝජකයා බවට BYD පත් කරන දැන් 900,000 කට වඩා වැඩි සංඛ්‍යාවක් වන–කම්කරුවන්ට ලැබෙන්නේ අධික වෙහෙසකින් අතිකාල කිරීමෙන් තොරව මූලික ජීවන වියදම් සපුරාලීමට නොහැකි වන වැටුපකි.
නීත්‍යානුකූලව අවසර ලත් එකම වෘත්තීය සමිති ආයතනය වන සමස්ත චීන වෘත්තීය සමිති සම්මේලනය (All-China Federation of Trade Unions), කම්කරුවන්ගේ ස්වාධීන සංවිධානය මර්දනය කරමින් සහ අතෘප්තිය හානිකර නොවන මාර්ග වෙත යොමු කරමින්, කම්කරුවන්ගේ නියෝජිතයෙකු ලෙස නොව කළමනාකරණයේ සහ රාජ්‍යයේ හස්තයක් ලෙස ක්‍රියා කරයි. සංවිධානය වීමට හෝ විරෝධතා දැක්වීමට උත්සාහ කරන කම්කරුවන්, වේගයෙන් පොලිස් මර්දනය, සේවයෙන් පහ කිරීම සහ රඳවා තබා ගැනීමකට මුහුණ දෙති.
වුක්සි, චෙන්ග්ඩු සහ චැංෂා හි ඊට පෙර සිදු වූ දේ මෙන්, ෂියාන් වැඩ වර්ජනයෙන් පෙන්නුම් කරන්නේ චීන කම්කරු පන්තිය මෙම කොන්දේසි පිළිගැනීමට සූදානම් නැති බවයි. චීන රාජ්‍ය මාධ්‍ය සහ නිලධරය කාර්මික ක්‍රියාමාර්ග පිළිබඳ සංඛ්‍යාලේඛන ප්‍රසිද්ධ නොකලත්, චීනයෙන් පිටත සිට වැඩ වර්ජන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට උත්සාහ කරන සංවිධානවලට අනුව, විශේෂයෙන් නොගෙවූ වැටුප් සහ වැටුප් කප්පාදුවලට එරෙහිව 2023 සිට හදිසි වැඩ වර්ජන සහ විරෝධතා කැපී පෙනෙන ලෙස වැඩි වී තිබේ.
