ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 22 දින “Trump’s threat to “annihilate” Iran: The criminalization of imperialist foreign policy” යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිය ඇමතූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරාන ඉස්ලාමීය ජනරජය (Islamic Republic) “සුන්නද්දූලි කර දමන්නේද (annihilate)” සහ “නැවත කිසි දිනෙක බේරී මතු වීමට ඉඩ නොතබා ඔවුන් අපායටම පන්නා දමන්නේද” යන්න පිළිබඳව තමා තීරණය කරමින් සිටින බව අඟහරුවාදා පැවසීය.
ඇමරිකානු ජනාධිපතිවරයා මෙසේ ප්‍රශ්න කළේය: “මා ඉරාන ඉස්ලාමීය ජනරජය විනාශ කර දමනවාද, එය ඉක්මනින්ම කරනවාද, නැවත කිසි දිනෙක මිනිසුන් සහ රටවල් විනාශ කිරීමට ඔවුන්ට ඉඩක් නොතබාම?”
ට්‍රම්ප්ගේ මෙම මිනීමරු භාෂාව, ගෝලීය යුද්ධයේ පුපුරා යාම මධ්‍යයේ අධිරාජ්‍යවාදී විදේශ ප්‍රතිපත්තිය අපරාධකරණයට ලක්වීමේ නව අදියරක් සලකුණු කරයි. සෝවියට් සංගමයට එරෙහිව සුන්නද්දූලි කිරිමේ යුද්ධයක් (Vernichtungskrieg – war of annihilation) ගෙන ගිය ඇඩොල්ෆ් හිට්ලර්ගේ පාලන තන්ත්රයේ දේශපාලන කථිකාවට පරිබාහිරව, නූතන දේශපාලනය තුළ මීට පූර්වාදර්ශයක් නොමැත.
කෙසේ වෙතත්, ට්‍රම්ප් මෙන් නොව, හිට්ලර් සිය ජනගහන සංහාරක (extermination) යුද්ධය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ නැත. ඔහු එම නියෝගය රහසිගතව ලබා දුන්නේ තම ජෙනරාල්වරුන්ට ය. හමුදා මාණ්ඩලික ප්‍රධානී ෆ්රාන්ස් හල්ඩර්ගේ (Franz Halder) දිනපොතට අනුව, 1941 මාර්තු 30 වන දින, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් සමඟ පැවැති සංවෘත සාකච්ඡාවකදී, ඉදිරියේදී සිදුවන ආක්‍රමණය “සුන්නද්දූලි කිරිමේ යුද්ධයක්” (Vernichtungskampf – war of extermination) වන බව හිට්ලර් ඔවුන්ට පැවසීය.
යුද්ධය හරහා රට යටත් කර ගැනීමට ට්‍රම්ප් දරන උත්සාහයට එරෙහිව නැගී සිටි මිලියන 93 ක ජනගහනයක් වෙසෙන ඉරානයේ ජනතාව සංහාරයකට ලක් කිරීම, සැබවින්ම ධවල මන්දිරය තුළ සක්‍රීයව සාකච්ඡා වෙමින් පවතී. මාධ්‍යවේදී සී මෝර් හර්ෂ් (Seymour Hersh) ජූනි 10 වන දින වාර්තා කළේ, ට්‍රම්ප් සිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ පැවැත්වූ රහසිගත හමුවකදී ඉරානයට එරෙහිව න්‍යෂ්ටික ආයුධ (nuclear weapons) භාවිත කිරීම පිළිබඳ අදහස මතු කළ බවයි.
ඉරානයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ජූනි 10 වන විට ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ අක්රමණකාරී අපරාධකාරී යුද්ධයෙන් අවම වශයෙන් පුද්ගලයින් 3,468 දෙනෙකු මියගොස් 26,500 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබුණි. පසුගිය සතියේ, එක්සත් ජාතීන්ගේ කරුණු සෙවීමේ දූත මෙහෙවර (fact-finding mission), පෙබරවාරි 28 වන දින මිනාබ් (Minab) හි ප්‍රාථමික පාසලකට එල්ල කළ ඇමරිකානු මිසයිල ප්‍රහාරයෙන් ළමුන් 120 දෙනෙකු ඇතුළුව 150 කට වැඩි පිරිසක් මියයාම උපුටා දක්වමින්, “එක්සත් ජනපදය යුද අපරාධ සිදු කර ඇති බව විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇතැයි” සොයා ගන්නා ලදී.
ඉරානයට එරෙහි යුද්ධය යනු මුළු මැද පෙරදිග පුරාම ක්‍රියාත්මක වන ඇමරිකානු-ඉශ්‍රායල් ප්‍රහාරයේ එක් අංගයක් පමණි. එහි ඉහළම ප්රකාශනය වන්නේ ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පලස්තීනුවන් 73,919 දෙනෙකු මරා දමා ඇති ගාසා හි සමූල ජන සංහාරයයිi.
