ඉතිහාසයේ මෙම සතිය: ජූනි 26 – ජූලි 2

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජුනි 25 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: උතුරු අයර්ලන්ත සභාව රැස්වේ

1998 ජුලි 1 වෙනිදා, නව උතුරු අයර්ලන්ත සභාව බෙල්ෆාස්ට් හි ස්ටෝමොන්ට් බලකොටුවේදී රැස් වූ අතර අල්ස්ටර් යුනියන්වාදී පක්ෂයේ (යූයූපී) ඩේවිඩ් ට්‍රිම්බල් පළමු ඇමතිවරයා ලෙස පත් විය. අයර්ලන්ත ජාතිකවාදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ කම්කරු පක්ෂයේ (SDLP) සීමස් මැලන් ට එහි  නියෝජ්‍ය නායකත්වය හිමි විය. ජූනි 25 වැනිදා පැවති මැතිවරණයෙන් පසුව මෙම පත්කිරීම් සිදු කර තිබුණි.

මැයි මාසයේදී අයර්ලන්තයේ උතුරේ සහ දකුණේ සමගාමීව පවත්වන ලද ජනමත විචාරණයේදී අනුමත කරන ලද, උතුරු අයර්ලන්ත ගිවිසුම මගින්, සභාව සඳහා විධිවිධාන ස්ථාපිත කරන ලදී. මෙම ගිවිසුම බ්‍රිතාන්‍යය, එක්සත් ජනපදය, අයර්ලන්ත ජනරජය (දකුණු අයර්ලන්තය), සින් ෆෙයින්, එස්ඩීඑල්පී සහ විශාලතම වෘත්තීය සමිතිවාදී පක්ෂය විසින් සකස් කරන ලද අතර, එය “සාමය සහ සහජීවනය ” මෙන්ම රැකියා සහ ආර්ථික සමෘද්ධිය සඳහා පදනම ලෙස නිරූපණය කරන ලද දැවැන්ත මහජන සම්බන්ධතා ව්‍යාපාරයක් හරහා ප්‍රවර්ධනය කරන ලදී. 

උතුරු අයර්ලන්ත සභා ඡන්ද විමසීමේදී, පළාතේ වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ 18 සඳහා නියෝජිතයින් හය දෙනෙකු තේරී පත් වූ අතර, මුළු සාමාජික සංඛ්‍යාව 108 ක් විය. වාර්තාගත පක්‍ෂ සංඛ්‍යාවක් විසින්  මැතිවරණ තරග කරන ලද අතර සමහර මැතිවරණ කොට්ඨාශවල ආසන සඳහා දස දෙනෙකුට වඩා අභියෝග කරන ලදී. ඡන්දය ප්‍රකාශ කිරීම සමානුපාතික නියෝජන ක්‍රමයකින් සිදු වූ අතර එහිදී සාර්ථක අපේක්ෂකයන්ගෙන් හෝ තේරී පත් වීමට නොහැකි තරම් කුඩා සංඛ්‍යාවක් ඇති අයගේ “අතිරික්ත” ඡන්ද, ඡන්දදායකයින් විසින් දක්වන ලද මනාපයන් අනුව යලි බෙදා හරින ලදී.

parliament
උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් පිටත ස්ටෝමොන්ට් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල [ඡායාරූපය Dom0803 / CC BY-SA 3.0]

මැයි ජනමත විචාරණවල රටාව පිළිබිඹු කරමින්, ප්‍රකාශිත ඡන්ද 822,000 න් සියයට 75 ක් ගිවිසුමට සහාය දක්වන පක්ෂවලට ලැබුණි. SDLP වැඩිම පළමු මනාප ලබා ගත් අතර එය සියයට 23 ට අඩු විය. UUP සියයට 21.16 ක කොටසක් ලබා ගත් නමුත් දෙවන මනාප ඡන්දය හේතුවෙන් වැඩිම ආසන සංඛ්‍යාව (SDLP 24 ට සාපේක්ෂව 28) ලබා ගත්තේය. ෂින් ෆේන් ආසන 18 ක් ලබා ගත්තේය. පක්ෂපාතී පැරාමිලිටරි හමුදාවන් හා සන්ධාන ගත ප්‍රගතිශීලී යුනියන්වාදී පක්ෂය (PUP), සම්මුතියට ගැති වෘත්තීය සමිති සාමාජිකයන් ගනන 30ක් කරමින් නියෝජිතයන් දෙදෙනෙකු සභාවට එවීමට නියමිත විය.

