බයිඩන් යුක්රේනයේ, ඊශ්‍රායලයේ සහ ලොව පුරා යුද්ධ සඳහා ඩොලර් බිලියන 100ක  මුදල්  ඉල්ලයි

පැට්‍රික් මාර්ටින් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 20 දින පල වූ Biden demands $100 billion for wars in Ukraine, Israel and planned conflict with Iran and China’ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය  මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ ජාතික රූපවාහිනියෙන් කල කතාව, යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද-නේටෝ ප්‍රොක්සි යුද්ධය පුලුල් කිරීමට සහ ගාසා තීරයට එරෙjහි ඊශ්‍රායල ආක්‍රමනකාරීත්වයට සහ පලස්තීන ජනතා මර්දනයට තවත් බිලියන ගනන් මුදල් වත් කිරීම පිනිස, විශාල නව මිලිටරි වියදම් සඳහා වූ ඉල්ලීමකි.

Biden
ජනාධිපති ජෝ බයිඩන් 2023 ඔක්තෝබර් 19 බ්‍රහස්පතින්දා වොෂින්ටනයේ ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට ඊශ්‍රායලයේ සහ යුක්රේනයේ යුද්ධය ගැන කතා කරයි. [AP ඡායාරූපය/ජොනතන් අර්නස්ට්]

බයිඩන් ගේ කතාව , එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය කිසිවෙකුට ඒත්තු ගැන්වීමට හෝ  තාර්කිකව පැහැදිලි කිරීමට ගත් බැරෑරුම් උත්සාහයක් නොවීය. එය එකකට පසුව  එකක්  ලෙස ගැටගැහුනු  අසම්බන්ධිත වාක්‍ය මාලාවකින් සමන්විත වූ අතර, කිසිදු සංගත තර්කයකින් ඒවා එකට බැඳී නොතිබුනි. බයිඩන්, වෛෂයිකව, අංශු මාත්‍රයක්වත් තේරුමක් නැති, හමාස් සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර සමාන්තරයක් ගෙනහැර පෑවේය.

එහෙත් ඔහු කතාව කරගෙන යෑමේදී පැහැදිලි වුයේ, කතාවේ ප්‍රධාන අරමුන වූයේ, එහි ගිම්හාන ප්‍රහාරයේ අසාර්ථකත්වයෙන් පසුව සෙලෙන්ස්කි ආන්ඩුවට මුක්කු ගැසීමට “යුක්රේනයේ යුද්ධය උදෙසා දැවැන්ත වියදම් පනතක්” ලබා ගැනීම සඳහා “ගාසාවේ යුද්ධය උපයෝගී කර ගැනීම” බව විය. 

ඇත්ත වශයෙන්ම, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කර ඇත්තේ බයිඩන් කතාවේ යෝජනා කරන ලද ඩොලර් බිලියන 100 වියදම් බිල්පතෙන් ඩොලර් බිලියන 60ක් රුසියාවට එරෙහිව යුක්රේනයේ යුද්ධයට යන බවයි. මෙම අගය , බිඩෙන්ගේ අගෝස්තු මාසයේ ඩොලර් බිලියන 24 ක මූලික ඉල්ලීම දෙගුනයකටත් වඩා වැඩිය. ඉන් ඩොලර් බිලියන 14 ක් පමන ඊශ්‍රායලයට යැවීමට නියමිතය.

එහි නන්නත්තාර හා ආකූල ස්වභාවය තිබියදීත්, කතාවේ ප්‍රධාන අර්ථය පැහැදිලිය: ඇමරිකාව ගෝලීය යුද්ධය කරා වේගවත් ධාවනයක යෙදී  සිටින අතර, ඊනියා “අනදෙන නිලධාරියා” වන එක්සත් ජනපදයේ ජනාධිපති අතිරේක අරමුදල් වශයෙන් ඩොලර් බිලියන 100ක් ඉල්ලා සිටින්නේ, සියලුම මිලිටරි වියදම් සඳහා දැනටමත් යෝජනා කර ඇති ඩොලර් ට්‍රිලියන 1 ට ඉහලින්, මෙම මිලිටරි ආක්‍රමනකාරී පිපිරුම සඳහා මුදල් සැපයීමටය. 

