ට්‍රම්ප් ඝාතන තැත සම්බන්ධයෙන් තුවක්කුකරුට චෝදනා එල්ල වෙයි: පැන නගින දේශපාලන කරුණු

ජෝෂෆ් කිශේර් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 27 වන දින “Gunman charged with attempted assassination of Trump: The political issuesයන හිසින් පළවූ ජෝෂෆ් කිශේර් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump
2026 අප්‍රේල් 25 වන සෙනසුරාදා වොෂින්ටන් නුවර පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර, උත්සව ශාලාවෙන් පිටත සිදු වූ වෙඩි තැබීමේ සිදුවීමකින් පසුව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වේදිකාවෙන් ඉවතට රැගෙන යාමට පෙර එක්සත් ජනපද රහස් ඔත්තු සේවා නිලධාරීන් ඔහුව වට කර ගන්නා ආකාරය . [AP ඡායාරූපය/ඇලෙක්ස් බ්‍රැන්ඩන්]”

සෙනසුරාදා රාත්‍රියේ පැවති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ උත්සවයේදී සිදු වූ සිදුවීම පිළිබඳ තොරතුරු තවමත් අනාවරණය වෙමින් පවතී. නමුත්, මෙතෙක් දන්නා කරුණුවලට අනුව වෙඩික්කරු වූ 31 හැවිරිදි කෝල් ටොමස් ඇලන් (Cole Tomas Allen) මෙහෙයවනු ලැබ ඇත්තේ ට්‍රම්ප් පරිපාලනයට එරෙහි දේශපාලන විරුද්ධත්වය විසිනි.

සිදුවීමට පෙර ඔහු විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකට අනුව, ට්‍රම්ප් පරිපාලනයේ අපරාධවලට තමන්ද හවුල්කරුවෙකු වීම පිළිබඳව ඇලන් දැඩි කම්පනයට පත්ව සිටි අතර, ඔහු ඉලක්ක කර ඇත්තේ ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ය. කෙසේ වෙතත් ඔහු උත්සාහ කළද, මෙම නිලධාරීන් කිසිවෙකුට සෘජු අනතුරක් සිදු නොවීය. සදුදා දින ඇලන්ට එරෙහිව බරපතල අපරාධ චෝදනා තුනක් යටතේ නඩු පවරන ලද අතර, ඒ අතර ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවද ඇතුළත් වේ.

මාක්ස්වාදීන් මෙවැනි ප්‍රහාරයන්ට ප්‍රතිපත්තිමය හා දේශපාලන පදනමකින් විරුද්ධ වෙති. තනි පුද්ගල ප්‍රචණ්ඩ ක්‍රියාවන් මගින් ප්‍රතිගාමීත්වයට එරෙහි අරගලය ඉදිරියට ගෙන යා නොහැක. එවැනි ක්‍රියාවන් මගින් සිදුවන්නේ වැඩකරන ජනතාවගේ සවිඥානික දේශපාලන බලමුලු ගැන්වීම වෙනුවට හුදකලා පුද්ගලයෙකුගේ ක්‍රියාවන් ආදේශ කිරීමයි. ඉලක්ක කරගත් පුද්ගලයාගේ අපරාධ කෙතරම් දැවැන්ත වුවද, එනම් ට්‍රම්ප්ගේ අපරාධ අතිමහත් වුවද, මෙහිදී ප්‍රධානතම ගැටලුව වන්නේ එවැනි ප්‍රචණ්ඩත්වයේ දේශපාලන ප්‍රතිඵලයි. ප්‍රහාරකයාගේ අභිප්‍රාය කුමක් වුවත්, එහි අවසන් ප්‍රතිඵලය වන්නේ රජයට මර්දනය පුළුල් කිරීමට සහ විරුද්ධ මතධාරීන් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසීමට කදිම නිදහසට කරුණක් සපයා දීමයි.