ඉරානයට එරෙහි මෙම තර්ජනය, එවැනි තර්ජන මාලාවක එකක් පමණි. ඇමරිකානු හමුදාව “වෙනිසියුලා අගනුවර අභ්‍යන්තරයටම” විනිවිද ගොස් මදුරෝව (Maduro) “අත්අඩංගුවට ගත්” බවත්, එහි ප්‍රතිඵලය ලෙස බැරල් බිලියන 65 ක් වන “ඉතිහාසයේ විශාලතම තෙල් ගනුදෙනුව” හිමි වූ බවත් ට්‍රම්ප් පුරසාරම් බෑවෙය. “ජයග්රාහකයාට කොල්ලකෑම් අයිති වේ,” ට්‍රම්ප් ප්‍රකාශ කළේය. කියුබාව “සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ රාජ්‍යයක්… එය කඩා වැටෙනු ඇත”. විශාල හමුදා කඳවුරු දෙකක් ද සමඟින් ග්‍රීන්ලන්තය එක්සත් ජනපදයේ “ස්ථිර පාලනය” යටතට පත්වීමට නියමිතය.
ට්‍රම්ප්ගේ කතාව අතරතුර, ඔහු පෙරළා දැමීමට තර්ජනය කළ ඉරානය සහ කියුබාව යන රටවල නියෝජිතයින් පමණක් විරෝධය පා සභාවෙන් පිටව ගියහ. ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ගැන නිරන්තරයෙන් කතා කරන යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නියෝජිතයෝ කිසිවක් නොකර බලා සිටියහ. මහා මණ්ඩලයේ මුලසුන දැරූ බංග්ලාදේශ විදේශ අමාත්‍ය ඛලීලුර් රහ්මාන් (Khalilur Rahman) ඇමරිකානු ජනාධිපතිවරයාට ස්තූති කළේය.
එක්සත් ජාතීන්ගේ ප්රඥප්තිය (UN Charter) නාසි ජර්මනියේ යටත් වීමෙන් සති හතකට පසු, 1945 ජූනි 26 වන දින සැන් ෆ්රැන්සිස්කෝ හිදී අත්සන් කරන ලද්දේ, “අපගේ ජීවිත කාලය තුළ දෙවතාවක්ම මිනිස් සංහතියට කියා නිම කළ නොහැකි තරම් දුකක් ගෙන දුන් යුද්ධයේ ශාපයෙන් ඉදිරි පරම්පරාවන් මුදා ගැනීම සඳහාය”.
එහි 2 වන වගන්තිය සෑම සාමාජිකයෙකුම “ඕනෑම රාජ්‍යයක භෞමික අඛණ්ඩතාවයට හෝ දේශපාලන ස්වාධීනත්වයට එරෙහිව බලය පෑමට තර්ජනය කිරීමෙන් හෝ බලය භාවිත කිරීමෙන් වැළකී සිටීමට” බැඳී සිටී. නීති විරෝධී ආක්රමණකාරී යුද්ධයක මාස හතකට ආසන්න කාලයක් ගත කර සිටින රාජ්‍යයක නායකයෙකු විසින්, එම තර්ජනයන් තහනම් කිරීම සඳහාම ඉදිකරන ලද ගොඩනැගිල්ල තුළ සිටම සිදු කරන ලද ට්‍රම්ප්ගේ කතාව එවැනි තර්ජනයකි. ට්‍රම්ප්ගේ කතාවම ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස චෝදනා ගොනු කළ හැකිය.
ට්‍රම්ප්ට යුරෝපීය ප්රතිස්වරය (counterpoint) අඟහරුවාදා ලබා දුන්නේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රොන් විසිනි. ඔහු කතා කළේ “අධිරාජ්‍යවාදයේ නැවත පැමිණීම, උද්ධච්චකම, කිසිදු නීතියක් නොදන්නා පාලනයකින් තොර බලයේ නැවත ආගමනය… සමහරුන් තම දේශසීමා ව්‍යාප්ත කිරීම සඳහා ජාත්‍යන්තර පටිපාටියට වල කැපිය හැකි යැයි විශ්වාස කරන ලෝකයක්” ගැනය.
ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “යුද අපරාධ කර්මාන්තයක් බවට පත් කර ඇත. සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් අප දැක ඇත්තෙමු”.
