ණය, බලශක්තිය, යුද්ධය සහ සමාජවාදය සඳහා සටන

ගෙබ්‍රියෙල් බ්ලැක් විසිනි. 

මෙහි පළ කෙරෙන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 නොවැම්බර් 7 දින “Debt, energy, war and the fight for socialism” යන හිසින් පළවූ ගෙබ්‍රියෙල් බ්ලැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3780
2026 සැප්තැම්බර් 8 වන අඟහරුවාදා, මිසූරි හි ෆොරස්ට් සිටි (Forest City) අසල ගොවියෙකු බඩඉරිඟු අස්වැන්න නෙළයි. [AP Photo/Nick Ingram]

“ඔවුනට සාක්ෂාත් කර ගැනීමට කිසිදු පරමාදර්ශ (ideals) නැත; කළ යුත්තේ පැරණි කඩා වැටෙන ධනපති සමාජයම ගැබ්ගෙන සිටින අලුත් සමාජයේ මූලිකාංග මුදා හැරීම පමණි.” — කාල් මාක්ස්, ප්‍රංශයේ සිවිල් යුද්ධය (Karl Marx, The Civil War in France)

එක්සත් ජනපද වාර මැද මැතිවරණයේදී (midterm elections) ට්‍රම්ප් ගේ ප්‍රතිපත්ති මහජනතාව විසින් විශාල ලෙස ප්‍රතික්ෂේප කිරීමත් සමඟ, එක්සත් ජනපදය තුළ මෙන්ම සමස්ත ලෝකය පුරාම දේශපාලනික හා සමාජයීය අර්බුදයේ නව අදියරක් ආරම්භ වී ඇත.

ඉහළ යන ජීවන වියදම, සුදුසු රැකියා හිඟකම මෙන්ම සෞඛ්‍යය, අධ්‍යාපනය සහ ජීවිතයට අත්‍යවශ්‍ය අනෙකුත් සමාජ ප්‍රතිපාදන සීඝ්‍රයෙන් පහත වැටීම හමුවේ වැඩකරන ජනතාව කෝපයෙන් පසුවෙති. ගාසාවේ, ඉරානයේ, යුක්‍රේනයේ, සහ රුසියාවේ සිදුවන යුද්ධ මගින් ඩොලර් ට්‍රිලියන ගණනක් නාස්ති කරමින්, මිනිස් ජීවිත හා සමස්ත සමාජයන්ම විනාශ කර දමන ආකාරය අපි සංත්‍රාසයෙන් යුතුව බලා සිටිමු. මේ සියල්ලටම නායකත්වය දෙන්නේ ගිජුකම පමණක් නොව, මිනිස් ජීවිත කෙරෙහි එකභෙළාම පවතින ගැඹුරු පිළිකුල වැගිරෙන  බිලියනපතියන්ගේ පන්තියකි.

නමුත් මෙම අර්බුදය මෙහෙයවනු ලබන්නේ ධනපති පන්තියේ තාවකාලික මානසිකත්වයක් හෝ තාවකාලික ප්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් මගින් නොවේ. ඡන්ද විමසීමට පෙර දින පැවැත්වූ දේශනයකදී ඩේවිඩ් නොර්ත් ප්‍රකාශ කළ පරිදි:

“හෙට පැවැත්වෙන ඡන්දයේ ප්‍රතිඵලය කුමක් වුවත්, අවසාන විශ්ලේෂණයේදී ප්‍රතිපත්තිය තීරණය වනුයේ ධනපති ආර්ථිකයේ අර්බුදය මගින්, සමස්ත මානව වර්ගයාගේම ශ්‍රම කොන්දේසි පරිවර්තනය කරමින් පවතින තාක්ෂණයේ භාවිතය මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුදකාමී ධාවනය මගින් සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ  ප්‍රතිචාරය මගිනි.”

ලෝක ආර්ථිකයේ දිශානතිය සහ ඒ සමඟම පාලක පන්තියේ දේශපාලනය, විනාශකාරී ක්‍රියාවලීන් තුනක අන්තර්ඡේදනය මගින් වැඩි වැඩියෙන් අර්ථ දක්වනු ලබයි.

පළමුවැන්න නම්, ගෝලීය වර්ධනයට පදනම සපයන ණය ගොඩගැසීම අතිමහත් මට්ටමකට ළඟා වී තිබීමයි. වත්මන් ගමන්මඟ අනුව, 2026 අවසානය වන විට ලෝකය ඩොලර් ට්‍රිලියන 375 ක පමණ සමස්ත ණය ප්‍රමාණයකට ගමන් කරමින් සිටී. සංසන්දනය කිරීමක් ලෙස, පක්ෂපාත ලෙස ගණනය කිරීමක් කළද, ගෝලීය වශයෙන් ධනවාදය වසරකට ඩොලර් ට්‍රිලියන 15–25 අතර ලාභයක් හෝ අතිරික්තයක්  උත්පාදනය කරයි.

