ජොහැන්නස් ස්ටර්න් විසිනි.
මෙහි පළ කෙරෙන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 නොවැම්බර් 22 දින “Europe-wide strike wave: Prepare a European general strike!” යන හිසින් පළවූ ගෙබ්‍රියෙල් බ්ලැක් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

යුරෝපය පුරා පන්ති අරගලයේ නව අවධියක් වර්ධනය වෙමින් පවතී. ප්‍රංශයේ සහ ඉතාලියේ පැවති දැවෑන්ත වැඩ වර්ජනවලින් සහ යුද්ධයට, අනිවාර්ය හමුදා සේවයට (conscription) සහ කප්පාදු පිළිවෙත්වලට (austerity) එරෙහිව පැවති ජාත්‍යන්තර තරුණ විරෝධතාවලින් පසුව, තවදුරටත් වැඩ වර්ජන සහ උද්ඝෝෂණ ළඟා වෙමින් තිබේ. යුද්ධයට සහ සමාජ කප්පාදුවලට (social cuts) එරෙහි තීරණාත්මක බලවේගය ලෙස කම්කරු පන්තිය වඩ වඩාත් ඉස්මතු වෙමින් සිටී.
වෘත්තීය සමිති සංඛ්‍යාලේඛනවලට අනුව, අඟහරුවාදා ප්‍රංශයේ පැවති රටපුරා වැඩ වර්ජන සහ විරෝධතා දිනයට 500,000 කට අධික පිරිසක් සහභාගී වූහ. සීජීඅයිඑල් (CGIL) වෘත්තීය සමිති සම්මේලනයට අනුව, සිකුරාදා ජෝර්ජියා මෙලෝනිගේ (Giorgia Meloni) ආණ්ඩුවේ අයවැයට එරෙහිව ඉතාලියේ කම්කරුවන් සහ තරුණයින් මිලියන 1.5 ක් පමණ උද්ඝෝෂණය කළහ. ඒ අතරම, සංවිධායකයින්ට අනුව ජර්මනියේ පමණක් 87,000 ක් පමණ ඇතුළුව රටවල් ගණනාවක තරුණයින් යුද්ධයට, මිලිටරිවාදයට සහ කප්පාදු පිළිවෙත්වලට එරෙහිව විරෝධතා දැක්වූහ. ජර්මනියේ ලෝහ සහ විදුලි කර්මාන්තවල කම්කරුවන් 151,000 ක් ද සම්පූර්ණ දිනයක වැඩ වර්ජනයක නිරත වූහ.
අද, සඳුදා, බෙල්ජියමේ රටපුරා වෘත්තීය සමිති බලමුලු ගැන්වීමක් සිදුවෙමින් පවතින අතර, වැඩ වර්ජන සමඟ බ්රසල්ස්හි මහජන උද්ඝෝෂණයක් ද පැවැත්වේ. බදාදා, ග්‍රීසියේ රටපුරා පැය 24 ක වැඩ වර්ජනයක් පැවැත්වීමට නියමිත අතර, රාජ්‍ය අංශයේ කම්කරුවන් සමඟ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති සිය ගණනක් ඊට සහභාගී වීමට සැලසුම් කර ඇත. පෘතුගාලය, ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍යය යන රටවල ද වැඩ වර්ජන සිදුවෙමින් පවතී.
මෙම අරගල තවමත් සම්බන්ධීකරණය වී නොමැති නමුත්, ඒවාට එකම මූලික හේතු තිබේ: මූර්ත වැටුප් (real wages) පහත වැටීම, ජීවන වියදම අහස උසට නැඟීම, පොදු සේවාවන් විනාශ කිරීම සහ යුද්ධයේ සහ යළි සන්නද්ධ වීමේ (rearmament) පිරිවැය ජනතාව මත පැටවීමයි.
මෙය මූලික දේශපාලන ප්‍රශ්න න්‍යාය පත්‍රයට ඇතුළත් කරයි. දේශපාලන බලය පිළිබඳ ප්රශ්නය මතු කරන යුරෝපීය මහා වැඩ වර්ජනයක් දක්වා, ජාතික දේශසීමා ඉක්මවා ස්වාධීනව මෙම අරගල වර්ධනය කළ යුතුය. මේ සඳහා, කම්කරු පන්තියට සවිඥානික ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සහ නව විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය වේ.