උතුරු අයර්ලන්ත ගිවිසුම හෝ සභාව මහජන ජනප්‍රිය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යාපාරයක නිෂ්පාදනයක් නොවේ. ඒ දෙකම, බ්‍රිතාන්‍ය හා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ අයර්ලන්ත ධනේශ්වරය අතර සංවෘත දොරවල් පිටුපස ඇදී ගිය අතර ඔවුන්ගේ අවශ්‍යතා පිලිබිඹු කෙරුණි. එහි කේන්ද්‍රීය අරමුන වූයේ ජාත්‍යන්තර ප්‍රාග්ධනය විසින් මුළු අයර්ලන්තයම සූරා කෑමට ඇති සියලු බාධක ඉවත් කිරීමයි.

අයර්ලන්ත ජනරජය යුරෝපීය වෙලඳපොලට ප්‍රවේශය අපේක්ෂා කරන අන්තර් ජාතික සංගත සඳහා ප්‍රධාන ආයෝජන ස්ථානයක් බවට පත්වෙමින් තිබූණි. එය එසේ කළේ ව්‍යාපාරිකයන්ට බදු සහන ලබා දීමෙන් සහ අයර්ලන්ත කම්කරුවන්ගේ වියදමින් වෘත්තීය සමිති සමග සැලකිය යුතු වැටුප් සීමා කිරීමේ ගනුදෙනු ඇති කර ගැනීමෙනි. උතුරු අයර්ලන්ත ගිවිසුම අනුකරණය කිරීමට සැලසුම් කරන ලද වාර්තාව මෙයයි. බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති පළාත, එසේ කිරීමට දරන ප‍්‍රයත්නයට, 30 වසරක කටුක නිකායික ගැටුම නිසා නීතිය හා සාමය පවත්වාගෙන යාමට සහ සාම්ප්‍රදායික නිෂ්පාදන කර්මාන්තයේ පරිහානියට වන්දි ගෙවීමට අවශ්‍ය පුළුල් රාජ්‍ය අංශය පවත්වාගෙන යාමට දැරූ අතිවිශාල වියදම පෙර කල බාධාවක් විය.

අවුරුදු 50 කට පෙර :  චිලියේ පළමු කුමන්ත්‍රණය අසාර්ථක වෙයි

1973 ජූනි 29 වන දින, දෙවන සන්නද්ධ රෙජිමේන්තුවේ චිලී හමුදා සාමාජිකයින් ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් නෙරපා මිලිටරි ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට උත්සාහ කළහ. කුමන්ත්‍රණය මෙහෙයවනු ලැබුවේ ෆැසිස්ට් දේශපාලන පක්ෂයක් වන “ෆාදර්ලන්ඩ් ඇන්ඩ් ලිබර්ටි” සමඟ දේශපාලනිකව සම්බන්ධ වූ ලුතිනන් කර්නල් රොබර්ටෝ සූපර් විසිනි.

1970 දී ඇලෙන්ඩේ තේරී පත් වූ දා සිට චිලී හමුදාවේ අන්ත දක්ෂිණාංශික සංවිධාන සීඅයිඒ සමඟ සන්නිවේදනය කරමින් කුමන්ත්‍රණයක් සඳහා සූදානම් වෙමින් සිටියහ. විශේෂයෙන්, සීඅයිඒ  “ෆාදර්ලන්ඩ් ඇන්ඩ් ලිබර්ටි” සමඟ සම්බන්ධතා පවත්වා ගෙන ගිය අතර සූපර් වැදගත් වත්කමක් ලෙස හඳුනාගෙන තිබුණි.