කෙසේ වෙතත්, මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිචාරයන්හි පවතින අතිමහත් කුහකත්වය සහ බියගුලුකම පෙන්වා දීම අත්‍යවශ්‍ය වේ. මාධ්‍ය තමන්ටම ආවේණික වූ මෝඩකමකින් යුතුව, මෙම සිදුවීමත්, ඇමරිකානු ජීවිතය පුරා පැතිරී ඇති ක්‍රමානුකූල ප්‍රචණ්ඩත්වයත් අතර කිසිදු සම්බන්ධයක් නැති සේ ක්‍රියා කරයි. ලේ පිපාසිත ප්‍රකාශ නිකුත් කරන සහ මැර කල්ලියක නායකයෙකු මෙන් හැසිරෙන ජනාධිපතිවරයෙකු යටතේ පවතින රාජ්‍යය සහ පාලක පන්තිය විසින් මෙම ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කරනු ලබයි.

ඇමරිකාවේ මෙන්ම ජාත්‍යන්තර දේශපාලන චරිතවල ප්‍රතිචාරයන්ද එකම පිටපතක් අනුගමනය කරයි. “දේශපාලනය තුළ ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත” යන පූජනීය පාඨය පවසමින්, මෙම නිලධාරීන් සදාචාරාත්මක උපදෙස් දෙන අතරම, සංවිධානාත්මක ප්‍රචණ්ඩත්වය තම ප්‍රතිපත්තිය කරගත් රජයන් ආරක්ෂා කිරීම හෝ ඒ වෙනුවෙන් පෙනී සිටියි.

ඇතැම් ප්‍රතිචාරයන් බඩ දඟලවයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, “දේශපාලන නායකයන්ට හෝ වෙනත් කිසිවෙකුට එරෙහිව ප්‍රචණ්ඩත්වයට ඉඩක් නැත” යනුවෙනි. ගාසා තීරයේ ජන සංහාරක යුද්ධයක් මෙහෙයවන රාජ්‍යයක නායකයෙකුගෙන් මෙවැනි ප්‍රකාශයක් පැමිණීම අතිශයින්ම නින්දිතය. ගතානුගතික ඇස්තමේන්තුවලට අනුව පවා එම ජන සංහාරයෙන් පලස්තීනුවන් 75,000කට වැඩි පිරිසක් මරා දමා ඇත. ලෙබනනයේදී ඊශ්‍රායල බෝම්බ, මිසයිල සහ කඩාකප්පල්කාරී මෙවලම් මගින් හිස්බුල්ලා “දේශපාලන නායකයන්” දුසිම් ගණනක් මරා දමා ඇති අතර, ඉරානය තුළදී ඊටත් වඩා පිරිසක් ඝාතනය කර ඇත.

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කළේ, “සන්නද්ධ ප්‍රහාරය… පිළිගත නොහැකිය” යනුවෙනි. ඔහු තවදුරටත් කියා සිටියේ, “මම ඩොනල්ඩ් ට්‍රම්ප්ට මගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා” යනුවෙනි. රාජ්‍ය තාන්ත්‍රික සිරිත් විරිත් අනුව කිසිවෙකුට හානියක් නොවීම ගැන සැනසීම පළ කිරීම ප්‍රමාණවත් වන්නට තිබුණි. නමුත් “පූර්ණ සහයෝගය” යනු සම්පූර්ණයෙන්ම වෙනස් දෙයකි. එය දේශපාලන අනුමත කිරීමකි; එනම් ඉරානය තුළ අපරාධකාරී ආක්‍රමණශීලී යුද්ධයක නිරත වෙමින් සිටින සහ සිය රට තුළ පොලිස් රාජ්‍ය මර්දනයන් ක්‍රියාත්මක කරන පාලනයකට ලබා දෙන අනුමැතියකි.