කථාවෙහි සඳහන් නොකල නමුත් සිකුරාදා කොංග්‍රසයට කරන ලද විධිමත් ඉල්ලීමට පෙර පුලුල්ව වාර්තා වූ කරුන නම්, බයිඩන් තායිවානයට- චීනය සමඟ තවදුරටත් ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයක් ලෙස -සහ එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීමට සහ ලතින් ඇමරිකාව පුරා එක්සත් ජනපද මැදිහත්වීම තීව්‍ර කිරීමට ,එක්සත් ජනපද මිලිටරි ආධාර තවත් බිලියන ගනන් බලාපොරොත්තු වනු ඇත යන්නයි. 

දැන් එහි 18 වන මාසය අවසන් කර තිබෙන, පෙනෙන ආකාරයට නිමක් නැති, මිල අධික සහ ලේවැකි ඇනහිටීමක එරී සිටින  යුක්රේනයේ එක්සත් ජනපද යුද්ධයට එරෙහි ගැඹුරු වන විරුද්ධත්වය පිලිබඳව, බයිඩන් දැනුවත්වය. එනිසා  යුක්රේනයේ තවදුර  වියදම් සාධාරනීකරනය කිරීම සඳහා ඊශ්‍රායලයේ ගැටුම පාවිච්චි කිරීමට බයිඩන්  උත්සාහ කලේය. අවසන් වශයෙන් කොන්ග්‍රසයෙන් මතුවන  කුමන මිලිටරි ආධාර පනත් කෙටුම්පතක වුවද, වැඩි පංගුව ඊට [ යුක්‍රේනයට] හිමි වනු ඇත. 

ලෝකය විවර්තන (හැරවුම්) ලක්ෂ්‍යයක සිටින බව, බයිඩන් ප්‍රකාශ කලද, ඒ එක්සත් ජනපදයට යුද්ධය අලුත් දෙයක් නිසා නොවේ. ඊට පටහැනිව, ඇමරිකාව වසර 30 කට වැඩි කාලයක් යුද්ධ වල  යෙදී සිටින අතර, එය ආක්‍රමනය කර, අත්පත් කර ගත් හෝ බෝම්බ හෙලූ රටවල් – ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය, පකිස්ථානය, බොහෝ උතුරු අප්‍රිකානු රටවල්, බොස්නියාව, කොසෝවෝ, සර්බියාව, සුඩානය – ලෝක ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් වේ.

අලුත් දෙය නම්, මෙම යුද්ධ වඩාත් පොදු ගැටුමක් බවට පරිවර්තනය වීම හෝ, දෙවන ලෝක යුද්ධය ආසන්නයේ ලියොන් ට්‍රොට්ස්කි විස්තර කල පරිදි, “වෙන් වෙන්  ගැටුම් සහ ලේවැකි දේශීය කැලඹීම්… නොවැලැක්විය හැකි ලෙස ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට මුසු වීමයි”.

මෙම නව ලෝක යුද්ධයේ හැඩතල බයිඩන් ගේ ඩොලර් බිලියන 100 බිල්පතෙන් අනුමාන කල හැකිය. එය රුසියාවට එරෙහි යුද්ධය පුලුල් කිරීම, ඉරානයට එරෙහිව නව යුද්ධයක් අවුලුවාලීමට ඊශ්‍රායලය සහ පලස්තීනුවන් අතර ගැටුම භාවිතා කිරීම සහ චීනයට එරෙහිව ආසන්න යුද්ධයකට සූදානම් වීම ඉලක්ක කර ඇත. එක්සත් ජනපද පරිපාලනය, නැගෙනහිර යුරෝපයේ සිට, මැද පෙරදිග, මධ්‍යම ආසියාව සහ අවසන චීනයෙන් කෙලවර වන  යුරේසියානු භූමි ස්කන්ධයේ එක්සත් ජනපද ආධිපත්‍යය සදහා වන ගෝලීය ගැටුමක, එක් අඛන්ඩ පෙරමුනකට සමාන ලෙස  යුධ පිටිය හැඩගස්වමින් සිටී.