ණය යනු වත්කම් සහ අනාගත ආදායම් මගින් පිටුබලය ලබන මුල්‍ය හිමිකම් තොගයක් වන අතර, එය ගෙවා දැමීමට වඩා සිදුවන්නේ අඛණ්ඩව ප්‍රති-මූල්‍යකරණය (refinanced) වීමයි. නමුත් මෙම සංසන්දනය මගින් පෙන්නුම් කරන්නේ අනාගත නිෂ්පාදනයට එරෙහිව එකතු වී ඇති හිමිකම්වල අසාමාන්‍ය පරිමාණයයි. ධනවාදය එහි අනාගතය පෙර නොවූ විරූ  පරිමාණයකින් උගසට තබමින් සිටී.

තවද සෑම වසරකම ඊට තවත් ණය එකතු වේ. 2025 වසරේදී පමණක් ඩොලර් ට්‍රිලියන 30 කට ආසන්න ණයක් එකතු විය. ලෝක ආර්ථිකයේ වසරක ව්‍යාප්තියට සමාන පරිමාණයකින් ණය එකතු වෙමින් පවතී. රාජ්‍ය ණය සඳහා වන පොලී ගෙවීම් පමණක් ඩොලර් ට්‍රිලියන 3.3 දක්වා ඉහළ ගොස් ඇත. බැංකු සහ අනෙකුත් ණය හිමියන්ගේ හිමිකම් ඉටුකිරීම සඳහා වඩ වඩාත් විශාල සමාජ ධන ප්‍රමාණයක් උරා ඇද දමනු ලබයි.

මීට අමතරව දෙවන තීරණාත්මක ක්‍රියාවලිය පවතී: එනම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මෙන්ම ආර්ථික පැවැත්ම රඳා පවතින බලශක්ති සහ අමුද්‍රව්‍යවල පිරිවැය ඉහළ යාමයි.

ප්‍රවාහන, පතල්, කෘෂිකර්ම, ඉදිකිරීම් සහ නිෂ්පාදන ක්ෂේත්‍ර සඳහා අත්‍යවශ්‍ය ඉන්ධනයක් වන ඩීසල් මිල, පසුගිය වසර තුළ බොහෝ පරිශීලකයින් සඳහා දෙගුණයකට වඩා වැඩි වී ඇත. පෙබරවාරි මාසයේ ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර යුරෝපීය ඩීසල් අනාගත ගිවිසුම් (futures) ටොන් එකක් ඩොලර් 600 ත් 700 ත් අතර ප්‍රමාණයකට අලෙවි විය. ඒවා දැන් ටොන් එකක් ඩොලර් 1,400 ට වඩා වැඩි අගයකට අලෙවි වේ. මෙම ඉහළ යාම් සමස්ත ආර්ථිකය පුරාම විහිද යමින්, සියලුම දේවල නිෂ්පාදන සහ ප්‍රවාහන පිරිවැය ඉහළ නංවයි.

මේ අතර, යුද්ධය ආරම්භ වූ තැන් සිට යුරෝපයේ සහ ආසියාවේ  ස්වාභාවික ගෑස් මිල තෙගුණයකින් ඉහළ ගොස් ඇති අතර, එක්සත් ජනපදය සාපේක්ෂව ඉන් ආරක්ෂා වී ඇත. ගුවන්යානා සඳහා භාවිත කරන ජෙට් ඉන්ධන  සහ නෞකා සඳහා භාවිත කරන බංකර් ඉන්ධන සඳහාද මෙවැනිම බලපෑම් ඇති වී තිබේ.

නමුත් මෙම බලපෑම හයිඩ්‍රෝකාබන් වලින් ඔබ්බට විහිද යයි.

ඉලෙක්ට්‍රොනික්ස්, විදුලිකරනය, පුනර්ජනනීය බලශක්තිය සහ AI යටිතල පහසුකම් සඳහා පදනම් වන වැදගත් ලෝහයක් වන තඹ  මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත. 2010 දශකයේ වැඩි කාලයක් පුරා එය රාත්තලක් ඩොලර් 2 ත් 4 ත් අතර අගයක පැවැති අතර, මෑතකදී එය ඩොලර් 6.50 ට වඩා ඉහළ අගයකට අලෙවි වෙමින් වාර්තාගත මට්ටමකට ළඟා වී ඇත.