මෙතෙක් කල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පක්ෂපාතීව සිටි යුද හමුදා නිලධාරීන් මෙම කුමන්ත්‍රණය ගැන සතියකට පෙර දැනගෙන කුමන්ත්‍රණය ගැන ඇලෙන්ඩේ ව දැනුවත් කළහ. සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම් සමඟ රජය ඉදිරියට ගිය විට, සිය හමුදා බලමුලු ගැන්වීමට සූපර් තීරණය කළේය.

Moneda Palace
චිලියේ කුමන්ත්‍රණ උත්සාහයට එරෙහිව මොනෙඩා මාලිගයේ දකුණු පැත්ත ආරක්ෂා කරන මැෂින් තුවක්කුකරුවන් [ඡායාරූපය: රෙවිස්ටා ආර්ජන්ටිනා සයිටේ ඩයස්]

සන්තියාගෝ නගරයේ වීදි දිගේ යුධ ටැංකි ඉදිරියට ගිය අතර ජනාධිපති මන්දිරය සහ ආරක්ෂක අමාත්‍යාංශය වට කළේය. පෙ.ව. 9.00 ට, සූපර් නියෝග කළේ රජයේ ගොඩනැගිලිවලට වෙඩි තැබීමට, ටැංකි වටවලින් ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන ලෙසටය.

රාජ්‍ය කාර්යාලවල සේවය කළ සියලුම රජයේ සේවකයන් සමූල ඝාතනය කිරීම මෙම සැලැස්මේ මූලික දෙයක්  විය. ටැංකි පාරවල් හරහා ඉදිරියට යද්දී බොහෝ කම්කරුවන්ට වෙඩි තබා මරා දමන ලදී. කුමන්ත්‍රණ ප්‍රයත්නයෙන් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගියහ.

මේ අවස්ථාවේදී හමුදාපතිවරු ඇලෙන්ඩේට පිටුබලය දීමට තීරණය කළ අතර කැරැල්ල මැඩපැවැත්වීම සඳහා හමුදා යවා සූපර් අත්අඩංගුවට ගත්හ. ආන්ඩුව ආරක්ෂා කිරීමට අවශ්‍ය නම් කම්හල් අල්ලා ගන්නා ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමින් ඇලෙන්ඩේ ගුවන්විදුලි දේශනයක් ද නිකුත් කළේය.

සමාජවාදී පක්ෂයේ සභාපතිවරයා අධිරාජ්‍යවාදී අවශ්‍යතා සමනය කිරීමේ උත්සාහයක් ලෙස චිලියේ කර්මාන්තවල වැදගත් අංශවල බොහෝ කම්කරු සභා සහ වැඩ වර්ජන යටපත් කර තිබුණි. මෙම ක්‍රියා වලින් පසුව ඇලෙන්ඩේ සඳහා වූ ජනප්‍රිය සහයෝගය විශාල වශයෙන් අඩු වී ඇත.

ආඥාදායකත්වයට එරෙහිව ඔවුන්ව ආරක්ෂා කිරීමට ආන්ඩුව හා මිලිටරිය මත විශ්වාසය තැබිය හැකි බවට ඇලෙන්ඩේ කම්කරුවන්ට නැවත නැවතත් පොරොන්දු වී තිබුණි. ජූනි 29 කැරැල්ලෙන් පසුව, කුමන්ත්‍රණය නැවැත්වූයේ හමුදාව බව ඇලෙන්ඩේ පෙන්වා දුන්නේය. එහෙත් එහි යථාර්ථය වූ මිලිටරිය මගින් (ආන්ඩුව) පෙරලා දැමීමේ දැවැන්ත අනතුර එම සිදුවීම්වලින් පෙන්නුම් කරුණි.

සැප්තැම්බර් මාසයේදී ඔගස්ටෝ පිනෝචේ සිය සාර්ථක කුමන්ත්‍රණය මෙහෙයවන තෙක් සූපර් අත්අඩංගුවේ පසුවිය. ඔහු නිදහස් කර හමුදා ආන්ඩුවේ නායකත්වයට ගෙන එන ලදී.