එලෙසම, ‘ප්‍රජාතන්ත්‍රවාදය තුළ ප්‍රචණ්ඩත්වයට කිසිදු ඉඩක් නොමැති අතර එය නිසැකවම හෙළා දැකිය යුතුය’ යනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළ අතර, ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි ද එම අදහසම ප්‍රතිරාවය කරමින් කියා සිටියේ, ‘අපගේ ප්‍රජාතන්ත්‍රවාදී රාමු තුළ කිසිදු දේශපාලන වෛරයකට ඉඩක් නොමැති’ බවයි. වඩාත්ම ප්‍රතිගාමී, ප්‍රචණ්ඩකාරී සහ ෆැසිස්ට්වාදී දේශපාලන සම්ප්‍රදායන්ට අයත් පුද්ගලයන් විසින් මෙවැනි සදාචාරාත්මක උපදේශයන් ඉදිරිපත් කරනු ලබයි. 

ඇමරිකාවේ හවුස් ඩිමොක්‍රටික් නායක හකීම් ජෙෆ්රිස් ප්‍රකාශ කළේ, “ඇමරිකාවේ ප්‍රචණ්ඩත්වය සහ අවුල් සහගත තත්ත්වය අවසන් විය යුතු” බවයි. මීට මාස දෙකකට පෙර, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා ඛමේනි ට්‍රම්ප් විසින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ජෙෆ්රිස් ප්‍රතිචාර දැක්වූයේ, ඛමේනි “නරක පුද්ගලයෙකු” බවත් ඔහුගේ ඝාතනය ගැන තමා “කඳුළු සලන්නේ නැති” බවත් පවසමිනි. එනම්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා ඉදිරියට ගෙන යන විට ප්‍රචණ්ඩත්වය සහ මිනීමැරුම් සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල වන බවයි. 

අනෙකුත් ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ද එම ක්‍රියාමාර්ගයම අනුගමනය කරන ලදී . ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන්ගේ (DSA) සාමාජික සහ නිව්යෝර්ක් නගරාධිපති සෝරාන් මම්දානිගේ ප්‍රකාශය දේශපාලනිකව වඩා වැදගත් වේ. ඔහු කියා සිටියේ “දේශපාලන ප්‍රචණ්ඩත්වය කිසිසේත්ම පිළිගත නොහැකි” බවත් “ජනාධිපතිවරයා සහ ධවල මන්දිර උත්සවයේ අමුත්තන් ආරක්ෂිතව සිටීම ගැන සතුටු වන” බවත්ය. බර්නි සැන්ඩර්ස් ප්‍රකාශ කළේ, “ක්‍රියාකාරී ප්‍රජාතන්ත්‍රවාදයක් රඳා පවතින්නේ, ප්‍රහාරයකට හෝ ඝාතනයකට ලක්වීමේ බියකින් තොරව මිනිසුන්ට තම දේශපාලන අදහස් නිදහසේ ප්‍රකාශ කළ හැකිය යන පදනම මත” බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටියේ “දේශපාලන ප්‍රචණ්ඩත්වය යනු දේශපාලන බියගුලුකමක්” බවයි .

ට්‍රම්ප් පරිපාලනය සහ එහි නිලධාරීන් ක්‍රමානුකූලව සිදු කරන ප්‍රචණ්ඩත්වයට සහ දේශපාලන ප්‍රචණ්ඩකාරී තර්ජනයන්ට වැරදිකරුවන් වන බව පෙන්වා දීමට මෙම කිසිදු පුද්ගලයෙකු කටයුතු කළේ නැත.

ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශ කිහිපයක් සලකා බලන්න:

ඉරානය පිළිබඳව, 2026 අප්‍රේල්: “අද රාත්‍රියේ සමස්ත ශිෂ්ටාචාරයක්ම විනාශ වී යනු ඇත, එය කිසිදා නැවත යථා තත්ත්වයට පත් කළ නොහැකි වනු ඇත. මා එවැන්නක් සිදු වෙනවා දැකීමට කැමති නැත, නමුත් බොහෝ විට එය එසේ සිදුවනු ඇත.”

