පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී වාර්ගික සුද්ද කිරීම නැවැත්විය හැක්කේ කෙසේද?

සංජය ජයසේකර විසිනි.

මෙහි පල කෙරෙන්නේ, නොවැම්බරු 19 ඉරිදා “පලස්තීන පීඩිතයන්ට එරෙහි සියොන්වාදී-අධිරාජ්‍යවාදී සමූල ඝාතනය නවත්වනු!” මාතෘකාව යටතේ කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික)  හා theSocialist.lk ⁣වෙබ් අඩවිය එක්ව සංවිධානය කරන ලද ඔන්ලයින් රැස්වීම ආරම්භයේ කොක්‍රික සභාපති හා theSocialist.lk කර්තෘ මන්ඩල සාමාජික සංජය ජයසේකර සහෝදරයා විසින් කල කතාවයි.

Massacare
දකුනු ගාසාහි කාන් යූනුස් හි මිහිදන් කිරීම සඳහා ඝාතනය වූ පලස්තීනුවන්ගේ මල සිරුරු ඒවා ප්‍රවාහනය කරන රථයක් වෙත ගෙන යමින්. Agent France Press / Getty Image

සහෝදරවරුනි, ස⁣හෝදරියනි, මිත්‍රවරුනි,

  1. ⁣අප මේ රෑස්වීම පවත්වන මොහොතේදී, අප ඇස් ඉදිරියේම, ⁣දෙවන ලෝක යුද්ධයෙන් මෙපිට දැවැන්තම සමූල මිනිස් ඝාතනය සිදුවෙමින් පවතී. දිනපතා අප සමාජ මාධ්‍ය හා අල් ජසීරා මාධ්‍ය හරහා දකිමින් සටින රූප රාමු අප සිහි මෘජාවට පත් කරයි. සියලු රෝහල් අකර්මන්‍යව වෙලා, පනිවිඩ හුවමාරු මාධ්‍ය අවහිර කරල, ගනන් බැලීම් ඇනහිට ඇති තත්වයක් ඇතුලෙමත්, යුරෝ-මෙඩ් හියුමන් රයිට්ස් මොනිටර් සංවිධානයෙ අලුත්ම තක්සේරුව අනුව, 17 සිකුරාදා වන විට බෝම්බ දමනු ලැබූ ගොඩනැගිලි සුන්බුන් යට අතුරුදහන්ව ඇති මිනිසුන් එක්ක  සාමාන්‍ය ගාසා වැසියන් 20,000කට වැඩි ප්‍රමානයක් ඝාතනය කර තිබෙනවා. එයින්  6400 ට වැඩි ප්‍රමානයක් කුඩා දුරුවන්. 32,000කට වැඩි ප්‍රමානයක් අසාධ්‍ය ලෙස තුවාල ලබා තිබෙනවා. ඔබ අප සියලු දෙනා මේ වන විට සිදුවන අපරාධ සම්බන්ධයෙන් හොඳින් දැනුවත්.