මුලික කුමන්ත්‍රණ ප්‍රයත්නය අසාර්ථක වුවද, ඇලෙන්ඩේගේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දේශපාලන ප්‍රතිචාරය සහ ස්ටැලින්වාදය හා සන්ධාන ගත වූ ” ජනතා එකමුතුවේ ” දේශපාලන ප්‍රතිචාරය, වඩාත් අධිෂ්ඨානශීලී සහ වඩා හොඳින් සංවිධානාත්මක වූ උත්සාහයක් සඳහා සූදානම් වීමට මිලිටරියට ඉඩ දුන්නේය. කම්හල් වාඩිලාගැනීම් හා සමාජවාදී විප්ලවයේ තර්ජනය මතුකරමින් සිටි කම්කරු සභා මුලුමනින්ම “ජනතා එකමුතුව” විසින් නිරායුධ කර තිබුණි.

වසර 75කට පෙර: බ්‍රිතාන්‍ය ලේබර් ආන්ඩුව ලන්ඩන් තටාක වර්ජනයට පහර දෙයි

1948 ජූනි 28 දින, අගමැති ක්ලෙමන්ට් ඇට්ලිගේ බ්‍රිතාන්‍ය කම්කරු රජය දෙසතියකට පමණ පෙර ආරම්භ වූ ලන්ඩන් නැව් තටාකයේ සේවකයින්ගේ වැඩ වර්ජනයක් සම්බන්ධයෙන් ජාතික හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළේය. එම ප්‍රකාශය, ඵලදායි ලෙස, වැඩ නැවැත්වීම නීති විරෝධී කරන ලද අතර එමඟින් වර්ජකයන්ට එරෙහිව මිලිටරිය සහ අනෙකුත් රාජ්‍ය හමුදා යෙදවීමේ විභවය  සම්පාදනය කෙරුණි. එය වැඩවර්ජන ව්‍යපාරය පැතිරීම වැළැක්වීම අරමුණු කර ගෙන තිබුණි.

සින්ක් ඔක්සයිඩ් හැසිරවීම සඳහා හිමිවන විශේෂ ප්‍රසාද දීමනාව ඉල්ලා සිටි කම්කරුවන් ගනනාවකගේ වැඩ තහනම් කිරීමෙන් පසු ලන්ඩනයේ දී වැඩවර්ජනය ආරම්භ විය. පශ්චාත් යුධ කම්කරු රෙගුලාසි යටතේ, අනතුරුදායක හා අපිරිසිදු භාණ්ඩ සංචලනය කිරීම සඳහා කම්කරුවන්ට විවිධ අමතර ගෙවීම් කිරීම සිදු විය. කෙසේ වෙතත්, මේවා බොහෝ විට කප්පාදු කර හෝ කිසිසේත් ගෙවා නොතිබුණි.

Attlee
ක්ලෙමන්ට් ඇට්ලී [ඡායාරූපය: යූසුෆ් කාර්ෂ්]

අසාධාරණ ලෙස දණ්ඩනයට ගොදුරු කිරීම් පුලුල් අතෘප්තියට ප්‍රේරකයක් විය. කම්කරු රජයේ, ජාතික නැව් තටාක කම්කරු යෝජනා ක්‍රමයට, වරායවල අනියම් ශ්‍රමය යොදා ගැනීම වැනි ඇතැම් අතිරික්තයන් සීමා කර තිබුණි. එහෙත් ස්ථාවර වැටුප් ක්‍රමයක් ස්ථාපිත කිරීමේදී එය සමහර කම්කරුවන්ගේ මිලදී ගැනීමේ ශක්තිය ඛාදනය කර තිබුණි. එහි පරමාර්ථය වූයේ, අනිවාර්ය අතිකාල වැනි දේ කිරීමට කම්කරුවන්ට බලකෙරෙන, ඉහළින් නියාමනය කරන ලද කම්කරු පද්ධතියක් ස්ථාපිත කිරීමයි.