නමුත් සමහර විචාරකයින් ඔහුගේ අදහස් ට්‍රම්ප්ට එල්ල කළ වක්‍ර විවේචනයක් ලෙස ගත්තද, ඔහු කිසි විටෙකත් ඇමරිකානු ජනාධිපතිවරයාගේ නම සඳහන් කළේ නැත. ඒ වෙනුවට, ඔහුගේ කතාව රුසියාව ප්‍රසිද්ධියේ හෙළා දකින එකක් වූ අතර, ට්‍රම්ප් සමඟ එක්ව යුක්රේනයට අරමුදල් සහ ආයුධ සැපයීම තවදුරටත් කරගෙන යාමේ ප්‍රකාශයක් විය.
රුසියාව “සිවිල් වැසියන්ට එරෙහිව කෲර යුද්ධයක් ගෙන යමින් සිටින බවත්, එය ස්වෛරී රාජ්‍යයක භූමිය අත්පත් කරගෙන සිටින බවත්” මැක්රොන් ප්‍රකාශ කළේය. රුසියාවට එරෙහි යුද්ධයේදී “ප්‍රංශය යුක්රේනයට නිර්ලෝභීව සහාය දීම තවදුරටත් සිදු කරන බව” ඔහු පැවසීය.
මැක්රොන්ගේ මතයට අනුව, රුසියාවේ “අධිරාජ්‍යවාදයට” සහ “යුද අපරාධවලට” සුදුසු පිළිතුර වන්නේ යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් රුසියාවට එරෙහි යුද්ධය දැඩි කිරීමයි. රුසියාවට එරෙහි යුද්ධය ප්රජාතන්ත්රවාදය සඳහා වන යුද්ධයක් බවට වන සිය ප්‍රකාශයන්, එම යුද්ධයේ ඔහුගේ සගයා වන ට්‍රම්ප් මුළු රටකම ජනගහනය සංහාරය කිරීමට තර්ජනය කර තිබීම සමග ගැලපීමට මැක්රොන් කිසිදු උත්සාහයක් ගත්තේ නැත.
1920 දී ලෙනින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්වගාමියා වූ ජාතීන්ගේ සංගමය (League of Nations) හැඳින්වූයේ “එකිනෙකාගේ මස් කටු උදුරා ගන්නා පිස්සු බලු රංචුවක්” ලෙසය. සමහර විට එම යෙදුමේ පැරැණි බවක් පෙනේ. 2026 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය යනු යුද්ධය සඳහා වන සක්‍රීය සැලසුම් මධ්‍යස්ථානයකි.
එදිනම යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි හමුවීමෙන් පසුව, කියෙව් ඉන්ඩිපෙන්ඩන්ට් (Kyiv Independent) අඟහරුවාදා වාර්තා කළ පරිදි, යුක්රේනයට රේඩාර් සහ ගුවන්-ආරක්ෂක මිසයිල සැපයීමේ කොන්ත්‍රාත්තුවක් මැක්රොන් විසින් ප්‍රකාශයට පත් කරන ලදී. ට්‍රම්ප් ද අඟහරුවාදා සෙලෙන්ස්කි හමුවූ අතර, යුක්රේනය තුළ පේට්‍රියට් (Patriot) ගුවන් ආරක්ෂක මිසයිල නිෂ්පාදනය කිරීම පිළිබඳව සාකච්ඡා වෙමින් පවතින බව තහවුරු කළේය.
ට්‍රම්ප්-සෙලෙන්ස්කි හමුව ආරම්භ වන විට, බ්‍රිතාන්‍ය මාධ්‍යවේදියෙකු ට්‍රම්ප්ට, “එක්සත් රාජධානියේ සහ අනෙකුත් යුරෝපීය නායකයින් වෙතින් නිකුත් වන අප සහ රුසියාව අතර සෘජු ගැටුමක් ඇතිවීමේ අනිවාර්යතාව පිලිබද මනෝභාවී සංගීතය ගැන එක්සත් රාජධානියේ බොහොමයක් ජනතාව බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටින බවත්” පවසා, ඉන්පසු ඔහුගෙන් ඇසුවේ, “එය වැළැක්වීමට ඔබට හැකිද?” යන්නය. ට්‍රම්ප් ඊට බැරෑරුම් පිළිතුරක් දීම ප්‍රතික්ෂේප කළේය.
සැබවින්ම, ඉරානයට එරෙහි ට්‍රම්ප්ගේ ලේ පිපාසිත තර්ජන සහ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ නායකයින් අතර ඊට එරෙහිව කිසිදු බරපතල විරෝධයක් මතුව නොතිබීමෙන් පෙන්නුම් කරන්නේ, ලෝක ධනවාදය විසින් ගෝලීය යුද්ධය සහ එහි ඓන්ද්‍රීය ඵලයක් ලෙස මුළු මහත් ජනගහනයන්ම සංහාරය කිරීම කෙතරම් සාමාන්‍යකරණය කර ඇත්ද යන්නයි.