මේ අතර, ගෝලීය ආහාර මිල ගණන් දශකයකට පෙර පැවති මට්ටමට වඩා විශාල ලෙස ඉහළ මට්ටමක පවතී. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) ආහාර මිල දර්ශකය (Food Price Index) 2016 හි සාමාන්‍යය 91.9 ක් වූ අතර, 2026 සැප්තැම්බර් මාසයේදී එය 136 ක් දක්වා ඉහළ ගොස් ඇත — මෙය සියයට 50 කට ආසන්න වැඩිවීමකි.

යුද්ධය, කාලගුණ විපර්යාස, ඉහළ බලශක්ති හා ප්‍රවාහන පිරිවැය සහ පුළුල් උද්ධමනකාරී බලපෑම් මීට හේතු වී ඇත. දැනටමත් තම ආදායමෙන් වැඩි කොටසක් ආහාර — ධාන්‍ය, මස්, පිසින තෙල් — සඳහා වැය කරන පවුල් සඳහා මෙය දැඩි පීඩනයකි.

නමුත් ණය සහ උද්ධමනය යන මෙම විනාශකාරී ක්‍රියාවලීන් දෙකට අමතරව තෙවැන්නක්ද පවතී: එනම් යුද්ධයයි.

යුක්‍රේනයේ යුද්ධය, ඉරානයේ  යුද්ධය, ගාසාවේ ජන සංහාරය, යේමනයේ සටන්, සහ ඒ සියල්ලටම යටින් පවතින චීනය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය අතර වර්ධනය වන ගැටුම — මෙම ගැටුම් වැඩි වැඩියෙන් එකිනෙක වෙලෙමින් හා උග්‍ර වෙමින් පවතී.

“අපි නිද්‍රාවෙන් තුන්වන ලෝක යුද්ධයකට ගමන් කරමින් සිටිමුද?” යැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සඟරාව පසුගිය මාසයේදී ප්‍රශ්න කළේය. අගෝස්තු මාසයේදී, නෝර්ත් වර්ධනය වන ගැටුම් විස්තර කළේ “පිළිකාමය පැතිරීමේ ක්‍රියාවලියක්” ලෙසය. එය “ලෝක ආර්ථිකය සහ සෑම ජාතික රාජ්‍යයක්ම, එය ගමන් කරමින් සිටින සමස්ත විනාශකාරී ගිනිජාලාව සඳහා සූදානම් කරමින් ක්‍රමානුකූලව පරිවර්තනය කරයි.”

සම්බන්ධිත ක්‍රියාවලීන්

ණය, උද්ධමනය සහ යුද්ධය යන මෙම බලවේග තුන, ගෝලීය ධනපති ආර්ථිකයේ අස්ථාවරත්වයේ සහ අර්බුදයේ වැඩි වැඩියෙන් සම්බන්ධිත ප්‍රකාශනයන් වේ. එකිනෙකක් මගින් අනෙක උග්‍ර කරනු ලබයි.

යුක්‍රේනයේ සහ ඉරානයේ යුද්ධ මෙන්ම යේමනයේ පැවැත්වෙන සටන්, ගෝලීය බලශක්ති, ප්‍රවාහන සහ ආහාර මිල ගණන් සඳහා සෘජුවම බලපා ඇත. ඒවා ඉන්ධන සහ කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය ඉහළ නංවා ඇති අතර, එම පීඩනය කර්මාන්ත හරහා ගෘහස්ථ වියදම් වෙතද පැතිරී ඇත.

උද්ධමනය, මූල්‍ය පීඩනයන් සහ අවිනිශ්චිතභාවය උග්‍ර කිරීම මගින්, මෙම යුද්ධ ණය ගැනීමේ පිරිවැය ඉහළ නැංවීමටද දායක වී ඇති අතර, එය ණය ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යාම වඩාත් දුෂ්කර කරයි. වසර 10 යේ එක්සත් ජනපද භාණ්ඩාගාර බිල්පත් (US Treasury) පොලී අනුපාතය (yield) දැන් සියවස් කාලක ඉහළම මට්ටමට ළඟා වී ඇති අතර, එය සියයට 5 ඉක්මවා සියයට 6 දෙසට ගමන් කරමින් පවතී. ඉහළ පොලී ගෙවීම් මගින් දැනටමත් එකතු වී ඇති ණය  සේවා (debt servicing) සඳහා තව තවත් මුදල් ඉල්ලා සිටී.

මේ අතර, යුද්ධය දෙසට වන ධාවනය සඳහා අරමුදල් සැපයීමට විශාල නව වියදම් අවශ්‍ය වන අතර, ඒවා ණය ගැනීම් සහ වැඩකරන ජනතාවගෙන් කෙරෙන දැඩි සූරාකෑම් සංයෝජනයක් හරහා මූල්‍යනය කරනු ලබයි.