එවැනි අරගලයක් සංවිධානය කළ හැක්කේ වෘත්තීය සමිති නිලධරයන්ගෙන් ස්වාධීනව සහ අවසාන වශයෙන් ඔවුන්ට එරෙහිව පමණි. ඔවුහු ධනවාදය ආරක්ෂා කරන අතර යුද්ධයේ සහ කප්පාදු පිළිවෙත්වලට මූලික වශයෙන් සහාය දක්වති; එමෙන්ම ඔවුහුම යුද ආර්ථිකය සංවිධානය කිරීමට ද සම්බන්ධ වී සිටිති. විරෝධය ජාතික වශයෙන් සහ කාලය අතින් සීමා කිරීමටත්, එය අදාළ ආණ්ඩු දෙසට යොමු කිරීමටත්, ධනේශ්වර පාලනයට අභියෝග කිරීමට පෙර එහි ගෙල සිර කිරීමටත් ඔවුන් උත්සාහ කරන්නේ එබැවිනි.
බෙල්ජියම සහ ග්‍රීසිය: වෘත්තීය සමිති ප්‍රතිරෝධය සීමා කරයි
බෙල්ජියමේ දක්ෂිණාංශික ජාතිකවාදී අගමැති බාර්ට් ඩි වෙවර්ගේ (Bart De Wever) ප්‍රතිපත්ති දරුණු ආණ්ඩු අර්බුදයක් ඇති කර තිබේ. 2029 වන විට යුරෝ බිලියන 10 ක් පමණ වන වියදම් කප්පාදු සහ අමතර ආදායම් පිළිබඳව එකඟතාවකට පැමිණීමට ඔහුගේ පංච-පක්ෂ සභාගය දැඩි වෙහෙසක් දරමින් සිටී. සාකච්ඡාවට භාජනය වී ඇති ක්‍රියාමාර්ග අතරට උද්ධමනයට අනුව වැටුප් ස්වයංක්‍රීයව ගැලපීම සීමා කිරීම, පරිභෝජන බදු ඉහළ නැංවීම සහ විශ්‍රාම වැටුප්, සෞඛ්‍ය සේවා සහ සමාජ ප්‍රතිලාභවලට එල්ල කරන ප්‍රහාර ඇතුළත් වේ.
නොවැම්බර් මුලදී ඩි වෙවර් සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කළේය. රජු ඔහුව නැවත සාකච්ඡා මේසයට යැවීය. රටපුරා බලමුලු ගැන්වීම සිදුවන දිනයේදීම, අගමැතිවරයා අයවැය සාකච්ඡා පිළිබඳව නැවත වාර්තා කළ යුතුය. කම්කරු පන්තියේ විරෝධය විවෘත ආණ්ඩු අර්බුදයකට මුහුණ දී සිටී.
එහෙත් එෆ්ජීටීබී (FGTB), සීඑස්සී (CSC) සහ සයිනෝවා (Synova) යන වෘත්තීය සමිතිවල නායකත්වයන් මෙම ව්‍යාපාරය වැඩ වර්ජන සමඟ පැවැත්වෙන ජාතික උද්ඝෝෂණ දිනයකට සීමා කරමින් සිටිති. ඔවුහු යුරෝ බිලියන 21 ක් වටිනා විකල්ප අයවැයක් ඉදිරිපත් කරමින්, ආණ්ඩුවට ආයාචනා කරන අතර, තම යෝජනා බෙල්ජියම් ආර්ථිකයේ තරඟකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා ද අදහස් කරන බව පැහැදිලිව ප්‍රකාශ කරති. ප්රහාරයන්ට මූලික වශයෙන් අභියෝග කරනවා වෙනුවට, ඔවුහු කම්කරුවන් ජාතික ආර්ථික සහ අයවැය ප්‍රතිපත්ති දෙසට යොමු කරමින් සිටිති.
