ගාසා ජන සංහාරයේ දැවැන්තභාවය දර්ශනය වීම ඇරඹේ

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 නොවැම්බර් 26 දින පල වූ ‘Vast scale of Gaza genocide comes into view’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මාස දෙකක කාල පරාසයක් පුරා , ඊශ්‍රායලය විසින් සිදු කළ බෝම්බ හෙලීමේ සහ ගාසා තීරය ආක්‍රමණය කිරීමේ ප්‍රථම විවේකයෙන් දින තුනකට පසු, ලොව විශාලතම අපරාධ ස්ථානය වන ගාසා තීරයේ සිවිල් ජනතාව හිතාමතාම සමූල ඝාතනය කිරීමේ සාක්ෂි වාර්තාගත කිරීමට චිත්‍රපට කාර්ය මණ්ඩල පටන් ගෙන තිබේ.

ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායල ප්‍රහාරයේ “විරාමයක්” “මාධ්‍යවේදීන්ට ගාසා තීරයට පුළුල් ප්‍රවේශයක් ලබා දෙන අතර එහි විනාශය තවදුරටත් අනාවරණය කිරීමට සහ ඊශ්‍රායලයට එරෙහිව මහජන මතය හැරවීමට” අවස්ථාව සැලසෙනු ඇති බවට ධවල මන්දිරය “කනස්සල්ලට” පත්ව ඇති බව පසුගිය සතියේ පොලිටිකෝ ( Politico) වාර්තා කළේය.

ඉන්දුනීසියානු රෝහල විනාශ වී ඇත, එහි පරිශ්‍රයට විශාල හානියක් වී රෝගීන් ඒ තුළ සිරවී සිටී.

ඔවුන් එලෙස ම කර තිබේ. සති අන්තයේ පලවූ අල් ජසීරා හි ස්ථානීය වාර්තාවක් ගාසාහි ඉන්දුනීසියානු රෝහලේ දර්ශනය විස්තර කළ පරිදි: “මරණයේ දුර්ගන්ධය මිනිසුන්ට තම නාසය වසා ගැනීමට බල කරයි, පිළිස්සුණු, කුණුවූ මළ සිරුරු, ඔවුන් අතර සිටින දරුවන්, එක් මුල්ලක ගොඩගැසී ඇත. ඊශ්‍රායල ස්නයිපර්වරු මිනීවළක් හෑරීමට ගිය අය ඉලක්ක කළ නිසා මිහිදන් කිරීමක් සිදු වී නොමැත. වීදි, පාසල්, නිවාස, කඩ සාප්පු, ආදී සියල්ල ඊශ්‍රායල ප්‍රහාර මගින් විනාශ කර දමා ඇත.”

පලස්තීන සෞඛ්‍ය බලධාරීන් ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව ඉක්මවා සදහන් කළේ යයි, එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කී බොරුව මෙම වාර්තා මගින් මුලුමනින්ම හෙලිදරව් කර ඇත. ඇත්ත වශයෙන්ම, බයිඩන් පරිපාලනය  නිල මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස අවතක්සේරු කිරීමක් කළ බව දැන් පිළිගනී.

සෞඛ්‍ය සේවා බිඳවැටීම හේතුවෙන් ,මියගිය අය ගණන් කිරීම කළ නොහැකි වීම හේතුවෙන් ගාසා හි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් නිල මරණ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර සති දෙකක් ගත වී ඇත. කෙසේ වෙතත්, බදාදා ප්‍රකාශයට පත් කරන ලද රජයේ ප්‍රවෘත්ති අමාත්‍යාංශයේ නවතම නිල නොවන ගණන් කිරීම ඇස්තමේන්තු කර ඇත්තේ ළමුන් 6,000 ක් සහ කාන්තාවන් 4,000 ක් ඇතුළුව පුද්ගලයින් 14,352 ක් මරා දමා ඇති බවයි.

පලස්තීන චිත්‍රපට නිෂ්පාදක බීසාන් ඔව්ඩා ගාසා තීරයේ සමාජ මාධ්‍ය වාර්තා කිරීම ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් ආකර්ෂණය කරගෙන ඇති අතර, යථාර්ථය වඩාත් පැහැදිලිව පෙන්වා දෙයි: “ඔබ දැනගත යුතු ගාසාවේ සංඛ්‍යා: දින 50 ක් තුළ 20,000 ක් මිනිසුන් ඝාතනය කර ඇත – ඔවුන්ගෙන් 7,000 ක් තවමත් සුන්බුන් යට ය – ඔවුන්ගෙන් 8,000 ක් ළමයින් ය- ඔවුන් සියල්ලෝම සිවිල් වැසියෝ ය.