මෙය එක්සත් ජනපද-මෙක්සිකෝ දේශසීමාව මිලිටරිකරනය කිරීම සහ වෙනිසියුලාව, නිකරගුවාව සහ කියුබාව වැනි දේශපාලන අපහසුතාවයන් සහ විභව බාධක ඉවත් කිරීම මගින් එහි බටහිර අර්ධගෝලයේ “පිලිකන්න” ආරක්ෂා කිරීමේ උත්සාහයන්  සමඟ ඒකාබද්ධ වේ.

බයිඩන්, වෝල් වීදියේ සහ පෙන්ටගනයේ සිටින අහංකාරෝන්මාදීන් වෙනුවෙන් කතා කරමින්, ඇමරිකාව එහි සම්පූර්න සම්පත් බලමුලු ගන්වන තාක් කල් ඊට “ඕනෑම දෙයක්” කිරීමට ඇති හැකියාව ගැන තම ස්ත්‍රෝත්‍ර ගයද්දී, මෙය ගෝලීය විජයග්‍රහනය සඳහා වූ අහංකාරෝන්මාදී (megalomaniacal) වැඩසටහනක් ලෙස පෙනෙන්නේ නම්, ඒ,ඔවුන්ග් දෘෂ්ටිය එයම නිසාය.

පෙන්ටගනයට සහ එක්සත් ජනපද ආයුධ කර්මාන්තයට මීලඟ දැවැන්ත ගෙවීමක් සඳහා ඔහුගේ තර්කය ඉදිරිපත් කිරීමේදී බයිඩන් වෝල් වීදියේ භාෂාව පවා භාවිතා කලේය: “එය පරම්පරා ගනනාවකට ඇමරිකානු සුරක්ෂිතභාවය සඳහා ලාභාංශ ගෙවීමට යන බුද්ධිමත් ආයෝජනයකි.” ඇමරිකානු කම්කරුවන් ඔවුන්ගේ ජීවන තත්වයන් සහ සමාජ ප්‍රතිලාභ සහ ඔවුන්ගේ දූ පුතුන්ගේ ජීවිත මගින් ගෙවනු ඇත. නමුත් යුද්ධය නිසැකවම රේතියෝන් (Raytheon), බොයිං ( Boeing) සහ ලොක්හීඩ් මාර්ටින් (Lockheed Martin) සඳහා සහ ඒවා පාලනය කරන විශාල බැංකු සහ ඉදිරි රැකුම් අරමුදල් (hedge funds- ආයෝජන අරමුදල් වර්ගයකි ) සඳහා ගෙවනු ඇත.

ඒවා දැනටමත් ඔහුගේ පසුගිය සතියේ උමතු ඊශ්‍රායල ගැති කථාව සහ බදාදා ජෙරුසලමේ සංචාරය අතරතුර ඔහු නෙතන්යාහු සහ ෆැසිස්ට්වාදී ඊශ්‍රායල රජය දැඩි ලෙස වැලඳ ගැනීම සම්බන්ධයෙන් කර ඇති පරිදි, නින්දිත හා අපකීර්තියට පත් මාධ්‍යයන්  නිසැකව ම බයිඩන් ගේ කතාව ප්‍රබල දේශපාලන පහරක් ලෙස හුවා දක්වනු ඇත. එහෙත් වයෝවෘද්ධ හා සාපරාධී අධිරාජ්‍යවාදයේ මෙම අර්ධ වයෝවෘද්ධ නියෝජිතයා උත්කර්ෂයට නැංවීමට ඔවුන් කෙසේ උත්සාහ කලත්, එක්සත් ජනපදයට එහි න්‍යෂ්ටික අවි ගබඩාවෙන් ලෝකය විනාශ කිරීමට පමනක් මිස , එය ජය ගැනීමට නොහැකි වනු ඇත.