ග්‍රීසියේ ද මෙම ප්‍රශ්නයම මතු වේ. ADEDY වෘත්තීය සමිති සම්මේලනය මිට්සොටාකිස් (Mitsotakis) ආණ්ඩුවට එරෙහි සිය බලමුලු ගැන්වීම එක්දින වැඩ වර්ජනයකට සීමා කරයි. යුරෝපීය ණය අර්බුදය අතරතුර අහෝසි කරන ලද රාජ්‍ය අංශයේ 13 වැනි සහ 14 වැනි මාසික වැටුප් [2012 ණය අර්බුදය මත නතර කරන ලද මාස දෙකක බෝනස් මුදල] නැවත ස්ථාපිත කිරීම සහ වැටුප් වැඩි කිරීම එහි ඉල්ලීම්වලට ඇතුළත් වේ. ඒ අතරම, ආණ්ඩුව යුරෝ බිලියන 25 ක් පමණ වටිනා යළි සන්නද්ධ වීමේ වැඩසටහනකට මුදල් සපයමින් සිටී. ග්‍රීසියේ විශාලතම වෘත්තීය සමිති ආයතනය වන—පෞද්ගලික අංශයේ ග්‍රීක කම්කරුවන්ගේ මහා සම්මේලනය (General Confederation of Greek Workers – GSEE)—නොවැම්බර් 25 වැනිදා සිය සාමාජිකයින් වැඩ වර්ජනයට කැඳවන්නේ නැත.
ග්‍රීක කම්කරුවන්ට වෘත්තීය සමිති නිලධරයන් සහ ව්‍යාජ-වාම පක්ෂ සම්බන්ධයෙන් කටුක අත්දැකීම් තිබේ. වසර ගණනාවක් තිස්සේ, කප්පාදු වැඩසටහන්වලට එරෙහි ඔවුන්ගේ අරගල එක්දින වැඩ වර්ජනවලට සීමා විය. 2015 දී, ඊනියා වාමාංශික සිරිසා (Syriza – රැඩිකල් වමේ සභාගය) ආණ්ඩුව, සිය පොරොන්දු සහ ට්‍රොයිකාවේ [යුරෝපීය කොමිසම, යුරෝපීය මහ බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල] කප්පාදු නියෝග ප්‍රතික්ෂේප කළ ජනමත විචාරණය යන දෙකම පාවා දෙමින් නව සමාජ ප්‍රහාර එල්ල කළේය.
කම්කරුවන් තම අරගල ජාතික වෘත්තීය සමිති යාන්ත්රණයන්ට යටත් නොකළ යුත්තේ මන්දැයි දෙරටම පෙන්නුම් කරයි. මූල්‍ය ප්රාග්ධනය විසින් යුරෝපය පුරා එල්ල කරන ප්‍රහාරයකට මුහුණ දිය හැක්කේ ඒ හා සමානවම ජාත්‍යන්තර සහ ස්වාධීන ව්‍යාපාරයකට පමණි.
වෘත්තීය සමිති නිලධරයෝ යුද සහ කප්පාදු පිළිවෙත්වල කොටස්කරුවෝ වෙති
ඉතාලියේ CGIL, ප්‍රංශයේ CGT, ජර්මනියේ IG Metall සහ යුරෝපය පුරා ඇති වෘත්තීය සමිති යාන්ත්‍රණයන් තුළ ද මෙම මූලික දිශානතියම පැහැදිලිව දැකගත හැකිය. ඔවුහු රාජ්‍ය යාන්ත්‍රණයන් සහ සංගත (corporations) සමඟ සමීපව ඒකාබද්ධ වී සිටින අතර, ඔවුන්ගේ ජාතික කාර්මික පදනම් සහ තරඟකාරිත්වය ආරක්ෂා කරති. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපීය ධනවාදය මුහුණ දෙන ගැඹුරුම අර්බුදය තුළ, මෙයින් වඩ වඩාත් අදහස් වන්නේ යළි සන්නද්ධ වීමේ සහ යුද ආර්ථිකයේ ඉල්ලීම්වලට කම්කරුවන් යටත් කිරීමයි.
