‘කලු ජනවාරියේ’ සිහිකල මාධ්‍යවේදියෝ හා ප්‍රකාශනයේ නිදහස සඳහා අරගලය

දශක ගනනාවක් තිස්සේ ලංකාවේ ආන්ඩුවල මර්දනයට, ඝාතනයට, හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන් සිහිකරමින් “කලු ජනවාරිය” ලෙස නම් කෙරුනු සැමරුමක් හා උද්ඝෝෂනයක් ජනවාරි 27 සිකුරාදා කොලඹ විහාරමහාදේවී උද්‍යාන ඉදිරිපිට පැවැත්විනි. එය සංවිධානය කර තිබුනේ ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසිනි. 

Image
ලසන්ත, කීත්, ප්‍රගීත්

මධ්‍යවේදීන් හා සිවිල් ක්‍රියාකාරීන් හතලිහකට ආසන්න ප්‍රමානක් සහභාගී වූ⁣ මෙම උද්ඝෝෂනයේදී මර්දනයට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ගේ ජායාරූප රැගත් විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරනු ලැබිනි. මාධ්‍ය නිදහස හා මර්දනයට ලක්කෙරුනු මාධ්‍යවේදීන් සිහි කිරීම සඳහා යෝජිත සමරු ඵලකයක ආකෘතියක් ද එහිදි නිරාවරනය කෙරිනි. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් රැස්ව සිටි පිරිස ඇමතූහ.

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ සහෝදරවරු එම අවස්ථාවට  සහභාගී වූ මාධ්‍යවේදීන් අතර උද්ඝෝෂනයේ යෙදුනු අතර කමිටුවේ මෑතම ප්‍රකාශයක් වන “සමාජ මාධ්‍ය ක්‍රියාකාරී සේපාල් අමරසිංහ නිදහස් කරනු! පාලක පන්තියේ කුමන්ත්‍රනය පරාජය කිරීමට කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!” යන ලිපියේ පිටපත් ඔවුන් අතට පත් කලෝය. එය කියවා බැලූ මාධ්‍යවේදීන් කිහිපදෙනෙක්ම එහි අන්තර්ගතයට තම එකඟතාවය පල කලෝය.

උද්ඝෝෂනයට යොදාගැනුනු වරෝධතා පුවරුවල දක්නට ලැබුනු එකම වාක්‍යය ඛන්ඩ වූයේ “යුක්තිය තවම ඉටුවී නැත (No Justice Yet)” යන්නයි.  මෙම වක්‍ය ඛන්ඩයේ සංවිධායකයන් අදහස් කල සැබෑ සංයුක්ත අර්ථය කථිකයන් තම අදහස් දැක්වීම් තුල ඉදිරිපත් කලෝය: එනම් අතරුදහන් කෙරුනු, ඝාතනය කෙරුනු, ශාරීරික හිරිහැරවලට ලක් කෙරුනු මාධ්‍යවේදීන්ට රනිල් වික්‍රසිංහගේ පසුගිය යහපාලන ආන්ඩුව යටතේ පවා යුක්තිය ඉටු නොවුනු බවත්, ඉදිරියේදී පත්වන ධනපති ආන්ඩුවකින් යුක්තිය ඉටුකරගැනීමට අපේක්ෂා කරන බවත් ය.

එක් කථිකයෙක් සඳහන් කලේ ඝාතනයට ලක්වූ  ලසන්ත වික්‍රමතුංග, අතුරුදහන් කරනු ලැබූ ප්‍රගීත් එක්නැලිගොඩ වැන මාධ්‍යවේදීන්ට යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් 2015 දී වික්‍රමසිංහ දුන් මැතිවරන පොරොන්දු ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා කල බවයි. වික්‍රමසිංහ එම පොරොන්දු ඉටුකලා නම් මෙවැනි සමරු හා උද්⁣ඝෝෂන පැවැත්වීම අවසන් කල හැකිව තිබූ බව කියමින් ඔහු තවදුරටත් එම පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධව වික්‍රමසිංහට චෝදනා කලේය. 