ගාසා හි නිලධාරීන්ට අනුව, නිවාස ඒකක 233,000 ක් හෝ ගාසා තීරයේ නිවාසවලින් අඩක් පමණ විනාශ වී හෝ හානි වී ඇත. පාසල් 266කට බෝම්බ හෝ මිසයිල ප්‍රහාර එල්ල වූ අතර ඉන් 67ක් විනාශ වී ඇත. ඊශ්‍රායලය විසින් සෞඛ්‍ය සේවා සපයන්නන් 205ක් සහ මාධ්‍යවේදීන් 64ක් මරා දමා ඇත. මරණ සංඛ්‍යාවේ වඩාත්ම කැපී පෙනෙන අංගය වන්නේ කාන්තාවන් සහ ළමුන් අතර සිදුවන දැවැන්ත මරණ පරිමානයයි.

Gaza
2023 නොවැම්බර් 26 ඉරිදා, ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයට නැගෙනහිරින් පිහිටි ඛුසා ( Khuzaa ) ගම්මානයේ පලස්තීන මවක් වන හියම් කුඩිහ්, ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ ඇගේ පවුලේ ගොඩනැගිල්ල ඉදිරිපිට ආහාර පිසීම කරන ආකාරය. [AP ඡායාරූපය/අදෙල් හනා ]

ඉරිදා ගාඩියන් පත්‍රයේ පළ වූ ලිපියක සඳහන් වූයේ, තමන් හමාස් සටන්කරුවන් 1000ත් 2000ත් අතර ප්‍රමාණයක් මරා දැමූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කරන බවයි. මෙය සත්‍ය වුවද, එයින් අදහස් වන්නේ මරා දමන ලද සෑම සටන්කරුවෙකු සඳහාම ඊශ්‍රායලය දරුවන් තිදෙනෙකු හෝ හය දෙනෙකු මරා දමා ඇති බවත්, මියගිය අයගෙන් සියයට 85ත් 92ත් අතර ප්‍රමාණයක් සිවිල් වැසියන් බවත්ය.

මෙම ඉරිදා, නිව් යෝර්ක් ටයිම්ස් විසින් මුල් පිටුවේ පළ කළේ, ගාසා යුද්ධයේ දී කාන්තාවන් සහ ළමුන් අතර දැවැන්ත මරණ සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී, 21 වන සියවසේ ඊට සමාන වූ පූර්වාදර්ශයක් නොමැති බවයි.

“ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් වැසියන්ගේ මරණ කනගාටුදායක නමුත් නූතන ගැටුමේ දී, එය නොවැළැක්විය හැකි අංගයක් බව ප්‍රකාශ කර ඇත… නමුත් අතීත ගැටුම් සමාලෝචනය කිරීම සහ තුවාල ලැබූවන් සහ ආයුධ විශේෂඥයින් සමඟ සම්මුඛ සාකච්ඡා කිරීමේදී, ඊශ්‍රායලයේ ප්‍රහාරය වෙනස් බව අදහස් කරයි.”

ද ටයිම්ස් සටහන් කලේ : “එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවලට අනුව, වසර දෙකකට ආසන්න රුසියානු ප්‍රහාරවලින් පසුව, යුක්‍රේනයේ මියගිය බව තහවුරු වූ ප්‍රමාණයට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයක් දැනටමත් ගාසා තීරයේ දී ඝාතනය කර ඇති” බවයි.

බොහෝ ප්‍රතිරෝධක සටන්කරුවන් පිරිමින් වුවද, ගාසා තීරයේ වාර්තා වන සියලුම මරණවලින් සියයට 70 ක් කාන්තාවන් සහ ළමයින් බව වාර්තාව තවදුරටත් පවසයි. “උදාහරණයක් ලෙස, ඊශ්‍රායලය සහ හමාස් අතර ඇති වූ අතීත ගැටුම්වලදී, ගාසා තීරයේ වාර්තා වූ මරණවලින් සියයට 60ක් පමණ පිරිමින් විය,” ටයිම්ස් ලිවීය.