ප්‍රවාහන සහ සාමාන්‍ය සේවක සංගමය කම්කරු ආන්ඩුව සමග හවුල්කාරිත්වයෙන් මෙම යෝජනා ක්‍රමය බලාත්මක කරන ලදී.  1948 ජූනි වැඩ නතර කිරීම ඇතුළුව ඵලදායි ලෙස එම කාලපරිච්ඡේදයේ  වැඩවර්ජන වයිල්ඩ් කැට් (wildcat) ඒවාවූ අතර, වැඩ බිම්වල සහ වෙනත් ක්‍රියාකාරී කමිටු බොහෝ  වැඩ වර්ජන වල නායකත්වය ගෙන තිබුණි.

බ්‍රිතාන්‍ය පාලක ප‍්‍රභූව නැගී එන ව්‍යාපාරයට බියෙන් හා දැඩි සතුරුකමකින් ප‍්‍රතිචාර දැක්වීය. මැන්චෙස්ටර් ගාඩියන් අදහස් දක්වමින්: “වැඩවර්ජනය ව්‍යාප්ත වී ඇති ආකාරය අනුව එය පැහැදිලිය – සතියක් ඇතුළත, ඔවුන්ගේ වෘත්තීය සමිති නිලධාරීන්ගේ සෑම අධෛර්යමත්කම හමුවේ, පිටතට ගිය සංඛ්‍යාව 1,500 සිට 15,000 දක්වා වර්ධනය වී තිබේ – යෝජනා ක්‍රමයේ සමහර කොටස් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් තරමක් පුලුල්ව පැතිරුනු අතෘප්තිය පවතී.” 

ටයිම්ස් මෙම වැඩ නැවැත්වීම “විදේශ බලවේගයක ප්‍රහාරයේ තර්ජනය තරම්ම අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්විය යුතු අභියෝගයක්” ලෙස නම් කලේය.

ගුවන්විදුලි ඇමතුමක් දී ,  ඇට්ලී වැඩ වර්ජනය මුලුමනින්ම නීත්‍යානුකූල නොවන ලෙස හංවඩු ගසමින් මෙසේ ප්‍රකාශ කළේය: “මෙය ධනපතියන්ට හෝ හාම්පුතුන්ට එරෙහි වර්ජනයක් නොවේ. එය ඔබේ සහකරුවන්ට එරෙහි වර්ජනයකි; ගෘහණියට එරෙහිව වර්ජනයකි; ප්‍රමාණවත් තරම් දුෂ්කරතා ඇති සාමාන්‍ය ජනතාවට එරෙහිව වර්ජනයකි.” ඔහුගේ හදිසි ප්‍රකාශය සමඟ නැව් තටාකවල වැඩ සඳහා භට පිරිස් යෙදවීමත් සිදු විය. වෘත්තීය සමිති මුසාවාදයේ සහ ලේබර් ආන්ඩුවේ ආක්‍රමණශීලී ප්‍රහාරවල ප්‍රතිඵලයක් ලෙස, වැඩ නැවතුම ජූලි මස මුලදී අවසන් විය.  

දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ ටෝරිවරුන් බලයෙන් පහ කළ කම්කරු පක්ෂයට සහය දැක්වීමේ රැල්ලක් මත ඇට්ලීගේ ආන්ඩුව තේරී පත් විය. ලේබර් ආණ්ඩුව ජාතික සෞඛ්‍ය සේවය නිර්මානය කිරීම වැනි සීමිත ප්‍රතිසංස්කරන ස්ථාපිත කල අතර, මේවා ක්‍රියාත්මක වූයේ කම්කරු පන්තියේ පීඩනය යටතේ ය. එපමනක් නොව, පන්ති ප්‍රතිවිරෝධතා මැඩපැවැත්වීම සහ යුද්ධයෙන් පසු ධනේශ්වර බ්‍රිතාන්‍යයේ පුනර්ජීවනය සඳහා පදනම දැමීම ඔවුන්ගේ ඉලක්කය විය. කම්කරු පන්තියේ ප්‍රධාන අරගල සියල්ලටම නැවත නැවතත් සතුරු ප්‍රහාර එල්ල කිරීමෙන් ලේබර් ආන්ඩුවේ පන්ති ස්වභාවය නිදර්ශනය විය.