2016 සහ 2025 අතර කාලය තුළ ගෝලීය මූර්ත (සැබෑ) මිලිටරි වියදම  සියයට 41 කින් ඉහළ ගිය අතර, 2026 සහ 2027 වසරවලදී නව වාර්තා පිහිටුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ට්‍රම්ප් පරිපාලනය 2027 සඳහා ඩොලර් ට්‍රිලියන 1.5 ක හමුදා අයවැයක් ඉල්ලා සිටී — මෙය සියයට 50 ක පමණ වැඩිවීමකි.

මේ අතර යුරෝපය රුසියාව සමඟ යුද්ධයකට උමතු ආකාරයෙන් නැවත ආයුධ සන්නද්ධ කරමින් සිටී. ජර්මනිය පමණක් ඉදිරි වසර පහ තුළ හමුදා වියදම් සඳහා යුරෝ ට්‍රිලියන 1 ක් පමණ සැලසුම් කර ඇති අතර, 2029 වන විට වසරක වියදම යුරෝ බිලියන 168 දක්වා ඉහළ යනු ඇත. එසේම  එකතු වන මූල්‍ය බරට ඔරොත්තු දීම සඳහා “යුරෝපීය ආකෘතියේ සහ සමාජ ගිවිසුමේ (social contract) දැඩි කප්පාදු කිරීම්” සිදු කරන ලෙස  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉල්ලා සිටී.

නමුත් මෙම සම්බන්ධය අනෙක් දෙසටද ක්‍රියාත්මක වේ. පිරිහෙන ආර්ථික කොන්දේසි මගින්, ප්‍රතිපක්ෂ ධනපති බලවතුන් අතර තම ධනය සහ බලය රඳා පවතින බලශක්තිය, සම්පත්, වෙළඳපොළවල් සහ සැපයුම් දාමයන් (supply chains) පාලනය කිරීම සඳහා වන අභිප්‍රාය උග්‍ර කරයි. සෑම බලවතෙකුම තම තරඟකරුවන්ගේ වියදමින් සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට උත්සාහ කරයි. සැවොම  තම තරඟකරුවන්ගේ වියදමින් සිය ස්ථාවරය තහවුරු කර ගැනීමට උත්සාහ කරද්දි එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන ගැටුම් මගින් ඔවුන් සියල්ලන්ම රඳා පවතින නිෂ්පාදන කොන්දේසිවලට හානි සිදු වේ.

යුද්ධයට යොමු වීම මගින් ප්‍රකාශ වන්නේ තම ධනය සහ ලෝක බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙම පාලක පන්තීන් සිදු කරන දරුණු අරගලයයි. අර්බුදයෙන් ගොඩ ඒමේ මඟක් ලෙස ඔවුන් මිලිටරි බලය දෙස බලති. මෙය විශේෂයෙන්ම ඇමෙරිකානු සහ යුරෝපීය පාලක පන්තීන් විසින් අනුගමනය කරනු ලබන මාර්ගයයි.

ඔක්තෝබර් 7 වන දින ඇතැනිස් හිදී මාකෝ රූබියෝ ප්‍රශ්න කළේ, “බටහිර තම  ලෝකයේ ඉහළම ස්ථානය පවත්වා ගන්නේද නැතහොත් පිරිහීම, වහල්භාවය සහ කඩාවැටීමේ අනාගතයකට ඉඩ දෙන්නේද” ලෙසයි. තීරණාත්මක සැපයුම් දාමයන් පාලනය කිරීම, ආර්ථික හා තාක්ෂණික ආධිපත්‍යය සහ හමුදා නැවත ගොඩනැගීම සඳහා ඔහු කැඳවුම්කර සිටියේය.

“අපි ජර්මානු හමුදාව (Bundeswehr) යුරෝපයේ ප්‍රබලතම සාම්ප්‍රදායික හමුදාව බවට පත් කරන්නෙමු,” යනුවෙන් 2025 ජූනි මාසයේදී අගමැති (Chancellor) Friedrich Merz ප්‍රකාශ කළේ ජර්මනියේ ප්‍රමාණය, ආර්ථික ශක්තිය සහ භූගෝලීය පිහිටීම මගින් එම ඉලක්කය සාධාරණීකරණය කරමිනි. පෙබරවාරි මාසයේ පැවැති මියුනික් ආරක්ෂක යා සමුළුවෙ හිදී (Munich Security Conference) ඔහු පැහැදිලි කළේ, “තරඟකාරීත්ව ප්‍රතිපත්තිය යනු ආරක්ෂක ප්‍රතිපත්තිය වන අතර ආරක්ෂක ප්‍රතිපත්තිය යනු තරඟකාරීත්ව ප්‍රතිපත්තියයි.” ජර්මනියෙහි ආර්ථිකය දැඩි අර්බුදයක පවතින අතර, ඉහළ බලශක්ති පිරිවැය එහි කාර්මික පදනමට පහර දෙන අතර චීන වාහන නිෂ්පාදකයින්ගෙන් එල්ල වන දැඩි තරඟකාරිත්වය වරක් ආධිපත්‍යය දැරූ එහි මෝටර් රථ කර්මාන්තයට  තර්ජනයක් වී ඇත.