ඩිමොක්‍රැටිකයින් මෙම යුධවාදයට විකල්පයක් නොවේ. දින කිහිපයකට පෙර, රුසියාවට පමණක් නොව ඉරානයට එරෙහිවද යුද්ධ උත්සන්න කිරීමට ඔවුහු ට්‍රම්ප්ට හිස් චෙක්පතක් ලබා දුන්හ. සැප්තැම්බර් 16 වන දින, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රැටිකයින් 58 දෙනෙකු “ලින්ඩ්සේ ඕ. ග්රහැම් රුසියාව සහ ඉරාන සම්බාධක පනතට” (Lindsey O. Graham Sanctioning Russia and Iran Act) පක්ෂව ඡන්දය දුන් අතර, එමගින් චීනය, ඉන්දියාව සහ රුසියානු තෙල් මිලදී ගන්නා අනෙකුත් විශාලතම රටවලින් කෙරෙන ආනයන සඳහා සියයට 100 දක්වා බදු පැනවීමට ජනාධිපතිවරයාට බලය පවරන අතර ඉරානයේ බලශක්ති සහ ආයුධ අංශයන්හි සම්බාධක වසර පහකට දීර්ඝ කරයි. සෙනෙට් සභාවේ ඩිමොක්‍රැටිකයින් 45 දෙනාගෙන් 36 දෙනෙකුම අගෝස්තු 7 වන දින ඊට පක්ෂව ඡන්දය දී තිබුණි.
නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සුළුතර නායක හකීම් ජෙෆ්රීස් (Hakeem Jeffries) ඊට “එරෙහිව” ඡන්දය දුන්නේ, පනත රුසියාවට එරෙහිව ප්‍රමාණවත් තරම් දුර නොගිය බව පවසමිනි: “ඔබ මැරයා සතුටු කිරීමට නොව මැරයාට එරෙහිව නැගී සිටිය යුතුවේ”. නොවැම්බර් 3 න් පසු කොන්ග්‍රසයේ ඩිමොක්රැටික් බහුතරයක් ඇති වුවහොත් යුද්ධය තවත් වේගයෙන් සහ දුරදිග ගෙන යනු ඇත.
තම කතාවට පෙර දින, ට්‍රම්ප් ග්‍රේසි මන්දිරයේදී (Gracie Mansion) ඇමරිකාවේ ඩිමොක්රැටික් සමාජවාදීන්ගේ (DSA – Democratic Socialists of America) සාමාජිකයෙකු වන නිව්යෝර්ක් නගරාධිපති ශොහ්රාන් මම්දානි (Zohran Mamdani) හමුවිය. මම්දානි යුද්ධය ගැන කිසිවක් නොකී අතර මාධ්‍යවේදීන්ට පැවසුවේ: “නගරය කෙරෙහි ජනාධිපතිවරයා දක්වන කැපවීම අපි අගය කරමු” යනුවෙනි.
“ඇමරිකාවේ ස්වර්ණමය යුගය” ගැන පුරසාරමින් ට්‍රම්ප් සිය කතාව ආරම්භ කළේ, “අලුතින් පණගන්වන ලද සහ ඉතා බලවත් එක්සත් ජනපදයේ ධනය, ශක්තිය, ජීවගුණය සහ ගම්‍යතාවය මුළු ලෝකයම ඉහළට ඔසවා තබමින් සිටින බව” ප්‍රකාශ කරමිනි.
සැබවින්ම, ට්‍රම්ප් මුලසුන දරන්නේ යටි පතුලේ සිට කුණු වෙමින් පවතින සමාජ පර්යායක් සහ දේශපාලන ක්‍රමයක් මත ය – දෙවන ලෝක යුද්ධය ආසන්නයේ ට්‍රොට්ස්කි විසින් එය විස්තර කළේ “ධනවාදයේ මරලතෝනිය” (death agony of capitalism) ලෙස ය. එම අර්බුදයම එහි විරුද්ධ පැත්ත ද නිර්මාණය කරමින් සිටී: එනම් සමාජ විරෝධයේ වර්ධනය, මහා ජනතා විරෝධතා සහ ගෝලීය පන්ති අරගලයයි.
ට්‍රම්ප්ගේ අපරාධකාරී යුද ප්‍රචාරණයට එරෙහි විරෝධය යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන්ගෙන් හෝ ඩිමොක්රැටිකයින්ගෙන් සහ DSA හි සිටින ඔවුන්ගේ සහචරයින්ගෙන් පැමිණෙන්නේ නැත. එය පැමිණෙන්නේ ජාත්‍යන්තර සමාජවාදයේ වැඩපිළිවෙලින් සන්නද්ධ වූ ජාත්‍යන්තර කම්කරු පන්තියෙනි.
[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]