මෙය ජර්මනියේ විශේෂයෙන් පැහැදිලිය. කාර්මික සංගම් සමඟ එක්ව, අයිජී මෙටල් (IG Metall) ජර්මානු අවි කර්මාන්තය පුළුල් කිරීම සහ ජර්මානු නායකත්වය යටතේ නව ප්‍රහාරක ගුවන් යානයක් නිපදවීම ඉල්ලා සිටී. බර්ලිනයේ, පැරණි පියර්බර්ග් (Pierburg) කම්හල මෝටර් රථ උපාංග නිෂ්පාදනයේ සිට කාලතුවක්කු පතොරම් කොටස් නිෂ්පාදනය දක්වා පරිවර්තනය කිරීමට රයින්මෙටල් (Rheinmetall) සමාගම ගන්නා පියවරට මෙන්ම වෙනත් කම්හල්වල සිදු කෙරෙන එවැනිම පරිවර්තනයන්ට ද එය සහයෝගය දක්වයි. එසේ කිරීමෙන්, එය “රැකියා සුරක්ෂිත කිරීමේ” මාධ්‍යයක් ලෙස මිලිටරීකරණය ප්‍රවර්ධනය කරයි.
ප්‍රංශයේ CGT සංවිධානය ද සිය කාර්මික ප්‍රතිපත්තිය ජාතික මිලිටරි හැකියාවන් ආරක්ෂා කිරීම සමඟ සම්බන්ධ කරයි. නොවැම්බර් මුලදී, ප්‍රංශ නාවික හමුදාව සහ අවි කර්මාන්තය සඳහා වන නිෂ්පාදන පහසුකම් ප්‍රංශ පාලනය යටතේ තබා ගැනීමට රාජ්‍ය මැදිහත්වීමක් ඉල්ලා සිටියේය.
ඉතාලියේ CGIL වැනි අනෙකුත් වෘත්තීය සමිති යළි සන්නද්ධ වීම ප්‍රසිද්ධියේ විවේචනය කරන නමුත් ඒ ආකාරයෙන්ම තම විරෝධතා ජාතික ප්‍රතිසංස්කරණ ඉදිරිදර්ශනයකට යටත් කරයි. මෙලෝනිගේ අයවැයට එරෙහිව CGIL එක්දින මහා වැඩ වර්ජන පහක් සංවිධානය කර ඇත. ආණ්ඩුවට සහ ධනවාදයට එරෙහිව ස්වාධීන දේශපාලන අරගලයක් වර්ධනය කරනවා වෙනුවට, එය අයවැයට සංශෝධන ඉල්ලා සිටින අතර, මිලිටරිවාදය සහ කප්පාදු පිළිවෙත් වෙනුවෙන් ඒ හා සමානවම ස්ථිරව පෙනී සිටින ධනේශ්වර විපක්ෂය දෙසට කම්කරුවන් යොමු කරයි.
අරගල මත පනවා ඇති ජාතික සහ කාලීන සීමාවන් සෘජුවම පැන නගින්නේ වෘත්තීය සමිති නිලධරයන්ගේ සමාජ භූමිකාවෙනි. ඔවුහු ධනවාදය ආරක්ෂා කරති, ඔවුහුම යුද සහ කප්පාදු පිළිවෙත්වලට ඒකාබද්ධ වී සිටිති, තවද ධනේශ්වර පාලනය ප්‍රශ්න කිරීමට පෙර ප්‍රතිරෝධය පාලනය කිරීමට උත්සාහ කරති.
ව්‍යාජ-වාම පක්ෂ මෙම ප්‍රතිපත්තිවලට සහාය දක්වයි: ඔවුහු යළි සන්නද්ධ වීමට සහ යුද්ධයට සෘජුවම පිටුබලය දෙති, නැතහොත් වැඩ වර්ජන සහ විරෝධතා මගින් ආණ්ඩුවලට තම ගමන් මග මූලික වශයෙන් වෙනස් කිරීමට බල කළ හැකිය යන මිථ්‍යාව පතුරුවති.
ධනවාදය යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට මග පාදයි
ගෝලීය ධනේශ්වර අර්බුදය සාමකාමී ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති වෙත ආපසු යාමේ කිසිදු ඉඩකඩක් බැහැර කරයි. මැක්රොන් (Macron), මර්ස් (Merz) සහ ක්ලින්ග්බීල්ගේ (Klingbeil) සිට මෙලෝනි (Meloni) සහ ඩි වෙවර් (De Wever) දක්වාත්, ස්පාඤ්ඤයේ නාමික වාමාංශික පීඑස්ඕඊ-සුමාර් (PSOE-Sumar) ආණ්ඩුව දක්වාත් වූ සියලුම යුරෝපීය ආණ්ඩු, සමාජ අවශ්‍යතා මූල්‍ය ප්රාග්ධනයේ සහ යළි සන්නද්ධ වීමේ අවශ්‍යතාවලට යටත් කරයි.