එබැවින් එක් අර්බුදයක් විසඳීමට ගන්නා උත්සාහයන් අනෙක් අර්බුද තවත් ගැඹුරු කිරීමට හේතු වේ.

ණය මගින් යුද්ධය මූල්‍යනය කරයි; යුද්ධය මගින් අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල සහ ණය ගැනීමේ පිරිවැය ඉහළ නංවයි; එමෙන්ම ගොඩනැගෙන ආර්ථික පීඩනය මගින් ගෝලීය ධනයේ මූලාශ්‍ර පාලනය කිරීම සඳහා වන අරගලය තවදුරටත් දැඩි කරයි.

මෙම අර්බුදකාරී තත්ත්වයෙන් මිදීමේ මඟක් ලෙස පාලක පන්තිය කෘත්‍රිම බුද්ධිය (artificial intelligence / AI) දෙස වැඩි වැඩියෙන් බලයි. AI මගින් අතිමහත් සමපේක්ෂන වටිනාකම් (speculative valuations) සහ ආයෝජන උත්පාදනය කර ඇති අතර, එය එක තැන පල්  වන ආර්ථිකයක නව පණක් ලබාදීමේ පෙනුම පවත්වා ගනී. නමුත් එය නිෂ්පාදනය විප්ලවීය වෙනසකට ලක් කළද, ධනවාදයේ සමාජ ප්‍රතිවිරෝධතාවයන් (social contradictions) උග්‍ර කරයි. ගැලවීමේ මඟක් ලෙස සැලකෙන තාක්ෂණික දියුණුවම අර්බුදය තීව්‍ර කරයි. මේ අතර, ඒ වටා අලුත් මූල්‍ය බුබුලක් (financial bubble) පිම්බී ඇත. එය පිපිරී යාම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

මූල්‍ය වංශාධිපතිත්වයෙන් (financial aristocracy) වෙන්වීම

මෙම අතිමහත් ණය සඳහා ගෙවන්නේ කවුද? මෙම යුදකාමීත්වය සහ උග්‍ර වන උද්ධමනය සඳහා ගෙවන්නේ කවුද?

පාලක පන්තියට ඊට පිළිතුරක් ඇත: පෞද්ගලික ධන සම්භාරය සුරක්ෂිතව පවතින අතරතුර, සමාජ සුබසාධන වැඩසටහන් කප්පාදු කළ යුතු අතර යුද්ධය සඳහා බිලියන සිය ගණනක් සොයාගත යුතුය. ඉහළින් සිටින අයගේ ධනය සහ බලය ආරක්ෂා කිරීමට සහ වැඩි කිරීමට සෑම දෙයක්ම කැප කළ හැකිය.

සමාජයේ මුදුනත එකතු වී ඇති අතිමහත් පෞද්ගලික ධනස්කන්ධයෙන් මීට අසලින් යන  හෝ කිසිවක් ඉල්ලා නොසිටී. 2020 සිට බිලියනපතියන්ගේ ධනය සියයට 80 කට වඩා වැඩි වී ඇති අතර, ජනතාව මත කප්පාදු පටවන අතරතුර පවා එය වාර්තාගත මට්ටමකට ළඟා වී ඇත. කැලිපෝනියාහි ඩොලර් බිලියන 1 ට වැඩි ධනය සඳහා එක් වරක් පමණක් අය කෙරෙන සියයට 5 ක බද්දක් පිළිබඳ යෝජනාවට එරෙහිව ඩොලර් මිලියන 187 කට වඩා වැඩි මුදලක් වැය කර ඇති අතර, ඊට ගූගල් හි සම-නිර්මාතෘ Sergey Brin ගෙන් පමණක් ඩොලර් මිලියන 102 කට වඩා ඇතුළත් වේ.

මෙම අන්තර්ඡේදනය වන අර්බුදවල පිරිවැය පටවනු ලබන්නේ ලොව පුරා සිටින වැඩකරන ජනතාව — රැකියාවල නියුතු, රැකියා විරහිත සහ අර්ධ-රැකියා නියුතු — මත ය.

සෑම සතියකම, සෑම මාසයකම —වෙළඳසැලෙදී, ගෙවල් කුලීවලදී, ඉන්ධන පිරවුම්හලේදී සහ විදුලි බිල එන විට — ඔවුන් දැඩි පීඩනයකට ලක්වේ. උද්ධමනය යනු ජීවිතය ඛාදනය වීමයි.