තවද මාර්තු මාසයේදී: “හෝමුස් සමුද්‍ර සන්ධිය වහාම ‘ව්‍යාපාර කටයුතු සඳහා විවෘත’ නොකළහොත්, ඔවුන්ගේ සියලුම විදුලි උත්පාදන බලාගාර, තෙල් ළිං සහ ඛාර්ග් දූපත (සහ සමහර විට සියලුම ලවණහරණ පද්ධති!) පුපුරුවා හැර සම්පූර්ණයෙන්ම විනාශ කර දමමින් අප ඉරානය තුළ ගත කළ අපගේ සුන්දර ‘නැවතීම’ අවසන් කරන්නෙමු.”

ඩිමොක්‍රටික් පාක්ෂිකයන් සහ දේශපාලන විරුද්ධවාදීන් ගැන (2026 අප්‍රේල්): “ඉරානයේ විනාශයත් සමග, ඇමරිකාවට සිටින ලොකුම සතුරා වන්නේ රැඩිකල් වාමවාදී, අතිශය අදක්ෂ ඩිමොක්‍රටික් පක්ෂයයි!”

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන්, 2022 නොවැම්බර් මසදී:  “මත්ද්‍රව්‍ය අලෙවි කරන සහ එසේ අලෙවි කරමින් සිටියදී හසුවන සෑම අයෙකුටම, ඔවුන් සිදු කරන එම පිළිකුල් සහගත ක්‍රියාවන් වෙනුවෙන් මරණ දඬුවම ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටින්නෙමු.”

එසෙම සාප්පු මංකොල්ලකරුවන් සම්බන්ධයෙන්, 2023 සැප්තැම්බර් මසදී: “ඉතා සරලව පවසන්නේ නම්, ඔබ යම් වෙළඳසැලක් කොල්ලකෑවොත්, ඔබ එම වෙළඳසැලෙන් පිටව යනවාත් සමඟම ඔබට වෙඩි තබනු ඇතැයි ඔබට සම්පූර්ණයෙන්ම අපේක්ෂා කළ හැකිය. වෙඩි තබනු ඇත!”

පොලිස් ප්‍රචණ්ඩත්වයට එරෙහිව විරෝධතා දැක්වූවන් සම්බන්ධයෙන්, 2020 මැයි මසදී: “කොල්ලකෑම් ආරම්භ වන විට, වෙඩි තැබීම් ද ආරම්භ වේ.” 

පොලිසියේ හැසිරීම් රටාව සම්බන්ධයෙන්, 2017 ජූලි මසදී: “කරුණාකර ඕනෑවට වඩා කාරුණික (මෘදු) නොවන්න.” 

මීට සමාන ස්වභාවයක් ගන්නා තවත් බොහෝ ප්‍රකාශ එකතු කළ හැකිය. මිනියාපොලිස්හිදී සිදු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) යන අයගේ ඝාතනයන් පැහැදිලිවම සාධාරණීකරණය කිරීම සහ ආරක්ෂා කර කථා කිරීමත්, ස්ටීවන් මිලර් (Steven Miller) වැනි ෆැසිස්ට්වාදීන් විසින් සංක්‍රමණික කම්කරුවන්ට එරෙහිව සිදු කරන ලද කෲරත්වය සහ ප්‍රචණ්ඩත්වය උත්කර්ෂයට නැංවීමත් මෙයට එක් කළ යුතුය.