ඊශ්‍රායලය රාත්තල් 2,000ක බෝම්බ භාවිතා කිරීම මගින් , 21 වැනි සියවසේ පෙර පැවති යුද්ධවල දක්නට ලැබුණු ඕනෑම දෙයක් පරයා යන බව එම ලිපියේ සඳහන් වේ. “ඊශ්‍රායලය ගාසා තීරයට හෙළන ලද යුද්ධායුධ වලින්, දළ වශයෙන් සියයට 90ක් චන්ද්‍රිකා මගින් මෙහෙයවන ලද රාත්තල් 1,000 සිට 2,000 දක්වා බරැති බෝම්බ” බව එක්සත් ජනපද හමුදා නිලධාරියෙකු උපුටා දක්වමින් ටයිම්ස් වාර්තා කරයි.

ටයිම්ස් මෙසේ ලියයි: “ ඊට වෙනස්ව, මෙම ශතවර්ෂයේ සටන්වලදී, එක්සත් ජනපද හමුදා නිලධාරීන් බොහෝ විට විශ්වාස කළේ, ඉරාකයේ මොසුල් සහ සිරියාවේ රක්කා වැනි නාගරික ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍යයට [ IS සංවිධානය] එරෙහි සටන්වලදී වඩාත් සුලභව යොදාගත් ඇමරිකානු ගුවන් බෝම්බ—රාත්තල් 500ක් බරැති— බොහෝ ඉලක්ක වල ප්‍රමාණයට වඩා විශාල වූ බව ය.

ටයිම්ස් ලිපිය, එය ප්‍රකාශයට පත් කරන සෑම දෙයක් මෙන්ම, ඇමරිකානු රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා සකස් කර පරීක්ෂා කර ඇත. සිවිල් ජනතාව හිතාමතා ඉලක්ක කිරීම මගින් පමණක් පැහැදිලි කළ හැකි සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන අතර, ටයිම්ස් මෙම ක්‍රියාවන් පලස්තීන සිවිල් වැසියන් ඝාතනය කිරීම බව පුන පුනා ප්‍රකාශ කරන ඊශ්‍රායල නිලධාරීන්ගේ ප්‍රකාශවලට කිසිවිටෙක සම්බන්ධ නොකිරීමට වගබලා ගනී.

මේ මස මුලදී, ඊශ්‍රායල ජනාධිපති අයිසැක් හර්සොග්, “එහි සමස්ත ජාතියම වගකිව යුතු ය… සිවිල් ජනතාව දැනුවත් නොවීම සහ සම්බන්ධ නොවී සිටීම පිළිබඳ මෙම වාචාල කතාව සත්‍ය නොවේ. එය සම්පූර්ණයෙන්ම සත්‍යය නොවේ.”යනුවෙන් දකුණු ඊශ්‍රායලයේ ඔක්තෝබර් 7 ප්‍රහාරයට ගාසා තීරයේ සමස්ත ජනතාවම වගකිව යුතු බව ප්‍රකාශ කළේය.

“එය මහජනතාව නීත්‍යානුකූල ඉලක්ක බවට පත් කරනු ලබත් ද?” යනුවෙන් ඇසූ විට, හර්සොග් පිළිතුරු දුන්නේ, “ඔබේ මුලුතැන්ගෙයි මිසයිලයක් තිබෙන විට සහ ඔබට එයින් මට වෙඩි තැබීමට අවශ්‍ය වූ විට, මා ආරක්ෂා කර ගැනීමට මට අවසර තිබේද?” යනුවෙනි.

පසුගිය මාසයේ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළේ, “අමලෙක් ඔබට කළ දේ ඔබ මතක තබා ගත යුතුයි”, “පිරිමියන් සහ ගැහැනුන්, ළමයින් සහ ළදරුවන්, ගවයන් සහ බැටළුවන්, ඔටුවන් සහ කොටළුවන් මරා දමන්න” යන බයිබලියානුකුල කොටසට ආයාචනා කරමිනි.