යුරෝපයේ, ලතින් ඇමරිකාවේ, එක්සත් ජනපදයේ සහ වෙනත් ස්ථානවල, සෞඛ්‍ය සංරක්ෂණය, විශ්‍රාම වැටුප්, රැකියා විරහිත සහන, පවුල් සඳහා ආධාර සහ අනෙකුත් සියලුම සමාජ වියදම් කප්පාදුවේ ඉලක්ක බවට පත්වේ. දැනටමත් පවතින ගැඹුරු සමාජ අර්බුදයක් මධ්‍යයේ, ජනතාවට ලබා දෙන සෑම දෙයක්ම දරාගත නොහැකි ලෙස ප්‍රකාශයට පත් කෙරේ. මේ අතර ආණ්ඩු, බැංකු සහ සංස්ථා විසින් ගොඩ ගසා ගන්නා ලද ණය ගෙවිය යුතුය.

යුරෝපයේ පැවැති දැවැන්ත තරුණ විරෝධතා සහ එක්සත් ජනපදයේ  ට්‍රම්ප් ට එරෙහි වාර මැද මැතිවරණ ප්‍රතික්ෂේප කිරීම මගින් මෙම වැඩපිළිවෙලට එරෙහිව පවතින ගැඹුරු මහජන විරෝධය ප්‍රකාශ වේ. පාලක පන්තියේ යුද්ධ සඳහා සහ ධනවාදයේ කඩාවැටීමට තමන් ලවා වන්දි ගෙවීමට ගන්නා උත්සාහයට වැඩකරන ජනතාව ප්‍රතිරෝධය දක්වයි.

නමුත් පවතින සමාජ ක්‍රමය පවත්වාගෙන යාමට මුලික වශයෙන් බැඳී සිටින ඒ හෝ මේ ‘ප්‍රගතිශීලී’ අපේක්ෂකයින් විසින් මෙම ක්‍රියාවලීන් නතර නොකරනු ඇත.

WSWS මීට පෙර ලියූ පරිදි:

‘මෙම බලවේගයන්ට එරෙහිව, කම්කරු පන්තිය සිය අරගලය මූල්‍ය ප්‍රාග්ධනයෙන් (finance capital) සම්පූර්ණයෙන්ම වෙන්වීම මත පදනම් වූ මූලොපායක් මත පිහිටුවිය යුතුය. කෙතරම් “රැඩිකල්” (radical) ලෙස පෙනුනද, ඊට අඩු ඕනෑම දෙයක් යනු එහි නියෝගයන්ට යටත් වීමයි.’

මූල්‍ය අර්බුදය ප්‍රතිසංස්කරණ, සුළු වෙනස්කම් (tinkering) සහ ගිණුම්කරණ පියවරයන් මගින් විසඳිය නොහැක. පළමු කොටම, ණය ප්‍රතික්ෂේප කළ යුතුය (repudiated). එය ලබාගෙන ඇත්තේ ධනපති කතිපයාධිකාරයේ (capitalist oligarchy) අවශ්‍යතා සඳහා මිස කම්කරු පන්තිය සඳහා නොවේ.

සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය

ලෝක ධනවාදයේ අර්බුදය  එහි පාලක පන්තීන්ට කිසිදු ප්‍රගතිශීලී විසඳුමක් ඉදිරිපත් නොකරයි. ඒ වෙනුවට ඔවුන් යුද්ධය දෙසට යොමු වන අතර, එමගින් ඔවුන්ගේම බලය රඳා පවතින ධනපති ආර්ථිකය තවදුරටත් අස්ථාවර කරනු ලබයි.

යුක්‍රේනයෙ හි සහ මැදපෙරදිග පුරා, යුද කටයුතු වැඩි වැඩියෙන් ආර්ථික හායනය කිරීමේ (economic attrition) ස්වරූපයක් ගනී. බලශක්ති යටිතල පහසුකම්, වෙළඳ මාර්ග සහ නිෂ්පාදන ධාරිතාව හමුදා ඉලක්ක බවට පත්වේ. සිවිල් ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය යටිතල පහසුකම් විනාශ කිරීම, යුද්ධය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපක්ෂයාගේ ඇති ධාරිතාව ක්ෂය කිරීමේ මාර්ගයක් බවට පත්වේ.