පසුගිය බ්‍රහස්පතින්දා බර්ලිනයේ පැවති ඊනියා “කැමත්ත ඇත්තන්ගේ සන්ධානයේ” (Coalition of the Willing) සමුළුව මගින් යුද්ධය උත්සන්න කිරීම කෙතරම් ආක්‍රමණශීලී ලෙස සිදු කරන්නේද යන්න පෙන්නුම් කළේය. යුක්රේනයට මිලිටරි සහාය අඛණ්ඩව ලබා දීමට සහ යුරෝපීය යුද හා යළි සන්නද්ධ වීමේ සැලසුම් ඉදිරියට ගෙන යාමට රටවල් 37 ක නියෝජිතයින්, යුරෝපා සංගමයේ (EU) සහ නේටෝවේ (NATO) නායකයින් සමඟ චාන්සලර් කාර්යාලයට (Chancellery) රැස් වූහ. 2027 සඳහා යුරෝ බිලියන 45 ක් දක්වා අමතර මූල්‍ය ආධාර ලබා දීම සඳහා යුරෝපීය කොමිසම කළ යෝජනාවට ජර්මානු ආණ්ඩුව සහාය දැක්වීය.
යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ රුසියාව සමඟ සෘජු ගැටුමක අවදානම ගනිමින් සිටින අතර එමගින් විනාශකාරී යුද්ධයකට අත වනති. ඓතිහාසික සමාජ කප්පාදු, මිලිටරීකරණය, ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් විනාශ කිරීම සහ අවසානයේ යුද පිටියේදී තම ජීවිතවලින් ඒ සඳහා වන්දි ගෙවීමට කම්කරුවන්ට සහ තරුණයින්ට සිදුවනු ඇත.
පාලක පන්තීන් වර්ධනය වන විරෝධයට ප්‍රතිචාර දක්වන්නේ තීව්ර කරන ලද ප්‍රහාර, අධිපතිවාදී පාලන ක්‍රම සහ යුද සූදානම මගිනි. මෙම වර්ධනය පැන නගින්නේ ධනවාදයේ ප්රතිවිරෝධතාවලිනි: එනම්, අධිරාජ්‍යවාදී බලවතුන් අතර ගැටුම් සහ කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරය තීව්ර කරන වෙළඳපොළවල්, අමුද්‍රව්‍ය සහ භූදේශපාලනික ආධිපත්‍යය සඳහා වන අරගලයයි.
ධනවාදය නැවත වරක් යුද්ධයට සහ ම්ලේච්ඡත්වයට මග පාදමින් සිටී. කම්කරු පන්තිය ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී ව්‍යාපාරයකින් ඊට මුහුණ දිය යුතුය.
දේශපාලන බලය පිළිබඳ ප්රශ්නය මතු කරන යුරෝපීය මහා වැඩ වර්ජනයක් සූදානම් කරනු!
සෑම නව වැඩ වර්ජන රැල්ලක් සහ තරුණයින්ගේ රැඩිකලීකරණය සමඟම එවැනි ව්‍යාපාරයක් සඳහා අත්තිවාරම් වර්ධනය වෙමින් පවතී.
නොවැම්බර් 20 වැනිදා පැවති තරුණ විරෝධතාවලට සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුණයෝ සහ ශිෂ්‍යයෝ (International Youth and Students for Social Equality – IYSSE) සංවිධානය කළ මැදිහත්වීම මගින් සමාජවාදී ඉදිරිදර්ශනයකට ලැබෙන ප්‍රතිචාරය පෙන්නුම් කළේය. බර්ලිනයේදී, පාසල් වැඩ වර්ජන කමිටු නියෝජිතයෙක් මහා වැඩ වර්ජනයක් සඳහා වන ඉල්ලීම ඉදිරිපත් කළේය: “ජාත්‍යන්තර තරුණ වැඩ වර්ජනයක සිට ජාත්‍යන්තර මහා වැඩ වර්ජනයක් දක්වා—පැහැදිලිවම මෙහි කදිම ප්‍රතිඵලය වන්නේ එයයි.” බර්ලින් නිදහස් විශ්වවිද්‍යාලයේදී (Free University of Berlin), ස්වාධීන සාමාන්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු සහ සමාජවාදී දිශානතියක් ඉල්ලා සිටීම වෙනුවෙන් IYSSE කථිකයෙකුට ප්‍රබල අත්පොළසන් නාදයකින් ප්‍රතිචාරය ලැබුණි.