බලයට පත් එක එකක් ධනපති ආන්ඩු මාධ්‍යය, මාධ්‍යවේදීන් හා ප්‍රකාශනයේ නිදහස පාගාදමමින්  කටයුතු කලේය යන සත්‍යය අවධාරනය කරමින් “යුක්තිය ඉටුවී නැත ( Justice Denied)” යන සත්‍යය කම්කරු පීඩිත මහජනතාවට ගෙන යමින්, කම්කරු පාලනයක් යටතේ සියලු ධනපති පාලනයන්හි අපරාධවලට එරෙහිව යුක්තිය ඉටුකරගැනීමේ විප්ලවවාදී අපේක්ෂාව වෙනුවට එම අපරාධවලම උල්පත වන ධනපති පාලක පන්තියේ අනාගත නියෝජිතයන්ගෙන්ම වගවීම අපේක්ෂා කිරීම “යුක්තිය තවම ඉටුවී නැත” යන්නෙහි ගැබ්ව ඇති බව කථිකයෝ සනාථ කලහ. මෙය භයානක ප්‍රතිවිපාක ගෙන දෙන දේශපාලන අපගමනයකි.

මාධ්‍යවලට හා මාධ්‍යවේදීන්ට එරෙහි මර්දනය වලක්වා ගැනීමට මාධ්‍යවේදීන්ගේ වෘත්තීය සංවිධානවලට, එකමුතු වලට තනිව කල හැක්කක් නොවේ. 

මාධ්‍යයට එරෙහි ප්‍රහාරය වඩාත් පුලුල් දේශපාලන මර්දනයක, සමාජ ප්‍රතිවිප්ලවීය ප්‍රහාරයක  ප්‍රධාන කොටසක් පමනි. එය බැඳී පවතින්නේ දැවැන්ත සමාජ කප්පාදු වලට, ප්‍රජාතන්ත්‍ර විරෝධී පොලිස් හා මිලිටරි ප්‍රහාරයන්ට එරෙහිව කම්කරු හා පීඩිත ජනතාවගේ අරගල මර්දනය කිරීමේ දේශපාලන ප්‍රහාරයක අනිවාර්ය කොටසක් වශයෙනි. 

මෙම අපරාධ ඇතුලු සමස්ථයක් උතුරේත්, දකුනේත් දහස් ගනනින් ඝාතනවලට, අතරුදහන්කිරීම් වලට යුක්තිය ඉටුකර ගත හැකිවනු ඇත්තේ දේශපාලන බලය ධනපති පාලක පන්තිය වෙතින් කම්කරු මහජනතාව වෙත උදුරා ගනු ලැබුවහොත් පමනි.

ස්වාධීන ක්‍රියාකාරී කමිටු රටපුරාත්, ජාත්‍යන්තරවත් එකමුතු කරමින් කම්කරු පන්තියේ කාර්මික ශක්තිය මෙහෙයවා ගනිමින් රාජ්‍ය මර්දනයට  එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කිරීමට කම්කරු පන්තික නායකත්වයක් ගොඩනැගිය යුතුව තිබේ. සමාජවාදී හා ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංධානයක්  පිහිටුවීම සඳහා කොලඹ ක්‍රියාකාරී කමිටුව ඇතුලු ක්‍රියාකාරී කමිටු මෙම වැඩපිලිවෙල දැනටමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. 

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (කප්‍රනිආක) 2019 දී පිහිටුවීම හා එය මගින් වි⁣ශේෂයෙන් ලේඛක ශක්තික සත්කුමාර නිදහස් කරගැනීම සඳහාත් කවිවර අහනාෆ් ජසීම්ගේ නිදහස සඳහාත් ගෙන ගිය අරගල ලංකාවේ වැඩකරන ජනතාට, මාධ්‍යවේදීන්ට, කලාකරුවන්ට තම නිර්මානකරනයේ හා ප්‍රකාශනයේ නිදහස රැකගැනීම සඳහා ගතයුතු දේශපාලන සටන කවරේද යන්න පිලිබඳ නැවුම් අත්දැකීම් එක් කලේය.  

කොක්‍රික පිහිටවනු ලැබූයේ මෙම අරගල පෙරට ගැනීම සඳහායි. ක්‍රික ඔබ ආයතන තුලමත් පිහිටුවා ගනිමින් ද කොක්‍රික සමග සමීපව කටයුතු කරමින් ද ඉදිරි අරගල සඳහා පෙරට එන ලෙස අපි මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු. 

සංජය ජයසේකර

කොලඹ ක්‍රියාකාරී කමිටුව

01 පෙබරවාරි 2023

#CACPS

 image courtesy of dailynews

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top