නිදසුනක් ලෙස, රුසියානු තෙල් පිරිපහදුවලට එරෙහිව යුක්‍රේනය ක්‍රියාත්මක කරන මෙහෙයුම මගින් 2026 දී රුසියානු පිරිපහදු ධාරිතාව වසර විස්සකට වැඩි කාලයක පැවති අඩුම මට්ටමට ඇද දමා ඇති අතර, IEA ගණන් බලන පරිදි ඩීසල් නිෂ්පාදනය සියයට 30 කින් පමණ පහත වැටී ඇත. ගබඩා සහ අනෙකුත් වාණිජ ස්ථාන රාශියකට පහර දී ඇත. මේ අතර රුසියාව, යුක්‍රේනයේ  බලශක්ති යටිතල පහසුකම් වැඩි වැඩියෙන් ඉලක්ක කර ඇත. කලාපයේ ශීත ඍතුව එළඹෙත්ම අඟහරුවාදා එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් දුසිම් ගණනක් මියගිය අතර විදුලි පද්ධතියට තවදුරටත් හානි සිදු විය.

සෑම මාසයකම දස දහස් ගණනක් බිලිගන්නා මෙම ගැටුම්කාරී එකතැන පල්වීම, එකිනෙක පාර්ශ්වයේ දිගුකාලීන ආර්ථික හා සමාජීය විනාශයන්ට ඔරොත්තු දීමේ ධාරිතාව මත රඳා පවතී. ඇමෙරිකානු, යුරෝපීය සහ චීන යුද සැලසුම්කරුවන්, තායිවානය සම්බන්ධයෙන් ඇතිවන යුද්ධයක් මෙවැනිම හායනය කිරීමේ අරගලයක් (struggle of attrition) බවට පත්වීමේ හැකියාව ඇතුළුව, අනාගත ගැටුම් සඳහා මෙහි බලපෑම අධ්‍යයනය කරමින් සිටිති.

ඉරානයේද ක්‍රියාත්මක වන්නේ මෙම එකම තර්කනය යි. ට්‍රම්ප් පරිපාලනය සහ ඉරාන රජය හෝමුස් සමුද්‍ර සන්ධියේ සිදුවන අඛණ්ඩ බාධාවන්ට ඔරොත්තු දිය හැක්කේ කාටද යන්න සම්බන්ධයෙන් එකිනෙකා හමුවේ මුහුණට මුහුණ ලා සිටිති. වොෂින්ටනය සහ ඊශ්‍රායලය සඳහා තීරණාත්මක ප්‍රතිඵලයක් ලබා ගැනීමට නොහැකි වීම මගින් තවදුරටත් මිලිටරි උත්සන්න කිරීමේ පීඩනයක් ඇති කරයි. එක්සත් ජනපදය විසින් ඉරානය මත  තම විශාලතම න්‍යෂ්ටික නොවන ආයුධය භාවිත කිරීම පිළිබඳව සක්‍රීයව සලකා බලමින් සිටී.

සෑම අවස්ථාවකදීම යුද්ධයේ පිරිවැය දරන්නේ වැඩකරන ජනතාවයි.

සියල්ල ගත් කල, මෙම කැළඹීම් මගින් ධනවාදයේ ඓතිහාසික කඩාවැටීම ප්‍රකාශ වේ. ඒවා දශක ගණනාවක් පුරා එකතු වී 2008 මූල්‍ය කඩාවැටීමෙන් පසුව උග්‍ර වූ පරස්පර විරෝධතාවයන්ගෙන් මතු වේ. ඊට පසුව සිදු වූ ණය සහ මූල්‍ය සමපේක්ෂනයන්හි විශාල ව්‍යාප්තිය මගින් අර්බුදය කල් දැමූ අතර, එය නිර්මාණය කළ කොන්දේසි තවදුරටත් ගැඹුරු කළේය: එනම්, සමාජ අසමානතාවය, ආර්ථික අස්ථාවරත්වය සහ වෙළඳපොළවල්, සම්පත් සහ මූලෝපායික වාසි සඳහා ප්‍රධාන බලවතුන් අතර ඇති අරගලය යන ඒවායි.

ගෝලීය සමාජ ජීවිතය සංවිධානය කිරීමේ පද්ධතියක් ලෙස ධනවාදයට ලෝකයට දීමට කිසිවක් ඉතිරිව නැත. ඊට තමන්ගේම අනාගතය සුරක්ෂිත කර ගත නොහැක. ස්වයං-ආරක්ෂාව සඳහා වන එහි උත්සාහයන් මගින් එහි පැවැත්මේ ආර්ථික හා සමාජ පදනම් වලට වඩ වඩාත් වල කපයි. මාක්ස් ලියූ පරිදි, “ධනපති නිෂ්පාදනයේ සැබෑ බාධකය ප්‍රාග්ධනයම වේ.”

මෙහිදී සියලු මාවත් එකම දිශාවකට යොමු වේ: එනම් පන්ති අරගලයෙ උග්‍ර වීමයි.