  1. අප වගේම, ලොව පුරා කම්කරු මහජනතාව, මධ්‍යම පන්තියේ සැලකිය යුතු කොටසක්, විවිධ රටවල, විවිධ ජාතීන්යට හා යුදවේවන් ඇතුලු විවිධ ආගම් වලට අයත් ශිෂ්‍යයින්, තරුනයින්, බුද්ධිමතුන්, කලාකරුවන් දස දහස් ගනනින්, ආන්ඩුවල මර්දනය නොතකාම, ලොව පුරා වීදිවලට පිවිස නෙතන්යාහු පාලනයේ මේ සියොන්වාදී වර්ගික සුද්ද කිරීමේ ඝාතනවලට එරෙහිවත් , වාර්ගික පීඩනයට හා අත්පත් කරගැනීම්වට එරෙහිවත්, ඒ වාගේම  සටන් විරාමයක් සඳහාත්  උද්ඝෝෂනය කරමින් සිටිනවා. ලොව පුරා වෘත්තීය සමිති අත් බැඳගෙන සිටින අතරේ යුද උපකරන ප්‍රවාහනය නතර කිරීම සඳහා වරායක්, වරායක් ගානේ සාමාන්‍ය කම්කරුවෝ ඒවා ප්‍රවාහනයට විරුද්ධව නැගී සිටියා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ රටවල් 120ක් විසින් සටන් විරාමයක් සඳාහා කරනු ලැබූ කැඳවුම නෙත්යාහු ගනනකට ගත්තේ නෑ. මේ වන විට ජන සුද්ධ කිරීමේ ඝාතන ගාසා තීරයේ දකුනට ගෙනයාමට සූදානම් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබේ. උතුරින් පලා යන පලස්තීනු වැසියන්ට, තම දිවි ගලවා ගැනීමට නම් දකුනන්ද පලා යන ලෙස ඊශ්‍රායල ගුවන් හමුදා විසින් දැනුම් දී තිබෙනවා. ⁣මෙය යුද්ධයක් නොව සමූල ඝාතනයකි. එය “නක්බා-2023” බව නෙතන්යාහු තන්ත්‍රය දැනටමත් කියා තිබේ. එහි ආරක්ෂක ඇමති කියා ඇත්තේ “ගාසාවක පැවැත්මක තවදුරටත්  පිලි නොගන්නා” බවයි. මේ ආකාරයෙන්, මෙම ලේ පිපාසිත පාලක තන්ත්‍රය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය වගේම ජාත්‍යන්තර මානූෂවාදී නීතියද අමු අමුවේ උල්ලංඝනය කර, මනුෂ්‍ය වර්ගයාට එරෙහි අපරාධ ඇතුලු දැවැන්ත යුද අපරාධ සිදුකරමින් සිටී. අපරාද වසන් කිරීම සඳහා සියොන්වාදී-අධිරාජ්‍යවාදී ධනපති මාධ්‍ය ජාලය  බොරු ප්‍රචාර ගෙන ගියත්, ඒවා හෙලිදරව් කිරීම සඳහා සමාජ මාධ්‍ය වල සාමාන්‍ය ක්‍රියාකාරීන් ක්‍රියාත්මක වී තිබේ.  යුක්‍රේනය තුල ඇමරිකා එක්සත් ජනපදය හා නේටෝව රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධයේදී පූටින්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කල ජාත්‍යන්තර අපරාධ අධිකරනය තමන්ගේ අධිරාජ්‍යගැති ස්වභාවය එලිපිට හෙලදරව් කර තිබෙනවා. මේ අපරාධ පෙනි පෙනීම, නෙතන්යාහු, ඔහුගේ ආරක්ෂක ඇමති හා මිලිටරි නායකයින් කිසිවෙකුට එරෙහිව කිසිදු අපරාධ යුක්ති ක්‍රියාදාමයක් ආරම්භ කොට නැහැ. සියලු අධිරාජ්‍යවාදී රටවල හා ලොව පුරා ඒවායේ කුලෑටි රාජ්‍යවල ක්‍රියාකාරී හෝ නිහැඩි සහාය යටතේ ඊශ්‍රායලය මෙම ජන සංහාරක ප්‍රහාරයන් භාධාවකින් තොරව කරගෙන යනවා. 
  1. යටත්විජිතවාදය නැවත පැමින තිබේ. මේ ක්‍රියාදාමය තුලින් ද පැහැදිලිව පේන්නේ ලෝකයේ අන් හැම මහජන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් වාගේම ලෝකය නිශ්චිතව දෙකට බෙදී තිබෙන බවයි: එනම් යුද්ධය, ජන ඝාතන, කප්පාදුව හා මර්දනය ඉල්ලා සිටින ධනපති පාලක පන්නීන් එක් පැත්තකත්, අනික් පසින් ඒ සියල්ල ප්‍රතක්ෂේප කරමින් ලොව පුරා, සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් හා යුද්ධයට එරෙහිව ධනපති විරෝධි ව්‍යාපාරයක් ගොඩනැගීමේ පුලුල් මහජන බලමුලු ගැන්වීමක් ජාත්‍යන්තරවම, නිරායාසයෙන්ම හටගනිමන් තිබෙන බවයි. එහෙත්, එයට තම ගෝලීය සතුරා පරාජය කල හැක්කේ කෙසේද?