වසර 100 කට පෙර: රුහර් නිම්නයේ දුම්රිය පාලම මත බෝම්බයකින් දස දෙනෙක් මරුට

1923 ජූනි 30 වන දින, ඩුයිස්බර්ග් සිට රයින් හරහා ඩුයිස්බර්ග්-හොච්ෆෙල්ඩ් දුම්රිය පාලම මතින් ගමන් කරමින් තිබූ හමුදා දුම්රියක තිබූ කාල බෝම්බයක් පිපිරීමෙන් බෙල්ජියම් සොල්දාදුවන් අට දෙනෙකු සහ ජර්මානු සිවිල් වැසියන් දෙදෙනෙකු මිය ගියහ. තවත් සොල්දාදුවන් සහ සිවිල් වැසියන් හතළිස් දෙදෙනෙකු තුවාල ලැබූ අතර ඇතැමුන් බරපතල ලෙස තුවාල ලැබූහ. මෙම ප්‍රබල පිපිරීමෙන් එක් මැදිරියක් විනශ වී ද, අනෙක් ඒවාට ධාවන පථයට ද මෙන් දැඩිව හානි වී තිබුණි. මෙම දුම්රිය නිවාඩු ලබා ගත් සෙබළුන් ප්‍රවාහනය කරමින් තිබුණි.

බෝම්බ ප්‍රහාරයට ලක් වූ කලාපය, ජර්මනියේ කාර්මික කේන්ද්‍රස්ථානය වන රූර් නිම්නය, වානේ, ගල් අඟුරු සහ දැව ඇතුළු ජර්මනියේ කාර්මික නිෂ්පාදන වලින් යුද වන්දි ලබා ගැනීම සඳහා ජනවාරි 9 සිට ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා විසින් අල්ලාගෙන තිබුණි.

ජර්මනිය මංමුලා සහගත පාලක පන්තියක් හා අධි උද්ධමනයක් අත්විඳිමින් සිටි අතර, 1920 දී ක්‍රියාකාරී අන්ත දක්ෂිනාංශික කුමන්ත්‍රණයකට මුහුන දුන් රට සැප්තැම්බර් මාසයේදී තවත්  කුමන්ත්‍රණයකට උත්සාහ කර තිබුණි. විශාල කම්කරු පක්ෂ දෙකක් වන සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් (එස්පීඩී) සහ කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) පැවති අතර විප්ලවීය තත්වයක් මතුවෙමින් තිබුණි.

French Dragoons
එසෙන්හි මුර සංචාරයේ යෙදෙන ප්‍රංශ ඩ්‍රැගූන් භටයින් [ඡායාරූපය: Bibliothèque Nationale de France]

ජර්මානු ආන්ඩුව ප්‍රන්ස-බෙල්ජියම් ආක්‍රමණයට එරෙහිව ජනගහනයෙන් “නිෂ්ක්‍රීය ප්‍රතිරෝධයක්” ඉල්ලා සිටි නමුත් අල්ලාගැනීමට එරෙහිව හා දැවැන්ත කාර්මික සමාගම්වල හිමිකරුවන්ට මෙන්ම අන්ත දක්ෂිනාංශික ත්‍රස්තවාදී ක්‍රියාවලට එරෙහිව ප්‍රදේශයේ කම්කරුවන් විසින් දැවැන්ත වැඩ වර්ජන පැවැත්වුණි. ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා ජර්මානු ආන්ඩුවේ ඉල්ලීම පරිදි උද්ඝෝෂණ බිද දමා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මරා දමා තිබුණි. 

බෝම්බ ප්‍රහාරයට පළිගැනීමක් වශයෙන්, ප්‍රංශ සහ බෙල්ජියම් හමුදා වහාම ඩුයිස්බර්ග් වෙතින් ප්‍රාණ ඇපකරුවන් අල්ලා ගත් අතර, සියලුම ආපනශාලා, සිනමාහල් සහ කැෆේ වසා දැමූ අතර සියලුම වාහන ගමනාගමනය තහනම් කරන ලදී. වාඩිලා ගැනීමේ හමුදා ජූලි 15 දක්වා ජර්මනියේ සෙසු ප්‍රදේශවලින් මුළු රූර් නිම්නයම මුද්‍රා තැබූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top