IYSSE සංවිධානය තරුණ විරෝධතා කම්කරු පන්තිය සමඟ ඒකාබද්ධ කිරීමට සටන් කරයි. කර්මාන්තශාලා, වරාය, රෝහල්, පාසල් සහ ප්‍රවාහන ක්ෂේත්රවල කම්කරුවන්ට ආර්ථිකය ඇනහිටුවීමට සහ යුද යන්ත්‍රණය බල රහිත කිරීමට බලය ඇත.
කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees – IWA-RFC) එම බලය සවිඥානිකව සහ ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමේ සටනට නායකත්වය දෙයි. යුරෝපීය මහා වැඩ වර්ජනයක් සූදානම් කිරීම සඳහා කර්මාන්ත සහ ජාතික දේශසීමා හරහා තම අරගල ඒකාබද්ධ කරන, ඒ සඳහා සංවිධානාත්මක රාමුව සපයන ස්වාධීන, ප්‍රජාතන්ත්‍රවාදීව පාලනය වන ක්‍රියාකාරී කමිටු වැඩබිම්, පාසල් සහ විශ්වවිද්‍යාල තුළ පිහිටුවන ලෙස එය ඉල්ලා සිටී.
යුරෝපීය මහා වැඩ වර්ජනයක් ධනේශ්වර ආණ්ඩුවලට බලපෑම් කිරීම අරමුණු කරගත් තවත් සංකේතාත්මක විරෝධතාවක් නොවිය යුතුය. එය බලය සඳහා වන දේශපාලන අරගලයක ආරම්භක ලක්ෂ්‍යය බවට පත් විය යුතුය.
මේ සඳහා බැංකු සහ සංගත අත්පත් කර ගන්නා (expropriate), සහ ආර්ථිකය වැඩකරන ජනතාවගේ ප්රජාතන්ත්රවාදී පාලනය යටතට පත් කරන සමාජවාදී වැඩපිළිවෙළක් අවශ්‍ය වේ. අධිරාජ්‍යවාදී යුරෝපා සංගමය වෙනුවට, රුසියාවේ, යුක්රේනයේ සහ ලොව පුරා සිටින කම්කරුවන් සමඟ එක්සත් වූ යුරෝපීය එක්සත් සමාජවාදී සමූහාණ්ඩු සංගමයක ඉදිරිදර්ශනය ආදේශ කළ යුතුය.
සියල්ලටම වඩා, කම්කරු පන්තියට නව විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය වේ. පන්ති අරගලයේ වෛෂයික ජාත්‍යන්තරකරණය (objective internationalization) සහ රැඩිකලීකරණය මගින් ස්වයංක්‍රීයව සමාජවාදී විඥානය නිර්මාණය නොවේ. තීරණාත්මක ප්රශ්නය වන්නේ වර්ධනය වන මහජන විරෝධය, ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයකින් සහ එහි අරගල ඒකාබද්ධ කර දේශපාලන බලය සඳහා වන ප්‍රහාරයක් බවට පරිවර්තනය කිරීමට සමත් විප්ලවවාදී පක්ෂයකින් සන්නද්ධ වී තිබේද යන්නයි.
සමාජවාදී සමානතා පක්ෂ සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) මෙම නායකත්වය ගොඩනැගීමට සටන් කරයි. යුරෝපීය වැඩ වර්ජන රැල්ල මෙම කර්තව්‍යය සඳහා වඩ වඩාත් හිතකර කොන්දේසි නිර්මාණය කරමින් සිටින අතර, සවිඥානිකව සහ උපරිම අධිෂ්ඨානයෙන් යුතුව එය භාර ගන්නා ලෙස ICFI යුරෝපය පුරා සිටින කම්කරුවන්ගෙන් සහ තරුණයින්ගෙන් ඉල්ලා සිටී.
[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]