  1. ඊශ්‍රායලය කියන්නෙ වාර්ගික සුද්ධ කිරීම්  මගින්, අපරාධ මතින්, කොල්ලකෑම් හා පලවා හැරීම් මතින් ගොඩ නැගූ රාජ්‍යයක්. සියලු ඝාතන සාධාරනීකරනය කිරීම සඳහා තමන්ගේ සියොන්වාදී රාජ්‍යයේ ආරක්ෂාවට ඇති අයිතිය සාවද්‍ය ලෙස කියාපාන ඊශ්‍රායලයට තම පැවැත්මේ යුක්තිසහගතභාවයම කියා පෑමට නොහැකියි. එය 1948 ආරම්භයේ සිටම පිහිටවනු ලැබූයේ අධිරාජ්‍යවාදයේ මැදපෙරදිග ප්‍රොක්සිය, බලල් අත විදියට. කොලඹ ක්‍රියාකාරී කමිටුවේ නොවැම්බර් 15 ප්‍රකාශයේ අප පෙන්වා දුන් පරිදි “ඇමරිකා එක්සත් ජනපදය ද, සෙසු අධිරාජ්‍යවාදීන් ද ඊශ්‍රායලයට පුදන සහායට යටින් පවතින්නේ පැරැණි යටත් විජිත රටවල් නැවත යටත් කරගැනීමේ ස්වකීය භූ දේශපාලනික අරමුණු සඳහා දඩ බල්ලෙකු ලෙස ඊශ්‍රායලය භාවිතා කිරීමේ උවමනාවයි. අධිරාජ්‍යවාදයට තමන්ට අවශ්‍ය විට පාරා ගැනීම සඳහා මේ ලේ ගලන තුවාලය පවත්වා ගැනීම අවශ්‍ය ය. ඊශ්‍රායල – පලස්තීන ද්වි රාජ්‍ය සැලැස්මක් ඔවුන් ඉදිරිපත් කරන්නේ එම අරමුණිනි. පලස්තීන ජනඝාතනයට එරෙහි වීම යනු එකී අධිරාජ්‍යවාදී අරමුණට එරෙහි නැඟී සිටීමකි.”
  1. පලස්තීන භූමි ප්‍රදේශ තුල 1947වන විටත්, ඒ වන විට සිදුව තිබූ මහා සංක්‍රමණවලින් පසුවත්, යුදෙව්වන් ජීවත් වූයේ  ජනගහණයෙන් තුනෙන් එකක් පමණයි.  ඒ වන විට පවතින රටක් බෙදා, එහි මුල්පදිංචිකරුවන් වූ පලස්තීනුවන්ට අඩුභූමි ප්‍රමානයක් වෙන් කරමින් ඊශ්‍රායල රාජ්‍යය ප්‍රකාශයට පත් කරන විට එහි ආරම්භය හා පවත්වාගෙන යෑම කිසි විටෙක  ප්‍රජාතන්ත්‍රවාදීව සාක්ෂාත් කරගත හැකි වූයේ වත්, හැකි  වන්නේවත් නැත. 1948 නක්බාව, එනම් ඝාතනයන් ඇතුලු ක්‍රියා හරහා පලස්තීනුවන් ප්‍රචණ්ඩ ලෙස අවතැන් කිරීම, නෙරපා හැරීම, යුදෙව් පදිංච් කිරීම්, සහ ඔවුන්ගේ සමාජය, සංස්කෘතිය, අනන්‍යතාවය, දේශපාලන අයිතිවාසිකම් වගේම ජාතික අභිලාෂයන් විනාශ කිරීමේ ක්‍රියාන්විතයෙන් පටන්, ගෙවී ගිය වසර 75 ක කාලය, පලස්තීනුවන් සමූලඝාතන, වර්ණභේදවාදය, අත්පත් කරගැනීම් ඇතුලු දෛනික පීඩනයන්ට නතු කල අනවරත භීෂනයකට, නක්බාවකට යටත් කෙරුනි. මෙලෙස අවතැන් කරනු ලැබූවන්ගේ නව පරම්පරාවේ මිලියන හයක් පමන අද පලස්තීනය පුරා සහ අසල්වැසි රටවල් වන ලෙබනනය, සිරියාව, ජෝර්දානය සහ ඊජිප්තුව පුරා නරකාදි කඳවුරු 58 ක සරණාගතයින් ලෙස ජීවත් වෙනවා. අනවරතව ක්‍රියාත්මක කෙරුනු මේ වාර්ගික පීඩනයේ උච්චතම අවස්ථාව 1967 දින සයේ යුද්ධයෙන් පසු ක්‍රියාත්මක කෙරුනේ “නස්කාව”, එනම් අලුත් වටයකින් අවතැන් කිරීමෙන්, ඒ වගේම ගාසා තීරය, බටහිර ඉවුර හා බටහිර ජෙරුසෙලම අල්ලා ගැනීමෙන් පසුව ඒවා විවෘත සිරමැදිරි බවට පත් කිරීමෙන්. 1967 යුද්ධය, අල්ලා ගත් භූමිය ස්ථිරවම ඈඳා ගැනීමේ මහා ඊශ්‍රායල (greater Israel) ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමේ සන්ධිස්ථානයක් විය.