ඉහළ යන ජීවන වියදම, කප්පාදුව සහ පිරිහෙන වැඩ-කොන්දේසි මගින් මෙහෙයවනු ලබන වැඩවර්ජන සහ විරෝධතා ආසියාව, ලතින් ඇමරිකාව උතුරු ඇමරිකාව සහ යුරෝපය පුරා පැතිර යමින් පවතී; ලොරි රථ රියදුරන්ගේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ සිට කාර්මික කම්කරුවන් සහ තරුණයින් දක්වා මෙය පැතිර යයි. කෝපයේ සහ ප්‍රතික්ෂේප කිරීමේ සලකුණු වලින් ලෝකය පිරී පවතී.

නමුත් විරෝධතාවයේ වර්ධනය මගින් පමණක් විසඳුමක් ලබා නොදෙයි. අරගල ජාතික සීමාවන් ඔස්සේ බෙදී පවතින තාක් කල් සහ වෘත්තීය සමිති නිලධාරයට, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවලට සහ ඒවායේ දේශපාලනික පරිවාරකයන්ට යටත්ව පවතින තාක් කල්, කප්පාදුව සහ යුද්ධය දෙසට වන පුළුල් ව්‍යාපාරය පවතිද්දීම ඒවා හුදකලා කර පාලනය කළ හැකිය.

අර්බුදයේ ජාත්‍යන්තර ස්වභාවය සඳහා ජාත්‍යන්තර ප්‍රතිචාරයක් අවශ්‍ය වේ. මානව වර්ගයා ඒකරාශි කර ඇති විද්‍යාත්මක දැනුම, තාක්ෂණය සහ නිෂ්පාදන සම්පත් මගින් වඩාත් කෙටි වැඩකරන වේලාවන් සහ මානව සංවර්ධනය සඳහා වැඩි ඉඩක් සහිතව, සැමට සුරක්ෂිත සහ ගෞරවණීය ජීවිතයක් ලබා දීමට හැකියාව ඇත. AI, ස්වයංක්‍රීයකරණය (automation) සහ අනෙකුත් දියුණුවීම් මගින් මානව වර්ගයාගේ අනාගතයට ධනාත්මක, විප්ලවීය බලපෑමක් ඇති කළ හැකිය.

නමුත් මෙම හැකියාවන් සාක්ෂාත් කර ගැනීම සඳහා නිෂ්පාදනය පෞද්ගලික ලාභයට සහ මූල්‍ය වංශාධිපතිත්වයේ ජාතිකවාදී අභිලාෂයන්ට යටත් කිරීම අවසන් කිරීම අවශ්‍ය වේ. සමාජයේ නිෂ්පාදන සම්පත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජ පාලනය යටතට පත් කළ යුතු අතර මානව අවශ්‍යතා සඳහා යොමු කළ යුතුය.

යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය දිළිඳු කිරීමට එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැක. මේ දෙකම සඳහා සියලුම ජාතික සීමාවන් හරහා කම්කරුවන්, තරුණයින් සහ රැකියා විරහිතයින්ගේ ස්වාධීන දේශපාලනික බලමුලු ගැන්වීම අවශ්‍ය වේ. මෙම ව්‍යාපාරය මූල්‍ය ප්‍රාග්ධනයෙන් ආපසු හැරවිය නොහැකි ලෙස වෙන්ව ගැනීමක් සහ මානව වර්ගයාගේ ඉදිරි සංවර්ධනයට බාධාවක් වන මූල්‍ය වංශාධිපතිත්වය අස්වාමික කිරීම (expropriation) සඳහා සටන් කළ යුතුය. එය විප්ලවවාදී සමාජවාදී වැඩපිළිවෙල වන අතර, මෙම ඓතිහාසික අර්බුදයෙන් ගොඩ ඒමේ එකම මාර්ගයයි.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI වෙතින් අසන්න

කම්කරු පන්තිය රාජ්‍ය ණය ‘ප්‍රතික්ෂේප කිරීම’ (repudiate) යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද, සහ රුසියානු විප්ලවයෙන් පසුව මෙන් ඉතිහාසයේදී මෙය උත්සාහ කර ඇත්තේ කෙසේද? 2008 මූල්‍ය කඩාවැටීම සහ ඊට දැක්වූ ප්‍රතිචාරය මගින් අද විස්තර කෙරෙන ණය සහ සමපේක්ෂන අර්බුදයට පදනම දැමුවේ කෙසේද? යුක්‍රේනයේ සහ ඉරානයේ භාවිත වන ආර්ථික හායනයේ යුද උපායමාර්ගය (economic attrition warfare) අතීත ලෝක යුද්ධ ප්‍රාදේශීය ගැටුම්වල සිට වර්ධනය වූ ආකාරයට සම්බන්ධ වන්නේ කෙසේද?

තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අසන්න.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top