“අපි මිනිස් සතුන් සමඟ සටන් කරනවා, අපි ඒ අනුව ක්‍රියා කරනවා,” ආරක්ෂක අමාත්‍ය යොආව් ගැලන්ට් පසුගිය මාසයේ පැවසීය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ නිව්යෝර්ක් කාර්යාලයේ හිටපු අධ්‍යක්ෂ ක්‍රේග් මොකිබර් පැහැදිලි කළ පරිදි: “ඊශ්‍රායල් ආන්ඩුවේ සහ හමුදාවේ නායකයින්ගේ පැහැදිලි ප්‍රකාශයන්, ඔවුන්ගේ අභිප්‍රාය  සැකයකට හෝ විවාදයකට ඉඩ නොතබයි,” එනම් ඊශ්‍රායලය “පොතේ හැටියට” සමූල ජන ඝාතනයේ යෙදී ගෙන ඇති බවයි.

වෙනත් වචන වලින් කිවහොත්, “ඊශ්‍රායලයේ ප්‍රහාරය මීට පෙර පැවති යුද්ධවලට වඩා වෙනස් ය” යන භාෂාව ටයිම්ස් විසින් භාවිතා කිරීම හුදෙක් සිවිල් ජනතාව අතර මරණ පරිමාණය පමණක් නොව,හිතාමතාම හැකිතාක් සිවිල් වැසියන් මරා දැමීමේ අරමුණක් ඇති බව පිළිගැනීමට ඊශ්‍රායල නිලධාරීන්ගේ කැමැත්ත ප්‍රකාශ කරයි. 

එපමනක් නොව, ඊශ්‍රායලය සිදු කර ඇති සෑම දෙයක්ම, එය බයිඩන් පරිපාලනය සමඟ සම්බන්ධීකරණය කර ඇත. එය විසින් ගාසා තීරයට හෙළා ඇති රාත්තල් 2000ක බෝම්බ සියල්ලම එක්සත් ජනපදයේ නිෂ්පාදිත ඒවා වන අතර පෙන්ටගනය විසින් සපයන ලදී. ඊශ්‍රායලයේ සහ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ආස්ථානයෙන්, “විරාමයේ” එක් අරමුනක් වන්නේ බිඩෙන් පරිපාලනය උනන්දුවෙන් ක්‍රියාත්මක කරන ඊශ්‍රායල මිලිටරියට යලි [ අවි ආයුධ] සැපයීමයි.

මේ අතර, ටයිම්ස් පුවත්පත ගාසා තීරයේ ජනගහනයට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාරය ඉරාකය සහ ඇෆ්ගනිස්ථානය තුල එක්සත් ජනපද ආක්‍රමණයෙන් ඈත් කිරීමට උත්සාහ කරන අතර, ගාසාවේ ජන සංහාරය සනිටුහන් කරන්නේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ අපරාධවල දිගුවක් හා ප්‍රසාරනයකි. මෙම යුද්ධය මිලියන 1 කට අධික ජනතාවක් මරා දැමූ අතර රාජ්‍ය ප්‍රතිපත්තිය ලෙස ඊට පැහැර ගැනීම සහ ස්ත්‍රී දූෂණය භාවිතා කිරීම ඇතුලත් විය.

මෙම දැවැන්ත අපරාධ සඳහා සිරගත වීම තබා, තේරී පත් වූ එකදු නිලධාරියෙකුට හෝ හමුදා නිලධාරියෙකුට චෝදනා එල්ල නොවීය. දැන්, ගාසා තීරයේ විනාශයේ දසුන් පෙන්නුම් කරන පරිදි, එක්සත් ජනපදය හා ලෝක අධිරාජ්‍යවාදය ඊටත් වඩා විශාල පරිමාණයෙන් අපරාධ සිදු කරමින් සිටින අතර අනාගතය සඳහා තවත් විශාල අපරාධ සූදානම් කරමින් සිටී.

ගාසා තීරයේ ජන සංහාරය නැවැත්වීමට සමාජවාදී ඉදිරිදර්ශනයකින් සන්නද්ධ ජාත්‍යන්තර කම්කරු පන්තියේ මහා යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ. මෙම ව්‍යාපාරයේ ප්‍රධාන ඉල්ලීමක් විය යුත්තේ, ඊශ්‍රායල සිවිල් සහ හමුදා නිලධාරීන් පමණක් නොව, වොෂින්ටන්, පැරිස්, ලන්ඩන් සහ බර්ලිනයේ නායකයින් ද ඇතුළුව මෙම යුද අපරාධවලට වගකිව යුතු අය යුද අපරාධ සම්බන්ධයෙන් නඩු කටයුතු වලට යටත්  කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top