ජෙරුසලමේ සංචාරය සහ නෙතන්යාහු වැලඳ ගැනීම හරහා බයිඩන් දැනටමත් ගාසා තීරයේ යුද අපරාධවල සම කර්තෘ බවට පත් වී ඇත. අවම වශයෙන් පලස්තීනුවන් 4,000 ක් දැනටමත් මරා දමා ඇත, නමුත් භූමි ආක්‍රමනයකදී මිය යන සංඛ්‍යාව සංඛ්‍යා පහක් හෝ හයක් දක්වා ඉහල යාමට ඉඩ ඇත.

ඔහුගේ කතාව අවසානයේ එක් හෙලිදරව් කරන සඳහනක, බයිඩන්, එක්සත් ජනපදය “අත්‍යවශ්‍ය ජාතියක්” ලෙස විස්තර කල මිය ගිය රාජ්‍ය ලේකම් මැඩලීන් ඕල්බ්‍රයිට් උපුටා දැක්වීය.1996 දී “මිනිත්තු 60” විසින් ඇයව සම්මුඛ සාකච්ඡාවට ලක් කරන විට ඕල්බ්‍රයිට්ගේ වඩාත් කුප්‍රකට ප්‍රකාශය ඔහු උපුටා දැක්වූයේ නැත. ඖෂධ සහ අත්‍යවශ්‍ය  පෝෂ්‍ය පදාර්ථ  නොමැතිකම හේතුවෙන් ඉරාක දරුවන් මිලියන භාගයක් මිය යාමට හේතු වූ ඉරාකයට එක්සත් ජනපද සම්බාධකවල ව්‍යසනකාරී බලපෑම ගැන ඇයගෙන් විමසන ලදී. ඔල්බ්‍රයිට් පිලිතුරු දුන්නේ, “මම හිතන්නේ එය ඉතා දුෂ්කර තේරීමක්”,  “නමුත් එම මිල, අපි සිතන්නේ, එම  මිල ඒ සදහා  වටිනා බවයි.”

ඊශ්‍රායල ආක්‍රමනයකින් ගාසා තීරයේ ජනතාවට සිදුවිය හැකි 4 ව්‍යසනය පිලිබඳ වඩාත් මෑත උදාහරනයක් තිබේ. 2016 දී, ඔබාමා පරිපාලනයේ බයිඩන් උප ජනාධිපතිව සිටියදී, එක්සත් ජනපද මිලිටරිය, මිලියන 2.5 ක ජනතාවක් විසූ- අද ගාසා තීරයට සමාන වන- ඉරාකයේ මොසුල් නගරය අල්ලාගෙන තිබුනු  ISIS ට එරෙහිව මෙහෙයුමක් දියත් කරන ලදී. මොසුල් යනු එක්සත් ජනපද බෝම්බ ප්‍රහාරවලින් ආරක්ෂා වීමට හාරා ඇති උමං ජාලයක් සහිත ජන  සංකේන්ද්‍රිත  නාගරික පරිසරයකි. එක්සත් ජනපද හමුදා නගරය වටකර එයට ලගා වෙමින් , ජල පද්ධතිය සහ අනෙකුත් යටිතල පහසුකම් විනාශ කල අතර මිලියනයකට ආසන්න ජනතාවක් තම ජීවිතය පතා පලා ගියහ. පෙන්ටගනය මෙය හැඳින්වූයේ “ඉතිහාසයේ වඩාත්ම නිවැරදි ගුවන් යුද්ධය” ලෙසිනි.