  1. පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ප්‍රහාර සහ අත්පත්කරගෙන ඇති ප්‍රදේශවල මහා හිංසන, පලස්තීනු විමුක්ති සංවිධානයේ (PLO)  පාලනයෙන් බැහැරව පුපුරා ගිය 1987-93 ස්වයංසිද්ධ පලස්තීන නැගිටීම වන පළමු ඉන්ටිෆාඩාවට තුඩු දුන්නා. එය ඊශ්‍රායලය විසින් ම්ලේච්ඡ ලෙස මර්දනය කලා.  පලස්තීනුවන් 1,000කට අධික ප්‍රමානයක් ඝාතනය කෙරුනා. අවසානයේ, 1993 දී ඊශ්‍රායලයේ  අගමැති රබින් සහ PLO නායක අරෆත් අතර බිල් කලින්ටන් ජනාධිපති ඉදිරියේ  ඔස්ලෝ ගිවිසුම අත්සන් කෙරුනා. මේ මගින් අරෆත් සහ පලස්තීන විමුක්ති සංවිධානය (PLO) ඊශ්‍රායලය පිළිගැනීමට සහ ත්‍රස්තවාදය අත්හැරීමට එකඟ වුනා. ඊශ්‍රායලය මෙම ගිවිසුම යොදා ගත්තේ බටහිර ඉවුරේ ජනාවාස වඩාත් වේගයෙන් ව්‍යාප්ත කිරීමට, ජලය සහ අනෙකුත් සම්පත් පාලනය කිරීමට, මාර්ග තැනීමට, මුරපොලවල් 600 කට වඩා ස්ථාපනය කිරීමට, කලාපය පුරා ගමන් කිරීමට බාධා ඇති කිරීමට හා එහි ආර්ථිකය විනාශ කිරීමට.
  1. 2000 සැප්තැම්බර් 28 වැනි දින දෙවන ඉන්ටිෆාඩාව ආරම්භ වූයේ, ලිකුඩ් විපක්ෂ නායක ඒරියල් ෂැරොන්, පැරණි ජෙරුසලමේ සහ අවට ආරක්ෂක හමුදා දහස් ගණනක් සමඟින් අල්-අක්සා මුස්ලිම් පල්ලි පරිශ්‍රයට ප්‍රකෝපකාරී සංචාරයක නිරත වීමෙන් පසුව. මෙම සිද්ධිය පුලුල්ව පැතිරුනු සන්නද්ධ නැගිටීමක් ඇති කලා.  මෙම ඉන්ටිෆාඩාව සලකුනු කරගත යුත්තේ විනාශකාරී ඔස්ලෝ ගිවිසුම අනුමත කළ PLO නායකත්වයට එරෙහි නැගිටීමක් ලෙස. ඉන්ටිෆාඩා අතරතුර ඊශ්‍රායලය පලස්තීන ආර්ථිකයට සහ යටිතල පහසුකම්වලට පෙර නොවූ විරූ හානියක් සිදු කළා. ඊශ්‍රායලය පලස්තීන අධිකාරිය විසින් පාලනය කරන ලද ප්‍රදේශ නැවත අත්පත් කර ගත්තා. අගමැති ෂැරොන්  වාර්ගික බෙදීමේ තාප්පයක් (Separation Wall) ඉදිකිරීම ආරම්භ කළා. යුදෙව් ජනාවාස ඉදිකිරීමත් සමඟ පලස්තීන ජීවනෝපායන් සහ ප්‍රජාවන් විනාශ කළා.