සෑම විටම මෙන්, මහජන විරෝධය සාධාරණීකරණය කරනු ඇතැයි බියෙන් සත්‍යය පැවසීමට අපොහොසත් වන ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ බියගුලු සහ හවුල්කාරී ප්‍රතිචාරය, ට්‍රම්ප්ට සහ රිපබ්ලිකානුවන්ට ප්‍රහාරාත්මකව ඉදිරියට යාමට ශක්තියක් ලබා දෙයි. පක්ෂ නායකයෝ මෙම සිදුවීම උපයෝගී කරගනිමින් “රැඩිකල් වාමවාදය” හෙළා දැකීමටත්, මෙම සිදුවීම පාලනයට එරෙහි විරුද්ධත්වයේ “අනිවාර්‍ය ප්‍රතිඵලයක්” ලෙස හුවා දැක්වීමටත්, මර්දනකාරී උපකරණ සඳහා වැඩි පොලිස් බලතල සහ අරමුදල් ඉල්ලා සිටීමටත් කටයුතු කළහ.

මෙම සිදුවීම සිදු වූ වහාම, ධවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමයේ (WHCA) රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර සිදු කරන ලද උසුළු විසුළු හේතුවෙන්, රාත්‍රී කාලයේ රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන ජිමී කිමෙල්ව (Jimmy Kimmel) “වහාම සේවයෙන් පහ කරන” ලෙස ABC නාලිකාවෙන් ඉල්ලා සිටීම සඳහා ට්‍රම්ප් රිපබ්ලිකන් පාක්ෂික මිත්‍රයන් සමඟ එක් විය. ඔහු මෙම සිදුවීම භාවිත කළේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එරෙහිව එල්ල කරන ප්‍රහාරයන් තවදුරටත් උග්‍ර කිරීම සඳහා ය.

ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් මෙම ප්‍රචාරණයට වඩාත් පැහැදිලි ස්වරූපයක් ලබා දුන්නාය. “මෙම දේශපාලන ප්‍රචණ්ඩත්වය පැන නගින්නේ [ට්‍රම්ප්] සහ ඔහුගේ ආධාරකරුවන් ක්‍රමානුකූලව යක්ෂයන් ලෙස හුවා දැක්වීමෙනි,” යැයි ඇය ප්‍රකාශ කළාය. ඇය ඒ සඳහා ඩිමොක්‍රටික් පක්ෂයේ තේරී පත් වූ සාමාජිකයන්ට සහ මාධ්‍යයට චෝදනා කළාය.

ජනාධිපතිවරයා නිරන්තරයෙන්ම සහ අසත්‍ය ලෙස ෆැසිස්ට්වාදියෙකු ලෙස හඳුන්වන සහ ඔහුව හිට්ලර්ට සමාන කරන පිරිස් මෙවැනි ප්‍රචණ්ඩත්වයන් තවදුරටත් උසිගන්වන බව ලීවිට් අවධාරණය කළ අතර, ඇය “වාමවාදී වෛරී සංස්කෘතියක්”’ ලෙස හැඳින්වූ දෙය දැඩි ලෙස හෙළා දුටුවාය. මෙහි අරමුණ වන්නේ දේශපාලන විවේචන යනු එක්තරා ආකාරයක “ප්‍රචණ්ඩත්වයක්” ලෙස ප්‍රකාශ කිරීම සහ ඒ හරහා ප්‍රචණ්ඩකාරී මර්දනයක් සාධාරණීකරණය කිරීමයි.

ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදය තුළ සංවිධානාත්මක දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියාවලින් අතිමහත් බහුතරයක් වාර්තා වී ඇත්තේ දක්ෂිණාංශිකයෙනි. එනම් සන්නද්ධ මිලීෂියා ජාලයන්ගෙන් සහ අන්ත දක්ෂිණාංශික අන්තවාදීන්ගෙනි. පසුගිය දශකය තුළ නැවත නැවතත් උත්සන්න වන දක්ෂිණාංශික ප්‍රචණ්ඩත්වයක් දක්නට ලැබුණි: එනම් 2021 ජනවාරි 6 වන දින ෆැසිස්ට්වාදී බලවේග බලමුලු ගැන්වීම; රජයේ නිලධාරීන්ට එරෙහිව සිදු වූ ඉහළ පෙළේ ප්‍රහාර සහ ඝාතන කුමන්ත්‍රණ; සහ කයිල් රිටන්හවුස් (Kyle Rittenhouse) වැනි අන්ත දක්ෂිණාංශික පුද්ගලයන් විසින් සිදු කරන ලද තනි පුද්ගල ප්‍රචණ්ඩ ක්‍රියාවන් මීට උදාහරණ වේ. වසර ගණනාවක සිට, ෆෙඩරල් ඇගයීම් සහ ප්‍රධාන පර්යේෂණ මධ්‍යස්ථාන විසින් පෙන්වා දී ඇත්තේ රට තුළ සිදුවන මාරාන්තික දේශීය ත්‍රස්තවාදයේ සහ දේශපාලන ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන මූලාශ්‍රය අන්ත දක්ෂිණාංශික අන්තවාදය බවයි. 

එසේම, කෝල් තෝමස් ඇලන් (Cole Tomas Allen) හට ආරෝපණය කරන ලද ආකාරයේ ක්‍රියාවන් සඳහා යම්කිසි දෙයක් ‘ප්‍රේරකයක්’ වන්නේ නම්, සියල්ලටම වඩා, එසේ වන්නේ  කම්කරුවන්ගේ සහ තරුණ ජනතාවගේ පොදු විරෝධය ප්‍රකාශ කිරීමට ඇති ඕනෑම සැබෑ මාවතක් අවහිර කරන දේශපාලන ව්‍යුහය ද සහිත ආණ්ඩුවේම අපරාධකාරීත්වය ය. ඩිමොක්‍රටික් පක්ෂය සහ වෘත්තීය සමිති යාන්ත්‍රණය විසින් මහජන කෝපය හිතාමතාම මර්දනය කිරීම සහ වෙනතකට යොමු කිරීම මඟින් සිදු වන්නේ කලකිරීම සහ අසරණභාවය පිළිබඳ හැඟීම තවදුරටත් ගැඹුරු වීම පමණි. මෙවැනි තත්ත්වයන් මඟින් බලාපොරොත්තු සුන් වූ, අදූරදර්ශී සහ විනාශකාරී තනි පුද්ගල ක්‍රියාවන් මතු විය හැකි පසුබිම නිර්මාණය කරනු ලබයි.

ඉදිරි මාවත පවතින්නේ තනි පුද්ගල ප්‍රචණ්ඩත්වය තුළ නොව, වඩාත් සවිඥානික, සාමූහික සහ බලාපොරොත්තු සහගත මාවතකට අවස්ථාව සලසා දෙන පන්ති අරගලය වර්ධනය කිරීම තුළය. එනම්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ඒවා බිහි කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමයි.

ට්‍රම්ප් සමඟ ගනුදෙනු බේරා ගැනීම (හෙවත් ඔහුට එරෙහි දේශපාලන අරගලය) යනු තනි පුද්ගල ක්‍රියාවන් හෝ එක් මිනිසෙකු ඉවත් කිරීම පිළිබඳ කාරණයක් නොවේ. එය ධනේශ්වර රාජ්‍යයට සහ එය විසින් සේවය කරනු ලබන පාලක පන්තියේ අවශ්‍යතාවලට, එනම් විදේශයන්හි යුද්ධයට සහ දේශීය මර්දනයට එරෙහි අරගලයකි. මෙම ම්ලේච්ඡත්වයට ඇද වැටීම නැවැත්විය හැකි එකම බලවේගය වන්නේ සවිඥානිකව සහ ස්වාධීනව ක්‍රියා කරමින්, මිලිටරිවාදයේ, ආඥාදායකත්වයේ සහ කතිපයාධිකාරී පාලනයේ සමස්ත යාන්ත්‍රණයටම එරෙහිව තම සමාජ බලය බලමුලු ගන්වන කම්කරු පන්තිය පමණි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.)

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top