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට එරෙහිව දැනටමත් මහජන විරෝධතාවල නියැලී සිටින ඇමරිකාවේ සහ ලොව පුරා සිටින මිලියන සංඛ්‍යාත තරුනයින්ට සහ කම්කරුවන්ට බයිඩන් ගේ කතාව කිසිවක්  ඒත්තු ගන්වන්නේ නැත. එයින් සිදු වන්නේ ඔවුන් තවත් කෝපයට පත් වීම පමනි.

මෙම විරෝධතා පුපුරා ගොස් ඇත්තේ, ගාසා වටලෑමේ දී ආහාර, ජලය සහ විදුලිය කපා හැරීමෙන්, පලස්තීනුවන් මිලියන දෙකක් කෙරෙහි අනුකම්පාවෙන් පමනක් නොවේ. බයිඩන් යුද්ධය සඳහා තවත් බිලියන ගනනක් ඉල්ලා සිටීම තමන්ට මාරාන්තික තර්ජනයක් ලෙස හඳුනා ගැනීම කරා  ලෝක ජනගහනය පැමිනෙමින් සිටී.

පලස්තීනුවන් 500ක් පමන මිය ගිය අල්-අහ්ලි රෝහලට බෝම්බ හෙලීම සහ ඉතා මෑතක දී , ලෝකයේ කිතුනු ඉදිකිරීම් අතරින් පැරනිතම එකක් වූ ගාසා හි පල්ලියකට බෝම්බ හෙලා මිනිසුන් 150 ක් ඝාතනය කිරීම, වැනි ඊශ්‍රායල ආන්ඩුවේ නව අපරාධ මගින් දැවැන්ත ලෝක ව්‍යාප්ත විරුද්ධත්වය තවදුරටත් අවුලුවා ඇත.

අල්-අහ්ලි රෝහල විනාශ කලේ ඊශ්‍රායල අවියකින් නොව පලස්තීන රොකට්ටුවකින් ය යන කැත බොරුව බයිඩන් අනුමත කර ඇත. එහෙත් ඔහු නෙතන්යාහුට පිටුබලය දීම යුද්ධයට එරෙහි විරෝධය උත්සන්න කරයි. ඔහු ජාතික රූපවාහිනියේ සිය දේශනය පවත්වමින් සිටියදී, බොහෝ යුදෙව් ඇමරිකානුවන් ඇතුලු පෙලපාලිකරුවන් විසින් ධවල මන්දිරය වටලා, එක්සත් ජනපද-ඊශ්‍රායල කුරිරුකම්වලට ඔවුන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කලහ.

පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව දැනටමත් ලොව පුරා මහජන ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපාරය, ඊශ්‍රායල අවරෝධය  (අවහිරය-blockade) අවසන් කිරීම, ගාසා තීරය ආක්‍රමනය කිරීම සහ නැවත අත්පත් කර ගැනීම වැලැක්වීම සහ අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ආයුධ, පතොරම් සහ අනෙකුත් උපකරන සැපයීම නැවැත්වීම සහ සියල්ලටත් වඩා එක්සත් ජනපද, සියොන්වාදී පාලනයන් පරාජය කිරීම සඳහා ගෝලීය පරිමානයෙන් තරුනයන් හා කම්කරුවන් අතර මහජන විරෝධය බලමුලු ගැන්වීමට සටන් කල යුතුය.  එය මැද පෙරදිග එක්සත් ජනපද යුද්ධයට පමනක් නොව රුසියාවට හා චීනයට ද එරෙහි අරගලය ද භාරගත යුතුය.

එහෙත් යුද්ධයට එරෙහි අරගලයේ කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ දැනුවත් දේශපාලන බලවේගයක් ලෙස කම්කරු පන්තියේ මැදිහත්වීමයි. දැන් ක්‍රියාත්මක වෙමින් පවතින ජාත්‍යන්තර වර්ජන ව්‍යාපාරය සමාජවාදී දේශපාලන වැඩපිලිවෙලක පදනම මත යුද්ධයට එරෙහි ව්‍යාපාරය සමග ඒකාබද්ධ කල යුතුය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top