  1. මේ ශතවර්ශය ආරම්භයේදී,එනම් 2008, 2012, 2014 සහ 2021 දී  ඊශ්‍රායලය ගාසා තීරයට ඇදීගිය මිලිටරි ප්‍රහාර හතරක් දියත් කලා.  දරුවන් විශාල සංඛ්‍යාවක් ඇතුළුව පලස්තීනුවන් දහස් ගණනක් මරා දැමුනා. නිවාස, පාසල් සහ කාර්යාල ගොඩනැගිලි දස දහස් ගණනක් විනාශ කලා. ඉතාමත් අයුතු සහගත ලෙස අත්අඩංගුවට ගන්නා ලද පලස්තීනු තරුන තරුනියන්,  කම්කරුවන්, මාධ්‍යවේදීන් ඇතුලු 8000ක්  පමන ඊශ්‍රායල සිර කඳවුරුතුල ගාල්කර වද බන්ධනයන්ට යටත් කෙරෙනවා.
  1. ඔක්තෝම්බර් 7 හමාස් ප්‍රහාරයට පලස්තීනු මහජනතාවගේ පුලුල් මහජන සහයෝගයක් මේ පීඩක කොන්දේසි යටතේ ලැබීම අතිෂයින් තාර්කිකයි. එය සමූහ සියදිවි නසාගැනීමේ මෙහෙයුමකට සමාන වුවත්, එය අනිවාර්යයෙන්ම, පරම්පරා ගනනක් උපතේ සිට මරනය දක්වා පීඩනයට, අනවරත හිංසනයට ලක්කරනු ලැබූ ජනතාවකගේ අව්‍යාජ කැරැල්ලක්.
  1. ගාසාහි වර්තමාන මිනිස් සංහාරයේ ප්‍රධාන කොටස්කරුවන් වන්නේ  ඇමරිකානු අධිරාජ්‍යවාදය ප්‍රමුඛ කැනේඩියානු, ඕස්ට්‍රෙිලියානු හා බටහිර යුරෝපියානු  අධිරාජ්‍යවාදී කඳවුර. චීනය ආර්ථික වශයෙන් හිර කර එය මිලිටරි වශයෙන් වට කොට පහරදීමේ යුද්ධයක සැලසුම් මත ඇමරිකානු අධිරාජ්‍යවාදය ක්‍රියාත්මක වෙනවා. යුක්‍රේනය තුල රුසියාවට එරෙහිව ගෙනයන යුද්ධය හරහා රුසියාව කැබලිවලට කඩා දැමීම මගින් තම ධනපති සංගතවලට සමස්ථ යුරෝ-ආසියානු කලාපයේම ස්වාභාවික සම්පත් කොල්ල කෑම සඳහා තමන්ට අවනත කුඩා රාජ්‍ය කැබලි ඇටවීම එහි සැලැස්මයි. ⁣මේ සැලසුම් සමස්ථ ලෝකයම න්‍යෂ්ඨික ලෝක යුද අන්තරායකට ඇද දමා තිබෙනවා. තම හෙජමනික අවශ්‍යතා සඳහා වසර තිහක් තිස්සේ මැදපෙරදිග මිලියන ගනනින් මහජනතාව ඝාතනය කල ආක්‍රමනික යුද්ධ ගනනාවකින් වගේම, මැදපෙරදිග තම ආර්ථික අනසක සඳහා ඊශ්‍රායලය ගොඩනැගීම හා පවත්වාගෙන යාම ඇමරිකාවට අවශ්‍ය වෙයි. දෙවන ලෝක යුද්⁣ධයෙන් ඉක්බිති, 1946 සිට 2022 දක්වා එක්සත් ජනපදයේ ආධාර වැඩියෙන්ම ලැබූ රට ඊශ්‍රායල යි. එය එජ. ඩොලර් බිලියන 260කි. ඊශ්‍රායලයේ අයන් ඩෝම් යන මිසයිල් ආරක්ෂන පද්ධතිය සඳහා තවත් ඩෙලෙර් බිලියන 10ක ධනස්කන්දයක් ලබා දී තිබෙනවා. මේ සියල්ල මනුෂ්‍ය ඝාතන පිනිස මිස, මිනිසුන් ජීවත් කිරීමට නොවෙි. මෑතකදීමත්, කොවිඩ් වසංගතය තුල ලොවපුරා මිලියන 25කට ආසන්න මහජනතාවක් මරනයට අතහැර දැමුවේත් මේ මිනීමරු පාලක පන්තිය බව සිහිකර ගන්න.
  1. අධිරාජ්‍යවාදී පද්ධතියට ආක්‍රමන, ජන ඝාතන, හා යුද්ධ හැර අන් මාවතක් නැත. න්‍යෂිඨික යුද්ධයක් වලක්වා ගැනීම මෙන්ම පලස්තීනු ජන සංහාරය වලක්වා ගැනීමේ කාර්යභාරය සාක්ෂාත් කල හැක්කේ, ඒ හෝ මේ අධිරාජ්‍යවාදී කඳවුරට හෝ ඒවායේ සැඟවුනු ඒජන්තයන්ට ඇවටලි කිරීම මගින් නොව, ⁣යුද්ධයට සේවය කිරීම ප්‍රතික්ෂේප කිරීම සඳහා ලොව පුරා කම්කරු පන්තිය නිශ්චිතව තීරනය කර අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව සෑම රටකමත්, ජාත්‍යන්තරවත් කාර්මික ශක්තිය ඒකාබද්ධ කිරීමෙනි. 
  1. ධනපති පද්ධතියේ සමහන් කල නොහැකි අර්බුදය ඉතිරි කර ඇත්තේ විකල්ප දෙකයි: එක්කෝ මුලු ලොවම නසන න්‍යෂ්ඨික තුන්වන ලෝක යුද්ධය හා දිග් ගැසුනු මහා ජන සංහාරයයි. එසේ නැත්නම්, යුද්ධයේ පදනමවූ ජාතික රාජ්‍ය පද්ධතිය අහෝසි කර සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය හා උසස් මානව සංස්කෘතියක් තහවරු කරන ලෝක සමාජවාදී ක්‍රමයක් මගින් අධිරාජ්‍යවාදී පදධතිය විස්තාපනය කිරීමයි. අධිරාජ්‍යවාදී ද්වි-රාජ්‍ය මර උගුලට එරෙහිව, පවතින ඊශ්‍රායල රාජ්‍ය විසුරුවා ඒ වෙනුවට යුදෙව්-අරාබි ඒකාබද්ධ සමාජවාදී ජනරජයක් බිහි කිරීමට මෙහායින්  පලස්තීනු-යුදෙව් කම්කරු මහජනතාවට සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය  උදා කර ගත හැකි වනු නැත.  
  1. මූල්‍ය කථිපයාධිපත්‍යය ⁣මගින් නිර්මිත අධිරාජ්‍යවාදී පද්ධතියට ගැටගැසී, යුද්ධයට සහාය දෙන ධනපති ජාතික රාජ්‍ය වල  ආන්ඩුවලට එරෙහිව  කම්කරු පන්තිය තම දේශයේ පාලක පන්තියට එරෙහිව බලය සඳහා සටන් කිරීම කප්පදුවට එරෙහිව අරගලයේම කොටසකි. නායකත්වයේ අර්බුදය විසඳිය යුතුව ඇත්තේ මේ අරගලය  ජයග්‍රහනය තෙක් පෙරටගැනීම සඳහාය. කොලඹ ක්‍රියාකාරී කමිටුව සිටගන්නේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ඉදිරිපත් කර ඇති මෙම නායකත්වය ගොඩනැගීමේ වැඩ පිලිවෙල සමගයි.
  1. අද දින අප පවත්වන මේ රැස්වීම තුල මේ වැඩ පිලිවෙල වඩාත් විස්තීරනව සාකච්ජා කර ගැනීම සඳහා ⁣අවකාශය සලසා ගනිමු යැයි සහෝදර ඔබ සැමගෙන් ඉල්ලා සිටිනවා.

            ස්තූතියි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top